All posts by prathi91

තුවාල සහ පැලැස්තර

download.jpg
පෙම්වත,
ආලය ගින්නකි –
බුර බුරා නැගෙන;

එකුන් විසි තුන් පැයක්-
මයික්‍රෝ තත්පර අංශුවලට වෙන්කර
කෙටි ම කෙටි පණිවුඩ –
දිගම දිග කතන්දර –
එකින් එක යළිත් විමසා බලමි මම.
ඊයේට වඩා අද,
එක පණිවුඩයක් අඩුයි!

ජංගමය දැල්වෙයි –
හදවත ද දැල්වෙයි –
එහෙත් ඒ ඔබ නොවෙයි –

ඔබ විසින්
මට එවීමට අමතක කළ කවි,
කුරුළු හඬකින් ට්විටරය වෙත ගැයෙයි-

නෝක්කාඩු වියමනක් ඇඟිලි තුඩගින් වියැවෙයි..
දැන් ඉතින් ඔහොමයි-
ආදරේ කොහු කොහු වෙන්නෙත්,
පහු පහු වෙනකොටයි ..

ජංගමය දැල්වෙයි,
නොකියවූ පණිවුඩයක්,
කියවීමට අණ ලැබෙයි

ඒ ඔහුයි!

ඔබේ ට්විටර් කුරුළු තුඩු ඇනී ලේ ගලන,
නිර්වින්දනය නොවූ හදවතට
ඔහු ප්‍රේමවත් ඉමොජි පැලැස්තර අලවයි..

(18-05-2017)

පිළිස්සුම් රෝගියා

18051779_10202882651222892_37277007_n

 

වේලාව සවස හතරයි තිහට ආසන්න වී තිබුණි. දහවලෙහි වූ අධික උණුසුම ඒවනවිටත් පහව ගොස් තිබුණේ නැත.

උණුසුමත් තුනේ බෙහෙත් වේලේ බෙහෙත් මතත් නිසා බොහෝ රෝගීන් නින්දට ගොස් සිටි හෙයින් පහේ වාට්ටුවේ වූයේ දැඩි නිහඬබවකි.

ගිලන් ඇඳ මත වාඩි වී, නවාගත් දණ මත තබාගත් අතින් යුතුව පිළිස්සුම් රෝගියා බලා සිටියේ ය. සැන්දෑ හිරු රැසින් එලිය වූ කොළ පැහැ අඩ බිත්ති සහ ඇඟිලි සලකුණු කිලිටි ලකුණෙන් යුතු සුදු කුලුනුත් කොරිඩෝරයට එහායින් වූ කණ්ඩිය කැපූ තැනත්, එහි වවා තිබුණු රෝස පඳුරුත් , ඊට පහළින් වූ පිට්ටනියත් පසුකර ඈත දුරින් පෙනෙන වියලි කඳු දක්වා ඔහුගේ ඒ බැල්ම විහිදී තිබුණි.

ඔහුට ගෙදර සිහි විය. “අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඔහු පිළිස්සුනු හැටි සිහි කළේ ය. ආප්ප තාච්චිය රත් කළ භූමිතෙල් ලිපේ ගින්දර මුහුණට විද්ද ආකාරයත්, ඇස් නිලංකාර වූ හැටි සහ දැවිල්ලත්, පුළුටු ගඳත් ඔහුට සිහි විය. “චෝව්! චෝව්! චෝව්! …” යනුවෙන් දෙමළ කඩේ මුදලාලි කෑගැසූ අයුරුත්, ආප්ප බානා තෙක් බංකුවේ වාඩි වී බලා සිටි පිරිසගේ බිය පත් මුහුණුත් ඔහුගේ සිහියට ආවේ ය.

වේදනාව නිසා ඇස් කිටි කිටියේ පියව යන විට, මුහුණට එබුණු රවුල් කාරයාගේ මුහුණේ ඉන්නෙකු විය.

කන් අගුල් වට්ටන “සෝ” හඬකින් අවට කලබලය යටපත් වනු ඔහුට ඇසිනි. තමා ක්ලාන්ත වීමට ගියේ මස් කරවුණු පුළුටු ගඳ නිසා මිස වේදනාව නිසා නොවන බව ඔහුට සිතුණි.
මස් පිළිස්සෙන පුළුටු ගඳ, ඒ මොහොතේ දැනුණු අයුරින් ම ඔහුට සිහි විය. ඔහුට බඩවැල් නටන්නාක් බඳු හැඟීමක් ඇති විය.

ඔහු එය අමතක කරන්නට උත්සාහ කළේ ය. එය සිහිවන හැම විටෙකම වාගේ මෙන්, මෙවෙලේත් ඔහුගේ අතැඟිලි තුඩු, තවමත් යන්තමට අමු තුවාල කබොල මත දැවටිණි. තමා ගේ මුහුණ දැන් කුමන අයුරින් පෙනෙනවා ඇත්දැයි ඔහු සිතුවේ ය.
පිලිස්සුණු සමේ රළුව අතට දැනෙත්දී ඔහු ගේ අතැඟිලි පිළිකුලෙන් පහතට වැටුණේ ය.
මුහුණ විරූපිව ඇති ඔහුට සිතුණි.

ඔහුගේ දෑස ට කණාටු රෝස ගස්වල පිපී තිබූ මල් හසු විය.

දැන් කිසිදු කෙල්ලක තමා හට කැමති නො වෙතියි ඔහු ට සිතිණි.

ඔහුට ඇගේ එළලු පැහැ මුහුණ සිහි විය. වාට්ටුවේ කෙළවර බිත්තියේ ඔරලෝසුව දෙස ඔහුට බැලුණේ ඉබේටම ය.

වෙලාව පහ ට පහ ලෙස දැක්වුණි.

“තව වෙලා තියෙනවා. ” ඔහු තමාටම කියා ගත්තේ ය. ඊළඟ බෙහෙත් වේල දෙන්නේ හයට ය.

තව ස්වල්ප වෙලාවකින්, නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙනු ඇත.

“ගෙදර තාම දන්නේ නෑ..” ඔහුට මතක් විය.

ඇය ඔහුගේ මුහුණට එබෙන ආකාරයත්, ඇගේ නැහැ පුඩු වලින් පිටවන හුස්ම, තම උඩු තොලේ වදින අයුරුත් ඔහු සිහි කළේ ය. ඇගේ මෘදු ඇඟිලි තුඩු, ඔහුගේ තුවාල කබොල සීරුවට අල්ලා බෙහෙත් ගල්වන ආකාරයේ ඇත්තේ ද, වෙන රෝගීන්ට නො දක්වන දයාර්ද බවකැයි ඔහුට සිතී තිබුණි.බෙහෙත් ගලවන ගමන් ඇය රිදෙනවා දැයි අසා නිහඬ වන්නේ “අනේ.. රිදෙනවාද?.. මම හෙමින් බෙහෙත් ගානනම්..” යයි අනෙක් රෝගීන් ඉන්න තැන කීමට බැරි නිසා යයි ඔහු සිතුවේ ය.

පැමිණි දෙවැනි දවසේ, ගෙදරට දන්වන්න ඕනෑ නේදැයි අසන ගමන්, “ඔයා බැඳලා ද?” යයි ඇය ඇසූ අයුරු ඔහු සිහි කළේ ය.

තව කාලයක් තමන්ට රෝහලේ රැඳී සිටීමට වනු ඇතැයි ඔහුට සිතුණි.

ඇගේ නම ඇසීමට ඔහු තුල වූ තදබල ආශාව මඩ ගැනුණේ ලජ්ජාවෙනි. මොකක්දෝ හීන මාන පසුබෑමකිනි.

වාට්ටුවේ ලෑලි පටි බාග දොර හැරුණි. අනෙකුත් නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙමින් සිටියහ.

“අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඇය නො සිටින්නට මේ දහ දවස ගෙවීම එතරම් ලේසි නො වන්නට තිබුණි.
—————————–

අන්තිමේදී ඊළඟ බෙහෙත් වේලත් රැගෙන ඇය පැමිණෙන විට, ඔහු සිටියේ සිටි ඉරියව්වෙන් ම කිරා වැටෙමිනි. හිරු තව දුරටත් බැස ගොස් තිබුණු අතර, වාට්ටුවේ කෙටි බිත්තිවල දිගා වී සිටි කළු හෙවණැලි, වාට්ටුවෙන් පිටත බිම පත බෑවෙමින් සිටියහ.
මලානික සුදු එළිය පතුරවමින්, වාට්ටුවේ ලයිට් පොලු දැල්වී තිබුණි.

වාට්ටුවේ නේවාසිකයන්ට පිලිවෙලින් බෙහෙත් වේල් දෙමින්, ඇය ඔහු ගේ අසලට පැමිණ බාහුවට අත තැබුවා ය. ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

“බය වුණාද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

ඔහු ද සිනාසුණේ ය. අවුල් වූ කෙස්ස, ඇඟිලි තුඩු පනා පහරකින් පිළිවෙල කරගැනීමට අත හිස කරා ගියේ ද ඉබේට ම ය.

ඇගේ රවුම් මුහුණත්, වටකුරු ගෙලත්, නෙරූ ලැමත් අඩ අඳුරේ පෙනුණේ පින්සලයකින් ඇන්දාක් මෙනි.

“බලමු තුවාලේ..” ඇය කීවේ ඔහුගේ මුහුණ නිකටින් අල්ලා විදුලි ආලෝකය දෙසට හරවමිනි.ඇගේ ඇඟිලි තුඩුවල ස්පර්ශය විඳිමින් ඔහු ඇස් පියා ගත්තේ ය.

“දැන් හොඳයි නේ… ” ඇය කීවේ තුවාල කබොල මත ආලේපයක් තවරමිනි. පුරුද්දට මෙන් වේදනාත්මක ඉරියව්වක් මවමින් ඔහුගේ මුහුණේ මස් පිඬු ඇකිලිණි.

“දැන් හොඳයි… ඔය බොරු කරන්නේ..රිදෙන්න විදියක් නෑ ” ඇය කීවේ ඇස් නටවමිනි. ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේ ය. ඇය පිටිපසින්, ඉහලින් වූ විදුලි එළිය දුන් අසීරුවෙන්, ඔහුගේ දෑස් පුංචි වී ය.

“මිසී….” ඔහු ඇය ඇමතුවේ ය. “මට කවද විතර ගෙදර යන්න පුළුවන් ද මිසී?”

“අපි දොස්තර මහත්තය ආවම අහමු..” ඇය කීවේ, ඉහ ඉද්දර කනප්පුව මත වූ වීදුරුවට වතුර පුරවමිනි. “ඇයි.. ගමේ ගෑනු ළමය බලන් ඉන්නවද?”

“අපෝ නෑ..” ඔහු වහා ම කීවේ ය. තමාට අහන්නට ඕනෑ වූයේ ඇගේ නම වුවත් කියවුනේ අනෙකක් බව කීමට ඔහුට ඕනෑ වීය.

බෙහෙත් පෙති දෙක ඇගේ අත්ලෙන් ඔහුගේ අත්ලටත්, ඉනික්බිති ඔහුගේ මුවටත් වශයෙන් මාරු විය.

“දොස්තර මහත්තය ආවම අහමු… කොහොමටත් තව දවසකට දෙහෙකට වඩා ඉන්න වෙන්නේ නෑ..” ඇය කීවේ ඊළඟ රෝගියා කරා යාමට සැරසෙමිනි.

“අනේ ඩිංගක් ඉන්ඩකෝ..” යනුවෙන් කීමට ඔහු තුල වූ උවමනාව ද සමඟින් බෙහෙත් පෙති උගුරෙන් පහලට බැස්සේ ය.

“මිසී… ”
ඇය ආපසු හැරී බැලුවා ය.

“මිසීගේ නම මොකක්ද?”

“මොකටද?… ” ඇය පෙරළා ඔහුගෙන් ඇසුවා ය.

“මිසී වගේමයි මගේ නංගිත්…” ඔහු කිවේ ය.

“නංගිගේ නම මොකක්ද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

“චාන්දනී..” ඔහු කටට ආවක් කිවේ ය.

“මගේ නම නාමලී ..”

තමන්ට නැගණියක් නැති බව ඉක්බිති ඔහු සිහි කළේ ය. සිටියද තමන් උපන් පරිසරය අනුව ඇය ට රංජනී, සුසිලා වැනි නමක් විනා නාමලී වැනි නමක් හිමි නො වෙතයි ඔහුට සිතුණි.

ඒ නම් ද ඒ පරිසරය තුල, රංජනියා, සුසිලෝ ආදී ලෙස තැලී පොඩිවී බෙලෙක්ක වී යනු ඇත.

ඇය ඊළඟ රෝගියා වෙත ට යනයුරුත්,අවසාන රෝගියා දක්වාම පිලිවෙලින් ගොස් වාට්ටුවෙන් නික්ම යන අයුරුත් ඔහු බලා සිටියේ ය.
—————————–

එදා රෑ ඔහුට වෙනදාටත් වඩා නිදි නැති රාත්‍රියක් විය.

කඩේ රේඩියෝවේ නිතර වාදනය වන මගේ නාමලී ගීතය ඔහු සිහිපත් කළේ ය.
නාමලී එක්ක සුරියවැව යන්නට ඕනෑ යයි ඔහුට සිතුණි.

නාමලී සහ ඔහු මනාල යුවලක් ලෙසට සුරියවැව යන අයුරු ඔහු සිතින් මවාගත්තේ ය.

ගමේ ගැහැනුන් ගේ රබන් සද්දය අසමින් දෙපස එරමිණියා ගාලින් යුතු දුවිලි වැකි ගුරු පාර දිගේ සෙමින් යන ගෙම්බා කාරයත්, ඒ පසුපස සහ දෙපස එල්ලී, කාර් රියත් සමඟම දිව යන ගමේ කොල්ලන් රෑනත් ඔහුට පෙනුණි.

ඔහු තමා සමීපයේ වාඩිගෙන සිටින, මනාලි වෙස් ගත් නාමලිගේ අතක් ගෙන තම කලවය මත තබාගත්තේ ය.
නාමලී ඔහු දෙස කෝල බැල්මක් හෙලුවා ය.

කාරය ගුරු පාර දිගේ දුහුවිල්ල කාගෙන ගොස් අන්දර වැට අසල නැවතුණි. සමර ගා ටකරම් හෙවිලිකළ නිවාස ඉදිරියේ ආයිත්තම් වූ නෑසියන් මෙන් ම ළමා සාරියකින් සැරසුණු බාලිකාවන් සිවු දෙනෙකු ද විය.
වසර කිහිපයකට පෙර පරලොව ගිය අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් ද අතින් ගෙන ඉදිරියෙන් ම සිටිණු ඔහු දුටුවේ ය.

රතිඥ්ඥා පුපුරන්නට විය.

කාරයේ රියදුරා වහාම රියෙන් බැස ඔහු සිටි පැත්තේ දොර විවර කළේ ය.

වෙඩි බෙහෙත් සුවඳ දසත පැතිරුණි.

ඔහුගේ කලවය මත වූ නාමලිගේ අත කෙමෙන් දැඩිවනු ඔහුට දැනුණි.

වෙඩි බෙහෙත් සුවඳ මස් පිළිස්සෙන පුළුටු ගඳකට හැරුණේ ය. මුහුණ පිළිස්සෙනු ඔහුට දැනුණි.

ඔහුගේ කලවය මත වූ නාමලීගේ අත ක්ෂණයකින් ඉවත්විය.

නාමලී කාරයේ දොර හැරගෙන ගුරැ පාර දිගේ ආපසු දුවන්නට වුවා ය. නාමලී නැවත්වීමට උත්සාහ කළ ඔහුට, කාරයේ බිම වැටී තිබූ මල් කළඹ පෑගුණි.

නෑසියන්ගේ කුහුලෙන් පිරුණු මුහුණුත්, වික්ෂිප්ත රියදුරාත් ඔහුගේ දෙනෙතට හසුවිය.
ක්ෂණයකින් රියදුරාගේ මුහුණ වෙනස්වී, දෙමළ කඩේ මුදලාලිගේ මුහුණ එතනින් මතුවිය.

ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

වාට්ටුවෙන් පිටත අරුණාලෝකය පැතිරෙමින් තිබුණි.
—————————–

වෛද්‍යවරයාගේ ඇඟිලිවලින් ඔසවන ලද නිකටින් යුතුව ඔහු පරීක්ෂණ කාමරයේ වහලය දෙස බලා උන්නේ ය.

ගිනි දවාලෙත් නිරිවස්ත්‍ර විදුලි බුබුලක් සුදු එළිය විහිදුවමින් දැල්වෙමින් තිබුණි. කොහොමත් හොඳින් එළිය වී තිබූ ඒ කාමරයට විදුලි බුබුලේ ආලෝකය නිනව් නැතිව තිබුණි.

“මේ බෙහෙත් දිගටම බොන්න… ටික කාලයක් යනකම් අව්වට නොයා ඉන්න එක තමයි හොඳ… ”

වෛද්‍යවරයා ඔහුගේ නිකට අතහැර තුන්ඩුවක යමක් කුරුටුගෑවේ ය.

“දැන් කෙළින්ම ගෙදර ද යන්නේ.. ?”

ගෙදර… ඔහුට ගෙදර සිහි විය. කාස රෝගයෙන් හූරණ ලද පපුවෙන් යුතු තාත්තාත්, කසාද නො බැඳී අක්කාත්, ටකරම් හිල් වූ වහලත්, මැරෙන්නට පන අදින ගොනාත් මතකයට ආවේ ය.

” ඔව් මහත්තය… දෙකේ බස් එකේ යනවා සූරියවැව… ”

“හ්ම්… මාසෙකින් එහෙ ඉස්පිරිතාලෙට පෙන්නන්න… ”

“මහත්තය… ” ඇසීමට තිබූ වැදගත් ම ප්‍රශ්නය ඊළඟට ඔහු ඇසුවේ ය.

“මේ කැළල දිගටම තියෙයි ද මහත්තය ?…”

වෛද්‍යවරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේය. හකුපාඩා මතුවූ මුහුණත්, අපිළිවෙලට වැවුණු කණාටු රැවුලත් වෛද්‍යවරයාගේ දෙනෙතට හසුවිය.

“කැළල …. හ්ම්… කැළල නේද ?” ඔහු රෝගියාගේ මුහුණේ වම්පස හරවා යළිත්, වියලී ගිය තුවාල කබොල්ල බැලුවේ ය. වම් ඇසත්, නාසයත් අසල සිට නිකට ආසන්නයට ම පැතිරී ගිය රැළි ගැසුණු සම් කැටිය දෙස බලා නළල රැළි කරගත්තේය.
“කැළල නේද ?… අපි බලමු..”

ඉනික්බිති “දැන් යන්න පුළුවන්…” කියන්නට මෙන් හිස සැලුවේය.

නාමලී ඈත කොනක වූ මේසයක් අසල වාඩිවී යමක් ලියමින් සිටිනු රෝගියාගේ දෑසට හසුවිය. තමා යන බව කියූ විට ඇයට දුක හිතෙනු ඇතැයි දුකක් මෙන් ම සතුටක් ද ඔහුගේ සිතේ ඇඳී ගියේ ය.

—————————–

රෝහලට ගෙන ආ ඇඳුම් කැඩුම් අතුරින් හොඳ යයි කිවිය හැකි සරමක් හා කහ ගැහුණු කහ පැහැති කමිසයක් ඇඳගත් රෝගියා, පහේ වාට්ටුව දිගේ ඇවිද ආවේ ය.

ඉතිරි රෙදි පෙරෙදි වූ ඉටි කවරය තිබුණේ කිහිල්ලේ ය.

වතුර ගා පිරිමැද පීරා පිළිවෙලක් කළ කෙස්ස දිලිසෙමින් තිබුණි.

නේවාසිකව සිටි එකොළොස් දවසට යන්තම් දැන හැඳිනිකම් ඇතිකරගත් දෙපස ඇඳන් දෙකේ සිටි රෝගීන් දෙදෙනාගෙන් තවමත් නේවාසිකව සිටි රෝගියාට ඔහු සමු දුන්නේ ය.

“ආයේ කෙළින් ම ගෙදර..? ”

ඔහු එසේ බව කියන්නට හිස වැනුවේය.

“යන්නම්… ”

“මදැයි ඔයින් ගියා.. ” වකුගඩු අමාරුකාරයා තමන් ගේ සැත්කම් කැළල අතගාමින් ඔහු දෙස බලා සිටියේ ය.

—————————–

පහේ වාට්ටුව කෙළවර, කෙටි බිත්තියකින් වෙන්කළ කාමරයේ මේසයක් අසල වාඩිවී, නාමලී යමක් ලියමින් හුන්නා ය. ඇය අසල සිටි අනෙක් තුරුණු හෙදිය බෙහෙත් ලේබල කියවමින් සිටියා ය.

ඔහු මොහොතක් ඔවුන් දෙස බලා සිටියේ ය. නිකට පපුවට බර කරන් සිටි ඇගේ මුහුණ වඩාත් රවුම් සහ මටසිළුටුවට ඔහුට පෙනුණි.
ඇගේ දෙතොල් තරව පියවුණු ගමන් විය.

ඔහු හදවතින් වැළඳගන්නට මෙන් ඇය දෙස බලා සිටියේ ය.

තව ටික දිනක් හෝ රෝහලේ ඉන්නට තිබුණා නම් යයි ඔහුට සිතුණි.

අනෙක් තුරුණු හෙදිය හිස ඔසවා තමන් දෙස බලා සිටින බව ඔහුට වැටහුණේ ටික වෙලාවකට පසුවය.

බෙහෙත් ලේබල කියවීම නතර වූ හෙයින් නාමලී ද හිස ඔසවා බැලුවාය. කතා කිරීමට වචන සොයමින් ඔහු වියලු උගුර තෙමෙන්නට කෙළ තලියක් ගිල්ලේ ය.

“මිසී…”

“ඔව්…. ” ඇය ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලා සිටියා ය.

” මිසී…” තමන් යන බව කියන්නට වචන ගලපමින් ඔහු තව මොහොතක් තාවර වුණේ ය. ඇයට දුක නොහිතෙන සේ යන බව කියන්නට ඔහුට ඕනෑ විය.

“මගේ ටිකට් කැපුවා… මං යන්නයි කියල… ” ඔහු හැකි උපරිම ප්‍රසන්නතාවයට මුහුණ පත්වෙන සේ සිනාසුනේ ය.

“ආ…”ඇය සිනාසුනා ය .

“හොඳයි .. හොඳයි… එහෙනම් යන්නකෝ.. ආයේ පුච්චන් එහෙම මෙහෙ එනවා නෙමෙයි.. ”

ඔහු ගල් ගැසී බලා සිටියේ ය.ඔන්චිල්ලාවක ඉහළ ගොස් යළි පහළ එනවිට දැනෙන හිස් බව ඔහුගේ කුසට දැනුණි.

“හා හරි එහෙනම්… යන්න.. ”

ඇය යළිත් කීවා ය.

ජලය පිරි කලයක් බිම අතහැරි බිඳී විසිර යන්නාක් මෙන් ඔහු බිඳී විසිරි ගියේය.

අර අමුතු හිස්කම බඩේ සිට පපුවට පැතිරෙද්දී ඔහු ආපසු හැරුණේ ය.

—————————–

කොරිඩෝරයෙන් පිටත ගිනි අව්ව විසින් දවමින් තිබුණි.

කණාටු රෝස ගස් අතරින් පෙනෙන වාට්ටුව දෙස යළිත් ඔහු හැරී බැලුවේය.

නාමලීව එතනට පෙනුණේ නැත.

හිස තවන ගිනි අව්වෙන් මුවා වන්නට, ඇඳුම් කැඩුම් වූ ඉටි කවරය සහිත අතෙන් හිස මුවා කරගනිමින් ඔහු පිට්ටනිය හරහා ඇවිද ගියේ ය.

“එයාට තව ලෙඩෙක් හම්බවෙයි…. ” ඔහු නාමලී ගැන සිතුවේ ය. “නර්ස්ල ඉන්නේ ලෙඩ්ඩු බලන්න තමයි..”

“කැළල… ” ඔහු ඊළඟට සිතුවේ ය. “ගෙදර ගිහින් ගොඩ වෙදකම් කරල මකා ගන්නවා…”

විනාඩි විස්සක්

time_machine_by_sparco2-d5d5jwc

එය ගිම්හානයේ අතිශය උෂ්ණාධික දවසකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ද ඉක්මවා තිබූ හෙයින් මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නාන බේසමේ බැස වයින් වීදුරුවක් විදිමින් සිහිල් වීමට ය.

මම නො ඉවසිල්ලෙන් උදුනේ කාල මාපකය දෙස බැලීමි. ගතවී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණි. ඉඟුරු සහ ලෙමන් විස්කෝතු උදුනෙන් බෑම සඳහා තවත් විනාඩි විස්සකට ආසන්න කාලයක් ඉතිරි වී තිබුණි.

ඒ පිළිබඳව කොහොමත් ම විස්වාසයක් තිබුණේ නැත. ඬේන් උදුණේ මාපකය සෙල්ලම් ඇන්ජිමක කොටසක් යැයි සෙල්ලමට ගෙන අබිලි කර පැය විසි හතරක්වත් ගතවී තිබුණේ නැත. සැමියා විසින් එය යථා තත්වයට පත් කළත් එය මගේ ප‍්‍රකෝපයෙන් පුතු මුවා කිරීම උදෙසා කළ යන්තම් ඇටවීමක් පමණක් ම බවට මා තුළ වූයේ ප‍්‍රබල සැකයකි.

වේලාව ගෙවෙන තෙක් මම මේසය පිසදමන්නට වූයෙමි. මේසය මත වැටී තිබූ කෝන්ෆ්ලේක්ස් කැබලි සහ සීනි කැට පිළිවෙළකට ඉවත් විය. මයිකල් , ඬේන් සහ මම සිනාසී සිටින ඡුායාරූපයක ගෑවුණු සෝස් පැල්ලම්. සමාන්තර විශ්ව, පිටසක්වලයන් ආදී පිළිගත නොහැකි දේ පිරුණු මයිකල් මහත් අභිරුචියෙන් කියවන ඉපැරණි විද්‍යා ප‍්‍රබන්ධ සඟරාවක්. ඉන්පසු විසිතුරු කෝප්ප සහ සෙරමික් පිසදැමෙන වෙලාව. මේ මළ ඉලව් තෑගි වශයෙන් වරින්වර මට ගෙනවිත් දුන්නේ සැමියා විසිනි. කරදරේ.. දැන් ඒවායේ දූවිලි රැස්වෙත්දී පිහින්නට ඕනෑත් මමමයි.!

මම යළිත් උදුනේ කාල මාපකය දෙස බැලීමි. විනාඩි විස්සයි.මෙතරම් වැඩ ප‍්‍රමාණයකයට පසුවත්. මේ උලව් කාල මාපකය කැඞී ඇත. එය යථා තත්වයට පත් කලැයි තාත්තා සහ පුතා මට කර ඇත්තේ මහ බොරුවකි.
ඕන කෙහෙල්මලක් වෙච්චාවේ.. මම නාන බේසම වෙත යායුතුය. උදුන කොහොමටත් නියමිත වේලාවෙන් පසුව ස්වයංකී‍්‍රයව අක‍්‍රීය වේ. බිස්කට් අනවශ්‍ය තරමේ දුඹුරුවක් ගන්නේ ඊට පසුවය. තාත්තා සහ පුතාට කරවුණු බිස්කට්. හොඳ වැඬේ.. අම්මාට බොරු කිව්වාට..

මුළුතැන්ගෙයින් පිටව යමින් මම රාක්කය මත වූ වයින් බෝතලය සහ කස්කුරුප්පුව අතට ගත්තෙමි.

එක්වරම දොරේ සීනුව නාද විය. ශාප කරන අපහාසාත්මක අකුරු හතරක් මුමුණාගනිමින් මා දොර විවර කළේ පැමිණියේ කවුරුන් වුවත් නිවස තුළට පැමිනෙන්නෙක් නොවේවායි පතමිනි.

පුදුමයකි. විවර වූ දොර පිටුපස කිසිවෙකු වූයේ නැත. දොර සීනුව නාද වූ බව මට සහතික කළ හැකිව තිබුණි. මට විහිළුවක් කිරීමේ අරමුණින් දොර සීනුව නාද කර සැඟවීමට ඬේන්වත් නිවසේ සිටියේ නැත.
දොර සීනුව නාද කළ තැනැත්තා කවුරුන් වූවත් ඔහුට හෝ ඇයට තබා බළළෙකුටවත් සැඟවිය හැකි තැනක් අසලක තිබුණේත් නැත.

මම වේගයෙන් දොර වසා දැමීමි.

ඉනික්බිති සිහින් හඩක් නැගුණේ මුළුතැන්ගෙය දෙසිනි. අතෙහි වූ බෝතලය සහ වීදුරුව සාලයේ මේසය මත තබා මම මුළුතැන්ගෙයට එබුණෙමි.

දෙයියන්ට ඔප්පුවෙච්චාවේ ගෑණියෙක්.! අමුම අමු නිර්වස්තරෙන්!!. මට කෑ ගැහුණේ නිරායාසයෙනි.

‘‘ඔහේ.. කවුද ඔහේ..? මොන උලව්වක් ද මගේ කුස්සියෙ කරන්නේ?’’

මට පිටුපා උදුන අසල සිටි බැවින් මෙතෙක් මට මුහුණ නොපෙනූ ගැහැනිය මා දෙසට හැරුණි.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.!.මේ මමමයි. අඩක් හිස් වයින් වීදුරුවකුත් අතැතිව. ඒ මදිවාට හෙලූවැල්ලෙන්.!!

මගේ හදවත කටට ආවාක් බඳු හැඟීමක් මට ඇතිවූ අතර, කටට ආ හදවත ඉන් ඉවතටද පනිතයි බියෙන් මෙන් මගේ අතක් මගේ මුව වසාගත්තේය.

ගැහැණිය..නෑ.. මම .. නෑ නෑ.. මම වගේ මොකක්දෝ දෙය සිනාසුණාය..

‘‘විනාඩි විස්ස ඉවරයි… ඕ ගෝඞ් ඩාලිං.!. ඔච්චර පුදුමෙන් මා දිහා බලන්න එපා..’’

යම් අපරාධකාරී කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයක් ඇතැයි මට එක්වරම සිතුණි. මේ මොකක් හො දෙය මේ සිදුවූ දෙය පිළිබඳව මා වාගේම පුදුමයෙන් නම් මේ සැකය අඩු වෙන්නටවත් තිබුණා. එහෙත් මේ ගැහැණියට වගේ වගක් නැතිවීම ම මදෑ.. පසුගිය දිනවල අසන්නට වූ කොල්ලකල්ලි පිලිබඳ අප්‍රසන්න කතාන්දර මගේ මතකයට ආවේය. දවාලට තනියෙන්ම ඉන්න ගැහැණුන්ගේ බෙලි කරකවන බියකරු කල්ලි.

මම ඉදිරියට පැන සයිඞ්බෝඩය මත වූ පිහිය අතට ගතිමි.
ගැහැණිය කලබල වූවාය.
‘‘ ඕ.. පැත්තකට දාන්න පිහිය..මට පුළුවන් පැහැදිළි කරන්න.. ප්ලීස්..’’
එහෙත් මම පිහිය උරුක් කළෙමි.
‘‘ අත් උස්සනවා.!. දැන් හෙමින් වාඩිවෙනවා..’’
ගැහැණිය මේසයේ අනෙක් කෙළවරේ වූ පුටුවක අගිස්සෙන් වාඩිවූවාය.
‘‘දැන් කියනවා කවුද ඔහේ?’’
‘‘ මම ඔයා.. මේරියන්’’
‘‘මොකක්?? මම මෙතන ඉන්නවා ඔහේ ඉස්සරහපිට හොඳ සිහියෙන්.. මම බීලත් නෑ.. බොන්න හිතූ පමණින් වෙරි වෙන්නෙත් නෑ..ඇත්තත කියනවා.. කවුද තමුසේ? හහ්.. වඩා හොඳදේ පොලිසියට කියන එක වෙන්ඩ ඕන’’
‘‘ මම ඔයා මේරියන්.. විනාඩි විස්සක් ඔයාට වඩා කළින්..’’
‘‘මොකක්??’’

ගැහැණිය හිසේ අත තබාගත්තාය. ඒ පැහැදිළි කිරීමට අපහසු කරුණක් අරභයා මා දක්වන ඉරියව්වම දක්වමිනි.

‘‘අද උදේ වෙනද වෙලාවටම ඔයා නැගිට්ටා.. ඉන්පස්සේ පුරුදු විදිහට මිස්ටර් රස්කින්ව එළියට දැම්මා.. එයා අළුත්ම බුමුතුරුණු සූරලා තිබුණු නිසා ඔයා හිටියේ තරහින්.. ඉන් පස්සේ ඬේන්..එයා පහළට ආවට පස්සෙ..’’

‘‘ නවත්තනවා.. ’’ මම කෝපයෙන් පැවසීමි. ‘‘ඔහේ දවස පුරාම මගෙ ගැන ඔත්තු බැලූවා. ඊට පස්සේ මම වගේ වෙස්වලාගෙන ආවා.. ඔහේට පුළුවන් වෙච්චි දේ්වල් වාර්තා කරන්න.. ඒත් ඔහේට බෑ මම ඊළඟට කරන්න හිටපු දේ කියන්න.. මොකද තමුසේ මම නොවන නිසා…’’ මම ගැහැණිය දෙස ජයග‍්‍රාහීව බැලීමි.
ඇය සිනාසුනා ය.
‘‘ ඕ.. ඔයා ලෑස්තිවෙලා හිටියේ විනාඩි විස්සකින් නාන බේසමට බහින්න..හරියටම මේ මම කළා වගේ.. ’’
‘‘මොකක්?’’
‘‘ ඉස්සෙල්ලා ඔයා මාව විස්වාස කරන්නම වෙනවා මේරියන්..’’ ඇය කීවාය. ‘‘ ඒක ලේසියෙන් සිදු නොවන බවත් මම දන්නවා.. මොකද මම ඔයා නිසා..ඇත්තම කතාව මම ඔබට කියන්නම්..ඒ වගේම මම මෙච්චර වෙලා කිව්ව හැම දෙයක්මත් ඇත්ත..’’

‘‘ ඒක එහෙම වෙන්ඩම ඕනෑ..’’ මම කීවෙමි. ‘‘ මොකද මට බොරු කීම පේන්න බෑ.. ඔහේ මම නම් ඔහේටත් ඒක එහෙම්ම වෙන්න ඕනෑ..’’
ගැහැණිය සිනාසුනාය.

‘ සත්තකින්ම..මේ අහන්න මේරියන්.. හැමදේම පැහැදිළි කරන්න ලේසි නෑ …ඒත් බැරිවෙන එකක් නෑ.. අපේ ලෝක දෙක එකිනෙකක ඡායා පිටපත් වගේ සමානයි..මේ උදුන පවා..’’

(මම පිහිය මේසය මත තැබුවෙමි. ඒත් හදිසියකට ගතහැකි දුරකින්..)

ඇය උදුන දෙසට අත දිගුකළා ය.

‘‘ මේක කාල යන්ත‍්‍රයක් මේරියන්.. ඒකත් මේ වගේම මේ ගෙදර ගනිත්දි ම තිබුණු දෙයක්..

අත්වැරදීමකින් හරි මොකක් හරි දේකින් කි‍්‍රයාත්මක වෙනකම් ඒක සාමාන්‍ය උදුනක් විතරයි… අපි, ඒ කියන්නේ මම මයිකල් සහ ඬේන්..ඔබ මේ සිටින පවුල වගේම පවුලක්..’’
‘‘ ඒ කියන්නේ සමාන්තර….’’ මම ඇසීමට පටන්ගත්තා පමණි.
‘‘ මම දන්නෙ නෑ මේරියන්.. මම ලේඛිකාවක් වුණත් කිසිදාක ඔවැනි දේ විස්වාස කළේ නෑ..ඒ වගේම විද්‍යාත්මක සංකල්ප මට කවදාවත් සමීප වෙලත් නැහැ..ඔබ ඒක දන්නව මේරියන්.. මොකද ඔබ මම නිසා..’’

මම හිස වැනීමි. ඔව් මට විද්‍යාව අප‍්‍රසන්නය. දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට ලක්කරන පාපකාරී විෂයක් වීමම මදැයි.

‘‘ කොහොම නමුත්..අපි ඔබට වඩා විනාඩි විස්සක් ඉදිරියෙන් සිටි පිරිසක්. ඊයේ.. හරියටම මම ඔබේ මුළුතැන්ගෙයි මතුවූ වෙලාවට වඩා පැය විසි හතරකට කළින්, ඬේන් මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් හිටියා. මම හිටියේ ඇපල් පුඩිමක් තම්බමින්..’’

මම මතක් කළෙමි.ඇපල් පුඩින්. ඊයේ හවස්වරුව විනාසකළ ඇපල් පුඩිම.

‘‘ ඬේන්ට වුවමණා වුණේ මම එයා එක්ක සෙල්ලම් කරන්නයි. මම පොරොන්දු වුණා..මම වැඩ අහවර කරනකම් එයා මුළුතැන්ගෙයි සෙල්ලම් දුම්රියක් එලවමින් සිටියා.
එයා උදුනේ ටයිමරය විනාඩි විස්සක් පසුපසට කැරකෙව්වේ ඒ වෙලාවේ…’’

‘‘ ඊට පස්සේ මයිකල් ගෙදර ආවා .. ඬේන්ව බැනුම්වලින් බේරගන්න එයා ටයිමරය යාන්තම් ඇටෙව්වා..’’ මම සුසුමක් හෙළීමි. ‘‘දත් දොස්තරලා මොනවද දන්නෙ මේ වගේ දේවල් ගැන ..’’
ඇයත් සුසුමක් හෙළුවාය.

‘‘හැමදේම කිසිම වෙනසක් නොවෙන්න තිබුණා, මගේ ලෝකේ ඒ සිදුවීමට හරියටම පැය විසි හතරක් සම්පූර්ණවෙද්දි ඔයා ආයෙමත් උදුන ක‍්‍රියාත්මක කරලා ටයිමරය විනාඩි විස්සකට ළකුණු නොකරන්න..’’
‘‘ ඒ කියන්නේ මේ හැමදේම මගේ වැරැුද්ද?’’ මම ඇසුවෙමි. (කුමණාකාර ව්‍යාකූල මොහොතක වුවත් අසාධාරණ චෝදනාවන්ට ලක්වීමට මම අකමැති වීමි.)

‘‘ මේරියන්…’’ ඇය යළිත් සුසුමක් හෙළුවාය. ‘‘ මේක කාගෙවත් වැරැුද්දක් නෙමෙයි.. අපේ ලෝක දෙක අතරෙ තියෙන්නේ විනාඩි විස්සක වෙනසක්. තව විනාඩි කිහිපයකින් ඔයාගේ ලෝකෙත් ඊයේ සිදුවීමට පැය විසි හතරක් සම්පූර්ණ වෙනවා. මගේ ඬේන් ටයිමරය ආපස්සට කැරකෙව්ව වෙලාවෙම ඔයාගෙ ඬේන් ටයිමරය කැරකෙව්වා..එ්ක එහෙම්පිටින්ම අහම්බයක්…’’

‘‘ මොහොතක් ඉන්න..’’ හදිසියේ ම මට යමක් මතක් විය. ‘‘ මගෙ ඬේන් ටයිමරය විනාඩි විස්සක් පිටිපස්සට කළේ නෑ..’’
‘‘ මොකක්?? එහෙම වෙන්නෙ කොහොමද? ’’ අනෙක් ලෝකයෙන් ආ මම නොවේ මම විමතිය පළ කළා ය.
‘‘ ඔව්.. ’’ මම ජයග‍්‍රාහී ලීලාවෙන් පැවසුවෙමි. ‘‘ නෑ නේන්නම්.. එයා කළේ ටයිමරය හිර කරපු එක.. ඉස්සරහටවත් පස්සටවත් කරකවන්න බැරි විදිහට. ඔයාගේ ඬේන් විනාඩි විස්සක් පිටිපස්සට ටයිමරය කැරකෙව්වා.. මගෙ කොල්ලා ඒ වෙලාවෙම මේ ලෝකෙ ඉඳන් ටයිමරය හිරකළා..’’
‘‘ ඕ ගෝඞ් !’’ඇය හිසේ අතගසා ගත්තාය.
‘‘තේරෙන්නෙ නැත්ද? ඒක එහෙම නොවෙන්න අපේ ලෝක දෙකේ වෙලාව සමපාත වෙන්නෙ නෑ..’’
‘‘ දැන් ඊට පස්සෙ..?’’
‘‘මොනම ක‍්‍රමේකින් හරි ඔයාව ගෙදර යවන්න ඕන..’’මම කීවෙමි. ‘‘ඊට පස්සෙ මම මේ මඟුල් උදුන ගිනිතියල දානවා..’’ මම කීමි.

‘‘ ඒත් ඊට කලින්, ඔයා කොහොමද මේක තනියම තේරුම් ගත්තේ? ඔයා කියන්නේ ඔයා මට වඩා බුද්ධිමත් කියලද? ’’
ඇය ඇසුවාය.
‘‘ මේ.. ’’ මම මේසය මත වූ පැරණි සඟරාව පෙන්වූයෙමි.

එහිවූයේ සමාන්තර විශ්ව දෙකක් ගැන කතාවකි. විද්‍යා ප‍්‍රබන්ධ පිළිකෙව් කළ මට එහි වූ කතාව සැකෙවින් කියෙව්වේ මයිකල් විසිනි.

මේ අතදැකීම ඊට බොහෝ සමාන බව මට වැටහෙමින් තිබුණි.
‘‘ එකම කතාව.. ’’ මම කීවෙමි.

‘‘ මේක අපේ ගෙදරත් තිබුණා..’’ ඇය කීවාය. ‘‘මට මේ කතාව කියෙව්වෙ මයිකල් ’’ ඉනික්බිති ඇය ඇස් විශාල කරගෙන මා දෙස බලා සිටියාය.

‘‘ ඕ ගෝඞ්…!මේ කතාව ඉවර නෑ..’’
‘‘මොකක්… ?’’ මම ඇසීමි.
‘‘ඔයා මුළු කතාවම ඇහුවෙ නෑ..! නේද?, ’’ ඇය ඇසුවාය.
‘‘නෑ.. මම ඒක අහන්න කැමති වුණේ නෑ.. සමහරවිට එයා කියන්න ඇති.. එ්ත් මගෙ ඔළුවට ගියේ නෑ..’’ මම කීමි.
‘‘මේක ලූප් ස්ටෝරි එකක්..’’
‘‘ ඒ කියන්නෙ..??..
‘‘දෙවියනේ.!!.මේ වෙත්දිත් තව කොහෙහරි ලෝකෙක ඬේන් කෙනක් ටයිමරයක් කරකවලා තියෙනවා.. ඔයාට තේරෙනවද ?’’ ඇය ජනේල පඩිය මත වූ ඔරලෝසුව දෙස බැලූවාය.
’’ තව තත්පර කිහිපයකින් මම ඇවිල්ලත් විනාඩි විස්සක් ඉවරවෙනවා. ’’
ඇය කීවාය.

මම තෝන්තු ස්වභාවයෙන් අසා සිටියෙමි. විනාඩි විස්සකට එහායින්දී ලෝකය සෑහෙන්නට යහපත්ව තිබූ බව මට මොනවට ඒත්තු ගියේ ය.

නැවතත් දොර සීනුව නද දුන්නේ ඒ මොහොතේය.

දිනමිණ හි පළවූ විනාඩි විස්සක් කෙටිකතාව

සුවඳ

ඔබ;
අතිශය තැන්පත් සුවඳකි.
ඉතා දීර්ඝ හුස්මකින් අනතුරුව,
පෙනහළු ගර්ථි පතුලේ,
තැන්පත් කළ හැකි.

ඔබ;
කරාබු සහ කුරුඳු සුවඳකි.
වැනිලා ද මුසුවූ,
ලා ඉඟුරු සුවඳැති.
තේ හැන්දක් පමණ,
නමක් කිව නො හැකි,
ආදරයේ සුවඳ ද ඇති.

ඔබ ;
තාන් සුවඳකි.
සැවන්දරා සහ කපුරු,
සැනසිල්ලේ සුවඳකි.
සේර ද දැවටුණු,
අමු රෙදි තාන් සුවඳකි..

ඔබ ;
අතිශය නැවුම් සුවඳකි.
නියං අවසන වැටෙන,
වැස්ස බඳු සුවඳකි-
දුහුවිල්ල සිප පැමිණි,
තෙත් – උණුහුමෙන් යුතු සුවඳකි.

ඔබ-
අතිශය අරුම සුවඳකි.
අතිශය හුරු පුරුදු මුත්,
නමක් කිව නො හැකි-
ඉතා දීර්ඝ හුස්මකින් අනතුරුව,
පෙනහළු ගර්ථි පතුලේ,
තැන්පත් කළ හැකි.

“සුභ නත්තලක්!”

Christmas-Tree-Fireplace-1024-127315

(2005- 12-28*)

නත්තල් ඉවරයි. පවුලේ සාමාජිකයෝ එකතුවෙලා, අලුත් අවුරුද්ද පිළිගන්න, ගේ දොර අස් කරන දවස අදයි.

නත්තලට සුමානෙකට කළින් ඉඳල, ගෙයි ඉස්සරහ සාලේ දිලිසි දිලිසි හිටපු නත්තල් ගහට, ඔන්න අයෙමත් නිවාඩු කාලේ ඇවිත්. දිලිසෙන රිබන්වලට, ඉටි දේව දූතයන්ට වගේම තවත් නොයෙකුත් සැරසිලිවලටත්, නත්තල් ගහ මුදුණේ දිලිසෙන රිදී තරුවටත්, තව අවුරුද්දකට එළියට බහින්න ඕන වෙන්නේ නැහැ.

ඊයේ රෑ තිබුණේ, මේ ගෙදර, මේ අවුරුද්දට පවත්වපු අවසාන නත්තල් සාදේ.
හිස් බීර බෝතල් පෝලිමක්, ගෙදරින් පිටවෙලා යන්න පෝලිම් හැදිලා හිටියා. තෑගි ඔතන කොල, ඉටිපන්දම් කිරි, ඒ විතරක් නෙමෙයි, අලුතින් ම ලැබුණු තෑගිත්, පුටු උඩ, පුටු යට, මේස උඩ, මේස යට වැතිරිලා, අවසාන වුණු නත්තල මෙනෙහි කරමින් උන්නා.

රටේ කිහිප පොළක ම ජීවත් වෙන පවුලේ උදවිය ඔක්කොම හුඟ කාලෙකට පස්සේ නත්තලට මහ ගෙදරට එකතුවෙලා හිටිය නිසා, මහ ගෙදර පිරිලා ඉතිරිලා ගිහින්. තවමත් උදේ හත වුණා විතරයි. මහ ගෙදර සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් තාමත් නිදි.

වෙනද වගේම කාටත් කළින් අවදි වුණු අම්මා, නිහඬව ම තමන් ගේ වැඩ රාජකාරී පටන් ගත්තා. හිස් බීර බෝතල් ටික ලෑලි පෙට්ටියක ඇසුරුම් වුණා. ගේ පුර විසිරිලා තිබුණු තෑගි ඔතපු කොල, එක පිළිවෙලකට නැමිලා, එකා පිට එකා, මිටියක් බවට පත් වුණා. පිහි තල කෑල්ලක්, බිම වැටිලා තිබුණු ඉටි පැල්ලම් සහ ගේ බිම අතරින් ඇදෙමින්, පිරිසිදු කිරීමේ උත්සාහයක යෙදෙන්න පටන්ගත්තා.

මේ අතරේ, නත්තලට එයාගේ පවුලේ අයත් එක්ක ගෙදර ආපු ලොකු පුතා අවදි වෙලා. හිමින් හිමින් තරප්පු පෙළ බහින එයාගේ ඇස්වලට මුලින් ම අහු වුණේ, සාලයේ කොනක දිලිසෙමින් තිබුණු නත්තල් ගහ. ඊළඟට, බිම ඉඳගෙන, පොළොව පිරිසිදු කරන්න ලොකු උත්සාහයක යෙදෙන අම්මවත්.

“දෙන්න….මම ඕක කරන්නම්…”
අම්මා හැරිලා බැලුවා. ලොකු හිනා මලක් පිපුණා.

“ඕ..ඔයා නැගිට්ටද?… සුබ උදෑසනක්…!”

ලොකු පුතා අම්මගේ අතින් පිහි තලය අරගෙන බිම ඉඳගත්තා. ඒ අතරේ අම්මා, නත්තල ගහේ එල්ලලා තියෙන සැරසිලි ඉවත් කරන්න පටන් ගත්තා.
මුලින් ම නත්තල් ගහේ යට එල්ලලා තියෙන දම්වැල. ඊළඟට ඊට ඉහලින් තියෙන පුංචි දේව දුතයන් හය දෙනා. ඊට පස්සේ, පාට කරපු ෆයිනස් ගෙඩි.

මේ සැරසිලිවලින් බොහොමයක්, මේ ගෙදර දරුවෝ කුඩා කාලේදී කරපු අත්වැඩ. අම්මා ඒ එකින් එක ගලවල, කාඩ්බෝඩ් පෙට්ටිකට පරිස්සමට අසුරණ හැටි ලොකු පුතා බලාගෙන හිටියා. තමන් හදපු කඩදාසි දම්වැල්, නංගිලා දෙන්න හදාපු සුරංගනාවියෝ, මල්ලි පොඩි කාලේ හදාපු නත්තල් සීයා.

මේ සැරසිලි එකින් එක ඉවත් කරන අම්මා වගේම, ඒ සැරසිලි ඉවත් කරන අම්මා දිහා බලන් හිටපු ලොකු පුතාත්, ගතවුණු කාලය ගැන මතක ලෝකයක කිමිදුණා. පොඩි කාලේ අහිමි වීමේ දුක වගේ ම, නත්තලට ගෙදර ඒමේ සතුටත් ඒ දෙන්නට ම දෙ විදිහකට දැනෙන බව, දෙන්නටම දැනුණා.
මේ හැම සැරසිල්ලකම සැනසිලිදායක කතාවක් තිබුණා. සංකා සහගත සතුටක් තිබුණා. ප්‍රීතිමත් දුකකුත් තිබුණා.
මේ හැම දෙයක් ම ඇහැට හුරුපුරුදුයි. ඇස් පියාගෙන ඇස්වලින් අල්ලන්න පුළුවන් තරමට ම.

නත්තල් සැරසිලි අතරේ, තමන්ගේ ඇහැට නුහුරු යමක් ලොකු පුතා දැක්කා. ළදරුවෙක් ගේ ලොම් මේස් කකුලක්. නංගිලා පොඩිකාලේ ගොතපු දෙයක් ද?

ඒ ළදරු මේස් කකුල, නත්තල් ගහෙන් අම්මා ගලවගත්තේ ළදරුවෙක් වඩාගන්න තරමට ම පරිස්සමෙන්. නත්තල් සැරසිලි ගිමන්හරින කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුළේ මේ මේස් කකුල තැන්පත් කළෙත්, ළදරුවෙක් තොටිල්ලක තියන තරම් පරිස්සමෙන්.
ආදරණීය පිරිමැදීමක්. ශෝකය පමණක් ම ඇති හුස්මක්.

නත්තල් සැරසිලි ඔක්කොම ගලවල අවසාන කරපු අම්මා, අන්තිමට නත්තල් ගහ මුදුනේ තිබුණු රන් තරුව ගැලෙව්වා. අම්මා මේ යන්නේ නත්තල් සැරසිලි, ඊළඟ නත්තල දක්වා පරිස්සමට අරන් තියන්න.
ජනේලයෙන් එබුණු ඉර එළිය කැරැල්ලක්, අම්මගේ පැල්ලම් වැටුණු කම්මුලක වුණු කඳුළු බින්දුවක් දියමන්තියක් වාගේ දිලිසවලා පෙන්නුවා.

ලොකු පුතා ත් අම්මා පස්සෙන් ම කොරිඩෝව දිගේ ඇවිදන් ගියා. රත්තරන් පාට ඉර එළිය,කොරිඩෝව දිගේ සුමුදු පාවඩයක් එළලා තිබුණා.
දිව්‍යලෝකෙට යන පාර වගේ.

කොරිඩෝව කෙළවර කාමරේ, නිතර ම පාවිච්චි නොවන ලට්ට ලොට්ට තැන්පත් කරලා තියෙන රාක්කෙ ළඟට ගිය අම්මා, අයෙමත් වතාවක් ඒ ළදරු මේස් කකුල එළියට ගත්තා.

මේස් කකුලේ දාරය දිගේ මහල තියෙන ලා නිල් පාට “එම්” අකුර, ගබඩා කාමරයේ පටු ජනේලයෙන් වැටෙන ආලෝකයෙන් ලොකු පුතා ට පෙනුණා.

පොඩි මල්ලි.

ජීවත් වුණේ අවුරුදු හතරයි. එයාගේ ජීවිතේ හතර වෙනි නත්තල සමරන්න කලින්, සරම්ප හැදිලා මිය ගියා.

දෙවියනේ..! දැන් ඒක සිද්දවෙලා කොයිතරම් කාලයක් ද?

“සුභ නත්තලක් පොඩි පුතේ…!”

අම්මා කියනවා ලොකු පුතා ට ඇහුණා.

“මේ නත්තලට හැමෝම ගෙදර”

 

_____________________________________________________

( 2005 වසරේ පැවති නත්තල් කෙටි කතා තරඟයකින් ප්‍රථම ස්ථානය දිනුවේ මේ කතාව ය. ඒ  පාසලේ 09 වැනි ශ්‍රේණියේ ය. 2005 යනු අද සිට බලනකල දිගු කාලයකි.)

නාලිකා

ඉලක්කම් ඉරි බෙදුම් අතරේ,
බිත්ති හතරක අතර මැද්දේ
ජිවිතේ ගෙවුණා,
ඉලක්කම් ඉරි අකුරු අතරට,
හුස්ම ගන්නා අකුරු අරගෙන,
ජිවිතේ දිග ගාලු පාරේ ඔබ ඇවිද ආවා
නාලිකා…

කමිස පිට හූරා දමනසුළු,
පිහි ඇනුම් සරි රුදු බැලුම් පොදි –
අලුයමින් ලූ කෙල පිඩක් සේ
බැහැර කෙරුමට මම බලන් හිටියා.
ඔබ ඇවිත් සුභ පැතුම් දෙනකම්
නාලිකා..

සිහිය අවතැන් කරන තරමේ
හිස් රිදුම් මාගලක් දිගහැර,
සිහි කැඳවීම් ලියුම් නො හැරම
තරු ලකුණු කිව්වා..
හෝරාව කල්පයක දියකර,
හිත් රිදුම් බොහොමකට
ළඟ හිඳ ,
ඩිස්ප්‍රීන් පෙව්වා…

මොණර නැටුමක කස්තිරම් අඩි,
පයිසෙකට නො වටිනා හිතුවිලි
කියන වදනක් පාසාම ඔබ
අසාගෙන සිටියා..
නොම කියූ මුත්,
ළඟ තිබු හිත
නො දන්නා සේ බෝ කලක් ඔබ
ළඟ ම හිටියා
නාලිකා…

තිත්ත කඩදහි මොණර උෂ්ණේ
වැදී වටහල අකුණු අස්සේ
බැණුම් මුරුසං වැස්ස මැද්දේ,
ජීවිතය හෙව්වා..
එක ම එක අස්සනක් ගන්නට
ඔබ බලා හිටියා.

සපත්තුවකට පිනි බිඳක් වැටුණා;
මං නොදැක්කා නොව නො දුටු ලෙස උන්නා
නාලිකා…

දිස්න දෙන මංගල යදම් බැඳී
වෙදගිල්ල දෙතොලට තියන්,
නිකට පපුවට නැඹුරු කරගෙන
අකුරු අතරක අතරමඟ ඔබ
යතුරු ලියනය ලියු වැරදි සෙව්වා..

එදා ඒ අකුරුත් මං වගෙම
හුස්ම ගත්තා
නාලිකා…

(ආයතන ප්‍රධානියෙකුට තම පුද්ගලික ලේකම්වරිය පිළිබඳ ඇතිවුණු සිතුවිල්ලක් )

ඉකුත් වූ කාලය

එකමත් එක කාලයකට,
බොහෝ කාලයකට පෙර –
අමතක කරන්නට අමතකම වන තරම්
ඉකුත් වූ කාලයක.
හුස්ම ගන්නට බැරිම වන තරමට
තදබල ආලයක් විය.

පෙනහැල් පිරී,
ඉල ඇටවලට තෙරපෙන තරමට ම –
හුස්ම ගන්නට බැරි කළ..

විචිත්‍ර පහන් යට,
වැහි දිය දිය කෙරුණු තාර මාවත් පිට
මන්දාකිනි එළි මතින්
ඇවිද යන මට ,
හිරි පොදේ හිරිකඩට
ලය බදා වැළඳ,
ඉල ඇට තෙරපෙන තරමට,
හුස්ම ගන්නට බැරිම වන තරමට ම,
තනියම.
තනිකම .

පෙනහැල් පිරී
හුස්ම ගන්නට බැරි කළ,
තදබල ආලය සිහි විය..

මා පමණකි

රාත්‍රිය එළඹ ඇත
යුද පිටිය නිශ්චලය
අහස පුරා ධවල
තරු පැතිර ඇත

මගේ තරුව ඇය,
දිගාවී පොළොව මත
ළය මත තබාගත් අතින් යුතුව
සන්සුන් ව

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය

හුස්ම ගන්නේ මා පමණි
එහෙත්
ඇගේ හුස්මක් අසනු රිසි
හුස්ම අල්ලා අසා සිටිමි

අවියෙන් බැඳි බැමි අතර
ඇහි පිල්ලමකින්වත් තනි නොකර
පසුපස ආමි

යුද ටැංකි හිස් මතින් යන
බංකර කුහරයක
එකිනෙකාගේ සුසුම්
එකට පැටලෙන්නට
මහ වෙලාවක් ගියේ නැත

ඝන කොලර සහිත නිල කබා මත
ගිනි අවි මොහොතකට තනිකොට
මහා ගින්නක් නිවුයෙමු
මහා ගින්නක දැවුනෙමු

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය
එහෙත් ඇය තරු අතර ය

දෙදෙනා තිදෙනෙකු වීමට
නියමිතව තිබුණු බව
දන්නා අයෙකුට
දැන් සිටින්නේ
මා පමණකි

ගිනියම

ටකරම් වහල ගිනියම් ය-
දරාගත නොහි උණුහුම් ය
මුළුතැන් ගෙය.

ගිනියම් කොන්ක්‍රීට් ටැංකියෙන්,
බාගෙට වැහෙන කරාමයෙන්,
ගිනි රත් වතුර බිඳු වැටේ ය,
ඇලුමිනියම් බේසමට.