-ප්‍රේම-

index

2015-05-05
මහත්මයාණෙනි,

ඔබ විසින් රිවි දින පුවත් පතෙහි කොටස් වශයෙන් පල කරන “ප්‍රේම” නමැති නව කතාවේ 2015-05-03 දින පල වූ කොටසෙහි සඳහන් වචනයක් සම්බන්ධවයි.  එහි කතා නායකයා වූ සුචිත සමන්පාය හට පුද්ගලයෙකු අවජාතකයා යනුවෙන් බැනවදින කොටසක් එදින එහි පල වුණා. එය කියවූ මගේ දියණිය අවජාතකයා යනුවෙන් හඳුන්වන්නේ කාටදැයි මගෙන් ඇසීමෙන් මා දැඩි අපහසුතාවයට පත්වුණා. එ නිසා මින් මතුවට මේ කතාවේ මෙවැනි යෙදුම් පල නො කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙයට අපහසුතාවයට පත් මව,

රම්‍යා එස්.


2015-05-11

මහත්මයාණෙනි,

ඔබ ලියන “ප්‍රේම” නවකතාව මගේ අට හැවිරිදි දියණියත් මහත් කැමැත්තෙන් කියවනවා. එහි පසු ගිය සතියේ පළවූ කොටසේ, කතා නායක සුචිත සමන්පාය ඔහුගේ කාර්යාලයේ ලඝු ලේඛිකාව සමඟ අනියම් ප්‍රේමයක් පවත්වාගෙන යමින්, ඇයත් සමඟ කාර්යාල වේලාවෙන් පසුව චිත්‍රපටයක් නැරඹීමට යන අයුරු දැක්වුණා. විවාහකයෙකු සහ පියෙකු වන සුචිත සමන්පාය ගේ ඒ හැසිරීම නිවැරදි නැහැ නේද? ඒ නිසා මින් මත්තට මෙවැනි සමාජ විරෝධී දෑ නොලියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙයට අපහසුතාවයට පත්,

රම්‍යා එස්.


2015-05-28

මහත්මයාණෙනි,

ඔබ මගේ කිසිදු ඉල්ලීමකට කන් නොදෙන බවයි පෙනී යන්නේ. සුචිත සමන්පාය පසුගිය සතියෙත් ඔහුගේ අනියම් පෙම්වතිය සමඟ බොරලැස්ගමුව වැවේ බෝට්ටු සවාරියක් ගියා. මෙය ඉතා කලකිරවනසුළුයි. කරුණාකර මේ කතාව වෙනස් කරන්න. සුචිත සමන්පාය ට තම වරද අවබෝධ වී බිරිඳගෙන් සමාව ගන්නා කොටසක් කතාවට ඇතුලත් කරන්න.

මෙයට කලකිරීමට පත්
රම්‍යා එස්.


2015-06-15
මහත්මයාණෙනි,

සුචිත සමන්පාය ගේ දැන් හැසිරීම අන්තිම දරුණුයි. ඔහු අනියම් පෙම්වතියගේ කීමට සිය පවුලට නොසලකා හරින්නත් පටන් අරන්. මෙවැනි අනාදර්ශමත් කතා රිවි දින වැනි ජාතික පුවත්පතක පල කිරීමෙන් අපේ දරුවන් ට ඔබ ලබාදෙන ආදර්ශය කුමක්ද? කරුණාකර මේ කතාවේ ඉදිරිය වෙනස් කරන්න.

මෙයට පීඩාවට පත් රම්‍යා එස්.


2015-06-25
මහත්මයාණෙනි,

ඔබේ අනාදර්ශමත් කතාව නිසා මේ වනවිට අපි දැඩි පීඩාවට පත්වෙලා. සුචිත සමන්පාය ඊයේ ඔහුගේ බිරිඳට පහර දුන්නේ අට හැවිරිදි දියණිය ඉදිරිපිටදී මයි. දිගින් දිගටම මෙසේ සිදුවුනහොත් බිරිඳ සුචිත සමන්පායගෙන් දික්කසාද වන දවස වැඩි ඈතක නොවෙයි.

මෙයට අගතියට පත්,

රම්‍යා එස්.


23/2 බී,

සමන්පාය,

සව්සිරි මාවත,

පොල්ගස් ඕවිට,

පිළියන්දල

2015-06-30

ආර්. සහබන්දු මහතා

රිවි දින ජාතික පුවත්පත,

විමල පුවත්පත් සමාගම,

මරදාන.

           ඔබ විසින් ලියා, රිවි දින ජාතික පුවත්පතේ කොටස් වශයෙන් පළ කරන “ප්‍රේම” නවකතාව සම්බන්ධයෙනුයි.

මහත්මයාණෙනි,

සුචිත සමන්පාය වන මම රජයේ සංස්ථාවක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් මි. මගේ බිරිඳ රම්‍යා සමන්පාය වන අතර අපට අට හැවිරිදි දියණියක් සිටි.

2014-11-08 සිට රිවි දින පුවත්පතට ඔබ සති පතා ලියන ප්‍රේම මගේ බිරිඳ මහත් අභිරුචියෙන් කියවන අතර, එහි සිටින සුචිත සමන්පාය සහ ඔහුගේ බිරිඳ අතර කතාවේ මුල් කොටස් වල සිදුවන ප්‍රේමනීය ගනුදෙනු අපේ විවාහ ජිවිතයේ මුල් යුගයේ ඇතැම් සිදුවීම් වලට යම්තාක් දුරට සමාන වීම ඇගේ මහත් අමන්දානන්දයට හේතුවී තිබුණි. අධික කාර්යබහුලත්වය නිසා පුවත්පත්වල සිරස්තල හැරුණු කොට වෙනත් කිසිවක් කියවීමට ඉඩ නො ලැබෙන මට ඇය එකී කොටස් කියවූයේ එය අපේ කතාව බව ද පවසමිනි.

එහෙත් ඔබේ නවකතාවේ සුචිත, ඔහුගේ කාර්යාලයේ ලඝු ලේඛිකාවක් සමඟ අනියම් ඇසුරක් පැවැතිවීමට පටන්ගැනීමත් සමඟ රම්‍යා මා කෙරෙහි දැක්වූ ආකල්පයද වෙනස් වී තිබේ. මෑතකදී රැකියාවේ ලද උසස්වීමත් සමඟ අමතර රාජකාරි පැවරෙන හෙයින් කාර්යාල වේලාවෙන් පසු කාර්යාලයේ රැඳී සිටීමට මට සිදුවී තිබේ. ඔබේ නව කතාව අපේ කතාව ලෙස ට හදවතින් අදහන මගේ රම්‍යා සිතන්නේ, මා රැකියාවෙන් පමා වී පැමිණෙන්නේ මටද අනියම් සම්බන්ධයක් ඇති නිසා බවයි. අනියම් සම්බන්ධයක් අරඹා ඇති මා පවුලේ වගකීම් පහරහරින බවටද බිරිඳ මේ වනවිට මට චෝදනා කිරීම අරඹා තිබේ.

මහත්මයාණෙනි, පසුගිය මැතිවරණ සමයේ අමතර රාජකාරි පැවරුණු හෙයින් මා රැකියාව අවසන්වී නිවෙසට පැමිණියේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ.

මා එනතෙක් පෙර මෙන් මග බලා නොසිටි රම්‍යා, නිවෙසට ඇතුළු වූ මාහට කඩා පැන්නේ මම අනියම් පෙම්වතිය සමඟ චිත්‍රපටයක් නැරඹීමට හෝ බොරලැස්ගමුව වැවේ බෝට්ටු සවාරියක් ගිය බවට චෝදනා කරමින්.

ඇගේ සැකය නිසා අප පවුලේ දිනපතාම පාහේ දැන් අඩදබර සිදුවනවා. කෝපය උහුලාගත නො හැකි වූ එක අවස්ථාවක මම අයට කම්මුල් පහරක් එල්ලකළ බව පවසන්නේ හද පිරි පසුතැවීමෙන්.
මෙම අසහනකාරී වාතාවරණයට තිත තැබීමේ අරමුණින් රිවි දින පුවත්පත මිලට ගනිමා මා නතර කළත් මගේ බිරිඳ එය අසල්වැසි නිවෙසකින් ඉල්ලාගෙන කියවීමට පෙළඹී සිටිනවා.

මේ ආකාරය දිගටම පැවතුනහොත් අපගේ දස වසරක විවාහ ජීවිතය දික්කසාදයෙන් අවසන් කිරීමට සිදුවනු ඇතැයි සාධාරණ බියක් මා තුල ඇති වී තිබෙනවා.

ඒ නිසා ඔබේ මන්ක්කල්පිත චරිත සහිත නව කතාවේ ඉදිරිය සාධාරණ අන්දමින් වෙනස්කර, අපගේ පවුල් ජිවිතයේ සැබෑවටම ඇතිවී ඇති අසහනකාරී තත්වය අවසන් කර දෙන ලෙසට කරන අසාධාරණ ඉල්ලීම පිලිබඳ ඔබ කෝප නො වනු ඇත යන්න මගේ විශ්වාසයයි.

ඔබේ “ප්‍රේම” නවකතාවේ  කතා නායකයා  සුචිත සමන්පාය වීම සහ මගේ සැබෑ නම සුචිත සමන්පාය වීම සම්පුර්ණයෙන් ම අහම්බයක් බව මම පිලිගනිමි.

මෙයට විශ්වාසී,

සුචිත රන්සිරිමල් සමන්පාය.

ප.ලි :- මගේ බිරිඳ මට අපහාස කිරීම සඳහා මගේ අට හැවිරිදි දියණියද යොදාගන්න තත්වයක් ඇති වී ඇතිබව සඳහන් කරන්නේ හද පිරි වේදනාවෙනි.පසුගිය කාලයේ ඇය එක වතාවකට වඩා මගේ දියණිය ලවා මට “අවජාතකයා ” ලෙසට අපහාස කරවීමට පෙළඹුනා.


ආර්. සහබන්දු,

රිවි දින ජාතික පුවත්පත,

විමල පුවත්පත් සමාගම,

මරදාන.

2015- 07-04

සුචිත රන්සිරිමල් සමන්පාය.

23/2 බී,

සමන්පාය,

සව්සිරි මාවත,

පොල්ගස් ඕවිට,

පිළියන්දල.

                      ඔබ විසින් මට එවන ලද 2015-06-30 දින දාතම සහිත ලිපිය පිළිබඳවයි.

මහත්මයාණෙනි,

ඔබේ ලිපිය ලැබීමෙන් මම මහත් විශ්මයටත් කනගාටුවටත් පත්වුණෙමි. ඒ විශ්මයත් කණගාටුවත් යම් තරමක කෝපයකට හැරුණු බව මා අවංකව ම ඔබට  කිව යුතුයි. සැබෑ ලෝකයේ සිටින චරිත සහ සිදුවීම් ඇතැම්විට නව කතාවලත් ඒ ආකාරයෙන් ම තිබිය හැකි වුවත් ඒ සියල්ලම සත්‍ය සිදුවීම් ලෙස සලකා මෙලෙස හැසිරෙන පුද්ගලයන් සිටීම විශ්මයට හේතු වූ අතර, ඔබ එවැනි තත්වයක් යටතේ මුහුණ පා සිටින අසීරු තත්වය මට අවංකවම  ඔබ පිළිබඳව කණගාටුවක් ඉපදවීමට හේතු විය.

එහෙත් මගේ කෝපයට හේතු වූයේ ඔබ සහ ඇය විසින් ඔබේ පුද්ගලික ගලපා ගැනීම් සහ නො ගැලපීම් මත ඔබ විසින් ම ඇති කරගත් තත්වයක මා වරදකරු බවට පත් කොට තිබීමයි. නවකතා ලියන්නෙකු ලෙස ලිවිම මගේ අයිතියයි.මගේ මනසේ ඉපදෙන චරිත කඩදාසි මත පන ගැන්වීමට මට ලොව සිටින සියල්ලන්ගෙන් ම අවසර ලබාගැනීමට සිදු වුවහොත් කිසි දිනෙක මට කතාවක් ලියා හමාර කල නොහැකි වනු ඇත. එමෙන් ම “ප්‍රේම” සාපයක් කර නොගෙන රස විඳින  සුචිත සමන්පායලා බොහොමයක් රිවි දින පාඨකයන් අතර සිටිනු ඇත යන්න මගේ විශ්වාසයයි.

මා විසින් කිරීමට බැඳී නැතත්, ඔබේ අට හැවිරිදි දියණිය පිලිබඳ සලකා බලා මට කළහැකි උපරිම සාධාරණය ලෙස නව කතාවේ ඉදිරි වෙනස් කිරීමට මම එකඟ වෙමි. එහෙත් ඒ එකඟ වීම මා කරන්නේ මෙතෙක් “ප්‍රේම” සමඟ සිටි පාඨකයන් කිසිවෙකුටත් අසාධාරණයක් නොවන පරිද්දෙනි.”ප්‍රේම” දැන් අවසාන වීමට ළඟ ය. එ නිසා පහත අවසානයන්ගෙන් කැමති අවසානයක් තෝරා දන්වා එවන මෙන් ඔබේ බිරිඳට පවසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

යෝජිත අවසානයන් මෙසේ ය.

1. සුචිත සමන්පාය ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ පාසල් පෙම්වතිය වූ ලඝු ලේඛිකාව සමඟ වෙනම ජිවිතයක් අරඹයි. සමන්පායගේ දරුවාගේ භාරකාරීත්වය බිරිඳට ලැබේ. ඇය දරුවා සමඟ ජිවිතයට මුහුණ දීමට ඉටා ගනී.

2. බිරිඳ උපේක්ෂා සහගතව ජිවත්වන අතර සුචිත දික්කසාද නොවී සිය පැරණි ප්‍රේමය පවත්වාගෙන යයි.

3. සුචිත සහ ඔහුගේ අනියම් පෙම්වතිය රිය අනතුරකින් මිය යන අතර බිරිඳ ඔහු වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුපෙන් සුවෙන් ජිවත් වේ.
මෙයට වඩා ප්‍රශස්ත අවසානයක් මට යෝජනා කළ නොහැකි අතර කතාව දැන් ගලා යන ආකාරය අනුව සුචිත සමන්පාය බිරිඳ ඉදිරියේ වැඳ වැටී සමාව ඉල්ලීමක් ගැන කොහෙත් ම එකඟ විය නොහැක යන්න මගේ හැඟීමයි.

මේ සම්භන්දව මෙයටත් වඩා ඔබට උපකාර කිරීමට නො හැකි වීම ගැන කණගාටු වන අතර, ඔබ ඔබේ ගැටළු යථා කාලයේ විසඳාගනු ඇතිබවට විශ්වාස කරමි.

මෙයට,

ආර්. සහබන්ධු,

රිවි දින ජාතික පුවත්පත


23/2 බී,

සමන්පාය,

සව්සිරි මාවත,

පොල්ගස් ඕවිට,

පිළියන්දල

2015-06-30

ආර්. සහබන්දු මහතා

රිවි දින ජාතික පුවත්පත,

විමල පුවත්පත් සමාගම,

මරදාන.

                     ඔබ විසින් “ප්‍රේම” උදෙසා යෝජනා කළ අවසානයන් පිළිබඳවයි.

මහත්මයාණෙනි,

මගේ බිරිඳ වන රම්‍යා ඔබේ ලිපිය කිහිප  වරක් ම කියවූ අතර  ඔබ විසින් තෙවනියට යෝජනා කල අවසානය හෙවත් ” සුචිත සහ ඔහුගේ අනියම් පෙම්වතිය රිය අනතුරකින් මිය යන අතර බිරිඳ ඔහු වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුපෙන් සුවෙන් ජිවත් වේ.” යන්නට රම්‍යා අවසානයේ එකඟ වුවා ය.

ඒ අනුව ඇය අපේක්ෂිත අවසානය ලැබී මේ ගැටලුව විසඳි යාම පිළිබඳව දැන් අපි බලාපොරොත්තුවෙන් පසුවන්නෙමු.

මේ දිනවල අසල්වැසියන්ගේ ආධාර සහ උපදෙස් පිට, සිතා මතා රිය අනතුරක් කළ හැකි ක්‍රමවේද පිලිබඳ ඇය සොයා බලමින් සිටින බවට මට යම් යම් ඉඟි පල වී තිබේ. (බ්‍රේක් පැඩලය ක්‍රියාත්මක නොවන ලෙස  වතුර බෝතලයක් ඒ යට සිර වී තිබුනේ අහම්බයෙන් බව සිතීමට මම උත්සාහ කළෙමි.) රිය අනතුරකින් සැබෑ ලෝකයේ සුචිත සමඟ මිය යාමට ලඝු ලේඛිකා පෙම්වතියක් නොවීම පමණක් මගේ පුද්ගලික කණගාටුවට හේතු වී තිබේ.

කෙසේ නමුත් මේ ගැටලුව විසඳීම කෙරෙහි ඔබ දැක්වූ කාරුණික භාවය අප දෙදෙනාම ඉතා අගය කොට සලකන අතර, ඉදිරියේදී තව තවත් සාර්ථක කතා ලිවීමට ඔබට ශක්තිය ලැබේවායි ඉත සිතින් ම පතමු. මෙම ගැටලුව විසඳි ගිය බවට ඉතා නුදුරේදීම ඔබේ ජාතික පුවත් පතේ පලවන පුවතකින් ඔබට දැනගැනීමට හැකිවනු ඇති බවද මම විශ්වාස කරමි.

මෙයට විශ්වාසී,

සුචිත රන්සිරිමල් සමන්පාය.

40 thoughts on “-ප්‍රේම-

  1. “හුටා”
    මේ කතාව කියවලා අන්තිමට මගේ හිතට ආපු වචනේ. මේක නම් මාරු. ලස්සනට ආරම්භයේදී කතාව විවෘත කරලා අවසානයේදී කිසිම කොටසක් අතනොහැරෙන විදියට කතාව ආවෘත කරලා. ලස්සනයි.
    ස්තුතියි ලස්සන කතාවක් කියවන්න දුන්නට.

    Liked by 1 person

  2. කව්ද යකෝ මේ ලියන්නා.. අනර්ඝම අනර්ඝයි.. මේ කතාව තව කොයි තරං ඇදගෙන යන්න හැකිද??? කියල වැඩක් නෑ. මගේ මවිල් කෙලින් උනා… ලීෂ් තමා පාර කිව්වේ.. ජය වේවා. නිතර නිතර මෙවැනි සංකල්ප ඔබට පහල වේවා පහල වේවා. එයින් අපගේ ලෝකය එළිය වේවා..

    කැමතියි

  3. පියාඹන්නෝ බ්ලොග් රචකයා වෙත,

    මා රිවි දින පුවත්පතේ සේවය කළ සමයේ පුවත්පත සඳහා කොටස් වශයෙන් රචනා කළ නවකතාවක් ගැන පාඨකයන් දෙදෙනෙකු හා මා අතර හුවමාරු වූ ලිපි කිහිපයක් මෙලෙස අනවසරයෙන් ඔබේ බ්ලොගයේ පල කිරීම පිළිබඳ මගේ විරෝධය මෙයින් පළ කරමි.

    මෙයට විශ්වාසී,

    රසිකොලොජිස්ට්

    Liked by 1 person

    • හිතවත් මහත්මයාණෙනි, එසේනම් මගේ මීළඟ කතාව, පුවත් පත් කතුවරයෙකුගේ නිවසේ සේවය කරමින් , කතුවරයාට ලැබෙන ලියුම් කෙටි කතාකාරියකට විකුණන මෙහෙකාරියක් පිළිබඳව වීමේ ඉඩක් පවතී. grin emoticon

      p.s :- මේක එහෙම පිටින් ම මගේ දාඩිය මහන්සියෙන් හම්බකළ වචන.. හරිය? (ලියන්නිය )

      Liked by 1 person

  4. අදයි මේ පැත්තට අාවේ…. අැත්තට ම පාර හොයා ගත්තේ අපේ බ්ලොගයට අාවාමයි… මේ බ්ලොගය අපේ සින්ඩියටත් දා ගත්තා….. ගිහින් බලන්න…

    http://kurutugegeepawra1.blogspot.com/

    දිගට ම ලියන්න… ඒකයි වැදගත්.. අපිත් දිගට ම ඒන්නම්.. අනික් සින්ඩි වලටත් යන්න.. ඒක අනික් අයටත් මේ පැත්තට ඒන්න පාර පෙන්නාවි…. ජයවේවා

    Liked by 1 person

  5. අන්තර්ජාලය සැරිසරමින් නිතරම “බ්ලොග්” කරන මාගේ මනසට වැටහුනේ ශ්‍රි ලාංකික ලේඛකයෙකු ලෙස අන්තර්ජාලයෙහි ප්‍රසිද්ධවීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් ඉතාම අල්පමාත්ර බවය. උදාහරණයක් ලෙස, ශ්‍රි ලාංකික “බ්ලොග්” සමාජය සරු වුවද, යම් පාඨකයෙකුට ලාංකික ලිය කියවිලි සොයා ගැනීමට නම්, ඔවුන්ට මේ සියලුම “බ්ලොග්ස්” එකින් එකට සෙවීමට සිදු වන අතර, එවිටද ඇතැම් ප්‍රමුඛ රචකයන් හමු නොවේ.

    මේ නිසා, ශ්‍රි ලාංකික රචකයින් දිරිගැන්වීම සඳහා පහසුවෙන් තමන්ගේ ලියවිලි නිර්මාණය කරමින් ඒවා බෙදා හදා ගැනීමට, අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීමේ උවමනාව මට ඇත. මෙතුලින් ලාංකික ලිවීමේ කුසලතාව පෝෂණය කිරීමට සහ එළිදැක්වීමට අමතරව, “කමෙන්ට්” කිරීම, “ෆොලෝ” කිරීම, තරඟ පැවැත්වීම, රචකයින්ට ඔවුන්ගේ ලියවිලි විකිණීමට හැකිවීම වැනි අතිරේක අංග ගොඩනැගීමටද මම බලාපොරොත්තු වෙමි.

    මෙම කෙටි සමීක්ෂණය පිරවීමට මොහොතක් ගැනීමෙන්, මට මෙය ගොඩනැගීමට අවශ්‍ය සහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

    Sri Lanka Writers Website

    ස්තුති

    කැමතියි

  6. ආඛ්‍යානයේ අපූර්වත්වය නිසා විහිස්ටත්වයට පත් ව ඇති නිර්මාණයකි.. ලාංකික සිංහල කෙටිකතාවේ ඒලාරික වියමන් අතර මෙම නිර්මාණය පාඨකයා තිලස්සන සුලුය. දිගින් දිගට ම මෙවැනි නව අත්හදා බැලීම් තුලින් සංහල කෙටිකතාව ඉහළට ඔසවා තැබීමට දායකවන්නැයි සුහද සිතින් ඉල්ලමි.. ජය ම වේ වා..!!

    Liked by 1 person

  7. ගොඩාක් දෙනෙක්ට වර්තමානයේ පෞද්ගලික බලපාන කාරණයක් වෙන සැකය හා අනිත් අයගේ ජීවිත ත් එක්ක තමන්ගේ ජීවීත සසදන්න ගිහින් වෙච්ච අවුලක් නේ මේක😹 ඔයාගේ කතා ශෛලය හරීම රසවත්, නිකන්ම කතාව ජීවත් කරනවා .. දිගටම ලියන්න

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න