Daily Archives: මැයි 3, 2022

අන්ධ භක්තියක ඛේදනීය අවසන් නැවතුම – ජෝන්ස්ටවුන් ඛේදවාචකය



වඩාත් යහපතක් අපේක්ෂාවෙන්, තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කෙරෙහි විචක්ෂණශීලි නොවන අන්දමේ අන්ධ භක්තියක් සහ විශ්වාසයක් තබන මිනිසුන් කොටස් විවිධ කාලවල ලෝකයේ විවිධ ප්‍රදේශවල වාසය කරනවා. සිය සන්තක වත්කම් ද, දිවි පෙවෙත් ද, පැවැත්ම ද, පැවැත්මේ හේතුවද සියල්ලම අන්ධ භක්තිය හමුවේ උගස් කළ මිනිසුන් බොහෝ විට සිය දිවි ගමන නිමා කරන්නේ අතිශය ඛේදාන්විත ආකාරයෙන්.

ඛේදාන්විත අවසානයටත් වඩා ඛේදවාචකය වන්නේ , ඔවුන් මේ විශ්වාසය නිසා තමන්ගේ මෙළොව දිවි ගමන කෙතරම් තිත්ත කටුක බවට පත්කරගන්නවාද යන්නයි. ඔවුන්ගේ ඒ කැප කිරීම මත ඔවුන් විශ්වාස කළ බලවේග කෙතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරනවාද යන්න ඔවුන් නො දැනම, සිය දිවි ගමන අවසන් කිරීමයි.

මේ අද ඔබට කියන කතාව සිදුවන්නේ 1978 වසරේ නොවැම්බර් මාසයේ 18 වැනිදා ගයානාවේ.

මළ සිරුරුවලින් වැසී ගිය බිමක්

1978 නොවැම්බර් 19 වැනිදා, ගයනා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ගයානාවේ අගනුවර වූ ජෝර්ජ්ටවුන්වලින් කිලෝමීටර් 240 ක් දුරින් පිහිටි ජෝන්ස්ටවුන් ජනපදයට යන්නේ, ඊට දේ දිනකට පෙර, එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයෙකු වූ  ලියෝ රයන් ඇතුළු කණ්ඩායමක් එහිදී වෙඩි වැදී මියයාම පිළිබඳව සොයා බැලීමේ අරමුණින්.

ඔවුන් එහි ඇතුළු වන්නේ, එක්සත් ජනපද දූත පිරිසෙහි මළ සිරුරු කිහිපයක් යළි රැගෙන යාමේ අපේක්ෂාවෙන්. එහෙත් ඔවුන් ව පිළි ගැනීමට දෙනෙත් අදහාගත නො හැකි තරමේ බියකරු දසුනක් සුදානමින් තිබෙනවා.

ඒ මළ සිරුරු පිරුණු බිමක්.

මුළු ජෝන්ස්ටවුන් ජනපදය ම එහි වැසියන්ගේ මළ සිරුරුවලින් වැසී ගොස් ඇති ආකාරය මේ පොලිස් නිලධාරීන් දකිනවා.

මේ මිනිසුන්; ගැහැනුන්, පිරිමින් සිය දරු පවුල් පිටින්, ජෝන්ස්ටවුන් ජනපදය පුරා මෙලෙස අවසන් ගමන් යාමේ කතාව ආරම්භ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

මළ සිරුරුවලින් වැසී ගිය බිමක් – ජෝන්ස්ටවුන් – 1978 නොවැම්බර් 19

ජිම් ජෝන්ස්ගේ ‘පීපල්ස් ටෙම්ප්ල්’

 ජිම් ජෝන්ස්, 1931 මැයි 13 වැනිදා උපදින්නේ ජේම්ස් වොරන් ජෝන්ස් නමින්. කුඩා කළ සිට ම අනෙකාව පාලනය කිරීමේ දැඩි වුවමනාවක් දැක්වූ ජිම්, මතු දිනක ආගමික නායකයෙකු හෝ දේශපාලන නායකයෙකු වනු ඇතැයි ඔහුගේ මව්පියන් විශ්වාස කළා.

දැඩි ප්‍රොතෙස්තන්ත්‍ර අනුගාමිකයෙකු වූ ඔහු කිතු දහමේ විවිධ නිකායන්වල ඉගැන්වීම් අධ්‍යනය කරමින් සිය තුරුණු විය ගත කළේ පාස්ටර්වරයෙකු වීමේ අභිලාෂයෙන්. වැඩි කල් නොගොස් ම ඔහුට පාස්ටර්වරයෙකු වීමට හැකි වනවා. ආගම පිළිබඳව ඔහුගේ අති මහත් දැනුම නිසා ම ජේම්ස් වොරන් ජෝන්ස්ට ඉතා ඉක්මනින් විවිධ කිතුනු ආගමික ස්ථානවල කැපී පෙනන තනතුරු හිමි වනවා. ඒ කාලයේ ඔහු ප්‍රකට වන්නේ  ජිම් ජෝන්ස් නමින්.

ජිම් ජෝන්ස්

දේශපාලනය, සිවිල් අයිතීන් සහ තවත් සමාජ – ආර්ථික ගැටළු ගැන ද යම්තාක් දුරට යහපත් දැක්මක් තිබූ ඔහු, ‘මිනිසුන් උදෙසා ඇදහීමක් නිර්මාණය කළ යුතු ය’  යන්න විශ්වාස කරනවා. මේ විශ්වාසය ඔහු විසින් දැරීම නිසාම, යම් යම් නිදහස් අදහස් ද තිබූ, එහෙත් දැඩි සේ ආගමික භක්තිය ද තිබූ පිරිසක් ඔහු වටා එක් වනවා.

මේ සියල්ලම සමඟ  ජිම් ජෝන්ස් විසින් 1955 ‘පීපල්ස් ටෙම්ප්ල්’ නම් ආගමික සංවිධානය පිහිටුවනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ජනපදයේ ඉන්ඩියානාපොලිස් හිදී යි.

දෙවියන් මම යි

මුලින් ම, බයිබලයේ ඉගැන්වීම් පදනම් කරගන, මිනිස් ජීවිත වඩාත් යහපත් කිරීම අරමුණු කොටගෙන මෙය පිහිටවූ නමුත් කල්ගත වීමේදී ඔවුන් වඩ වඩාත් දේශපාලනික මුහුණුවරක් ගැනීමට පටන්ගන්නවා. ඔවුන්ගේ මේ නව දේශපාලනික මුහුණුවර හැඳින්වෙන්නේ ‘ක්‍රිස්තියානි සමාජවාදය’ නමින්. ඇත්ත වශයෙන් ම මේ ආගමික කල්ලිය, ඔවුන්ගේ ම රාජධානියක් පිහිටුවීමේ අරමුණක් කරා ඒකරාශී වන බවක් මුල සිටම, ඉන් පිටත සිටින්නන්ට හැඟවෙන ලෙස ක්‍රියා කරනවා. ‘වඩා යහපත් සහ සියල්ලන්ටම සමාන පිළිගැනීම ලැබෙන’ මිනිසුන්ගේ ඇදහිල්ලේ රාජධානියක් පිළිබඳව තමන් සිහින දකින බව ජිම් ජෝන්ස් විසින් සිය දේශනවලදී පවසනවා. මේ ආගමික සංවිධානය කෙරෙහි, ඉන්ඩියානාපොලිස්හි සාමාන්‍ය වැසියන්, (මෙහි සාමාන්‍යවැසියන් ලෙස හැඳින්වූයේ මෙම කල්ලියේ ඇදහීම්වලට සම්බන්ධ නොවූ පිරිස් ය.) සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ, ජිම් ජෝන්ස් හට සිය ආගමික කල්ලියේ මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව මතුවනවා.

‘පීපල්ස් ටෙම්ප්ල්’ යාඥාවක්

1964 දී තවත් ප්‍රොතෙස්තන්ත්‍ර ඇදහීම් කණ්ඩායමක් සමඟ අත්වැල් බැඳගන්නා ජිම් ජෝන්ස්ගේ ‘පීපල්ස් ටෙම්ප්ල්’ කල්ලිය, නව මූලස්ථානයක් සොයා ඇමරිකාවේ දකුණු දිග කොටසේ සංචාරය කරනවා. 1965 වසරේදී ජිම් ජෝන්ස් සිය ‘පීපල්ස් ටෙම්ප්ල්’ කැලිෆෝනියාවට ගෙන යන අතර, එහි මූලස්ථානය සැන් ෆ්‍රැන්සිස්කෝවේ රෙඩ්වුඩ් ප්‍රදේශයේත් තවත් ශාඛා කැලිෆෝනියාවේ විවිධ ප්‍රදේශවලත් පිහිටුවනවා.  මේ කාලයේ ඔහු විසින්, සිය දේශපාලන දැනුම සහ සබඳතා පාවිච්චි කරමින් දේශපාලන ලෝකයේ ප්‍රබලයන් හා සම්බන්දතා පවත්වනවා.  කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරි බ්‍රවුන්, ඇමෙරිකාවේ උප ජනාධිපති වෝල් මොන්ඩේල් ඇතුළු දේශපාලනඥයන් ජිම් ජෝන්ස් සමඟ සාකච්ඡා පවත්වන අතර මේ සබඳතා ඔස්සේ ඔහු ඔහුට නො තිබූ බලයක් මවා පාමින් සිය විරුද්ධවාදීන් කෙරෙහි ද සිය අණසක පතුරවනවා.

1970 වසර වනවිට ජිම් ජෝන්ස්, කිතු දහම අවඥාවට ලක් කරන්නට පටන්ගෙන තිබෙනවා. ඔහු සිය දෙසුම්වලදී කිතු දහම විවේචනය කරන අතර, සැබෑ දෙවියන් තමන් බවත්, තමන් කරා පැමිණ විමුක්තිය ලබාගන්නා ලෙසටත් පවසනවා. මේ කාලය වනවිට ‘පීපල්ස් ටෙම්ප්ල්’ සංවිධානයට යම් සැලකිය යුතු මට්ටමේ අප්‍රසාදයක් මහජනතාවගෙන් එල්ල වෙමින් පවතිනවා.

දේදුනු පවුලක්

මේ කාලයේ ‘වර්ගවාදය තුරන් කිරීම වෙනුවෙන්’ බව පවසමින් කියා ජිම් ජෝන්ස් සහ ඔහුගේ බිරිය මාසෙලීන් ජෝන්ස් දෙදෙනා ‘දේදුනු පවුලක්’ යයි සංකල්පයක් අනුගමනය කරන්නට පටන් ගන්නවා. ඒ අනුව ඔවුන් දෙදෙනා, කළු ජාතික, කොරියානු, ස්වදේශී ඇමරිකානු හා කළු හා සුදු ඇමරිකානු දරැවන් හදාගන්නට ගන්නවා. ජෝන් සහ මාසෙලීන් යුවලට උපදින එකම දරුවා,  ස්ටීවන් ගාන්ධි ජෝන්ස් ලෙසට නම් කෙරෙනවා.

මේ දෙදෙනාට දාව උපන්නේ එක දරුවෙකු පමණක් වුවත්, ජිම් ජෝන්ස් සිය සංවිධානයේ කාන්තාවන් කිහිප දෙනෙකුම ගර්භනී බවට පත් කරනවා. ඔවුන්ට උපදින දරුවන් ද සංවිධානයේ දරුවන් බවට පත්වෙනවා.  ලිංග භේද නො සලකා සිය ලිංගික සම්බන්දකම් පවත්වාගන ගිය ජිම් ජෝන්, සංවිධානයේ බාල වයස්කාර දරුවන් අපහරණය කරන බවටත් ආරංචි පැතිර යනවා.

දේදුනු පවුල

විවේචන හමුවේ

1972 දි ලෙස්ටර් කින්සොල්වින් නම් පූජකවරයෙකු මේ ආගමික සංවිධානය පිළිබඳව විවේචනාත්මක ලිපි ‍පෙළක් ලියනවා. මේ පූජකවරයා එකල සැන් ෆ්‍රැන්සිස්කෝවේ පුවත්පතක් වූ San Francisco Examiner හි ආගමික පුවත් සංස්කාරකවරයා ද වනවා. ‘පීපල්ස් ටෙම්ප්ල්’ දෙස සමීපව බලා ලියූ මේ ලිපි පෙළ මගින් මෙම සංවිධානය හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා, ශාරීරික හිංසන මෙන් ම දේවධර්ම ශාස්ත්‍රය විකෘති කිරීම ද විවේචනයට ලක්වෙනවා. එතෙක් ඉතිහාසයේ ‘පීපල්ස් ටෙම්ප්ල්’ වෙත එල්ල වූ ප්‍රබලම විවේචනය වූ මේ ලිපිය නිසා ජිම් ජෝන්ස් කලබලයට පත්වෙනවා. එමෙන් ම මේ කාලයේම, ‘පීපල්ස් ටෙම්ප්ල්’ හි සාමාජිකයින් අට දෙනෙකු ද සංවිධානය හැර යනවා.

මේ පිරිස සංවිධානයෙන් ඉවත්වීමෙන් සංවිධානයේ රහස් හෙළිවනු ඇතැයි යන බිය මෙන් ම, මේ හෙළිදරව් කිරීම් නිසා පොලීසියෙන් සහ ජනමාධ්‍යවලින් එල්ලවිය හැකි බලපෑම් ද හමුවේ ඔවුන් ඉතා ඉක්මනින් ම බාහිර පාර්ශවලට අත පෙවිය නො හැකි මානයේ රාජධානියක් ආරම්භ කිරීමට සැලසුම් කරනවා.

රාජධානියක් සොයා

දුෂ්කර පෙදෙසෙක, මුල සිට ම සිය ආගමික මධ්‍යස්ථානයේ රාජධානිය ගොඩ නැංවිය යුතු යයි සිතන ජිම් ජෝන්ස්, මුලින් ම කැනඩාව  සහ බ්‍රසීලය පුරා සංචාරය කරනවා. එහෙත් ඒ රටවල් දෙකම ඔහුගේ සිතැඟිවලට ගැලපෙන්නේ නැහැ. ඕන අනතුරුව, ඔහු විසින් ට්‍රිනිඩෑඩ්, හා බාබඩෝස් ආදී රටවල් සලකා බලන අතර, 1972 අග ඔවුන් සිය අවසන ඔවුන් ‘පීපල්ස් ටෙම්ප්ල්’ රාජධානිය ගොඩ නැංවීම පිණිස දකුණු ඇමරිකාවේ ගයනාව ‍තෝරාගන්නවා.

1973 ඔක්තෝබර් මස, ‘පීපල්ස් ටෙම්ප්ල්’ සාමාජිකයන් කෘෂිකාර්මික මීසමක් පිහි‍ටුවීමට සම්මත කරගන්නා අතර, ඒ වනවිටත් ඔවුන් සිය සාමාජිකයන් හරහා එකතු කරගෙන තිබූ මුදල් සම්භාරයෙන් කොටසක් යොදාගෙන,  1974 වර්ෂයේදී ගයනා අගනුවර වන ජෝර්ජ්ටවුන්වලින් සැතපුම් 150 ක්, එනම් කිලෝමීටර 240ක් ඈතින් වූ වනගත භූමියකින් අක්කර 3800ක් බද්දට ගන්නවා.  ඔවුන් මෙය බදු ගන්නේ වෙළඳ ගිවිසුමක් යටතේ කෘෂිකාර්මික පර්යේෂණාත්මක අධ්‍යනයකට බව පවසමින්.   මේ භූමියට ආසන්නතම ජල සැපයුමට එතන සිට සැතපුම් නමයක් තිබීම තමන් හට ප්‍රශ්නයක් නො වන බවත් ඔවුන් මෙහිදී පවසනවා.

මේ කාලය වනවිට ගයානාව වෙනිසුවේලාවත් සමඟ දේශසීමා අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජිම් ජෝන්ස් බදු ගත් මේ ඉඩම, ගයානාවේ අගනුවර වූ ජෝජ්ටවුන් සහ වෙනිසුවේලා දේශසීමාව ආසන්නයේ තිබීම මගින්, අරබුදයකදී තමන්ට ‘ඇමරිකානු වැසියන්ගේ සහය’ ලැබෙනු ඇති බවත් ගයානා පාලකයන් විශ්වාස කරනවා.

රාජධානිය ගොඩ නැංවෙයි

1974 වර්ෂයේදී  ‘පීපල්ස් ටෙම්ප්ල්’ සාමාජිකයන් කිහිපදෙනෙකු පැමිණ මේ බදු ගත් භූමිය සිය වාසස්ථානය බවට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කරනවා. මේ කාලයේ කිහිප වරක් ම ගයානාවට පැමිණ යන ජිම් ජෝන්ස්, තමන් සමඟ ගයානාවේ වාසයට යාම සඳහා සිය අනුගාමිකයන් පොළඹවා ගැනීමට දේශනා පවත්වනවා. එක්සත් ජනපදයේ එතෙක් ඔවුන් ගත කළ ජීවිතයත්, සියලු සබඳතාත් අතහැර ජිම් ජෝන්ස් ගේ රාජධානියට යාමට එකඟවන හයසියයකට ආසන්න පිරිසක් සමඟ ජිම් ජෝන්ස් 1975 වසරේදී ගයානාවට පැමිණෙනවා. ඔහු මේ ජනාවාසය නම් කරන්නේ ඔහුගේ නමේ වූ ‘ජෝන්ස්’ කොටස යොදාගෙන ‘ජෝන්ස්ටවුන්’ නමින්.

‘ජෝන්ස්ටවුන්’
‘ජෝන්ස්ටවුන්’

1977 වසරේදී නැවතත් කෙටි සංචාරයකට එක්සත් ජනපදයට යන ජිම් ජෝන්ස් තවත් අනුගාමිකයින් රැසක් රැගෙන ගයානාවට පැමිණෙනවා. මේ වනවිට ‘ජෝන්ස්ටවුන්’ ජනගහනය හත්සියය ඉක්මන්වමින් තිබෙනවා.

1978 වන විට එහි ජනගහනය 1000 පමණ දක්වා ඉහළ නැග තිබුණා. මේ අතරේ එක්සත් ජනපදයෙන් සංක්‍රමණය වූ පිරිස් මෙන් ම ‘ජෝන්ස්ටවුන්’ හි උපන් බිලිඳුන් ද වුණා.

පාරාදීසය ද අපාගත සිර කඳවුරක් ද?

එක්සත් ජනපදයේ සාපේක්ෂ සුව පහසු ජීවිතය හැරදමා ගානාවේ කෘෂිකාර්මික ජීවිතයකට පැමිණි ‘පීපල්ස් ටෙම්ප්ල්’ වැසියන් ඔවුන්හට සාමකාමී සහ මානසික නිදහස ලැබෙන ආකාරයේ ජීවිතයක් ලැබෙතැයි අපේක්ෂා කරනවා. එහෙත් රාජධානිය ගොඩනැගීම සඳහා ඔවුන් හට දවස පුරාම පාහේ වැඩ කිරීමට සිදු වෙනවා. දිවා කාලයේ සිය දරුවන් හමුවීම ඔවුන් හට තහනම් වන අතර දිනය පුරාම බිම් සකස් කිරීම, වගා කිරීම සහ ජලය ගෙන ඒම ඔවුන් හට සිදු කිරීමට ලැබෙනවා.

ඒ මුළු කාලය තුළම, ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ජිම් ජෝන්ස් සිය දේශනා තම අනුගාමිකයන්ට ඇසෙන්නට සලස්වනවා. මේ දේශනා මධ්‍යම රාත්‍රිය තෙක් ම පැවැත්වෙනවා. ජිම් ජොන්ස් සිය අනුගාමිකයන් ලවා ‘පියා’, ‘පියතුමා’ සහ ‘දෙවියන්’ ලෙස තමන්ව හඳුන්වා ගන්නවා. 

අධික වෙහෙසට පත්ව සිටින මේ පිරිසට, ‘දෙවියන්ගේ’ දැඩි නීති මාලාවකටත් මුහුණ දෙන්නට සිදු වෙනවා. ඔවුන්ට ජෝන්ස්ටවුන්වලින් පිට වී යන්නට අවසර නො ලැබෙන අතර,  සෝවියට් දේශපාලන අරමුණු සහ ඇමෙරිකන් සමාජ ගැටළු ගැන වාර්තාකරණ චිත්‍රපටි පමණක් බලන්නට ඉඩ ලබෙනවා. මේ අතරේ,  උතුරු කොරියාවේ භාවිතා වන ‘මොළ සේදීමේ’ ක්‍රියාවලියකට ද ඔවුන් ව වරින් වර ලක් කෙරෙනවා.

දිනකට පැය අටක් වැඩ කිරීමත්, ඉන් පසුව සංවිධානයේ ප්‍රමුඛයන් ලවා සියලු වැසියන්ට තවත් පැය අටක් සමාජවාදය අධ්‍යයනය කරවීමටත් ජිම් ජෝන්ස් ක්‍රියා කරවනවා.  ඔහුගේ නිවසේ වූ රේඩියෝවෙන් රේඩියෝ මොස්කව් සහ රේඩියෝ හවානා අසන ජිම් ජෝන්ස්, ශබ්ද විකාශන ඔස්සේ එම පුවත් සිය සාමාජිකයන්ට පවසනවා.

ජිම් ජෝන්ස් යාඥාවක් මෙහෙයවමින්
ජිම් ජෝන්ස් සහ ඔහුගේ බිරිඳ මර්සිලින්, දේශනයක් අතරතුරදී

ගොවිපලකට නුසුදුසු නිසරු පසේ වැඩිපුරම වැවෙන රළු බෝංචිවලින් යැපෙමින් ජෝන්ස්ටවුන් වැසියන් දිනපතා වැඩ කරනවා.

රැකියා විරහිතයන් වෙනුවෙන් ඇමරිකානු රජය විසින් ගෙවන සුබසාධන සහනාධාර මුදලට, ජෝන්ස්ටවුන් වැසියන් හිමිකම් කියනවා. මේ මුදල ඇමරිකානු ඩොලර්  $65,000 ක්. ජෝන්ස්ටවුන් වැසියන් මේ මුළු මුදල ම සිය ආගමික ආයතනයට පවරා දෙනවා. මේ කාලය වන විටත් එක්සත් ජනපදයේ දිගින් දිගටම  ‘පීපල්ස් ටෙම්ප්ල්’ විවේචනය වන පුවත් පළ වෙනවා.  ලෙස්ටර් කින්සොල්වින් ප්‍රමුඛ මාධ්‍යවේදීන් වරින් වර මේ සංවිධානයේ පිළිවෙත ප්‍රශ්න කරනවා.

1977 වසරේදී, ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ජෝන්ස්ටවුන් හි වැසියන් 75 දෙනෙකු හමු වී මෙලෙස සුබසාධන මුදල් ආගමික ආයතනයට පවරා දෙන්නේ කැමැත්තෙන් ද යන්න විමසනවා. එමෙන් ම ඔවුන් ව බලහත්කාරයෙන් ජෝන්ස්ටවුන් හි රඳවාගෙන සිටිනවාද යන්නත් ඔවුන් විමසනවා. එහෙත් ජෝන්ස්ටවුන් වැසියන් 75 දෙනා ම පවසන්නේ සිය ජීවිත ඉතා යහපත් බවයි.

1978 වසරේ ‘පීපල්ස් ටෙම්ප්ල්’ ආදායම ඩොලර් මිලියන විසිහයක් පමණ වනවා. මෙය එකල මෙවන් කුඩා ආගමික සංවිධානයක් සතු වූ විශාලත ම ආදායමයි.

ධවල රාත්‍රීන්

1978 වසරේ ජිම් ජෝන්ස්ගේ සෞඛ්‍යය දැඩි ලෙසට පිරිහෙන්නට පටන් ගන්නවා.  පෙනහළු පිළිකාවක් නිසා ඔහු වේදනා නාශක බෙහෙත් පාවිච්චි කරන අතර, කෙමෙ කෙමෙන් ඒවාට ඇබ්බැහි වනවා. ඔහු සිය දේශනවලදී ඇමරිකානු සංවිධාන ජෝන්ස්ටවුන් විනාශ කිරීමට කටයුතු කරන බව පවසනවා. එවන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ විටෙක සිය උදාර අරමුණ දරාගෙන සියදිවි නසාගැනීම යහපත් බව ඔහු පවසනවා.

ජිම් ජෝන්ස් මධ්‍යම රාත්‍රියේ  හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කර සියළුම සාමාජිකයින් එක් ‍රැස් කරගන, කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත්, සියදිවි නසාගැනීම, හෝ සටන් කිරීම යන දෙකෙන් එකක් තෝරාගැනීම කළ යුතු බවත් පවසන්නට කටයුතු කරනවා. මේ වෙනුවෙන් ඔහු ඡන්දය විමසනවා. සියදිවි නසාගැනීම සම්මත වූ වාරයන් දෙකකදී ඔහු කුඩා දරුවන් ද ඇතුළුව සාමාජිකයින් පෝලිම් ගස්වා ඔවුනට සයනයිඩ් අඩංගු බව කියන පානයක් ඔවුන්ට ලබා දෙන්නේ මරණයේ සැනසීම  මිනිත්තු 45ක් ඇතුළත ඔවුනට ලබා දෙන බව කියමින්.

එහෙත් මේ පානයෙන් කිසිවෙකුත් මිය නො යන අතර සාමාජිකයන් සංවිධානයට පක්ෂපාතීත්වය පරීක්ෂා කිරීමට ඔහු විසින් මෙය කළ බවත්, මෙම පානය පැණි බීමක් පමණක් බවත් පසුව ඔහු විසින් ම හෙළි කරනවා.

මෙම විකාර සහගත රාත්‍රීන් ඔහු විසින් හඳුන්වන්නේ ධවල රාත්‍රීන් ලෙසටයි.

මරණය දෙසට තල්ලුවක් – රාජධානි බිඳ වැටෙයි

මේ කාලය වනවිට,  ජෝන්ස්ටවුන්හි  සිදුවන සිදුවීම් තවදුරටත් එක්සත් ජනපද පුවත්පත්වල පළ වෙනවා.

මේ ආරංචි, ජෝන්ස්ටවුන් වෙත ගිය සිය ඥාතින් පිළිබඳ විමසිල්ලෙන් සිටින ඇමරිකානුවන්ට යහපත් ආරංචි වූයේ නැහැ. ඔවුන් කමිටුවක් සෑදී එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික ලියෝ රයන්ව හමු වනවා. සති කිහිපයක පෙළඹවීම් හමුවේ ජෝන්ස්ටවුන්වලට ගොස් එහි තත්ත්වය පරීක්ෂා කිරීමට ලියෝ රයන් එකඟ වනවා. ඒ අනුව ඔහු 1978 නොවැම්බර් 14 වැනිදා ඔහු NBC නාලිකාවේ ජනමාධ්‍යකරුවන් ඇතුළු 18 ක පිරිසක් සමඟ ගයානාවට යනවා. නමුත් මේ පිරිසට තම රාජධානියට ඇතුළු වීමට ඉඩ දීම, ජිම් ජෝන්ස් විසින් ප්‍රතික්ෂේප කරනවා. පැය කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසුව, මේ දූත පිරිසෙන් සිව් දෙනෙකු පමණක් සිය නගරයට ඇතුළු කරගැනීමට ජිම් ජෝන්ස් එකඟ වනවා.

එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික ලියෝ රයන්

පළමු දිනයේ ලියෝ රයන් ඇතුළු පිරිස ජෝන්ස්ටවුන් හි අවසර ලත් කොටසට ඇතුළු වී සංචාරයේ යෙදෙනවා. රාත්‍රියේ ඔවුන් නැවතුණු ස්ථානයට පැමිණෙන ජෝන්ස්ටවුන් වැසියන් දෙදෙනෙකු, තමන් ව මෙයින් ගලවා ගන්නා ලෙසට ඔහුට දැනුම් දෙනවා. රයන් ඇතුළු පිරිස ජෝන්ස්ටවුන් හි රාත්‍රිය ගෙවන විට, එහි ඇතුළු වීමට අවසර නො ලද දූත පිරිස ඊට ආසන්නයේ වූ ගුවන් යානා පථයක් සහිත පෝට් කයිටුමා ටවුමේ රැඳී සිටිනවා.

වරින් වර කිහිප දෙනෙකුම වශයෙන් කණ්ඩායම් පැමිණ, තමන් ව මෙම ‘මිහිපිට අපායෙන්’ ගලවා ගන්නා ලෙසට ඉල්ලා සිටිනවා. මේ පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා.

නොවැම්බර් 17 වැනිදා ජෝන්ස්ටවුන් හි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ පවුලේ අය ඇතුළු 11 දෙනෙක් ජෝන්ස්ටවුන්වලින් ජෝර්ජ්ටවුන් වෙත පලා යනවා. 

ලියෝ රයන් මෙම පිරිස රැගෙන යාමට ගුවන් යානයක් එවන ලෙස එක්සත් ජනපදයට දන්වනවා.

දූත පිරිස ජෝන්ස්ටවුන්හිදී

මේ වනවිට තම බලාධිකාරයට තර්ජනයක් වන යමක් සිදුවන බව වැටහෙන ජිම් ජෝන්ස් අතිශය කලබලයට පත්වනවා. සිය සමාජිකයින් පල්ලිය හැර යෑමට උත්සාහ කිරීම ගැන කෝපයෙන් ශාප කරමින් එහෙ මෙහෙ ඇවිදින ඔහු ‘I’m your God’ යනුවෙන් දිගින් දිගට ම පවසනවා.

මේ අතර ජිම් ජෝන්ස් සිය ප්‍රධානතම අනුගාමිකයාට පිහියක් දී, කෙටි යාඥාවක් කර, රයන් ව මරා දැමීමට කටයුතු කරන ලෙස පවසා ඔහුව පිටත් කර සිටිනවා.

ඒ උත්සාහය අසාර්ථක වනවා.

ලියෝ රයන් ඝාතනය

රයන් ඇතුළු පිරිස සමඟින් ආපසු එක්සත් ජනපදය බලා යාමට පැමිණෙන පිරිස කෙමෙන් වැඩි වනවා. මේ අතර ඇතැම් අනුගාමිකයන් එළිපිටම ජිම් ජෝන්ස්ව අවඥාවට ලක් කරනවා. මේ පිරිස ලියෝ රයන් රැඳී සිටි ස්ථානයට පැමිණ, ගුවන් යානයක් එන තෙක් සිටිනවා. නොවැම්බර් 18 වැනිදා උදෑසන එළඹෙනවා.

මේ පිරිස අතරේ ජිම් ජෝන්ස් විසින් එවන ලද ජෝන්ස්ටවුන් හි සාමාජිකයෙක් වූ ලැරී ලේටන් නැමැත්තාද සිටිනවා.  පළමු ගුවන් යානය ගුවනය පැමිණෙන අතර මගීන් එයට නගිනවා. එය පියාසැරිය අරඹන මොහොතේ ලැරී ලේටන් එතෙක් ඔහු සිය කමිස අතෙහි සඟවාගන සිටි අවියෙන් හතර අතේ වෙඩි තබනවා. එවිට ම ට්‍රැක්ටරයක නැගී පැමිණෙන තවත් පිරිසක් මේ ප්‍රහාරයට එකතු වෙනවා.

මෙහිදී ලියෝ රයන් ඇතුළු පස් දෙනෙක් ඝාතනය වනවා.

පළමු ගුවන් යානය
වෙඩි තැබීමෙන් මියගිය ලියෝ රයන් ඇතුළු පිරිසගේ සිරරු ඉවත්කරන බලධාරීන්
ජැකී ස්පෙයර්, කොංග්‍රස් සභික ලියෝ රයන්ගේ සහයිකාවකි. වෙඩි උණ්ඩ පහකින් තුවාල ලබා දිවි ගලවාගත් ඇයව, ගුවන් මගින් රෝහලට ගෙනයන අවස්ථාවයි මේ. පසු කාලීනව ඇය කොංග්‍රස් සභිකයෙකු වූවා ය.

එකට මැරෙමු

මේ වනවිට ජෝන්ස්ටවුන් එකම අවුලක් වී තිබෙනවා. රයන් ඝාතනයෙන් පසුව සිය රාජධානිය අවසානයට පැමිණ ඇති බව ජිම් ජෝන්ස් වටහාගන තිබෙනවා.

ඔහු තරමක අපිළිවෙල පෙනුමේ යුතුව, සිය රාජධානියේ ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණෙනවා. ඉන්පසුව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ‘ධවල රාත්‍රියක්’ නිවේදනය කරනවා. මේ නිවේදනය ඇසුණු බහුතරයක්, ජෝන්ස්ටවුමේ ප්‍රධාන ගොඩනැගිල්ල වූ දේවස්ථානය ඉදිරියට රැස්වෙනවා.

පිටතින් පැමිණි යක්ෂ ඒජන්තවරයා වූ කොංග්‍රස් සාමාජිකයා ගමන් ගන්නා ගුවන් යානය යමෙකුගේ වෙඩි පහරෙන් කඩා වැටී එහි සිටින්නන් මියයන බවත්, එහි වරද තමන් සහ අනුගාමිකයන් මත පත්වන බලධාරීන්, ජෝන්ස්ටවුන් වැසියන් සමූහා ලෙස මරා දමන බවත් ‘ඉහළ බලවේගයක් විසින්’ තමන්ට දැනුම් දුන් බවත් පවසනවා. මේ ඇසෙන ඇතැම් අනුගාමිකයින් බිම වැටී වඳින්නට පටන් ගන්නවා.

බලධාරීන්ගේ උණ්ඩයට වඩා, අප සියලු දෙනා සියළුදෙනාම ‘ශුද්ධ වූත්, විප්ලවීය වූත්’ මරණය තෝරාගත යුතු යි ඔහු පවසනවා. ඇතැම් සාමාජිකයන් මෙයට එරෙහිවන අතර, ඉක්මනින් පළා යමු යි ඔවුන් ජෝයනා කරනවා. එහෙත්, ‘ශුද්ධ වූත්, විප්ලවීය වූත්’ මරණය විසින් අප ව නැවතත් පාරාදිසියේ උපත ලබා ආශිර්වාද සලසනු ඇත..” යන්න පවසන ජිම් ජෝන්ස්, බහුතර සාමාජික කැමැත්තෙන් 

ජිම් ජෝන්ස් ගේ අණින් ඇමරිකාවේ එකල ප්‍රකට වෙළඳ පානයක් වූ ‘කූල් ඒඩ්’වලට (Kool Aid) සමාන මිදි රස පානයක් විශාල බඳුන්වලට සාදන ප්‍රධාන අනුගාමිකයන් එයට සයනයිඩ්, වැලියම්, සහ තවත් විෂ වර්ග යොදනවා.

ඉන්පසු සිය සාමාජිකයන්ව පෝලිම් ගස්වන ජිම් ජෝන්ස් ඔවුන් අමතා දෙසුමක් පවත්වනවා.

විෂ පානය බෙදා හැරේ

දරුවන්ට පළමු වටය හිමි වනවා. බිළිඳුන්ට සහ සහ කුඩා දරුවන්ට ඔවුන්ගේ මුව තුළට එල්ල කළ කටු රහිත සිරින්ජර මගින්  මෙම විෂ පානය පොවනවා. ඉන්පසුව ඔවුන්ගේ මව්වරු තම වැඩිමහලු දරුවන්ටත්, තමන්ටත් කෝප්ප ආධාරයෙන් මේ බීම ලබා ගන්නවා. මිනිත්තු පහක් තුළ මේ විෂ ක්‍රියාත්මක වන අතර, විෂ පෙවූ දරුවන් මුවෙන් සෙම පෙරාගනිමින් හුස්ම ගත නො හැකිව දඟලනවා.

මේ දකින වැඩිහිටියන් එය බීම ප්‍රතික්ෂේප කරනවා.

ඒ මොහොතේ ජිම් ජෝන්ස්, ඔවුන් ව දිරි ගන්වමින් දේශනා කරනවා. ඔහු මේ මොහොත පටිගත කිරීමට ද පටන් ගන්නවා. සියල්ල අවසන් වූ පසුව මේ පටිගත කිරීම, එදා ඒ මොහොතේ බියකරු බව ගැන කදිම සාක්ෂියක් ලොවට ඉතුරු කරනවා.

විෂ පානය කිරීමට සහ බලහත්කාරයෙන් විෂ ශරීරගත කිරීමට භාවිත කළ උපකරණවලින් කොටසක්
මියගිය පිරිසෙන් කොටසක්. භාජනයේ ඇත්තේ විෂ පානය ය.

පෙර ඡන්ද විමසීම්වලදී සිය දිවි නසාගැනීමට එකඟ වූවන් පවා, එම පානය පානය කිරීමට පැකිළෙනවා. පානය විෂ වූ ඇතැමුන් වේදනාවේ විලාප නගමින් පණ අදිනවා. විෂ පානය කළ පිරිස ගොඩනැගිල්ලේ පිටතට පෝලිමක් ලෙස ගෙනයන අතර ජිම් ජෝන්ස් ඇතුළු ප්‍රධාන අනුගාමිකයන් දිගින් දිගට ම ඉතිරි පිරිසට විෂ පොවනවා. ඇතැම් විෂ පෙවීම් බලහත්කාරී වනවා. එමෙන් ම  බලහත්කාරයෙන් විෂ එන්නත් කිරීමෙන් මිය යන පිරිසක් ද මේ අතර වනවා.

වීඩියෝවේ සටහන් නොවුණත්, ජිම් ජෝන්ස් මිය යන්නේ විෂ පානය කිරීමෙන් නොවේ. ඔහු සිය ප්‍රධාන අනුගාමිකයන් සමඟ හිසට වෙඩි තබා ගන්නවා. මේ සිදුවීම වනවිට ජෝන්ස්ටවුමෙන් පිටව ගොස් සිටි ජිම් ජෝන්ස්ගේ දරුවාට අනුව මෙය සාමාජිකයෙකු ලවා වෙඩි පහරක් තබා ගැනීමක් විය හැකි යැයි සැක කෙරෙනවා.

විනාශයක තරම

ජෝන්ස්ටවුන් නගරයට 1978 නොවැම්බර් 19 වැනිදාට හිරු උදා වන්නේ, භූමිය පුරා විසිර ගිය එහි වැසියන්ගේ ශීතල මළ සිරුරු මතින්. පෙර දිනයේ කොංග්‍රස් සාමාජික ලියෝ රයන් ඝාතනය ගැන සෙවීමට මෙහි යන ගයනා පොලිස් නිලධාරීන් මේ විපත අනාවරණය කරගන්නවා. ‘පීපල්ස් ටෙම්ප්ල්’  සාමාජිකයන් බහුතරයක් ඇතුළුව පුද්ගලයන් 918 ක් එදින මිය යනවා.

විස්මිත දිවි ගලවා ගැනීම්

යම් විපතක් වියහැකි බව ඉව වැටුණු ජෝන්ස්ටවුන් ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ පවුලේ අය ඇතුළු 11 දෙනෙක් නොවැම්බර් 17 පාන්දර එයින් පැන යනවා.

තවත් ජෝන්ස්ටවුන් වාසීන් සිව් දෙනෙකු අධික වෙහෙස නිසා නින්දේ පසුවනවා. යාඥා හඬ නො ඇසෙන්නට ඔවුන් තෝරාගන්නේ ඔවුන්ගේ නිදන ඇඳන් යටයි.  ඔවුන් ද දිවි ගලවා ගන්නවා. 

ග්‍රෝවර් ඩේවිස්ට ලවුඩ්ස්පීකරයෙන් දුන් දැනුම් දීම නො ඇසෙන්නේ ඔහු ශ්‍රවණාබාධිත වීම නිසායි. ඔහු පසුව ගොඩනැගිල්ලෙන් බැහැරට යනවා. අසු වුවහොත් මරණය නියත බව අවබෝධ වන ඔහු, කසල අගලක බැස මිය ගිය අය අතරේ වැතිර දිවි ගලවා ගන්නවා.

 හයසින්ත් තෘෂ්, ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පළා විත් සිය ඇඳ යට සැඟව ජීවිතය බේරාගන්නවා.  තවත් කිහිප දෙනෙකු වැසිකිළි යන බව ආරක්ෂක නිලධාරීන්ට අඟවා කැළයට පැන යනවා.

සංවිධානයේ ඉහළ තනතුරු හිමි වූ සාමාජිකයන් අතරේ හුන් ටිම් කාටර් තවත් දෙදෙනෙකු හා සෝවියට් තානාපති කාර්යාලයට යන්නේ මුදල් සහ ජිම් ජෝන්ස් සිය සාමාජිකයන් සමඟ රැසියාවට එන්නට අවසර ඉල්ලා ලියූ ලියුමක් ද රැගෙනයි. සිද්ධිය ආරංචි වී ඔහු ආපසු එන විට, ඔහුගේ බිරිඳ සහ දරුවා මියගොස් සිටිනු දකිනවා. ඔවුන් එදා සෝවියට් තානාපති කාර්යාලයට ලබා දීමට ගෙනගිය මුදල, ඇමරිකානු ඩොලර් ලක්ෂ හතකට අධිකයි.

මතකය අවදි කළ ස්ටීවන් ගාන්ධි ජෝන්ස්

මේ සිදුවීමේ 40 වැනි සංවත්සරය යෙදුණු 2019 වසරේදී, ABC නාලිකාව හා කතාබහකට එක්වෙමින්, ජිම් ජෝන්ස් සහ මර්සිලින් ජෝන්ස් යුවලගේ එකම පුතු සිය අත්දැකීම විස්තර කළා. ජෝන්ස්ටවුන් හි වාසයට පැමිණෙන විට ඔහුට වයස අවුරුදු 17 යි.

” මුලින් ම ජෝන්ස්ටවුන්වලට ආ මොහොතේ මට ඇති වුණේ සතුටක්. අපි සියල්ලන් ම යම් හොඳ අරමුණක සුවිශාල කොටසක් වෙනුවෙන් එකතු වූ බව මට හැඟුණා. නමුත් කෙමෙ කෙමෙන් ජීවිතය තේරුම් කිරීමට අපහ දුෂ්කරබවක් දරන්නට වුණා. 1978 වනවිට අපි සිටියේ කියන්නට නො තේරෙන පීඩනයක. එහෙත් මගේ මව මගේ පියා කියන සියලු දේ විශ්වාස කළා.

1978 නොවැම්බර් 18 මම තවත් ජෝන්ස්ටවුන් වාසී තරුණ පිරිසක් එක්ක පාපන්දු තරඟයකට ජෝර්ජ්ටවුන් වෙත ගොස් සිටියා. එදින දහවලේ අපි චිත්‍රපටයක් නරඹන විට මට පියාගෙන් දුරකථන ඇමතුමක් ආවා. ‘අපි ෆ්රේසර් මහත්තයා හමුවෙන්න යනවා’. ඔහු කීවා. මම අපේ ප්‍රජාවේ සංනිවේදන කටයුතු භාර නායකයා ලෙසට ඒ කියූ දෙයෙහි තේරුම දැනගෙන සිටියා. ඔහු එයින් අදහස් කළේ විප්ලවීය සියදිවි නසා ගැනීමකට ඔවුන් යන බවයි.

මෙයට වඩා හොඳ ක්‍රමයක් ඇති බවත්, ඉක්මන් තීරණයකට නො යන ලෙසටත් මම ඔහුගෙන් ඉල්ලා සිටියා. නමුත් මෙය වඩාත් ම හොඳ ක්‍රමය බව කියූ ඔහු මට ශක්තිමත් වන්න යැයි ඉල්ලමින් දුරකථනය විසන්ධි කළා…

අපි ඉක්මනින් බලධාරීන් අමතා, ජෝන්ස්ටවුන් වෙන ගොස් මේ විනාශය නවතන ලෙස බැගෑපත් වුණා. එහෙත් එයින් වැඩක් වුණේ නැහැ..”

… මගේ පියා කිසිදු ශුද්ධ ආත්මයක් නෙමෙයි.. සාමාන්‍ය මිනිසෙකු සතු වූ කරුණාව සහ දයාව ඔහු සතුව තිබුණා. පසුව ඒ සියල්ල මවාගත් ලෝකයක ඔහු සිට්‍රවිම තුළ මැකී ගොස් ඉතුරු වුණේ මුග්ධ කෘරත්වයක් පමණයි. ඔහුට දෙවියන්ගෙන් පණිවිඩ ලැබුණු බව ඔහු විශ්වාස කළා. අනෙක් අයටත් එය ඒත්තු ගැන්වූවා…”

ජිම් ජෝන්ස් ගේ පුත් ස්ටීවන් ගාන්ධි ජෝන්ස්, ජෝන්ස්ටවුන් ඛේදවාචකයේ 40 වැනි සංවත්සරය දා සිය පියා පිළිබඳව මතකය අවදි කරමින්
(2019)

මේ සිදුවීම සිදු වී දැන් වසර 43ක් ගත වී තිබෙනවා. දැනටත්, තවමත් තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කෙරෙහි විචක්ෂණශීලි නොවන අන්දමේ අන්ධ භක්තියක් සහ විශ්වාසයක් තබන මිනිසුන් සිය ජීවිත දුක්ඛදායක ලෙස ගෙවමින්, සෙමෙන් නමුත් තිර ඛේදාන්ත කරා සිය තල්ලු වෙමින් යනවා.
විෂ මුසු කූල් ඒඩ් ඔවුන්ට පෙවීමට නියමිත මිනිසුන්ට ම වන්දනා මාන කරමින්. විෂ සහිත මිනිසුන්ගේ තීරණ මත දිවි ගෙවමින්.