බිල්ලෝ

naan
අවුරුදු දහසයකට පස්සේ මම ලංකාවට ආවේ, නෑනා ගේ තුන් මාසේ දානෙට. මඟුලටවත්, මරණේටවත් නාපු මම, තුන් මාසේ දානෙට ආවේ ඇයි කියනවනම්, ජාත්‍යන්තර ගොවි සම්මේලනයේ වැඩකට, උපාලිට ලංකාවට එන්න වුනු හින්ද, එත් එක්කම අපි දෙන්නත් ආව. අපි කිව්වේ, පියුමි යි, මමයි.

මේ අවුරුදු දාසයට, මම අම්මව තුන්  පාරක් දැක්කා. මල්ලිව එක පාරක් දැක්කා. නෑනා ව කවදාවත් හම්බුවෙලා නොතිබ්බට, පින්තුරවලින් දැක්කා.

මම ලංකාවෙන් පිටත් වෙලා ගියේ, 1995 පෙබරවාරි මාසේ දොළොස්  වෙනිදා. ඒ අපේ පුතා කුසල්, වත්ත පහල ලිඳට වැටිලා, මැරිලා, මාසෙකුත් දවස් දහයකට පස්සේ. ඒ ගියේ ආයේ නොයෙන්න ම හිතාගෙන. මට ඒ ලිඳ වත්, මේ ගෙදර වත්තවත් ආයේ මේ ජීවිතේදී දකින්න වුවමනාවක් නොතිබුණු නිසා. එකට ම වැඩ සලස්සමින්, අපිට එහෙදි ඉපදුන දරුවා, පියුමි, උපතින් ම ආබාදිත දරුවෙක්. ඇවිදින්න බැහැ.

කුසල් මැරෙත්දී එයාට වයස අවුරුදු හය යි. ඒ අවුරුද්දේ මාර්තු මාසේ අපි කොහොමටත් ලංකාවෙන් යන්න හිටපු නිසා, කුසල් ව මොන්ටිසෝරියෙන් පස්සේ මෙහෙ ඉස්කෝලෙකට දාන්න උපාලි උනන්දු වුණේ නැහැ. අම්මගේ යාලුවෙක්, එයාගේ දුවත් එක්ක අපේ ගෙදර ඇවිත් හිටපු නිසා, ඒ අයත් එක්ක හිනා වේවි උන්න මිසක්, මට පැයකින් විතර පුතා ගැන හොයන්න වුණේ නෑ. කට්ටිය යන්න ලෑස්ති වෙලා, “කෝ පුතා?” කියල අහත්දියි, අපිට මතක් වුණේ, පැයකින් විතර දරුවාව දැක්කේ නෑ නේද කියල.

කොහොමින් කොහොම හරි, හවස හත වෙත්දී, දවාලේ, සාලේ බිම දිගාවෙලා, පාට කුරකින් චිත්‍ර ඇඳ ඇඳ උන්නු දරුවා, පන නැති, පෙඟුණු තෙත ගුලියක් වෙලා, සෝපාවේ වැතිරිලා උන්නා.
මාර්තු මාසේ යන්න තිබුණු ගමන ඉක්මන් කරගෙන, ආයෙමත් ලංකාවේ පස් පාගන්නේ නෑ කියල හිතාගෙන ( සදහට ම නොවුනත්, තව සෑහෙන කාලෙකට) පිටත් වෙලා ගියේ, මේ වත්ත-  ලිඳ- ගෙදර- හැමදේ ම, මාව ගිලින්න ආපු රාස්සයෝ කියල, පොඩි කාලේ දැනුණු හැඟීම, ඒ “මහා අහිමි වීම ” ට පස්සේ, දරාගන්න බැරි තරමට ම තද වුනු හින්දා.

එහෙදි ඉපදුනු පියුමි, අපේ දුවට ඇවිදින්න බැහැ. ලංකාවට නෑවිත් ඉන්න එකත් හේතුවක් උනා. ආබාදිතයෙක්ට, ලංකාවට වඩා, ඇමරිකාවේ ජිවිතේ පහසුයි.

සාලේ හිස් වෙලා.හිස් වුණු සාලේ පුරා මම ඇවිදිනවා. ලොකු කවිච්චිය, බිත්තිය අයිනකටත්, සෝපාව, අම්මගේ කාමරේටත්, ටිපෝ, මල් වාස්, පිස්ත්තල පහන් ආදී බඩු භාණ්ඩ, තවත් නොයක් අහු, කොන්වලට තද වෙමින්, සාලේ මැද්දේ ඉඩ හදනවා. තුන් මාසේ දානෙට අස් කළා වෙන්න බැහැ මෙච්චර ඉක්මනට. හත් දොහේ දානෙට – මරණෙට අස් කළ ගමන් වෙන්ඩ ඕන.

කෑම කාමරේ කැබිනෙට්ටුව උඩ, මගුල් පින්තුර පෝලිමක්. කෙලවරේ ඉඳන් ගත්තොත්, ඉස්සෙල්ලම එකේ, සුදු දිග ගවොමක් ඇඳලා, ඔලුවේ ඔටුන්නක් දාගෙන, අතින් අවානක් දරාගෙන, දෙවෙනි එලිසබත් රැජිනගේ අනුරුවක් වාගේ ඉන්නේ අපේ අම්මා. ඒ ළඟ ම හිටගෙන ඉන්න, චාලි චැප්ලින් රැවුලක් තියෙන, රෙදි කෝට් ඇඳපු මනුස්සය අපේ තාත්තා. දිග ගවොමක් ඇඳන්, තාත්තට එහා පැත්තේ හිටගෙන ඉන්නේ අම්මගේ නංගි. මගේ පුංචි අම්මා. ඊටත් එහා පැත්තේ ඉන්න පුංච් ගෑනු ළමයා කවුද?

අම්මගේ වම් අත පැත්තෙ, හතරැස් පෙට්ටියක් උඩ වාඩිවෙලා, මල් ගහපු බස්තමක් අතින් අරන් ඉන්න පුංචි ළමයා, උපාලි. මිසිස් වික්‍රමගේ, අපේ අම්මගේ හොඳම යාළුවගේ පුතා. මගේ මහත්තයා.
ඒ ළඟම තියෙන මගුල් පින්තුරේ, මගෙයි, උපාලිගෙයි.

සාරියක් ඇඳලා, වේල් එක දාල, මල් පොකුරක් අරන් ඉන්න කෙට්ටු ගෑනු ළමයා, මේ මම ම ද කියල දැන් හිතෙනවා. ඉන වටේ මස් රැල්ලක් වැවිලා, ඉහකේ  එහෙන් මෙහෙන් සුදු වෙලා, මුහුණේ තෙල් පිපිලා. කන්නාඩි කුට්ටමට යටින්, ඇස් කළු වෙලා ඉන්න දැන් මමයි, පින්තුරේ ඉන්න මමයි, එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?දැන් මහත් වෙලා, තට්ටේ පෑදිලා, කෙස් පැහිල උන්නත්, උපාලි ඒ කාලෙට වඩා දැන් හොඳයි කියල හිතෙනවා. මේ තමයි ලෝකෙට පෙන්න කාපු මගුල මතක් වෙන්න ගත්තු පින්තුරේ. හරියට ම කියනවනම්, මගෙයි උපාලිගෙයි කසාදෙ සිද්ද වුනෙත්, අපේ අම්මා, තාත්තා ව බැඳපු දවසේ. උපාලි ඒ දෙන්නගේ  මඟුල් පින්තුරේ පෙනී හිටිය දවසේ.

“ඔයාට දුවෙක් හම්බ වුනොත්, අපේ පුතාට බන්දල දෙමු….”
අම්මගේ මගුල් දවසේ, මිසිස් වික්‍රම එහෙම කිව්වලු.
(විහිලුවකට වගේ කියපු දෙයක්,ඇත්තක් කරන තරමට ම දැඩි පොරොන්දුවක් වුණේ කොහොමද?)

උප්පැන්න සහතිකේටත්  කළින් කසාද සහතිකේ හම්බවුණු, ලෝකේ  එක ම  ගෑනි මම ද කොහෙද. පස්සේ කාලේ මට එහෙම හිතෙන්න පටන් ගත්තා.

ඊ ළඟ පින්තුරේ අපේ මල්ලි නිශ්ශංකගෙයි, එයාගේ මනමාලි; මගේ හැබැහින් නොදුටු නෑනා රේණුකාගෙයි.

“මල්ලිටත් දැන් කාවහරි හොයන්න ඕන…” අම්මා මගෙත් එක්ක එහෙම කිව්වේ එහෙ ආපු වෙලාවක. “මල්ලිට තැන කීපයකින් ම කතා කළා, තාම කවුරුවත් හරි ගියේ නැහැ..” අම්මගේ ලියුමක එහෙම තිබුනා.හරි ගියේ නැහැ කියන්නේ, අකමැති වුණේ මල්ලිද කියල අහන්න හේතුවක් තිබ්බේ නැහැ. මල්ලි අකමැති වෙන්නේ නැහැ. මල්ලිට අකමැති වුනොත් මිසක. මම ඒක දැනන් හිටියා.
ඒ කතාව ම තිබුණු, තවත් ලියුම් කිහිපයකට පස්සේ, “මල්ලිට කටයුත්තක් හරි ගියා…දොඹගොඩ පැත්තෙන්…එච්චර සල්ලි බාගේ නම් නැහැ…කලුයි…”
අම්මගේ ලියුම ආව.
“මල්ලි ඉන්න තත්වේ හැටියට අනේ මන්ද… “එදා හවස උපාලි එහෙම කිව්වා….

නිශ්ශංක ට පොඩි ඔලුවේ අමාරුවක් තිබුනා. උපතින්….නැහැ,..උපදින්නත් කළින් ඉඳන්, පරම්පරාවෙන් ලැබුණු තෑග්ගක්. අපේ මුත්තා..මුත්තාගේ මල්ලි…සීයාගේ අයියා…මගේ මල්ලි.

(ඔය පරම්පරාවේ එක්කෙනෙක්, අනාගතේ ගැන හිතලා, තනිකඩව ඉන්නව කියන කැප කිරීම කළා නම්..කවුරුවත් එහෙම හිතුවේ නැහැ. ඔක්කොම අඩු පාඩු වහගන්න සල්ලි  තිබුනා, පරම්පරා නම්බුව තිබුනා…රැවටෙන්න ගෑනු හිටියා….ලොකුවට මඟුල් කාල, බක්කි කරත්තවලින්, මයිනර් කාර්වලින් මනමාලිට ඇඳගෙන ආපු ගෑනු ගිලගන්න, මහා ගෙදර මහා දොර කට ඇරන් බලන් උන්නා.එහම ආපු ගෑනු, තවත් පරම්පරා  කීපෙකට පස්සේ, ගබඩා කාමරේ, වී අටුවේ බිත්තිවල එල්ලිලා තියෙන මඟුල් පින්තුරු විතරක් බවට පත්වෙලා, අමතක ම වෙලා යනවා. එත්, මහ ගෙදර තාමත් තියෙනවා. පවුලට පිරිමි දරුවෙක් ඉපදුනු ගමන්, තවත් ගෑනු ජිවිතයක් ගිලින්න බලාගෙන කට ඇර ගන්නවා. අලුත් මනමාලිව ගිලල වහගන්න කට ආයේ අරින්නේ, ඒ මනමාලිව ජීරණය වුනාට පස්සේ)

මල්ලිගේ මඟුලට එන්න කියල අම්මා කරන බල කිරිල්ල ඉවසන්න බැරි නිසා, “හා” කියල කිව්වත්, “යන්න බෑ…බෑමයි” කියල හිත කියමින් උන්නා.අන්තිමට මඟුලට සති දෙකක් තියල, උපාලිට වියාන යන්න වෙච්චි එක පිටින් දාල, ගමන මග ඇරියා.

ඇයි මම මගේ ම ගෙදරට එන්න ඒ තරමට අකමැති වුණේ? කුසල් ගේ මරණේ ද? තව ගෑනියෙක් මහ ගෙදර ගිලගන්නවා බලන් ඉන්න තිබ්බ අකමැත්තද? එහෙමත් නැත්නම්, පුංචි කාලේ ඉඳන් ම බය වුණු, ඈනුම් අරිනවා වගේ හඬක් නගමින් ඇරෙන, හුඟාක් වෙලාවට වැහිලා තියෙන ගේට්ටුවටයි, බර සාර දොරවල් පිටිපස්සේ  තියෙන කළුවර කාමරවලටයි  තියෙන නමක් නොදන්න අකමැත්තද?

සුමාන තුනකට පස්සේ, ආයෙමත් අම්මගෙන් ලියුමක් ආවා. ලියුමත් එක්ක, අලුත් ලේලි ගැනත් විස්තරයක්  තිබුනා. “හොඳයි,…වරදක් නෑ..පුතාව හොඳට බලාගනියි වගේ…”අම්මගේ ලියුමේ තිබුණු ඒ වාක්‍යය මගේ හිතට ගෙනාවේ කේන්තියක්. බලාගන්න…???!!!!!!!!!
මල්ලිව බලාගන්න නර්ස් කෙනෙක්වද අම්ම හෙව්වේ???

තවත් මාස පහ හයකට පස්සේ, අලුත් ජෝඩුවගේ මඟුල් පින්තුරයි, තවත් පින්තුර කීපයකුයි තැපෑලෙන් ආවා. බුරුස්ස රැවුලක් එක්ක, ඔරවාගෙන ඉන්න මල්ලි ළඟ හිටගෙන ඉන්න, සුදු සාරියක් ඇඳලා, වේල් දාලා, සුදු වෙන්න පියරු උලපු, කළු පාට කෙල්ල, සිරියාව උතුරන හිනාවකින් බලාගෙන හිටිය. අනික් පින්තුරවල, දෙන්න පන්සල් ගිය පින්තුරයි, මුහුදු වෙරළේ ඉඳන් ගත්තු පින්තුරයි. අපේ අම්මගේ අතින් අල්ලන්, කැමරාවට හිනාවෙලා ඉන්න රේණුකාගේ පින්තුරෙකුත් එතන තිබුනා. මේ පන්සල් ගිහින්, අත් වැල්  බැඳන් මුහුදු වෙරළේ ඉන්නේ, අපේ මල්ලිමද?
අම්මගේ ලියුමේ වුනත් වෙනද නොතිබ්බ සතුටක් තිබ්බා. වාත අමාරුයි, ප්‍රෙෂර් ගැනයි, දවස ගානේ චුරු චුරු ගගා මාස ගණන් අල්ලන වැස්ස ගැනයි, ගරා වැටෙන මහ ගෙදර කෙඳිරියයි  ඇරුණම වෙන මුකුත් ම නොලියවෙන ලියුමේ, රේණුකා ගැන ලියවිලා තිබුනා. “රේණුකා ගෙදරට අලුතින් පාට ගාන්න කියල නිශ්ශංක ට  කිව්වා –  පාට වෙනස් කරන්ඩලු. රෝස පාට ගාන්ඩ කියන්නේ. -රේණුකා, ගෙදරට අලුතෙන් දොර රෙදි මහනවා –  රේණුකාට හොඳට කේක් හදන්න පුළුවන්.රේණුකා.. රේණුකා.. රේණුකා..”
ගල් ඉබි කටුවක් වගේ අපේ ගෙදරට රේණුකා, අලුත් හැඩතල එකතුකරමින් ඉන්න බව මට වැටහුණා. නිශ්ශංක වුනත් වෙනදට වඩා වෙනස්. රැවුල් බාලා, කෙස් පීරලා.පිරිසිදු ඇඳුමක් ඇඳන් ඉන්න පින්තුරයක් ලියුමත් එක්ක තිබුණා.

ඉඳල හිටලා අම්මට ඇමතුමක් දෙන එක, රේණුකත් එක්ක කතා කරන්න ඇබ්බැහියක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. උපාලිගෙයි, මගෙයි විතරක් නෙමෙයි, ඒ වෙත්දී, විශ්ව විද්‍යාලේ ඉගෙනගනිමින් උන්නු පියුමි  ගැන ගැටළුවක්  වුනත් කතා කරන්න මට ඉන්න එක ම හිතවතිය බවට රේණුකා පත් වුණා.
පියුමිට තව අවුරුදු හතරක් විශ්ව විද්‍යාලේ ඉන්න තිබ්බ නිසා, අපිට ලංකාවට එන්න ඉඩ ලැබුනේ නැහැ. එත් රේණුකාව ඇමරිකාවට ගෙන්නගන්න මට ලොකු වුවමනාවක් තිබුනා. “කොහේ එන්නද අක්කේ… මෙයා, උස තැන්වලට බයයි නේ….මට මෙයාව දාලා එන්නත් බැහැනේ…..” රේණුකා නිවුණු හඬකින් මට  කිව්වා. අවුරුද්දකට වතාවක්,දෙකක්, අම්මට රෙදි පෙරෙදි එවන පාර්සලේ ඇතුලට, සබන්, ක්‍රීම්, පවුඩර් පුරවපු තව පාර්සලයක් එකතු වුනා. එව්වයේ, ගුණ සුවඳ රේණුකා මට ලියල එව්වා.

දැන් රේණුකා මැරිලා.

ගිය අවුරුද්දේ මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගත්තා. අම්මගේ පෙනුම දැකල මං පුදුම වුණා.  ඉස්සර, වලව්කාර මහ ගෙදර ට එන්න කළින් ඉන්න ඇති කියල හිතෙන, ලංකාවේ පාර තොටක දකින්න ඇහැකි, ඒ වයසේ ඕන ම සාමාන්‍ය ගැහැනියකගේ තත්වෙට අම්මා පත්වෙලා තිබුණා.
“දැන් රේණුකා ඉන්නවනේ…ඉස්සර වගේ නෙවෙයි, මට සිල් ගන්ඩ යන්ඩ ඇහැකි…” අම්මා කිව්වා.

“රේණුකාට අසනීපයි…හොඳට ම අමාරුයි…අන්තිමයි….ආන්තරා වුණා! ”
ටෙලිෆෝන් පණිවිඩ, එකකින් අනිකට තිබුනේ, දවසක, දෙකක, පැය ගානක අන්තරයක්. ගෙදරක උඩ තට්ටුවේ පවත්වාගෙනයන පන්සලට ගිහින්, ඉටි පන්දමක් පත්තු කරන්න ඕන කියල හිතන් හිටියා. ඉටි පන්දම පත්තු කරලා ගෙදර එත්දී, රේණුකා මැරිලා.

ඇහින් දැකල නොතිබ්බට, මේ ජීවිතේදී, මාව හොඳටම ඇඳින ගත්තු  මනුස්ස දුව මරුන කියන එක පිළිගන්න තිබ්බ අකමැත්ත නිසා, “රේණුකා සඳසිලි මහත්මියට නිවන් සුව ලැබේවා!” කියල පෝස්ටර් ගහල තියෙන දෙවට ට වාහනේ හරවත්දී  මම ඇස් දෙක පියාගත්තා. (අවමංගල්ලේ ට  නාවේ ඇයි කියල තව හේතු අහන්න ඕන නෑ නේද?)

පියුමි රෝද පුටුව තල්ලු කරන හඬ, ඉස්තෝප්පුව දිහාවින් ඇහෙනවා.තමන්ගේ ම පොළොවකට වැටෙන ඉර එළිය නිදහසේ විඳින්න පියුමිට තියෙන ආසාව, ඇයි මට නැත්තේ?

තිරුවානා පොළොව උඩ, රෝද තල්ලු වෙන හඬ ඇරුණම, අනිත් හැම දේ ම නිහඬයි.මම ඉස්සරහ කාමරේට එබිලා බැලුවා. දෙන්නෙක් නිදාගත්තු ලොකු ඇඳේ, නිශ්ශංක තනියම නිදි. කන්නාඩි මෙසේ උඩ, මම රේණුකාට එවාපු, පියරු බෝතල්, ක්‍රීම් බෝතල් පිළිවෙලකට හිටගෙන, කන්නාඩියෙන් පේන නිශ්ශංක ගේ කෙස්, රැවුල් වැවුණු මුණ දිහා බලන් ඉන්නවා.

රේණුකා…රේණුකා මැරිලා (ද?)

අනිත් කාමරේ ඇඳේ අම්මා. කට අරගෙන. හීන් ගෙරවිල්ලකුත් ඇහෙනවා.

මේ ගෙදර මිනිස්සු, මේ මහ දවාලේ බිල්ලෝ වගේ මෙච්චර නිදාගන්නේ කොහොමද?

Advertisements

3 thoughts on “බිල්ලෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )