පිළිස්සුම් රෝගියා

18051779_10202882651222892_37277007_n

 

වේලාව සවස හතරයි තිහට ආසන්න වී තිබුණි. දහවලෙහි වූ අධික උණුසුම ඒවනවිටත් පහව ගොස් තිබුණේ නැත.

උණුසුමත් තුනේ බෙහෙත් වේලේ බෙහෙත් මතත් නිසා බොහෝ රෝගීන් නින්දට ගොස් සිටි හෙයින් පහේ වාට්ටුවේ වූයේ දැඩි නිහඬබවකි.

ගිලන් ඇඳ මත වාඩි වී, නවාගත් දණ මත තබාගත් අතින් යුතුව පිළිස්සුම් රෝගියා බලා සිටියේ ය. සැන්දෑ හිරු රැසින් එලිය වූ කොළ පැහැ අඩ බිත්ති සහ ඇඟිලි සලකුණු කිලිටි ලකුණෙන් යුතු සුදු කුලුනුත් කොරිඩෝරයට එහායින් වූ කණ්ඩිය කැපූ තැනත්, එහි වවා තිබුණු රෝස පඳුරුත් , ඊට පහළින් වූ පිට්ටනියත් පසුකර ඈත දුරින් පෙනෙන වියලි කඳු දක්වා ඔහුගේ ඒ බැල්ම විහිදී තිබුණි.

ඔහුට ගෙදර සිහි විය. “අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඔහු පිළිස්සුනු හැටි සිහි කළේ ය. ආප්ප තාච්චිය රත් කළ භූමිතෙල් ලිපේ ගින්දර මුහුණට විද්ද ආකාරයත්, ඇස් නිලංකාර වූ හැටි සහ දැවිල්ලත්, පුළුටු ගඳත් ඔහුට සිහි විය. “චෝව්! චෝව්! චෝව්! …” යනුවෙන් දෙමළ කඩේ මුදලාලි කෑගැසූ අයුරුත්, ආප්ප බානා තෙක් බංකුවේ වාඩි වී බලා සිටි පිරිසගේ බිය පත් මුහුණුත් ඔහුගේ සිහියට ආවේ ය.

වේදනාව නිසා ඇස් කිටි කිටියේ පියව යන විට, මුහුණට එබුණු රවුල් කාරයාගේ මුහුණේ ඉන්නෙකු විය.

කන් අගුල් වට්ටන “සෝ” හඬකින් අවට කලබලය යටපත් වනු ඔහුට ඇසිනි. තමා ක්ලාන්ත වීමට ගියේ මස් කරවුණු පුළුටු ගඳ නිසා මිස වේදනාව නිසා නොවන බව ඔහුට සිතුණි.
මස් පිළිස්සෙන පුළුටු ගඳ, ඒ මොහොතේ දැනුණු අයුරින් ම ඔහුට සිහි විය. ඔහුට බඩවැල් නටන්නාක් බඳු හැඟීමක් ඇති විය.

ඔහු එය අමතක කරන්නට උත්සාහ කළේ ය. එය සිහිවන හැම විටෙකම වාගේ මෙන්, මෙවෙලේත් ඔහුගේ අතැඟිලි තුඩු, තවමත් යන්තමට අමු තුවාල කබොල මත දැවටිණි. තමා ගේ මුහුණ දැන් කුමන අයුරින් පෙනෙනවා ඇත්දැයි ඔහු සිතුවේ ය.
පිලිස්සුණු සමේ රළුව අතට දැනෙත්දී ඔහු ගේ අතැඟිලි පිළිකුලෙන් පහතට වැටුණේ ය.
මුහුණ විරූපිව ඇති ඔහුට සිතුණි.

ඔහුගේ දෑස ට කණාටු රෝස ගස්වල පිපී තිබූ මල් හසු විය.

දැන් කිසිදු කෙල්ලක තමා හට කැමති නො වෙතියි ඔහු ට සිතිණි.

ඔහුට ඇගේ එළලු පැහැ මුහුණ සිහි විය. වාට්ටුවේ කෙළවර බිත්තියේ ඔරලෝසුව දෙස ඔහුට බැලුණේ ඉබේටම ය.

වෙලාව පහ ට පහ ලෙස දැක්වුණි.

“තව වෙලා තියෙනවා. ” ඔහු තමාටම කියා ගත්තේ ය. ඊළඟ බෙහෙත් වේල දෙන්නේ හයට ය.

තව ස්වල්ප වෙලාවකින්, නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙනු ඇත.

“ගෙදර තාම දන්නේ නෑ..” ඔහුට මතක් විය.

ඇය ඔහුගේ මුහුණට එබෙන ආකාරයත්, ඇගේ නැහැ පුඩු වලින් පිටවන හුස්ම, තම උඩු තොලේ වදින අයුරුත් ඔහු සිහි කළේ ය. ඇගේ මෘදු ඇඟිලි තුඩු, ඔහුගේ තුවාල කබොල සීරුවට අල්ලා බෙහෙත් ගල්වන ආකාරයේ ඇත්තේ ද, වෙන රෝගීන්ට නො දක්වන දයාර්ද බවකැයි ඔහුට සිතී තිබුණි.බෙහෙත් ගලවන ගමන් ඇය රිදෙනවා දැයි අසා නිහඬ වන්නේ “අනේ.. රිදෙනවාද?.. මම හෙමින් බෙහෙත් ගානනම්..” යයි අනෙක් රෝගීන් ඉන්න තැන කීමට බැරි නිසා යයි ඔහු සිතුවේ ය.

පැමිණි දෙවැනි දවසේ, ගෙදරට දන්වන්න ඕනෑ නේදැයි අසන ගමන්, “ඔයා බැඳලා ද?” යයි ඇය ඇසූ අයුරු ඔහු සිහි කළේ ය.

තව කාලයක් තමන්ට රෝහලේ රැඳී සිටීමට වනු ඇතැයි ඔහුට සිතුණි.

ඇගේ නම ඇසීමට ඔහු තුල වූ තදබල ආශාව මඩ ගැනුණේ ලජ්ජාවෙනි. මොකක්දෝ හීන මාන පසුබෑමකිනි.

වාට්ටුවේ ලෑලි පටි බාග දොර හැරුණි. අනෙකුත් නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙමින් සිටියහ.

“අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඇය නො සිටින්නට මේ දහ දවස ගෙවීම එතරම් ලේසි නො වන්නට තිබුණි.
—————————–

අන්තිමේදී ඊළඟ බෙහෙත් වේලත් රැගෙන ඇය පැමිණෙන විට, ඔහු සිටියේ සිටි ඉරියව්වෙන් ම කිරා වැටෙමිනි. හිරු තව දුරටත් බැස ගොස් තිබුණු අතර, වාට්ටුවේ කෙටි බිත්තිවල දිගා වී සිටි කළු හෙවණැලි, වාට්ටුවෙන් පිටත බිම පත බෑවෙමින් සිටියහ.
මලානික සුදු එළිය පතුරවමින්, වාට්ටුවේ ලයිට් පොලු දැල්වී තිබුණි.

වාට්ටුවේ නේවාසිකයන්ට පිලිවෙලින් බෙහෙත් වේල් දෙමින්, ඇය ඔහු ගේ අසලට පැමිණ බාහුවට අත තැබුවා ය. ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

“බය වුණාද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

ඔහු ද සිනාසුණේ ය. අවුල් වූ කෙස්ස, ඇඟිලි තුඩු පනා පහරකින් පිළිවෙල කරගැනීමට අත හිස කරා ගියේ ද ඉබේට ම ය.

ඇගේ රවුම් මුහුණත්, වටකුරු ගෙලත්, නෙරූ ලැමත් අඩ අඳුරේ පෙනුණේ පින්සලයකින් ඇන්දාක් මෙනි.

“බලමු තුවාලේ..” ඇය කීවේ ඔහුගේ මුහුණ නිකටින් අල්ලා විදුලි ආලෝකය දෙසට හරවමිනි.ඇගේ ඇඟිලි තුඩුවල ස්පර්ශය විඳිමින් ඔහු ඇස් පියා ගත්තේ ය.

“දැන් හොඳයි නේ… ” ඇය කීවේ තුවාල කබොල මත ආලේපයක් තවරමිනි. පුරුද්දට මෙන් වේදනාත්මක ඉරියව්වක් මවමින් ඔහුගේ මුහුණේ මස් පිඬු ඇකිලිණි.

“දැන් හොඳයි… ඔය බොරු කරන්නේ..රිදෙන්න විදියක් නෑ ” ඇය කීවේ ඇස් නටවමිනි. ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේ ය. ඇය පිටිපසින්, ඉහලින් වූ විදුලි එළිය දුන් අසීරුවෙන්, ඔහුගේ දෑස් පුංචි වී ය.

“මිසී….” ඔහු ඇය ඇමතුවේ ය. “මට කවද විතර ගෙදර යන්න පුළුවන් ද මිසී?”

“අපි දොස්තර මහත්තය ආවම අහමු..” ඇය කීවේ, ඉහ ඉද්දර කනප්පුව මත වූ වීදුරුවට වතුර පුරවමිනි. “ඇයි.. ගමේ ගෑනු ළමය බලන් ඉන්නවද?”

“අපෝ නෑ..” ඔහු වහා ම කීවේ ය. තමාට අහන්නට ඕනෑ වූයේ ඇගේ නම වුවත් කියවුනේ අනෙකක් බව කීමට ඔහුට ඕනෑ වීය.

බෙහෙත් පෙති දෙක ඇගේ අත්ලෙන් ඔහුගේ අත්ලටත්, ඉනික්බිති ඔහුගේ මුවටත් වශයෙන් මාරු විය.

“දොස්තර මහත්තය ආවම අහමු… කොහොමටත් තව දවසකට දෙහෙකට වඩා ඉන්න වෙන්නේ නෑ..” ඇය කීවේ ඊළඟ රෝගියා කරා යාමට සැරසෙමිනි.

“අනේ ඩිංගක් ඉන්ඩකෝ..” යනුවෙන් කීමට ඔහු තුල වූ උවමනාව ද සමඟින් බෙහෙත් පෙති උගුරෙන් පහලට බැස්සේ ය.

“මිසී… ”
ඇය ආපසු හැරී බැලුවා ය.

“මිසීගේ නම මොකක්ද?”

“මොකටද?… ” ඇය පෙරළා ඔහුගෙන් ඇසුවා ය.

“මිසී වගේමයි මගේ නංගිත්…” ඔහු කිවේ ය.

“නංගිගේ නම මොකක්ද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

“චාන්දනී..” ඔහු කටට ආවක් කිවේ ය.

“මගේ නම නාමලී ..”

තමන්ට නැගණියක් නැති බව ඉක්බිති ඔහු සිහි කළේ ය. සිටියද තමන් උපන් පරිසරය අනුව ඇය ට රංජනී, සුසිලා වැනි නමක් විනා චාන්දනී වැනි නමක් හිමි නො වෙතයි ඔහුට සිතුණි.

ඒ නම් ද ඒ පරිසරය තුල, රංජනියා, සුසිලෝ ආදී ලෙස තැලී පොඩිවී බෙලෙක්ක වී යනු ඇත.

ඇය ඊළඟ රෝගියා වෙත ට යනයුරුත්,අවසාන රෝගියා දක්වාම පිලිවෙලින් ගොස් වාට්ටුවෙන් නික්ම යන අයුරුත් ඔහු බලා සිටියේ ය.
—————————–

එදා රෑ ඔහුට වෙනදාටත් වඩා නිදි නැති රාත්‍රියක් විය.

කඩේ රේඩියෝවේ නිතර වාදනය වන මගේ නාමලී ගීතය ඔහු සිහිපත් කළේ ය.
නාමලී එක්ක සුරියවැව යන්නට ඕනෑ යයි ඔහුට සිතුණි.

නාමලී සහ ඔහු මනාල යුවලක් ලෙසට සුරියවැව යන අයුරු ඔහු සිතින් මවාගත්තේ ය.

ගමේ ගැහැනුන් ගේ රබන් සද්දය අසමින් දෙපස එරමිණියා ගාලින් යුතු දුවිලි වැකි ගුරු පාර දිගේ සෙමින් යන ගෙම්බා කාරයත්, ඒ පසුපස සහ දෙපස එල්ලී, කාර් රියත් සමඟම දිව යන ගමේ කොල්ලන් රෑනත් ඔහුට පෙනුණි.

ඔහු තමා සමීපයේ වාඩිගෙන සිටින, මනාලි වෙස් ගත් නාමලිගේ අතක් ගෙන තම කලවය මත තබාගත්තේ ය.
නාමලී ඔහු දෙස කෝල බැල්මක් හෙලුවා ය.

කාරය ගුරු පාර දිගේ දුහුවිල්ල කාගෙන ගොස් අන්දර වැට අසල නැවතුණි. සමර ගා ටකරම් හෙවිලිකළ නිවාස ඉදිරියේ ආයිත්තම් වූ නෑසියන් මෙන් ම ළමා සාරියකින් සැරසුණු බාලිකාවන් සිවු දෙනෙකු ද විය.
වසර කිහිපයකට පෙර පරලොව ගිය අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් ද අතින් ගෙන ඉදිරියෙන් ම සිටිණු ඔහු දුටුවේ ය.

රතිඥ්ඥා පුපුරන්නට විය.

කාරයේ රියදුරා වහාම රියෙන් බැස ඔහු සිටි පැත්තේ දොර විවර කළේ ය.

වෙඩි බෙහෙත් සුවඳ දසත පැතිරුණි.

ඔහුගේ කලවය මත වූ නාමලිගේ අත කෙමෙන් දැඩිවනු ඔහුට දැනුණි.

වෙඩි බෙහෙත් සුවඳ මස් පිළිස්සෙන පුළුටු ගඳකට හැරුණේ ය. මුහුණ පිළිස්සෙනු ඔහුට දැනුණි.

ඔහුගේ කලවය මත වූ නාමලීගේ අත ක්ෂණයකින් ඉවත්විය.

නාමලී කාරයේ දොර හැරගෙන ගුරැ පාර දිගේ ආපසු දුවන්නට වුවා ය. නාමලී නැවත්වීමට උත්සාහ කළ ඔහුට, කාරයේ බිම වැටී තිබූ මල් කළඹ පෑගුණි.

නෑසියන්ගේ කුහුලෙන් පිරුණු මුහුණුත්, වික්ෂිප්ත රියදුරාත් ඔහුගේ දෙනෙතට හසුවිය.
ක්ෂණයකින් රියදුරාගේ මුහුණ වෙනස්වී, දෙමළ කඩේ මුදලාලිගේ මුහුණ එතනින් මතුවිය.

ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

වාට්ටුවෙන් පිටත අරුණාලෝකය පැතිරෙමින් තිබුණි.
—————————–

වෛද්‍යවරයාගේ ඇඟිලිවලින් ඔසවන ලද නිකටින් යුතුව ඔහු පරීක්ෂණ කාමරයේ වහලය දෙස බලා උන්නේ ය.

ගිනි දවාලෙත් නිරිවස්ත්‍ර විදුලි බුබුලක් සුදු එළිය විහිදුවමින් දැල්වෙමින් තිබුණි. කොහොමත් හොඳින් එළිය වී තිබූ ඒ කාමරයට විදුලි බුබුලේ ආලෝකය නිනව් නැතිව තිබුණි.

“මේ බෙහෙත් දිගටම බොන්න… ටික කාලයක් යනකම් අව්වට නොයා ඉන්න එක තමයි හොඳ… ”

වෛද්‍යවරයා ඔහුගේ නිකට අතහැර තුන්ඩුවක යමක් කුරුටුගෑවේ ය.

“දැන් කෙළින්ම ගෙදර ද යන්නේ.. ?”

ගෙදර… ඔහුට ගෙදර සිහි විය. කාස රෝගයෙන් හූරණ ලද පපුවෙන් යුතු තාත්තාත්, කසාද නො බැඳී අක්කාත්, ටකරම් හිල් වූ වහලත්, මැරෙන්නට පන අදින ගොනාත් මතකයට ආවේ ය.

ඔහු සුස්මක් හෙලුවේය.

” ඔව් මහත්තය… දෙකේ බස් එකේ යනවා සූරියවැව… ”

“හ්ම්… මාසෙකින් එහෙ ඉස්පිරිතාලෙට පෙන්නන්න… ”

“මහත්තය… ” ඇසීමට තිබූ වැදගත් ම ප්‍රශ්නය ඊළඟට ඔහු ඇසුවේ ය.

“මේ කැළල දිගටම තියෙයි ද මහත්තය ?…”

වෛද්‍යවරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේය. හකුපාඩා මතුවූ මුහුණත්, අපිළිවෙලට වැවුණු කණාටු රැවුලත් වෛද්‍යවරයාගේ දෙනෙතට හසුවිය.

“කැළල …. හ්ම්… කැළල නේද ?” ඔහු රෝගියාගේ මුහුණේ වම්පස හරවා යළිත්, වියලී ගිය තුවාල කබොල්ල බැලුවේ ය. වම් ඇසත්, නාසයත් අසල සිට නිකට ආසන්නයට ම පැතිරී ගිය රැළි ගැසුණු සම් කැටිය දෙස බලා නළල රැළි කරගත්තේය.
“කැළල නේද ?… අපි බලමු..”

ඉනික්බිති “දැන් යන්න පුළුවන්…” කියන්නට මෙන් හිස සැලුවේය.

නාමලී ඈත කොනක වූ මේසයක් අසල වාඩිවී යමක් ලියමින් සිටිනු රෝගියාගේ දෑසට හසුවිය. තමා යන බව කියූ විට ඇයට දුක හිතෙනු ඇතැයි දුකක් මෙන් ම සතුටක් ද ඔහුගේ සිතේ ඇඳී ගියේ ය.

—————————–

රෝහලට ගෙන ආ ඇඳුම් කැඩුම් අතුරින් හොඳ යයි කිවිය හැකි සරමක් හා කහ ගැහුණු කහ පැහැති කමිසයක් ඇඳගත් රෝගියා, පහේ වාට්ටුව දිගේ ඇවිද ආවේ ය.

ඉතිරි රෙදි පෙරෙදි වූ ඉටි කවරය තිබුණේ කිහිල්ලේ ය.

වතුර ගා පිරිමැද පීරා පිළිවෙලක් කළ කෙස්ස දිලිසෙමින් තිබුණි.

නේවාසිකව සිටි එකොළොස් දවසට යන්තම් දැන හැඳිනිකම් ඇතිකරගත් දෙපස ඇඳන් දෙකේ සිටි රෝගීන් දෙදෙනාගෙන් තවමත් නේවාසිකව සිටි රෝගියාට ඔහු සමු දුන්නේ ය.

“ආයේ කෙළින් ම ගෙදර..? ”

ඔහු එසේ බව කියන්නට හිස වැනුවේය.

“යන්නම්… ”

“මදැයි ඔයින් ගියා.. ” වකුගඩු අමාරුකාරයා තමන් ගේ සැත්කම් කැළල අතගාමින් ඔහු දෙස බලා සිටියේ ය.

—————————–

පහේ වාට්ටුව කෙළවර, කෙටි බිත්තියකින් වෙන්කළ කාමරයේ මේසයක් අසල වාඩිවී, නාමලී යමක් ලියමින් හුන්නා ය. ඇය අසල සිටි අනෙක් තුරුණු හෙදිය බෙහෙත් ලේබල කියවමින් සිටියා ය.

ඔහු මොහොතක් ඔවුන් දෙස බලා සිටියේ ය. නිකට පපුවට බර කරන් සිටි ඇගේ මුහුණ වඩාත් රවුම් සහ මටසිළුටුවට ඔහුට පෙනුණි.
ඇගේ දෙතොල් තරව පියවුණු ගමන් විය.

ඔහු හදවතින් වැළඳගන්නට මෙන් ඇය දෙස බලා සිටියේ ය.

තව ටික දිනක් හෝ රෝහලේ ඉන්නට තිබුණා නම් යයි ඔහුට සිතුණි.

අනෙක් තුරුණු හෙදිය ඇය කරමින් සිටි ලේබල් කියවීම නවතා තමන් දෙස බලා සිටින බව ඔහුට වැටහුණේ ටික වෙලාවකට පසුවය.

බෙහෙත් ලේබල කියවීම නතර වූ හෙයින් නාමලී ද හිස ඔසවා බැලුවාය. කතා කිරීමට වචන සොයමින් ඔහු වියලු උගුර තෙමෙන්නට කෙළ තලියක් ගිල්ලේ ය.

“මිසී…”

“ඔව්…. ” ඇය ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලා සිටියා ය.

” මිසී…” තමන් යන බව කියන්නට වචන ගලපමින් ඔහු තව මොහොතක් තාවර වුණේ ය. ඇයට දුක නොහිතෙන සේ යන බව කියන්නට ඔහුට ඕනෑ විය.

“මගේ ටිකට් කැපුවා… මං යන්නයි කියල… ” ඔහු හැකි උපරිම ප්‍රසන්නතාවයට මුහුණ පත්වෙන සේ සිනාසුනේ ය. සිනාවත් සමඟ ඇදුණු කට කොන කෙලවර කැළල ද සිනාවත් සමඟ පසෙකට ඇද වෙනු ඔහුට දැනුණි.

“ආ…”ඇය සිනාසුනා ය .

“හොඳයි .. හොඳයි… එහෙනම් යන්නකෝ.. ආයේ පුච්චන් එහෙම මෙහෙ එනවා නෙමෙයි.. ”

ඔහු ගල් ගැසී බලා සිටියේ ය.ඔන්චිල්ලාවක ඉහළ ගොස් යළි පහළ එනවිට දැනෙන හිස් බව ඔහුගේ කුසට දැනුණි.

“හා හරි එහෙනම්… යන්න.. ”

ඇය යළිත් කීවා ය.

ජලය පිරි කලයක් බිම අතහැරි බිඳී විසිර යන්නාක් මෙන් ඔහු බිඳී විසිරී ගියේය.

අර අමුතු හිස්කම බඩේ සිට පපුවට පැතිරෙද්දී ඔහු ආපසු හැරුණේ ය.

—————————–

කොරිඩෝරයෙන් පිටත ගිනි අව්ව විසින් දවමින් තිබුණි.

කණාටු රෝස ගස් අතරින් පෙනෙන වාට්ටුව දෙස යළිත් ඔහු හැරී බැලුවේය.

නාමලීව එතනට පෙනුණේ නැත.

හිස තවන ගිනි අව්වෙන් මුවා වන්නට, ඇඳුම් කැඩුම් වූ ඉටි කවරය සහිත අතෙන් හිස මුවා කරගනිමින් ඔහු පිට්ටනිය හරහා ඇවිද ගියේ ය.

“එයාට තව ලෙඩෙක් හම්බවෙයි…. ” ඔහු නාමලී ගැන සිතුවේ ය. “නර්ස්ල ඉන්නේ ලෙඩ්ඩු බලන්න තමයි..”

“කැළල… ” ඔහු ඊළඟට සිතුවේ ය. “ගෙදර ගිහින් ගොඩ වෙදකම් කරල මකා ගන්නවා…”

Advertisements

5 thoughts on “පිළිස්සුම් රෝගියා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )