Monthly Archives: මා ව

ශීත කළ අතුරුපස

පූර්ව දර්ශනය

දර්ශනය – 01

නිදන කාමරයක්/ ඇතුළත /ඉතාමත්ම අඩු ආලෝකයක්

නිදන කාමරේ ඇඳ මත යුවලක් තුරුළු වී නිදා සිටින බව යන්තමින් පෙනේ. කැමරාව තබා ඇති මේසයේ, කැමරාවට ඉතාම සමීපයේ තබා ඇති ජංගම දුරකථන දෙකකි. ඉන් එකකට කෙටි පණිවුඩයක් එන හුරුපුරුදු හඬ ඇසේ. දුරකත තිරය ආලෝකවත් වේ.

ප්‍රධාන තිරය මත ශීත කළ අතුරුපස ලෙස නම දිස්වේ.

——————————————————————————————————————————

දර්ශනය – 02

කසුන් සහ සමාධිගේ නිවස/ ඇතුළත /දහවල

කසුන් සාලයේ හිඳගෙන සිටී. සමාධි නිවස අස්පස් කරමින් සිට, එය මොහොතකට නවත්වා කසුන් සමඟ කතාබහ කරන බව පෙනේ. පසුබිමින් ඔවුන්ගේ මඟුල් ඡායාරූපය පෙනෙන්නට තිබේ.

කසුන් : අපි මේ ගේ ගත්තේ අපි දෙන්න ජීවත් වෙන්න නෙ.. මම කියන්නෙ ඔයාට මගෙන් අහන්න තිබ්බනෙ එයාට එන්න කියන්න කළින්..

සමාධි තරමක් නො සන්සුන් නමුත් කසුන්ගේ හිත හැදෙන පරිදි කතා කරන බව පෙනේ.

සමාධි : එන්න ඇහුවම එපා කියන්න බැහැ නෙ කසුන්.. ඒක හරි නැහැ නෙ.
අනික හැමදාටම නෙමෙයි. එයා තැනක් හොයගන්නකම් විතරයි නෙ….ගෙදර පාලුවටත් හොඳයි නේ.. අපිට තව කාමරත් දෙකක් තියෙන එකේ පව් නේ කසුන් එයා බෝඩිමකට ගෙවාගෙන ඉන්නේ…

කසුන් : මම දන්නෙ නැහැ සමාධි.. ඕන එකක්. දැන් මොක වුණත් එන්න එපා කියන්න බැහැ නෙ. මට නම් ඇත්තටම තරහයි ඔයා කරන මේ වැඩවලට.. බැඳලා මාසයයි, කොහෙවත් ඉන්න එවුනුත් ගේ අස්සේ දාගෙන..

සමාධි : ආ..මම මේ මෙයාගේ යාලුවෙකුට උදව් කරන එකටනේ මෙයාට ඩෝං ගිහින් තියෙන්නේ… (විහිලු ස්වරූපයෙන්) ළමයෝ.. ඔය පරණ පෙම්වතියක් නේද ඔයාගේ ආ?

කසුන් නොරුස්සන ලෙස සමාධි දෙස බලයි.

කසුන් : පිස්සුද? ඔය වගේ සක්කරවට්ටමක් එක්ක යාලු වෙනවද මම?

කාමරයට යයි. සමාධි සිනාසේ.

සමාධි : අනේ පව් අනේ.. එයා ඉතිං මම වගේ නෙමේ නෙ, සෝෂල්. ජෙනුයින්.. එයා ආවම පාලු නැහැ.. මම ඔයාගේ යාලුවන්ගෙන් ආදරේම එයාට.


——————————————————————————————————————————

දර්ශනය – 03

කසුන් සහ සමාධිගේ නිවස/ ඉතා නවීන පෙනුම ඇති නිදන කාමරයක්/ ඇතුළත / සවස

ශාලිකා ඇඳ මත හිඳගෙන, අඩි උස සපත්තුවකින් නිරාවරණය වූ පය ඇඟිලි නියවල ආලේප තවරමින් සිටී. ඇය මේකප් කර, හොඳින් ඇඳ පැළඳ සිටින අතර කර ඇරුණු ගවුමෙන් පෙනෙන ඇගේ උරහිස සහ ගෙලට විදුලි පහනේ ආලෝකය වැටී ඇත. පසුබිමෙන් ඉතා අඩු හඬකින් ගීතයක් වාදනය වේ.

සමාධි ගේ කටහඬ පිටතින් ඇසේ.

සමාධි : ශාලි….

ශාලිකා හිස ඔසවා දොර දෙස බලයි.

ශාලිකා : එන්න…

සමාධි කාමරයට පැමිණ ඇඳ මත වාඩි වේ. ශාලික ඈ සමඟ සිනාසී දිගටම නිය ආලේප කිරීම සිදු කරයි.

සමාධි : ලස්සන පාටක්…. ඔයාට ඩිස්ටබ් නැහැ නේද මම ආව එක..

ශාලිකා නැති බව අඟවමින් සිනාසේ.

සමාධි : මට හරි පාලුයි අනේ කසුන් ගෙදර එනකම්

ශාලිකා නිය ආලේපන බෝතලය වසා පසෙකින් තබයි. ක්‍රීම් බෝතලයකින් ස්වල්පයක් ගෙන දෑත්වල තවරමින් කතා කරයි.

ශාලිකා : ඔයා අපරාදේ ජොබ් එකෙන් අයින් වුණේ..

සමාධි : කසුන් ආස නැහැ නෙ. ඊටත් වඩා එයාගේ අම්ම ආස වුණේ නැහැ පුතාගේ මනමාලි ජොබ් එකක් කරනවට. එයා කිව්වනේ මට කසුන්ද රස්සාවද කියල තෝරාගන්න කියල.. ( සිනාසේ ) ඔයා මේව දන්නවත් ඇති සමහරවිට

ශාලිකා : මම අහල තියෙනව.

ශාලිකා දුරකථනය අතට ගෙන තිරය දෙස මොහොතක් බල සිටී.

ශාලිකා : cab එක එනවා..

සමාධි : ඔයා ඔය යන පාටිවල කොල්ලො නැද්ද?

ශාලිකා : කොල්ලෝ ? ඒ මොකටද?

සමාධි : ඔයාට ළමයෝ… හිත ගිය, ලස්සන, හොඳ, කොල්ලෙක් හොයාගෙන….

දෙදෙනාම සිනාසේ. ශාලිකා යන්නම් යන්න ඉඟියෙන් පෙන්වයි. සමාධිද ඇය පසුපසින් ම කාමරයෙන් පිට වේ.


——————————————————————————————————————————

දර්ශනය – 04

කසුන් සහ සමාධිගේ නිවස/ ඉදිරිපස / පිටත / රාත්‍රිය

ශාලිකා කැබ් රියට නගී. එය පිටත්වත්ම කසුන්ගේ කාරය පැමිණේ. කසුන් කාරයෙන් බසින ගමන් දොරකඩ සිටින ශාලිකාව අමතයි.

කසුන් : අදත් ගියා නේද..? මදැයි මරු කෙනාව ඔයා පාලු කපන්න ගෙන්නගත්තේ..

සමාධි සිනාසෙමින් ඔහුගේ අතින් අල්ලයි.

සමාධි : දැන් පාලු නැහැ


——————————————————————————————————————————

දර්ශනය – 05

කසුන් සහ සමාධිගේ නිවස/ ඇතුළත /දහවල

කාලය ගත වී ඇති බව පෙනේ.

නිවසේ බඩුමුට්ටු ඇති තැන් වෙනස් වී තිබේ. මංගල ඡායාරූපයේ ඉතා සියුම් මකුළු දැලක් ඇත.

කසුන් උදෑසන ආහාර ගෙන මේසයෙන් නැගිට යයි. සමාධි මුළුතැන්ගෙයි සිට පැමිණේ.

සමාධි : බත් එක..?

කසුන් : කිව්වනේ දවල්ට එපා කියල. මම බත් කන එක අඩු කරන්න ඕන. (සමාධි දෙස නොරිස්සුමෙන් මෙන් බලයි) බත්ම ගිලිනවා කිඹුල මැටි ගිලිනව වගේ..

සමාධි හිත රිදුණු නමුත් එය සඟවාගෙන කතා කරයි.

සමාධි : ඔයා රෑට කන්න ආස මොනවද කියන්නකෝ..

කසුන් : ඕන එකක්.


——————————————————————————————————————————

දර්ශනය – 06

කසුන් සහ සමාධිගේ නිවස/ සාලය / ඇතුළත / රාත්‍රිය

සමාධිගේ ඇස්වල කඳුළු පිරී තිබේ. ශාලිකා රැකියාවට ගොස් පැමිණි ඇඳුම් පිටින්ම ඇය අසල වාඩිවී සිටී.

සමාධි : මම කරන කිසිම දේක අගයක් නැහැ… මොන තරම් රසට ඉව්වත්, මොන තරම් ලස්සනට ගේ අස් කළත්… දැන් වෙලාව බලන්න.. එයා තාම නැහැ. මම රෑට කන්න එයා ආසයි කියල කුරක්කන් පිට්ටු හැදුව. එයා නැහැ.. ෆෝන් එක ගන්නෙත් නැහැ..

ශාලිකා ඇගේ හිස අතගාමින් සිට නැගිට මුළුතැන්ගෙයට යයි. මුළුතැන්ගෙයි සිට ඇගේ හඬ ඇසේ.

ශාලිකා “Some Wine?”

සමාධි හිස සලා එපා කියයි. කසුන් නිවසට පැමිණේ. සමාධි කඳුළු පිසදාගෙන ඉදිරියට යයි.


——————————————————————————————————————————

දර්ශනය – 07

කසුන් සහ සමාධිගේ නිවස/ මුළුතැන්ගෙය / ඇතුළත / රාත්‍රිය

ශාලිකා වයින් බෝතලයෙන් සිය තේ බොන මග් එකට වයින් වත්කර ගනී. සාලයෙන් සමාධිගේ හඬ ඇසේ.

සමාධි : ඔයා පරක්කුයි

කසුන් : වැඩ

සමාධි : පිට්ටු හැදුවා

කසුන් : කාල ආවේ

සමාධි : ඇයි ෆෝන් එක ගන්නේ නැත්තේ? ඇයි කන්න එන්නේ නැහැ කියල මට කිව්වේ නැත්තේ

? මොනවද ඔයාට ඔච්චර වැඩ? ඔයා ෆෝන් එක නොගන්නකොට ඔෆිස් එකට ගත්ත මම ඔයා එහෙත් නැහැ …

කසුන් : සමාධි මේ ???


——————————————————————————————————————————

දර්ශනය – 08

කසුන් සහ සමාධිගේ නිවස/ සාලය / ඇතුළත / රාත්‍රිය

කළින් දර්ශනයේ දෙබස දිගටම.

කසුන් : මම කරන්නේ රස්සාවක්. හරි? තමුසෙ වගේ ගෙදරට වෙලා කකා ඉන්න එක නෙමේ මම කරන්නේ. මගෙ ජොබ් එක ඔෆිස් වේලාවෙන් පස්සේ වෙන්න පුලුවන්, ඔෆිස් එකෙන් එළියේ වෙන්න පුළුවන්.. තමුසේ මෙහෙම කියවන්න ගත්තොත් රෑ වෙලා හරි ගෙදර එන එක මම නවත්තනවා හරි??

සමාධි විශ්වාස කළ නොහැකි ලෙස කසුන් දෙස බලා සිටී. මුළුතැන් ගෙයි සිට පැමිණෙන ශාලිකා, මග් එකේ ඇති වයින් පානය කරමින් ඔවුන් දෙස බලා සිටිනු පසුබිමෙන් පෙනේ. කසුන් වේගයෙන් ඔවුන්ගේ කාමරයට යයි. ඔහු පසුපසින් යන ශාලිකා පහත් හඬින් ඔහුට බැන වදිනු සමාධිට ඇසේ.

ශාලිකා : මොකක්ද වෙලා තියෙන්නේ? ඒ මනුස්සයට හොඳට සලකනවා.


——————————————————————————————————————————

දර්ශනය – 09

කසුන් සහ සමාධිගේ නිවස/ ශාලිකාගේ කාමරය / ඇතුළත / උදෑසන

සමාධි සහ ශාලිකා ශාලිකාගේ ඇඳ මත හිඳගෙන කතාවක ය. ශාලිකා පිජාමා ඇඳුමක් පිටින් සුව පහසුවට හිඳගෙන සිටී.

සමාධි : අද අපේ වෙඩින් ඇනිවසරි එක.. එයාට මතකවත් නැහැ..

ශාලිකා : හවස ඔයාව සප්රයිස් කරන්න ඉන්නවද දන්නේ නැහැ නෙ..

මේ මං කියන්නද වැඩක්? අද හවස දෙන්නා විතරක් පොඩි පාටියක් දාන්න. මොනවහරි ස්පෙෂල් දෙයක් හදලා, වයින් එකක් ඇරලා…. ස්ලෝ මියුසික් එකක් දාලා.. ඉටිපන්දම් පත්තු කරලා…

සමාධි : එයා එන එකක් නැහැ අනේ වේලාසන…

ශාලිකා : එයි ළමයෝ.. මම රස ම රස ඩෙසට් එකක් ගේන්නම්.. . චීස් කේක් ?

සමාධි : ( ආයාසයෙන් සිනාසේ) එයා ආස නම් ඒවට තමයි. සීතල ඕන දෙයක් කයි ඩෙසට්වලට

ශාලිකා : කොහොමත් ඩෙසට් නම් හොඳ සීතලට තමයි

සමාධි : එයා පරක්කු වුණොත්..

ශාලිකා : එහෙම වුණොත් නේද… ම්ම්ම්… එහෙම වුණොත් මෙහෙම වැඩක් කරමු.. ඔයා එයා පරක්කු නම් කෝල් කරන්න, ගත්තෙම නැත්නම් මෙසේජ් එකක් දාන්න අද වෙඩින් ඇනිවසරි එක කියල..

සමාධි : ඒත් ආවේ නැත්නම්?

ශාලිකා : එහෙම වුණොත් නේද… එහෙම වුණත් අපි එයාව බය කරමු..
ඔයා එයාට ටෙක්ස්ට් එකක් දාන්න ඔයා මැරෙනවා කියල.. (හයියෙන් සිනාසෙයි)

සමාධි : මැරෙනවා කියල?

ශාලිකා : (මහ හඬින් සිනාසෙමින්) ඔව් අනේ.. ඕකා බයයි. එයි ටුස් ගාලා…


——————————————————————————————————————————

දර්ශනය – 10

කසුන් සහ සමාධිගේ නිවස/ කෑම කාමරය / ඇතුළත / සවස

හොඳින් ඇඳ පැළඳගත් සමාධි මේසය මත රෝස මල් කළඹක් සහ රතු ඉටිපන්දම් සැරසිල්ලක් සකසයි. ඇය හැඳ සිටින්නේ රතු ගවොමකි. ඇය වයින් වීදුරු දෙකක් සහ වයින් බෝතලයක් මේසය මත තබයි.

දර්ශනය – 10 . 5
කසුන් සහ සමාධිගේ නිවස/ කෑම කාමරය / ඇතුළත / සවස

කාලය ගත වෙමින් යන බව පෙනේ. සමාධි පුටුවක හිඳගෙන වරින් වර ඉරියව් මාරු කරමින් සිටී. අවසානයේ ඇය ජංගම දුරකථනය අතට ගනී.


——————————————————————————————————————————

දර්ශනය – 11

පළවෙනි දර්ශනයේ වූ නිදන කාමරය/ ඇතුළත /ඉතාමත්ම අඩු ආලෝකයක්

පළමු දර්ශනය යළි පෙන්වන්න- නිදන කාමරේ ඇඳ මත යුවලක් තුරුළු වී නිදා සිටින බව යන්තමින් පෙනේ. කැමරාව තබා ඇති මේසයේ, කැමරාවට ඉතාම සමීපයේ තබා ඇති ජංගම දුරකථන දෙකකි. ඉන් එකකට කෙටි පණිවුඩයක් එන හුරුපුරුදු හඬ ඇසේ. දුරකත තිරය ආලෝකවත් වේ. )

දුරකත තිරය ආලෝකවත් වූ විට තරුණිය ඇඳ මත වාඩිවේ. ඇගේ මුහුණ පෙනෙන්නේ නැත.


——————————————————————————————————————————

දර්ශනය – 12

කසුන් සහ සමාධිගේ නිවස/ සාලය / ඇතුළත / රාත්‍රිය

ශාලිකා නිවසට පැමිණෙයි.

සමාධි හඬමින් සිටී. ශාලිකා ඇය අසලට අවුත් හිටගෙන ඇගේ හිස අතගායි.

ශාලිකා : මාර මිනිහෙක් තමයි. එන්නකෝ.. මෙහෙ එන්නකෝ… (ඇයව කෑම මේසය අසලට කැඳවාගෙන ගොස් පුටුවක වාඩි කරයි) මම චීස් කේක් එකක් එව්වා දවල් හම්බුණා නේද?

ශාලිකා : ඔයා අර මෙසේජ් එක දාන්න… කෝ මෙහෙ දෙන්න ෆෝන් එක.
(බලහත්කාරයෙන්ම වාගේ සමාධිගේ දුරකථනය අතට ගනී. පණිවුඩයක් send කරයි.) ආ මෙන්න.. ඔයා හොඳ වැඩියි.


——————————————————————————————————————————

දර්ශනය – 13

දර්ශන 1 සහ 11 වූ කාමරයේ මේසය මත ඇති ජංගම දුරකථන තිරය පැහැදිලිව පෙනේ . Message from Wify ❤ යනුවෙන් එහි වැටී ඇත. කාමරය ආලෝකවත් ය.


——————————————————————————————————————————

දර්ශනය – 14
කසුන් සහ සමාධිගේ නිවස/ මුළුතැන්ගෙය / ඇතුළත / රාත්‍රිය

ශාලිකා එක ෆ්‍රිජ් එකෙන් චීස් කේක් එකක් එළියට ගනී. එය පිළිවෙලට කපයි. (එය කපන ශාලිකාගේ පිටුපස දුරස්ථ රූපයක්)


——————————————————————————————————————————

දර්ශනය – 15

කසුන් සහ සමාධිගේ නිවස/ සාලය / ඇතුළත / රාත්‍රිය

කෑම මේසය අසල සිටින ශාලිකා සහ වාඩිවී සිටින සමාධි. ශාලිකාගේ අතේ පීරිසියක චීස් කේක් කැබැල්ලක් සහ හැන්දකි.

ශාලිකා :ඌ එයි දැන්.. ඔයා බඩගින්නේ නේද? කන්න බැරිනම් මේ චීස් කේක් කෑල්ල කන්න.. ගානට කූල් වෙලා. ඩෙසට් හොඳ ගාණට – සීතලට තමයි..
මුළුතැන් ගෙයට යයි. සමාධි සෙමෙන් සෙමෙන් චීස් කේක් කැබැල්ල ආහාරයට ගනී.


——————————————————————————————————————————

දර්ශනය – 16

කසුන් සහ සමාධිගේ නිවස/ මුළුතැන්ගෙය / ඇතුළත / රාත්‍රිය

ශාලිකා රෙදි කැබැල්ලකින් ෆ්‍රිජ් එකේ දොර සහ සින්ක් එක පිසදමයි. චීස් කේක් එකේ ඉතිරිය කවුන්ටරය උඩ තිබේ.

සාලය දෙසින් යමක් පෙරළෙන හඬ ඇසේ.

ශාලිකා, චීස් කේක් එක හැරෙන්නට සියල්ල පිළිවෙල බව පිරික්සා මුළුතැන් ගෙයින් පිටවේ.


——————————————————————————————————————————

දර්ශනය – 17

කසුන් සහ සමාධිගේ නිවස/ සාලය / ඇතුළත / රාත්‍රිය

සමාධි බිම වැටී සිටී. ඇගේ මුවෙන් ලේ ගලයි. ඇස් විවරව ඇත. ඇය මියගොස් ඇති බව පෙනේ.

ශාලිකා සපත්තු පැළඳි පාදයෙන් ඇන බලා සමාධි මියගොස් ඇති බව තහවුරු කරගනී.

සමාධිගේ ජංගම දුරකථනය ඇගේම ඇඟිල්ලෙන් unlock කරයි. නැවතත් පණිවුඩයක් type කරයි. මදක් නැවතී කල්පනා කර එය send කරයි.


——————————————————————————————————————————

දර්ශනය – 18

ආලෝකවත් වූ පසුබිමක මේසය මත ජංගම දුරකථනයක්. ජංගම දුරකථන තිරය පැහැදිලිව පෙනේ. Message from Wify ❤ යනුවෙන් එහි වැටී ඇත. කාර්යාල කමිසයක් හැඳි පිරිමි අතක් එය open කරයි.

”ඔයා පරක්කුයි..මම ඒක කරගත්තා. යන්නම් කසුන් ” එහි සටහන් ව තිබේ.


——————————————————————————————————————————

දර්ශනය – 19

කසුන් සහ සමාධිගේ නිවස/ සාලය / ඇතුළත සහ පිටත / රාත්‍රිය

ශාලිකා නිවසේ දොර රෙදි කැබැල්ලකින් අල්ලා අරියි. වටපිට බලා නිවසින් පිට වෙයි.


——————————————————————————————————————————

දර්ශනය – 20
කසුන් සහ සමාධිගේ නිවස/ මුළුතැන්ගෙය / ඇතුළත / රාත්‍රිය

කපා ඇති, දැන් තරමක් දියවුණු බව පෙන්වන චීස් කේක් එකේ සමීප රුවක්.

Best Served Cold – ශීත කර පිළිගැන්වීම වඩාත් සුදුසුයි” ලෙස එහි පෙට්ටියේ සටහන් කර තිබේ.

තිරය අඳුරු වෙයි.