මළ ගෙදරක කටු සටහන්

Mixed-Media-Abstract-Art
සේලයින් දියරය ගලාගෙන ආපු, අවර්ණ බටේ මැද්දෑවේ නවතිච්ච වායු බුබුලක්, ඇස් උඩ ඉන්දගෙන,තමන් ට  අඩි කිහිපයක් පහළින් සිදුවෙමින් තිබුණු ජවනිකාව දිහා බලන් හිටියා.

ඇඳ වටේට තුන් දෙනෙක්.    සුදු කබා, කළු කලිසම්, හිස මැද තට්ටේ ඇති දොස්තර, සුදු ගවොම් නර්ස්, කහ, තැඹිලි මල් වැටුණු සාරියක් ඇඳලා, කන්නාඩි කුට්ටමක් දාපු, කෙස් පැහුණු ගෑනියෙක්.මේ ඔක්කොටම මැදිවෙලා ඇඳ උඩ, දුඹුරට හුරු හමක් ඇති, ඇස් පියවුණු ලෙඩා.
බඩ පිම්බිල, මුහුණ ඉදිමිලා, නහයෙන්,කටින් අත් දෙකෙන්, පපුවෙන්, උඩින් – යටින් බට. ඉහ ඉද්දර – පය පාමුල, මැෂින්, මැෂින්,මැෂින්. නවතින්න හදන මැෂිමකට පන දෙන්න හදනවා.
————————————————–
“රේණුකා මැරිලා…”
හතරවටෙන් ගහපු බටවලින් නිදහස්වුණු ලෙඩා, ඉහේ ඉඳන් පොරවගෙන වැතිරිලා ඉන්නවා.සාත්තු සේවකයා, දැඩි සත්කාර ඒකකයේ අරුණු දොරින් එලියට, ට්‍රොලිය තල්ලු කරන් යනවා.
පිම්බුණු බඩ – මතුවෙලා පේනවා.

“බඩ දරු අම්මෙක් ද….?”
හඬක් අහනවා.

” නෑ…අක්මාව නරක්වෙලා..සිරෝසිස්…”

“ඈ….ගෑනියෙකුට…?”

“ඔව්..දන්නේ නැත්ද ඉතින්..දැන් කාලේ වෙනස් නේ…”

“මගේ දුව මත්වෙන ජාති බිව්වේ නෑ…” මෙතෙක් වෙලා නිහඬව කඳුළු හලමින් උන්නු මම්මා කියනවා.

“ඔව්…ඔව්…එක තමයි කිව්වේ..දැන් බොන්ඩ ම ඕන නෑ සිරෝසිස් හැදෙන්න…”

ට්‍රොලිය මෘත ශරිරගාගාරය කියල ගහල තියෙන බෝඩ් ලෑල්ලට යටින් කාමරයකට ඇතුළු වෙනවා. මෙතෙක් වෙලා ට්‍රොලියත් එක්ක ඇවිදන් ආපු මම්මා. දොර ළඟ නැවතිලා, හොටු හුරනවා.
—————————————-

“මල්ලිට කිව්වද?…..”

“නැතුව..නමට හරි ඉන්න මිනිහ නේ….”

මම රෝහල් කොරිඩෝව දිගේ ඇවිදන් එනවා. මිනී කාමරේ ළඟම,  බංකුවක් උඩ, කොටු කමිසෙකුයි, කළු කමිසෙකුයි හම් සපත්තුයි ඇඳපු මිනිහෙක් ඉඳගෙන ඉන්නවා.

– නමට විතරක් මිනිහා, මැරුණු ගෑනි බලන්න ඉස්පිරිතාලෙට ඇවිත්.
—————————————–

උඩුදුම්බර ආරච්චිලාගේ රේණුකා සඳසිලි, දුඹුරු හම සුදුවෙන්න පියරු තට්ටුවක් උලාගෙන, උඩු වියන්,  පාවඩ මැද්දේ, සුදු සැටින් අතුරපු  රටඹ පෙට්ටියේ වැතිරිලා ඉන්නවා.

මිනී පෙට්ටියේ පැත්තක, මිනිය වගේ ම සුදු වෙන්න පියරු උලලා, කොන්ඩේ මල් ගහල, මාල හතක දාල, මනමාලි වෙලා ඉන්න, රේණුකා සඳසිලි ගේ පින්තුරේ.
මිනියට එබෙන අය, මගුල් පින්තුරෙටත් එබිලා, ආයෙමත් මිනියට එබිලා, අතැඟිලි බැඳලා ආචාර කරනවා.

—————————————–

“අනේ බලන්න ගර්ලි, මේ යන්න ඉන්න අපි දාලා, මෙයා ඉස්සර වුනා නේ……..”   
මම්මා අඬාගෙන, රේණුකා ගේ අම්මගේ අතේ එල්ලුනා. රේණුකාගේ අම්ම ත්, අනිත් අය වගේ ම, මිනිය වැඳලා ඉඳගත්තා. මම්මා මළ ගෙදරට එන අයව පිලි ගන්නවා. කඳුළුයි, හොටුයි, නිසා තෙත්වුණු සාරි පොට, උරිසට උඩින් හැට්ට කර ඇතුළේ.

– නමට විතරක් මිනිහා, මළ ගෙදරට එන අයට බුලත් විටට, පුවක් සුද්ද කරනවා.-
 —————————————–
 
සෙනග එනවා. මිනියට වඳිනවා. යනවා.
—————————————–

ඉහ ඉද්දර පහන, තෙල් අඩුවෙලා නිවෙන්න යනවා. ආයෙමත් තෙල් වැටිලා පත්තු වෙනවා.
—————————————–

“යතාවාරි වහාපුරා……………”

පැන් වඩනවා. මම්මා පැන් කෙන්ඩිය අල්ලන් ඉන්නවා. රේණුකාගේ අම්මයි, නංගි යි, පැන් කෙන්ඩියට අත  තියන් ඉන්නවා. 
කිටි කිටි ගාල ගැහෙන අතක්, පැන් කෙණ්ඩිය ට අත තියනවා. අතේ වෙවුලිල්ලට වෙවුලපු පැන් කෙන්ඩියෙන් ඉහිරුණු වතුර, පන් පැදුර තෙමනවා.
—————————————– 
“අනේ…මගේ ම දුවෙක් වගේ…. දීග ආවය..මේ ඉන්නේ නැන්දම්මය කියල වෙනසක් කළේ නෑ….”
මම්මා අඬනවා. අනිත් අයත්, නෑ කමේ දිග පළල අනුව, කඳුළු, ඉකි, හිල්ලීම්, සෝ සුසුම් වගුරවනවා.
වහපු මිනී පෙට්ටියේ පියන උඩට, පස් කැටි වැටෙන බොල් හඬ ඇහෙනවා.
—————————————–
—————————————–

මළ බත කාපු අමුත්තෝ පිට වෙලා ගිහින්. මම්මා, කාමරේ ලොකු ඇඳ උඩට වෙලා, මහන්සි අරිනවා.

“මට බය, ආයෙමත් පිස්සු තදවෙයි කියල…රේණුකාට විතරයි යාන්තං නවත්තගන්න පුළුවන්කම තිබ්බේ…”

“හොඳ වෙලාව දරුවෝ නොහිටියේ…”
____________(මම්මා තනියම ද කියවන්නේ?)

“ඔව්ව පතාගෙන ආපු හැටි ලොකු මිසී..”
 ජේන්.

—————————————–

නමට විතරක් මිනිහා, නමටවත් ඉන්න ලකුණක් නැහැ.
—————————————–

මළ ගෙදර සද්ද බද්ද ඉවරයි. ඇඳට වැටුණු ගමන් ම මට මහන්සියට නින්ද ගියා.
—————————————–

කාමරේ දොර රෙද්ද මෑත් වෙනවා. අඳුරු කහ පාට එළියෙන්, කාමරයට ඇතුලුවෙන කෙනෙක්ව පේනවා. නිදිමතට ඇස් පියන් බොඳ වෙලා. අවුල් වුනු කෙසුයි, එහෙන් මෙහෙන් වැවුණු රවුළු කොටයි අතරින්, එක එල්ලයක පිහිටන්නේ නැති, උමතු ඇස් දෙකක් මගේ මුහුණට එබෙනවා. වම අතේ පිහියක්. පිහිය උඩට එසවෙනවා. මගේ පපුව කෙළින් ම.
පිස්සා. රේණුකාගේ නමට විතරක් මිනිහා.
මගේ ලොකු මාමා.
—————————————–
ගැස්සිලා ඇහැරුණා. හොඳටම දාඩිය දාල. ඇඳේ සෝමන දාඩියෙන් තෙත් වෙලා.උගුර කට වේලිලා. ජෝග්ගුවේ වතුරත් නැහැ.
හත් දොහ යනකම් තනි රකින්න ආපු, මළගෙදර ඉතුරු වුණු දෙන්න තුන්දෙනා වැටුණු තැන්වල නිදි. කැබිනෙට්ටුව උඩ පහනක් පත්තු වෙනවා. මගුල් පින්තුරේ ඉන්න රේණුකාගේ මුණ, පහන් එළියට හිනා වෙනවා.
—————————————–

වතුර බීලා, ආපහු යත්දී, කෑම කාමරේ නොවහපු ජනේල අතරින් පේන, රේණුකාගේ සොහොන දිහා බලන්න හිතුනේ මොකද කියන්න මම දන්නේ නැහැ. සොහොන ඉස්සරහ සෙලවෙන එළියක් පේනවා. ඒ පහන් එළියෙන් සොහොන උඩ ඉටි පන්දම් පත්තු කරන කෙනාගේ අවුල් වුණු කෙහෙ වැටියයි, අපිළිවලට වැවුණු රැවුලයි පේනවා.
රේණුකාගේ නමට විතරක් මිනිහා.
පිස්සා. මම්මගේ පිස්සු ලොකු පුතා.මගේ ලොකු මාමා
—————————————–

කොහේදෝ දුරක බල්ලෝ උඩු බුරලනවා ඇහෙනවා.

එක උඩු බිරිලිමක්,
“රේණුකෝ….ඌඕ…”
කියල කෑගහනවා වගේ.
අනිත් උඩු බිරිලීම එකට උත්තර බඳිනවා.
“මැරිලෝ…..ඕ….”
—————————————–හෙට ආපහු ගෙදර යන්නත් එපාය.

Advertisements

4 thoughts on “මළ ගෙදරක කටු සටහන්

  1. සින්හල බ්ලොග් එකක් කියෙව්වෙ අවුරුදු ගානකට පස්සෙන්පහු මගෙ හිතේ.

    සදනිගෙ ලිවීම් රටාව ඉතා සිත්ගන්නා සුළුයි. චිත්ත රූප මැවීමට හොද හැකියාවක් තියෙනව. මරණෙක තියෙන පාළු මූසල බව, ඒකාකාරී බව, තේරුමක් නැති බව ඉතාමත් පැහැදිලිව රචනා විලාසයෙ ගැබ්වෙලා තියෙනව.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )