Monthly Archives: මා ව

පුපුරා ගිය උමතුව – බාත් පාසලේ බෝම්බය

 හදිසි අනතුරකින් පසුව මානසික මට්ටම වෙනස් වූ මිනිසෙක්, ඔහුගේ අතෘප්තිකර ජීවිතයේ වගකීම, ඔහු ජීවත් වූ සමාජයට බැර කරමින් හදවතේ වෛරයේ ගිනි දැල් දැල්වූවා.  වරින් වර ඒ ගින්නට ඔහු අතින් මෙන් ම ඔහුගේ ජීවිතයේ යම් යම් සිදුවීම්වලින් ඉන්ධන සැපයුණා.

කෙමෙ කෙමෙන් උමතුවට පත් ඒ මිනිසාගේ ඒ ගින්න, එක මොහොතක පුපුරා ගියේ ඔහු ජීවත් වූ කුඩා නගරයේ හදවත සියවස් ගණනකට බිඳ දමන මහා ඛේදවාචකයකින්. 

එය සිදු වූයේ 1927 වසරේදී යි. මේ ඇමරිකාවේ බාත් හි සිදුවූ පාසල් බෝම්බයේ කතාවයි.

පොඩි නගරයක්

ඇමරිකාවේ මිචිගන් හි පිහිටි බාත් නගරය, වර්ග සැතපුම් 31 ක් පමණ ප්‍රදේශයක පැතිර තිබූ ගොවි ජනපදයක්. 1927 වර්ෂය වනවිට එහි පුද්ගලයන් තුන්සියයක පමණ ජනගහනයක් වාසය කළා. ජනගහනය අඩු නගරයක් වීම නිසාම, මෙහි සියලු ම දෙනා පාහේ එකිනෙකාව හොඳින් දැන හඳුනාගෙන සිටියා. සාමාන්‍යයයෙන් යහපත් ආර්ථික සහ සමාජයීය මට්ටමක් තිබුණු බාත් වැසියන්, එකිනෙකාව ප්‍රිය කළ, සතුටින් සිටි පිරිසක්. බාත් ප්‍රථමික පාසල මේ කුඩා නගරයේ සුවිශේෂී ගොඩනැගිල්ලක් වුණා. බාත් පවුල්වල දරුවන්ගෙන් බහුතරයක්, මේ පාසලේ සිසුන් ව සිටියා. 1922 දී නගරවාසීන් විසින් ගත් තීරණයකට අනුව පිහිටවූ  බාත් ප්‍රාථමික පාසල පාලනය කෙරුණේ නගරවාසීන්ගේ කැමැත්තෙන් සහ ඡන්දයෙන් පත්කෙරුණු, නගරවාසීන්ගෙන් ම සමන්විත කමිටුවකින්.

බාත් ප්‍රාථමික පාසල – 1925

තිත්ත හැඟීම්වලින් පිරුණු මිනිහෙක්

මේ පාසල් කමිටුවේ සාමාජිකයෙකු ද වූ ඇන්ඩෘ කීහෝ (Andrew Kehoe), බාත් වාසීන් අතර ප්‍රකටව සිටියේ තරමක අමුතු පුද්ගලයෙකු ලෙසටයි. ගොවියෙකු සහ සත්ත්ව පාලකයෙකු වූ කීහෝ, කිසිවෙකුත් සමඟ ‘වැඩි භජනයක් නැති’, අතිශය බුද්ධිමත් අයෙකු ලෙස බාත් වාසීන් විසින් හඳුනාගන සිටියා. ඔහු පිළිබඳව තරමක් භයංකර කතා ද බාත් නගරයේ පැතිර තිබුණත් ඒ කිසිවක් එළිපිට කතාබහට ලක්වෙන, ඔප්පු වුණු කතා වුණේ නැහැ.

1872 වසරේ පෙබරවාරි පළවැනිදා, දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුතු පවුලක දහ තුන් වැනියා ව උපන් ඇන්ඩෘ කීහෝ, මිචිගන් ජනපද පාසලේ (වර්තමානයේ මිචිගන් විශ්ව විද්‍යාලය) විදුලි ඉංජිනේරු ශිල්පය ඉගෙනගත්තා. 1911 වසරේදී, යම් පුහුණු වීමක් අතරතුරදී ගොඩනැගිල්ලක ඉහළින් ඇදවැටෙන කීහෝ, ඉන් හිසට සිදුවූ දරුණු තුවාල නිසා දෙසතියක් කෝමා තත්ත්වයක පසුවනවා. ඔහු එයින් සුවය ලබන්නේ, කිසිදු ප්‍රීතිමත් බවක් ඉතුරු නො වූ, සැඟවුණු කුරිරු සහ තිත්ත හැඟීම්වලින් පිරුණු අයෙකු බවට පත්වෙමින්.  ඔහු ඒ අනතුරින් පසුව නැවතත් සිය පියා සමඟ වාසයට යනවා. ඒ කාලයේ ඔහුගේ මව මියගොස් තිබූ අතර, ඔහු එතරම් ප්‍රිය නො කළ ඔහුගේ පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ වූ ෆ්‍රාන්සෙස් වයිල්ඩර් සමඟ එක ම නිවසේ වාසය කිරීමට සිදුවීම පිළිබඳව ඔහු සිටියේ අසතුටින්.

ඇන්ඩෘ කීහෝ අනතුරට ලක්වීමට පෙර

1911 සැප්තැම්බර් 17 වැනිදා නිවසේ උදුනක් දැල්වීමට උත්සාහ කරන අතරේදී උදුන පුපුරා යාමෙන් ෆ්‍රාන්සෙස් වයිල්ඩර්ගේ සිරුරට ගිනි ඇවිලෙනවා. මේ අවස්ථාවේ අසල සිටි ඇන්ඩෘ කීහෝ විසින් වතුර යොදාගෙන ගින්න නිවන්න හැදුවත් එය සාර්ථක නො වන්නේ උදුනේ තෙල් විසිරී, ගින්න පැතිරෙමින් තිබූ නිසා.

ෆ්‍රාන්සෙස් වයිල්ඩර් මේ ගින්නෙන් සිදුවූ පිළිස්සුම් තුවාලවලින් දින කිහිපයක් වේදනා විඳ මිය යනවා. මේ උදුන පුපුරා යන ලෙස සකස් කළේ  ඇන්ඩෘ කීහෝ බවට ඒ කාලයේ කටකතා පැතිරුණත් පොලිසියට එය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලැබී තිබුණේ නැහැ.

1912 වසරේදී, කීහෝ ඔහු අනතුරට ලක්වීමට ප්‍රථම ඔහු විසින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ එලන් ඇග්නස් ප්‍රයිස් (හිතවතුන් ඇයව අමතන්නේ නෙලී නමින්) සමඟ විවාහ වනවා. 1919 දී නෙලීගේ නැන්දණියක විසින් ඇයට දුන් මුදලින් විශාල ඉඩමක් ගෙන ගොවිපලක් ආරම්භ කිරීමට ඇන්ඩෘ කීහෝ කටයුතු කරනවා. මේ සඳහා ඩොලර් 6,000 ක් කීහෝ විසින් මුදලින් ගෙවූ අතර, ඉතිරි මුදල ලෙස තවත් ඩොලර් 6,000 ක් ඔහු විසින් ණයක් ලෙස ගෙන තිබුණා.

ඉතාම නිශ්ශබ්ද සහ අහිංසක ගැහැනියක වූ නෙලී, කීහෝගේ නිරන්තර කුරිරුකමවලට ලක් වුණු බව අසල්වැසියන් විසින් දැක තිබුණා. එමෙන් ම කීහෝ විසින් අසල්වැසි නිවසක සුනඛයෙකුට වෙඩි තැබූ බවටත්, අසනීපව සිටි අශ්වයෙකුට පහර දී මරාදැමූ බවටත් කටකතා ද පැතිර තිබුණා. මේ කටකතාවල සත්‍ය අසත්‍යතව කෙසේ වෙතත්,  ඇන්ඩෘ කීහෝ නිතරම අනෙක් අය නුරුස්නා ලෙස හැසිරෙන සහ මිත්‍රශීලි ආකල්ප නො දරන අයෙකු වීම නිසා නගරවාසීන් ඔහුට යම් බියක් දැක්වූවා. විවේක මොහොතවල්වල තුවක්කුවකින් ගස් කඳන්වලට වෙඩි තබමින් සිය ඉඩමේ ඔහු ඇවිදින ආකාරය අසල්වාසීන්ට සුලබ දසුනක් වුණා.

කීහෝ සහ බිරිඳ නෙලී

අතිශය පිළිවෙල මිනිසෙකු වූ  ඇන්ඩෘ කීහෝ, සිය නිවස මෙන් ම සත්ත්ව ගොවිපොළ ද ඉතාම පිළිවෙලට තබාගැනීමට උත්සුක වුණා. සතුන් නිදැල්ලේ සිය ඉඩමේ ඇවිදින මොහොතක පවා අතිශය කෝප වුණු කීහෝ, එවන් අවස්ථාවල සතුන්ට පහර දෙමින් ඇදගෙන ගොස් ඔවුන් ව අදාළ ස්ථානවල ගාල් කරනු අසල්වැසියන් දැක තිබුණා. 1925 වර්ෂය පමණ වනවිට, ඇන්ඩෘ කීහෝගේ දුර්වල මුදල් කළමනාකරණය නො කිරීම මෙන්ම, වරින්වර ඇතිවන මානසිකත්වයේ වෙනස්වීම් ද නිසා ඔහුගේ ව්‍යාපාරය යම් මට්ටමකින් බිඳ වැටෙමින් තිබුණා.

එමෙන් ම බාත් වැසියන් විසින් එකඟ වී 1922 වසරේ ආරම්භ කළ, බාත් ප්‍රාථමික පාසල නඩත්තුව පිණිස නගරවාසීන්ගේ බදු මුදල ඉහළ නැංවීමට නගර කමිටුව තීරණය කිරීම නිසා, තමන්ට ගෙවීමට සිදුවන බදු මුදල ඉහළ ගොස් තිබීම ගැනත් ඇන්ඩෘ කීහෝ සිටියේ තදබල කේන්තියකින්. 

කේන්ති ගින්නට ඉන්ධන වැටෙයි

1924 වසර වනවිට බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවට ඇන්ඩෘ කීහෝ ද පත් වී සිටියා. ඔහු බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුර දැරුවා. ඔහු ඒ කාලයේ සිය තනතුරේ වගකීම් එතරම් සාධනීය ලෙස ඉටු නො කිරීම නිසා මෙන් ම ඔහු අනෙක් කමිටු සාමාජිකයන් සමඟ ඉක්මනින් කෝප ගෙන කලහකාරී ලෙස හැසිරීමත් නිසා ඔහු පිළිබඳව එතරම් සුභවාදී හැඟීමක් පාසල් කමිටුවේ සාමාජිකයන් තුළ තිබුණේ නැහැ. එමෙන් ම ඔහු පාසල් අරමුදල තම පුද්ගලික වියදම් සඳහා යොදාගන්නා බවටත් හැඟීමක් අනෙක් කමිටු සාමාජිකයන් තුළ තිබුණා.

1925 වසරේදී ඔහු නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ද පත් ව සිටි අතර, බාත් පාසල ආරම්භ කිරීමත් සමඟ වැඩි වූ නගරයේ බදු මුදල් නැවත අඩු කිරීම වෙනුවෙන් ඔහු නිතර ම අනෙක් කමිටු සාමාජිකයන් සමඟ කළහ කරමින් සිටියා.

බාත් ප්‍රාථමික පාසලට ඉදිරි වසර කිහිපය සඳහා කමිටු සභිකයන් තෝරාගැනීමට 1926 අප්‍රේල් පස්වැනිදා දී පැවැත්වූ ඡන්දයේදී නැවතත් භාණ්ඩාගාරික තනතුරට පත්වීමට ඇන්ඩෘ කීහෝට අවශ්‍ය වුණත්, ඔහු එවර ඡන්දයෙන් පරාජය වුණා. එමෙන් ම නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ඔහු දැරූ තනතුරත් ඔහුට අහිමි වුණා. ඔහු ඒ ගැන ඉතාමත් ම කෝපයට පත්වූ අතර සිය සත්ත්ව ගොවිපළේ සතුන්ට සහ බිරිඳට හිරිහැර කරමින් සිය කේන්තිය පිටකර ගත්තා.

එමෙන් ම ඔහු විසින් 1919 දී ගොවිපළ ආරම්භ කිරීමට ගත් ණය නිසි ලෙස නො ගෙවීම නිසා, ඔහුගේ ගොවිපොළ බැංකුවෙන් අත්පත් කරගන්නා බවට ලිපියක් ද මේ වනවිට ඔහුට ලැබී තිබුණා.

එමෙන් ම ඔහු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බැංකු නියෝජිතයෙකු ද පැමිණෙනවා. “එක්කෝ මම මේ ගෙදර ඉන්නවා.. නැත්නම් කවුරුවත් මේ ගෙදර ඉන්නේ නැහැ…” ඔහු විසින් ණය හිලව්වට නිවස අත්පත් කරගැනීම සඳහා පැමිණි බැංකු නියෝජිතයාට දන්වනවා.

බාත් ප්‍රාථමික පාසල ආරම්භ කිරීමත් සමඟ, එහි නඩත්තුවට ගෙවිය යුතු මුදල ද එකතු වීමෙන් ගෙවිය යුතු බදු මුදල ඉහළ යාමත්, බාත් ප්‍රාථමික පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් වීමට සිදු වීමත් නිසා ඔහු පාසල කෙරෙහි දැඩි වෛරයක් ඇතිකරගෙන සිටියා.  ඔහුගේ ජීවිතයේ සෑම අයහපත් ම සිදු වීමට හේතුව බාත් ප්‍රාථමික පාසල බවට ඔහු විශ්වාස කළා.

විනාශයකට සැරසෙයි

මේ කාලය වනවිට ඇන්ඩෘ කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත්, ඇන්ඩෘ කීහෝගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු සිය ඉඩම කෙළවරේ වූ ඔහු විසින් ම වැවූ ගස්වලට වෙඩි තබමින්, තනිවම කියවමින් සිටිනු දුටු එල්ස්වර්ත්,  කීහෝ උමතුවකට පත්වෙමින් සිටින බව සිතුවා. කීහෝගේ තවත් අසල්වාසියෙකු වූ මැක්මුලන් සිතුවේ කීහෝ සියදිවි නසාගැනීමට සැලසුම් කරන බවයි. කීහෝ 1927 වසරේදී සිය ගොවිපළේ කටයුතු සියල්ල ම නවතා දමනවා.

කීහෝ නිවස – 1925

1927 අප්‍රේල් 27 වැනිදා මැක්මුලන් හමුවන ඇන්ඩෘ කීහෝ ඔහුට සිය අශ්වයෙකු තෑගි කරනවා. මැක්මුලන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ තම ගොවිබිමේ වැඩකටයුතු වෙනුවෙන් එය තබාගන්න ලෙස කියමින්. මේ කාලය වනවිට කීහෝගේ බිරිඳ නෙලී, ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටිනවා. නිතර රෝහල්ගතවන නෙලීගේ ප්‍රතිකාරවලටත් කීහෝට ඉතා විශාල වියදමක් දැරීමට සිදු වනවා. මේ කාලයේදී කීහෝ විසින් සිය රක්ෂණය සඳහා ගෙවිය යුතු වාරික මෙන් ම උකස් වාරිකයද ගෙවීම අතහැර තිබෙනවා.

1927 මැයි 15 වැනිදා ඔහු දවස පුරාම සිය ගොවිපළේ කටයුතු කරනවා. සියලුම ගස් කපා දමන ඔහු, ඇතැම් ගස්, කපා ඇති බව නො පෙනෙන්නට ඒවා අටවා තබනවා. එමෙන් ම මිදි වැල් ද ඇතුළුව සියලුම භෝග විනාශ කර, ඒවා විනාශ කර දමා නැති බව අසල්වැසියන්ට පෙනෙන ලෙස යන්තම් රඳවා තබන්නට කටයුතු කරනවා.

මැයි 16 වැනිදා නෙලී, අවසන් වරට රෝහලේ සිට නිවසට පැමිණෙනවා. ඔහු මැයි 16 සවස – 18 උදෑසන අතර මොහොතක නෙලීව ඝාතනය කර, ඇගේ සිරුර නිවසින් පිටත ගොඩනැගිල්ලකට ගෙන ගොස් දමනවා.

ඔහු දින කිහිපයකට පෙර, අලුතෙන් ම ටයර් යෙදූ තම ෆෝඩ් ට්‍රක් රියෙන් රථයෙන් කිහිප වරක් ම නගරයටත්, බාත් ප්‍රාථමික පාසලටත්, ගොවිපළටත් නිවසටත් යනවා. පසුගිය වසරේ නොවැම්බරයේ සිට ඔහු වරින්වර මිලට ගෙන එකතු කරගත් පයිරටෝල් (පළමු ලෝක යුධ සමයේ භාවිත වූ පුපුරන ද්‍රව්‍යයකි. මෙය සහ ඩයනමයිට් එකල ගොවිපළ භාවිතා සඳහා මිලට ගැනීම සුලබ සිදුවීමකි.) සහ ඩයනමයිට් ගොවිපළේත්, පාසලේත් ගොඩ ගසනවා.

පුහුණු විදුලි කාර්මිකයෙකු වූ ඔහුට බාත් ප්‍රාථමික පාසලේ භූගත ගබඩාවට නිතර යාමට ඒමට ඉඩ ලැබී තිබුණේ ඔහු එහි විදුලි පද්දතියේ අලුත්වැඩියා කටයුතු කිරීම සිදුකරන පුද්ගලයා වීමෙන්.

මේ සමඟම ඔහු ඔහු විසින් ම නිර්මාණය කළ, ඇටවුම් දෙකක් ද ගෙනගොස් මෙම පුපුරන ද්‍රව්‍යවලට සම්බන්ධ කරනවා. එමගින් ඔහු ඒ පුපුරන ද්‍රව්‍ය කාල බෝම්බ දෙකක් බවට පත් කරනවා. ඒ ගොඩනැගිල්ලේ උතුරු අන්තයේ, භූගත ගබඩාවේ එක කාල බෝම්බයක් සහ දකුණු අන්තයේ තවත් කාල බෝම්බයක් වන ලෙසටයි. 

1927 මැයි 18 වැනිදා

1927 මැයි 18 වැනිදාට දිනය උදා වෙනවා. හරියටම උදෑසන 8.30 ට ඔහුගේ නිවස සහ ගොවිපළ සුන්බුන් ගොඩක් බවට පත්කරමින් පිපිරීමක් සිදු වෙනවා. ඉන් ඔහුගේ ගොවිපළ සම්පූර්ණයෙන් ම විනාශ වන අතර, එහි එක් චිමිනි කුළුණක් පමණක් ඉතිරි වෙනවා. නිවසේ කොටසක් විනාශ වී යන අතර ක්ෂණිකව නිවසේ ගින්නක් හටගන්නවා. ඔහුගේ අසල්වාසීන් වහා ම පැමිණ මේ ගින්න නිවීමට උත්සාහ කරනවා.

එක් අයෙකු ජනේලයෙන් නිවසට ඇතුළු වී එතෙක් විනාශ නොවී තිබුණු නිවසේ විසිත්ත කාමරයේ බඩු භාණ්ඩ ඉවත් කරනවා. තවත් අය මෙහි ජීවත්ව සිටි පිරිස බේරාගැනීමට උත්සාහ කළත් ඔවුන් දකින්නේ හිස් නිවසක් පමණයි. ක්ෂය රෝගයෙන් පීඩා විඳින නෙලී, රෝහලේ නවතා ඇති බවයි අසල්වැසියන් එවිට නිගමනය කරන්නේ. එමෙන් ම නිවසේ මුල්ලක වූ පුපුරා නො ගිය ඩයනමයිට් තොගයක් ද දකින අයෙක් වහාම එය ඉවත් කරනවා. 

වත්ත කෙළවර නවතා තිබූ සිය ෆෝඩ් රියෙන්,  ගිනිගන්නා ගොඩනැගිලි සහිත තම ඉඩමෙන් පිටව යන ගමන් කීහෝ, තම ගොඩනැගිලිවල ගින්න ගැන වද නොවී, වහාම පාසලට යන්න යයි ගිනි නිවන භටයන්ට පවසනවා.

කීහෝ නිවසින් හමුවූ ඩයනමයිට්

මේ වනවිට ඔහුගේ ෆෝඩ් රියද, පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල බෝම්බයක් බවට පත්කර තිබෙන බව කිසිවෙකුත් දන්නේ නැහැ.

මේ අතර බාත් ප්‍රාථමික පාසල සුපුරුදු ලෙස උදෑසන 8.30 ට ආරම්භ වනවා. ඈතින් ඇසුණු පිපිරීම් හඬ නිසා ළමුන් තරමක නො සන්සුන්ව සිටිනවා. රෝස්කෝ හාට් මහත්මිය, පන්තිභාර ගුරුවරිය ලෙස කටයුතු කළ පහ ශ්‍රේණියේ පන්තිය, ගොඩනැගිල්ලේ උතුරු කොටසේ බිම් මහලේ පිහිටා තිබෙනවා. වෙලාව කෙමෙ කෙමෙන් උදෑසන 8.45 ට ආසන්න වනවා.

හරියටම උදෑසන 8.45 ට,  රෝස්කෝ හාට්ගේ පන්තියට කෙළින් ම පහළ භූගත ගබඩාවේ කාල බෝම්බය පුපුරා යනවා. රෝස්කෝ හාට්ගේ පන්තිය, දරුවන් සහ ඇයත් සමඟ පොළොව තුළින් ඇද වැටෙනවා. මේ පිපිරීමේ හඬ ඇසී, කීහෝගේ ඉඩමේ ගින්න නිවමින් සිටි පිරිස ද වහාම පාසල වෙත දිව එනවා.

පිපිරීමෙන් පසු බාත් ප්‍රාථමික පාසල – මැයි 18, 1927
පිපිරීමෙන් පසු බාත් ප්‍රාථමික පාසල – මැයි 18, 1927

විනාශයක තරම

පාසලේ උතුරු අන්තය සහමුලින් ම විනාශ වී තිබෙන අතර දරුවන්ගේ විලාප හඬ ඇසෙමින් තිබෙනවා. ගොඩනැගිලි සුන්බුන් අතරින් උදව් ඉල්ලා හඬන දරුවන් සහ පිපිරීමෙන් මියගිය පිරිස සෙවීමේ මෙහෙයුම් ක්ෂණිකව ආරම්භ වනවා. මේ මෙහෙයුමේ දී සිටින අය අතර, එදින පාසල් පැමිණි දරුවන්ගේ මව්වරු ද වනවා. මිනිසුන් කිහිප දෙනෙකුටවත් එසවිය නො හැකි විශාල ගඩොල් පදාස මේ මව්වරු විසින් ඉවත් කරන ආකාරය එහි රැස්වූ පිරිස් දකිනවා.

ඇතැම් මව්වරුන්ට ගොඩනැගිලි අතරේ සිරව තිබී, උදෑසන නිවසින් පිටව ගිය තම දරුවාගේ මළ සිරුර හමුවනවා.

ප්‍රාථමික පාසල් ගුරුවරියක වූ බර්නිස් ස්ටර්ලිං මේ සිදුවීම ඇසෝසියේටඩ් පුවත් සේවයට විස්තර කරනවා.

“එය භූමිකම්පාවක් වගේ… එකවරම පාසලේ පුටු, මේස, පොත් සහ දරුවන් අහසේ පියාඹන්න වුණා. විසි වී ගිය දරුවන්ගේ සිරුරු කැබලි බිම විසිරුණා…”

මේ වනවිට පාසලේ උතුරු කොටසේ වහලය බිමට ම පහත් වී තිබෙනවා. කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත් මේ වනවිට සිටින්නේ පාසලේ. ඔහු මෙම වහලය ඉවත් කිරීමට අවශ්‍යවන උපකරණ ගෙන ඒමට සිය ගොවිපළ වෙත යාමට පාසලෙන් පිටත් වනවා. එතෙක් වෙලා කොහේ හෝ සිය රථය නවත්වාගෙන සිටි කීහෝ, වේගයෙන් පාසල දෙසට එය පදවාගෙන එනු ඔහු දකිනවා. ඔහු එල්ස්වර්ත් සමඟ දත් දෑන්දම ම පෙනෙන සේ විලිස්සා සිනහ වෙමින් අත වනනවා.

තෙවැනි පිපිරීමත් සිදුවෙයි

කීහෝ සිය රථය පාසලට පදවාගෙන එනු දකින පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික් ඉදිරියට යනවා. මෝටර් රථය නවත්වන කීහෝ, හුයික්ව තමන් අසලට කැඳවාගන්නවා.

ඇසින් දුටු සාක්ෂි අනුව, හුයික්, මෙම සුන්බුන් ඉවත් කිරීමට ඔහුගේ යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකිද යන්න කීහෝගෙන් විමසනවා.  ඉන් මොහොතකට පසුව,උමතු පෙනුමෙන් යුතුව කීහෝ සිනාසෙන ආකාරය දකින හුයික්, ඔහු මේ විනාශයට සම්බන්ධදැයි අසනවා.  ඒ මොහොතේ තුවක්කුවක් අතට ගන්නා කීහෝ, එයින් සිය ෆෝඩ් රියට වෙඩි තබනවා. (මේ තුවක්කුව කීහෝ විසින් 1926 වසරේ දෙසැම්බර් මිලට ගත්තක්.)

ඉන් මොහොතකට පසුව කීහෝගේ රථය විශාල හඬක් නගමින් පුපුරා යන්නේ කීහෝ මෙන් ම හුයික්, සහ අසල සිටි ගොවියෙකුත් ක්ෂණිකව මරණයට පත් කරමින්. එමෙන් ම පළමු පිපිරුමෙන් දිවි ගලවාගෙන පාසල ආසන්නයේ ඇවිදිමින් සිටි අට හැවිරිදි ක්ලියෝ ක්ලේටන් ද මේ පිපිරුමෙන් මිය යනවා.

එමෙන් ම බාත් හි තැපැල්කරු මේ පිපිරුමෙන් බරපතල තුවාල ලබන අතර ඔහු රෝහලට ගෙනියන අතරේ මිය යනවා.

පුපුරා හැරුණු ෆෝඩ් රිය – මැයි 18, 1927

සුන්බුන් අතරින්

මේ වනවිට විනාශ වුණු පාසල් ගොඩනැගිල්ලෙන් මළ සිරුරු එකිනෙක ගෙන, පාසල් භුමියේ බිම තබා තිබෙනවා. තුවාලකරුවන් රෝහල්ගත කරන්නට යුහුසුළුවන පිරිසගේ හඬත්, සුන්බුන් ඉවත් කරන යන්ත්‍රවල හඬත් අතරින් තම දරුවන්ගේ සිරුරු හඳුනා ගත් මව්පියන්ගේ හැඬුම් හඬ ඇසෙනවා. ඇතැම් සිරුරු ඔවුන් හඳුනා ගන්නේ දරුවන්ගේ සපත්තුවලින්. එමෙන් ම ඇතැම් සිරුරු කොටස් විදුලි රැහැන්වල එල්ලෙමින් තිබෙනවා.

විනාශ වුණු පාසල ගුවනට පෙනුණු  ආකාරය – මැයි 18, 1927
මළ සිරුරු හඳුනා ගනිමින් – මැයි 18, 1927

ගොඩනැගිල්ලේ විනාශ නො වුණු දකුණු අන්තයේ බිම් ගබඩාවේ තිබී, තවත් විශාල කාල බෝම්බයක් හමුවෙනවා. ඩනයනමයිට්, භූමිතෙල් සහ පයිරටෝල් යොදා සෑදු රාත්තල් පන්සීය හතරක පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බය, වයර් බුරුල් වීමෙන් පුපුරා යාම වැළකී ගොස් තිබූ අතර එය පුපුරා ගියා නම්, මුළු පාසල ම සුන්බුන් වීම නො වැළක්විය හැකි දෙයක් වන බව පරීක්ෂකයන්ට වැටහෙනවා.

පාසලෙන් හමු වූ පුපුරා නො ගිය බෝම්බයේ කොටස් පරීක්ෂකයන් අත – මැයි 19, 1927
පාසලෙන් හමු වූ පුපුරා නො ගිය පුපුරණ ද්‍රව්‍ය තොගය – මැයි 19, 1927

දින දෙකක් පුරා කළ මෙහෙයුමකින් පසුව සුන්බුන් අතර සිරව සිටි සියල්ලන් බේරා ගැනෙන අතර, මළ සිරුරු සියල්ල ද ඉවත් කෙරෙනවා.

මේ අතර මුල් ම පිපිරීම සිදු වූ, කීහෝ ගොවිපළේ විසිරී තිබූ සත්ත්ව මළ සිරුරු, සුන්බුන් අතරින් සිය මෙහෙයුම් කරන පිරිසට, පිළිස්සී මියගොස් සිටින කුකුළන් සහිත කුකුළු කොටුවක් පිටුපස වීල්බැරෝවක පටවා තිබූ මිනිස් සිරුරක් හමුවෙනවා. ඉතා දරුණු ලෙස පිලිස්සී තිබුණු මේ මළ සිරුර නෙලී බවට හඳුනා ගැනෙනවා.

කීහෝගේ අශ්වයන් දෙදෙනාගේ සිරුරු, ඉස්තාලයේ තිබී හමුවන අතර, ඔවුන්ගේ පාද බැඳ තිබෙන්නෙ, ඔවුන් පැන ගොස් දිවි බේරා ගැනීම වැළක්වීමේ අරමුණින් බව හෙළි වෙනවා.

කීහෝ ඉඩමේ වැටක, “අපරාධකරුවන් උපදින්නේ නැත. සමාජය විසින් ඔවුන් ව නිර්මාණය කරනු ලබයි” යනුවෙන් කීහෝ විසින් ලියූ කොළ කැබැල්ලක් එල්ලෙමින් තිබෙනවා. ඒ කීහෝගේ අවසන් පණිවිඩය බවට පරීක්ෂකයන් විශ්වාස කරනවා.

කීහෝ ගොවිපොළෙන් ඉතිරි වී තිබූ එකම දෙය – චිමිනිය – මැයි 18, 1927
අශ්වයන් දෙදෙනාගේ සිරුරු – මැයි 18, 1927
කීහෝගේ අවසන් පණිවිඩය – මැයි 18, 1927

‘පුපුරණ ද්‍රව්‍ය’ ලේබල් ගැසූ පාර්සලයක්

මේ අතර, මෙම පුපුරා ගැනීම්වලට ප්‍රථම, කීහෝ විසින් තරමක් බර පාර්සලයක් තැපෑලට භාරදී ඇති බව පොලිසියට ආරංචි වනවා. පොලිසිය එය සොයා යන්නේ, ඒ තුළ තවත් විනාශකාරී බෝම්බයක් පාර්සලයක් ලෙස සකස්කොට ඇති බව සිතමින්. තැපැල් හුවමාරුවේදී එය ලබාගන්නා පොලිසිය, එහි පිටත සඳහන් කළ, ‘වහා පුපුරණසුළුයි!’ ලේබලය දකිනවා. මෙම පාර්සලය යොමුකර තිබුණේ තවත් පාසල් කාමිටු සාමාජිකයෙකුටයි.

සුපරික්ෂාකාරීව එය ඉවත් කරන පොලිසියට, එහි තිබී, ඔහු බාත් පාසල් කමිටුවේ භාණ්ඩාගාරික ලෙස භාවිතා කළ ගිණුම් පොත් සහ ලිපියක් හමුවනවා.

ලිපියේ සඳහන් වන්නේ තමන් පාසල් කමිටුවේ සියලු කටයුතුවලින් ඉවත්වන බව සහ, තමන්ගේ පාලනය යටතේ පාසලේ එක් ගිණුමක, ශත ගණනක වෙනසක් වී ඇති බවත් පමණයි.

කීහෝගේ ලිපිය

විපතේ තරම

පිපිරීම් තුන සිදුවූ ස්ථාන තුනේදී පුද්ගලයන් 45 දෙනෙකු මියගොස් 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වැඩිම ජීවිත හානි ගණනක් වාර්තා වුණේ පිපිරීම් වනවිට පාසලේ සිටි පිරිස අතුරින්. ඒ සංඛ්‍යාව 40 ක්. ඉන් 38 ක් ම පාසල් දරුවන්.

පාසල් බෝම්බය පුපුරා ගිය ස්ථානයට කෙළින් ම ඉහළින් පිහිටි රෝස්කෝ හාට්ගේ පන්තියේ දරුවන් සියල්ලම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් වනවා. රෝස්කෝ හාට් ද දින කිහිපයකට පසු රෝහලේදී මිය යනවා.

බෝම්බයේ 45 වැනි ගොදුර ලෙස, දස හැවිරිදි  බියට්‍රිස් ගිබ්ස් (Beatrice Gibbs) මියයන්නේ තෙමසක් රෝහල්ගතව වේදනා විඳීමෙන් අනතුරුව, අගෝස්තු 22 වැනිදා යි.  ඇය ඇගේ දස වැනි උපන්දිනය සමරා තිබුණේ බාත් බෝම්බයට පෙර දිනයේ යි.

රෝස්කෝ හාට් ගේ පන්තියේ දරුවන්. මේ සියල්ලන්ම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් වූ අතර රෝස්කෝ හාට් ද රෝහලේදී මරණයට පත්වූවා ය.

නිගමනයකට එළඹෙයි

ඇන්ඩෘ කීහෝ විසින් අධික මිලක් ගෙවා මිලට ගත් කීහෝ ගොවිපළේ තිබුණු ඇතැම් යන්ත්‍ර සූත්‍ර කිසිදා භාවිතා කෙරී නැති බවත්, ඒවා විකිණුවා නම්, කීහෝට සිය ණය බරින් නිදහස් වීමට අවශ්‍ය තරම් මුදලක් ලැබිය හැකිව තිබූ බවත් පසුව අනාවරණය වුණා. එමෙන් ම අපරාධයට මාස කිහිපයකට පෙර ප්‍රදේශයේ ඉදිකිරීමක් කරන ස්ථානයකින් ඩයනමයිට් තොගයක් සොරකම් කිරීමේ සිදුවීමක් ද වාර්තා වී තිබූ අතර, එහි සැකය එල්ල වී තිබුණේ කීහෝටයි.

තෙවන පිපිරිම සිදු වූ ෆෝඩ් රිය ආසන්නයේ තිබී හමුවූ ඇන්ඩෘ කීහෝගේ මළ සිරුර ඔහුගේ සොයුරියක විසින් භාරගෙන, සළකුණු නො කළ සොහොන් බිමක, නමක් සඳහන් නො කළ සොහොනක වල දමනවා. නෙලී හෙවත් එලන් ඇග්නස්ගේ සිරුරේ කොටස් ඇගේ ඥාතින් විසින් ලැන්සින් හි සොහොනක තැන්පත් කරන්නේ, ඇය විවාහයට පෙර භාවිත කළ නම යටතේ.

ඇන්ඩෘ කීහෝ, ඔහුට සිදුවූ අනතුරෙන් පසුව සාමාන්‍ය මානසික මට්ටමක් නො තිබූ අයෙකු බවට පත් ව තිබූ බවත්, එනිසා ම ඔහු, ඔහුට සිදුවන සෑම අයහපතක ම වගකීම සමාජය පිට පත්වන්නට පුරුදු වූ බවත් නිගමනය කෙරුණා. උමතු, වෛරයෙන් පිරුණු, ‘තිත්ත හදවතක්’ තිබූ මිනිසෙකු විසින් කළ අපරාධයක් ලෙසට ඇමරිකානු බලධාරීන් බාත් සංහාරය හඳුන්වන්නට යෙදුණා.

අයරින් ඩන්හැම් (Irene Dunham) බාත් පාසලේ සිසුවියක්. උගුරේ අසනීපයක් නිසා 1927 මැයි 18 ඇයට පාසල් යාමට හැකි වන්නේ නැහැ. පාසල පුපුරා යන හඬ ඇසීමෙන් පසු, ඇය ඇගේ මව සමඟ ඔවුන්ගේ මෝටර් රියේ නැගී වහාම ඒ දෙසට යනවා. ඉහළ නගින දුම් සහ දුවිලි වලාවන් අතරින් අයරින් ඩන්හැම් මුලින් ම දකින්නේ දුරකථන වයරයක පැටලී ඇති හිසක්.

බාත් සංහාරයේ 94 වැනි සංවත්සරය වෙනුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේ ඇය යළිත් ඒ සිදුවීම ආවර්ජනය කළා. තවමත් ජීවතුන් අතර සිටින  අයරින් ඩන්හැම්ගේ වයස මේ ලිපිය ලියන 2021 වසරට, අවුරුදු 113 ක්. ඇමරිකාවේ මිචිගන් හි වෙසෙන වයස්ගතම තැනැත්තිය වන්නේ ඇයයි.

දන්න කියන දරුවන්ගේ මුහුණු, ටෙලිෆෝන් වයර්වල, ගස් අතුවල එල්ලී තිබුණා. දූවිලි සහ දුම මැදින්, ඔවුන් විවරකරගත් ඇස්වලින් අප දෙස බලා සිටියා. එලෙස එල්ලෙන්නේ ඔවුන්ගේ හිස් පමණක් බවත්, කඳ කොටස් පොළොවේ විසිරි ඇති බවත් මට තේරුම් ගියේ ටික වෙලාවකට පසුවයි. අප එතනින් ඉවත් වීමට පෙර ඇන්ඩෘ කීහෝ ඔහුගේ වාහනය පදවාගෙන ආවා. ඔහු සුපිරිටෙන්ඩන්වරයාවත් මරාගෙන මෝටර් රිය පුපුරවගත්තේ ඒ වෙලාවේ. ඔහුගේ ෆෝඩ් රියේ කොටසක් විදුලි රැහැනක පැටළුණා…”

………තවදුරටත් මගේ හිතේ ඒ ගැන වෛරයක් නැහැ. ඒත් එදා ඇතිවුණු දුක, මගේ ජීවිතය අවසන් වන තෙක් ම පවතීවි. කීහෝ ගැනත් මගේ හිතේ දැන් ඇත්තේ දුකක් යයි මම හිතනවා. එය තවදුරටත්, කිසිසේත් ම වෛරයක් නම් නෙමෙයි …”

අයරින් ඩන්හැම් (Irene Dunham), වයස අවුරුදු 113 යි. 2021 අගෝස්තු

පුපුරා ගිය බාත් ප්‍රාථමික පාසල පිහිටි ස්ථානයේ දැන් ඇත්තේ උද්‍යානයකි. එහි සවිකළ පුවරුවක, ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකයක් පිහිටා තිබේ. බාත් ඛේදවාචකයෙන් දිවි ගලවාගත්, එහි සිසුන් ව සිටි පිරිසෙන් තවමත් ඉතිරිවී සිටින්නන්, වසරක් පාසා මේ උද්‍යානයට රැස්වන එදා මියගිය පිරිස අනුස්මරණය කරති.

සිදුවීමට සම්බන්ධ තවත් ඡායාරූප පහතින්

Lansing State Journal සවස පුවත්පත – මුල් පිටුව – මැයි 18, 1927
ගිලන් රථයක් විනාශ වූ පාසල ඉදිරියේ නවතා ඇති අයුරු – මැයි 18, 1927
නෙලීගේ සිරුර හමු වීමෙන් පසු – මැයි 18, 1927
විනාශ වුණු පාසල් ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින දරුවන් – මැයි 18, 1927
කීහෝගේ යන්ත්‍ර සූත්‍ර ගබඩාව පිපිරීමට පසු – 18 මැයි 1927. මෙයින් භාවිතා නො කළ ඒවා විකුණා ඔහුට පහසුවෙන් සිය ණය අහවර කිරීමේ හැකියාව තිබූ බව පසුව හෙළි විය.
තුවාල ලද දරුවන්ගෙන් කිහිප දෙනෙක් – Lansing State Journal උදෑසන පුවත්පත – මැයි 20, 1927
සුන්බුන් අතරේ වැටී ඇති සය හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් – Lansing State Journal උදෑසන පුවත්පත – මැයි 20, 1927
බෝම්බයේ 45 වැනි ගොදුර. දස හැවිරිදි  බියට්‍රිස් ගිබ්ස්, තෙ මසක් රෝහල්ගතව සිට අගෝස්තු 22 වැනිදා මිය ගියා ය.
පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික්ගේ මරණය පුවත්පතක පළ වී – මැයි 19, 1927
ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකය
බාත් ඛේදවාචය පිළිබඳව ලියවුණු කෘති

Rita John(රීටා ජෝන්) – කාකදූවේ ඛේදවාචකය

ලංකාව නිදහසේ ස්වරණ ජයන්තිය සමරන වර්ෂයේ සිදු වූ Rita John (රීටා ජෝන්) ඝාතනය ලංකාවේ කීර්ති නාමයට හානි කළ කළු පැල්ලමකි. මේ ඒ පිළිබඳ සටහනකි

කැලණි ගං මිටියාවත අසබඩ මෝදර කාක දූපත, වර්තමානයේ දකුණු ආසියාවේ ඇති විශාලතම මුහුදු බඩ උද්‍යාන අතුරින් එකක් පිහිටි ස්ථානයක්. දූපතක් ලෙස හැඳින්වූවත්, ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධව ඇති කාක දූපත, සවස් කාලයේ අතිශය සුන්දර ස්ථානයක්.

වර්තමානයේ නාගරික සංවර්ධනයේ කල එළිය වැටී තිබෙන මේ කාක දූව, මීට දශක දෙකකකට පමණ පෙර, එතරම් ම ජනාකීර්ණ නොවූ, කැලණි ගඟේ ජලයෙන් පෝෂණය වූ කඩොලාන සහිත වගුරින් පිරි බිමක්ව පැවතුණා. දහවල් කාලයේ පවා බිමට හිරු එළිය නොවැටෙන තරම් ඝන කඩොලාන ගහණයක් පැවති ඒ පරිසරය, විවිධ අපචාර සහ විෂමාචාර කරන්නන්ට හොඳ ආවරණයක් ලබා දුන්නා.

අද අපි කියවන සිදුවීම සිදුවන්නේ, 1998 වර්ෂයේදී. එවකට, පෙර විස්තර කළ අන්ධකාර පරිසරයක් තිබූ කාක දූවේ.

ඉන්දියාවෙන් ආ මනාලිය

Jude Manoharan(ජූඩ් මනෝහරන්) නාවික යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. ශ්‍රී ලාංකිකයෙක්.  Rita John (රීටා ජෝන්) ඉන්දියාවේ බොම්බායේ උපන් තරුණියක්.

ජූඩ් සිය රැකියාව කළ නෞකාව 1998 වසරේ බොම්බාය වරායේ නවත්වනවා. එම කාලයේ ඉරිදාවක, ජූඩ් බොම්බායේ සාන්ත මයිකල් දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙයට සහභාගී වනවා.

එදින පල්ලියට පැමිණි Rita John (රීටා ජෝන්) ව ජූඩ්ට මුලින්ම හමුවෙන්නේ මේ ගමනේදී.

1998 සැප්තැම්බර් 12 ශාන්ත මයිකල් දේවස්ථානයේදී ඉතාම සුන්දර, බටහිර විවාහ මංගල උත්සවයක් පැවැත්වෙනවා.  මේ  විවාහ උත්සවයේ මනාලිය වූයේ අපි කලින් කියූ, මුම්බායේ පදිංචිකාරියක වූ Rita John (රීටා ජෝන්) . ඇගේ අතගත් මනාලයා වූයේ ශ්‍රී ලාංකික නාවික ඉංජිනේරු (Jude Mohan Sunanthiran Manoharan) ජූඩ් මොහාන් සුනන්තිරන් මනෝහරන්.

ඔවුන් මුලින්ම හමුවූ පල්ලියේදීම, මේ දෙදෙනා දුකේදීත්, සැපේදීත්, සුවයේදීත්, විපතේදීත් එකිනෙකා අත නොහැර සිටින්නට ගිවිසගන්නවා.

විවාහයෙන් පසු ටික දිනක් ඉන්දියාවේ ගත කරන මේ දෙදෙනා, 1998.09.20 වැනිදා ලංකාවට එනවා.

Rita John (රීටා ජෝන්) ට ශ්‍රී ලංකාවේ පදිංචියට අවශ්‍ය දේ සම්පාදනය කරගනිමින් කාර්යබහුල වුණු නිසා නව යුවලට ඉන්දියාවේදී විවේක පාඩුවේ මධුසාමය ගත කිරීමට ඉඩක් නොලැබුණු තරම්. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව තම විවාහයේ සුන්දරත්වය විඳින්න ඔවුන් තුළ මහත් වූ බලාපොරොත්තු තිබුණා.

Jude Manoharan(ජූඩ් මනොහරන්)ගේ පියා, විශ්‍රාම ගිය පොලිස් අධිකාරීවරයෙක්. ඔහුගේ නිවස පිහිටා තිබුණේ මෝදර කාකදූපතේ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව නව යුවල පදිංචි වූයේ මේ නිවසේ.

ඔක්තෝබර් 11 . 1998

1998 ඔක්තෝබර් මාසේ 11 හවස 6.15 ට පමණ Rita John (රීටා ජෝන්) සහ Jude Manoharan(ජූඩ් මනොහරන්) , ඔවුන් වාසය කළ නිවසින් පිටත් වෙලා මෝය දිහාට ඇවිදින්න යනවා. සුදු කමිසයක් සහ දම් පැහැයට හුරු කොට කලිසමක් හැඳ සිටින ජූඩ් සහ නිල් ඩෙනිම් කලිසමක් සහ ලා කොළ පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටි රීටා මෝය දෙසට ඇවිදන් යනවා අසල්වාසීන් කිහිප දෙනෙකු විසින් දකිනවා.

ඉර බැස යන ආකාරය නරඹමින් විනාඩි 10 ක් 15ක් පමණ එතන ගත කරන මේ දෙදෙනා, නැවත නිවස දෙසට ඇවිදගෙන එනවා. ඒ වනවිට තරමක් දුරට කළුවර වැටිලා. තද වැස්සක් එන ලකුණුත් අහසේ දිස්වෙනවා.

මෙහෙම ඇවිදන් එන අතරේ,  ඉදිරියට හමුවන කඩල වෙළෙන්දෙක්ගෙන් කඩල ගොට්ටක් මිලදී ගන්න ජූඩ්, එය Rita John (රීටා ජෝන්) අතට දෙනවා.

දෙදෙනා මෝයෙ සිට නිවසට දෙසට මීටර් 200 –  300ක් පමණ එන විට, ඔවුන්ගේ  නිවස පිහිටි දිශාවේ සිට මෝය දෙසට ඇවිදන් එන සිව්දෙනෙකු හමුවෙනවා.

මේ පිරිස බීමතින් සිටින බව ජූඩ්ට තේරෙනවා.

මේ සිව්දෙනාගෙන් උසම පුද්ගලයා, හිස කෙස් ‘පෝනි ටේල්’ විලාසිතාවට සකසාගෙන සිටි කෙනෙක්. ඔහු සමඟම තවත් කෙනෙකුත්, ඔවුන්ගේ කණ්ඩායමේම සිටි තෙවැන්නා සහ සිව්වැන්නා මේ මුලින් කී දෙදෙනාට පසුපසින් –  සමීපයෙන් තමයි ඇවිදගෙන එන්නේ.

හිංසනයක් – විරෝධය පෑමක් – පහරදීමක් සහ පැහැරගැනීමක්

මේ තිදෙනා Rita John (රීටා ජෝන්) සහ Jude Manoharan(ජූඩ් මනොහරන්) පසුකරගන යන අතරේ, තෙවෙනියට ඇවිද යමින් සිටි තැනැත්තා “ආ කොහොමද?” අසමින් රිටාගේ අතින් අදිනවා. අනපේක්ෂිතව සිදුවූ මේ සිදුවීමෙන් රීටා එකවරම ඔහුගේ පැත්තට ඇදිලා යනවා.

ජූඩ් වහාම සිය බිරිඳව තමන්ගේ පැත්තට අදින ගමන්, “මොකක්ද කරන්නේ?” කියල අහනවා. රීටා තම සැමියාට මුවා වෙනවා.

ඒ එක්කම මේ අය ජූඩ්ට අසභ්‍ය වචනයෙන් බණිමින් ඔවුන්ව පසුකරගෙන යනවා.

සිදුවීමෙන් බියට පත් නව යුවල, වේගයෙන් නිවස දෙසට ඇවිදින්න පටන්ගන්නවා.

ගත වෙන්නේ සුළු මොහොතයි. තමන් පසුපස කෙනෙක් දිව එනවා දැනෙන ජූඩ් පිටුපස හැරෙනවා. ඒ එන්නේ මීට මොහොතකට පෙර රීටාගේ අතින් ඇද්ද පුද්ගලයා. ඒ සමඟම අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකු ඔහු පසුපසම දිව එනවා. මේක දකින ජූඩ්, රීටාට “දුවන්න.. දුවන්න” කියල කෑගහනවා. නමුත් රීටාට ඊට ඉඩ ලැබෙන්නේ නැහැ.

කොණ්ඩය ගැටගසා සිටි උස පුද්ගලයා රීටාව අල්ලාගනිද්දී (ඔහු පසුව මේ සිදුවීමේ පළමු චුදිතයා බවට පත්වුණා), අනෙක් දෙදෙනා ජූඩ්ව අල්ලා ගන්නවා. ඒ අතරේ රීටාව අල්ලාගෙන සිටින පුද්ගලයා තමන් ළඟ පිස්තෝලයක් ඇති බව කියමින් රීටාට තර්ජනය කරනවා ජූඩ්ට ඇහෙනවා.  කියනවා ඔහු සතුව පිස්තෝලයක් තියෙනවා කියලා. මේ අතරේ මුලින්ම රීටාගේ අතින් ඇද්ද පුද්ගලයා ( ඔහු 3 වන චූදිතයා බවට පසුව හඳුනා ගැනෙනවා) ජූඩ්ගේ බඩට පා පහරක් එල්ල කරනවා. ජූඩ් ඔහුගෙන් බේරෙන්න උත්සහ කිරීමේදී, ජූඩ්ගේ කමිසය ඉරී යනවා. උපැස් යුවලත් බිම වැටෙනවා. ඒ එක්කම ජූඩ්ගේ පෙනීම සෑහෙන තරම් දුරට බොඳ වෙනවා.

ජූඩ් තුන්වන චුදිතයගේ බඩට පා පහරක් දෙනවා. ඒ සමඟම ජූඩ්ව බිම වැටෙනවා. බිම වැටුණු ජූඩ් දෙවැනි චුදිතයට, අතින් එල්ල කරන පහර, ඔහුගේ යටිබඩට වැඩෙනවා. දෙවැනි චුදිතයා ඒ සමඟම ජූඩ් මතට ඇද වැටෙනවා. ඇද වැටෙන අතාරේ ඔහු ජූඩ්ගේ පපුව සපාකනවා. ඒ සපා කෑමේ ක්ෂණික වේදනාව එක්කම ජූඩ්ට ඇහෙන්නේ රීටා ඔහුගේ නම කියමින් උදව් ඉල්ලා කෑගසන අකාරය.

ජූඩ් දෙවැනි චූදිතගේ මුහුණේ නිකට ප්‍රදේශයට පහරක් එල්ල කරමින් නැගිටින විට, තුන්වෙනි චුදිතයා නැවතත් ඔහුට පහර දීමට උත්සාහ කරනවා.  ඒ අතරේ දෙවැනි චුදිතයා රිදී පති මාලයකින් ජූඩ්ගේ ගෙල සිර කිරීමට උත්සාහ කරනවා.

කොණ්ඩය පෝනි ටේල් දමා සිටි උස පුද්ගලයා, රීටා සමඟ එතනින් අතුරුදන් වී ඇති බව ජූඩ් දකින්නේ ඒ මොහොතේ. තව දුරටත් ඇගේ කෑගැසීම ඔහුට ඇහෙන්නෙත් නැහැ. ඔහු රීටාගේ නම කියමින් කෑගසන අතරේ, තුන්වැනි චුදිතයා ඔහුට යළිත් පහර දෙනවා. ජූඩ් ඒ පහර කාගෙනම සිය නිවස වෙතට දුවනවා.

රීටා කෝ?

කෑගසමින් නිවසට දුවන ජූඩ්ට, ඔවුන්ගේ අසල්වැසි අසල්වැසියකු වුන බාලක්‍රිෂ්ණන්ව හමුවෙනවා. ජූඩ් බාලක්‍රිෂ්ණන්ට සිදුවීම කියනවා. ඉක්මනින් මේ ගැන තම පියා දැනුවත් කරන්න කියල ජූඩ්ට උපදෙස් දෙන බාලක්‍රිෂ්ණන්, සිද්ධිය වුණු දෙසට දුවනවා. ඒ අතරේ තමන්ගේ පියාට සිද්ධිය කියන ජූඩ් ආපහු සිදුවීම වුණු තැනට දුවනවා. සිදු වී ඇති දෙය හරියටම තේරුම් නොගියත්, යම් කරදරයක් වෙලා කියල තේරෙන අසල්වැසියන් දහ පහළොස් දෙනෙකුත් ජූඩ් පිටිපස්සෙන් දුවනවා.

මේ අතරේ ජූඩ්ගේ පියා වහාම මෝදර පොලිසියට දුරකථන ඇමතුමක් දීලා, තමන්ගේ ලේලියව පිරිසක් විසින් පැහැරගත් බව දැනුම් දෙනවා. විනාඩි දහයක් යන්නත් කලින්, මෝදර පොලිස් ස්ථානාධිපති රංජිත් දෙහිදෙණිය, පොලිස්  කණ්ඩායමක් එක්ක සිද්ධිය වූ ස්ථානයට යනවා.

එකවරම මහ වර්ෂාවක් ඇදහැලෙන්න පටන්ගන්නවා.

පොලිසියට අමතරව යුධ හමුදාවේ කිහිප දෙනෙකුත්, මහා වැසි නොතකා රීටා සොයා මෙහෙයුම් ආරම්භ කරනවා.

සිදුවීම සිදුවූ ස්ථානය ආසන්නයේ බිම තිබී, ජූඩ්රීගේ ඉරුණු කමිසයත්, රීටාගේ සෙරෙප්පුවකුත් හමුවනවා.  පොලිස් නිල සුනඛයෙක් ගෙන්වා සෙරෙප්පුව ඉව කිරීමට සැලස්වුවත්,  සෙරෙප්පුව වැස්සට තෙමී තිබුණ බැවින් සුනඛයාට ඉව වැටෙන්නේ නැහැ.

රාත්‍රී 11 පමණ වන තෙක් ඔවුන් ප්‍රදේශය සෝදිසි කළත්, රීටාගේ සලකුණක්වත් ඔවුනට හමුවන්නේ නැහැ.

පසුදාට පහන් වෙනවා. ඒ 1998 ඔක්තෝබර් 12. රීටා සහ ජූඩ් විවාහ වී එදිනට මාසයයි.  එදිනත් දවස පුරාම රීටා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.  මේ මෙහෙයුම්වලට ජූඩ් සහභාගී වෙනවා.

මේ අතරේ ජූඩ්ගේ විස්තර අනුව සැකකරුවන් හඳුනාගන ඔවුන් මගින් රීටා සොයාගැනීමට පොලිසිය උත්සහ කරනවා.

සැකකරුවන් අත්අඩංගුවට

ජූඩ්ගේ මෙන්ම අසල්වැසියන්ගෙන් ලද තොරතුරුවලට අනුව ලක්ෂ්මන් පෙරේරා නමැති පුද්ගලයා මෝදර ඉබ්බගේ වත්තේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. රීටා පැහැරගත් තිදෙනාට අමතරව ඔවුන් සමඟ සිටි, කලබලය සිදුවන අවස්ථාවේ එතනින් පලාගිය පුද්ගලයා තමයි ලක්ෂ්මන්. ඔහු රීටාට සිදුවූ දෙයක් නොදන්නා නමුත් කලබලයට සම්බන්ධ වූ අනෙක් අය ගැන තොරතුරු පොලිසියට ලබා දෙනවා.

ඒ අනුව දෙවැනි විත්තිකරු වූ  බැසිල් නොහොත් නිශ්ශංක කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගැනෙනවා.

තුන්වැනි විත්තිකරු වන චමින්ද නොහොත් ආසිරි කැලණියේ දී අත්අඩංගුවට පත් වෙනවා.  පළමුවැනි විත්තිකරු හෙවත් රීටාව පැහැරගත් පුද්ගලයාගේ නම අජිත් නොහොත් කොණ්ඩ අජිත්. ඔහු ඒ වනවිට හසලක ප්‍රදේශයට පලා ගිහින්.

රීටාගේ සිරුර හමුවෙයි

තුන්වැනි විත්තිකරු වූ චමින්දගේ තොරතුරු අනුව, 1998 ඔක්තෝබර් 12 වැනිදා සවස 2 ට පමණ, පොලිස් කණ්ඩායමක් සමඟ ජූඩ් තම බිරිඳගේ සිරුර ඇති බව කියන ස්ථානයට යනවා.  කාක දූපතේ නාරා ගොඩනැගිල්ලේ පිටුපස වගුරු ප්‍රදේශයේ තිබුණු රීටාගේ නිරුවත් සිරුර ඔවුන්ට හමුවෙනවා.

පොලීසිය විසින් සිරුර ගොඩගන්නා අවස්ථාවේ, ‘Gypsy’ වර්ගයේ කරාබු ජෝඩුවක් හැරෙන්නට ජූඩ් පොලිසියට කළ විස්තරයේ වූ වෙනත් කිසිදු ආභරණයක් හෝ ඇඳුමක් ඇගේ සිරුරේ නැහැ.

ජූඩ්ට අනුව රීටා අවසන් වරට නිවසින් පිටවන විට, ලා කොළ පැහැති, ඉදිරියෙන් බොත්තම් විවරකළ හැකි ටී ෂර්ට් එකක්, සහ නිල් ඩෙනිම් කලිසමක් ද, ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රෙෂියර් යට ඇඳුමක් සහ Mark & Spenser කාන්තා බ්‍රීෆ් යට ඇඳුමක් ද ඇඳ සිටියා.

එමෙන්ම ‘Gypsy’ කරාඹු යුගලක් සහ විවාහ දිනයේදී ඔහු විසින් බැඳ තිබූ මංගල තාලියත්, එය සමඟම මාලයක ඇමිණු KDM යන මුලකුරු සහ 916 අංකය එන්ග්‍රේව් කර තිබූ පෙන්ඩනයත් පැළඳ සිටියා.

මංගල මුද්දක්, දියමන්ති මුද්දක් මෙන්ම අංක 8 නිරූපණය කරන මෝස්තරයක් මධ්‍යයේ මල් මෝස්තරයක් තිබූ වළලු ජෝඩුවක් පැළඳ සිටියා.

මෙයින් ‘Gypsy’ කරාබු යුගල පමණක් මළ සිරුරේ තිබුණා.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් දුන් තොරතුරු අනුව, 13 වැනිදා සවස පොලිස් කණ්ඩායමක් හසලක බලා ගියා. 14 වැනිදා පාන්දර කොණ්ඩ අජිත් අත්අඩංගුවට ගැනුණා.

කොණ්ඩ අජිත් ලබා දුන් තොරතුරු අනුව,  රීටා හැඳ සිටි ඩෙනිම් කලිසමත්, කමිසයත්, අනෙකුත් ඇඳුමුත් කොට්ටන් ගසක් යට පස්වලින් වසා සඟවා තිබියදී සොයා ගැනුණා. රීටා සතුව තිබී කොල්ලකන ලද වළලු දෙක කොණ්ඩ අජිත්ගේ බිරිය විසින් පොලිසියට බාර දුන්නා.

මෝදර පොලීසියේ ස්ථානාධිපති අයි.පී. චන්ද්‍රතිලක දෙවන චූදිතගේ ප්‍රකාශය මත ඔහුගේ නිවසේ සඟවා තිබියදී රීටාට අයත් මාලය සහ තාලිය සොයා ගන්නවා.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී ජූඩ් මනෝහරන් විසින් චූදිතයින්ව හඳුනාගන්නවා.

මරණ පරීක්ෂණය

1998.10.14 වැනිදා මළසිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන යාමෙන් පසුව, ජූඩ් මනෝහරනුත් සහ ඔහුගේ සොයුරා විසින් එය රීටා ජෝන්ස්ගේ බව හඳුනාගෙන තහවුරු කරනවා.

සහකාර අධිකරණ වෛද්‍ය  විදානපතිරණ විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට පෙර වූ තුවාලත් මරණයෙන් පසුව ඇතිවුණු තුවාලත් නිරීක්ෂණය වනවා.

එක් පුද්ගලයකුට වඩා වැඩි තැනැත්තන් පිරිසක් විසින්  ඉතා දරුණු ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඉන් අනතුරුව  ගැටයකින් බෙල්ල තද කිරීම නිසා ඇය මරණයට පත්ව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වුණා. පැහැර ගැනීමට ස්වල්ප වේලාවකට පෙර, රීටා අවසන් වරට ආහාරයට ගත් කඩල ඇගේ ආහාර මාර්ගයේ ගමන් කර තිබූ කාලය අනුව, මරණය සිදුව ඇත්තේ, එම ආහාරයෙන් පැය පහකට ආසන්න කාලයක් තුළ බව නිගමනය කෙරුණා.

නඩු විභාගය ඇරඹෙයි

අපරාධ විධි විධාන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ජූරි සභාවක් නොමැතිව ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

විත්තිකරුවන් සිව් දෙනාගෙන් ලක්ෂ්මන් ප්‍රනාන්දු නැමැති අය නිදොස් කොට නිදහස් කෙරුණා. ඔහු රජයේ සාක්කිකරුවෙකු බවට පත්වුණා.

මෙම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිඥ සංගමය තීරණය කර තිබුණා.

එසේ වුවත්, නීතිඥයන් දෙදෙනකු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියා.

ලැබී ඇති සාක්කි මත පදනම්ව, අධිකරණයේදී සිදුවීම ගොඩ නැගුණා.

1998.10.11 ලක්ෂ්මන්, අජිත්, බැසිල් සහ චමින්ද යන සිව්දෙනාත් තවත් දෙදෙනෙකුත් මත්පැන් සහ ගංජා පානය කරනවා. අධික ලෙස වෙරිමතින් සිටි මේ අයගෙන් සිව් දෙනෙක්, මෝය කට දෙසට ඇවිද යන අතරවාරයේ රීටාට සහ ජූඩ්ට හමු වනවා.

රීටාව පළවෙනි විත්තිකරු විසින් කැලයට ඇදගෙන යනු සහ, ඉතිරි දෙදෙනා ජූඩ් සමඟ ගැටෙනු දුටු ලක්ෂ්මන්, එතනින් පැන දුවනවා.

චමින්ද හා බැසිල් ජූඩ් සමඟ පොර බදනවිට,  අජිත් රීටාව කැලයට ඇදගෙන යනවා. රීටාව සොයාගැනීමට නොහැකි වූ තැන, ජූඩ් උදව් ඉල්ලමින් පැන දිවූ  පසු බැසිල් හා ආසිරි ද අජිත්ට එකතු වී රීටාව තව දුරටත් කඩොල් කැලය තුළට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර කරනවා.

අතවරවලින් පසුවත් ඇයට සිහිය තිබුණු අතර, ඇය වේදනාවෙන් කෙඳිරිගාමින් සිටිනවා. (මේ බව දෙවැනි චුදිතයා විසින් පොලිසියේදී පවසා තිබුණා.)  තමන් කළ අපරාධය වසන් කිරීමේ අරමුණින් මේ තිදෙනා, වැල්පොටකින් ගෙල සිර කර රීටා ඝාතනය කරනවා.

ඉන්පසුව ඇගේ ස්වර්ණාභරණ කොල්ලකා, සිරුර ඒ ආසන්නයේ වූ ජපන් ජබරවලින් වැසී ගිය මඩ ඇළට ඇද දමනවා.

මෙහිදී විත්තිකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ සිරුරේ තිබූ තුවාලවලට අවධානය යොමු වුණා. ස්ත්‍රී දුෂණයක් අවස්ථාවේ, ඉන් ගැලවීමට උත්සාහ කරන ස්ත්‍රියක විසින් ඇති කළ තුවාල ලෙසට ඇතැම් තුවාල හඳුනා ගැනුණා.

එමෙන්ම ජූඩ්ගේ පියයුරකට උඩින් වූ තුවාලය, මිනිසෙකු විසින් සපාකෑම නිසා ඇතිවූවක් බවත් මෙහිදී ඔප්පු වුණා.

තීන්දුව ලැබෙයි

 මාස හයකුත් දින 18ක් තිස්සේ කොළඹ මහාධිකරණයේ මෙම නඩුව විභාග වෙනවා. අවසානයේ, 1999 මැයි මස 31 වැනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනවා.

රීටා ජෝන් පැහැරගෙන යාම, අතවර කිරීම, මිනීමැරීම, දේපළ සොරා ගැනීම යන චෝදනා යටතේ පළමු වැනි විත්තිකරු වූ අජිත් ප්‍රනාන්දු හෙවත් කොණ්ඩ අජිත්ට මරණ දඬුවමත්, වසර 42ක සිර දඬුවමකුත් නියම කෙරෙනවා.

දෙවැනි විත්තිකරු වූ කේ. බාලපුවඩුගේ බැසිල් මෙන්ඩිස්ට ද මරණ දඬුවමත්, වසර 42ක සිර දඬුවමකුත් නියම කෙරෙනවා.

තුන්වැනි විත්තිකරු වූ චමින්දට කුමාර ප්‍රනාන්දුට දේපළ සොරා ගැනීමේ චෝදනාව එල්ල වුණේ නැහැ. ඒ අනුව ඔහුට මරණ දඬුවමත් වසර 32ක සිර දඬුවමකුත් නියම කෙරෙනවා.

මේ සිද්ධිය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් තමන් නිර්දෝෂී බවත් විත්තිකරුවන් තිදෙනාම මෙහිදී කියා සිටියා. එමෙන්ම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව චූදිතයන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනවා.  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඇපෑල විභාග කෙරෙනවා. එහෙත් තීන්දුව වෙනස් වන්නේ නැහැ.

පසු විපරම

මරණ දඬුවම් නියම වූ මේ තිදෙනාගෙන් අජිත් හා චමින්ද වැලිකඩ බන්ධනාගාරයේ එල්ලා මැරීමට නියමිත සිරකරුවන් රඳවා තබන කුටිවල රඳවනවා.

බැසිල් පසුව බෝගම්බරින් වැලිකඩටත්, වැලිකඩින් අඟුණකොළපැලැස්සටත් මාරු කෙරෙන අතර, 2018 නොවැම්බර් 16 අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ගැටුමේදී ඔහු විසින් එහි සිටි තවත් සිරකරුවෙකුව ඝාතනය කරනවා.

බැසිල් අතින් එලෙස ඝාතනය වන්නේ, 1999 වසරේදී හෝකන්දර සය පුද්ගල ඝාතනයේ  ප්‍රධාන වරදකරු වූ සේනක සංජීව හෙවත් උක්කුවායි.

සිද්ධිය වන විට අජිත් හා බැසිල් විවාහ වී සිටි බිරින්දෑවරු මේ වන විට නැවත විවාහ වී සිටිනවා.

ඛේදවාචකයෙන් පසුව  මනෝහරන් පවුල කාකදූපතේ නිවෙස විකුණා දමා දෙහිවල පදිංචියට යනවා.

දුටු සැනින් පෙමින් බැඳී, නෑසියන් ද පුරුදු පරිසරයද හැරදා තමන් හා නුපුරුදු රටකට ආ තම බිරිඳට අත්වූ ඛේදනීය ඉරණම නිසා තවමත් තනිකඩව පසුවන ජූඩ් මනෝහරන් මහතා මේ වනවිට ශ්‍රී ලංකාව හැර දමා ගොස් විදේශයක පදිංචිව සිටිනවා.

Sandra Valentine (සැන්ඩ්‍රා වැලන්ටයින්) අතුරුදහන්වීම

Sandra Valentine අතුරුදහන් වූවාද ? නැත්නම් ඝාතනය වූවාද? පිළිතුරක් නැති ප්‍රශ්නයකි

මේ කතාව ඔබට කීමට අප සතුව ඇත්තේ 1989 වසරේ විදෙස් පුවත්පතක් සහ තෙවන පාර්ශ්වයකින් ලද තොරතුරක් පමණයි.
කහ ගැහෙමින් යන පත්තර පිටුවක, තිස් එක් හැවිරිදි හුදෙකලා සංචාරක යුවතියක්, කාලයේ නතරවුණු සිනහා මුසු මුහුණකින් යුතුව බලා සිටිනවා.
ඇයව කිසිවෙකු හෝ අවසන් වරට දකින්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේදී. එදා සිට වසර 32 ක් දැන් ගත වී අවසන්
.


ගෙදරට ලියුමක්


1989 මාර්තු මාසයේ 24 වැනිදා, තිස් එක් හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියක් වුණු සැන්ඩ්‍රා වැලන්ටයින් (Sandra Valentine), සිය මව්පියන්ට ලිපියක් ලිව්වා.

තමන් මේ වෙද්දී යෙදෙමින් ඉන්න ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් යහපත් අන්දමින් කෙරෙන බවත්, මීළඟට සෞම්‍ය දේශගුණයක් තිබෙන, ‘කොළ පැහැති කඳුවලින් පිරුණු’ නුවරඑළියේ සංචාරයක යෙදෙන බවත් සැන්ඩ්‍රා වැලන්ටයින්ගේ ලිපියේ සඳහන් වුණා. මේ ලිපිය එක්කම, තමන් කළින් සිය මව්පියන්ට යැවූ ලිපිය තැපෑලට දැමුවට පස්සේ ලබාගත් සිහිවටන සහ ත්‍යාග කිහිපයකුත් තැපෑලට දාන්න සැන්ඩ්‍රා අමතක කළේ නැහැ.

සති කිහිපයකින් මේ සියල්ල, මැන්හැටන් හි පිහිටි සැන්ඩ්‍රා වැලන්ටයින් ගේ මව්පියන්ගේ සුඛෝපභෝගී නිවසට ලැබෙනු ඇති.

මව්පියන්ගේ කනස්සල්ල

1989 මැයි මාසේ මැද වෙද්දී, ඇමරිකාවේ මැන්හැටන් හි ජීවත්වුණු ධනවත් නීතිඥයෙක් වුණු රිචඩ් වැලන්ටයින් සහ ඔහුගේ බිරිඳ නැන්සි, ලොව වටා සංචාරය කිරීමට ගිය තම දියණිය වන e හට කුමක් හෝ නපුරක් වී ඇති බවට සැක කරන්නට වුණා. සංචාරය අතරතුරදී සතියකට දෙවතාවක්වත් සිය මව්පියන්ට සහ සොයුරියට ලිපි ලියන ඇගෙන් අවසන් වරට ලිපියක් ලැබුණේ අප්‍රේල් මාසයේ. එය ලියා තිබෙන්නේ මාර්තු 24 වැනිදා.

සතියකට වරක්වත්, ඇය ඊට සති කිහිපයකට පෙර ලියූ ලිපි ලැබීම පුරුද්දක් වී තිබුණු නිසා, මේ නිහඬබව ඔවුන් තුළ ඇති කළේ බියක්.
අන්තර් මහද්වීපික තැපැල් හුවමාරුවේ ප්‍රමාදයක් නිසා ලිපි පමා වන බව ඔවුන් මුලින් සිතුවත්, මෙතරම් කාලයක් ලිපි නොලැබෙන්න එය හේතුවක් නොවන බව ඔවුන්ට වැටහුණේ ඒ අතර කාලයේ පිටරටින් ඔවුන්ට ලැබෙන ලිපි නිසි සේ ලැබුණු නිසයි.

දුරකථන පහසුකම් සුලබ නොවූ ඒ කාලයේ, තැන තැන සංචාරය කරන අයෙකු සම්බන්ධ කරගත හැකි එකම ක්‍රමය වූයේ ඔහු හෝ ඇය එවන ලිපි හෝ, ඔහු හෝ ඇය විසින්, ස්ථාවර දුරකථනයක් මගින් ලබා දෙන ඇමතුම් පමණයි.

හැකි සෑම අයුරකින් ම සොයා බැලීම් කළත්, දියණිය පිළිබඳව කිසිවක් ම සොගත නොහැකි වූ තැන, මේ මවුපියන් 1989 ජූනි මාසයේ ශ්‍රී ලංකාව බලා පැමිණෙනවා.

ලොව වටා සංචාරයේ ගිය තරුණිය

නැන්සි (දරුවන්ගේ මවගේ නමත් නැන්සි), පැට්‍රිෂියා සහ පෝල් යන සහෝදර සහෝදරියන් සමඟ වැඩුණු සැන්ඩ්‍රා කුඩා කාලයේ සිටම සුඛෝපභෝගී ජීවිතයකට හිමිකම් කියුවා. වයසින් වැඩී තුරුණු වියට එළඹුණු පසුව අලෙවිකාරිණියක් බවට පත්වුණා. එකල නිව්යෝක් නගරයේ ජීවත් වුණු, ඉහළම වැටුපක් ලද අය අතරේ සැන්ඩ්‍රා වැලන්ටයින් ද සිටියා.

සියලු යසසින් පිරි ජීවිතයක් ගත කළත්, යම් කිසි අඩුවක් දැනුණු සැන්ඩ්‍රා, 1987 වසරේදී නිව්යෝක් නගරයේ ඇයට තිබූ සුවිශාල වගකීම්වලින් මිදී, ලොව වටා සංචාරයක් ආරම්භ කළා. ඇගේ සංචාරයේ මූලිකම අරමුණක් වුණේ බෞද්ධ සහ හින්දු දර්ශනය මුල් බැසගත් ආසියාව ගවේෂණය කිරීමයි.

අගේ සංචාරයේදී ඇය ජපානයටත්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය සහ ටිබෙටයටත් ගියා. ටිබෙටයේ දලයි ලාමාගේ දේශනා අසමින් කාලය ගතකළ ඇය ඉන්පසුව තායිලන්තයටත්, ඉන් අනතුරුව ඉන්දියාවටත් පැමිණියා.

ඇගේ ඊළඟ ගමනාන්තය වූයේ ශ්‍රී ලංකාවයි.

මේ මුළු ගමන පුරාම තරු පහේ හෝටල්වල නවාතැන් ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය, ඒ ඒ රටවල ජන ජීවිත හා සමීප වීමේ අරමුණින්, සාමාන්‍ය ජනතාව යනෙන හෝටල්වල ලැගුම් ගන තිබුණා. එමෙන්ම ගමන අතරතුර දී දින දෙකෙන් දෙකට වරක්වත් සිය මව්පියන්ටත් සොහොයුරියටත් ලිපි මෙන්ම, ඒ  ඒ රටවලින් ලබාගත් සිහිවටන යැවීමටත් අමතක කළේ නැහැ.

ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1989 මාර්තු විසි වැනිදා. ඇය සිය මව්පියන් අමතා අවසන් ලිපිය ලියන්නේ මාර්තු 24 වැනිදා යි. ඉන්පසු ඇය ආ ගිය අතක් නැහැ.

මෙහෙයුම් ඇරඹෙයි

සිය දියණිය ගැන තැවෙමින් සිටි වැලන්ටයින් යුවල, ශ්‍රී ලංකාවට පැමිණ සිය සොයාබැලීම් සිදුකළත්, ඒ වනවිට උතුරේ ඇතිවී තිබූ යුධ තත්ත්වය මෙන්ම, දකුණේ ඇතිවී තිබූ දේශපාලන අස්ථාවර භාවයත්, සිවිල් කෝලාහලත් නිසා ඔවුන්ට කිසිදු තොරතුරක් සොයාගත හැකිවන්නේ නැහැ.

පුවත්පත්වලට සිය දියණියගේ ඡායාරූප යවමින් ඔවුන් කළ සොයාබැලීම් නිරර්ථක වනවා.

ඒ නිසා ඔවුන් සීෂෙල්ස් හි පිහිටි රහස් පරීක්ෂක ආයතනයක කණ්ඩායමකට සිය දියණිය සෙවීම භාර කරනවා.

වෙනත් බොහෝ සංචාරකයන් මෙන් නොව, සැන්ඩ්‍රා යම් කිසි රටකට පා තැබූ මොහොතේම එහි ඇමරිකානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීම පුරුද්දක් කොටගත්තා. ඒ  අනුව 1989 මාර්තු 20, මුම්බායේ සිට පැමිණි සැන්ඩ්‍රා, කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබුණා. ඒ කාලයේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කළ Richard Sherman රිචඩ් ෂර්මන් මේ බව තහවුරු කරනවා.

තනිව ආ සංචාරක යුවතිය ඔහුට හොඳින් ම මතක තිබෙනවා.

නුවරඑළියේ දින ගණනක් පුරා කළ සොයාබැලීම්වලදී, 1989 මාර්තු 28 දක්වා ඇය පිළිබඳව, තහවුරු කරගත හැකි තොරතුරු ලැබෙනවා. ඉන් පසුව ඇය සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු, ඇය දුටු බව කියන ප්‍රදේශවාසීන්ගේ තොරතුරු කිසිවක් තහවුරු කරගත හැකි වන්නේ නැහැ.

අවසන් වරට තහවුරු වන තොරතුර වන්නේ සැන්ඩ්‍රා වැලන්ටයින් නුවර එළියේ තේ වත්තක් නැරඹීමට ගිය බවයි. ඒ මාර්තු 28 වැනිදා.

ඉන්දියානු ගුවන් සමාගමට අයත් IC 508 අංකය දරන ගුවන් යානයෙන්, මාර්තු 30 ඇය ශ්‍රී ලංකාවෙන් පිටවීමට නියමිතව තිබුණා.

එහෙත් ඇය ඒ ගුවන් යානයට නැගුණේ නැහැ.

ඇට සැකිල්ලක් ලැබෙයි

1989 ජූනි මාසයේ තෙවන සතියේ, නුවර එළියේ වතු යායක තිබී මස් දියවී ගිය, දුගඳ හමන කාන්තා ඇටසැකිල්ලක් හමුවනවා.

මේ බොහෝ දුරට අතුරුදන් වූ ඇමරිකානු සංචාරක යුවතියගේ බවටයි සැක කෙරෙන්නේ. එහෙත් පසුව, ඇගේ මව්පියන් විසින් පොලිසියට ලබා දෙන, සැන්ඩ්‍රා ගේ දන්ත එක්ස්රේ වාර්තා සමඟ මේ ඇටසකිල්ලේ දත් ගැළපෙන්නේ නැහැ.

තම දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් නො ලද වැලන්ටයින් යුවල, බිඳුණු හැදින් යළිත් සිය මව් රටට යනවා.

සැන්ඩ්‍රා ගේ දිනපොත හමුවෙයි

ජූලි මාසයේ මුල නුවරඑළියේ ජනපති බංගලාව අසල මාර්ගයේ පඳුරු ගොන්නක තිබී සංචාරක ගමන් මල්ලක් හමුවන්නේ බංගලාව බලාගන්නා අයෙකුටයි.

ඒ ගමන් මල්ල සැන්ඩ්‍රා ගේ.

එහි තිබී ඇගේ දිනපොත, කැමරාවේ කවරය, අඩක් කැඩුණු සුදු පැහැති අව් කණ්ණාඩිය සහ තවත් ලියකියවිලි කිහිපයක් හමුවනවා.

ඒ ලියකියවිලි අතර “Lonely Planet ” සම්පාදනය කළ ශ්‍රී ලංකාවේ සංචාරක මාර්ගෝපදේශය සහ සිය සොයුරියට ලියූ ලිපියක් ද වනවා.

ඇගේ දිනපොතේ, එතෙක් ඇය කළ සංචාරවල විස්තර විශාල වශයෙන් දකින්නට වූ අතර, චීන පුරාවස්තු පිළිබඳව විශාල විස්තරයකුත්, දලයි ලාමා හමුවූ අවස්ථාවේ කළ කතාබහත් සටහන් ව තිබෙනවා. මේ සංචාර අතරතුර ඇයට තවත් ඇමරිකානු සංචාරක යුවතියක් හමුවන අතර දෙදෙනා එක්ව තරමක් දුර සංචාරය කරනවා. නමුත් ඉන්දියාවේදී උදරාබාධයක් වැළඳුණු නිසා ඇය සිය සංචාරය අතරමග නතර කර ආපසු යනවා.


කැත වෙරලක් – ලස්සන මිනිස්සු

කොළඹ – වල්ලවත්ත ආසන්නයේ වූ වෙරළබඩ තානායමක දින තුනක් ගතකරන සැන්ඩ්‍රා, කොළඹ ඉතා අවලස්සන වෙරලක් ඇති නමුත් ලස්සන මිනිසුන් පිරුණු නගරයක් බව සිය දිනපොතේ සටහන් කරනවා.

එම තානායමට රැයකට ඩොලර් පහක් බැගින් ගෙවූ බවත් එහි සටහන්.

එමෙන්ම තරුණ පිරිමින් බලහත්කාරයෙන් ම උදව් කරන්නට පැමිණ මුදල් කඩා ගැනීමට උත්සහ කරන බවත්, එය ඉතාම නොරුස්සනා දෙයක් බවත් ඇය සිය දිනපොතේ ලියනවා.

ඇගේ අවසන් දින සටහන මාර්තු 27 ලියා තිබුණේ නුවරදී.  ”ආසියාවේ ලස්සන ම නැටුම් බැලුවා” ඇය එදින රාත්‍රියේ සටහන් කරනවා. රැයට ඩොලර් දෙකක් වූ තානායමක එදා ඇය නවතිනවා. එහි නවාතැන් ගන්නා ඇයව එහි හිමිකාරියගේ පුතු වූ අසංග අබේවික්‍රමට  ඇයව මතක තිබෙනවා.

හොඳින් මතකයි

“අපි පැය භාගයක් පමණ කතා බහ කළා…” අසංග අබේවික්‍රම පවසනවා. “නුවර ඉතාම ලස්සන නගරයක් නිසා තව දින කිහිපයක් එහි නවතින ලෙස මම කිව්වා. එහෙත් නුවර එළියේ ගොස් දින දෙකක් නැවතී සිට ආපහු ඉන්දියාවටත් – අප්‍රිකාවටත් යා යුතු බවත් ඇය කිව්වා. එමෙන්ම ඇගේ විශාල ගමන් මල්ල මෙහි තබා ගියේ නැවත ගුවන් තොටුපළට යනවිට එය ගෙන යන බව කියලයි…”

ඇත්තෙන්ම මේ ගමන් මල්ල තානායමේ රාක්කයේ තිබී හමුවුණා.

අසංගගේ සොයුරා පසුදින ඇයව බස් නැවතුමට ගෙන යන අතර, රුපියල් 26 ක් ගෙවා බස් ප්‍රවේශපතක් (එකල ඩොලර් සත 80 ක් පමණ) ගන්නා ඇය නුවර එළියේ සංචාරකයන්ට විවෘත තේ කර්මාන්තශාලාවකට යනවා. එහි අමුත්තන්ගේ පොතේ ඇගේ අත්සන තිබී හමුවෙනවා.

ඉන් පසු ජර්මානු යුවලක් සමඟ ගොල්ෆ් පිටිය දක්වා යන ඇය එතැනදී ඔවුනට සමුදෙනවා.

මේ යුවල ඇගේ අතුරුදන් වීමේ පුවත පුවත්පතින් දැක, වැලන්ටයින් යුවල හමුවී මේ තොරතුරු දෙනවා.

එදින දහවලේ ඇය නුවර එළියේ හෝටලයකින් කොළඹට ඇමතුමක් ගෙන, දෙදිනකින් යෙදෙන තම ගුවන් ගමන තහවුරු කරගන්නවා.

මේ ඇය ගැන අවසන් හෝඩුවාවයි.

ලංකාවට යන්න එපා!

සැන්ඩ්‍රා වැලන්ටයින් අතුරුදන් වීමෙන් පසුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම පුරවැසියන්ට අනතුරු අඟවනවා.

සිවිල් යුද්ධය සහ දේශපාල අස්ථාවරබව නිසා මිනිසුන් විශාල වශයෙන් අතුරුදන් වන රටක් ලෙසටයි ඔවුන් එදින ශ්‍රී ලංකාව හඳුන්වන්නේ.

වැරදි තැනක – වැරදි වෙලාවක

“මට ටිකක් විනෝද වෙන්න ඕන.. මට සැහැල්ලු වෙන්න ඕන..” සැන්ඩ්‍රා වැලන්ටයින් සිය අවසන් දින සටහනේ ලියනවා.

ඇගේ අතුරුදන්වීම ගැන සොයා බැලූ නුවර එළිය පොලිසියේ පරීක්ෂකයෙකු පසුව මෙසේ පවසන ලද බව එකල ලොස් ඇන්ජලිස් පුවත්පත වාර්තා කරනවා.

” සමහරවිට ඇය වැරදි තැනක, වැරදි වෙලාවක විනෝද වෙන්න ගිහින් විපතක වැටුණා වෙන්න පුළුවන්…”

රිචඩ් වැලන්ටයින්, සිය දියණියට අත්වූ ඉරණම ගැන කිසිත් නො දැනම 2003 වර්ෂයේදී මියයනවා. සැන්ඩ්‍රාගේ සොයුරු පෝල් මියයන්නේ 2005 වර්ෂයේදී.


පෝල් වෙනුවෙන් ඉදිකළ සොහොන් කොතේම ඔවුන් සැන්ඩ්‍රාගේ නමත් සඳහන් කරනවා.

Sandra Valentine තවමත් අතුරුදන්. ඇය මියගිය බවට මරණ සහතිකයක් පවුලේ අයට 1999 වසරේදී ලැබුණු බවට තොරතුරු ඇතත් එය තහවුරු කරගැනීමට අපට හැකි වුණේ නැහැ.

ලොලිටාගෙන් නොමිදුණු සූ

 0

ආන්දෝලනාත්මක සාහිත්‍ය කෘතියක්

1955 දී සාහිත්‍යධර ව්ලැදිමීර් නබකෝව් විසින් ලියන ලද ලොලිටා, සාහිත්‍ය ලෝකයේ හැඳින්වෙන්නේ ස්ත්‍රියක කෙරෙහි වූ පිරිමි ආශාව පරිපූර්ණවම විස්තර කළ සාහිත්‍ය කෘතිය ලෙසයි.

නව යොවුන් වියේ දී පෙමින් බැඳී සිටි දැරිය නො කල්හි මරණයට පත්වීමෙන් පසුව, ඇගේ වියපත් නොවන මතකය සමඟ වියපත් වන ගුරුවරයා හම්බර්ට්, රැකියාවේ අවශ්‍යතාව මත වෙනත් ප්‍රදේශයකට මාරු වන්නේ ය. ඔහු නවාතැන් ගැනීමට යන නිවස ගින්නකින් වැනසී ඇති බව ඔහු දැනගන්නේ එහි ගිය පසු ය. ඉන් පසුව ඔහුට නවාතැන් ලැබෙන්නේ හේස් වැන්දඹුව සහ ඇගේ දහතුන් හැවිරිදි දියණිය ඩොලරස් ජීවත්වන නිවසේ ය. නොනවත්වා කතාකරන ‘වාත’ ගැහැනියක් ලෙසට හැඳින්වෙන හේස් නිවස ඔහුට එතරම් රුචි නොවේ. එහෙත් එක තත්පර ගණනකින් ඒ නො කැමැත්ත, ඔහුගේ පැවැත්මේ ආශාව බවට පත්වන්නේ හේස් දියණිය ඩොලරස්ව දැකීමත් සමඟය.

සිය  යොවුන් වියේදී දිවියෙන් ගිළිහුණු පෙම්වතියගේ ස්වභාවය සිහිගන්වන පෙනුමෙන් යුතු, ලොලීටා ලෙස කෙටි නමින් හඳුන්වන ඩොලරස්, හම්බර්ට් ගේ ආශාවේ ගොදුර වන්නී ය.

සුලින් ලයන් – දාහතර හැවිරිදි ලොලිටා

මෙම කෘතිය මුල්වරට සිනමාවට නැගෙන්නේ 1962 වසරේදී, ස්ටැන්ලි කුර්බික්ගේ අධ්‍යක්ෂණයෙනි. එහි ලොලීටා වීම සඳහා ඔහු තෝරාගන්නේ එවකට දහ හතර වැනි වියේ පසුවූ  සුලින් ලයන් ව ය. නවකතාව කියවා තිබූ සහ කුබ්රික්ගේ චිත්‍රපට නරඹා තිබූ සූ ගේ මව, එවකට රූපවාහිනියේ ඉතා කුඩා පෙනිසිටීම් කරමින් සිටි තම දියණියට ඒ වෙනුවෙන් අවසර දෙන්නීය. අතිශය ආන්දෝලනාත්මක සහ අපචාරකාරී ලෙස හැඳින්වුණු පොතක චරිතයක් නිරූපණයට තම දියණිය ‘විකිණූ’ බවට මුල්ම ගල්පහර එකල සමාජයෙන් වදින්නේ සුලින්ගේ මවට ය.

නවකතාවේ ඩොලරස්, දොළොස් හැවිරිදි දැරියකි. ඒ පරිද්දෙන්ම 12 හැවිරිදි දැරියක් මේ වෙනුවෙන් යොදාගැනීමට අධ්‍යක්ෂකවරයාට වුවමනා වුවත් හොලිවුඩයේ නීති නිසා එයට අවස්ථාව ලැබුණේ නැත. රූපවාහිනී කැමරාව හොඳින් පුරුදු සුලින් ඉතාමත් දක්ෂ සහ නිරවද්‍ය ලෙස, ‘ලෝලිටා’ වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දුන්නා ය.

චිත්‍රපටය සඳහා සූ විසින් ගීත දෙකක්ද ගායනා කළා ය.

සුලින්ට ‘ලෝලිටා‘ තහනම් වෙයි

චිත්‍රපටය ඉන් වසරකට පසුව, එනම් 1963 වසරේදී තිරගත වූවත්, සූ ට තමන් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය නැරඹීමට අවස්තාව නො ලැබෙන්නේ එය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනය වූ හෙයිනි.  එවකට පහළොස් හැවිරිදි වියේ පසුවූ ඇයට සිනමා ශාලවට පිවිසීමට ඉඩ නො ලැබෙන්නේ වයස් සීමාව හරස් වීමෙනි.  චිත්‍රපටය මහජනයා අතර විශාල ආන්දෝලනයක් ඇතිකළ අතර, මහජනයාගෙන් අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්රික්ටද, සූගේ මවටද ළමා අපහරණ චෝදනා එල්ල වන්නට විය.

එමෙන්ම දැරියකගේ යට ඇඳුම සහ කලවාවල ස්වරූපය දැක්වෙනසේ ‘ලොලිපොප්’ රස කැවිල්ලක් දැක්වෙන චිත්‍රපට පෝස්ටරයටද ඉතා බරපතල විවේචන එල්ල වන්නට විය. එම පෝස්ටර මහජනයා ගැවසෙන ස්ථානවලින් ඉවත් කිරීමටද ඇතැම්හු පෙළඹුණහ.

 ඒ වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී,  “බලාපොරොත්තු තැබිය හැකි නවක රංගන ශිල්පිනිය” සම්මානය හිමි වන්නේ සූ ට ය. සම්මාන උළෙලවල් පහකදී සම්මාන නමයකට යෝජනා වූ ලොලීටා චිත්‍රපටය දිනූ එකම සම්මානයද මෙය ය.

අපහරණය කොතැනද?

ලොලීටා හි රඟපා දෙවසරකින් ඈ The Night of the Iguana චිත්‍රපටයේ රඟපෑවා ය. එහිදීද ඈට ලැබුණේ පූජකයෙකුගේ අපහරණයට ලක්වන චරිතයකි. එය නැරඹීම සඳහා සිනමාහලට ඇතුළුවීමට ඇයට අවසර ලැබේ.

ලෝලිටා චිත්‍රපටය ප්‍රදර්ශනයෙන්ද, සම්මානය දිනා ගැනීමෙන්ද වසරකට පසුව, සූ රුපවාහිනී සාකච්ඡාවකට එක්වන්නී ය. එවකට තිබුණේද රඟපෑමෙන් නිළියන් මනින ලෝකයකි. වැඩිමහල් මිනිසෙකුගේ ලිංගික උද්දීපනය ලෙස රංගනයේ නියැලී, දහසකුත් අපවාදයන්ට මුහුණ දුන් සූ, කැළඹුණු යව්වනියක් ලෙස නොව අත්දැකීම් බහුල නිළියක ලෙස නිවේදකයාගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නීය. “එය රඟපෑමක් පමණයි.. එයින් කෙනෙකුව මනින එක මෝඩකමක්..” දහසය හැවිරිදි සූ පවසන්නීය. නව යොවුන් නිළියගෙන් ‘වැරදි වචනයක්’ ගැනීමට නිවේදකයා ඉමහත් උත්සහයක් දැරුවද, එය සාර්ථක වන්නේ නැත. ‘පරිණත’ යොවුන් නිළිය ඉතාම සුහුරු ලෙස සාකච්ඡාව ජයගන්නී ය.

 “මිනිසුන් මා නැති තැනදී මාව හැඳින්වූනේ නාකි මිනිසාගේ කලිසම අස්සට රිංගූ නොවැඩුණු ගැහැනිය ලෙසටයි”. වසර ගණනකට පසු සූ සිය මිතුරන් සමඟ පවසා තිබුණි. ” වැඩිමහල් මිනිසෙකුගේ ලිංගික ගොදුරක් වන දැරියකගේ චරිතය රඟපෑම නිසා මා සැබෑවට අපහරණය වූයේ නැහැ. එහෙත් තිරයෙන් පිටත සිටි මිනිසුන් මගේ පියොවුරු සහ තට්ටම් ගැන තලු මරමින් කළ විස්තර ඇසූ විට මට වමනය යන තරමේ අප්‍රියජනක හැඟීමක් ඇතිවුණා. බසයක යනවිට පවා මගේ දෙපා ගැන මිනිසුන් රහසින් කොඳුරනු මට ඇසුණා.”.

ලොලිටා අධ්‍යක්ෂක ස්ටැන්ලි කුර්බික් පවා ඇයව හඳුන්වා දුන්නේ ‘නියම ළමා කාමිනිය’ යන යෙදුමෙනි.

“මම The Night of the Iguana නැරඹීමට සිනමාහලට අතුලුවනවිට ‘ලොලීටා..ලොලීටා.. ඔහ් ඒ ඇය..’ වැනි හඬවල් පැතිර ගියා. ලොලිටාගෙන් මිදීමට ඔවුන් කිසි විටෙකවත් මට ඉඩ නොදෙන බව  වැටහුණා.. ” සූ පවසා තිබුණි. 

ලොලිටාගෙන් වැසුණු සු

ලොලීටා රංගනයෙන් පසුව සුලි, තවත් චිත්‍රපට එකොළහක රඟපෑවා ය. ලොලිටා සමඟ දොළහකි. 

එහෙත් ඒ කිසිවකට අවැසි අවධානය ලැබුණේ නැත. ඈ ‘ලොලිටා’ගෙන් වැසී තිබුණා ය. ඈ ලොලිටා ලෙස විනා කිසි දිනෙක, “හොඳ” හෝ “දක්ෂ” නිළියක් ලෙස හැඳින්වූයේ නැත.

සුලි, 1946 ජූලි 10 ඉපදී, ළමා වියේදීම රූපවාහිනියටත්, කුබ්‍රික් වැනි සිනමා දැවැන්තයෙකුගේ සිනමාපටයකින් සිනමාවට පිවිස, 1962 සිට 1980 දක්වා සිනමාවේ ගමනක යෙදුණත් සුලි, ලෝකයා හඳුණා ගත්තේ ලොලිටාව ලෙසටය.

ඇයට 2019 දෙසැම්බරයේ 26 වැනිදා, 73 හැවිරිදි වියේදී මියයන තෙක්ම ලොලීටාගෙන් මිදීමට හැකි වූයේද නැත. ඈ මියගිය පසුවද මාධ්‍යවල පළවූයේ කුබ්රික්ගේ “ලොලීටා තරුව මිය යයි” ලෙස විනා, හොලිවුඩ් නිළි සුලින් ලයන් මියයයි ලෙස නොවේ.

ටයර් සෑයක දැවුණු කොබෙයිගනේ අවුරුදු කුමරිය

 0


1989 ඔක්තෝබර් මාසයේ 25 රාත්‍රිය – කිතගම හන්දිය

කිතගම හංදියට ඉතාම ආසන්නයේ, මාවත අයිනේ වාහනයක් නතර වනවා. ඒ වෑන් රියක්. වෑන් රියේ රියදුරු අසුනේ සිටින පුද්ගලයා වෑන් රියෙන් බැස ඉදිරිපස මගී දොරටුව විවෘත කරනවා. එයින් තවත් අයෙකු බිමට බසිනවා. ඒකාන්තාවක් බව වැටහෙන්නේ ඇය පහත් හඬින් යමක් විමසනු ඇසෙන නිසා. මේ අය කවුද යන්න අවට පැතිරී ඇති අඳුර නිසා පෙනෙන්නේ නැහැ.

ඒ දෙදෙනා ඉදිරියට යන්නේ එක් අයෙකු තරමක් ඉදිරියෙන් ගමන් කරන ආකාරයෙන්. එක්වරම අන්ධකාරය අතරින්, පසුපසින් යන පුද්ගලයා අසලින් ගිනි පුපුරු නිකුත් වෙනවා. ඒ හැම වෙඩි හඬ කිහිපයක්ද ඇසෙනවා. ඉදිරියෙන් ගිය අය බිම ඇදවැටෙන අතර, පිටුපසින් ගිය තැනැත්තා නැවතත් වෑන් රිය අසලට වේගයෙන් ඇවිද යනවා. ඉන් බිමට බහින්නේ තවත් අයෙක්. වෑන් රියෙන් ගත් යම් දෙයක්, අර බිම වැටුණු තැනැත්තා අසලට ගෙන ගොස් බිම දමා, බිම වැටුණු අයව ඔසවා ඒ මත දමනවා. ඉන් පසු ඇසෙන්නේ යම් දියරයක් ගලා යන හඬ.

මේ සිදුවන්නේ කුමක්දැයි අන්ධකාරය නිසා නොපෙනුනත්, එක් අයෙකු යමක් කියනු සහ අනෙකා ඊට එකඟ නොවනු ඇසෙනවා. මොහොතකින් ගිනි කූරක ආලෝකය දැල්වෙන්නේ එය අල්ලාගෙන සිටින තැනැත්තාගේ මුහුණේ යට කොටස ආලෝකවත් කරමින්. ඔහු රැවුලක් වැවූ අයෙකු බව පෙනෙනවා. ඉන්පසු කඩදාසි කැබැල්ලක් ගිනි අවුළුවන ඔහු, එය බිම අතහරිනවා. සුළං කපාගෙන, එක්වරම පැන නගින්නේ ගිනි ජාලාවක්. ටයර් දෙකක් ගිනි ඇවිලෙනවා. ඒ මත දැවෙන ගැහැණු රුවක් ද දැන් පෙනෙනවා.

ඈතින් රේඩියෝවක විකාශය වන ධර්ම දේශනාවක හඬ ඇසෙනවා.

දැවුණු සෑයක – නො දැවුණු හෝඩුවාවක්

පොලිසියේ ලොකු මහත්තයා සමඟ විවාහ වීමට කියා නිවසින් පිටවුණු සිය දියණිය අතුරුදන් වූ සොවින්, ඈ සොයමින් සිටි පියෙකුට, ටයර් සෑයක් මත දැවෙන මළ සිරුරක් ගැන ආරංචියක් ලැබෙනවා. වෘත්තියෙන් පොල් කඩන්නෙකු වූ ඔහු, ඇගේ පෙම්වතා සේවය කරන පොලිසියට ද ගොස් සරණක් අපේක්ෂා කළත් එය ලැබෙන්නේ නැහැ. 1989 ඔක්තෝබර් 26 වැනිදා වන එදින, ඔහු දළුපොතගමවත්තෙ පොල් කැඩීමට නියමිත දවසයි.

ඔහු ඒ ගමන මග නවතා මළ සිරුර පිච්චෙන දෙසට දුවනවා. ටයර් සෑයක් මත සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් පාදයක් පමණක් ඉතුරු වූ සිරුරක් ඔහු දකිනවා. දැවුණු රබර් ගඳත්, පුළුටු ගඳත් ඉවසමින්, අසළ තිබූ කෝටු කැබැල්ලකින් අළු අවුස්සන ඔහු දකින්නේ, අළු අතරේ දිළිසෙන යම් වස්තුවක්. ඒ සුදු යකඩ සුරයක්.

මේ තම දියණියට තිබූ චර්ම රෝගයක් නිසා, ඔහු විසින් ඇයට ගෙනවිත් දී පැළඳවූ සුරයක් බවට මේ තාත්තා විසින් හඳුනා ගන්නවා. තවමත් දුමාර නංවන සෑය අසල වාඩි වී ඔහු විලාප දෙමින් හඬන්නේ තම දියණියට අත්වූ කෘර ඉරණම වැටහී යාමෙන්.

අතීත කතාව

කොබෙයිගනේ ගමේ ලස්සන කෙල්ල

මනනාලගේ ඩිංගිරියාට සහ  එමලින්ට දරු දෙදෙනෙකු සිටියා. වැඩිමල් දරුවා පුතෙක්. ඔහුගේ නම විජේසිරි. දෙවනියා දුවක්. ඇගේ නම මාලනී. එහෙත් ඇය වඩා ප්‍රිය කළේ නිලන්ති යන නාමය නිසා ඇයව හැඳින්වුණේ ඒ නමින්.

ඩිංගිරියා රස්සාව හැටියට කළේ පොල් කැඩීම. එමලින් ගමේ කුලී වැඩ කළා. කොයිතරම් අගහිඟ මැද වුණත්, නිලන්තිට පුළුවන් තරමින් සැප පහසුකම් දෙන්න මේ අම්මයි තාත්තයි වෙහෙසුණා.

සාමාන්‍යපෙළ දක්වා ඉගනුම ලැබූ නිලන්ති, සිය මවත් පියාත් සහෝදරයාත් ජීවිකාව පිණිස ගිය පසු නිවසේ රැඳී සිටිමින්, නිවසේ කටයුතු කළා.

පැහැපත් සිරුරක් සහ දිගු වරලසක් තිබූ නිලන්ති, ඒ කාලයේ සිංහල සිනමාවේ නිළියන්ට හුරු ලස්සනක් තිබූ අයෙකු ලෙසටයි ගමේ හිතවතුන් විසින් හැඳින්වූයේ. දුප්පත් පවුලක  නොව,සැප පහසුකම් ඇති පවුලක සුවසේ ඇති දැඩි වූ පෙනුමක් නිලන්තිට තිබුණා.

මාලනී හෙවත් නිලන්ති පාසල් වියේදී
මාලනී හෙවත් නිලන්ති පාසල් වියේදී : ඡායාරූපය සිළුමිණ පුවත්පතෙන්

අවුරුදු කුමරිය වෙයි

1987 වසරේ සිංහල අවුරුද්ද වෙනුවෙන් කොබෙයිගනේ පොලිසිය විසින් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.

පොලිසිය සහ ගමේ අය අතර හොඳ සම්බන්ධයක් ඇති කිරීමත් මේ අවුරුදු උත්සවයේ අරමුණක් වී තිබුණා කීම නිවැරදියි.

මේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරි තරඟයට තමන්ට සහභාගී වෙන්න අවශ්‍ය බව නිලන්ති තමන්ගේ පවුලේ අයට පැවසුවත්, එයට ඇගේ පියා අවසර දෙන්නේ නැහැ. එහෙත් නිලන්තිගේ දැඩි ආයාචනය නිසාම, මේ තරඟයට යන්න ඩිංගිරියා ඇයට අවසර දෙනවා.  ඒ විතරක් නෙමෙයි, ඇයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සම්පාදනය කරන්නත් ඔහු වෙහෙසෙන්නේ, ‘කෙල්ලගේ ආසාව’ ඉටු කිරීමේ අරමුණින්.

අවුරුදු උත්සවය දවසේ, රෙද්දකින් සහ හැට්ටයකින් සැරසිලා, වරලස මුදාහැර සිටි නිලන්ති, තරඟයට ඉදිරිපත් වුණු ගමේ අනෙකුත් තරුණියන් අතරේ කැපී පෙනෙනවා. නෙත් සිත් ඇදගන්නා මේ රූමත් තරුණිය දිහා උනන්දුවෙන් බලා සිටි ඇස් අතරේ, අවුරුදු උත්සවය සංවිධානය කරන්න හුඟක් මහන්සිවුණු කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක අජිත් දේවප්‍රිය සමරකෝන්ගේ දෑසත් තිබෙනවා. අවුරුදු කුමාරිය තෝරන විනිශ්චය මණ්ඩලයේ ඔහුත් ඉන්නවා.

1987 කොබෙයිගනේ බක්මහ උළෙලේ අවුරුදු කුමරිය ලෙස, 19 හැවිරිදි මනනාලගේ මාලනී නොහොත් නිලන්ති කිරුළු පළඳිනවා.

මාලනී හෙවත් නිලන්ති : ඝාතනය වීමට වසරකට පමණ පෙර

ප්රේමයක් හටගනී – ප්රේමයක් අවසන් වෙයි

මේ කාලය වනවිට නිලන්තිට ගමේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා. ඔහුගේ නම ධර්මසිරි.

මේ සම්බන්ධය ගැන  නිලන්තිගේ මව්පියන් දැනුවත් ව සිටින අතර, යම් කාලයකින් මේ දෙදෙනා විවාහ කළ යුතු බව ඩිංගිරියා සහ  එමලින්  සාකච්ඡා කරනවා.

මේ කාලය වනවිට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක අජිත් දේවප්‍රිය සමරකෝන්, එදා අවුරුදු උත්සවයේ දුටු, අවුරුදු කුමරිය ලෙස කිරුළු පලන් තරුණිය අමතක කිරීමට නොහැකිව පසුවනවා. හොර මත්පැන් සොයන, බූරු පිටි වටලන්න ආ ගමන් යයි කියමින් ඔහු, දිවා කාලයේ නිලන්ති තනිව සිටින නිවසට වරින් වර පැමිණෙනවා.

එමෙන්ම තමන් ඇය ගැන උනන්දු බවත් පෙන්වමින්, ටිකෙන් ටික ඇගේ සිත තමන් වෙත නැඹුරු කරගැනීමට ඔහු ක්‍රියා කරනවා.

උප පොලිස් පරීක්ෂකවරයාට නිලන්ති ලියූ පෙම්පතක් හසුවීමෙන් පසු ධර්මසිරි, සිය පෙම්වතියගේ අලුත් ප්‍රේම සබඳතාව පිළිබඳව දැනගන්නවා. එහෙත් ඔහු, ඔහුට වඩා නිලයෙන් සහ සමාජයීය බලයෙන් ගව් ගණනක් ඉදිරියෙන් සිටි පොලිස් පරීක්ෂකයා සමඟ තරඟ කර තම පෙම්වතිය දිනාගැනීමට නොහැකි බව අවබෝධ කරගන්නවා. ඉතාම කෙටි කාලයකින් ධර්මසිරි නිලන්ති සමඟ වූ ප්‍රේමයට තිත තබනවා.  ධර්මසිරිට සමුදෙන නිලන්ති, ඕ. අයි. සී. මහත්තයාගේ පෙම්වතිය බවට පත්වෙනවා.

ලොකු අතු අල්ලන්න බැහැ පුතේ

දහවල් කාලයේ තම දියණිය පමණක් නිවසේ සිටිනවිට ඕ. අයි. සී. මහත්තයා තම නිවසට යන එන බව ඩිංගිරියාට ආරංචි වෙනවා. පත පොතින් උගත් මහ දෙයක් නැතත්,  ජීවන අත්දැකීම ඔස්සේ ලබාගත් දැනුමෙන් යුතු ඩිංගිරියාට මේ නම් මහා භයානක විපතක පෙරනිමිනිති බව පෙනෙනවා.

ඕ. අයි. සී. මහත්තයාගේ මේ ගමන්බිමන් ගැන ඩිංගිරියා හෝ එමලින් විමසන සෑම විටෙකම පාහේ නිලන්ති ඔවුන්ට පවසන්නේ ” ඔය අරක්කු අල්ලන්ඩ, කසිප්පු හොයන්ඩ ආපු ගමන් ඕ. අයි. සී. මහත්තයා ගෙට ආවා..” යන්නයි.

නිලන්ති කෙසේ කීවත්, එවකට 19 හැවිරිදි ඇය හා 35 හැවිරිදි උප පොලිස් පරීක්ෂකයා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවී ඇති බව නිසැකව ම දැනගත් ඩිංගිරියා, “අපිට ලොකු අතු අල්ලන්න බැහැ පුතේ.. අනික ඔය මනුස්සයා මගෙ පුතාට වයස වැඩියි..” යනුවෙන් අවවාද කරනවා.

ඩිංගිරියා සහ එමලින් ඔවුන්ගේ නිවස ඉදිරිපිට. ඔවුන් අතේ ඇත්තේ නිලන්තිගේ සිදුවීම පළ වූ පුවත්පතකි

එහෙත් නිලන්ති ඒ කිසිවක් නාසා, උප පොලිස් පරීක්ෂක අජිත් සමරකෝන් සමඟ සිය ප්‍රේම සම්බන්ධය දිගටම පවත්වාගෙන යනවා.

දිවා කාලයේ නිලන්තිගේ නිවසේත්, තමන්ට පහසු තැන්වලත් නිලන්තිව හමුවන අජිත් සමරකෝන්ට, ඇගේ සිරුරේ පහස ලැබීම විනා, තමන්ට වඩා පහළ යයි සම්මත සමාජ පන්තියක වූ නිලන්තිව විවාහ කරගැනීමට අරමුණක් තිබුණේ නැහැ.

දරුවෙක් ඇවිත්

මෙලෙස මාස කිහිපයක් ගතවෙද්දී, අජිත් නිසා නිලන්ති ගැබ් ගන්නවා.

තම මව්පියන්ගෙන් මේ බව සඟවන නිලන්ති, එය තම පෙම්වතාට හෙළි කරන්නේ, “අපි ඉක්මනට බඳිමු” යන ඉල්ලීමත් සමඟයි.

කිසිසේත්ම නිලන්ති හා විවාහයක් ගැන සිතා නොසිටි ඔහු මේ ආරංචියෙන් කලබල වනවා.  ඔහු, මෙතරම් කලබලයෙන් විවාහ විය නොහැකි නිසා දැනට නිලන්තිගේ දැරු ගැබ නැති කර දැමිය යුතු යැයි යෝජනා කරනවා.

එහෙත් නිලන්ති ඊට තරයේ විරුද්ධ වන්නේ ‘ඉක්මනට බැඳලා මේ ළමයව හදමු’ යන යෝජනාව කරමින්.

අජිත් සමරකෝන් මේ වනවිට ‘වැඩ වැඩි’ බව කියමින් නිලන්ති හමුවීම අඩු කරනවා. ගර්භනී බව තව වැඩි කලක් සඟවා සිටිය නොහැකි බව දනා නිලන්ති, විවාහය ප්‍රමාද වන විට නිතර නිතර පොලිසියට ගොස් සිය පෙම්වතා හමුවනවා.  ඇගේ මෙම පැමිණීම සිය එදිනෙදා රාජකාරී කටයුතුවලට බාධාවක් බැවින් එලෙස නොපැමිණෙන ලෙසත් ඇය විවාහ කර ගන්නා බවත් අජිත් පවසනවා. එතෙක් මේ රහස සිය මව්පියන්ගෙන් සඟවා සිටින ලෙසටත් ඔහු ඇයට දැනුම් දෙනවා.

ගර්භනී අපහසුවෙන් පෙළෙන නිලන්ති, දිනක් උදෑසන නිවස ඉදිරිපිට වමනය කරන්නට වූ විට, එමලිනාට මේ රහස එළිවෙනවා. 

“දුප්පත් අපට උඹ නිසා පාරේ බැහැලා යන්න බැහැ.. ඔය මඟුල කෙරෙන්නේ නැද්ද”… යි එමලින් සිය දියණියගෙන් අසනවා.

“එයා එහෙම කෙනෙක් නෙමෙයි අම්මේ.. . අපි ඉක්මනට බඳිනවා…” යි නිලන්ති පිළිතුරු දෙනවා.

එමෙන්ම නිලන්තිගේ මිතුරිය වූ ගුණවතී, නිලන්තිගේ උපදෙස් පිට අජිත් සමරකෝන් හට ‘විවාහය’ පිළිබඳ සිහි කරමින් ලිපි ද ලියනවා.

අජිත් සමරකෝන්ගේ පිළියම

තමා විවාහ කරගෙන, තම කුස සිටින දරුවාට පියෙකු වන ලෙස නිලන්ති දිගින් දිගටම බලපෑම් කිරීම හමුවේ අජිත් සමරකෝන් තීරණයක් ගන්නවා.

ඒ අනුව ඔහු “අපි අද බඳිමු. ඔයා කාටවත් නොකියා එන්න..” ලෙසට නිලන්තිට දැනුම් දෙනවා. 1989 ඔක්තෝබර් 24 වැනිදා උදෑසන 7.30 ත් 8.00 ත් අතරේ නිලන්ති නිවසින් පිටවන්නේ, සිය මවට වැඳ, “අම්මේ, මං මේ ප්‍රශ්නෙ විසඳගෙන එන්නම් මේ දරුවාට තාත්තා කියන්ඩ කෙනෙක් ඉන්ඩ එපායැ.. ලොකු මහත්තයා මට කසාද බඳින්න එන්න කිව්වා. මම අද එන්නත් පුළුවන් – නො එන්නත් පුළුවන්” යයි පැවසීමෙන්  අනතුරුවයි. 

ඒ එමලින් සිය දියණියව දුටු අවසන් වතාවයි. 

එදින රාත්‍රිය වනතුරුත් නිලන්ති නැවත නොපැමිණි නිසාත්, ”එන්නත් පුළුවන් – නො එන්නත් පුළුවන්” කතාව නිසා ඇතිවුණු බිය නිසාත් එමලින් සිය දියණිය ආගිය අතක් නැති බවට පළමු වරට කොබෙයිගනේ පොලිසියට පැමිණිලි කිරීමට යනවා.

කොල්ලෙක් එක්ක පැනල යන්න ඇති

මේ අවස්ථාවේ පොලිස් ස්ථාධිපති අජිත් සමරකෝන් පොලිසියේ සිටිනවා. ඔහු එමලින්ගේ පැමිණිල්ල ලිවීමට බාධා කරමින් කියා සිටින්නේ “ටිකකට ඉස්සර බස් එකක නැඟලා හෙට්ටිපොළ පැත්තට ගියා දැක්කා..” යන්නයි.

සිය දියණිය ‘ලොකු මහත්තයා’ හමුවීමට පැමිණි බව එමලින් විසින් කීමට උත්සහ කළත් ඊට ඉඩ ලැබෙන්නේ නැහැ.

එමලින් හිස් අතින්ම නිවසට යනවා.

පසු දා, එනම් ඔක්තෝබර් 25 වැනිදා ඩිංගිරියා විසින් කොබෙයිගනේ පොලිසියට ගොස් සිය දියණිය අතුරුදන් වීම පිළිබඳව පැමිණිලි කිරීමට උත්සාහ කරනවා. එහෙත් එදාත්, නිලන්ති අතුරුදන් වීම පිළිබඳව පැමිණිල්ල සටහන් කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කරනවා.  එදින ‘ලොකු මහත්තයා’ පවසන්නේ, ” දුව කොල්ලෙක් එක්ක පැනල යන්න ඇති..” යන්නයි.

ඊට පසු දා, ටයර් සෑයක දැවුණු මෘත ශරීරය තම දියණියගේ බවට, ඩිංගිරියා, එය සිය බිරිඳට පවසනවා. ඉන්පසු එදිනම ඔවුන් යළිත් වරක් කොබෙයිගනේ පොලිසියට යන්නේ, තම දියණිය මරා පුළුස්සා ඇති බවට සැක කරන බව පැමිණිලි කිරීමටයි. එදිනත්, ඔවුන්ව ආපසු හරවා එවනවා.

ඔක්තෝබර් 26, ඩිංගිරියා පොල් කැඩීම සඳහා නැවතත් දළුපොතවත්තට යා යුතුව තිබෙනවා. එදත් ඔහු ටයර් සෑය මත දැවුණු සිය දියණියගේ බවට සැක කරන සිරුර පසුකරනවා. ඒ අවස්ථාවේ ඉතා විමසිලිමත්ව අවට පරික්ෂා කරන ඔහුට, පඳුරක් අස්සේ සඟවා තිබූ අඩක් පිළිස්සුණු යට සායක කොටසක් හමුවනවා.

ඔවුන් පොලිසියට ගිය හත්වෙනි වතාවේ ඔවුන්ගේ පැමිණිල්ල ලියාගන්නවා. “මමත් හොයල බලන්නම්” යයි අජිත් සමරකෝන් දෙමහල්ලන්ට පවසනවා. එහෙත් කිසිවක්ම සිදුවන්නේ නැහැ.

සාධාරණය ඉල්ලා

වසර දෙකක් ගත වී යනවා. භීෂණ සමයේ මේ පිළිබඳව සොයා බැලීම මඟ හැරෙනවා. අජිත් සමරකෝන් කොබෙයිගනේ පොලිසියෙන් මාරුවී යනවා. එහෙත් ඩිංගිරියා සහ එමලින් සිය දියණිය වෙනුවෙන් සාධාරණය ඉටු කරගැනීම වෙනුවෙන් සටන්වදිනවා.

1991 ජනවාරි 31 වැනිදා ඩිංගිරියා විසින්, තම දියණියගේ මරණය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරනවා.

මේ පැමිණිල්ල සිදුකර දින හයකට පසු නිලන්තිගේ පවුලේ අය ජීවත් ව සිටි පොල් අතු පැල ගිනි තැබීමට අජිත් සමරකෝන් සහ පිරිසක් ක්‍රියා කරනවා. ඒ අවස්ථාවේ ඩිංගිරියා ගිනිගන්නා පැලෙන් පිට පැන දිවි බේරා ගන්නවා.

මාලනීගේ නිවස

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සරත් ගාමිණී දසනායක මහතා, එම වසරේ පෙබරවාරි 14 වැනිදා මෙම පරීක්ෂණය භාර ගන්නවා. දෙවසරකට පෙර ටයර් සෑය තිබූ ස්ථානයට යන දසනායක මහතාට එහි යමක් පිළිස්සූ බවට සාක්ෂි හමුවෙනවා. එමෙන්ම ඊට මීටර් විස්සක් පමණ දුරින්, පොල් ගසක් යට තිබී, හිස් කබලක කොටසක් ද ඔහු සොයාගන්නවා (මෙය නිලන්තිගේ හෝ ඇගේ නොවන බව ඔප්පු වූයේ නැහැ). ඩිංගිරියා විසින් සොයාගත් සාය කොටස සහ සුරය, ඔහු විසින් දසනායක මහතාට ලබා දෙනවා. 

මේ අතර අජිත් සමරකෝන්, 1991 මාර්තු මාසයේදී මඩකලපුව පොලිස් ස්ථානයට මාරුවක් ලබනවා. ලැබී තිබූ සාක්ෂි මත පදනම්ව, 1991 මැයි 15 වනදා නිලන්තිගේ ඝාතනය සම්බන්ධයෙන් අජිත් දේවප්‍රිය සමරකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට පත්වූයේ කව්රුත් නොසිතු පරිදිය.

පසුව පැවැති පරීක්‍ෂණවලින් අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුට එරෙහිව නඩුව විභාග වෙනවා.  මේ අවස්ථාවේ, අධිකරණයට එක් විශේෂ සාක්ෂිකරුවෙකු ඉදිරිපත් කෙරෙනවා. ඒ වනවිට ඔහු යුධ හමුදා සොල්දාදුවෙක්. නිලන්ති ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වුණු ඔහුවත් අජිත් සමරකෝන් විසින් ඝාතනය කරන්න තැත් කර තිබෙන බව අධිකරණයේදී අනාවරණය වනවා.

චූලසිරිගේ සාක්ෂිය

කරුණානායක මුදියන්සේලාගේ චූලසිරි, කොබෙයිගනේ පොලිසියට අනියුක්තව සේවය කළ ග්‍රාමාරක්ෂක භටයෙක්. 1989 ඔක්තෝබර් 25 උදේම, පොලිස් ස්ථානාධිපතිගෙන් අණක් ලැබෙනවා. ඒ, කිතගම හන්දිය ආසන්නයේ ‘තුත්තිරියාවත්තේ දුනුවිල මහත්තයාගේ ගෙදර’ හවසට පාටියක් තියෙන නිසා එහෙ යන්න ලෑස්ති වෙන්න කියලයි.

එදා දවසම පොලිස් ස්ථානාධිපතිවරයා හිටියේ ඔහුගේ බංගලාවේ. පොලිස් ස්ථානාධිපතිවරයාට කෑම අරගෙන බංගලාවට යන රාජකාරිය භාර වෙලා තිබුණේ චූලසිරිට. වෙනදට ඉදිරි දොර ඇරලා, කෑම භාජනය මේසේ උඩ තියන්න කියන ලොකු මහත්තයා, එදා පිටිපස්සේ දොර අරින්නේ. ඒ වෙලාවේ ඔහු දිය නා හිටි බවත්, කොට කලිසමක් පමණක් හැඳ සිටි බවත් චූලසිරි දකිනවා. ඒ වගේම බංගලාවේ බිම, කුඩා පැල්ලම් කිහිපයක් වැනි යමක් ද ඔහු දුටුවත්, ඔහුට ඒ ගැන නිශ්චිත යමක් මතකයේ රැඳෙන්නේ නැහැ.

එදා හවස චූලසිරිට ලොකු මහත්තයගෙන් තව අණක් ලැබෙනවා. ඒ “සමූපෙ වෑන් එකට ටයර් දාල ලෑස්ති කරපන්” කියලයි.

මේ කාලය වෙනකොට කොබෙයිගනේ පොලිසිය සතුව ප්‍රමාණවත් තරම් වාහන නොතිබුණු නිසා, කොබෙයිගනේ සමූපකාරයට අයත් වෑන් එකක් පොලිසියේ අවශ්‍යතාවන්ටත් පාවිච්චි වෙනවා. (මේ කියන  දිනයේ අවශ්‍ය තරම් වාහන පොලිසියේ තිබෙනවා)  මේ වෑන් එක ජෝතිරත්න නම් අයෙකුට අයත් ටොයොටා හයිඒස් වෑන් එකක්. මේ වෑන් රියේ රියදුරු වුණේ ගුණරත්නහාමි. ගුණරත්නහාමිත් චූලසිරිගේ පණිවිඩය අනුව සමූපකාරයේ ලොරියකින් ටයර් දෙකකුත් වෑන් එකට දාගෙන පොලිසියට ඇවිත්, එය භාර දී යනවා.

නඩු විභාගයේදී මේ කරුණු සනාථ කරමින් ගුණරත්නහාමිත් සාක්ෂි ලබා දෙනවා. එමෙන්ම එදින රාත්‍රී නමයට පමණ තවත් පොලිස් භටයන් දෙදෙනෙකු සහ චූලසිරි සමඟ පැමිණෙන ස්ථානාධිපතිවරයා තමාට වෑන් රිය භාර දුන් බවත් ගුණරත්නහාමිගේ සාක්ෂියේ සඳහන්. එමෙන් ම වෑන් රියේ තිබී ‘කාන්තා කොණ්ඩා කටුවක්’ හමු වූ බවටත් ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙනවා.

චූලසිරි වෑන් රියේ පසුපස කොටසේ වාඩිවෙනකොට රියදුරු අසුනට යන්නේ ලොකු මහත්තයා, වෑන් රිය පොලිස් බංගලාවේ දොර අසලටම කර නවත්වනවා.  බංගලාවේ සිට එළියට එන නිලන්ති, වෑන් රියේ ඉදිරිපස අසුනට ගොඩවෙනවා. මේ වනවිට වෙලාව රාත්‍රී අටට කිට්ටුයි. 

කිසිවෙකුගේ කිසිදු කතාවකින් තොරව වෑන් රිය කිතගම හන්දිය දෙසට ධාවනය වනවා. ලොකු මහත්තයා වාඩිවී සිටින අසුන අසල බිම, ඔහුගේ රාජකාරි ගිනි අවිය වූ LMG අවිය තිබෙනවා චූලසිරිට පෙනෙනවා.

කිතගම හන්දියෙන් දුනුවිල ගෙදර තිබෙන ඇමටන් වතුයායට හැරෙන මාවත අසල වෑන් රිය නවත්වන ලොකු මහත්තයා, එයින් බැස නිලන්තිට රියේ දොර හැර දුන් බවත්, ඉන්පසු නිලන්තිට අඩි කිහිපයක් ඉස්සර වන්නට දුන් බවටත් චූලසිරි සාක්ෂි දෙනවා. ලොකු මහත්තයාගේ ගිනි අවියෙන් ගිනි පුපුරු විසි වුණු බවත්, වෙඩි හඬ ඇසුණු බවත් පවසන චූලසිරි, ඉන් පසුව ලොකු මහත්තයා වෑන් රිය අසලට පැමිණ, ටයර් දෙක රැගෙන එන ලෙස තමන්ට කෑගැසූ බවත්, ඉතාම බියට පත්ව සිටි තමා, ටයර් දෙක ගෙනවිත් බිම වැටී සිටි නිලන්ති අසලින් දැමූ පසු, නිලන්තිව ඔසවා ටයර් මත දමන ලෙස ලොකු මහත්තයා අණ දුන් බවත් පවසනවා. ඉන් අනතුරුව වෑන් රියෙන් පෙට්‍රල් කෑනයක් ගෙන එන ලොකු මහත්තයා එය නිලන්ති මතට වත්කරනවා.

ඉන්පසු ඔහු චූලසිරි අතට ගිනිපෙට්ටිය දී “මෙන්න මේකට ගිනිතියපන්” යයි අණ කරනවා. එහෙත් දැඩි බියෙන් සිටි චූලසිරි එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලොකු මහත්තයාම ටයර් සෑයට ගිනි තබනවා.

ඉන්පසුව යළිත් පොලිසියට යන ලොකු මහත්තයා, ඒ වනවිටත් බියෙන් ගැහෙමින් සිටි චූලසිරිට පවසන්නේ, “මේකට උඹත් හවුල්, ඒ නිසා අපි දෙන්න අතරේ විතරක් මේක තියාගන්න ඕන..” යන්නයි. ඉන් පසුව පසුදාත් ඔහු ඒ ආකාරයටම චූලසිරිට උපදෙස් දෙනවා.

චූලසිරි ඝාතන තැතක්

නිලන්ති ඝාතනයෙන් දින කිහිපයකට පසුව සවසක, අජිත් විසින් JVP  සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට යයි පවසමින්, චූලසිරිව තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුද සමඟ නිකවැරටිය ප්‍රදේශයට කැඳවාගෙන යනවා. නිකවැරටියේ පාලු ස්ථානයක වෑන් රිය නවත්වා බොහෝ වෙලාවක් සිටිනවිට, “කීය වෙනකම් මෙතන ඉන්නවද?” යි චූලසිරි වෑන් රියේ සිටි සාජන්ට් කෙනෙකුගෙන් අසනවා. එවිට සාජන්ට්වරයා සිනාසුණු ආකාරය අනුව, තමන් මෙතනට ගෙන ආවේ තමන්ව ඝාතනය කිරීම වෙනුවෙන් යයි සැක සිතූ චූලසිරි, වැසිකිලි යාමට මෙන් අඟවා වෑන් රියෙන් බැස පළා යනවා.

ඉන් පසු කිසි දිනෙක කොබෙයිගනේ පොලිසියේ රැකියාවට නොයන චූලසිරි 1987 නොවැම්බර් 12 ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳෙනවා. ඒ අතරේ ඔහු යුධ හමුදාවට එකතු වූ බව දැනගත්  සමරකෝන් වරින්වර යුධ හමුදා කඳවුරුවලට දුරකථන ඇමතුම් දෙමින් චූලසිරි පිළිබඳව විමසනවා.

මේ කාලය වනවිට අජිත් සමරකෝන්, වාලච්චිනේ වැලිකන්ද පොලිසියට මාරුවීමක් ලබනවා. නිලන්තගේ ඝාතනයෙන් මාස හයක් ගතවනවිට විවාහ වූ සමරකෝන්ට ඒ වනවිට දරුවෙකුද සිටිනවා.

තවත් සාක්ෂි



නිලන්තිගේ මරණය වූ ස්ථානයේ තිබී හමුවූ අස්ථි කොටස් සහ සුරය පිළිබඳව විමසෙනවා. එතකොට විත්තිය කියා සිටින්නේ, මෙය බොරු සාක්ෂියක් කියලයි. මෙහිදී විත්තියේ තර්කවලට පිළිතුරු දෙමින් රජයේ අධිනීතීඥ සරත් ජයමාන්න මහත්තයා, මේ සුරය ඇයගේම බවත්, බොරුවක් කරන්න ඕන වුණා නම්, නම් මෙයට ඇයගේ නම, වේලපත්කඩ තොරතුරු ආදියත් ඇතුළත් කර හැකි ව තිබුණු බවත් කියා සිටිනවා.

එසේම මේ හමුවුණු අස්ථි කොටස්, මහාචාර්ය ජීන් පෙරේරා අධ්‍යයනය කිරීමෙන් පසුව, ඒවා වයස අවුරුදු 25 කට අඩු කාන්තාවකගේ බව සනාථ කරනවා.

නඩු විභාගයේදී, නිලන්ති වෙනුවෙන් අජිත් සමරකෝන්ට ලිපි ලියූ ගුණවතීත් සාක්ෂි දෙනවා.

නිලන්තිව කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති විසින් පොලිසියට අයත් ජීප් රියක නංවාගෙන යනු දුටු ගම්වැසියන් සාක්ෂි දෙනවා.

කිතගම හන්දිය ආසන්නයේ ජීවත්වූ මුතු මැණිකා සාක්ෂි දෙමින් 1989 ඔක්තෝබර් 25 රාත්‍රී 8 සිට ගුවන් විදුලියේ විකාශය වූ ධර්ම දේශනාවකට සවන් දෙමින් සිටියදී, කිතගම හන්දිය දෙසින් වෙඩි හඬක් ඇසුණු බවට සාක්ෂි දෙනවා.

කිතගම හන්දිය ආසන්නයේ ජීවත්වූ ජුසේ අප්පුහාමි සාක්ෂි දෙමින්, 1989 ඔක්තෝබර් 25 රාත්‍රී ධර්ම දේශනාවකට සවන් දෙමින් සිටියදී, වෙඩි හඬ ඇසුණු බවත්, ඉන් ටික වේලාවකට පසු මිදුලට බැස බැලූ විට ඇමටන් වතුයායට දෙසින් ගින්නක් දුටු බවටත් සාක්ෂි දෙනවා.

එකල ගුවන් විදුලි සේවයෙන් බණ ප්‍රචාරය වෙන්නේ සතියකට වතාවක් බදාදා දිනක වීම නිසා, මේ අයට ඉතා හොඳින් දිනා සහ වෙලාව මතක තිබෙනවා. ඔක්තෝම්බර් මස අවසාන සතියේ බණ ප්‍රචාරය වෙන්නේ මේ ඝාතනය සිදුවුණු බඳාදා රෑ අටට. ඒ අනුව, මේ ගම්වැසියන්ගේ සාක්ෂියේ සටහන් වෙලාව නිවැරදි බව සනාථ වෙනවා.

තවත් සාක්ෂිකරුවෙකු වූ ගුණදාස – අදාල දිනයේ සිය නිවසේ දොරට යටින් ගින්නක සේයාව දුටු බවත්, අසල්වැසි රාජපක්ෂ සමඟ ඒ දෙසට ගොස් බලන විට ගැහැණු සිරුරක් දැවෙමින් තිබූ බවත් පවසනවා.

තීන්දුව ලැබෙයි

මේ අතර විත්තිකරුට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ලැබෙනවා. අජිත් සමරකෝන් ඒ මොහොතේ පවසන්නේ මෙවන් කතාවක් ” මම ඒකාලේ ඕ.අයි.සී. මට මේ පළාතේ ලොකු බලයක් තිබුණා. එහෙව් මම කෙක්කෙන් පොල් කඩන මේ මනුස්සයාගේ දුවත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගනියිද? මේක අමූලික බොරුවක්..”

අජිත් සමරකෝන්ගේ එම ප්‍රකාශයට රජයේ අධිනීතීඥ සරත් ජයමාන්න පිළිතුරු දෙමින්, “මේ තරුණියට ඔබ ලියූ බව කියන ලිපිවල ඇති අත් අකුරු, ඔබේ ම බව පරීක්ෂණවලින් ඔප්පු වුණා. එමෙන් ම ඔබ ඇය සමඟ එහෙ මෙහෙ යන බව ඇගේ පියා ද ඇතුළුව බොහෝ දෙනා දැක තිබෙනවා. ඔබ නිලන්ති සමඟ සම්බන්ධය පටන් ගන්නේ ඇය ‘කෙක්කෙන් පොල් කඩන ඩිංගිරිගේ දුව’ බව දැනගෙනයි. පසුව දරුවෙක් ලැබන්න ඉන්න බව දැන දැන ඇය මරා පිළිස්සුවා. සාලිය අශෝකමාලා, රොමියෝ ජූලියට් වැනි ප්‍රේම කතා තිබ්බ ලෝකයක, ඔබ නිලන්ති එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්ත කියන එක අදහන්න බැරි දෙයක් නෙමේ… ” යි පවසනවා.


සියලු සාක්ෂි සලකා බැලූ කුරුණෑගල මහාධිකරණය, 1997 මාර්තු 10 වැනිදා, දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ අජිත් දේවප්‍රිය සමරකෝන්, මනනාලගේ මාලනී නොහොත් නිලන්ති ඝාතනයට වරදකරු බව තීන්දු කොට මරණ දණ්ඩනය නියම කරනවා.

මෙම තීන්දුවට එරෙහිව අජිත් සමරකෝන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඒ චූලසිරිගේ සාක්ෂිය පිළිගත නො හැකි බව පවසමින්. අභියාචානාධිකරණ විනිසුරු එෆ්.එන් ඩී ජයසූරිය හා පි.එච්.කේ කුලතිලක යන විනිසුරුවරු යටතේ මහාධිකරණ තීන්දුව යළි සලකා බැලෙනවා. අභියාචනාධිකරණයේදී ඔහුගේ මරණ දඬුවම තහවුරු වනවා.


පසු විපරම

මාලනීගේ වයස්ගත මව්පියන් දැන් සැනසෙන්නේ ඔවුන්ගේ පුතාගේ (මාලනීගේ සහෝදරයාගේ) මිනිපිරිය හදාවඩා ගනිමින්.
පසුකාලීනව එමලින් මාතාව පුවත්පත් සාකච්ඡාවකදී මේ ගැන කියා තිබුණා. ඒ වනවිට ඒ මිනිපිරියට වයස අවුරුදු 17 ක්.

ඩිංගිරියා සහ එමලින්

“…මේ මගේ මිණිබිරිය මහත්තයො. මෙයත් කොබෙයිගනේ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ. දැන් අවුරුදු 17 යි. මගේ ලොකු පුතාගෙ දැරිවි. මං මාස තුනේ ඉඳලා හදන්නෙ. අපි දෙන්නා මේ නඩුවට ඇවිදිනකොට නිතර ක්ලාන්ත වෙලා වැටුණා. මට මානසික රෝගයක් හැදෙන්ඩත් ආවා. පස්සෙ පුතා කැමැත්තෙන් දරුවා දුන්නා අපට. මෙයත් නැත්නම් අපට පිස්සු වැටෙනවාම තමයි. මේ රත්තරං කෙල්ලගෙ මුහුණ බලලා මං දැන් ජීවත්වෙන්නෙ…”

මේ වනවිටත් අජිත් සමරකෝන් මහර බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටිනවා.

පසුකාලයේ මාධ්‍යවේදියෙකු විසින් ඔහු සමඟ කතා කිරීමට ගත් උත්සාහය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන්නේ,   “මං දැන් අලුත් ජීවිතයක් ගත කරන්නේ. භාවනාවට නැඹුරුව යහපත් මාර්ගයක ගමන් කරනවා. ඒ නිසා යටගිය අතීතයේ අහුමුළු ගැන කතා කරන්න කැමැති නැහැ..” යි පවසමින්.


විශේෂ ස්තුතිය :
සිළුමිණ
දිනමිණ
ලංකාදීප

පද්මිණී කුලරත්න ඝාතනය – නොවිසඳුණු සමුගැනීම

ගාලු කොටුවේ රැම්පාට් හෝටලය සංචාරක ආකර්ෂණය ඉතාම ඉහළින් දිනාගත් තැනක්. මේ හෝටලයේ පළවෙනි මහලේ කෙළවරේම කාමරයක, අද අපි මේ කියන කතාවේ ප්‍රධාන සිදුවීමට පාදක වනවා.

මේ සිදුවීම සිදුවන්නේ 1967 දී.

ඒ කාලයේ මේ ස්ථානය ගෙදරක්.  ගෙදර නම, සමුද්‍රසිරි.

පරම්පරා සල්ලිකාරයෝ

1505 දී ලංකාවට ආව පෘතුගීසීන් ගාලු නගරය ආශ්‍රිතව අලංකාර කොටුවක් නිර්මාණය කළා. ඉන් අනතුරුව ලංකාවට පැමිණි ලන්දේසීන් ගාලු කොටුව නවීකරණය කර එයට තවත් අංග එකතු කළා. 19 වන සියවසේ අවසානය වන විට ගාලු කොටුවේ ජීවත් වුණ බහුතරය ධනවත් සිංහල පවුල්.  මේ එක නිවසක, ඒ කාලයේ ප්‍රදේශයේ  ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වුණු කුලරත්නත්, ඔහුගේ බිරිඳ ලොරාත් ජීවත් වුණා.

මුහුදු තීරයට මුහුණලා, පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබුණු එම දෙමහල් නිවසේ නම “සමුද්‍රසිරි”

ඩේමන් ගාමිණී කුලරත්න

කුලරත්න වෛද්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට ඩේමන් ගාමිණී කුලරත්න නමින් පුතෙක් සිටියා. ඉගනීමට ඉතාමත් දක්ෂ වුණු ඩේමන්, සිය පියා අනුව යමින්  වෛද්‍යවරයෙකු බවට පත් වුණා.

වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ දී කැකිරාව, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සේවය කළ ඩේමන් කුලරත්න වෛද්‍යවරයා පසුව සිය ගම් පළාත වුණු ගාල්ලට පැමිණියා. කොහොමත් මිල මුදල් තිබුණු පවුලකට අයත් ඩේමන්, ගාල්ලේ ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ තව තවත් ධනවත් වුණා. 

ඔහුගේ අතිශය කාර්යබහුල ජීවිතය නිසා විවාහයට සුදුසු සහකාරියක් සොයාගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. තම පුත්‍රයාට – පවුලට ගැළපෙන තැනකින් කටයුත්තක් සෙවීම මව වූ ලෝරාට භාර වුණා. සිය මවට ඉතාම යටහත් සහ කීකරු පුතෙකු වූ ඩේමන්, මව ගෙනෙන ඕනෑම විවාහ යෝජනාවකට කැමැති බව දන්වා සිටියා.

ඩේමන්ට මනාලියක්

කළුතර විසූ ධනවතෙකු වුණු සී. ඊ. පෙරේරාට සිටි බාලම දියණිය වුණු සුසිලා පද්මිණී පෙරේරා, ඉතාම රූමත් තරුණියක්.  ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ කොළඹ බෞද්ධ කාන්තා විදුහලෙන් සිප් සතර හදාරා තිබූ ඇයව ඩේමන් ගාමිණී කුලරත්නට යෝජනා වෙනවා. ඒ අනුව1947 වසරේ සැප්තැම්බර් 28 වැනිදා ඩේමන් සහ පද්මිණී අතර විවාහය සිදු වුණා. විවාහ වුණු අවස්ථාවේ තරුණියගේ පියා දෑවැද්ද ලෙස රුපියල් 25000ක මුදලක්, කළුතරින් නිවාස 2ක්, ඇහැලියගොඩින් රබර් අක්කර 50ක්, සහ ඇඹිලිපිටියෙන් මැණික් ඉඩමක් මනාල පාර්ශවයට ලබා දුන් සඳහන්.

පළමු දරුවා ලැබෙන කාලය වනවිට ඔවුන් දෙදෙනා ඉතා ප්‍රීතිමත් සහ ප්‍රේමණීය යුවලක් ව සිටියා.

වෛද්‍ය කුලරත්න සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ඇමරිකාවට යන්නේ මේ අතරයි. සිය සැමියා ඇමරිකාව බලා ගිය නිසා පද්මිණී තම දරුවා ද රැගෙන දෙමාපියන්ගේ නිවසට ගියා.

දෙවසරක් ඇමරිකාවේ ගතකර, තම පශ්චාත් උපාධිය සාර්ථකව නිමා කළ කුලරත්න ලංකාවට පැමිණි පසු, පද්මිණී යළිත් වරක් සමුද්‍රසිරි නිවසට ගියා.  මේ නිවසේ වෛද්‍යවරයාගේ මව වුණු ලෝරා මෙන්ම,  රොමියෙල්, බණ්ඩා, සොපියා, සිසිලින් යන මෙහෙකරුවන් ද වාසය කළා.

මේ අතරතුර කුලරත්න යුවලට තවත් දරුවන් තිදෙනෙකු ලැබුණා.

රූමත් හෙදියක් සහ කාර්යබහුල වෛද්‍යවරයෙක්

1960 දශකයේ වන විට කුලරත්න වෛද්‍යවරයා රජයේ සේවයෙන් ඉවත්වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර තිබුණා. මුල් කාලයේ එතරම් රෝගීන් පිරිසක් එහි නො ආවත්,  වෛද්‍ය කුලරත්න රෝගීන්ට හොඳින් ප්‍රතිකාර කරන බවට කීර්තිය පැතිර යාමත් සමඟ බෙහෙත් ශාලාවට එන රෝගීන් ප්‍රමාණය වැඩිවුණා. එබැවින් බෙහෙත් ශාලාවේ සේවය කිරීම සඳහා කෙනෙකු සොයාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කිරීමට වෛද්‍ය කුලරත්න කටයුතු කළා.

ආරියවතී නම් ඉතාමත් රූමත් තරුණිය වෛද්‍ය කුලරත්නගේ බෙහෙත් ශාලාවේ සේවයට පැමිණෙන්නේ  එලෙස පළ වුණු පුවත්පත් දැන්වීම හරහායි.

පද්මිණී –  ඩේමන් සහ ආරි

ආරියවතීගේ රූමත්කම නිසාම ඇයට වශී වුණු වෛද්‍ය කුලරත්න ටික කලකින්ම ඇය සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළා. ඔහු ඇයට ‘ආරියා’ සහ ‘ආරී’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ද පටන් ගත්තා. දිනක් පද්මිණී හදිසියේම බෙහෙත් ශාලාව වෙත යද්දී වෛද්‍ය කුලරත්න සහ ආරියවතී පමණට වඩා ළංවී සිටිනු දැකීමෙන් පද්මිණී මහත් කලකිරීමටත් කෝපයටත් පත්වුණා. “පවුල් කඩාකප්පල් කරන” කාන්තාවක් ලෙසට ආරියවතී හඳුන්වමින් පද්මිණී ඇයට බැණ වැදුණා.

එම සිද්ධියෙන් පසුව කුලරත්න යුවල අතර නිතරම ගැටුම් හටගන්නට වුණා.

 ගැටුම් ඇතිවුණු අවස්ථාවන්වල දී ඩේමන් කුලරත්නගේ මව, ආරියවතී වෙනුවෙන් පෙනී සිටීම නිසා පද්මිණී තවත් කෝපයට පත්වුණා.

වෛද්‍යවරයාගේ රියදුරා වුණු රොමියෙල් මේ පවුලට ඉතා දැඩිව ආදරය කළ අයෙක්. මේ සිදුවීම්වලින් කම්පා වෙමින් සිටි ඔහු දිනක් ආරියවතීට බැණ වදිමින් පවසා තිබුණේ “මේ ලස්සන පවුල කඩා ඉහිරවන්නෙ නැතිව උඹ මෙහෙන් පලයන්” යයි පවසා තිබුණා.

ආරියවතී එම සිද්ධිය පිළිබඳව වෛද්‍යවරයාට පැවසීමත් සමග රොමියෙල්ට රැකියාව අහිමිවුණා.

පද්මිණීව කාමරයක සිර කරයි

මේ ගැටුම් දිනෙන් දින වැඩිවන විට ඇයට, මානසික රෝගයක් තිබෙන බව පවසා අංගොඩ යැවීමට වෛද්‍යවරයා උත්සහා කළා. නමුත් පද්මිණීගේ සොයුරිය එම අවස්ථාවේ පැමිණ ඇයව පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, එම වෛද්‍යවරයා විසින් පද්මිණී තදබල හිත් වේදනාවකින් පෙළුණත් ඇයට මානසික ආබාධයක් නොමැති බවට වාර්තාවක් ලබා දුන් හෙයින් එය ව්‍යර්ථ වී ගියා.

එම සිදුවීමෙන් පසුව කුලරත්න යුවල අතර ඇතිවුණු ගැටුම් තවත් වැඩි වුණා. “මාව පිස්සු කියල පන්නගත්තම අරකිත් එක්ක ඉන්න පුළුවන්” කියමින් පද්මිණී නිතර කළහ කරන්නට වුණා. එවන් දිනක කුලරත්න යුවල අතර ඇතිවුණු ගැටුමක දී අශ්වයන්ට තලන කසය අතට ගත් වෛද්‍යවරයා ඉන් සිය බිරිඳට පහරදෙන්නට වුණා.

සිය මව වේදනාවෙන් කෑගසනු දුටු දරුවන්, පද්මිණීව බේරාගෙන තිබුණා.

මේ සිද්ධියෙන් පසුව සිය බිරිඳව උඩුමහලේ කාමරයක සිර කළ වෛද්‍ය කුලරත්න, ඇයට පහත තට්ටුවේ සිට කෑමබීම යැව්වේ ලණුවක ගැටගැසූ වේවැල් කූඩයක් හරහා යි.

වෙන්වීමේ තැතක් 

සිය බිරිඳව කාමරයක සිරකර, තනිකඩයෙකු සේ  විනෝදකාමී දිවියක් ගතකළ වෛද්‍ය කුලරත්න අසුපිටින් වැටීම නිසා අනතුරක් වී රෝහල්ගත කළා. දින ගණනාවක් රෝහලේ සිට නිවසට පැමිණි වෛද්‍යවරයා කිහිලිකරුවලින් ගමන් කරන ආකාරය උඩු මහලේ කාමරයක සිටි පද්මිණීගේ නෙතට හසුවුණා. එම අවස්ථාවේ ඇය වෛද්‍යවරයාට ශාප කරමින් බැන වැදීම නිසා විශාල ගැටුමක් ඇතිවුණා. මේ ගැටුම සිදුවන විට ලෝරා ද ඊට මැදිහත්ව සිය පුත්‍රයාගේ පැත්ත ගැනීමට ක්‍රියා කළා.

එම ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුණේ රුපියල් 50,000ක මුදලක් ලබා දී බිරිඳගෙන් වෙන්වීමට වෛද්‍යවරයා සහ ඔහුගේ මව තීරණය කිරීම යි. නමුත් පද්මිණී එයට එකඟ වුණේ නැහැ.

පද්මිණී දික්කසාදයට අකමැතිවීම නිසා වෛද්‍ය කුලරත්න සහ ලෝරා දැඩි කෝපයට පත්වුණා.

පද්මිණී කුලරත්න මියයයි

 1967 වසරේ අප්‍රේල් 9 වැනිදා දහවලේ සුපුරුදු පරිදි පද්මිණීට වේවැල් කූඩයෙන් ආහාර එවනු ලැබුවා. එම ආහාර අනුභව කළ පද්මිණීට නොනවත්වාම වමනය සහ පාචනය ඇතිවන්නට වුණා.

දරාගන්නට බැරි උදර වේදනාව නිසා පද්මිණී සිය සොයුරියට දුරකථනයෙන් කතා කරමින් උදව් ඉල්ලා සිටියා.නිවසේ සිටි මෙහෙකරුවන් එම අවස්ථාවේ දී වෛද්‍ය කුලරත්නට දුරකථනයෙන් කතාකර සිද්ධිය දැනුම් දුන්නත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැහැ.

 පද්මිණීගේ සොයුරිය නිවසට පැමිණෙන විට පද්මිණී  සදහටම දෙනෙත් පියාගන තිබුණා.

ඝාතන සැකය

සිද්ධිය පිළිබඳව වාර්තා වීමෙන් පසුව ගාල්ල පොලිසියේ නිලධාරීන් සමුද්‍රසිරියට පැමිණියා.

නිවසේ ඉතිරිව තිබූ දිවා ආහාරත්,  පද්මිණී ආහාරගත් පිඟාන සහ වමනය කොටස් පරීක්ෂාවට ලක් කළා.

 මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ, හුස්ම හිරවීම සහ ආමාශය දැඩි ලෙස හානියට පත්වීම හේතුවෙන් පද්මිණීගේ මරණය සිදුව ඇති බව යි. දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවලින්, පද්මිණී කුලරත්නගේ ශරීරයේ පොටෑසියම් ආසනේට් විෂ තිබූ බව හෙළිවුණා.

ඒ සමඟම සමුද්‍රසිරිය මෙන්ම ඩේමන් කුලරත්නගේ බෙහෙත් ශාලවත් පරීක්ෂාවට ලක්වුණා.

වෛද්‍ය කුලරත්න ළඟ තිබී පොටෑසියම් ආසනික් බෝතල් 2ක් හමුවීම හේතුවෙන් වෛද්‍යවරයා, ඔහුගේ මව, සහ මෙහෙකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

බිලිං අච්චාරුව

පද්මිණී මියගිය දා දහවලේ, ඇයට ලබාදුන් බත් පතෙහි බිලිං අච්චාරුවක්ද තිබුණා.

ඇයට විෂ ශරීර ගතවන්නට ඇත්තේ මේ බිලිං අච්චාරුව හරහා බවට සැකයක් ඇතිවුණා.

එය ලබා දී තිබුණේ සොපියා විසින්.

1967 අප්‍රේල් 29 වැනිදා නඩුව ඇසූ අවස්ථාවේ දී කිසිදු චෝදනාවක් නොමැතිවීම නිසා සිසිලියාට නිදහස ලැබුණා.

පළමු විත්තිකරු ලෙස ඩේමන් ගාමිණී කුලරත්න, දෙවන විත්තිකරු ලෙස ලෝරා කුලරත්න, තෙවන විත්තිකරු ලෙස මෙහෙකාරිය සොපියා ලෙසින් ඉතිරි තිදෙනාට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කරමින් නඩුව ඉදිරියට පවත්වාගෙන ගියා.

විත්තිකරුවන්ට නිදහස

විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් කොල්වින් ආර්. ද සිල්වා, සුනිල් රොද්‍රිගෝ, ෂන්මුගනාදන්, රාජා ගුණරත්න වැනි දක්ෂ නීතිඥවරුන් පෙනී සිටියා.

 ජූරියේ අවසන් තීරණයට අනුව විත්තිකරුවන් තිදෙනාට මරණ දඬුවම හිමිවුණා.

කෙසේ නමුත් විත්තිකරුවන් තිදෙනාගේ නීතිඥයන් මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළා. විත්තියේ නීතිඥයන් ඉදිරිපත් කළ තාර්කික කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුවන් තිදෙනාට නිදහස ලබාදීමට තීරණය කළා.

මියගිය පද්මිණී කුලරත්නගේ මරණයට හේතුව විෂ ශරීරගත වීම වුවත්, ඇයට ඇත්තටම වහ දුන්නා ද  එසේ නැතිනම් පීඩනය දරාගත නොහැකිව ඇය වස ශරීරගත කරගෙන සියදිවි හානිකරගත්තා ද යන සැකය අදටත් නො විසඳී තිබෙනවා.

ටෙලි නාට්යයකට නැගෙයි

දයානන්ද ජයවර්ධනයන් විසින් 90 දශකයේ ටෙලිනාට්‍ය ක් ලෙස මේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරා. ඒ හිම ගිරි අරණ නමින්.

ඒ ටෙලිනාට්‍ය අවසානයේදීනම්,   පද්මිණීගෙ දුව පසුව ඒ ඇත්ත එළිකරවාගන්නවා …

අම්මා සහ දුවගේ තරුණ කාලය රඟපෑවේ ප්‍රවීන නිළියක් වන  ගීත කාන්ති ජයකොඩි මහත්මියයි .

නැන්දම්මා ලෙස  චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය රගපෑවා.

ඇගේ රංගනය කෙතරම් තාත්වික වූවාද කියතොත් ඇයට සමහර මිනිසුන් පාරේ යන විට ගල් ගැසූ බවද,  පසු කාලීනව චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය පුවත්පතකට කියා තිබුණා.

දා හත් වසරකට පෙර සිදු වූ යාංගල්මෝදර අනතුර



දිනය 2005/04/27

ගල්කිරියාගම සිට දඹුල්ල කුරුණෑගල හරහා කොළඹ බලා ධාවනය වන HT 2520 පෞද්ගලික බස් රථය, පුරුදු පරිදි ගමන් ඇරඹුවේ, දහසකුත් එකක් බලාපොරොත්තු, වගකීම් හිසේ දරාගෙන යන ජීවිත ගමනේ තව දවසක් වෙනුවෙන් මගට බැහැපු මගීන් රැසක්, ඔවුන්ගේ ගමන්නාන්තයන්ට අරලවීමේ අරමුණින්.බස් රථයේ රියදුරා වුණේ අබ්දුල් වහීඞ් හෆ්රූල්. කොන්දොස්තර විදිහට කටයුතු කළේ එම්.ජී. බුද්ධික රුවන් කුමාර.උදේ 7.00 ට M6 786 එංජිම සහිත මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවෙන් සිය ගමන ආරම්භ කළා. දිනපතා උදේට කොළඹ කොටුවේ සිට මහනුවර බලා එන විශාල පිරිසක් එදත් මේ දුම්රියේ සිටියා. දුම්රියේ රියදුරා ලෙස සේවය කළේ එච්. ඒ. සිරිසේන.

”තවත් කෑල්ලක්”

අධික වේගයෙන්, අනෙකුත් බස්රථ පසුකරමින් මගීන් සියල්ලන් තම බස්රථයට නංවා ගැනීමේ අරමුණින් ගල්කිරියාගම – කොළඹ බස් රිය වේගයෙන් ධාවනය වුණා.”ඉස්සරහ කෑලි දෙකක් ඉන්නවා..” ආදී වශයෙන් පවසමින්, මගීන් සිටින තැන්වලින් බස්රථය නවත්වා ඔවුන්ව නංවාගෙන, ඔවුන් බසය තුළට හරිහැටි ගොඩවීමටත් කළින් ධාවන කිරීම මොවුන්ගේ සිරිත වුණා.අනෙක් බස් අභිබවා ගොස් හැම ‘කෑල්ලක්’ ම තම බස් රියට නංවා ගැනීමේ තරඟයේ ඔවුන් යෙදුණු බවට බස් රියේ සිටි මගියෙක් පසුව සාක්ෂි ලබා දී තිබුණා.

මාරයාගේ හෝරාව

කොළඹ කොටුවෙන් පිටත් වූ මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය උදෑසන 8.10 ට පමණ පොල්ගහවෙල දුම්රිය හරස්මාර්ගයට ළඟා වෙමින් සිටියා. අටයි දහය පමණ වනවිට දුම්රිය ගේට්ටුකරුවන් විසින් යාංගල්මෝදර හරස් මාර්ගයේ ගේට්ටු වසා දැමුවා. මේ වනවිට වාහන කිහිපයක්ම දුම්රිය හරස්මග ආසන්නයේ නතර කර තිබුණා. මේ අවස්ථාවේ ගල්කිරියාගම – කොළඹ බස්රියත් මේ වාහන අතරේ, දුම්රිය හරස්මාර්ගයට වාහන දහයක් පමණ පසුපසින් නවතා තිබුණා. එහෙත් තවත් සුළු වෙලාවක් නිසි ලෙස පමා වීමට, මේ බස් රියේ රියදුරා සහ කොන්දොස්තරවරයාට ඉවසීම තිබුණේ නැහැ. ඉදිරියෙන් වූ අනෙක් වාහන පසුකරමින් බස් රථය වසා තිබූ දුම්රිය ගේට්ටුවේ ඉතිරි ඉඩ අතරින් දුම්රිය හරස් මාර්ගයට ධාවනය කළා. කොන්දොස්තර වූ බුද්ධික රුවන් කුමාර ඒ අවස්ථාවේ බසයෙන් බැස දුම්රිය එනවාදැයි බලා,”හරි හරි කොච්චිය නෑ..” යයි පවසා තිබුණා. ඊට ඉතාම සුළු මොහොතකට පසු මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පැමිණියා.

පෙනී පෙනී ආ මරණය

මේ වනවිට බස් රිය දුම්රිය මග හරහට නතර වී තිබුණා. අධික වේගයෙන් තමන් දෙසට එන දුම්රිය දුටු බස් රියේ සිටි මගීන්, මර බියෙන් විලාප තබද්දී බස් රියදුරු අබ්දුල් වහීඞ් හෆ්රූල් බසයෙන් බැස තම ජීවිතය රැකගැනීමේ අරමුණින් පළා යාමට උත්සාහ කළා. එහෙත් ඔහුට හැකිවූයේ බසයෙන් බැසීමට පමණයි.පලාතම දෙදරුම්කන හඬක් සමඟ, දුම්රිය බස් රිය බඳෙහි ගැටුණා. ඉදිරියට ඇදෙන දුම්රිය සමඟ තවත් මීටර් සියයක් පමණ ඇදී ගිය සුන්බුන් වූ බස්රිය, ගිනිගත්තා. හරියටම උදේ 8.13 ට, ලංකා ඉතිහාසයේ අති බිහිසුණුම දුම්රිය අනතුරක් සිදුවුණා.

ජීවිතවල ඉරණම

දුම්රියේ ගැටුණු බස්රියේ තහඩු අතරේ සිරවී මගීන් ජීවිත විශාල සංඛයාවක් සුන්බුන් වී තිබුණා. බස් රියෙන් දුම්රිය මාර්ඝය මතට වැටුණු තුවාලකරුවන් සහ මළ සිරුරු හැකි ඉක්මනින් වාහනවල පටවා රෝහල් කරා යැවීමට, ප්‍රදේශවාසීන් මෙන්ම දුම්රියේ සිටි මගීන්ද කටයුතු කළා.බසයේ සුන්බුන් වූ ගිනියම් තහඩු අතරේ සිරවී සිටි පිරිස් බේරාගැනීම ඉතාම දුෂ්කර කාර්යයක් වුණා. බසය ගිනි ගැනීම නිසා බොහෝ මළ සිරුරු තැම්බුණු ස්වභාවයක් ගෙන තිබුණා. පුද්ගලයන් තිස් පස් දෙනෙකු මියගොස් තවත් හැටකට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.ඉදිරියේ එළඹුණු දින කිහිපයේදී, අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් හයදෙනෙකු මෙළොව හැරගියේ මේ ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව හතළිස් එකක් දක්වා ඉහළ නංවමින්. තවත් තිස් හය දෙනෙකු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව තිබුණා.

ඛේදවාචකයේ තවත් ඛේදවාචක

මරණය කාටත් පොදු ධර්මතාවක් වුවත්, පවුලේ කෙනෙක් අනපේක්ෂිත සහ බිහිසුණු මරණයකට ලක්වීම පවුලේ ඉතිරි සාමාජිකයන්ට ඛේදවාචකයක්. මේ අනතුරේ අතිශය හද කම්පා කරන සිදුවීමේ රැසක් එකල මාධ්‍ය වාර්තා කළා.ඇල්පිටියේ පදිංචිව සිටි එකම පවුලේ, මව, පියා සහ එකොළොස් හැවිරිදි දියණිය මේ අනතුරින් මරණයට පත්වුණා.දඹුල්ලේ මේනකා විදර්ශනීත් ඇගේ පවුලේ අයත් අප්‍රේල් 26 මාතර යාමට නියමිතව තිබුණත්, එදින මාතරට සුනාමියක් එන බවට ප්‍රචාරයක් ආ බැවින් ඔවුන් ගමන කල්දමා තිබුණා. දෛවෝපගත ලෙස ඔවුන් ගොඩවූ මේ බස්රිය මේනකාව මරණයේ ගමනාන්තය කරා රැගෙන ගියා. අවුරුදු තුනක් පමණ වයසැති දරුවෙකුගේ දෙකට කැපී වෙන් වුණු මළසිරුර දුම්රිය මග දෙපස වැටී තිබුණා. කෑගල්ල බාලිකාවේ තිලන්කා සරෝජනී මේ අනතුරින් තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ, ඇයත් සමඟ බසයේ පැමිණි මිතුරිය ‘හඳුනා නොගත් සුන්බුන් වූ සිරුරක්’ ලෙසට රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර සිටියදී. පසුව ඒ සිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණේ, දැවී කළු වී ගිය ඇඳුමක ඉතිරි වී තිබූ කොටසකින්.

ඇහින් දුටු සාක්ෂි

“කෝච්චිය එනවා, දාන්න එපා කියල බිම හිටපු කෙනෙක් කෑගැහුව…ඒත් බස් එක දැම්මා…” අනතුර පිළිබඳ සාක්ෂි දෙමින් දුම්රිය සංඥා කුටියේ සංඥා සහායක ජයරත්න ප්‍රකාශ කළා.සාමාන්‍යයෙන් උදේ අට වනවිට එම ස්ථානය පසුකිරීමට නියමිත දුම්රිය එදින මද ප්‍රමාදයකට ලක්ව තිබූ බවත් ඔහුගේ සාක්ෂියේ සඳහන්. අනතුර සිදුවනු දුටු තමන්ට ඒ අවස්ථාවේ පපුවේ අමාරුවක් වැළඳුණු බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. “දුම්රිය සංඥාව කොළ පාට වී තිබුණා. බස් රිය දුම්රිය මාර්ගයට ඇතුළු කරනු දුටු වහාම මම දුම්රියේ වේගය පැයට කිලෝමීටර 20 දක්වා අඩු කළා. දුම්රිය බසයේ ගැටුණ විගස ගිනිගත්තා. අනතුරින් දුම්රියේ වැකුම් පයිප්ප කැඩී ගියා..” යි දුම්රියේ රියදුරු එච්. ඒ. සිරිසේන සාක්ෂි දෙමින් පවසා තිබුණා.

ඉතිහාසය වෙනස් කළ නඩු තීන්දුව

මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට එරෙහිව චෝදනා 152 ක් ගොනු කරමින් නීතිපතිවරයා විසින් නඩු ගොනු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ පැවති නඩුව විභාගයට ගත් අවස්ථාවේ අනාරක්ෂිත ලෙස බස් රථයක් ධාවනය කිරීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කළා. ඒ 2013 අප්‍රේල් පස් වැනිදායි.ලංකා ඉතිහාසයේ පළමු වරට රිය අනතුරක් සම්බන්ධ නඩුවක් – චේතාන්විත මිනී මැරීමක් ලෙසට සලකා මෙම නඩුව විභාගයට ගැනුණා.එමෙන්ම, කොන්දොස්තරවරයා විසින් බසයෙන් බැස, දුම්රිය නො එන බවට සහතික වී, ඒ බව රියදුරුට දන්වා ඔහුට ක්‍රියාත්මක වීමට තිබූ කාලය, මිනිස් මොළයේ පණිවිඩ හුවමාරුවේ සහ මිනිස් සිරුර එයට ප්‍රතිචාර දැක්වීමට ගතකරන කාලයත් මේ නඩුවේදී විමසීමට ලක්වුණා.

පරවුණු ජීවිත වෙනුවෙන්

අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ, අනතුරින් මියගිය පිරිස් සිහිකර තැනූ ස්මාරකයක් දකින්නට පුළුවන්. පරවුණු නෙලුම් කැකුළක් සහ ශෝකී මිනිසෙක් එහි නිරූපනය වනවා.

අද අපි කොතැනද?

යාංගල්මෝදර දුම්රිය අනතුරට අවුරුදු දහ හතක් සපිරෙන මේ වසර (2022) දක්වා, බලධාරීන් විසින් මගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සැළකිය යුතු මට්ටමේ පියවර කිසිවක් ගෙන තිබේදැයි සැකසහිතයි. පෞද්ගලික බස් මාෆියාව තවමත් මගී ජීවිත මනින්නේ ”කෑලි” වලින්. විනයක්, හික්මීමක්, ඉවසීමක් නොමැති රියදුරන් නිසා සිදුවන අනතුරුවල වැඩිවීමක් විනා අඩුවීමක් නැහැ. වෙනකක් තබා, යාංගල්මෝදර අනතුර සිදුවූ දිනවල මේ ස්ථානයේ ගුවන් පාලමක් ඉදිකිරීමට වගකිව යුතු අංශ දුන් ප්‍රතිඥාවත් මෙතෙක් ඉටුවී නැහැ.දුම්රිය හරස්මාර්ගවල කණ්නණාඩියක් සවිකර, එය විවෘත කිරීමට පවා දේශපාලනඥන් විසින් උත්සව සංවිධානය කරනවා. ‘නමක්’ ගැසූ පුවරුවක් වෙනුවෙන් විනා මෙවන් ඛේදාචකවලින් මියයන අය වෙනුවෙන් තව තවත් සමූහ පුවරු ඉදිවීම වැළක්වීමේ සද්චේතනාවක් ඔවුන් හට තිබේද යන්න සැක සහිතයි.