Covers – “කවර ” පිලිබඳ කවර කතා ද?

music

Cover යනු පිට කවරයයි. යමක් වෙනුවෙන් යොදා ඇති ආවරණයයි.. පොතක, කැසට් හෝ සංයුක්ත තැටියක මෙන් ම තෑග්ගක් ඔතා ඇති කොළයත් කවරයයි.
අන්තර්ජාලයේත් “කවර” වර්ගයක් තිබේ. ඒ කවර මේ කලින් කි කිසිදු කවර වර්ගයකටත් අයත් නොවේ. ඒ කවරවලට වඩා මේ කවරවල ඇති වෙනස කවරක් ද යත්, මේ කවර කනට ඇසෙන, ඇසට පෙනෙන සහ හිතට දැනෙන ඒවා වීම ය.මේ කතා කරන්නට යන්නේ අන්න ඒ කවර ගැනයි.

අන්තර්ජාලයේ ඇති Covers යනු,  යම් කිසි ගීතයක්, ජනප්‍රිය නොවන පුද්ගලයෙකු විසින් ඒ අයුරින් ම හෝ, තමන්ට අනන්‍ය හැඩතල එකතු කරමින්, වාණිජ පරමාර්ථයන්ගෙන් තොරව ගායනා කර පටිගත කිරීමයි. වත්මන් අන්තර්ජාලා භාවිතාකරුවන් අතර ඇති ඉතා ජනප්‍රිය රසාස්වාදන අංගයක් ලෙසට හැඳින් විය හැකි මෙම ගී කවර, අපේ රටට ආවේ කවදා කෙලෙස කවර ආකාරයකින්ද යන්න පිළිබඳව විදිමත් සොයා බැලීමක් මා දන්නා තරමින් නම් මෙතෙක් සිදු කර නැත. නමුත්,  කවර් කලාව ශ්‍රී ලංකාවේ  ජනප්‍රිය වන්නට ඇත්තේ, චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වීමත් සමඟ ය යයි අනුමාන කල හැක.
කැමරා, අන්තර්ජාල වැනි බොහෝ පහසුකම් බහුතර ජනතාවට, බැංකු නොකඩා පාවිච්චි කරන්නට  අවස්තාව ලැබුනේ චීන ජංගම දුරකථන මගිනි. ඒවායේ ගුණාත්මක බව කෙසේවෙතත්, අති බහුතරයකට අත පොවන මානයේ වූ මිලගණන් එයට හේතු විය.නාන කාමරයේ දොර වසාගනිමත් සමඟ ඇතිවන  පුද්ගලිකත්ව හැඟීම සහ නිදහස සමඟ බොහෝ දෙනා  bathroom singers ලා  බවට පත් වේ. අමරදේවයන්ගේ සිට ශකිරා සක්වා ඕනෑම අයෙකුගේ ගීතයක් සමුද්‍ර ඝෝෂ විරිතෙන්  එලියට දැමීම අභිබවා ගොස්, සංගීතය ගැන හැඟීමක පිහිටන  ගැන හැඟීමක පිහිටන ඇතැමෙකු මේ කැමරා සහ අන්තර්ජාල පහසුකම ඔස්සේ නාන කාමර දොරෙන් පිටතට ත් ගායකයා ගෙන ඒමට සමත් වූ හ.

කවර අප රට තුළ රැල්ලක් වන්නේ තාක්ෂණික භාවිතය සුලභ වීම මෙන් ම තවත් මානුෂීය කාරණා මත පදනම් ව ය.
Original ගීත බොහොමයක් ඇත්තේ, ගායකයෙකු වීමට ආශාව ඇති  මධ්‍යම පාන්තික තරුණ පරපුරේ  හීනවලට තරමක් දුරිනි .ඒ ප්‍රාග්ධනය සපයාගැනීමේ අපහසුව මතය.ඒ හේතුවෙන් ගායකයෙක් වීමේ පහසුම මග ලෙසට කවර  තෝරාගැනීමට  බොහොමයක් තරුණ පිරිස් පෙළඹෙති.   අනෙක් කාරණය වන්නේ , ශබ්ධාගාරයක නියමිත තත්ත්ව වලට අනුකුලව කරපු සිංදුවකට එහා ගිය  homely ගතියක් හෙවත් සාමාන්‍ය ජනතාව අතර මුසු වීමේ හැඟීමක් ඇති කිරීමේ හැකියාව කවරවල තිබීම ය. කොළඹ මිදුල් කඩක වවන ගෝවා ගෙඩිය, නුවර එළියේ ගෝව ගෙඩිය තරම් සරුවට නො වැඩුනත්, නිවෙස් හිමියාට  එය නුවර එළියේ වැවී කඩ පොළකින් මිලටගත් ගෝවා ගෙඩියට වඩා වැඩි වටිනා කමක් දැනෙන “මගේ කම සහ අපේ කම” ම කවරවල ඇති ඒ ” මගේ කමට  සහ අපේ කමට” සමාන ය.

එලෙසින් ම විනෝද චාරිකාවක,  මධු  පාන සාදයක ගැයෙන ගීත බොහෝ විට  සමීප වෙන්නේ originalවලට වඩා මේ කියන කවරවලට ය. ඒ මතකයන් සමඟ බැඳෙන හැඟීම් යලි යලිත් පුනරාවර්ජනය කරන බැවින් ම කවර සාමාන්‍ය සමාජයේ පැතිර යාමට වක්‍රාකාර හේතුවක් වූවා වන්නටද  පුළුවන. එලෙසින් ම ලැබෙන ජනප්‍රියත්වය නිසා ම,  හොඳ කැමරා, නියම ශබ්ද උපකරණ ආදිය උපයෝගී කරගනිමින්, වැඩි වෙහෙසක් යොදා නිර්මාණය කළ ගුණාත්මක කවර බිහිවන්නට දිරි ලැබෙනවා වන්නටද පුළුවන.

බහුතරයක් ශ්‍රී ලාංකික කවරවලට ඇති එක් සාධාරණ චෝදනාවක් වන්නේ ගුණාත්මක භාවය අඩු වීම නිසා,  “නිසි රස ” නැසී යාම ය.අපේ රටේ අති දක්ෂ බොහොමයක් කවර් කරුවන් ගේ ලොකුම උපකරණ  i-දුරකථනය සහ සංගීත භාණ්ඩ එකකට හෝ දෙකකට සිමා වී තිබේ. ඒ නිසා, ඔවුන්ගේ දක්ෂතාවයේ තරමට ම රසයක් අවසන් ප්‍රතිපලය තුල නැති වෙන්නට ඇති ඉඩකඩ වැඩි ය. ඉතින් නැවතත් අර මධ්‍යම පාන්තික හීනවලට දුර ඇති ප්‍රාග්ධන කතාවම ය. නමුත් මෑත කාලීන තාක්ෂණ  විපර්යාසත් සමඟ දැන් දැන්, පෙරට වඩා හොඳ දේශීය කවර  බොහොමයක්  අසන්නට ලැබේ.

පිට රටවල කවරයක් සඳහා original ගීතයකට දරන  වෙහෙසම දැරෙන අවස්ථා ස්ලභ ය.  ඒ නිසා  ඇතැම්විට original ගීත තරමට ම ඒ කවර  ජනප්‍රිය වේ. ඒ නිසා ම සමහර කවර , original ගීත අභිබවා යාමටද සමත් වේ.

අති බහුල ජනප්‍රියත්වය නිසා ම, ලංකාවේ සයිබර් සාහිත්‍යටත් cover ගීත කලාවටත් දැන් අත් වී ඇත්තේ සුපිරි තරු තරඟවලට අත් වූ  ඉරණම යි. නිර්මාණකරුවන් ට සාපේක්ෂව ප්‍රේක්ෂක ප්‍රමාණයේ ඇති අඩු වීමයි. එවැනි විටෙක බහුලවම දැකිය හැකි තත්වය වන්නේ, ගුණාත්මක බව අභිබවා ප්‍රමාණය ඉහළ යාමයි. ඒ නිසා කලක් යද්දී “ඉල්ලුම “ඇති යයි සිතන දේ සෙවුම් යන්ත්‍රවල මුලටම පැමිණේ. ඒ නිසා, ඇතැම් ගුණාත්මක කවර කවර අතක සැඟවී ඇත්දැයි සොයාගැනීම කවරාකාරයකින්වත් කල නො හැකි තත්වයට පත් වේ.

කවර යනු මහ කලාවකින් බිහි වූ අතුරු කලාවකි. . කවර නිර්මාණකරුවන්ට ද ඉදිරියට ඒම සඳහා ඇති-හැකි අයගේ අත-හිත ඕනෑ කර තිබේ. ඒ ගායකයන් වී,  ගීත ලොවේ පොත පෙරලන්නට පමණක් ම නොවේ. ගී පොතේ පිට කවර ද නො නැසී පවත්වාගෙන යාමට ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )