සාලිය – අශෝකමාලා සහ චාමර

shutterstock_67248076.jpg

සාලිය දහවල් වී නැගිට්ටේය. ඇල්වී ඇති තේ කෝප්පය හිස් කළේය. කුණු කෙළ පිටින්ම.
ඉන්පසු කාරා කෙළ ගැසුවේය. ජනේලයෙන් එළියට.
යන්තම් මුහුණ හේදුවේය. බූසි  කෙස් වතුර ගා පිළිවෙලක් කළේය. පාට පාට අල්ලි වැටුණු කමිසය ඇඳගත්තේය. ඩෙනිමක් සමඟ.
වළන් ඇර බැලුවේය. බත් බෙදාගත්තේය.
කටට දෙකට හිස් කළේය.
පිඟාන නොසෝදා අත සෝදා ගත්තේය.
බාල සෙන්ට් කුප්පිය ඔලුවේ හිට හලා ගත්තේය. සෙන්ට් ගා දෙ අත්ල එකිනෙක අතුල්ලා ගත්තේය. කරවල ගඳ යන්න.

වැඩට ගියේය. සල්ලි හොල්ලන්න.

රේස් බුකියේ දිනන පරදින මිනිස්සු දිහා බලා හිටියේය. තුණ්ඩු ඇහින්දේය. කොමිස් එකතු කළේය. දවල්ට දෙන බත් එක කෑවේය.
රේස් පත්තරයක නොහඳුනන අස්පයින් බල බල.
.
.
අශෝකමාලා මළ පාන්දර නැගිට්ටාය.  බත් ඉව්වාය. බත් බැඳගත්තාය. තේ හැදුවාය. බිම වැටී තිබූ අල්ලි සහිත කමිසය අහුලා ගත්තාය. නාසයට කිට්ටු කර මුහුණ ඇඹුල් කරගත්තාය. වමනය පෙඟෙන්නට බේසමට දැම්මාය. මුහුණ සොදාගත්තාය. පවුඩර් බිඳක් උලා, කොලොන් බිංදුවක් ද තවරාගත්තාය.
හිස පීරා ගත්තාය – වම කම්මුලේ ඇඟිලි පහර වැහෙන්න.
ජැක් කාරයන් ඉවසමින් බස් රියේ වැල්ලවත්තට ගියාය.
පඩි කපා ගත්තාය – විනාඩි පහළොවේ පරක්කුවට.

ගාමන්ට් එකේ නූල් කැපුවාය. බැණුම් ඇහුවාය.
කෑම පැය යෙහෙළියන් එක්ක කිචි කිචි ගගා බත් කෑවාය.
ආයෙත් හවසට.

.
.

චාමර නැගිට්ටේය. එතරම් දවල් වී නැත. පාන්දරත් නැත. පිළිකන්නට ගියේය. තැඹිලි ගහ මුලට මුත්‍රා කළේ ය. කොහිල වැවුණු ඇළ ඉවුර දිහා බලාගෙන.
දත් මැද්දේය. ඕනාවට එපාවට.

පරණ කමිසයම ඇන්දේ ය. ලෑලි කඩෙන් කහටක් බිව්වේය. මොරටුව – කොටුව බස් රියේ නැඟී කොටුවට ආවේය. මුට්ට කරගැහුවේය. කකුල් ඇඟිලි අතරින් මඩ චිරි පනිද්දී, ගෙවුණු බාටා දෙක දමාගෙන පිටකොටුවේ වීදි පුරා කරක් ගැහුවේය.

දවල්ට – නානා කඩෙන් බත් කෑවේය. සවසට හැටක අරක්කු බීවේය. වෙරි වුණේය.
.
.

අස්සයා පනින බෝඩ් ලෑල්ල මුදුනේම හිනාවෙන බිල්ඩිමේ පහළම දොරටුවෙන් සාලිය කුරුල්ලෙකු මෙන් එලියට ආවේය. මාසේ පඩි දවසය. වෙලාව හවස හය ය. එළවලු සහ මස් මාළු කඩ පසු කරගෙන පාරවල් තුන හතරක්ම පැන සලාකා හරියේ තැබෑරුමට රිංගුවේය.
ජොනි වෝකර් බෝතලයක්!
.
.

ජැක් කාරයන් සහ අරක්කුවලට තැම්බුණු බඩවල් අතරින් පැමිණ නාස් පුදුවලින් පිටවන කුණු අහගත ඉස්ප්‍රිතු ගඳ සහ අධෝ වාත ගඳ ඉවසමින් බසයෙන් දෙහිවලට ආවාය. ඇඳුම් මාරු නොකරම, බත් ඉව්වාය. වළන් සේදුවාය. වමනය තැවරුණු රෙදි පෙරෙදි සේදුවාය. අන්තිමට පයිප්පයෙන් ඇඟ සොදාගත්තාය. ගෙදර ආවාය.
බත් නොකා බලන් ඉන්නට.
.
.

චාමර. වෙරි ය. බස් රියේ ය.
හිතා ද – නොහිතා ද ජැක් ගැසුවේ ය.
මොරටුවෙන් බැස්සේ ය.
පූසෙකු මෙන් බෝඩිමට ආවේය. වැටී නිදාගත්තේය.
සිසිතයා රෑ කෑමත් රැගෙන බෝඩිමට එන තුරු.
.
.

” අශෝක මල් මාල නෙළාලා..”
සාලිය නිවසට ආවේය. වැනෙමින් – දෙපස බිත්තිවලට වාරු වෙමින්.
“ඔබ කවුරුද කියන්න මාලා….”
දොරකොඩින් එබුණේය.
“අසෝකා.. අසෝකමාලා..”
පටි පාවහන් නොගලවාම සාලිය ගෙට විසි වුණේය.
වැල් කැඩුණු ඇඳි පුටුවේ හැපුණේ ය. විසි වුණේය. පුටුවත් සමඟම – පුටුව මතටම.
” කෝ ගෑණියේ උඹ ..? කොයි අවලමක ගියාද ?? .. අසෝකා..”
ඉන්පසු ඔහු තමා මතටම වමනය කරගත්තේය.

.
.

අශෝකමාලා එළියට ආවාය. දිගු හුස්මකින් අරක්කු සහ වමනය දුර්ගන්ධය උරාගත්තාය. සාලියව ඔසවන්නට ගියාය.
වමනය ඉවසමින් ම.
” අසෝක.. මාලා.. ඇත්ත කියහන්.. උඹ අරූ එක්ක යාළුයි නේද තාම ? යකෝව්.. “
අශෝකමාලාගේ කෙස් වැටිය සාලිය අතෙහි පටලවා ගත්තේය.
“පිස්සුද අනේ.. කෝ.. ඔය කමිසෙ ගලවන්න.. චික්..”
සාලියගේ අත අශෝකමාලාගේ කම්මුල මත පතිත විය. වේගයෙන්.
” උඹට බෑ අසෝක.. මාලා .. මාව තම්බන්න.. හරී ??”

අශෝකමාලා සාලියව වත්තන් කරගත්තාය. කම්මුල ඇදුම් කද්දීම.

“කියපන් යකෝ….”
“මොන මිනිහෙක් ගැනද අනේ මේ කියවන්නේ …??”
” අරූ.. අර උඹ ඉස්කෝලෙදි නාඩගම් නටපු එකා… මොකක්ද උගේ නම… චා.. ම.. ර.. අන්න හරි චාමර..”
අශෝකමාලා දිගු හුස්මක් හෙළුවාය.
වමනය ගඳ ඉවසමින් ම.
.
.
“චාමරයියා.. කෙල්ල බලන්න ගමේ යන්නෙ නැද්ද ? ” සිසිතයා ඇසුවේය.
චාමර ඉක්කා ගහන්නට වූයේ ය. හොදි තැවරුණු ඇඟිලි බිත්තියට ගසමින් නැගිටින්නට උත්සහ කළේය.
” කෝ කෑල්ලගෙ ෆොටෝ එකක්කත් නෑ?? ” සිසිතයා ආයෙත් ඇසුවේය.
බිත්තියේ වූ 94 අවුරුද්දේ ලක්ස් කැලැන්ඩරේ දිල්හානි අශෝකමාලා සිනා සීගෙන සිටියාය.
” එයා දැන් කසාද බැඳල බං ..” ඔහු ඉක්කාවක් අතරින් කීවේය.
.
.

සාලිය ගෙරෙව්වේය. නින්දෙන්. වෙරි මතින්. කමිසයෙන් සහ කලිසමෙන් නිදහස්ව.
අශෝකමාලා අමාරුවෙන් ඇන්දවූ සරමේ සැහැල්ලුව විඳිමින්ම.
.
.ඉරුණු, චීත්ත රෙදි රෑ ගවුම පිටින් අශෝකමාලා ඇඳේ වැතිර සිටියාය. සාලියගේ අනෙක් පසින්.
අදුම්කන කම්මුල කොට්ටයට තද කරගෙන.
ඇයට චාමරව මතක් විය.
කොටුව – මොරටුව බස් රියේ දුටු ඔහු වාගේම පෙණුම ඇති, අපිරිසිදු දිරා ගිය වෙරි කාරයා සිහියට නැඟුණි.
” එයා එච්චර දිරන්නෙ කොහොමද.. අනික එයා ගම දාල කොළඹ එන්නෙ නෑ කීයටවත්.. ”
චාමර ඇන්දේ පිරිසිදුවටය. තෙල් ගා කොණ්ඩය පිළිවෙලට පීරලා ය.
“අනික එයා බොන්නෙත් නෑ…”
ඇය හුස්මක් හෙළුවාය.
“එයා වලස්මුල්ල දාල කොහෙ එන්නද ..”
.
.

චාමර බෝඩිමේ බූරු ඇඳේ දිගා වී සිටියේය. අශෝකමාලා ගැන සිතමින්ම.
” අපරාදේ .. එයා හා කිව් වෙලාවෙ අරන් පනින්නයි තිබ්බෙ..” ඔහු තැවුනේ ය.
කොටුව – මොරටුව බස් රියේ දුටු ඇය වාගේම බැල්මක්, පෙණුමක් තිබූ , දිරා ගිය කැහැටු ගැහැණිය සිහියට නැඟුණි.
ඔහු සුසුමක් හෙළුවේය. රත්තරන් පාට, පිරුණු අඟ පසඟින් යුතු, චිත්‍රපටවල රඟපෑ දිල්හානි අශෝකමාලාගේ පෙණුම තිබූ වලස්මුල්ලේ අශෝකමාලා සිහි කළේය.
“එයා ඔච්චර කෙට්ටු වෙලා දිරල යන්නේ නෑ..” ඔහු සිතුවේය.
“සාලිය සල්ලිකාරය.. දුකක් නොදී කෙල්ලව බලාගන්නව ඇති..”

Advertisements

One thought on “සාලිය – අශෝකමාලා සහ චාමර

  1. වර්තමාන වැඩකරන සමාජයේ ඇත්ත පැත්ත. මෙතන කතා කරලා තියෙන්නේ ආර්ථික අතින් පහල ස්ථරය ගැන උනත් ඉහළ සමාජයේත් සිදු වෙන්නේ ඕකම තමා වෙනස් තලයක. (නමුත් බස් වල ඔච්චරම ජැක් කාරයෝ ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ)

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )