තරු මැකෙන අහස

Screen Shot 2019-12-03 at 10.46.53 AM

1890 ජූලි 27  (දිනය උදා වී හෝරාවකට පමණ පසුව )

ඒක තරු පිරිච්ච අහසක්. චිත්‍රෙ වගේමයි.

වචනයෙන් කිව නොහැකි සාංකාසහගත ශෝකයක් සහ බරක් විනීගේ පපුවේ තිබුණා. ඒ හැරෙන්නට තව මොහොතකින් ඔහු කරගන්නා දෙයට නිශ්චිත හේතුවක් සෙවීමට ඔහු උත්සහ කළේ නැහැ. කොහොමටත් මිනිහෙක් මැරෙන්න තීරණය කළාට පස්සේ, ඒකෙ හේතු කතා කරලා වැඩක් නෑ. විනී තුවක්කු බටේ හදවතට ඉදිරියෙන් තද කරගෙන අහස දිහා බලන් හිටියා. තිරිඟු පුසුඹ සහ පින්නෙ තෙත් බැහැපු තණකොළ සුවඳ රැඳුණු ග්‍රීෂ්ම සහිත සුළඟක් හමාගෙන ගියා. ඔහු පපුව පිරෙන්න හුස්මක් ගත්තා. උණුසුම් සුවඳින් පපුව පිරුණා.

රිවොල්වරයේ කොකා තදවුණා.

ඔහු ගත් හුස්ම පිට කළා. ඒ පිට වුණු හුස්ම ශෝකය නිසා බරට දැනුණා.

රිවොල්වරයේ කොකා නිදහස් වුණා. ක්ෂණික, සුදු පැහැ වේදනාවක් – සාමකාමී හැඟීමක් එක්ක විනීව පිටුපසට තල්ලු වෙලා තිරිඟු යාය මැද්දේ පතබෑවුණා. විනීගෙ චිත්‍රෙට පණ ඇවිත්,  ඔහුගේම තවත් චිත්‍රයක පසුබිම වුණු තිරිඟු යායේ විනී වැතිරිලා ඉන්න ආකාරය බලාගෙන සිටියා. අහසත් – පොළොවත් දෙකම ඔහුගේ පින්සල් පහරින් පිරුණු කැන්වස.
අහසේ වූ තරු කෙමෙ කෙමෙන් දිය වෙමින් තිරිඟු යාය මතට පතිත වෙන්න පටන් ගත්තා.
ඔහුගේ ඇස් අන්ධකාර වුණා.

.

.

.

පැය කීපයකට පස්සේ…..

දැවෙන උණුසුමක් සමඟ විනී අවදි වුණා. රාත්‍රී අහසේ තාරුකා වෙනුවට, ඇස් පුළුස්සා අන්ධ කරන තරමේ දීප්තියක්! හිරු පායලා. ඔහු ඇස් වසාගත්තා. දැන් දැන් වියළෙමින් යන, එහෙත් මද තෙතක් රැඳුණු උණුසුම් තිරිඟු පත්‍ර දිගේ අතැඟිලි යවමින්, තමා මියගොස් නොමැති බව විනී තේරුම් ගත්තා. ඔහු දෙ වැලමිටට බර තබමින් නැගිටින්නට උත්සාහ කළා. පපුව දෙසින් දැනුණේ දැඩි බරක්.

ඔහු පපුව මත වූ කැටිති බවට පත් රුධිරය අතින් පිස දැමුවා. පසෙකින් වූ රිවෝල්වරය අහුලාගත්තා. වරක් දෙවරක් පැද්දෙමින් හිටගත් ඔහු, රාජකාරිය හරියට ඉටු නොකළ රිවෝල්වරය බඳ පටියේ රුවා ගත්තා.
වෙඩි තබාගැනීම සඳහා ඔහු තිරිඟු යායට ආවේ මධ්‍යම රාත්‍රියද පසු වූ පසුවයි. තවමත් ඉර මුදුන් වී නැති බව ඔහුට වැටහුණා. ගත වී ඇත්තේ පැය කිහිපයක් පමණයි.

ඔහු තිරිඟු යාය දිගේ ඉදිරියට ඇදුණා.


තියෝගේ දිනපොත

ජූලි 28 උදෑසන :-

විනී වෙඩි තිබාගෙන ඇති බවට ටෙලිග්‍රෑම් පණිවිඩයක් ලැබිලා පැය කිහිපයක් ගතවෙනකොට අබේර්ජ් රවෙව්වලට එන්න මට හැකිවුණා. හදවත පසාරු වෙන අන්දමට වෙඩි තියාගත් කෙනෙකු විදිහට කිව නොහැකි තරම් හොඳ තත්ත්වෙක ඔහු හිටියා. පැය කිහිපයකට කලින් වෛද්‍යවරුන් දෙදෙනෙකු ඔහුට ප්‍රතිකාර කළ බවත්, ශල්‍ය වෛද්‍යවරයෙකු නොසිටි නිසා උණ්ඩය ඉවත් කිරීමට නොහැකි වූ බවත් මට පැවසුවේ ඔහුමයි. දැල්වූ දුම් පයිප්පය ඔහුගේ පසෙක වුණා.

කාලයකට පසු ඔහුගේ මුහුණ පවා හොඳයි.

පිටත සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන්, ලාබාල යයි සිතිය හැකි වෛද්‍යවරයා වරින් වර කාමරයට ආවා. උණ්ඩය ඉවත් කිරීමට නොහැකි වූ බවත්, මෙතරම් දරුණු තුවාලයකින් පසුවත් ඔහු මේ ආකාරයෙන් සිටීම අදහාගත නො හැකි බවත්, හදවත් පේශියකට හැරුණු කොට අනෙකුත් අභ්‍යන්තර අවයවවලට තුවාල නොවීම වාසනාවක් බවත් ඔහු මා සමඟ පැවසුවා. විනී මෙලෙස වෙඩි තබාගැනීමට හේතුව ඔහු මගෙන් විමසුවත් ඒ කිසිවක් සාකච්චා කිරීමේ කැමැත්තක් මා තුළ තිබුණේ නැහැ.

ඇත්ත වශයෙන්ම එයට නිශ්චිත හේතුවක් මා දැන සිටියේත් නැහැ.

මා මේ සටහන ලියන මොහොතේ ඔහු ඉතා සනීපවත් පෙනුමෙන් යුතුව නින්දක පසුවනවා.


ජූලි 28 දහවල :-

මුළු නිවසම ඉතා දැඩි නිහඬතාවයක ගිලී තිබෙනවා. විනී විසින් අඳින ලද අසම්පූර්ණ සිතුවම් කිහිපයක් පහත මාලයේ මේසයක් මත ඔහේ දමා තිබුණා. ඉන් කිහිපයක්ම ඔහු විසින් අඳින ලද ජනප්‍රියම චිත්‍රය වූ “තරු පිරි අහස” හි විවිධ ස්වරූපයන්.

මේ පාලු නිවසේ කිරීමට කිසිවක් නැහැ. සටහන් ලියනු හැරුණුකොට.

පහත මාලයේ සේවිකාවක් තවත් කිසිවෙකුත් සමඟ යමක් පවසනු ඇසෙනවා. ඒ සංවාදයෙන් මට ඇසුණේ “උමතු සිත්තරා”, “කලබලයක්”, “පාන් සහ තේ..” වැනි වචන කිහිපයක් පමණයි.

විනී තවමත් තද නින්දේ.


ජූලි 28 සවස :-

විනී උණෙන් පෙළෙනවා. තුවාලයේ වේදනාව නිසා මෙලෙස උණ හැදෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එහෙත් තුවාලයට විෂබීජයක් ගොස් තිබීම නිසා මෙලෙස ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි මගේ හැඟීම.

මිනිස් හැඟීම් ගැන යමක් වටහාගත හැකි වයසකට මා එළඹුණු දා පටන්ම, මා මගේ සහෝදරයාව දුටුවේ නොදන්නා ශෝකයක් පොරවාගෙන සිටින අයෙකු ලෙසටයි. ඒ ශෝකී වීමට මේ මේ යැයි කරුණු තිබූ නිසා නොවෙයි. “සමහර මිනිසුන් ශෝකී පොරෝන දවටාගත් අයයි..” වරක් ඔහු පැවසුවා. “ඉතින් ඒ පොරෝන ඉවත් කළා නම් ඔවුන් ප්‍රීතිමත්..” මම ඔහුට කීවා. එවිට ඔහු සිනාසුනා පමණයි. ඔහු වටා වෙලී තිබුණු “ශෝකයේ පොරෝනය” ඔහුගේ සමටද ආත්මයටද බද්ධ වී ඇති බව මට වැටහුණේ ඉන් බොහෝ කාලයකට පසුවයි. නිශ්චිත හේතුවක් නොමැතිව ඇතිවන මේ ශෝකය උමතුවක් හෝ වෙනත් අයුරකින් කියනවා නම් උමතු ශෝකයක් බව පිටස්තරයෙකුට සිතෙන්නට පුළුවන්කම තිබුණා. එහෙත් ඔහුට වඩාත්ම සමීප පුද්ගලයා ලෙස (මා විශ්වාස කරන අන්දමට) මට එය පෙනුණේ ඔහු – ඔහු වීමේ ස්වභාවය ඒ ශෝකය ලෙසටයි. (ඇත්තෙන් ම බොහොමයක් දෙනා ඔහු උමතුවෙන් බව විශ්වාස කළා. වරහන් හි බහා මා මෙය මෙහි සටහන් කරන මොහොතේත් මගේ සිතේ ඇතිවන්නේ ශුද්ධවන්තයෙකු පිළිබඳව අසත්‍ය අපචාර චෝදනාවක් තවත් අයෙකුට කියන්නෙකු තුළ ඇතිවන අන්දමේ පාපකාරී පසුබෑමක්. ඔහු සමඟ එකට වැඩ කළ අයෙකු සමඟ ඇතිවූ ආරවුලක් ඔහු අවසන් කළේ තමන්ගේම කන කපාගැනීමෙන්. එහෙත් ප්‍රතිවාදියා විසින් ඔහුට අනතුරක් කළ බවත්, ඔහුගේ ශෝකී සහ තමන්ටම වරද නැඹුරු කරගැනීමේ ස්වාභාවය නිසා ඔහු එහි වරද තමා පිට පටවාගත් බවත් මා විශ්වාස කරනවා. ඔහු උමතු යැයි තහවුරු වූ ස්වරූපයෙන් සමාජය ඔහුට සැළකීමට පටන්ගත්තේ මේ සිදුවීමෙන් පසුවයි.)

ප්‍රීතියද නිස්කලංකභාවයද කැටිවුණු නිර්මාණ බවට බොහෝ දෙනා අර්ථකථනය කළ ඔහුගේ චිත්‍රවල සැඟවුණු ශෝකී අඳුරක් ඇතිබව මට වැටහෙන්නේ දැන්. එය ආලෝකයක් කැටිවූ අඳුරක්.. මාමලේඩ් ජෑම්වල වාගේ මිහිරක් තැවරුණු තිත්තක්..ඔහු ඇත්තෙන්ම මාමලේඩ් බිඳුවක් වගේ. ඒ තිත්ත ශෝකය නොවන්නට ඔහු නිකම්ම, බාල දොඩම් ජෑම් බිඳක්. අපි බොහොමයක් දෙනා වගේ.

මම ඔහු දිහා බලන බව දැනී ඔහු මට කතා කළා.

“තියෝ.. මට පයිප්පෙ පුරවලා දෙන්න පුළුවන්ද?”

මම ඔහුට පයිප්පය පුරවා දුන්නා. ඔහු දුම් ගුලියක් පිට කළා.

 මට වුවමනා වූයේ ” ඇයි මෙහෙම වුණේ?” යන්න ඇසීමට වුවත්, ඇසුණේ වෙනත් දෙයක්.

“ඇයි මෙහෙම කරගත්තේ?”

ඔහු තවත් දුම් ගුලියක් පිට කළා. ඔහුගේ චිත්‍රයක වූ වළාකුලක් වගේ, දුම් ගුලිය ඔහුගේ නිකටත්, නහයත් වසාගෙන පැතිරුණා. දුම අතරින් ඔහු, කාමරයේ සිවිලිම දෙස බලා සිටියා.

“ශෝකය..” ඔහු කිව්වා. ” ශෝකය.. එය සදාකල්ම පවතින දෙයක්..”

ඔහු වෙඩි තබාගත්තේ ඔහුටද? එසේ නැති නම්, ඔහුගේ හදවත තුළ වූ ශෝකය, උණ්ඩ පහරකින් සුනුවිසිනු වී යනු දැනීමට ඔහුට අවැසි වූවාද? ඔහු උමතු යැයි ලෝකය විසින් කියන කියමන තහවුරු කරගනිමි මිය යාමට ඔහුට වුවමනා වුණිද? එසේත් නැතිනම් ලෝකයා විසින් උන්මත්තකයෙකුට සලකන අන්දමින් ඔහුට සැලකීම ඔහුට දරාගත නොහැකි වූවාද?

නැවත මා ඔහු දෙස බලන විට ඔහුට නින්ද ගොස් තිබුණා.


ජූලි 29 ට එළිවෙන පාන්දර සිදුවූ සිදුවීම :-
(මෙම සටහන තබන්නේ ජූලි 30 දහවලේ, අවමඟුලට හැඳි කළු ඇඳුම් මාරු කිරීමට ද පළමුව බව සලකන්න.)

විනී අමාරුවෙන් – එහෙත් නිහඬව හුස්ම ගනිමින් සිටියා. ගතවූ පැය කිහිප තුළ ඔහුගේ තත්ත්වය ඉතා සීග්‍රයෙන් පිරිහී ගොස් තිබුණා. ඇඟ ගිනියම් වෙලා, තොල් වේලිලා. වරින්වර, නොපැහැදිලි යමක් ඒ වියළි තොල් අතරින් පිට වුණා.

උණ්ඩය නොකළ දේ, විෂබීජයක් විසින් ඉටු කරමින් තිබුණා. අපිට කරන්න කියල කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.

ජනේලයෙන් එපිට, විනීගෙ චිත්‍රෙ වගේම තරු පිරි අහසක් මකා දමමින් අරුණාලෝකය පැතිරෙමින් තිබුණා. ජනේල රාමුවත් එක්කම ගත්තම, ඒක පෙනුණේ අළු පාට බිත්තියේ එල්ලුණු රාමු කළ චිත්‍රයක් වගේ.

“තියෝ.. මම කැමතියි ජීවිතේ දකින අවසාන දර්ශනේ විදිහට මේ තරු පිරි අහස දකින්න…” අවුරුදු දෙකකට කළින් තරු පිරි අහසේ අවසන් පින්සල් පහර සටහන් කරමින් විනී කිව්වා මට මතකයි.  මේ තියෙන්නේ තරු මැකෙන අහසක්, එහෙත් එයත්, ඔහුගේ චිත්‍රයක් වාගේමයි.

“විනී.. විනී.. අර බලන්න.. ” මම, සිවිලිම දෙසට යොමුව තිබූ ඔහුගේ මුහුණ ජනේලය දෙසට හැරෙව්වා. ඔහුගේ ගෙල අප්‍රාණික ලෙස පසෙකට කඩා වැටුණා. අඩවන් වූ ඇස්වල කිසිදු ආලෝකයක් ඉතිරි වී තිබුණේ නැහැ.


විනී වෙඩි තබාගත් සහ මියගිය දින පසුවී, වසර සියයක් හෝ ඊට වැඩි වසර ගණනක් ගෙවුණු පසුව…

“වින්ස්ටන් වැන් ගොහ් මැරුණේ වයස අවුරුදු 37 දී, තිරිඟු යායක් මැදදී වෙඩි තියාගෙන. එහෙම කරගත්තු හේතුව කවුරුත් දන්නේ නැහැ. මිනිහා කළින් කියල තිබුණා මිනිහ කැමතියි කියලා, ජීවිතේ දකින අවසන් දර්ශනේ විදිහට එයා ඇඳපු “තරු පිරි අහස” චිත්‍රෙ තිබ්බ වගේ අහසක් දකින්න.

සමහරවිට මිනිහා මැරෙන වෙලාවේ ඇත්තටම ඒ අහස දකින්න ඇති….”

තරු මැකෙන අහස” වෙත එක් සිතුවිල්ලක්

Priyath Liyanage වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )