පුපුරා ගිය උමතුව – බාත් පාසලේ බෝම්බය

 හදිසි අනතුරකින් පසුව මානසික මට්ටම වෙනස් වූ මිනිසෙක්, ඔහුගේ අතෘප්තිකර ජීවිතයේ වගකීම, ඔහු ජීවත් වූ සමාජයට බැර කරමින් හදවතේ වෛරයේ ගිනි දැල් දැල්වූවා.  වරින් වර ඒ ගින්නට ඔහු අතින් මෙන් ම ඔහුගේ ජීවිතයේ යම් යම් සිදුවීම්වලින් ඉන්ධන සැපයුණා.

කෙමෙ කෙමෙන් උමතුවට පත් ඒ මිනිසාගේ ඒ ගින්න, එක මොහොතක පුපුරා ගියේ ඔහු ජීවත් වූ කුඩා නගරයේ හදවත සියවස් ගණනකට බිඳ දමන මහා ඛේදවාචකයකින්. 

එය සිදු වූයේ 1927 වසරේදී යි. මේ ඇමරිකාවේ බාත් හි සිදුවූ පාසල් බෝම්බයේ කතාවයි.

පොඩි නගරයක්

ඇමරිකාවේ මිචිගන් හි පිහිටි බාත් නගරය, වර්ග සැතපුම් 31 ක් පමණ ප්‍රදේශයක පැතිර තිබූ ගොවි ජනපදයක්. 1927 වර්ෂය වනවිට එහි පුද්ගලයන් තුන්සියයක පමණ ජනගහනයක් වාසය කළා. ජනගහනය අඩු නගරයක් වීම නිසාම, මෙහි සියලු ම දෙනා පාහේ එකිනෙකාව හොඳින් දැන හඳුනාගෙන සිටියා. සාමාන්‍යයයෙන් යහපත් ආර්ථික සහ සමාජයීය මට්ටමක් තිබුණු බාත් වැසියන්, එකිනෙකාව ප්‍රිය කළ, සතුටින් සිටි පිරිසක්. බාත් ප්‍රථමික පාසල මේ කුඩා නගරයේ සුවිශේෂී ගොඩනැගිල්ලක් වුණා. බාත් පවුල්වල දරුවන්ගෙන් බහුතරයක්, මේ පාසලේ සිසුන් ව සිටියා. 1922 දී නගරවාසීන් විසින් ගත් තීරණයකට අනුව පිහිටවූ  බාත් ප්‍රාථමික පාසල පාලනය කෙරුණේ නගරවාසීන්ගේ කැමැත්තෙන් සහ ඡන්දයෙන් පත්කෙරුණු, නගරවාසීන්ගෙන් ම සමන්විත කමිටුවකින්.

බාත් ප්‍රාථමික පාසල – 1925

තිත්ත හැඟීම්වලින් පිරුණු මිනිහෙක්

මේ පාසල් කමිටුවේ සාමාජිකයෙකු ද වූ ඇන්ඩෘ කීහෝ (Andrew Kehoe), බාත් වාසීන් අතර ප්‍රකටව සිටියේ තරමක අමුතු පුද්ගලයෙකු ලෙසටයි. ගොවියෙකු සහ සත්ත්ව පාලකයෙකු වූ කීහෝ, කිසිවෙකුත් සමඟ ‘වැඩි භජනයක් නැති’, අතිශය බුද්ධිමත් අයෙකු ලෙස බාත් වාසීන් විසින් හඳුනාගන සිටියා. ඔහු පිළිබඳව තරමක් භයංකර කතා ද බාත් නගරයේ පැතිර තිබුණත් ඒ කිසිවක් එළිපිට කතාබහට ලක්වෙන, ඔප්පු වුණු කතා වුණේ නැහැ.

1872 වසරේ පෙබරවාරි පළවැනිදා, දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුතු පවුලක දහ තුන් වැනියා ව උපන් ඇන්ඩෘ කීහෝ, මිචිගන් ජනපද පාසලේ (වර්තමානයේ මිචිගන් විශ්ව විද්‍යාලය) විදුලි ඉංජිනේරු ශිල්පය ඉගෙනගත්තා. 1911 වසරේදී, යම් පුහුණු වීමක් අතරතුරදී ගොඩනැගිල්ලක ඉහළින් ඇදවැටෙන කීහෝ, ඉන් හිසට සිදුවූ දරුණු තුවාල නිසා දෙසතියක් කෝමා තත්ත්වයක පසුවනවා. ඔහු එයින් සුවය ලබන්නේ, කිසිදු ප්‍රීතිමත් බවක් ඉතුරු නො වූ, සැඟවුණු කුරිරු සහ තිත්ත හැඟීම්වලින් පිරුණු අයෙකු බවට පත්වෙමින්.  ඔහු ඒ අනතුරින් පසුව නැවතත් සිය පියා සමඟ වාසයට යනවා. ඒ කාලයේ ඔහුගේ මව මියගොස් තිබූ අතර, ඔහු එතරම් ප්‍රිය නො කළ ඔහුගේ පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ වූ ෆ්‍රාන්සෙස් වයිල්ඩර් සමඟ එක ම නිවසේ වාසය කිරීමට සිදුවීම පිළිබඳව ඔහු සිටියේ අසතුටින්.

ඇන්ඩෘ කීහෝ අනතුරට ලක්වීමට පෙර

1911 සැප්තැම්බර් 17 වැනිදා නිවසේ උදුනක් දැල්වීමට උත්සාහ කරන අතරේදී උදුන පුපුරා යාමෙන් ෆ්‍රාන්සෙස් වයිල්ඩර්ගේ සිරුරට ගිනි ඇවිලෙනවා. මේ අවස්ථාවේ අසල සිටි ඇන්ඩෘ කීහෝ විසින් වතුර යොදාගෙන ගින්න නිවන්න හැදුවත් එය සාර්ථක නො වන්නේ උදුනේ තෙල් විසිරී, ගින්න පැතිරෙමින් තිබූ නිසා.

ෆ්‍රාන්සෙස් වයිල්ඩර් මේ ගින්නෙන් සිදුවූ පිළිස්සුම් තුවාලවලින් දින කිහිපයක් වේදනා විඳ මිය යනවා. මේ උදුන පුපුරා යන ලෙස සකස් කළේ  ඇන්ඩෘ කීහෝ බවට ඒ කාලයේ කටකතා පැතිරුණත් පොලිසියට එය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලැබී තිබුණේ නැහැ.

1912 වසරේදී, කීහෝ ඔහු අනතුරට ලක්වීමට ප්‍රථම ඔහු විසින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ එලන් ඇග්නස් ප්‍රයිස් (හිතවතුන් ඇයව අමතන්නේ නෙලී නමින්) සමඟ විවාහ වනවා. 1919 දී නෙලීගේ නැන්දණියක විසින් ඇයට දුන් මුදලින් විශාල ඉඩමක් ගෙන ගොවිපලක් ආරම්භ කිරීමට ඇන්ඩෘ කීහෝ කටයුතු කරනවා. මේ සඳහා ඩොලර් 6,000 ක් කීහෝ විසින් මුදලින් ගෙවූ අතර, ඉතිරි මුදල ලෙස තවත් ඩොලර් 6,000 ක් ඔහු විසින් ණයක් ලෙස ගෙන තිබුණා.

ඉතාම නිශ්ශබ්ද සහ අහිංසක ගැහැනියක වූ නෙලී, කීහෝගේ නිරන්තර කුරිරුකමවලට ලක් වුණු බව අසල්වැසියන් විසින් දැක තිබුණා. එමෙන් ම කීහෝ විසින් අසල්වැසි නිවසක සුනඛයෙකුට වෙඩි තැබූ බවටත්, අසනීපව සිටි අශ්වයෙකුට පහර දී මරාදැමූ බවටත් කටකතා ද පැතිර තිබුණා. මේ කටකතාවල සත්‍ය අසත්‍යතව කෙසේ වෙතත්,  ඇන්ඩෘ කීහෝ නිතරම අනෙක් අය නුරුස්නා ලෙස හැසිරෙන සහ මිත්‍රශීලි ආකල්ප නො දරන අයෙකු වීම නිසා නගරවාසීන් ඔහුට යම් බියක් දැක්වූවා. විවේක මොහොතවල්වල තුවක්කුවකින් ගස් කඳන්වලට වෙඩි තබමින් සිය ඉඩමේ ඔහු ඇවිදින ආකාරය අසල්වාසීන්ට සුලබ දසුනක් වුණා.

කීහෝ සහ බිරිඳ නෙලී

අතිශය පිළිවෙල මිනිසෙකු වූ  ඇන්ඩෘ කීහෝ, සිය නිවස මෙන් ම සත්ත්ව ගොවිපොළ ද ඉතාම පිළිවෙලට තබාගැනීමට උත්සුක වුණා. සතුන් නිදැල්ලේ සිය ඉඩමේ ඇවිදින මොහොතක පවා අතිශය කෝප වුණු කීහෝ, එවන් අවස්ථාවල සතුන්ට පහර දෙමින් ඇදගෙන ගොස් ඔවුන් ව අදාළ ස්ථානවල ගාල් කරනු අසල්වැසියන් දැක තිබුණා. 1925 වර්ෂය පමණ වනවිට, ඇන්ඩෘ කීහෝගේ දුර්වල මුදල් කළමනාකරණය නො කිරීම මෙන්ම, වරින්වර ඇතිවන මානසිකත්වයේ වෙනස්වීම් ද නිසා ඔහුගේ ව්‍යාපාරය යම් මට්ටමකින් බිඳ වැටෙමින් තිබුණා.

එමෙන් ම බාත් වැසියන් විසින් එකඟ වී 1922 වසරේ ආරම්භ කළ, බාත් ප්‍රාථමික පාසල නඩත්තුව පිණිස නගරවාසීන්ගේ බදු මුදල ඉහළ නැංවීමට නගර කමිටුව තීරණය කිරීම නිසා, තමන්ට ගෙවීමට සිදුවන බදු මුදල ඉහළ ගොස් තිබීම ගැනත් ඇන්ඩෘ කීහෝ සිටියේ තදබල කේන්තියකින්. 

කේන්ති ගින්නට ඉන්ධන වැටෙයි

1924 වසර වනවිට බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවට ඇන්ඩෘ කීහෝ ද පත් වී සිටියා. ඔහු බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුර දැරුවා. ඔහු ඒ කාලයේ සිය තනතුරේ වගකීම් එතරම් සාධනීය ලෙස ඉටු නො කිරීම නිසා මෙන් ම ඔහු අනෙක් කමිටු සාමාජිකයන් සමඟ ඉක්මනින් කෝප ගෙන කලහකාරී ලෙස හැසිරීමත් නිසා ඔහු පිළිබඳව එතරම් සුභවාදී හැඟීමක් පාසල් කමිටුවේ සාමාජිකයන් තුළ තිබුණේ නැහැ. එමෙන් ම ඔහු පාසල් අරමුදල තම පුද්ගලික වියදම් සඳහා යොදාගන්නා බවටත් හැඟීමක් අනෙක් කමිටු සාමාජිකයන් තුළ තිබුණා.

1925 වසරේදී ඔහු නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ද පත් ව සිටි අතර, බාත් පාසල ආරම්භ කිරීමත් සමඟ වැඩි වූ නගරයේ බදු මුදල් නැවත අඩු කිරීම වෙනුවෙන් ඔහු නිතර ම අනෙක් කමිටු සාමාජිකයන් සමඟ කළහ කරමින් සිටියා.

බාත් ප්‍රාථමික පාසලට ඉදිරි වසර කිහිපය සඳහා කමිටු සභිකයන් තෝරාගැනීමට 1926 අප්‍රේල් පස්වැනිදා දී පැවැත්වූ ඡන්දයේදී නැවතත් භාණ්ඩාගාරික තනතුරට පත්වීමට ඇන්ඩෘ කීහෝට අවශ්‍ය වුණත්, ඔහු එවර ඡන්දයෙන් පරාජය වුණා. එමෙන් ම නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ඔහු දැරූ තනතුරත් ඔහුට අහිමි වුණා. ඔහු ඒ ගැන ඉතාමත් ම කෝපයට පත්වූ අතර සිය සත්ත්ව ගොවිපළේ සතුන්ට සහ බිරිඳට හිරිහැර කරමින් සිය කේන්තිය පිටකර ගත්තා.

එමෙන් ම ඔහු විසින් 1919 දී ගොවිපළ ආරම්භ කිරීමට ගත් ණය නිසි ලෙස නො ගෙවීම නිසා, ඔහුගේ ගොවිපොළ බැංකුවෙන් අත්පත් කරගන්නා බවට ලිපියක් ද මේ වනවිට ඔහුට ලැබී තිබුණා.

එමෙන් ම ඔහු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බැංකු නියෝජිතයෙකු ද පැමිණෙනවා. “එක්කෝ මම මේ ගෙදර ඉන්නවා.. නැත්නම් කවුරුවත් මේ ගෙදර ඉන්නේ නැහැ…” ඔහු විසින් ණය හිලව්වට නිවස අත්පත් කරගැනීම සඳහා පැමිණි බැංකු නියෝජිතයාට දන්වනවා.

බාත් ප්‍රාථමික පාසල ආරම්භ කිරීමත් සමඟ, එහි නඩත්තුවට ගෙවිය යුතු මුදල ද එකතු වීමෙන් ගෙවිය යුතු බදු මුදල ඉහළ යාමත්, බාත් ප්‍රාථමික පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් වීමට සිදු වීමත් නිසා ඔහු පාසල කෙරෙහි දැඩි වෛරයක් ඇතිකරගෙන සිටියා.  ඔහුගේ ජීවිතයේ සෑම අයහපත් ම සිදු වීමට හේතුව බාත් ප්‍රාථමික පාසල බවට ඔහු විශ්වාස කළා.

විනාශයකට සැරසෙයි

මේ කාලය වනවිට ඇන්ඩෘ කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත්, ඇන්ඩෘ කීහෝගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු සිය ඉඩම කෙළවරේ වූ ඔහු විසින් ම වැවූ ගස්වලට වෙඩි තබමින්, තනිවම කියවමින් සිටිනු දුටු එල්ස්වර්ත්,  කීහෝ උමතුවකට පත්වෙමින් සිටින බව සිතුවා. කීහෝගේ තවත් අසල්වාසියෙකු වූ මැක්මුලන් සිතුවේ කීහෝ සියදිවි නසාගැනීමට සැලසුම් කරන බවයි. කීහෝ 1927 වසරේදී සිය ගොවිපළේ කටයුතු සියල්ල ම නවතා දමනවා.

කීහෝ නිවස – 1925

1927 අප්‍රේල් 27 වැනිදා මැක්මුලන් හමුවන ඇන්ඩෘ කීහෝ ඔහුට සිය අශ්වයෙකු තෑගි කරනවා. මැක්මුලන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ තම ගොවිබිමේ වැඩකටයුතු වෙනුවෙන් එය තබාගන්න ලෙස කියමින්. මේ කාලය වනවිට කීහෝගේ බිරිඳ නෙලී, ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටිනවා. නිතර රෝහල්ගතවන නෙලීගේ ප්‍රතිකාරවලටත් කීහෝට ඉතා විශාල වියදමක් දැරීමට සිදු වනවා. මේ කාලයේදී කීහෝ විසින් සිය රක්ෂණය සඳහා ගෙවිය යුතු වාරික මෙන් ම උකස් වාරිකයද ගෙවීම අතහැර තිබෙනවා.

1927 මැයි 15 වැනිදා ඔහු දවස පුරාම සිය ගොවිපළේ කටයුතු කරනවා. සියලුම ගස් කපා දමන ඔහු, ඇතැම් ගස්, කපා ඇති බව නො පෙනෙන්නට ඒවා අටවා තබනවා. එමෙන් ම මිදි වැල් ද ඇතුළුව සියලුම භෝග විනාශ කර, ඒවා විනාශ කර දමා නැති බව අසල්වැසියන්ට පෙනෙන ලෙස යන්තම් රඳවා තබන්නට කටයුතු කරනවා.

මැයි 16 වැනිදා නෙලී, අවසන් වරට රෝහලේ සිට නිවසට පැමිණෙනවා. ඔහු මැයි 16 සවස – 18 උදෑසන අතර මොහොතක නෙලීව ඝාතනය කර, ඇගේ සිරුර නිවසින් පිටත ගොඩනැගිල්ලකට ගෙන ගොස් දමනවා.

ඔහු දින කිහිපයකට පෙර, අලුතෙන් ම ටයර් යෙදූ තම ෆෝඩ් ට්‍රක් රියෙන් රථයෙන් කිහිප වරක් ම නගරයටත්, බාත් ප්‍රාථමික පාසලටත්, ගොවිපළටත් නිවසටත් යනවා. පසුගිය වසරේ නොවැම්බරයේ සිට ඔහු වරින්වර මිලට ගෙන එකතු කරගත් පයිරටෝල් (පළමු ලෝක යුධ සමයේ භාවිත වූ පුපුරන ද්‍රව්‍යයකි. මෙය සහ ඩයනමයිට් එකල ගොවිපළ භාවිතා සඳහා මිලට ගැනීම සුලබ සිදුවීමකි.) සහ ඩයනමයිට් ගොවිපළේත්, පාසලේත් ගොඩ ගසනවා.

පුහුණු විදුලි කාර්මිකයෙකු වූ ඔහුට බාත් ප්‍රාථමික පාසලේ භූගත ගබඩාවට නිතර යාමට ඒමට ඉඩ ලැබී තිබුණේ ඔහු එහි විදුලි පද්දතියේ අලුත්වැඩියා කටයුතු කිරීම සිදුකරන පුද්ගලයා වීමෙන්.

මේ සමඟම ඔහු ඔහු විසින් ම නිර්මාණය කළ, ඇටවුම් දෙකක් ද ගෙනගොස් මෙම පුපුරන ද්‍රව්‍යවලට සම්බන්ධ කරනවා. එමගින් ඔහු ඒ පුපුරන ද්‍රව්‍ය කාල බෝම්බ දෙකක් බවට පත් කරනවා. ඒ ගොඩනැගිල්ලේ උතුරු අන්තයේ, භූගත ගබඩාවේ එක කාල බෝම්බයක් සහ දකුණු අන්තයේ තවත් කාල බෝම්බයක් වන ලෙසටයි. 

1927 මැයි 18 වැනිදා

1927 මැයි 18 වැනිදාට දිනය උදා වෙනවා. හරියටම උදෑසන 8.30 ට ඔහුගේ නිවස සහ ගොවිපළ සුන්බුන් ගොඩක් බවට පත්කරමින් පිපිරීමක් සිදු වෙනවා. ඉන් ඔහුගේ ගොවිපළ සම්පූර්ණයෙන් ම විනාශ වන අතර, එහි එක් චිමිනි කුළුණක් පමණක් ඉතිරි වෙනවා. නිවසේ කොටසක් විනාශ වී යන අතර ක්ෂණිකව නිවසේ ගින්නක් හටගන්නවා. ඔහුගේ අසල්වාසීන් වහා ම පැමිණ මේ ගින්න නිවීමට උත්සාහ කරනවා.

එක් අයෙකු ජනේලයෙන් නිවසට ඇතුළු වී එතෙක් විනාශ නොවී තිබුණු නිවසේ විසිත්ත කාමරයේ බඩු භාණ්ඩ ඉවත් කරනවා. තවත් අය මෙහි ජීවත්ව සිටි පිරිස බේරාගැනීමට උත්සාහ කළත් ඔවුන් දකින්නේ හිස් නිවසක් පමණයි. ක්ෂය රෝගයෙන් පීඩා විඳින නෙලී, රෝහලේ නවතා ඇති බවයි අසල්වැසියන් එවිට නිගමනය කරන්නේ. එමෙන් ම නිවසේ මුල්ලක වූ පුපුරා නො ගිය ඩයනමයිට් තොගයක් ද දකින අයෙක් වහාම එය ඉවත් කරනවා. 

වත්ත කෙළවර නවතා තිබූ සිය ෆෝඩ් රියෙන්,  ගිනිගන්නා ගොඩනැගිලි සහිත තම ඉඩමෙන් පිටව යන ගමන් කීහෝ, තම ගොඩනැගිලිවල ගින්න ගැන වද නොවී, වහාම පාසලට යන්න යයි ගිනි නිවන භටයන්ට පවසනවා.

කීහෝ නිවසින් හමුවූ ඩයනමයිට්

මේ වනවිට ඔහුගේ ෆෝඩ් රියද, පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල බෝම්බයක් බවට පත්කර තිබෙන බව කිසිවෙකුත් දන්නේ නැහැ.

මේ අතර බාත් ප්‍රාථමික පාසල සුපුරුදු ලෙස උදෑසන 8.30 ට ආරම්භ වනවා. ඈතින් ඇසුණු පිපිරීම් හඬ නිසා ළමුන් තරමක නො සන්සුන්ව සිටිනවා. රෝස්කෝ හාට් මහත්මිය, පන්තිභාර ගුරුවරිය ලෙස කටයුතු කළ පහ ශ්‍රේණියේ පන්තිය, ගොඩනැගිල්ලේ උතුරු කොටසේ බිම් මහලේ පිහිටා තිබෙනවා. වෙලාව කෙමෙ කෙමෙන් උදෑසන 8.45 ට ආසන්න වනවා.

හරියටම උදෑසන 8.45 ට,  රෝස්කෝ හාට්ගේ පන්තියට කෙළින් ම පහළ භූගත ගබඩාවේ කාල බෝම්බය පුපුරා යනවා. රෝස්කෝ හාට්ගේ පන්තිය, දරුවන් සහ ඇයත් සමඟ පොළොව තුළින් ඇද වැටෙනවා. මේ පිපිරීමේ හඬ ඇසී, කීහෝගේ ඉඩමේ ගින්න නිවමින් සිටි පිරිස ද වහාම පාසල වෙත දිව එනවා.

පිපිරීමෙන් පසු බාත් ප්‍රාථමික පාසල – මැයි 18, 1927
පිපිරීමෙන් පසු බාත් ප්‍රාථමික පාසල – මැයි 18, 1927

විනාශයක තරම

පාසලේ උතුරු අන්තය සහමුලින් ම විනාශ වී තිබෙන අතර දරුවන්ගේ විලාප හඬ ඇසෙමින් තිබෙනවා. ගොඩනැගිලි සුන්බුන් අතරින් උදව් ඉල්ලා හඬන දරුවන් සහ පිපිරීමෙන් මියගිය පිරිස සෙවීමේ මෙහෙයුම් ක්ෂණිකව ආරම්භ වනවා. මේ මෙහෙයුමේ දී සිටින අය අතර, එදින පාසල් පැමිණි දරුවන්ගේ මව්වරු ද වනවා. මිනිසුන් කිහිප දෙනෙකුටවත් එසවිය නො හැකි විශාල ගඩොල් පදාස මේ මව්වරු විසින් ඉවත් කරන ආකාරය එහි රැස්වූ පිරිස් දකිනවා.

ඇතැම් මව්වරුන්ට ගොඩනැගිලි අතරේ සිරව තිබී, උදෑසන නිවසින් පිටව ගිය තම දරුවාගේ මළ සිරුර හමුවනවා.

ප්‍රාථමික පාසල් ගුරුවරියක වූ බර්නිස් ස්ටර්ලිං මේ සිදුවීම ඇසෝසියේටඩ් පුවත් සේවයට විස්තර කරනවා.

“එය භූමිකම්පාවක් වගේ… එකවරම පාසලේ පුටු, මේස, පොත් සහ දරුවන් අහසේ පියාඹන්න වුණා. විසි වී ගිය දරුවන්ගේ සිරුරු කැබලි බිම විසිරුණා…”

මේ වනවිට පාසලේ උතුරු කොටසේ වහලය බිමට ම පහත් වී තිබෙනවා. කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත් මේ වනවිට සිටින්නේ පාසලේ. ඔහු මෙම වහලය ඉවත් කිරීමට අවශ්‍යවන උපකරණ ගෙන ඒමට සිය ගොවිපළ වෙත යාමට පාසලෙන් පිටත් වනවා. එතෙක් වෙලා කොහේ හෝ සිය රථය නවත්වාගෙන සිටි කීහෝ, වේගයෙන් පාසල දෙසට එය පදවාගෙන එනු ඔහු දකිනවා. ඔහු එල්ස්වර්ත් සමඟ දත් දෑන්දම ම පෙනෙන සේ විලිස්සා සිනහ වෙමින් අත වනනවා.

තෙවැනි පිපිරීමත් සිදුවෙයි

කීහෝ සිය රථය පාසලට පදවාගෙන එනු දකින පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික් ඉදිරියට යනවා. මෝටර් රථය නවත්වන කීහෝ, හුයික්ව තමන් අසලට කැඳවාගන්නවා.

ඇසින් දුටු සාක්ෂි අනුව, හුයික්, මෙම සුන්බුන් ඉවත් කිරීමට ඔහුගේ යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකිද යන්න කීහෝගෙන් විමසනවා.  ඉන් මොහොතකට පසුව,උමතු පෙනුමෙන් යුතුව කීහෝ සිනාසෙන ආකාරය දකින හුයික්, ඔහු මේ විනාශයට සම්බන්ධදැයි අසනවා.  ඒ මොහොතේ තුවක්කුවක් අතට ගන්නා කීහෝ, එයින් සිය ෆෝඩ් රියට වෙඩි තබනවා. (මේ තුවක්කුව කීහෝ විසින් 1926 වසරේ දෙසැම්බර් මිලට ගත්තක්.)

ඉන් මොහොතකට පසුව කීහෝගේ රථය විශාල හඬක් නගමින් පුපුරා යන්නේ කීහෝ මෙන් ම හුයික්, සහ අසල සිටි ගොවියෙකුත් ක්ෂණිකව මරණයට පත් කරමින්. එමෙන් ම පළමු පිපිරුමෙන් දිවි ගලවාගෙන පාසල ආසන්නයේ ඇවිදිමින් සිටි අට හැවිරිදි ක්ලියෝ ක්ලේටන් ද මේ පිපිරුමෙන් මිය යනවා.

එමෙන් ම බාත් හි තැපැල්කරු මේ පිපිරුමෙන් බරපතල තුවාල ලබන අතර ඔහු රෝහලට ගෙනියන අතරේ මිය යනවා.

පුපුරා හැරුණු ෆෝඩ් රිය – මැයි 18, 1927

සුන්බුන් අතරින්

මේ වනවිට විනාශ වුණු පාසල් ගොඩනැගිල්ලෙන් මළ සිරුරු එකිනෙක ගෙන, පාසල් භුමියේ බිම තබා තිබෙනවා. තුවාලකරුවන් රෝහල්ගත කරන්නට යුහුසුළුවන පිරිසගේ හඬත්, සුන්බුන් ඉවත් කරන යන්ත්‍රවල හඬත් අතරින් තම දරුවන්ගේ සිරුරු හඳුනා ගත් මව්පියන්ගේ හැඬුම් හඬ ඇසෙනවා. ඇතැම් සිරුරු ඔවුන් හඳුනා ගන්නේ දරුවන්ගේ සපත්තුවලින්. එමෙන් ම ඇතැම් සිරුරු කොටස් විදුලි රැහැන්වල එල්ලෙමින් තිබෙනවා.

විනාශ වුණු පාසල ගුවනට පෙනුණු  ආකාරය – මැයි 18, 1927
මළ සිරුරු හඳුනා ගනිමින් – මැයි 18, 1927

ගොඩනැගිල්ලේ විනාශ නො වුණු දකුණු අන්තයේ බිම් ගබඩාවේ තිබී, තවත් විශාල කාල බෝම්බයක් හමුවෙනවා. ඩනයනමයිට්, භූමිතෙල් සහ පයිරටෝල් යොදා සෑදු රාත්තල් පන්සීය හතරක පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බය, වයර් බුරුල් වීමෙන් පුපුරා යාම වැළකී ගොස් තිබූ අතර එය පුපුරා ගියා නම්, මුළු පාසල ම සුන්බුන් වීම නො වැළක්විය හැකි දෙයක් වන බව පරීක්ෂකයන්ට වැටහෙනවා.

පාසලෙන් හමු වූ පුපුරා නො ගිය බෝම්බයේ කොටස් පරීක්ෂකයන් අත – මැයි 19, 1927
පාසලෙන් හමු වූ පුපුරා නො ගිය පුපුරණ ද්‍රව්‍ය තොගය – මැයි 19, 1927

දින දෙකක් පුරා කළ මෙහෙයුමකින් පසුව සුන්බුන් අතර සිරව සිටි සියල්ලන් බේරා ගැනෙන අතර, මළ සිරුරු සියල්ල ද ඉවත් කෙරෙනවා.

මේ අතර මුල් ම පිපිරීම සිදු වූ, කීහෝ ගොවිපළේ විසිරී තිබූ සත්ත්ව මළ සිරුරු, සුන්බුන් අතරින් සිය මෙහෙයුම් කරන පිරිසට, පිළිස්සී මියගොස් සිටින කුකුළන් සහිත කුකුළු කොටුවක් පිටුපස වීල්බැරෝවක පටවා තිබූ මිනිස් සිරුරක් හමුවෙනවා. ඉතා දරුණු ලෙස පිලිස්සී තිබුණු මේ මළ සිරුර නෙලී බවට හඳුනා ගැනෙනවා.

කීහෝගේ අශ්වයන් දෙදෙනාගේ සිරුරු, ඉස්තාලයේ තිබී හමුවන අතර, ඔවුන්ගේ පාද බැඳ තිබෙන්නෙ, ඔවුන් පැන ගොස් දිවි බේරා ගැනීම වැළක්වීමේ අරමුණින් බව හෙළි වෙනවා.

කීහෝ ඉඩමේ වැටක, “අපරාධකරුවන් උපදින්නේ නැත. සමාජය විසින් ඔවුන් ව නිර්මාණය කරනු ලබයි” යනුවෙන් කීහෝ විසින් ලියූ කොළ කැබැල්ලක් එල්ලෙමින් තිබෙනවා. ඒ කීහෝගේ අවසන් පණිවිඩය බවට පරීක්ෂකයන් විශ්වාස කරනවා.

කීහෝ ගොවිපොළෙන් ඉතිරි වී තිබූ එකම දෙය – චිමිනිය – මැයි 18, 1927
අශ්වයන් දෙදෙනාගේ සිරුරු – මැයි 18, 1927
කීහෝගේ අවසන් පණිවිඩය – මැයි 18, 1927

‘පුපුරණ ද්‍රව්‍ය’ ලේබල් ගැසූ පාර්සලයක්

මේ අතර, මෙම පුපුරා ගැනීම්වලට ප්‍රථම, කීහෝ විසින් තරමක් බර පාර්සලයක් තැපෑලට භාරදී ඇති බව පොලිසියට ආරංචි වනවා. පොලිසිය එය සොයා යන්නේ, ඒ තුළ තවත් විනාශකාරී බෝම්බයක් පාර්සලයක් ලෙස සකස්කොට ඇති බව සිතමින්. තැපැල් හුවමාරුවේදී එය ලබාගන්නා පොලිසිය, එහි පිටත සඳහන් කළ, ‘වහා පුපුරණසුළුයි!’ ලේබලය දකිනවා. මෙම පාර්සලය යොමුකර තිබුණේ තවත් පාසල් කාමිටු සාමාජිකයෙකුටයි.

සුපරික්ෂාකාරීව එය ඉවත් කරන පොලිසියට, එහි තිබී, ඔහු බාත් පාසල් කමිටුවේ භාණ්ඩාගාරික ලෙස භාවිතා කළ ගිණුම් පොත් සහ ලිපියක් හමුවනවා.

ලිපියේ සඳහන් වන්නේ තමන් පාසල් කමිටුවේ සියලු කටයුතුවලින් ඉවත්වන බව සහ, තමන්ගේ පාලනය යටතේ පාසලේ එක් ගිණුමක, ශත ගණනක වෙනසක් වී ඇති බවත් පමණයි.

කීහෝගේ ලිපිය

විපතේ තරම

පිපිරීම් තුන සිදුවූ ස්ථාන තුනේදී පුද්ගලයන් 45 දෙනෙකු මියගොස් 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වැඩිම ජීවිත හානි ගණනක් වාර්තා වුණේ පිපිරීම් වනවිට පාසලේ සිටි පිරිස අතුරින්. ඒ සංඛ්‍යාව 40 ක්. ඉන් 38 ක් ම පාසල් දරුවන්.

පාසල් බෝම්බය පුපුරා ගිය ස්ථානයට කෙළින් ම ඉහළින් පිහිටි රෝස්කෝ හාට්ගේ පන්තියේ දරුවන් සියල්ලම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් වනවා. රෝස්කෝ හාට් ද දින කිහිපයකට පසු රෝහලේදී මිය යනවා.

බෝම්බයේ 45 වැනි ගොදුර ලෙස, දස හැවිරිදි  බියට්‍රිස් ගිබ්ස් (Beatrice Gibbs) මියයන්නේ තෙමසක් රෝහල්ගතව වේදනා විඳීමෙන් අනතුරුව, අගෝස්තු 22 වැනිදා යි.  ඇය ඇගේ දස වැනි උපන්දිනය සමරා තිබුණේ බාත් බෝම්බයට පෙර දිනයේ යි.

රෝස්කෝ හාට් ගේ පන්තියේ දරුවන්. මේ සියල්ලන්ම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් වූ අතර රෝස්කෝ හාට් ද රෝහලේදී මරණයට පත්වූවා ය.

නිගමනයකට එළඹෙයි

ඇන්ඩෘ කීහෝ විසින් අධික මිලක් ගෙවා මිලට ගත් කීහෝ ගොවිපළේ තිබුණු ඇතැම් යන්ත්‍ර සූත්‍ර කිසිදා භාවිතා කෙරී නැති බවත්, ඒවා විකිණුවා නම්, කීහෝට සිය ණය බරින් නිදහස් වීමට අවශ්‍ය තරම් මුදලක් ලැබිය හැකිව තිබූ බවත් පසුව අනාවරණය වුණා. එමෙන් ම අපරාධයට මාස කිහිපයකට පෙර ප්‍රදේශයේ ඉදිකිරීමක් කරන ස්ථානයකින් ඩයනමයිට් තොගයක් සොරකම් කිරීමේ සිදුවීමක් ද වාර්තා වී තිබූ අතර, එහි සැකය එල්ල වී තිබුණේ කීහෝටයි.

තෙවන පිපිරිම සිදු වූ ෆෝඩ් රිය ආසන්නයේ තිබී හමුවූ ඇන්ඩෘ කීහෝගේ මළ සිරුර ඔහුගේ සොයුරියක විසින් භාරගෙන, සළකුණු නො කළ සොහොන් බිමක, නමක් සඳහන් නො කළ සොහොනක වල දමනවා. නෙලී හෙවත් එලන් ඇග්නස්ගේ සිරුරේ කොටස් ඇගේ ඥාතින් විසින් ලැන්සින් හි සොහොනක තැන්පත් කරන්නේ, ඇය විවාහයට පෙර භාවිත කළ නම යටතේ.

ඇන්ඩෘ කීහෝ, ඔහුට සිදුවූ අනතුරෙන් පසුව සාමාන්‍ය මානසික මට්ටමක් නො තිබූ අයෙකු බවට පත් ව තිබූ බවත්, එනිසා ම ඔහු, ඔහුට සිදුවන සෑම අයහපතක ම වගකීම සමාජය පිට පත්වන්නට පුරුදු වූ බවත් නිගමනය කෙරුණා. උමතු, වෛරයෙන් පිරුණු, ‘තිත්ත හදවතක්’ තිබූ මිනිසෙකු විසින් කළ අපරාධයක් ලෙසට ඇමරිකානු බලධාරීන් බාත් සංහාරය හඳුන්වන්නට යෙදුණා.

අයරින් ඩන්හැම් (Irene Dunham) බාත් පාසලේ සිසුවියක්. උගුරේ අසනීපයක් නිසා 1927 මැයි 18 ඇයට පාසල් යාමට හැකි වන්නේ නැහැ. පාසල පුපුරා යන හඬ ඇසීමෙන් පසු, ඇය ඇගේ මව සමඟ ඔවුන්ගේ මෝටර් රියේ නැගී වහාම ඒ දෙසට යනවා. ඉහළ නගින දුම් සහ දුවිලි වලාවන් අතරින් අයරින් ඩන්හැම් මුලින් ම දකින්නේ දුරකථන වයරයක පැටලී ඇති හිසක්.

බාත් සංහාරයේ 94 වැනි සංවත්සරය වෙනුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේ ඇය යළිත් ඒ සිදුවීම ආවර්ජනය කළා. තවමත් ජීවතුන් අතර සිටින  අයරින් ඩන්හැම්ගේ වයස මේ ලිපිය ලියන 2021 වසරට, අවුරුදු 113 ක්. ඇමරිකාවේ මිචිගන් හි වෙසෙන වයස්ගතම තැනැත්තිය වන්නේ ඇයයි.

දන්න කියන දරුවන්ගේ මුහුණු, ටෙලිෆෝන් වයර්වල, ගස් අතුවල එල්ලී තිබුණා. දූවිලි සහ දුම මැදින්, ඔවුන් විවරකරගත් ඇස්වලින් අප දෙස බලා සිටියා. එලෙස එල්ලෙන්නේ ඔවුන්ගේ හිස් පමණක් බවත්, කඳ කොටස් පොළොවේ විසිරි ඇති බවත් මට තේරුම් ගියේ ටික වෙලාවකට පසුවයි. අප එතනින් ඉවත් වීමට පෙර ඇන්ඩෘ කීහෝ ඔහුගේ වාහනය පදවාගෙන ආවා. ඔහු සුපිරිටෙන්ඩන්වරයාවත් මරාගෙන මෝටර් රිය පුපුරවගත්තේ ඒ වෙලාවේ. ඔහුගේ ෆෝඩ් රියේ කොටසක් විදුලි රැහැනක පැටළුණා…”

………තවදුරටත් මගේ හිතේ ඒ ගැන වෛරයක් නැහැ. ඒත් එදා ඇතිවුණු දුක, මගේ ජීවිතය අවසන් වන තෙක් ම පවතීවි. කීහෝ ගැනත් මගේ හිතේ දැන් ඇත්තේ දුකක් යයි මම හිතනවා. එය තවදුරටත්, කිසිසේත් ම වෛරයක් නම් නෙමෙයි …”

අයරින් ඩන්හැම් (Irene Dunham), වයස අවුරුදු 113 යි. 2021 අගෝස්තු

පුපුරා ගිය බාත් ප්‍රාථමික පාසල පිහිටි ස්ථානයේ දැන් ඇත්තේ උද්‍යානයකි. එහි සවිකළ පුවරුවක, ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකයක් පිහිටා තිබේ. බාත් ඛේදවාචකයෙන් දිවි ගලවාගත්, එහි සිසුන් ව සිටි පිරිසෙන් තවමත් ඉතිරිවී සිටින්නන්, වසරක් පාසා මේ උද්‍යානයට රැස්වන එදා මියගිය පිරිස අනුස්මරණය කරති.

සිදුවීමට සම්බන්ධ තවත් ඡායාරූප පහතින්

Lansing State Journal සවස පුවත්පත – මුල් පිටුව – මැයි 18, 1927
ගිලන් රථයක් විනාශ වූ පාසල ඉදිරියේ නවතා ඇති අයුරු – මැයි 18, 1927
නෙලීගේ සිරුර හමු වීමෙන් පසු – මැයි 18, 1927
විනාශ වුණු පාසල් ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින දරුවන් – මැයි 18, 1927
කීහෝගේ යන්ත්‍ර සූත්‍ර ගබඩාව පිපිරීමට පසු – 18 මැයි 1927. මෙයින් භාවිතා නො කළ ඒවා විකුණා ඔහුට පහසුවෙන් සිය ණය අහවර කිරීමේ හැකියාව තිබූ බව පසුව හෙළි විය.
තුවාල ලද දරුවන්ගෙන් කිහිප දෙනෙක් – Lansing State Journal උදෑසන පුවත්පත – මැයි 20, 1927
සුන්බුන් අතරේ වැටී ඇති සය හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් – Lansing State Journal උදෑසන පුවත්පත – මැයි 20, 1927
බෝම්බයේ 45 වැනි ගොදුර. දස හැවිරිදි  බියට්‍රිස් ගිබ්ස්, තෙ මසක් රෝහල්ගතව සිට අගෝස්තු 22 වැනිදා මිය ගියා ය.
පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික්ගේ මරණය පුවත්පතක පළ වී – මැයි 19, 1927
ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකය
බාත් ඛේදවාචය පිළිබඳව ලියවුණු කෘති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )