Category Archives: කතන්දර කුරුල්ලෝ

පිළිස්සුම් රෝගියා

18051779_10202882651222892_37277007_n

 

වේලාව සවස හතරයි තිහට ආසන්න වී තිබුණි. දහවලෙහි වූ අධික උණුසුම ඒවනවිටත් පහව ගොස් තිබුණේ නැත.

උණුසුමත් තුනේ බෙහෙත් වේලේ බෙහෙත් මතත් නිසා බොහෝ රෝගීන් නින්දට ගොස් සිටි හෙයින් පහේ වාට්ටුවේ වූයේ දැඩි නිහඬබවකි.

ගිලන් ඇඳ මත වාඩි වී, නවාගත් දණ මත තබාගත් අතින් යුතුව පිළිස්සුම් රෝගියා බලා සිටියේ ය. සැන්දෑ හිරු රැසින් එලිය වූ කොළ පැහැ අඩ බිත්ති සහ ඇඟිලි සලකුණු කිලිටි ලකුණෙන් යුතු සුදු කුලුනුත් කොරිඩෝරයට එහායින් වූ කණ්ඩිය කැපූ තැනත්, එහි වවා තිබුණු රෝස පඳුරුත් , ඊට පහළින් වූ පිට්ටනියත් පසුකර ඈත දුරින් පෙනෙන වියලි කඳු දක්වා ඔහුගේ ඒ බැල්ම විහිදී තිබුණි.

ඔහුට ගෙදර සිහි විය. “අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඔහු පිළිස්සුනු හැටි සිහි කළේ ය. ආප්ප තාච්චිය රත් කළ භූමිතෙල් ලිපේ ගින්දර මුහුණට විද්ද ආකාරයත්, ඇස් නිලංකාර වූ හැටි සහ දැවිල්ලත්, පුළුටු ගඳත් ඔහුට සිහි විය. “චෝව්! චෝව්! චෝව්! …” යනුවෙන් දෙමළ කඩේ මුදලාලි කෑගැසූ අයුරුත්, ආප්ප බානා තෙක් බංකුවේ වාඩි වී බලා සිටි පිරිසගේ බිය පත් මුහුණුත් ඔහුගේ සිහියට ආවේ ය.

වේදනාව නිසා ඇස් කිටි කිටියේ පියව යන විට, මුහුණට එබුණු රවුල් කාරයාගේ මුහුණේ ඉන්නෙකු විය.

කන් අගුල් වට්ටන “සෝ” හඬකින් අවට කලබලය යටපත් වනු ඔහුට ඇසිනි. තමා ක්ලාන්ත වීමට ගියේ මස් කරවුණු පුළුටු ගඳ නිසා මිස වේදනාව නිසා නොවන බව ඔහුට සිතුණි.
මස් පිළිස්සෙන පුළුටු ගඳ, ඒ මොහොතේ දැනුණු අයුරින් ම ඔහුට සිහි විය. ඔහුට බඩවැල් නටන්නාක් බඳු හැඟීමක් ඇති විය.

ඔහු එය අමතක කරන්නට උත්සාහ කළේ ය. එය සිහිවන හැම විටෙකම වාගේ මෙන්, මෙවෙලේත් ඔහුගේ අතැඟිලි තුඩු, තවමත් යන්තමට අමු තුවාල කබොල මත දැවටිණි. තමා ගේ මුහුණ දැන් කුමන අයුරින් පෙනෙනවා ඇත්දැයි ඔහු සිතුවේ ය.
පිලිස්සුණු සමේ රළුව අතට දැනෙත්දී ඔහු ගේ අතැඟිලි පිළිකුලෙන් පහතට වැටුණේ ය.
මුහුණ විරූපිව ඇති ඔහුට සිතුණි.

ඔහුගේ දෑස ට කණාටු රෝස ගස්වල පිපී තිබූ මල් හසු විය.

දැන් කිසිදු කෙල්ලක තමා හට කැමති නො වෙතියි ඔහු ට සිතිණි.

ඔහුට ඇගේ එළලු පැහැ මුහුණ සිහි විය. වාට්ටුවේ කෙළවර බිත්තියේ ඔරලෝසුව දෙස ඔහුට බැලුණේ ඉබේටම ය.

වෙලාව පහ ට පහ ලෙස දැක්වුණි.

“තව වෙලා තියෙනවා. ” ඔහු තමාටම කියා ගත්තේ ය. ඊළඟ බෙහෙත් වේල දෙන්නේ හයට ය.

තව ස්වල්ප වෙලාවකින්, නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙනු ඇත.

“ගෙදර තාම දන්නේ නෑ..” ඔහුට මතක් විය.

ඇය ඔහුගේ මුහුණට එබෙන ආකාරයත්, ඇගේ නැහැ පුඩු වලින් පිටවන හුස්ම, තම උඩු තොලේ වදින අයුරුත් ඔහු සිහි කළේ ය. ඇගේ මෘදු ඇඟිලි තුඩු, ඔහුගේ තුවාල කබොල සීරුවට අල්ලා බෙහෙත් ගල්වන ආකාරයේ ඇත්තේ ද, වෙන රෝගීන්ට නො දක්වන දයාර්ද බවකැයි ඔහුට සිතී තිබුණි.බෙහෙත් ගලවන ගමන් ඇය රිදෙනවා දැයි අසා නිහඬ වන්නේ “අනේ.. රිදෙනවාද?.. මම හෙමින් බෙහෙත් ගානනම්..” යයි අනෙක් රෝගීන් ඉන්න තැන කීමට බැරි නිසා යයි ඔහු සිතුවේ ය.

පැමිණි දෙවැනි දවසේ, ගෙදරට දන්වන්න ඕනෑ නේදැයි අසන ගමන්, “ඔයා බැඳලා ද?” යයි ඇය ඇසූ අයුරු ඔහු සිහි කළේ ය.

තව කාලයක් තමන්ට රෝහලේ රැඳී සිටීමට වනු ඇතැයි ඔහුට සිතුණි.

ඇගේ නම ඇසීමට ඔහු තුල වූ තදබල ආශාව මඩ ගැනුණේ ලජ්ජාවෙනි. මොකක්දෝ හීන මාන පසුබෑමකිනි.

වාට්ටුවේ ලෑලි පටි බාග දොර හැරුණි. අනෙකුත් නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙමින් සිටියහ.

“අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඇය නො සිටින්නට මේ දහ දවස ගෙවීම එතරම් ලේසි නො වන්නට තිබුණි.
—————————–

අන්තිමේදී ඊළඟ බෙහෙත් වේලත් රැගෙන ඇය පැමිණෙන විට, ඔහු සිටියේ සිටි ඉරියව්වෙන් ම කිරා වැටෙමිනි. හිරු තව දුරටත් බැස ගොස් තිබුණු අතර, වාට්ටුවේ කෙටි බිත්තිවල දිගා වී සිටි කළු හෙවණැලි, වාට්ටුවෙන් පිටත බිම පත බෑවෙමින් සිටියහ.
මලානික සුදු එළිය පතුරවමින්, වාට්ටුවේ ලයිට් පොලු දැල්වී තිබුණි.

වාට්ටුවේ නේවාසිකයන්ට පිලිවෙලින් බෙහෙත් වේල් දෙමින්, ඇය ඔහු ගේ අසලට පැමිණ බාහුවට අත තැබුවා ය. ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

“බය වුණාද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

ඔහු ද සිනාසුණේ ය. අවුල් වූ කෙස්ස, ඇඟිලි තුඩු පනා පහරකින් පිළිවෙල කරගැනීමට අත හිස කරා ගියේ ද ඉබේට ම ය.

ඇගේ රවුම් මුහුණත්, වටකුරු ගෙලත්, නෙරූ ලැමත් අඩ අඳුරේ පෙනුණේ පින්සලයකින් ඇන්දාක් මෙනි.

“බලමු තුවාලේ..” ඇය කීවේ ඔහුගේ මුහුණ නිකටින් අල්ලා විදුලි ආලෝකය දෙසට හරවමිනි.ඇගේ ඇඟිලි තුඩුවල ස්පර්ශය විඳිමින් ඔහු ඇස් පියා ගත්තේ ය.

“දැන් හොඳයි නේ… ” ඇය කීවේ තුවාල කබොල මත ආලේපයක් තවරමිනි. පුරුද්දට මෙන් වේදනාත්මක ඉරියව්වක් මවමින් ඔහුගේ මුහුණේ මස් පිඬු ඇකිලිණි.

“දැන් හොඳයි… ඔය බොරු කරන්නේ..රිදෙන්න විදියක් නෑ ” ඇය කීවේ ඇස් නටවමිනි. ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේ ය. ඇය පිටිපසින්, ඉහලින් වූ විදුලි එළිය දුන් අසීරුවෙන්, ඔහුගේ දෑස් පුංචි වී ය.

“මිසී….” ඔහු ඇය ඇමතුවේ ය. “මට කවද විතර ගෙදර යන්න පුළුවන් ද මිසී?”

“අපි දොස්තර මහත්තය ආවම අහමු..” ඇය කීවේ, ඉහ ඉද්දර කනප්පුව මත වූ වීදුරුවට වතුර පුරවමිනි. “ඇයි.. ගමේ ගෑනු ළමය බලන් ඉන්නවද?”

“අපෝ නෑ..” ඔහු වහා ම කීවේ ය. තමාට අහන්නට ඕනෑ වූයේ ඇගේ නම වුවත් කියවුනේ අනෙකක් බව කීමට ඔහුට ඕනෑ වීය.

බෙහෙත් පෙති දෙක ඇගේ අත්ලෙන් ඔහුගේ අත්ලටත්, ඉනික්බිති ඔහුගේ මුවටත් වශයෙන් මාරු විය.

“දොස්තර මහත්තය ආවම අහමු… කොහොමටත් තව දවසකට දෙහෙකට වඩා ඉන්න වෙන්නේ නෑ..” ඇය කීවේ ඊළඟ රෝගියා කරා යාමට සැරසෙමිනි.

“අනේ ඩිංගක් ඉන්ඩකෝ..” යනුවෙන් කීමට ඔහු තුල වූ උවමනාව ද සමඟින් බෙහෙත් පෙති උගුරෙන් පහලට බැස්සේ ය.

“මිසී… ”
ඇය ආපසු හැරී බැලුවා ය.

“මිසීගේ නම මොකක්ද?”

“මොකටද?… ” ඇය පෙරළා ඔහුගෙන් ඇසුවා ය.

“මිසී වගේමයි මගේ නංගිත්…” ඔහු කිවේ ය.

“නංගිගේ නම මොකක්ද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

“චාන්දනී..” ඔහු කටට ආවක් කිවේ ය.

“මගේ නම නාමලී ..”

තමන්ට නැගණියක් නැති බව ඉක්බිති ඔහු සිහි කළේ ය. සිටියද තමන් උපන් පරිසරය අනුව ඇය ට රංජනී, සුසිලා වැනි නමක් විනා නාමලී වැනි නමක් හිමි නො වෙතයි ඔහුට සිතුණි.

ඒ නම් ද ඒ පරිසරය තුල, රංජනියා, සුසිලෝ ආදී ලෙස තැලී පොඩිවී බෙලෙක්ක වී යනු ඇත.

ඇය ඊළඟ රෝගියා වෙත ට යනයුරුත්,අවසාන රෝගියා දක්වාම පිලිවෙලින් ගොස් වාට්ටුවෙන් නික්ම යන අයුරුත් ඔහු බලා සිටියේ ය.
—————————–

එදා රෑ ඔහුට වෙනදාටත් වඩා නිදි නැති රාත්‍රියක් විය.

කඩේ රේඩියෝවේ නිතර වාදනය වන මගේ නාමලී ගීතය ඔහු සිහිපත් කළේ ය.
නාමලී එක්ක සුරියවැව යන්නට ඕනෑ යයි ඔහුට සිතුණි.

නාමලී සහ ඔහු මනාල යුවලක් ලෙසට සුරියවැව යන අයුරු ඔහු සිතින් මවාගත්තේ ය.

ගමේ ගැහැනුන් ගේ රබන් සද්දය අසමින් දෙපස එරමිණියා ගාලින් යුතු දුවිලි වැකි ගුරු පාර දිගේ සෙමින් යන ගෙම්බා කාරයත්, ඒ පසුපස සහ දෙපස එල්ලී, කාර් රියත් සමඟම දිව යන ගමේ කොල්ලන් රෑනත් ඔහුට පෙනුණි.

ඔහු තමා සමීපයේ වාඩිගෙන සිටින, මනාලි වෙස් ගත් නාමලිගේ අතක් ගෙන තම කලවය මත තබාගත්තේ ය.
නාමලී ඔහු දෙස කෝල බැල්මක් හෙලුවා ය.

කාරය ගුරු පාර දිගේ දුහුවිල්ල කාගෙන ගොස් අන්දර වැට අසල නැවතුණි. සමර ගා ටකරම් හෙවිලිකළ නිවාස ඉදිරියේ ආයිත්තම් වූ නෑසියන් මෙන් ම ළමා සාරියකින් සැරසුණු බාලිකාවන් සිවු දෙනෙකු ද විය.
වසර කිහිපයකට පෙර පරලොව ගිය අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් ද අතින් ගෙන ඉදිරියෙන් ම සිටිණු ඔහු දුටුවේ ය.

රතිඥ්ඥා පුපුරන්නට විය.

කාරයේ රියදුරා වහාම රියෙන් බැස ඔහු සිටි පැත්තේ දොර විවර කළේ ය.

වෙඩි බෙහෙත් සුවඳ දසත පැතිරුණි.

ඔහුගේ කලවය මත වූ නාමලිගේ අත කෙමෙන් දැඩිවනු ඔහුට දැනුණි.

වෙඩි බෙහෙත් සුවඳ මස් පිළිස්සෙන පුළුටු ගඳකට හැරුණේ ය. මුහුණ පිළිස්සෙනු ඔහුට දැනුණි.

ඔහුගේ කලවය මත වූ නාමලීගේ අත ක්ෂණයකින් ඉවත්විය.

නාමලී කාරයේ දොර හැරගෙන ගුරැ පාර දිගේ ආපසු දුවන්නට වුවා ය. නාමලී නැවත්වීමට උත්සාහ කළ ඔහුට, කාරයේ බිම වැටී තිබූ මල් කළඹ පෑගුණි.

නෑසියන්ගේ කුහුලෙන් පිරුණු මුහුණුත්, වික්ෂිප්ත රියදුරාත් ඔහුගේ දෙනෙතට හසුවිය.
ක්ෂණයකින් රියදුරාගේ මුහුණ වෙනස්වී, දෙමළ කඩේ මුදලාලිගේ මුහුණ එතනින් මතුවිය.

ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

වාට්ටුවෙන් පිටත අරුණාලෝකය පැතිරෙමින් තිබුණි.
—————————–

වෛද්‍යවරයාගේ ඇඟිලිවලින් ඔසවන ලද නිකටින් යුතුව ඔහු පරීක්ෂණ කාමරයේ වහලය දෙස බලා උන්නේ ය.

ගිනි දවාලෙත් නිරිවස්ත්‍ර විදුලි බුබුලක් සුදු එළිය විහිදුවමින් දැල්වෙමින් තිබුණි. කොහොමත් හොඳින් එළිය වී තිබූ ඒ කාමරයට විදුලි බුබුලේ ආලෝකය නිනව් නැතිව තිබුණි.

“මේ බෙහෙත් දිගටම බොන්න… ටික කාලයක් යනකම් අව්වට නොයා ඉන්න එක තමයි හොඳ… ”

වෛද්‍යවරයා ඔහුගේ නිකට අතහැර තුන්ඩුවක යමක් කුරුටුගෑවේ ය.

“දැන් කෙළින්ම ගෙදර ද යන්නේ.. ?”

ගෙදර… ඔහුට ගෙදර සිහි විය. කාස රෝගයෙන් හූරණ ලද පපුවෙන් යුතු තාත්තාත්, කසාද නො බැඳී අක්කාත්, ටකරම් හිල් වූ වහලත්, මැරෙන්නට පන අදින ගොනාත් මතකයට ආවේ ය.

” ඔව් මහත්තය… දෙකේ බස් එකේ යනවා සූරියවැව… ”

“හ්ම්… මාසෙකින් එහෙ ඉස්පිරිතාලෙට පෙන්නන්න… ”

“මහත්තය… ” ඇසීමට තිබූ වැදගත් ම ප්‍රශ්නය ඊළඟට ඔහු ඇසුවේ ය.

“මේ කැළල දිගටම තියෙයි ද මහත්තය ?…”

වෛද්‍යවරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේය. හකුපාඩා මතුවූ මුහුණත්, අපිළිවෙලට වැවුණු කණාටු රැවුලත් වෛද්‍යවරයාගේ දෙනෙතට හසුවිය.

“කැළල …. හ්ම්… කැළල නේද ?” ඔහු රෝගියාගේ මුහුණේ වම්පස හරවා යළිත්, වියලී ගිය තුවාල කබොල්ල බැලුවේ ය. වම් ඇසත්, නාසයත් අසල සිට නිකට ආසන්නයට ම පැතිරී ගිය රැළි ගැසුණු සම් කැටිය දෙස බලා නළල රැළි කරගත්තේය.
“කැළල නේද ?… අපි බලමු..”

ඉනික්බිති “දැන් යන්න පුළුවන්…” කියන්නට මෙන් හිස සැලුවේය.

නාමලී ඈත කොනක වූ මේසයක් අසල වාඩිවී යමක් ලියමින් සිටිනු රෝගියාගේ දෑසට හසුවිය. තමා යන බව කියූ විට ඇයට දුක හිතෙනු ඇතැයි දුකක් මෙන් ම සතුටක් ද ඔහුගේ සිතේ ඇඳී ගියේ ය.

—————————–

රෝහලට ගෙන ආ ඇඳුම් කැඩුම් අතුරින් හොඳ යයි කිවිය හැකි සරමක් හා කහ ගැහුණු කහ පැහැති කමිසයක් ඇඳගත් රෝගියා, පහේ වාට්ටුව දිගේ ඇවිද ආවේ ය.

ඉතිරි රෙදි පෙරෙදි වූ ඉටි කවරය තිබුණේ කිහිල්ලේ ය.

වතුර ගා පිරිමැද පීරා පිළිවෙලක් කළ කෙස්ස දිලිසෙමින් තිබුණි.

නේවාසිකව සිටි එකොළොස් දවසට යන්තම් දැන හැඳිනිකම් ඇතිකරගත් දෙපස ඇඳන් දෙකේ සිටි රෝගීන් දෙදෙනාගෙන් තවමත් නේවාසිකව සිටි රෝගියාට ඔහු සමු දුන්නේ ය.

“ආයේ කෙළින් ම ගෙදර..? ”

ඔහු එසේ බව කියන්නට හිස වැනුවේය.

“යන්නම්… ”

“මදැයි ඔයින් ගියා.. ” වකුගඩු අමාරුකාරයා තමන් ගේ සැත්කම් කැළල අතගාමින් ඔහු දෙස බලා සිටියේ ය.

—————————–

පහේ වාට්ටුව කෙළවර, කෙටි බිත්තියකින් වෙන්කළ කාමරයේ මේසයක් අසල වාඩිවී, නාමලී යමක් ලියමින් හුන්නා ය. ඇය අසල සිටි අනෙක් තුරුණු හෙදිය බෙහෙත් ලේබල කියවමින් සිටියා ය.

ඔහු මොහොතක් ඔවුන් දෙස බලා සිටියේ ය. නිකට පපුවට බර කරන් සිටි ඇගේ මුහුණ වඩාත් රවුම් සහ මටසිළුටුවට ඔහුට පෙනුණි.
ඇගේ දෙතොල් තරව පියවුණු ගමන් විය.

ඔහු හදවතින් වැළඳගන්නට මෙන් ඇය දෙස බලා සිටියේ ය.

තව ටික දිනක් හෝ රෝහලේ ඉන්නට තිබුණා නම් යයි ඔහුට සිතුණි.

අනෙක් තුරුණු හෙදිය හිස ඔසවා තමන් දෙස බලා සිටින බව ඔහුට වැටහුණේ ටික වෙලාවකට පසුවය.

බෙහෙත් ලේබල කියවීම නතර වූ හෙයින් නාමලී ද හිස ඔසවා බැලුවාය. කතා කිරීමට වචන සොයමින් ඔහු වියලු උගුර තෙමෙන්නට කෙළ තලියක් ගිල්ලේ ය.

“මිසී…”

“ඔව්…. ” ඇය ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලා සිටියා ය.

” මිසී…” තමන් යන බව කියන්නට වචන ගලපමින් ඔහු තව මොහොතක් තාවර වුණේ ය. ඇයට දුක නොහිතෙන සේ යන බව කියන්නට ඔහුට ඕනෑ විය.

“මගේ ටිකට් කැපුවා… මං යන්නයි කියල… ” ඔහු හැකි උපරිම ප්‍රසන්නතාවයට මුහුණ පත්වෙන සේ සිනාසුනේ ය.

“ආ…”ඇය සිනාසුනා ය .

“හොඳයි .. හොඳයි… එහෙනම් යන්නකෝ.. ආයේ පුච්චන් එහෙම මෙහෙ එනවා නෙමෙයි.. ”

ඔහු ගල් ගැසී බලා සිටියේ ය.ඔන්චිල්ලාවක ඉහළ ගොස් යළි පහළ එනවිට දැනෙන හිස් බව ඔහුගේ කුසට දැනුණි.

“හා හරි එහෙනම්… යන්න.. ”

ඇය යළිත් කීවා ය.

ජලය පිරි කලයක් බිම අතහැරි බිඳී විසිර යන්නාක් මෙන් ඔහු බිඳී විසිරි ගියේය.

අර අමුතු හිස්කම බඩේ සිට පපුවට පැතිරෙද්දී ඔහු ආපසු හැරුණේ ය.

—————————–

කොරිඩෝරයෙන් පිටත ගිනි අව්ව විසින් දවමින් තිබුණි.

කණාටු රෝස ගස් අතරින් පෙනෙන වාට්ටුව දෙස යළිත් ඔහු හැරී බැලුවේය.

නාමලීව එතනට පෙනුණේ නැත.

හිස තවන ගිනි අව්වෙන් මුවා වන්නට, ඇඳුම් කැඩුම් වූ ඉටි කවරය සහිත අතෙන් හිස මුවා කරගනිමින් ඔහු පිට්ටනිය හරහා ඇවිද ගියේ ය.

“එයාට තව ලෙඩෙක් හම්බවෙයි…. ” ඔහු නාමලී ගැන සිතුවේ ය. “නර්ස්ල ඉන්නේ ලෙඩ්ඩු බලන්න තමයි..”

“කැළල… ” ඔහු ඊළඟට සිතුවේ ය. “ගෙදර ගිහින් ගොඩ වෙදකම් කරල මකා ගන්නවා…”

විනාඩි විස්සක්

time_machine_by_sparco2-d5d5jwc

එය ගිම්හානයේ අතිශය උෂ්ණාධික දවසකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ද ඉක්මවා තිබූ හෙයින් මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නාන බේසමේ බැස වයින් වීදුරුවක් විදිමින් සිහිල් වීමට ය.

මම නො ඉවසිල්ලෙන් උදුනේ කාල මාපකය දෙස බැලීමි. ගතවී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණි. ඉඟුරු සහ ලෙමන් විස්කෝතු උදුනෙන් බෑම සඳහා තවත් විනාඩි විස්සකට ආසන්න කාලයක් ඉතිරි වී තිබුණි.

ඒ පිළිබඳව කොහොමත් ම විස්වාසයක් තිබුණේ නැත. ඬේන් උදුණේ මාපකය සෙල්ලම් ඇන්ජිමක කොටසක් යැයි සෙල්ලමට ගෙන අබිලි කර පැය විසි හතරක්වත් ගතවී තිබුණේ නැත. සැමියා විසින් එය යථා තත්වයට පත් කළත් එය මගේ ප‍්‍රකෝපයෙන් පුතු මුවා කිරීම උදෙසා කළ යන්තම් ඇටවීමක් පමණක් ම බවට මා තුළ වූයේ ප‍්‍රබල සැකයකි.

වේලාව ගෙවෙන තෙක් මම මේසය පිසදමන්නට වූයෙමි. මේසය මත වැටී තිබූ කෝන්ෆ්ලේක්ස් කැබලි සහ සීනි කැට පිළිවෙළකට ඉවත් විය. මයිකල් , ඬේන් සහ මම සිනාසී සිටින ඡුායාරූපයක ගෑවුණු සෝස් පැල්ලම්. සමාන්තර විශ්ව, පිටසක්වලයන් ආදී පිළිගත නොහැකි දේ පිරුණු මයිකල් මහත් අභිරුචියෙන් කියවන ඉපැරණි විද්‍යා ප‍්‍රබන්ධ සඟරාවක්. ඉන්පසු විසිතුරු කෝප්ප සහ සෙරමික් පිසදැමෙන වෙලාව. මේ මළ ඉලව් තෑගි වශයෙන් වරින්වර මට ගෙනවිත් දුන්නේ සැමියා විසිනි. කරදරේ.. දැන් ඒවායේ දූවිලි රැස්වෙත්දී පිහින්නට ඕනෑත් මමමයි.!

මම යළිත් උදුනේ කාල මාපකය දෙස බැලීමි. විනාඩි විස්සයි.මෙතරම් වැඩ ප‍්‍රමාණයකයට පසුවත්. මේ උලව් කාල මාපකය කැඞී ඇත. එය යථා තත්වයට පත් කලැයි තාත්තා සහ පුතා මට කර ඇත්තේ මහ බොරුවකි.
ඕන කෙහෙල්මලක් වෙච්චාවේ.. මම නාන බේසම වෙත යායුතුය. උදුන කොහොමටත් නියමිත වේලාවෙන් පසුව ස්වයංකී‍්‍රයව අක‍්‍රීය වේ. බිස්කට් අනවශ්‍ය තරමේ දුඹුරුවක් ගන්නේ ඊට පසුවය. තාත්තා සහ පුතාට කරවුණු බිස්කට්. හොඳ වැඬේ.. අම්මාට බොරු කිව්වාට..

මුළුතැන්ගෙයින් පිටව යමින් මම රාක්කය මත වූ වයින් බෝතලය සහ කස්කුරුප්පුව අතට ගත්තෙමි.

එක්වරම දොරේ සීනුව නාද විය. ශාප කරන අපහාසාත්මක අකුරු හතරක් මුමුණාගනිමින් මා දොර විවර කළේ පැමිණියේ කවුරුන් වුවත් නිවස තුළට පැමිනෙන්නෙක් නොවේවායි පතමිනි.

පුදුමයකි. විවර වූ දොර පිටුපස කිසිවෙකු වූයේ නැත. දොර සීනුව නාද වූ බව මට සහතික කළ හැකිව තිබුණි. මට විහිළුවක් කිරීමේ අරමුණින් දොර සීනුව නාද කර සැඟවීමට ඬේන්වත් නිවසේ සිටියේ නැත.
දොර සීනුව නාද කළ තැනැත්තා කවුරුන් වූවත් ඔහුට හෝ ඇයට තබා බළළෙකුටවත් සැඟවිය හැකි තැනක් අසලක තිබුණේත් නැත.

මම වේගයෙන් දොර වසා දැමීමි.

ඉනික්බිති සිහින් හඩක් නැගුණේ මුළුතැන්ගෙය දෙසිනි. අතෙහි වූ බෝතලය සහ වීදුරුව සාලයේ මේසය මත තබා මම මුළුතැන්ගෙයට එබුණෙමි.

දෙයියන්ට ඔප්පුවෙච්චාවේ ගෑණියෙක්.! අමුම අමු නිර්වස්තරෙන්!!. මට කෑ ගැහුණේ නිරායාසයෙනි.

‘‘ඔහේ.. කවුද ඔහේ..? මොන උලව්වක් ද මගේ කුස්සියෙ කරන්නේ?’’

මට පිටුපා උදුන අසල සිටි බැවින් මෙතෙක් මට මුහුණ නොපෙනූ ගැහැනිය මා දෙසට හැරුණි.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.!.මේ මමමයි. අඩක් හිස් වයින් වීදුරුවකුත් අතැතිව. ඒ මදිවාට හෙලූවැල්ලෙන්.!!

මගේ හදවත කටට ආවාක් බඳු හැඟීමක් මට ඇතිවූ අතර, කටට ආ හදවත ඉන් ඉවතටද පනිතයි බියෙන් මෙන් මගේ අතක් මගේ මුව වසාගත්තේය.

ගැහැණිය..නෑ.. මම .. නෑ නෑ.. මම වගේ මොකක්දෝ දෙය සිනාසුණාය..

‘‘විනාඩි විස්ස ඉවරයි… ඕ ගෝඞ් ඩාලිං.!. ඔච්චර පුදුමෙන් මා දිහා බලන්න එපා..’’

යම් අපරාධකාරී කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයක් ඇතැයි මට එක්වරම සිතුණි. මේ මොකක් හො දෙය මේ සිදුවූ දෙය පිළිබඳව මා වාගේම පුදුමයෙන් නම් මේ සැකය අඩු වෙන්නටවත් තිබුණා. එහෙත් මේ ගැහැණියට වගේ වගක් නැතිවීම ම මදෑ.. පසුගිය දිනවල අසන්නට වූ කොල්ලකල්ලි පිලිබඳ අප්‍රසන්න කතාන්දර මගේ මතකයට ආවේය. දවාලට තනියෙන්ම ඉන්න ගැහැණුන්ගේ බෙලි කරකවන බියකරු කල්ලි.

මම ඉදිරියට පැන සයිඞ්බෝඩය මත වූ පිහිය අතට ගතිමි.
ගැහැණිය කලබල වූවාය.
‘‘ ඕ.. පැත්තකට දාන්න පිහිය..මට පුළුවන් පැහැදිළි කරන්න.. ප්ලීස්..’’
එහෙත් මම පිහිය උරුක් කළෙමි.
‘‘ අත් උස්සනවා.!. දැන් හෙමින් වාඩිවෙනවා..’’
ගැහැණිය මේසයේ අනෙක් කෙළවරේ වූ පුටුවක අගිස්සෙන් වාඩිවූවාය.
‘‘දැන් කියනවා කවුද ඔහේ?’’
‘‘ මම ඔයා.. මේරියන්’’
‘‘මොකක්?? මම මෙතන ඉන්නවා ඔහේ ඉස්සරහපිට හොඳ සිහියෙන්.. මම බීලත් නෑ.. බොන්න හිතූ පමණින් වෙරි වෙන්නෙත් නෑ..ඇත්තත කියනවා.. කවුද තමුසේ? හහ්.. වඩා හොඳදේ පොලිසියට කියන එක වෙන්ඩ ඕන’’
‘‘ මම ඔයා මේරියන්.. විනාඩි විස්සක් ඔයාට වඩා කළින්..’’
‘‘මොකක්??’’

ගැහැණිය හිසේ අත තබාගත්තාය. ඒ පැහැදිළි කිරීමට අපහසු කරුණක් අරභයා මා දක්වන ඉරියව්වම දක්වමිනි.

‘‘අද උදේ වෙනද වෙලාවටම ඔයා නැගිට්ටා.. ඉන්පස්සේ පුරුදු විදිහට මිස්ටර් රස්කින්ව එළියට දැම්මා.. එයා අළුත්ම බුමුතුරුණු සූරලා තිබුණු නිසා ඔයා හිටියේ තරහින්.. ඉන් පස්සේ ඬේන්..එයා පහළට ආවට පස්සෙ..’’

‘‘ නවත්තනවා.. ’’ මම කෝපයෙන් පැවසීමි. ‘‘ඔහේ දවස පුරාම මගෙ ගැන ඔත්තු බැලූවා. ඊට පස්සේ මම වගේ වෙස්වලාගෙන ආවා.. ඔහේට පුළුවන් වෙච්චි දේ්වල් වාර්තා කරන්න.. ඒත් ඔහේට බෑ මම ඊළඟට කරන්න හිටපු දේ කියන්න.. මොකද තමුසේ මම නොවන නිසා…’’ මම ගැහැණිය දෙස ජයග‍්‍රාහීව බැලීමි.
ඇය සිනාසුනා ය.
‘‘ ඕ.. ඔයා ලෑස්තිවෙලා හිටියේ විනාඩි විස්සකින් නාන බේසමට බහින්න..හරියටම මේ මම කළා වගේ.. ’’
‘‘මොකක්?’’
‘‘ ඉස්සෙල්ලා ඔයා මාව විස්වාස කරන්නම වෙනවා මේරියන්..’’ ඇය කීවාය. ‘‘ ඒක ලේසියෙන් සිදු නොවන බවත් මම දන්නවා.. මොකද මම ඔයා නිසා..ඇත්තම කතාව මම ඔබට කියන්නම්..ඒ වගේම මම මෙච්චර වෙලා කිව්ව හැම දෙයක්මත් ඇත්ත..’’

‘‘ ඒක එහෙම වෙන්ඩම ඕනෑ..’’ මම කීවෙමි. ‘‘ මොකද මට බොරු කීම පේන්න බෑ.. ඔහේ මම නම් ඔහේටත් ඒක එහෙම්ම වෙන්න ඕනෑ..’’
ගැහැණිය සිනාසුනාය.

‘ සත්තකින්ම..මේ අහන්න මේරියන්.. හැමදේම පැහැදිළි කරන්න ලේසි නෑ …ඒත් බැරිවෙන එකක් නෑ.. අපේ ලෝක දෙක එකිනෙකක ඡායා පිටපත් වගේ සමානයි..මේ උදුන පවා..’’

(මම පිහිය මේසය මත තැබුවෙමි. ඒත් හදිසියකට ගතහැකි දුරකින්..)

ඇය උදුන දෙසට අත දිගුකළා ය.

‘‘ මේක කාල යන්ත‍්‍රයක් මේරියන්.. ඒකත් මේ වගේම මේ ගෙදර ගනිත්දි ම තිබුණු දෙයක්..

අත්වැරදීමකින් හරි මොකක් හරි දේකින් කි‍්‍රයාත්මක වෙනකම් ඒක සාමාන්‍ය උදුනක් විතරයි… අපි, ඒ කියන්නේ මම මයිකල් සහ ඬේන්..ඔබ මේ සිටින පවුල වගේම පවුලක්..’’
‘‘ ඒ කියන්නේ සමාන්තර….’’ මම ඇසීමට පටන්ගත්තා පමණි.
‘‘ මම දන්නෙ නෑ මේරියන්.. මම ලේඛිකාවක් වුණත් කිසිදාක ඔවැනි දේ විස්වාස කළේ නෑ..ඒ වගේම විද්‍යාත්මක සංකල්ප මට කවදාවත් සමීප වෙලත් නැහැ..ඔබ ඒක දන්නව මේරියන්.. මොකද ඔබ මම නිසා..’’

මම හිස වැනීමි. ඔව් මට විද්‍යාව අප‍්‍රසන්නය. දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට ලක්කරන පාපකාරී විෂයක් වීමම මදැයි.

‘‘ කොහොම නමුත්..අපි ඔබට වඩා විනාඩි විස්සක් ඉදිරියෙන් සිටි පිරිසක්. ඊයේ.. හරියටම මම ඔබේ මුළුතැන්ගෙයි මතුවූ වෙලාවට වඩා පැය විසි හතරකට කළින්, ඬේන් මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් හිටියා. මම හිටියේ ඇපල් පුඩිමක් තම්බමින්..’’

මම මතක් කළෙමි.ඇපල් පුඩින්. ඊයේ හවස්වරුව විනාසකළ ඇපල් පුඩිම.

‘‘ ඬේන්ට වුවමණා වුණේ මම එයා එක්ක සෙල්ලම් කරන්නයි. මම පොරොන්දු වුණා..මම වැඩ අහවර කරනකම් එයා මුළුතැන්ගෙයි සෙල්ලම් දුම්රියක් එලවමින් සිටියා.
එයා උදුනේ ටයිමරය විනාඩි විස්සක් පසුපසට කැරකෙව්වේ ඒ වෙලාවේ…’’

‘‘ ඊට පස්සේ මයිකල් ගෙදර ආවා .. ඬේන්ව බැනුම්වලින් බේරගන්න එයා ටයිමරය යාන්තම් ඇටෙව්වා..’’ මම සුසුමක් හෙළීමි. ‘‘දත් දොස්තරලා මොනවද දන්නෙ මේ වගේ දේවල් ගැන ..’’
ඇයත් සුසුමක් හෙළුවාය.

‘‘හැමදේම කිසිම වෙනසක් නොවෙන්න තිබුණා, මගේ ලෝකේ ඒ සිදුවීමට හරියටම පැය විසි හතරක් සම්පූර්ණවෙද්දි ඔයා ආයෙමත් උදුන ක‍්‍රියාත්මක කරලා ටයිමරය විනාඩි විස්සකට ළකුණු නොකරන්න..’’
‘‘ ඒ කියන්නේ මේ හැමදේම මගේ වැරැුද්ද?’’ මම ඇසුවෙමි. (කුමණාකාර ව්‍යාකූල මොහොතක වුවත් අසාධාරණ චෝදනාවන්ට ලක්වීමට මම අකමැති වීමි.)

‘‘ මේරියන්…’’ ඇය යළිත් සුසුමක් හෙළුවාය. ‘‘ මේක කාගෙවත් වැරැුද්දක් නෙමෙයි.. අපේ ලෝක දෙක අතරෙ තියෙන්නේ විනාඩි විස්සක වෙනසක්. තව විනාඩි කිහිපයකින් ඔයාගේ ලෝකෙත් ඊයේ සිදුවීමට පැය විසි හතරක් සම්පූර්ණ වෙනවා. මගේ ඬේන් ටයිමරය ආපස්සට කැරකෙව්ව වෙලාවෙම ඔයාගෙ ඬේන් ටයිමරය කැරකෙව්වා..එ්ක එහෙම්පිටින්ම අහම්බයක්…’’

‘‘ මොහොතක් ඉන්න..’’ හදිසියේ ම මට යමක් මතක් විය. ‘‘ මගෙ ඬේන් ටයිමරය විනාඩි විස්සක් පිටිපස්සට කළේ නෑ..’’
‘‘ මොකක්?? එහෙම වෙන්නෙ කොහොමද? ’’ අනෙක් ලෝකයෙන් ආ මම නොවේ මම විමතිය පළ කළා ය.
‘‘ ඔව්.. ’’ මම ජයග‍්‍රාහී ලීලාවෙන් පැවසුවෙමි. ‘‘ නෑ නේන්නම්.. එයා කළේ ටයිමරය හිර කරපු එක.. ඉස්සරහටවත් පස්සටවත් කරකවන්න බැරි විදිහට. ඔයාගේ ඬේන් විනාඩි විස්සක් පිටිපස්සට ටයිමරය කැරකෙව්වා.. මගෙ කොල්ලා ඒ වෙලාවෙම මේ ලෝකෙ ඉඳන් ටයිමරය හිරකළා..’’
‘‘ ඕ ගෝඞ් !’’ඇය හිසේ අතගසා ගත්තාය.
‘‘තේරෙන්නෙ නැත්ද? ඒක එහෙම නොවෙන්න අපේ ලෝක දෙකේ වෙලාව සමපාත වෙන්නෙ නෑ..’’
‘‘ දැන් ඊට පස්සෙ..?’’
‘‘මොනම ක‍්‍රමේකින් හරි ඔයාව ගෙදර යවන්න ඕන..’’මම කීවෙමි. ‘‘ඊට පස්සෙ මම මේ මඟුල් උදුන ගිනිතියල දානවා..’’ මම කීමි.

‘‘ ඒත් ඊට කලින්, ඔයා කොහොමද මේක තනියම තේරුම් ගත්තේ? ඔයා කියන්නේ ඔයා මට වඩා බුද්ධිමත් කියලද? ’’
ඇය ඇසුවාය.
‘‘ මේ.. ’’ මම මේසය මත වූ පැරණි සඟරාව පෙන්වූයෙමි.

එහිවූයේ සමාන්තර විශ්ව දෙකක් ගැන කතාවකි. විද්‍යා ප‍්‍රබන්ධ පිළිකෙව් කළ මට එහි වූ කතාව සැකෙවින් කියෙව්වේ මයිකල් විසිනි.

මේ අතදැකීම ඊට බොහෝ සමාන බව මට වැටහෙමින් තිබුණි.
‘‘ එකම කතාව.. ’’ මම කීවෙමි.

‘‘ මේක අපේ ගෙදරත් තිබුණා..’’ ඇය කීවාය. ‘‘මට මේ කතාව කියෙව්වෙ මයිකල් ’’ ඉනික්බිති ඇය ඇස් විශාල කරගෙන මා දෙස බලා සිටියාය.

‘‘ ඕ ගෝඞ්…!මේ කතාව ඉවර නෑ..’’
‘‘මොකක්… ?’’ මම ඇසීමි.
‘‘ඔයා මුළු කතාවම ඇහුවෙ නෑ..! නේද?, ’’ ඇය ඇසුවාය.
‘‘නෑ.. මම ඒක අහන්න කැමති වුණේ නෑ.. සමහරවිට එයා කියන්න ඇති.. එ්ත් මගෙ ඔළුවට ගියේ නෑ..’’ මම කීමි.
‘‘මේක ලූප් ස්ටෝරි එකක්..’’
‘‘ ඒ කියන්නෙ..??..
‘‘දෙවියනේ.!!.මේ වෙත්දිත් තව කොහෙහරි ලෝකෙක ඬේන් කෙනක් ටයිමරයක් කරකවලා තියෙනවා.. ඔයාට තේරෙනවද ?’’ ඇය ජනේල පඩිය මත වූ ඔරලෝසුව දෙස බැලූවාය.
’’ තව තත්පර කිහිපයකින් මම ඇවිල්ලත් විනාඩි විස්සක් ඉවරවෙනවා. ’’
ඇය කීවාය.

මම තෝන්තු ස්වභාවයෙන් අසා සිටියෙමි. විනාඩි විස්සකට එහායින්දී ලෝකය සෑහෙන්නට යහපත්ව තිබූ බව මට මොනවට ඒත්තු ගියේ ය.

නැවතත් දොර සීනුව නද දුන්නේ ඒ මොහොතේය.

දිනමිණ හි පළවූ විනාඩි විස්සක් කෙටිකතාව

“සුභ නත්තලක්!”

Christmas-Tree-Fireplace-1024-127315

(2005- 12-28*)

නත්තල් ඉවරයි. පවුලේ සාමාජිකයෝ එකතුවෙලා, අලුත් අවුරුද්ද පිළිගන්න, ගේ දොර අස් කරන දවස අදයි.

නත්තලට සුමානෙකට කළින් ඉඳල, ගෙයි ඉස්සරහ සාලේ දිලිසි දිලිසි හිටපු නත්තල් ගහට, ඔන්න අයෙමත් නිවාඩු කාලේ ඇවිත්. දිලිසෙන රිබන්වලට, ඉටි දේව දූතයන්ට වගේම තවත් නොයෙකුත් සැරසිලිවලටත්, නත්තල් ගහ මුදුණේ දිලිසෙන රිදී තරුවටත්, තව අවුරුද්දකට එළියට බහින්න ඕන වෙන්නේ නැහැ.

ඊයේ රෑ තිබුණේ, මේ ගෙදර, මේ අවුරුද්දට පවත්වපු අවසාන නත්තල් සාදේ.
හිස් බීර බෝතල් පෝලිමක්, ගෙදරින් පිටවෙලා යන්න පෝලිම් හැදිලා හිටියා. තෑගි ඔතන කොල, ඉටිපන්දම් කිරි, ඒ විතරක් නෙමෙයි, අලුතින් ම ලැබුණු තෑගිත්, පුටු උඩ, පුටු යට, මේස උඩ, මේස යට වැතිරිලා, අවසාන වුණු නත්තල මෙනෙහි කරමින් උන්නා.

රටේ කිහිප පොළක ම ජීවත් වෙන පවුලේ උදවිය ඔක්කොම හුඟ කාලෙකට පස්සේ නත්තලට මහ ගෙදරට එකතුවෙලා හිටිය නිසා, මහ ගෙදර පිරිලා ඉතිරිලා ගිහින්. තවමත් උදේ හත වුණා විතරයි. මහ ගෙදර සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් තාමත් නිදි.

වෙනද වගේම කාටත් කළින් අවදි වුණු අම්මා, නිහඬව ම තමන් ගේ වැඩ රාජකාරී පටන් ගත්තා. හිස් බීර බෝතල් ටික ලෑලි පෙට්ටියක ඇසුරුම් වුණා. ගේ පුර විසිරිලා තිබුණු තෑගි ඔතපු කොල, එක පිළිවෙලකට නැමිලා, එකා පිට එකා, මිටියක් බවට පත් වුණා. පිහි තල කෑල්ලක්, බිම වැටිලා තිබුණු ඉටි පැල්ලම් සහ ගේ බිම අතරින් ඇදෙමින්, පිරිසිදු කිරීමේ උත්සාහයක යෙදෙන්න පටන්ගත්තා.

මේ අතරේ, නත්තලට එයාගේ පවුලේ අයත් එක්ක ගෙදර ආපු ලොකු පුතා අවදි වෙලා. හිමින් හිමින් තරප්පු පෙළ බහින එයාගේ ඇස්වලට මුලින් ම අහු වුණේ, සාලයේ කොනක දිලිසෙමින් තිබුණු නත්තල් ගහ. ඊළඟට, බිම ඉඳගෙන, පොළොව පිරිසිදු කරන්න ලොකු උත්සාහයක යෙදෙන අම්මවත්.

“දෙන්න….මම ඕක කරන්නම්…”
අම්මා හැරිලා බැලුවා. ලොකු හිනා මලක් පිපුණා.

“ඕ..ඔයා නැගිට්ටද?… සුබ උදෑසනක්…!”

ලොකු පුතා අම්මගේ අතින් පිහි තලය අරගෙන බිම ඉඳගත්තා. ඒ අතරේ අම්මා, නත්තල ගහේ එල්ලලා තියෙන සැරසිලි ඉවත් කරන්න පටන් ගත්තා.
මුලින් ම නත්තල් ගහේ යට එල්ලලා තියෙන දම්වැල. ඊළඟට ඊට ඉහලින් තියෙන පුංචි දේව දුතයන් හය දෙනා. ඊට පස්සේ, පාට කරපු ෆයිනස් ගෙඩි.

මේ සැරසිලිවලින් බොහොමයක්, මේ ගෙදර දරුවෝ කුඩා කාලේදී කරපු අත්වැඩ. අම්මා ඒ එකින් එක ගලවල, කාඩ්බෝඩ් පෙට්ටිකට පරිස්සමට අසුරණ හැටි ලොකු පුතා බලාගෙන හිටියා. තමන් හදපු කඩදාසි දම්වැල්, නංගිලා දෙන්න හදාපු සුරංගනාවියෝ, මල්ලි පොඩි කාලේ හදාපු නත්තල් සීයා.

මේ සැරසිලි එකින් එක ඉවත් කරන අම්මා වගේම, ඒ සැරසිලි ඉවත් කරන අම්මා දිහා බලන් හිටපු ලොකු පුතාත්, ගතවුණු කාලය ගැන මතක ලෝකයක කිමිදුණා. පොඩි කාලේ අහිමි වීමේ දුක වගේ ම, නත්තලට ගෙදර ඒමේ සතුටත් ඒ දෙන්නට ම දෙ විදිහකට දැනෙන බව, දෙන්නටම දැනුණා.
මේ හැම සැරසිල්ලකම සැනසිලිදායක කතාවක් තිබුණා. සංකා සහගත සතුටක් තිබුණා. ප්‍රීතිමත් දුකකුත් තිබුණා.
මේ හැම දෙයක් ම ඇහැට හුරුපුරුදුයි. ඇස් පියාගෙන ඇස්වලින් අල්ලන්න පුළුවන් තරමට ම.

නත්තල් සැරසිලි අතරේ, තමන්ගේ ඇහැට නුහුරු යමක් ලොකු පුතා දැක්කා. ළදරුවෙක් ගේ ලොම් මේස් කකුලක්. නංගිලා පොඩිකාලේ ගොතපු දෙයක් ද?

ඒ ළදරු මේස් කකුල, නත්තල් ගහෙන් අම්මා ගලවගත්තේ ළදරුවෙක් වඩාගන්න තරමට ම පරිස්සමෙන්. නත්තල් සැරසිලි ගිමන්හරින කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුළේ මේ මේස් කකුල තැන්පත් කළෙත්, ළදරුවෙක් තොටිල්ලක තියන තරම් පරිස්සමෙන්.
ආදරණීය පිරිමැදීමක්. ශෝකය පමණක් ම ඇති හුස්මක්.

නත්තල් සැරසිලි ඔක්කොම ගලවල අවසාන කරපු අම්මා, අන්තිමට නත්තල් ගහ මුදුනේ තිබුණු රන් තරුව ගැලෙව්වා. අම්මා මේ යන්නේ නත්තල් සැරසිලි, ඊළඟ නත්තල දක්වා පරිස්සමට අරන් තියන්න.
ජනේලයෙන් එබුණු ඉර එළිය කැරැල්ලක්, අම්මගේ පැල්ලම් වැටුණු කම්මුලක වුණු කඳුළු බින්දුවක් දියමන්තියක් වාගේ දිලිසවලා පෙන්නුවා.

ලොකු පුතා ත් අම්මා පස්සෙන් ම කොරිඩෝව දිගේ ඇවිදන් ගියා. රත්තරන් පාට ඉර එළිය,කොරිඩෝව දිගේ සුමුදු පාවඩයක් එළලා තිබුණා.
දිව්‍යලෝකෙට යන පාර වගේ.

කොරිඩෝව කෙළවර කාමරේ, නිතර ම පාවිච්චි නොවන ලට්ට ලොට්ට තැන්පත් කරලා තියෙන රාක්කෙ ළඟට ගිය අම්මා, අයෙමත් වතාවක් ඒ ළදරු මේස් කකුල එළියට ගත්තා.

මේස් කකුලේ දාරය දිගේ මහල තියෙන ලා නිල් පාට “එම්” අකුර, ගබඩා කාමරයේ පටු ජනේලයෙන් වැටෙන ආලෝකයෙන් ලොකු පුතා ට පෙනුණා.

පොඩි මල්ලි.

ජීවත් වුණේ අවුරුදු හතරයි. එයාගේ ජීවිතේ හතර වෙනි නත්තල සමරන්න කලින්, සරම්ප හැදිලා මිය ගියා.

දෙවියනේ..! දැන් ඒක සිද්දවෙලා කොයිතරම් කාලයක් ද?

“සුභ නත්තලක් පොඩි පුතේ…!”

අම්මා කියනවා ලොකු පුතා ට ඇහුණා.

“මේ නත්තලට හැමෝම ගෙදර”

 

_____________________________________________________

( 2005 වසරේ පැවති නත්තල් කෙටි කතා තරඟයකින් ප්‍රථම ස්ථානය දිනුවේ මේ කතාව ය. ඒ  පාසලේ 09 වැනි ශ්‍රේණියේ ය. 2005 යනු අද සිට බලනකල දිගු කාලයකි.)

අහවරක් නැති කතාවක්

elderly-couple-walking-road-grandparents-walking-cane-outdoors-old-age-concept-vintage-effect-54218242

කටු වැලකට අතේ සමේ පදාසයක් ද පූජා කොට, ඒ රත්මල් අතු කැබැල්ල තලවාකැලේ ලැයිමක මල් වැටකින් ගෙන විත්, පෝච්චියක ඉන්දුවේ සති තුනකට පෙර ය. මුලින් ම පෝච්චියේ පැල වීම එක හෙලාම ප්‍රතික්ෂේප කරමින්, දුන් වතුරද නොබී  “මැරියන්!” කියාගත් ගමන් සිටි රත්මල් අත්ත අවසානයේ නිර්මලා ගේ ආදර අණසකට යටත්වී හිත හදාගෙන ජිවත් වන්නට පටන් ගත්තේ ය. පුරුදු පසෙන්  ද, පුරුදු හුළඟින්  ද, පුරුදු නෑ හිත මිතුරන්ගෙන් ද වෙන්කිරීම නිසා ඇති වූ සාංකාවෙන් සිය දිවි නසා ගන්නට ම හිතා හිටි රත්මල් අතු කැබැල්ල සනසනු වස්, නුවර එළියෙන් ම ගෙනා කහ රෝස පැලයක් ද පෝච්චිය පිටින් ම ලං කරන්නට තරම් නිර්මලා කාරුණික වූවා ය. එක ජාතියේ ම නොවුණ්ත්, කොළඹ සිට තලවකැලේට ඇති දුරට වඩා තලවාකැලේ සිට නුවර එලියට ළඟ නිසා ඒ දෙන්නා අතර මොකක් හෝ නෑ කමක් තිබෙන්නට බැරි නැතැයි ද නිර්මලා සිතුවා ය.

“ඕන්… දැන් ..හරි. පාළු නෑ හරි ද?” කහ රෝස පැළය දෑතින් ඔසවාගෙන විත් රත්මල් පෝච්චිය අසලින් තැබූ නිර්මලා, වැලි තැවරුණු තම දෑත බතික් ගවුමේ පිසදැම්මා ය.

ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී සෙනසුරාදා හවස ආ ඉරිදා පත්තරය කියමින් සිටි සිරිතුංග, පත්තරය මෑත්කර බැලුවේ ගේට්ටුව දෙස ය. ගේට්ටුව අසල කිසිවෙකුත් නො සිටි බව දුටු සිරිතුංග, නිර්මලා දෙස බැලුවේ ය. හැලී ගොස් යාන්තම් තට්ටය පෑදෙමින් තිබූ  කෙස්සේ ඉතිරි ටික හිස් මුදුනට කර කොණ්ඩා කට්ටක් ගැසූ නිර්මලා රත්මල් පෝච්චිය දෙසට නැමුණා ය.

“නෑයෙකුත් ළඟ ට ගෙනත් දීපු එකේ හිනාවෙලා ඉන්ඩ ඕන.. ”

ඇය රත්මල් ඉත්ත පැල කර තිබූ පෝච්චිය පිරිමැද්දා ය.

“දන්නවද?.. ඔයයැයි ව ගලවන්ඩ ගිහිල්ල මගේ අතේ කටුත් ඇණුනා. ”

සිරිතුංග යලිත් වරක් පත්තරය කියවන්නට වුයේ ය. නිර්මලා යළිත් වතාවක් රත්මල් පඳුර දෙස ආදර බැල්මක් හෙලා නැගී සිටියා  ය.

————————–

කෑම මේසයට හරි මැදින්, ඉහළින් කිරි පැහැති වීදුරු ගෝලෝවක්, තැම්බූ හාලේ බතුත්, පරිප්පු හොද්දකුත්, කරවල බැදුමක් සහ පොල් සම්බලක් එළිය කරමින් හුන්නේ ය. හෙලිකොප්ටර හඬක්  නගමින් ආලෝක ගෝලෝව වටා කැරකෙමින් සිටි කළු කුරුමිනියෙකු බත් දීසිය මතට ඇද වැටිණ.

නිර්මලා ඌ අතින් අහුලා මිදුලේ කළුවරට විසි කළා ය.

“කාල ඉන්ඩ..”

සිරිතුංග තවමත් හාන්සි පුටුවේ දිගෑදී හුන්නේ ය. පත්තරය ඔහු පාමුල වැටී තිබුණි. ඔහුට නින්ද ගොස් ඇතිදැයි සැක  හිතුණු නිර්මලා, සිරිතුංග වෙතට එබුණා ය.

ඔහු නින්ද ගොස් නැති බව හඟවන්නට “…හ්ම්..” ගෑවේ ය.

“යමු.. කාල ඉන්ඩ. .”

ඔහු බඩගිනි නැති බව හඟවන්නට හිස වැනුවේ ය.

“ආ… එහෙම කොහොමද? යමු යමු.. බඩගිනියි මටත්. ”

ඔහු නැගී සිටියේ ය. එහෙත් ගෙට ඇතුළුවම් දෝ නොවම්දෝ මෙන්, උළුවස්ස අල්ලාගෙන තාවර වුණේ ය.

“යං .. යං… මං බෙහෙත් බොන්ඩ ඕනේ… හෙට මාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්ඩත් තියෙනවනේ. ඒ නිසා වේලපහ නිදාගන්ඩ ඕනේ අපි දෙන්නම ..”

————————–

“පුතා… පුතාට? ”

පළමු බත් හැන්ද, ජොන්සන් පිඟානේ වූ රෝස මල් කිනිත්ත වසාගනිත්දී සිරිතුංග ඇසුවේ ය.

“පුතා කාල එන්නේ… අපි කමු”

පිඟන් හා තසිම් වාටිවල හැඳි ගැටීම නතර වූ විට, නිවෙස පුරා පැතිර ගියේ මළ සොහොන් පාලුවකි.

————————–

සිරිතුංග බත් ඇට ඇඟිලි තුඩින් පෙරළන අයුරු නිර්මලා බලා සිටියා ය. ඔහු කටවල් තුනක් කා වතුර බීවේ ය.

තවත් බත් කටක් කෑ නිර්මලා ද නැගී සිටියා ය.

————————–

” බෙහෙත්…”

වතුර වීදුරුවක් ද අතැතිව ආ සිරිතුංග, අනෙක් අතේ වූ බෙහෙත් පෙති කිහිපය නිර්මලාට දිගු කළා ය.

සිවිලිම දෙසට අයාගත් මුව දෙසට අත ලං කළ නිර්මලා, සිරිතුංග අනෙක් අතට දුන් වතුර වීදුරුව උගුරු දෙකට හිස් කළා ය.

“දැන් ඔයත් බෙහෙත් බොන්ඩ ඕන ….”

————————–

මුළුතැන්ගෙයට ගිය නිර්මලා, ගවොම් කර තුලින් බෙහෙත් පෙති කිහිපය එළියට ගත්තා ය.

ඉනික්බිති වතුර වීදුරුව යළිත්  පුරවාගත්තාය.

කාමරයේ ඇඳේ දිගාවී සිටි සිරිතුංග, ඇඳ විත්තමට කොට්ටයක් තබා කෙළින් වී හිඳගත්තේ ය.  පෙරෙත්තයක් නැතිව ම බෙහෙත් කරල් කිහිපය ගිල්ලේ ය.

“පුතා… පුතා ආවද?” ඔහු ඇසුවේ ය.

“අද යාලුවෙක්ගෙ ගෙදර නවතිනවයි කිව්වා… කෝල් කළා…”

නිර්මලා කාමරයෙන් යාමට හැරුණා ය.

“අපි පුතා ගැන මීට වඩා හොයල බලන්ඩ ඕන නිර්මලා…”

නිර්මලා දිගු සුසුමක් හෙලා කාමරයෙන් පිටව ගියා ය.

————————–

ඉස්තෝප්පු එළිපත්තේ වූ නිරිවස්ත්‍ර වොට් පහේ විදුලි බුබුල හැරෙන්නට ඉතිරිවා නිවී යනවිට තවත් අඩ පැයක් ගතව තිබුණි.

————————–

ඉස්පිරිතාල  පෝලිම දිගුව තිබුණි. දුඹුරු හැට්ටයකට කහ මල් සුදු සාරියක් හැඳ සිටි නිර්මලා සිරිතුංගවත් ඉස්සර කර කාමරය තුළට ඇවිද ගියා ය.

උපැස් පැළඳ සිටි තුරුණු දොස්තරවරිය පියකරු සිනාවක් පෑවා ය. ඇය ඉදිරිපිට මේසය මත දීප්තිමත් කහ පැහැති සෙල්ලම් වලහෙක් වීය.

“වාඩිවෙන්න…. දැන් තාත්තගේ ඔලුවේ කැක්කුම හොඳද?”

“දැන් අඩුයි නෝන.. බෙහෙත් ටික හෙම වෙලාවට දෙනවා මෙයා… ” සිරිතුංග කිවේ ය. දොස්තරවරිය සිනාසුනා ය.

“හොඳයි නේ… එහෙම තමයි ඉන්න ඕන…”

“නෝන… මේ මෙයාටත් මම වෙලාවට බෙහෙත් දෙනවා.. මතක් කළේ නැත්නම් බොන්නේ නෑ… තාම අර කකුලේ අමාරුව හොඳ නෑ නෝන”

නිර්මලා උපැස් යුවල නාසය දිගේ ඉහලට තල්ලු කරන මුවාවෙන් ඇස් කෙවෙනි පිස දැම්මා ය.

“මෙයැයි මේ තුන්ඩුවත් අරන් බෙහෙත් පෝලිමේ ඉන්ඩ. මං කකුල පෙන්නලා එන්නං…”

සිරිතුංග නැගී සිටියේ ය.

“ඔක්කොම ලෙඩ කියන්ඩ… අර වැස්ස දාට අල්ලන දණිස් අමාරුව හෙම..”

“හා.. හා.. යන්ඩ යන්ඩ පෝලිමට..එතකොට ගෙදර යතෑකි විජහට..”

නිර්මලා සිරිතුංගව වචනවලින් එළියට තල්ලු කළා ය.

————————–

කාමරය නිහඬ වී තිබුණි. කාමරයෙන් පිටත ලෙඩුන් ගේ ඝෝෂාව විය.

ඇසෙන් ගැලවුණු නිර්මලාගේ කණ්ණාඩි, උකුල මත වූ සාරි පොටෙන් පිස දැමෙමින් තිබුණි.

“දැන් සෑහෙන්ඩ හොඳයි… දෙයියන්ගේ පිහිටෙන් ජීවිතේට මුකුත් කරගන්ඩ හැදුවෙත් නෑ ආයේ.. එත් මං හොඳ හෝදිසි පිට ඉන්නේ… දැන් ඔක්කොම මතකයි නෝන. පුතාට වෙච්චි දේ ඇරෙන්ඩ අනික් ඔක්කොම මතකයි…පුතා තාම විශ්ව විද්‍යාලේ යනව කියලයි එයැයිට මතක.. පත්තරෙත් බලනව. එත්  කොයිකටත් එක්ක කියල අපිට වෙච්චි කරදරේ වගේ කතන්දර තියෙන පිටු අහක්ක කරලයි පත්තරේ කියවන්ඩ දෙන්නේ..”

“බෙහෙත් ටික වෙලාවට දෙන්ඩකෝ අම්මා..”

“මං දෙනවා නෝන. එයයි හිතන් ඉන්නේ මාත් බෙහෙත් බොනවයි කියල. එයාගේ බෙහෙත් ටික මටත් ගෙනල්ල දෙනව. මං බිව්වා කියල හිතාගත්තම බල කරන්ඩ ඕන නෑ…”

දොස්තරවරිය  තවත් තුණ්ඩුවක් ලීවා ය. නිර්මලා නැගී සිටියා ය.

“නෝන… මේ සනීප වෙච්චි හරිය ඇති නෝන. මේ ඉන්න විදිය මදැයි…එයැයිට පුතාට වෙච්චි දේ මතක් වෙන්ඩ  දෙන්න එපා.. මං වගේ නෙමෙයි.. එයැයි හරි දුර්වලයි…”

————————–

කොළ පැහැති ත්‍රිරෝද රිය මල් දෙවැට පසුකර විත් නතර විය. නිර්මලා මුලින් ම රියෙන් බැස්සා ය. සිරිතුංග මුදල් ගෙවන්නට නතර විය.

කනප්පුව මත දවසේ පුවත්පත විය. දොර හරින්නට යතුර අතට ගත් නිර්මලා, දොර හරින්නට පෙර පුවත්පත අතට ගත්තාය. හිටගෙන ම පිටු පෙරළුවා ය.

හෙරොයින් ග්රෑම් දහයක් ළඟ තබාගත් විසි තුන් හැවිරිදි තරුණයෙකු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූ පුවතක් දෙවැනි පිටුවේ විය.

————————–

ගෙදරට අඳින සැහැල්ලු බතික් ගවුමෙන් සැරසුණු නිර්මලා, රත්මල් පෝච්චිය අසල නැමී සිටියා ය.

රත්මල් රිකිල්ල උඩ, අඩක් කා නිම කළ පත්‍රයක් තවදුරටත් රසබලමින් සිටියේ පිට මැදින් රත් පැහැ ඉරක් තිබූ කළු දළඹුවෙකි.

“ආව ඉතින් අමාරුවෙන් වවාගත්තු මල් පැලේ කන්ඩ…”

නිර්මලා දළඹුවා අත මිටට ගෙන ඈතට විසි කළා ය.

ඇඳුම් අහවර කළ සිරිතුංග, ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී, දෙවැනි පිටුවක් නැති ලංකාදීපය කිවමින් සිටියේ ය.

-ප්‍රේම-

index

2015-05-05
මහත්මයාණෙනි,

ඔබ විසින් රිවි දින පුවත් පතෙහි කොටස් වශයෙන් පල කරන “ප්‍රේම” නමැති නව කතාවේ 2015-05-03 දින පල වූ කොටසෙහි සඳහන් වචනයක් සම්බන්ධවයි.  එහි කතා නායකයා වූ සුචිත සමන්පාය හට පුද්ගලයෙකු අවජාතකයා යනුවෙන් බැනවදින කොටසක් එදින එහි පල වුණා. එය කියවූ මගේ දියණිය අවජාතකයා යනුවෙන් හඳුන්වන්නේ කාටදැයි මගෙන් ඇසීමෙන් මා දැඩි අපහසුතාවයට පත්වුණා. එ නිසා මින් මතුවට මේ කතාවේ මෙවැනි යෙදුම් පල නො කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙයට අපහසුතාවයට පත් මව,

රම්‍යා එස්.


2015-05-11

මහත්මයාණෙනි,

ඔබ ලියන “ප්‍රේම” නවකතාව මගේ අට හැවිරිදි දියණියත් මහත් කැමැත්තෙන් කියවනවා. එහි පසු ගිය සතියේ පළවූ කොටසේ, කතා නායක සුචිත සමන්පාය ඔහුගේ කාර්යාලයේ ලඝු ලේඛිකාව සමඟ අනියම් ප්‍රේමයක් පවත්වාගෙන යමින්, ඇයත් සමඟ කාර්යාල වේලාවෙන් පසුව චිත්‍රපටයක් නැරඹීමට යන අයුරු දැක්වුණා. විවාහකයෙකු සහ පියෙකු වන සුචිත සමන්පාය ගේ ඒ හැසිරීම නිවැරදි නැහැ නේද? ඒ නිසා මින් මත්තට මෙවැනි සමාජ විරෝධී දෑ නොලියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙයට අපහසුතාවයට පත්,

රම්‍යා එස්.


2015-05-28

මහත්මයාණෙනි,

ඔබ මගේ කිසිදු ඉල්ලීමකට කන් නොදෙන බවයි පෙනී යන්නේ. සුචිත සමන්පාය පසුගිය සතියෙත් ඔහුගේ අනියම් පෙම්වතිය සමඟ බොරලැස්ගමුව වැවේ බෝට්ටු සවාරියක් ගියා. මෙය ඉතා කලකිරවනසුළුයි. කරුණාකර මේ කතාව වෙනස් කරන්න. සුචිත සමන්පාය ට තම වරද අවබෝධ වී බිරිඳගෙන් සමාව ගන්නා කොටසක් කතාවට ඇතුලත් කරන්න.

මෙයට කලකිරීමට පත්
රම්‍යා එස්.


2015-06-15
මහත්මයාණෙනි,

සුචිත සමන්පාය ගේ දැන් හැසිරීම අන්තිම දරුණුයි. ඔහු අනියම් පෙම්වතියගේ කීමට සිය පවුලට නොසලකා හරින්නත් පටන් අරන්. මෙවැනි අනාදර්ශමත් කතා රිවි දින වැනි ජාතික පුවත්පතක පල කිරීමෙන් අපේ දරුවන් ට ඔබ ලබාදෙන ආදර්ශය කුමක්ද? කරුණාකර මේ කතාවේ ඉදිරිය වෙනස් කරන්න.

මෙයට පීඩාවට පත් රම්‍යා එස්.


2015-06-25
මහත්මයාණෙනි,

ඔබේ අනාදර්ශමත් කතාව නිසා මේ වනවිට අපි දැඩි පීඩාවට පත්වෙලා. සුචිත සමන්පාය ඊයේ ඔහුගේ බිරිඳට පහර දුන්නේ අට හැවිරිදි දියණිය ඉදිරිපිටදී මයි. දිගින් දිගටම මෙසේ සිදුවුනහොත් බිරිඳ සුචිත සමන්පායගෙන් දික්කසාද වන දවස වැඩි ඈතක නොවෙයි.

මෙයට අගතියට පත්,

රම්‍යා එස්.


23/2 බී,

සමන්පාය,

සව්සිරි මාවත,

පොල්ගස් ඕවිට,

පිළියන්දල

2015-06-30

ආර්. සහබන්දු මහතා

රිවි දින ජාතික පුවත්පත,

විමල පුවත්පත් සමාගම,

මරදාන.

           ඔබ විසින් ලියා, රිවි දින ජාතික පුවත්පතේ කොටස් වශයෙන් පළ කරන “ප්‍රේම” නවකතාව සම්බන්ධයෙනුයි.

මහත්මයාණෙනි,

සුචිත සමන්පාය වන මම රජයේ සංස්ථාවක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් මි. මගේ බිරිඳ රම්‍යා සමන්පාය වන අතර අපට අට හැවිරිදි දියණියක් සිටි.

2014-11-08 සිට රිවි දින පුවත්පතට ඔබ සති පතා ලියන ප්‍රේම මගේ බිරිඳ මහත් අභිරුචියෙන් කියවන අතර, එහි සිටින සුචිත සමන්පාය සහ ඔහුගේ බිරිඳ අතර කතාවේ මුල් කොටස් වල සිදුවන ප්‍රේමනීය ගනුදෙනු අපේ විවාහ ජිවිතයේ මුල් යුගයේ ඇතැම් සිදුවීම් වලට යම්තාක් දුරට සමාන වීම ඇගේ මහත් අමන්දානන්දයට හේතුවී තිබුණි. අධික කාර්යබහුලත්වය නිසා පුවත්පත්වල සිරස්තල හැරුණු කොට වෙනත් කිසිවක් කියවීමට ඉඩ නො ලැබෙන මට ඇය එකී කොටස් කියවූයේ එය අපේ කතාව බව ද පවසමිනි.

එහෙත් ඔබේ නවකතාවේ සුචිත, ඔහුගේ කාර්යාලයේ ලඝු ලේඛිකාවක් සමඟ අනියම් ඇසුරක් පැවැතිවීමට පටන්ගැනීමත් සමඟ රම්‍යා මා කෙරෙහි දැක්වූ ආකල්පයද වෙනස් වී තිබේ. මෑතකදී රැකියාවේ ලද උසස්වීමත් සමඟ අමතර රාජකාරි පැවරෙන හෙයින් කාර්යාල වේලාවෙන් පසු කාර්යාලයේ රැඳී සිටීමට මට සිදුවී තිබේ. ඔබේ නව කතාව අපේ කතාව ලෙස ට හදවතින් අදහන මගේ රම්‍යා සිතන්නේ, මා රැකියාවෙන් පමා වී පැමිණෙන්නේ මටද අනියම් සම්බන්ධයක් ඇති නිසා බවයි. අනියම් සම්බන්ධයක් අරඹා ඇති මා පවුලේ වගකීම් පහරහරින බවටද බිරිඳ මේ වනවිට මට චෝදනා කිරීම අරඹා තිබේ.

මහත්මයාණෙනි, පසුගිය මැතිවරණ සමයේ අමතර රාජකාරි පැවරුණු හෙයින් මා රැකියාව අවසන්වී නිවෙසට පැමිණියේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේ.

මා එනතෙක් පෙර මෙන් මග බලා නොසිටි රම්‍යා, නිවෙසට ඇතුළු වූ මාහට කඩා පැන්නේ මම අනියම් පෙම්වතිය සමඟ චිත්‍රපටයක් නැරඹීමට හෝ බොරලැස්ගමුව වැවේ බෝට්ටු සවාරියක් ගිය බවට චෝදනා කරමින්.

ඇගේ සැකය නිසා අප පවුලේ දිනපතාම පාහේ දැන් අඩදබර සිදුවනවා. කෝපය උහුලාගත නො හැකි වූ එක අවස්ථාවක මම අයට කම්මුල් පහරක් එල්ලකළ බව පවසන්නේ හද පිරි පසුතැවීමෙන්.
මෙම අසහනකාරී වාතාවරණයට තිත තැබීමේ අරමුණින් රිවි දින පුවත්පත මිලට ගනිමා මා නතර කළත් මගේ බිරිඳ එය අසල්වැසි නිවෙසකින් ඉල්ලාගෙන කියවීමට පෙළඹී සිටිනවා.

මේ ආකාරය දිගටම පැවතුනහොත් අපගේ දස වසරක විවාහ ජීවිතය දික්කසාදයෙන් අවසන් කිරීමට සිදුවනු ඇතැයි සාධාරණ බියක් මා තුල ඇති වී තිබෙනවා.

ඒ නිසා ඔබේ මන්ක්කල්පිත චරිත සහිත නව කතාවේ ඉදිරිය සාධාරණ අන්දමින් වෙනස්කර, අපගේ පවුල් ජිවිතයේ සැබෑවටම ඇතිවී ඇති අසහනකාරී තත්වය අවසන් කර දෙන ලෙසට කරන අසාධාරණ ඉල්ලීම පිලිබඳ ඔබ කෝප නො වනු ඇත යන්න මගේ විශ්වාසයයි.

ඔබේ “ප්‍රේම” නවකතාවේ  කතා නායකයා  සුචිත සමන්පාය වීම සහ මගේ සැබෑ නම සුචිත සමන්පාය වීම සම්පුර්ණයෙන් ම අහම්බයක් බව මම පිලිගනිමි.

මෙයට විශ්වාසී,

සුචිත රන්සිරිමල් සමන්පාය.

ප.ලි :- මගේ බිරිඳ මට අපහාස කිරීම සඳහා මගේ අට හැවිරිදි දියණියද යොදාගන්න තත්වයක් ඇති වී ඇතිබව සඳහන් කරන්නේ හද පිරි වේදනාවෙනි.පසුගිය කාලයේ ඇය එක වතාවකට වඩා මගේ දියණිය ලවා මට “අවජාතකයා ” ලෙසට අපහාස කරවීමට පෙළඹුනා.


ආර්. සහබන්දු,

රිවි දින ජාතික පුවත්පත,

විමල පුවත්පත් සමාගම,

මරදාන.

2015- 07-04

සුචිත රන්සිරිමල් සමන්පාය.

23/2 බී,

සමන්පාය,

සව්සිරි මාවත,

පොල්ගස් ඕවිට,

පිළියන්දල.

                      ඔබ විසින් මට එවන ලද 2015-06-30 දින දාතම සහිත ලිපිය පිළිබඳවයි.

මහත්මයාණෙනි,

ඔබේ ලිපිය ලැබීමෙන් මම මහත් විශ්මයටත් කනගාටුවටත් පත්වුණෙමි. ඒ විශ්මයත් කණගාටුවත් යම් තරමක කෝපයකට හැරුණු බව මා අවංකව ම ඔබට  කිව යුතුයි. සැබෑ ලෝකයේ සිටින චරිත සහ සිදුවීම් ඇතැම්විට නව කතාවලත් ඒ ආකාරයෙන් ම තිබිය හැකි වුවත් ඒ සියල්ලම සත්‍ය සිදුවීම් ලෙස සලකා මෙලෙස හැසිරෙන පුද්ගලයන් සිටීම විශ්මයට හේතු වූ අතර, ඔබ එවැනි තත්වයක් යටතේ මුහුණ පා සිටින අසීරු තත්වය මට අවංකවම  ඔබ පිළිබඳව කණගාටුවක් ඉපදවීමට හේතු විය.

එහෙත් මගේ කෝපයට හේතු වූයේ ඔබ සහ ඇය විසින් ඔබේ පුද්ගලික ගලපා ගැනීම් සහ නො ගැලපීම් මත ඔබ විසින් ම ඇති කරගත් තත්වයක මා වරදකරු බවට පත් කොට තිබීමයි. නවකතා ලියන්නෙකු ලෙස ලිවිම මගේ අයිතියයි.මගේ මනසේ ඉපදෙන චරිත කඩදාසි මත පන ගැන්වීමට මට ලොව සිටින සියල්ලන්ගෙන් ම අවසර ලබාගැනීමට සිදු වුවහොත් කිසි දිනෙක මට කතාවක් ලියා හමාර කල නොහැකි වනු ඇත. එමෙන් ම “ප්‍රේම” සාපයක් කර නොගෙන රස විඳින  සුචිත සමන්පායලා බොහොමයක් රිවි දින පාඨකයන් අතර සිටිනු ඇත යන්න මගේ විශ්වාසයයි.

මා විසින් කිරීමට බැඳී නැතත්, ඔබේ අට හැවිරිදි දියණිය පිලිබඳ සලකා බලා මට කළහැකි උපරිම සාධාරණය ලෙස නව කතාවේ ඉදිරි වෙනස් කිරීමට මම එකඟ වෙමි. එහෙත් ඒ එකඟ වීම මා කරන්නේ මෙතෙක් “ප්‍රේම” සමඟ සිටි පාඨකයන් කිසිවෙකුටත් අසාධාරණයක් නොවන පරිද්දෙනි.”ප්‍රේම” දැන් අවසාන වීමට ළඟ ය. එ නිසා පහත අවසානයන්ගෙන් කැමති අවසානයක් තෝරා දන්වා එවන මෙන් ඔබේ බිරිඳට පවසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

යෝජිත අවසානයන් මෙසේ ය.

1. සුචිත සමන්පාය ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ පාසල් පෙම්වතිය වූ ලඝු ලේඛිකාව සමඟ වෙනම ජිවිතයක් අරඹයි. සමන්පායගේ දරුවාගේ භාරකාරීත්වය බිරිඳට ලැබේ. ඇය දරුවා සමඟ ජිවිතයට මුහුණ දීමට ඉටා ගනී.

2. බිරිඳ උපේක්ෂා සහගතව ජිවත්වන අතර සුචිත දික්කසාද නොවී සිය පැරණි ප්‍රේමය පවත්වාගෙන යයි.

3. සුචිත සහ ඔහුගේ අනියම් පෙම්වතිය රිය අනතුරකින් මිය යන අතර බිරිඳ ඔහු වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුපෙන් සුවෙන් ජිවත් වේ.
මෙයට වඩා ප්‍රශස්ත අවසානයක් මට යෝජනා කළ නොහැකි අතර කතාව දැන් ගලා යන ආකාරය අනුව සුචිත සමන්පාය බිරිඳ ඉදිරියේ වැඳ වැටී සමාව ඉල්ලීමක් ගැන කොහෙත් ම එකඟ විය නොහැක යන්න මගේ හැඟීමයි.

මේ සම්භන්දව මෙයටත් වඩා ඔබට උපකාර කිරීමට නො හැකි වීම ගැන කණගාටු වන අතර, ඔබ ඔබේ ගැටළු යථා කාලයේ විසඳාගනු ඇතිබවට විශ්වාස කරමි.

මෙයට,

ආර්. සහබන්ධු,

රිවි දින ජාතික පුවත්පත


23/2 බී,

සමන්පාය,

සව්සිරි මාවත,

පොල්ගස් ඕවිට,

පිළියන්දල

2015-06-30

ආර්. සහබන්දු මහතා

රිවි දින ජාතික පුවත්පත,

විමල පුවත්පත් සමාගම,

මරදාන.

                     ඔබ විසින් “ප්‍රේම” උදෙසා යෝජනා කළ අවසානයන් පිළිබඳවයි.

මහත්මයාණෙනි,

මගේ බිරිඳ වන රම්‍යා ඔබේ ලිපිය කිහිප  වරක් ම කියවූ අතර  ඔබ විසින් තෙවනියට යෝජනා කල අවසානය හෙවත් ” සුචිත සහ ඔහුගේ අනියම් පෙම්වතිය රිය අනතුරකින් මිය යන අතර බිරිඳ ඔහු වෙනුවෙන් ලැබෙන විශ්‍රාම වැටුපෙන් සුවෙන් ජිවත් වේ.” යන්නට රම්‍යා අවසානයේ එකඟ වුවා ය.

ඒ අනුව ඇය අපේක්ෂිත අවසානය ලැබී මේ ගැටලුව විසඳි යාම පිළිබඳව දැන් අපි බලාපොරොත්තුවෙන් පසුවන්නෙමු.

මේ දිනවල අසල්වැසියන්ගේ ආධාර සහ උපදෙස් පිට, සිතා මතා රිය අනතුරක් කළ හැකි ක්‍රමවේද පිලිබඳ ඇය සොයා බලමින් සිටින බවට මට යම් යම් ඉඟි පල වී තිබේ. (බ්‍රේක් පැඩලය ක්‍රියාත්මක නොවන ලෙස  වතුර බෝතලයක් ඒ යට සිර වී තිබුනේ අහම්බයෙන් බව සිතීමට මම උත්සාහ කළෙමි.) රිය අනතුරකින් සැබෑ ලෝකයේ සුචිත සමඟ මිය යාමට ලඝු ලේඛිකා පෙම්වතියක් නොවීම පමණක් මගේ පුද්ගලික කණගාටුවට හේතු වී තිබේ.

කෙසේ නමුත් මේ ගැටලුව විසඳීම කෙරෙහි ඔබ දැක්වූ කාරුණික භාවය අප දෙදෙනාම ඉතා අගය කොට සලකන අතර, ඉදිරියේදී තව තවත් සාර්ථක කතා ලිවීමට ඔබට ශක්තිය ලැබේවායි ඉත සිතින් ම පතමු. මෙම ගැටලුව විසඳි ගිය බවට ඉතා නුදුරේදීම ඔබේ ජාතික පුවත් පතේ පලවන පුවතකින් ඔබට දැනගැනීමට හැකිවනු ඇති බවද මම විශ්වාස කරමි.

මෙයට විශ්වාසී,

සුචිත රන්සිරිමල් සමන්පාය.

දුම්

large

————-
රමණය අවසන් විය.
උඩුකය පමණක් ඔසවා දුම් වැටියක් දල්වාගත් ඔහු යළිත් ඇය මත දිගා වූයේ ය.
ඔහුගේ බඳ වටා දෑත් යැවූ ඇය, යළිත් ඔහුගේ පිටෙහි දහදිය තලන්නට වූවා ය.
ඔහු ඇගේ දෙතොල් මත දෙතොල් තැබුවේ ය.දැනෙන දුම් රසට ඉඩ දෙමින්, ඇය දෑස් පියාගත්තා ය.
ඔහු ඇගේ දෙතොලින් මෑත්ව ඇගේ මුහුණ දෙස බලා සිටින්නට වූයේ ය.
ඇය ලස්සන යැයි ඔහුට සිතුණි.
ඇගේ නළල පටු ය. ඇස් බැමි ඝන ය. දිගු ඇස් පිහාටුවලට යටින්, අඳුරු සෙවනැලි ඇඳී තිබුණි.
උල් නාසයත්, ඝන දෙතොලත් ඊළඟට ඔහුගේ බැල්මට හසු විය.
නාසය මත දුඹුරු පැහැ ලප ද, කොපුල් මත කුරුලෑ කිහිපයක් ද විණි .
ඇය එතරම් ලස්සන නැතැයි ඔහුට සිතුණි
ඔහු ඇගේ ඇහි බැමක් මත ඇඟිලි තුඩකින් ඉරක් ඇන්දේ ය.
“හ්ම්ම්….?”
ඇය දෙනෙත් නො හැරම හුස්මක් පිට කළා ය.
“යමු ද?”
“හ්ම්ම්…”
“වැඩට යන්නත් තියෙනවනේ..”
“හ්ම්ම්..”
ඔහුගේ දුරකථනය නාදවන්නට විය. එය අතට ගත ඔහු තිරය දෙස මොහොතක් බලාසිට ඇය මතින් නැගී සිටියේ ය.
ඇය සුසුමක් හෙලමින් ඇලයට වකුටු වූවා ය. ඇඳ කිරි කිරි ගෑවේ ය.
ඔහු දෙතොල හරහා දබරඟිල්ල තබමින් නිහඬවන ලෙසට ඇයට සන් කළේ ය.
” හෙල්ලෝ..”
” ඔෆිස් එකේ.. ඔෆිස් එකේ.. විනාඩි දහයක් දෙන්න මම ගන්නම් …”
ඔහු නාන කාමරයට ගොස් දොර වසා ගත්තේ ය.
කොට්ටයකින් නිරුවත ආවරණය කරගත් ඈ කාමරය පුරා දෙනෙත් යැවුවා ය. නාන කාමරයට ඔහු ගිය මඟ අළු නිල් දුම් කැරලි පැතිර තිබුණි.
කතා කළේ ඔහුගේ බිරිඳ බව ඇය වටහා ගත්තා ය.
නාන කාමරයේ දොර හැරුණි. ඔහු හෙළුව වැසෙන්නට තුවායක් ඇඳ සිටියේ ය. දෙපා දිගේ තෙත බේරෙමින් තිබිණි.
“යමු ද?”
ඇය කිසිවක් නොකියා ඔහුගේ අතකින් ඇද්දා ය.
ඔහු ඇඳ මත ට බර වූ යේය.
සිගරට් පැකට්ටුව හා ලයිටරය ඇඳේ පසෙක විය. ඔහු තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේ ය.
ඇය කෙලින් වී හිඳගත්තා ය.
ඔහු මේස් දමන්නට වුයේ ය.
“දැන්ම?”
“නැතුව…? වැඩට යන්නේ නැද්ද අද මම?”
ඇය දුම්වැටිය ඔහුගෙන් උදුරාගෙන උගුරක් ඉහලට ඇද්දා ය.
තනි මේස් කකුල පිටින් ඔහු යළිත් වතාවක් ඇඳේ වැතිරුණේ ය. තව ටිකක් වේලා ඉන්නට ඔහුට සිතුණි.
ඇය දුම්වැටි පුලිඟුව ඔහු ගේ පපුවේ මවිල් ගසකට සමීප කළා ය.
කෙස් පිළිස්සෙන පුළුටු ගඳක් නැගිණි.
නිහඬ කල ජංගම දුරකතනයේ එළි දැල්වෙමින් නිවෙමින් තිබිණි.ඔහු එය අතට ගෙන බැලුවේය.
නිවසේ අංකය දිස්වෙමින් තිබිණ.
ආපසු ඇයත් සමඟ මෙවැනි ගමන් නො එන්නට ඔහු සිතා ගත්තේ ය.
ඇය දුම්වැටියෙන් නිකුත් දුමෙන්, අවකාශයේ චිත්‍ර අඳිමින් සිටියා ය.
ඔහු මොහොතක් ඇය දෙස බලා හුන්නේ ය.
“යමු ද?”
ඔහු අනෙක් මේස් කකුල අතට ගත්තේ ය.
ඇය දුම් උගුරක් උරා ඔහුගේ දෙතොල් මත දෙතොල් තබා දුම් පිට කළා ය.
ඔහු ඒ දුම උරා බීවේ ය.
“යන්න හිතෙන්නේ නෑ”
ඉනික්බිති ඔහු කිවේ ය.
රමණයෙන් ඉක්බිති ව ගත වූ අඩ පැය තුළ ප්‍රථම වතාවට ඇය සිනාසුණා ය.
“සිගරට් බොත්දි ද?”
ඇය ඇසුවාය.
ඔහු ඇය ගේ හිස සිම්ඹේ ය. ඉස්හොරි කුයිල ඔහුගේ නාසයට දැනිණි.
———————————
ඉන්පසු ගතවූ විනාඩි පහළොව ඉතා ඉක්මනින් ගතවී ගියේය.
කලිසමට යට කළ කමිසයෙන් සහ හොඳින් පීරූ හිසෙන් යුතුව ඔහු වේගයෙන් පඩිපෙළ බසිමින් සිටියේ ය.
ටී කමිසයකින් සහ කලිසමකින් සැරසුණු ඇය දොර අසල සිටගෙන සිටියා ය.
ඔහු ආපසු හැරී නොබැලු වේ ය.
ඇය ආපසු හැරී කාමරය දෙස බැලුවා ය.
සුදු පැහැති කොට්ටය මත අළු විසිරී තිබුණි. කාමරය පුරා අළු නිලෙන් යුතු දුම තුනියට බැඳී තිබුණි.
ඇය හුස්මක් ඉහලට ඇද්දා ය.
නාසය හුරු වී තිබූ හෙයින් දුම් සුවඳ ඇයට විශේෂයෙන් දැනුනේ නැත.
කාමරයේ දොර වසා දැමූ ඇය වරකට පඩිය බැගින් පඩිපෙළ බසින්නට වූවා ය.

විවර

images

ඔහු :-
———
මම දන්නවා, මම දැනටමත් පරාදයි. මට ඔයාගේ ආදරේ හිමි කරගන්න බැහැ.මම ඒක තේරුම් ගත්තේ, මුලින් ම ඔයාව දුටු මොහොතේ. කොටින් ම කියනවනම්, ඔයාගේ ගැන ආදරයක් ඇති වෙන්නත් කලින්.

මුලින් ම ඔයාව දුටු මොහොතේ මගේ හිතේ ඇතිවුණේ විශ්මය මුසු ප්‍රහර්ෂයක්. අතිශයෙන් ම රූමත් ගැහැණු ළමයෙක්, තමන්ගේ කාර්යාලයට එනවට හැම පිරිමියා තුලම ඇතිවන සොභාවික හැගීමක්. ඒ ප්‍රහර්ෂය,පිළිකුලක් බවට පත් වුනේ එක් ක්ෂණයකින්. ඝන අආලේපන තට්ටුවකට යටින් තිබුණු ඔයාගේ හමේ සැබෑ පාට දකින්න මම උත්සහ කළා.ලොකු හැට්ට කරකට අතරින්, යන්තම් එළියට පැනලා මුකුළු කරන, කළු පාට යට ඇඳුමක කොටසකුත්, ඊට ඉහලින් එල්ලිලා තියෙන රතු පාට හදවතකුත්, ඒ හදවත අල්ලන් ඉන්න රිදී පාට දම්වැල් පොටකුත්. මට ඔයාව පෙනුණේ, පිරිමින් ව ගිලගන්න ආපු බාඳුරාවක් වගේ. කළු රේඛාවලින් හැඩ කරපු ලොකු ඇස්, ඝන, දිගු ඇස් පිහාටු, රතු පාට ආලේප කල, හදවත් හැඩ ගත් දෙතොල, බාඳුරාවේ ගොටුවට පැනලා වැනසෙන්න, අතවනන  බාඳුරා පෙති වගේ.

එදා වෙන්වෙලා යන වෙලාවේ, මං ඔයාගේ දුරකථන අංකය ඉල්ලුවේ, ආදරයක් හිතිලා නමෙයි. මම ඔයාව දැක්කේ, ගලා යන ගංගාවක් වගේ. ගලන ගඟකින් දිය දෝතක් බොන්න, වගකීමක් දරන්න ඕන නැති බව මම දැනන් හිටියා. හලාහල විෂක් වගේ පෙනුන ඔයාගෙන්, විෂක් නොවන ලෙස විතක් ලබන්න,කළු යට ඇඳුමක සේයාවට යටින් ඇති, සැබෑ සිරුර දකින්න, චුම්බනවලින් හේදෙන සායම් තට්ටුවකට යටින් මතුවෙන හැබෑ හමේ පාට දකින්න.

මගේ ඉල්ලීමට ඔය රැවුමකින් පිළිතුරු දීලා, මග හැර ගිය මොහොතේ (තමන් ගේ රැකියා අයදුම්පතේ දුරකථන අංකයත් තිබෙන බව ඔයාට අමතක වුණා ද?)පටන් මම ඔයාට ආදරේ කරන්න පටන්ගත්තා. රැකියාවේ හිලව්වට භාවිත කල හැකි, පාරිභෝගික කාම භාණ්ඩයක් විදිහට, ඔයාට ලං වෙන්න උත්සහ කළ මට, ඔය ඒ එල්ල කළේ, තදබල පහරක්. අභියෝගයක්.

හෙට ඉඳන් ඔයා වැඩට ඒවි. ඔයා සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණු බව ඔයාට කිව්වේ, මගේ ලේකම්වරිය. කතා කරලා ඔයාට සුභ පතන්නවත් හැකියාවක් මට නැහැ. දුරකතනයේ අනෙක් කෙළවරෙන් ඔයාගේ කටහඬ ඇහෙනකොට මාව වෙවුලනවා. ( අයදුම්පතේ තිබුණු දුරකථන අංකයට කිහිපවරක් ම අමතලා, නිහඬව අහන් හිටියේ, ඔයාගේ අලුත් ආයතන ප්‍රධානියා කියලා ඔයා අනුමාන කරන්න නැතුව ඇති???)
මාව ප්‍රතික්ෂේප කළ ඒ මොහොතේ ඉඳන්, මට ඔයා ගැන තියෙන්නේ, ආදරයක්. ඒ බව මම මට ම සඵත කරගන්නවා, දවසට සිය දහස් වාරයක්. මීට කලින්, මෙතනට ලඝු ලේඛිකාවෝ ආව ඕන තරම්. ඒ අයට මෙතනට එන්න තිබුණු මූලික සුදුසුකම් හැම දෙයක් ම ඔයා තුළ තිබුනා. එකක් හැරෙන්න.

හැට්ට කරවල් අතරින් මතුවුණු යට ඇඳුම් පටි, පියොවුරු විතරක් නෙමෙයි, ඊට එහා ගිය අත්දැකීම් රාශියක් ලබාපු, අත්දැකීම්වලින් පරිපූර්ණ මිනිහෙක් මම. අනිත් හැම අවස්ථාවකම ගැහැනුන් මට පරාජය වුණා.ගැහැනියකට මම පරාජය වුණු පළමුවෙනි අවස්ථාව. ඉතින් මම ඔයාට ආදරෙයි. හිමි කරගන්න ඕන නැහැ.හිමි කරගන්න බැහැ. කර පළල හැට්ටයකට, සාරියක් ඇඳන්.කළු කෙස් වැටිය උඩට වෙන්න ගැට ගහල. ඇස්, තොල් පාට කරලා.ලතාවකට ඇවිදින ඔයා, සුමානෙකට දවස් හයක් දකින්න මගේ හිතේ තෘෂ්ණාවක් වලිකනවා. ඒ ශාරීරික තෘෂ්ණාවක් නෙමෙයි. තමන් ගේ කය සතපවන ගැහැනුන් බොහෝ දෙනෙක් හිටි තැන, තමන් ආදරේ කරන එකම ගැහැනිය ඉන්නවා දකින්න තියෙන මානසික තෘෂ්ණාවක්. අයදීමක්.

ඉතින්………මම ඔයාට ආදරෙයි.

ඇය:-
———
රස්සාව ලැබුණට නම් සන්තෝසයි. එත් එතනට යම්දෝ, නොයම්දෝ කියල මගේ හිත දෙගිඩියාවක. ඉන්ටර්විව් එකට ගිය වෙලාවේ ඉඳන්, ලොක්කගේ ඇස් තිබුණේ, මගේ පපුවේ. මටත් ලැජ්ජයි. බිම බලන, බලන වාරයක් පාසා, මට වඩා විසාල හැට්ටයේ කර අතරින් මගේ නිරාවරණය වුණු සිරුර මට පේනවා. (අඳින්න එකක් නැතිකමට, අක්කගේ සාරියකුයි, හට්ටේකුයි ඇඳන් ආව කියල ලොක්කට කියන්න ය???)

මිනිහ එන්නේ වෙන දේකට කියල මට හොඳටම තේරෙනවා. කිකිලියෙක් දැක්ක උගුඩුවෙක් වගේ මගේ දිහා බලාගෙන උන්නු හැටි මතක් වෙනකොට, මගේ කොඳු ඇට පේළිය දිගේ සීතලක් පැතිරෙනවා.

තාත්තා මැරුණු දා ඉඳන්, නොකළ දෙයක් නැහැ ගොඩ එන්න. එකක් හැරෙන්න. බොහොම ලේසියෙන් කරන්න තිබුණු රස්සාවල් තියෙත්දී, සෙරෙප්පු හම යනකම් ඉන්ටර්විව් වලට බඩගාන්නේ, ඒ දේ කරන්න තියෙන අකමැත්ත නිසාමයි. මම දන්නවා, මිල කරන්න බැරි පාරිභෝගික වස්තුවක්, කැමති මිලකට අලෙවි කිරීමේ හැකියාව මා සතුව තියෙනවා කියල. එත්………

ආයතනයක ලොක්ක මොකටද, ටයිප් ගහන්න එන ගෑනු ළමයාගේ ටෙලෙෆෝන් නොම්මරේ ඉල්ලන්නේ??? දන්නේ නැත්ද ඇප්ලිකේෂන් එකේ ඒක තියෙනවා කියලා???? බොරුව…බොරුව…ගෑනු දැක්කම ඉවසගන්න බැරි වල් කම. හෙට මම වැඩට යන මුල් ම දවස. සාරියකුත් ගත්තා. කර වැහෙන්න, අතුත් දිගට දාපු හැට්ටයක් මහගත්තා. එත්…..

තව රස්සාවකට ඉන්ට්‍ර්විව් එන්න කියලා ලියුමක් ඇවිත් තිබුණා. ඒ ලියුමයි, මේ රස්සාව ලැබුන කියන පනිවිඩය යි, දෙක ම ආවේ, එක ම දවසේ.

හෙට යනවද නැත්ද????????

ඔන්න ඔහේ ඕක අල්ලලා දානවා. (නාකි මනමාලය බලන් ඉඳීවි හෙට මං  එනකම්)

අලුත් සාරිය හෙට ඉන්ටවිව් එකට ඇඳන් යන්න බැරි ය.

“ඔක්කොම හරි ද?”

Couple-Back-to-Back

වේදිකාවේ මාධ්‍ය ආලෝකය යට සිටි යුවල එකිනෙකා වැළඳගත් හ. තරුණිය තරුණයාගේ ගෙල හරහා පිහියක් තැබුවා ය.
තරුණයා තරුණියගේ හිසට පිස්තෝලයක් තැබුවේ ය.
මොහොතකට පසු දෙදෙනාම බිම අද වැටුන හ.ආලෝකය නිවී ගියේ ය.
තිරය වැසුණි.
ප්‍රේක්ෂකයෝ අත් පොලොසන් දුන් හ.
——————————————————-
රඟහල ඉදිරියේ බස් නැවතුම මගින් ගෙන් ශුන්‍ය වෙමින් පැවතුනි. වේදිකාවේ සිටි යුවල බස් නැවතුමේ සිමෙන්ති අසුන් දෙකක හිඳගෙන සිටියහ.
“ඔයාට ඕන නම් වස්තුවේ මට සුරංගනාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක මොහොතකින්.. මේ.. මේ කාලි අම්මා වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්.ඔයා මොකද කියන්නේ? දැන් මට අඩු ඔයාගේ වචනේ විතරයි..”
තරුණයා ඈනුමක් හැරියේ ය.
“යමු ද? .. නාන්නත් ඕන. මේ ඩෙනිම හෝදලා නැහැ දවස් අටකින්.. ටිකක් නිදාගන්නත් ඕන.”
“මොකක්? ඔයා දවස් අටක් තිස්සේ නොහෝදපු ඇඳුමක් ද ඇඳන් ඉන්නේ?”තරුණිය ඇසුවේ පිළිකුලෙන් මෙනි.
“ඔව්… සන්ලයිට් කැටයක් ගන්නත් ඕනේ.. යන ගමන් හන්දියෙන් පරාට අරන් යනවා. දැන් කන්නත් බැරි තරම් මාන්සියි..”
“නිකං හිතන්නකෝ… දැන් අපි එක ගෙදරක හිටියනම්, මට ඔයාට උයල දෙන්නත් තිබ්බ. ඔය ඩෙනිම හෝදලා දෙන්නත් තිබ්බ… නැද්ද?” තරුණයා අවුල් වූ කෙස් මතින් අත යැවුවේ ය.
“වියදම උනත් අඩුයි නේ එතකොට… දැන් ඔයාට ප්‍රෙස් එකෙන් කීයක් ලැබෙනවද මාසෙකට?”
“මට මැනේජ් කරගන්න පුළුවන්..” තරුණයා කීවේ නොසන්සුන්කාරී ලෙසට ය.”අපි යමු ද?”
“හරි.. හරි.. නිකං හිතන්නකෝ.. දැන් ඔයාට පරාට කියක් ඕනෙද රෑට?.. හරි.. අපි පහක් කියල ගමු. එතකොට එකක් විස්ස ගානේ ගත්තත් එතනට ම සීයයි.. දවස් පහක් ම කන්නේ කඩෙන් නේ.. එතකොට රෑ කෑමට ම පන්සීයයි..සතියේ දවස් පහ රෑට විතරක් හරි මම ඔයාට උයල දුන්නොත් එතකොට… ම්ම්…හාල් කිලෝ එකක් දැන්.. ම්ම්.. අපි හැට ගානේ ගත්තොත්.. හැටයි නේද?.. එතකොට ..”
“ඕක නවත්තගන්නවා” තරුණයා කෝපයෙන් කිවේ ය. “මේක හරියන්නේ නෑ..”
“අනේ.. අනේ ඉතිං.. ඔයාට කේන්ති ගියාද? මම කල්පනා කරන්නේ වැඩේ කෙරෙන විදිහක් ගැන නේ නිකන් හිතන්න.. අපි දෙන්නට මැනේජ් කරගන්න පුළුවන්.. නැද්ද? මම කියන්නේ..”
දුර තියා එන 120 බස් රියක් දැක තරුණයා නැගී සිටියේ ය.
“උදේට අපිට පාන් කන්න පුළුවන්.. එක හොද්දක් ඇති නේ උදේට එතකොට දවල් ට..”
තරුණයා බසයට අත දැමුවේ ය. බසයේ වේගය බාල වනු පෙනුණි.
” දවල්ට කඩෙන්.. ඊට පස්සේ හවසට වැඩ ඇරිලා ඇවිත්..”
තරුණයා ඉදිරියට පියවරක් තැබුවේ ය. බසය ඔවුන් දෙදෙනා ඉදිරියේ නැවතුණි.තරුණිය කලබල වී නැගී සිටියා ය. “මේ.. මේ.. කොහෙද යන්න හදන්නේ?.. ඒයි..”ඇය ඔහුගේ කමිස අතෙන් ඇද්දා ය.
බසයෙන් කිසිවෙකුත් බැස්සේ නැත. කවුළු වලින් ඔවුන් වෙත යොමු වූ නෙත්වල නො රිස්සුම් සහගත කුතුහලයන් විය.
“මහත්තය නගිනවද? “කොන්දොස්තර දොරෙන් එබුනේ ය. පිළිතුරු දුන්නේ තරුණියයි.
“නෑ.. නෑ.. මේ අපි යන්නේ නෑ..”
කොන්දොස්තර රවාගත් බැල්මෙන් යුතුව බලා සිටිය දී, බසය ඇද්දුවේ ය.
“මොකක්ද ඒ කළේ? ඒ අන්තිම බස් එක..”
නො පෙනී යන බසය දෙසට තරුණයා අඩි දෙක තුනක් දිව, යලිත් බස් නැවතුමට හැරුණේ කෝපාන්විත පරාජිත බවකිනි.
“මේ අහන්න…”
තරුණිය ඔහුගේ කමිස අතෙන් අල්ලාගත්තා ය.
“මෙහෙන් පොඩ්ඩක් වාඩි වෙන්න.
අපි කොහෙද හිටියේ..? ආ.. පරාට ගැන… එකක් විස්ස ගානේ පහයි. එතකොට සීයයි..”
“සීයට වැඩියි.. පරාටවලට හොදිත් ඕන..තව විස්සක් යනවා…”තරුණයා කිවේ සන්සුන් ව ය. වෙන කරන්නට කිසිවක් ම නැති නිසා මේ මල හෝන්තුව කියන දේ අසා සිටින්නට හිත හදා ගෙන තැන්පත් වූ බව ඔහුගෙන් පල විනි.
“විස්සක්!! හොදි වලට !!!!අපෝ ගණන් වැඩියි නේ..” ඇය විස්මය පල කළා ය.
ඔහුගේ මුහුණේ මද සිනාවක් පහල විය. අන්තිමේදී ඇයට යමක් තේරුම් කරදෙන්නට හැකි වුණා වැනි සැනසුමක් ඔහුගේ මුහුණේ මතු විය.
“එකනේ කිව්වේ.. ඔයාට තේරෙන්නේ නැහැ.. එහෙම ජිවත් වෙන්න අමාරුයි.. මේක හරියන එකක් නෙමෙයි..”
තරුණිය කල්පනාවට වැටුණා ය.
“උයාගන්න එක ලාබ නැත්ද?”
“කොහේ උයන්නද බබෝ… වැඩ ඉවරවෙලා ගෙදර එද්දී බාගෙට මැරිලා.බත් උයන්න තියා හීටරේ ගහල තේකක් හදාගන්නවත් පන නැහැ. ..සිමෙන්තිවලට.. මේ…මේ මං කියන්නේ තින්තවලට අත් හම ගිහින්… කකුල් බරයි. ඇවිදගන්න පන නැහැ…ඉතින් කොහෙද උයන්නේ? යන්තන් ඇඟට වතුර ටිකක් හලන් ඇඳට වැටෙන්නයි ඕනේ ඒ වෙලාවට. කෑම කන්නේ නිකන් මේ චාරිත්‍රෙට වගේ..”
තරුණිය කල්පනාවේ ය.
තරුණයා දෙදන මත තැබූ වැලමිටෙන් යුතුව දෑතේ ඇඟිලි එකිනෙක ගටන්නට විය.
තරුණිය එක වරම ඔහු දෙස බැලුවා ය.
“ඉතින් මාව එක්කගෙන යන්න.. හවසට මම උයල තියන්නම්..”
තරුණයා “චිහ් ” හඬක් නැගුවේ ය. කියා තේරුම් කල නොහැක්කෙන් නිහඬව සිටින බවක් ඔහුගෙන් පල විණි.
“යං.. ත්‍රීවිල් එකක හරි යමු දැන්… දොළහට පහයි වෙලාව..අදත් නාගන්න වෙන්නේ නෑ..”
තරුණිය අකමැත්තෙන් මෙන් නැගී සිටියා ය.
“කැමතියි නේද?.. කියන්න.. අකමැති උනත් දැන් එක්ක යන්නම වෙනවා හරි ද?තව සුමානයයි එන්ගේජ්මන්ට් එකට..”
තරුණයා නළල මිරිකා ගත්තේ ය.
“අපි යන්නේ දැන් ගෙදර.. තමුසෙව බොරලස්ගමුවෙන් දැම්ම. මම බෝඩිමට..”
තරුණයා ත්‍රි රෝද රියකට අත දැම්මේ ය. තරුණිය හැඬුම්බර වූවා ය.
“රංග..ඔයාට පුලුවන්ද අර ගෝරිල්ලට මාව අයිතිවෙනවා බලන් ඉන්න..?” ඇය ඇසුවේ නාසික්‍ය ස්වරයකිනි. ඇය යළිත් බස් නැවතුමේ හිඳගත්තා ය.
ත්‍රි රෝද රිය නතර විනි. විණි. ඔහු එයට නැග්ගේ ය.
“තමුසේ එනවද?”
ඔහු ඇසුවේ ය. ඇය මුරණ්ඩු වූවා ය.
“මට බැහැ..”
“අපි යමු” තරුණයා ත්‍රි රෝද රියකරුට අණ දුන්නේ ය.
ත්‍රි රෝද රිය දුහුවිලි අවුස්සමින් ඇදී යනු තරුණිය කඳුළු අතරින් බලා හුන්නා ය.
———————————————–
ටික දුරක් ගිය පසු ඔහුට දුක සිතුණි.
“ආපහු යමු..” ඔහු කිවේ ය.
බස් නැවතුමේ ඇය නො සිටියා ය.
තරුණයා මුදල් ගෙවා රියෙන් බැස්සේ ය.
බස් නැවතුමේ ඔවුන් රඟපාන නාට්‍යයේ දැන්වීම් අලවා තිබුණි.
“ඔක්කොම හරි” ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳ සිටින රුව යටින් රතු අකුරෙන් ඇඳ තිබුණි.
ඔහු බස් නැවතුමෙන් එළියට බැස්සේ ය. විදී පහන්වල කහ පැහැය අවට පැතිරී තිබුණි.
“ඔක්කොම හරි..” ඔහු තමාටම කියා ගත්තේ ය. “ආයේ ඉතින් හෙට”

ඇද මිනිහා

shadow-man

හයියෙන් වැස්ස වහිනවා. ජනේලෙන් එන හිරිකඩ, කෑම කාමරේ වීදුරු මේසේ උඩ, හීනි රටා මවනවා.  ඇද මිනිහා, ඒ මේසේ ම එහා කොනේ ඉඳගෙන, දිගෑරපු නැති බත් මුලක් ඉස්සරහ තියන්, වැහි පොද මවන රටා දිහා බලාගෙන ඉන්නවා. වැහි පොද තවරපු සුළඟිල්ලෙන්, මේසේ උඩ චිත්‍ර අඳිනවා. තේ කොල්ලා කාමරේට එනවා. හිරිකඩට තෙමුණු මේසේ දිහා බලල, ජනේලේ වහනවා. කාමරේ අඳුර දුරු කරන්න, විදුලි එළිය පත්තු කරලා යන ගමන්,
“අද පායන පාටක් නෑ…” කියල කියනවා. ඇද මිනිහා, යාන්තම් තෙතට දැනෙන පත්තර කොලේ උඩ තියාගෙන, දිගෑරපු බත් මුලේ ඇට පොඩි කරනවා.
“තේකක් බොනවද…?” තේ කොල්ලා අහනවා.

ඇද මිනිහා බත් කනවා. ළූණු තම්බිච්ච ගඳක් බත් මුලෙන් එනවා. ඇද මිනිහා, අමු මිරිස් කරලක තුඩ, දතින් හපනවා.
තේ කොල්ලා, පොඩි කොප්පෙකට, තේකක් වත් කරලා, ඇද මිනිහා ඉස්සරහින් තියනවා.

” අපිට තේ නැත්ද සුරංග…?” ගෑනු කටහඬක් අහනවා. අඩි උස සපත්තු සද්දයක්, කෑම කාමරේ හරහා ඇදිලා යනවා. ඇද මිනිහා, යාන්තමට ඔලුව උස්සල බලනවා.  නෙරංජලා මිස් ටැප් එක ළඟට යන ගමන් ඇද මිනිහා දිහා බලනවා. ඇද මිනිහා, ආයෙමත් බත් මුලට නැමිලා, උරහිස් අකුල ගන්නවා.
——
ඇද මිනිහා උසයි, සුදුයි, කුදුයි.  අහිංසක පාටයි. රැවුල නැති නිසා, මුණ පොඩි ළමයෙකුගේ වාගේ.
——
ඇද මිනිහා, ෆයිල් මිටියකුත් උස්සන් කොරිඩෝව දිගේ ඇවිදන් යනවා. උස වෙච්චි උරහිස නිසා, කොට වෙච්චි අත, උරහිස උඩ තියෙන ෆයිල් මිටිය වැලමිටෙන් රඳවන් ඉන්නවා. පාත් වෙච්චි අත නිසා දික් වෙච්චි අත, දනිහිසටත් පහළින් එල්ලෙනවා.

“ස්…ස්… ඇදයෝ…”
කරුණාපාල කෑ ගහනවා.

ඇද මිනිහා හැරිලා බලනවා. ඇද වෙච්චි උරහිස, තවත් ඇදට පේනවා ඒ බැලිල්ලට.
——
ඇද මිනිහා වැඩ ඇරිලා ගෙදර එනවා. ගොයම් කපාපු වෙලේ, පොඩි වුන් කට්ටියක් සරුංගල්  අරිනවා. ඇද මිනිහා ඒ පැත්තට යනවා.
“ඇද මාමේ…අපිට මොනවද ගෙනාවේ…?” පොඩිවුන් කෑ ගහනවා.
ඇද මිනිහා, සාක්කුවෙන් ඇදල ගත්තු බුල්ටෝ අහුර, පොඩිවුන් දිහාට විසි කරනවා.
——
ඇද මිනිහා ගෙදර ඇවිත්. තෙත තුවාය ඉස්කිරිම උඩ වනලා ඇවිත් මිටි  බංකුව උඩ ඉඳගන්නවා. ඇද මිනිහගේ අම්මා, ළූණු වට්ටියකින් අරගන්න රතු ළූණු සුද්ද කරනවා. රතු ළූණු සැරට, ඇද මිනිහගේ ඇස්වලට කඳුළු එනවා. සරමේ කොනක් උස්සල, ඇස්වල කඳුළුයි, නහයයි පිහදගන්නවා.

” කෝපි වක්කොරලා ඇත්තේ…බීපන්..” අම්මා කියනවා. ඇද මිනිහා, වට්ටියෙන් ගත්තු රතු ළූණු සුද්ද කරනවා.
——
“සුමනාවතී  නැන්දේ,..”
ගෑනු කටහඬක් ඇහෙනවා.

“පුතේ බලහන්…..” අම්මා, ඇද මිනිහට කියනවා.
ඇද මිනිහා, දොර උළුවස්සෙන් කර පොවලා බලනවා.  සේපාලිකා.

“ආ..ඇද අයියේ…ගෙදර ආවද..? මේ අපේ අම්මා කිව්වා, සුමනාවතී  නැන්දට, හෙට පොළට යන්ඩ කලින් අපේ ගෙවල් පැත්තේ ඇවිත් යන්ඩ එන්න කියලා. ..”

සේපාලිකා, දෙවටෙන් බැහැලා යනවා. ඇද මිනිහා බලාගෙන ඉන්නවා.
——
උදේ වැඩට යන්න, ජැන්ඩියට ඇඳන්, ඇද මිනිහා එලියට බහිනවා. අම්මා පොළේ ගෙනියන මල්ල, ඉස්සිච්චි උරහිසට ගන්නවා. තුම්මං හන්දියට එනකම් අම්මත් එක්ක ඇවිදන් ආපු ඇද මිනිහා, මල්ල බිමින් තියනවා.
තුම්මං හන්දියෙන් වමට තියෙන ඇද වුණු පාරේ, ඇද මිනිහා ඇවිදන් යනවා. අම්මා බලන් ඉන්නවා.
ඇද මිනිහ, ඔලුව රුයිතෙට හරවලා, අම්මා තවමත් බලන් ඉන්නවද කියල බලනවා. අම්මා ඔසරි පොටෙන් බෙල්ල වටේ දාඩිය පිහිදානවා. ඇද මිනිහා, ඔලුව කරකවලා, ගෝනි මල්ල තියන් ආපු උරහිස ඉව කරනවා. තැම්බිච්චි ළූණු ගඳක් එනවා. ඇද මිනිහා, සාක්කුවෙන් ගත්තු බාල සැන්ට් කුප්පියෙන් බින්දු දෙක තුනක්, උරිස්සට හලාගන්නවා.
——
ඇද මිනිහා බත් කඩේට යනවා. සුදු කොලේක ඔතල, වෙන් කරලා තියෙන ලොක්කගේ බත් මුල අරන් ආපහු වැඩපොළට එන්න හැරෙනවා. කඩේට අලුත් ආපු සේවකයෙක් තමන් දිහා නුහුරට බලන් ඉන්නවා ඇද මිනිහා දකිනවා.
“කරුම තමයි..” මුදලාලි කියනවා ඇද මිනිහට ඇහෙනවා.
——
පොලොව ගිනි ගන්නවා. ගිනි ගහන අව්ව මැද්දේ, ගිනි ගන්න ගේකින් පැනල දුවනවා වාගේ වේගෙන්, මිනිස්සු එහෙ මෙහෙ යනවා.

වෙලාව දෙකයි. ඉර ඉන්නේ ඇදට. හෙවනැලි වැටෙන්නෙත් ඇදට. කෙළින් හැමෝගෙම හෙවනැලි, ඇද වෙලා, පාරේ වැතිරිලා. ඇද මිනිහගේ හෙවනැල්ල කෙළින් වෙලා පේනවා.ඇද මිනිහගේ ඇද ඇඟට, ඇදේට ඉර අව්ව වැටිලා, ඇද හෙවනැල්ල, කෙළින් වෙලා පේනවා.

ඇද මිනිහා තනියෙම හිනා වෙනවා.

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් – 07-04-2012)

බිල්ලෝ

naan
අවුරුදු දහසයකට පස්සේ මම ලංකාවට ආවේ, නෑනා ගේ තුන් මාසේ දානෙට. මඟුලටවත්, මරණේටවත් නාපු මම, තුන් මාසේ දානෙට ආවේ ඇයි කියනවනම්, ජාත්‍යන්තර ගොවි සම්මේලනයේ වැඩකට, උපාලිට ලංකාවට එන්න වුනු හින්ද, එත් එක්කම අපි දෙන්නත් ආව. අපි කිව්වේ, පියුමි යි, මමයි.

මේ අවුරුදු දාසයට, මම අම්මව තුන්  පාරක් දැක්කා. මල්ලිව එක පාරක් දැක්කා. නෑනා ව කවදාවත් හම්බුවෙලා නොතිබ්බට, පින්තුරවලින් දැක්කා.

මම ලංකාවෙන් පිටත් වෙලා ගියේ, 1995 පෙබරවාරි මාසේ දොළොස්  වෙනිදා. ඒ අපේ පුතා කුසල්, වත්ත පහල ලිඳට වැටිලා, මැරිලා, මාසෙකුත් දවස් දහයකට පස්සේ. ඒ ගියේ ආයේ නොයෙන්න ම හිතාගෙන. මට ඒ ලිඳ වත්, මේ ගෙදර වත්තවත් ආයේ මේ ජීවිතේදී දකින්න වුවමනාවක් නොතිබුණු නිසා. එකට ම වැඩ සලස්සමින්, අපිට එහෙදි ඉපදුන දරුවා, පියුමි, උපතින් ම ආබාදිත දරුවෙක්. ඇවිදින්න බැහැ.

කුසල් මැරෙත්දී එයාට වයස අවුරුදු හය යි. ඒ අවුරුද්දේ මාර්තු මාසේ අපි කොහොමටත් ලංකාවෙන් යන්න හිටපු නිසා, කුසල් ව මොන්ටිසෝරියෙන් පස්සේ මෙහෙ ඉස්කෝලෙකට දාන්න උපාලි උනන්දු වුණේ නැහැ. අම්මගේ යාලුවෙක්, එයාගේ දුවත් එක්ක අපේ ගෙදර ඇවිත් හිටපු නිසා, ඒ අයත් එක්ක හිනා වේවි උන්න මිසක්, මට පැයකින් විතර පුතා ගැන හොයන්න වුණේ නෑ. කට්ටිය යන්න ලෑස්ති වෙලා, “කෝ පුතා?” කියල අහත්දියි, අපිට මතක් වුණේ, පැයකින් විතර දරුවාව දැක්කේ නෑ නේද කියල.

කොහොමින් කොහොම හරි, හවස හත වෙත්දී, දවාලේ, සාලේ බිම දිගාවෙලා, පාට කුරකින් චිත්‍ර ඇඳ ඇඳ උන්නු දරුවා, පන නැති, පෙඟුණු තෙත ගුලියක් වෙලා, සෝපාවේ වැතිරිලා උන්නා.
මාර්තු මාසේ යන්න තිබුණු ගමන ඉක්මන් කරගෙන, ආයෙමත් ලංකාවේ පස් පාගන්නේ නෑ කියල හිතාගෙන ( සදහට ම නොවුනත්, තව සෑහෙන කාලෙකට) පිටත් වෙලා ගියේ, මේ වත්ත-  ලිඳ- ගෙදර- හැමදේ ම, මාව ගිලින්න ආපු රාස්සයෝ කියල, පොඩි කාලේ දැනුණු හැඟීම, ඒ “මහා අහිමි වීම ” ට පස්සේ, දරාගන්න බැරි තරමට ම තද වුනු හින්දා.

එහෙදි ඉපදුනු පියුමි, අපේ දුවට ඇවිදින්න බැහැ. ලංකාවට නෑවිත් ඉන්න එකත් හේතුවක් උනා. ආබාදිතයෙක්ට, ලංකාවට වඩා, ඇමරිකාවේ ජිවිතේ පහසුයි.

සාලේ හිස් වෙලා.හිස් වුණු සාලේ පුරා මම ඇවිදිනවා. ලොකු කවිච්චිය, බිත්තිය අයිනකටත්, සෝපාව, අම්මගේ කාමරේටත්, ටිපෝ, මල් වාස්, පිස්ත්තල පහන් ආදී බඩු භාණ්ඩ, තවත් නොයක් අහු, කොන්වලට තද වෙමින්, සාලේ මැද්දේ ඉඩ හදනවා. තුන් මාසේ දානෙට අස් කළා වෙන්න බැහැ මෙච්චර ඉක්මනට. හත් දොහේ දානෙට – මරණෙට අස් කළ ගමන් වෙන්ඩ ඕන.

කෑම කාමරේ කැබිනෙට්ටුව උඩ, මගුල් පින්තුර පෝලිමක්. කෙලවරේ ඉඳන් ගත්තොත්, ඉස්සෙල්ලම එකේ, සුදු දිග ගවොමක් ඇඳලා, ඔලුවේ ඔටුන්නක් දාගෙන, අතින් අවානක් දරාගෙන, දෙවෙනි එලිසබත් රැජිනගේ අනුරුවක් වාගේ ඉන්නේ අපේ අම්මා. ඒ ළඟ ම හිටගෙන ඉන්න, චාලි චැප්ලින් රැවුලක් තියෙන, රෙදි කෝට් ඇඳපු මනුස්සය අපේ තාත්තා. දිග ගවොමක් ඇඳන්, තාත්තට එහා පැත්තේ හිටගෙන ඉන්නේ අම්මගේ නංගි. මගේ පුංචි අම්මා. ඊටත් එහා පැත්තේ ඉන්න පුංච් ගෑනු ළමයා කවුද?

අම්මගේ වම් අත පැත්තෙ, හතරැස් පෙට්ටියක් උඩ වාඩිවෙලා, මල් ගහපු බස්තමක් අතින් අරන් ඉන්න පුංචි ළමයා, උපාලි. මිසිස් වික්‍රමගේ, අපේ අම්මගේ හොඳම යාළුවගේ පුතා. මගේ මහත්තයා.
ඒ ළඟම තියෙන මගුල් පින්තුරේ, මගෙයි, උපාලිගෙයි.

සාරියක් ඇඳලා, වේල් එක දාල, මල් පොකුරක් අරන් ඉන්න කෙට්ටු ගෑනු ළමයා, මේ මම ම ද කියල දැන් හිතෙනවා. ඉන වටේ මස් රැල්ලක් වැවිලා, ඉහකේ  එහෙන් මෙහෙන් සුදු වෙලා, මුහුණේ තෙල් පිපිලා. කන්නාඩි කුට්ටමට යටින්, ඇස් කළු වෙලා ඉන්න දැන් මමයි, පින්තුරේ ඉන්න මමයි, එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?දැන් මහත් වෙලා, තට්ටේ පෑදිලා, කෙස් පැහිල උන්නත්, උපාලි ඒ කාලෙට වඩා දැන් හොඳයි කියල හිතෙනවා. මේ තමයි ලෝකෙට පෙන්න කාපු මගුල මතක් වෙන්න ගත්තු පින්තුරේ. හරියට ම කියනවනම්, මගෙයි උපාලිගෙයි කසාදෙ සිද්ද වුනෙත්, අපේ අම්මා, තාත්තා ව බැඳපු දවසේ. උපාලි ඒ දෙන්නගේ  මඟුල් පින්තුරේ පෙනී හිටිය දවසේ.

“ඔයාට දුවෙක් හම්බ වුනොත්, අපේ පුතාට බන්දල දෙමු….”
අම්මගේ මගුල් දවසේ, මිසිස් වික්‍රම එහෙම කිව්වලු.
(විහිලුවකට වගේ කියපු දෙයක්,ඇත්තක් කරන තරමට ම දැඩි පොරොන්දුවක් වුණේ කොහොමද?)

උප්පැන්න සහතිකේටත්  කළින් කසාද සහතිකේ හම්බවුණු, ලෝකේ  එක ම  ගෑනි මම ද කොහෙද. පස්සේ කාලේ මට එහෙම හිතෙන්න පටන් ගත්තා.

ඊ ළඟ පින්තුරේ අපේ මල්ලි නිශ්ශංකගෙයි, එයාගේ මනමාලි; මගේ හැබැහින් නොදුටු නෑනා රේණුකාගෙයි.

“මල්ලිටත් දැන් කාවහරි හොයන්න ඕන…” අම්මා මගෙත් එක්ක එහෙම කිව්වේ එහෙ ආපු වෙලාවක. “මල්ලිට තැන කීපයකින් ම කතා කළා, තාම කවුරුවත් හරි ගියේ නැහැ..” අම්මගේ ලියුමක එහෙම තිබුනා.හරි ගියේ නැහැ කියන්නේ, අකමැති වුණේ මල්ලිද කියල අහන්න හේතුවක් තිබ්බේ නැහැ. මල්ලි අකමැති වෙන්නේ නැහැ. මල්ලිට අකමැති වුනොත් මිසක. මම ඒක දැනන් හිටියා.
ඒ කතාව ම තිබුණු, තවත් ලියුම් කිහිපයකට පස්සේ, “මල්ලිට කටයුත්තක් හරි ගියා…දොඹගොඩ පැත්තෙන්…එච්චර සල්ලි බාගේ නම් නැහැ…කලුයි…”
අම්මගේ ලියුම ආව.
“මල්ලි ඉන්න තත්වේ හැටියට අනේ මන්ද… “එදා හවස උපාලි එහෙම කිව්වා….

නිශ්ශංක ට පොඩි ඔලුවේ අමාරුවක් තිබුනා. උපතින්….නැහැ,..උපදින්නත් කළින් ඉඳන්, පරම්පරාවෙන් ලැබුණු තෑග්ගක්. අපේ මුත්තා..මුත්තාගේ මල්ලි…සීයාගේ අයියා…මගේ මල්ලි.

(ඔය පරම්පරාවේ එක්කෙනෙක්, අනාගතේ ගැන හිතලා, තනිකඩව ඉන්නව කියන කැප කිරීම කළා නම්..කවුරුවත් එහෙම හිතුවේ නැහැ. ඔක්කොම අඩු පාඩු වහගන්න සල්ලි  තිබුනා, පරම්පරා නම්බුව තිබුනා…රැවටෙන්න ගෑනු හිටියා….ලොකුවට මඟුල් කාල, බක්කි කරත්තවලින්, මයිනර් කාර්වලින් මනමාලිට ඇඳගෙන ආපු ගෑනු ගිලගන්න, මහා ගෙදර මහා දොර කට ඇරන් බලන් උන්නා.එහම ආපු ගෑනු, තවත් පරම්පරා  කීපෙකට පස්සේ, ගබඩා කාමරේ, වී අටුවේ බිත්තිවල එල්ලිලා තියෙන මඟුල් පින්තුරු විතරක් බවට පත්වෙලා, අමතක ම වෙලා යනවා. එත්, මහ ගෙදර තාමත් තියෙනවා. පවුලට පිරිමි දරුවෙක් ඉපදුනු ගමන්, තවත් ගෑනු ජිවිතයක් ගිලින්න බලාගෙන කට ඇර ගන්නවා. අලුත් මනමාලිව ගිලල වහගන්න කට ආයේ අරින්නේ, ඒ මනමාලිව ජීරණය වුනාට පස්සේ)

මල්ලිගේ මඟුලට එන්න කියල අම්මා කරන බල කිරිල්ල ඉවසන්න බැරි නිසා, “හා” කියල කිව්වත්, “යන්න බෑ…බෑමයි” කියල හිත කියමින් උන්නා.අන්තිමට මඟුලට සති දෙකක් තියල, උපාලිට වියාන යන්න වෙච්චි එක පිටින් දාල, ගමන මග ඇරියා.

ඇයි මම මගේ ම ගෙදරට එන්න ඒ තරමට අකමැති වුණේ? කුසල් ගේ මරණේ ද? තව ගෑනියෙක් මහ ගෙදර ගිලගන්නවා බලන් ඉන්න තිබ්බ අකමැත්තද? එහෙමත් නැත්නම්, පුංචි කාලේ ඉඳන් ම බය වුණු, ඈනුම් අරිනවා වගේ හඬක් නගමින් ඇරෙන, හුඟාක් වෙලාවට වැහිලා තියෙන ගේට්ටුවටයි, බර සාර දොරවල් පිටිපස්සේ  තියෙන කළුවර කාමරවලටයි  තියෙන නමක් නොදන්න අකමැත්තද?

සුමාන තුනකට පස්සේ, ආයෙමත් අම්මගෙන් ලියුමක් ආවා. ලියුමත් එක්ක, අලුත් ලේලි ගැනත් විස්තරයක්  තිබුනා. “හොඳයි,…වරදක් නෑ..පුතාව හොඳට බලාගනියි වගේ…”අම්මගේ ලියුමේ තිබුණු ඒ වාක්‍යය මගේ හිතට ගෙනාවේ කේන්තියක්. බලාගන්න…???!!!!!!!!!
මල්ලිව බලාගන්න නර්ස් කෙනෙක්වද අම්ම හෙව්වේ???

තවත් මාස පහ හයකට පස්සේ, අලුත් ජෝඩුවගේ මඟුල් පින්තුරයි, තවත් පින්තුර කීපයකුයි තැපෑලෙන් ආවා. බුරුස්ස රැවුලක් එක්ක, ඔරවාගෙන ඉන්න මල්ලි ළඟ හිටගෙන ඉන්න, සුදු සාරියක් ඇඳලා, වේල් දාලා, සුදු වෙන්න පියරු උලපු, කළු පාට කෙල්ල, සිරියාව උතුරන හිනාවකින් බලාගෙන හිටිය. අනික් පින්තුරවල, දෙන්න පන්සල් ගිය පින්තුරයි, මුහුදු වෙරළේ ඉඳන් ගත්තු පින්තුරයි. අපේ අම්මගේ අතින් අල්ලන්, කැමරාවට හිනාවෙලා ඉන්න රේණුකාගේ පින්තුරෙකුත් එතන තිබුනා. මේ පන්සල් ගිහින්, අත් වැල්  බැඳන් මුහුදු වෙරළේ ඉන්නේ, අපේ මල්ලිමද?
අම්මගේ ලියුමේ වුනත් වෙනද නොතිබ්බ සතුටක් තිබ්බා. වාත අමාරුයි, ප්‍රෙෂර් ගැනයි, දවස ගානේ චුරු චුරු ගගා මාස ගණන් අල්ලන වැස්ස ගැනයි, ගරා වැටෙන මහ ගෙදර කෙඳිරියයි  ඇරුණම වෙන මුකුත් ම නොලියවෙන ලියුමේ, රේණුකා ගැන ලියවිලා තිබුනා. “රේණුකා ගෙදරට අලුතින් පාට ගාන්න කියල නිශ්ශංක ට  කිව්වා –  පාට වෙනස් කරන්ඩලු. රෝස පාට ගාන්ඩ කියන්නේ. -රේණුකා, ගෙදරට අලුතෙන් දොර රෙදි මහනවා –  රේණුකාට හොඳට කේක් හදන්න පුළුවන්.රේණුකා.. රේණුකා.. රේණුකා..”
ගල් ඉබි කටුවක් වගේ අපේ ගෙදරට රේණුකා, අලුත් හැඩතල එකතුකරමින් ඉන්න බව මට වැටහුණා. නිශ්ශංක වුනත් වෙනදට වඩා වෙනස්. රැවුල් බාලා, කෙස් පීරලා.පිරිසිදු ඇඳුමක් ඇඳන් ඉන්න පින්තුරයක් ලියුමත් එක්ක තිබුණා.

ඉඳල හිටලා අම්මට ඇමතුමක් දෙන එක, රේණුකත් එක්ක කතා කරන්න ඇබ්බැහියක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. උපාලිගෙයි, මගෙයි විතරක් නෙමෙයි, ඒ වෙත්දී, විශ්ව විද්‍යාලේ ඉගෙනගනිමින් උන්නු පියුමි  ගැන ගැටළුවක්  වුනත් කතා කරන්න මට ඉන්න එක ම හිතවතිය බවට රේණුකා පත් වුණා.
පියුමිට තව අවුරුදු හතරක් විශ්ව විද්‍යාලේ ඉන්න තිබ්බ නිසා, අපිට ලංකාවට එන්න ඉඩ ලැබුනේ නැහැ. එත් රේණුකාව ඇමරිකාවට ගෙන්නගන්න මට ලොකු වුවමනාවක් තිබුනා. “කොහේ එන්නද අක්කේ… මෙයා, උස තැන්වලට බයයි නේ….මට මෙයාව දාලා එන්නත් බැහැනේ…..” රේණුකා නිවුණු හඬකින් මට  කිව්වා. අවුරුද්දකට වතාවක්,දෙකක්, අම්මට රෙදි පෙරෙදි එවන පාර්සලේ ඇතුලට, සබන්, ක්‍රීම්, පවුඩර් පුරවපු තව පාර්සලයක් එකතු වුනා. එව්වයේ, ගුණ සුවඳ රේණුකා මට ලියල එව්වා.

දැන් රේණුකා මැරිලා.

ගිය අවුරුද්දේ මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගත්තා. අම්මගේ පෙනුම දැකල මං පුදුම වුණා.  ඉස්සර, වලව්කාර මහ ගෙදර ට එන්න කළින් ඉන්න ඇති කියල හිතෙන, ලංකාවේ පාර තොටක දකින්න ඇහැකි, ඒ වයසේ ඕන ම සාමාන්‍ය ගැහැනියකගේ තත්වෙට අම්මා පත්වෙලා තිබුණා.
“දැන් රේණුකා ඉන්නවනේ…ඉස්සර වගේ නෙවෙයි, මට සිල් ගන්ඩ යන්ඩ ඇහැකි…” අම්මා කිව්වා.

“රේණුකාට අසනීපයි…හොඳට ම අමාරුයි…අන්තිමයි….ආන්තරා වුණා! ”
ටෙලිෆෝන් පණිවිඩ, එකකින් අනිකට තිබුනේ, දවසක, දෙකක, පැය ගානක අන්තරයක්. ගෙදරක උඩ තට්ටුවේ පවත්වාගෙනයන පන්සලට ගිහින්, ඉටි පන්දමක් පත්තු කරන්න ඕන කියල හිතන් හිටියා. ඉටි පන්දම පත්තු කරලා ගෙදර එත්දී, රේණුකා මැරිලා.

ඇහින් දැකල නොතිබ්බට, මේ ජීවිතේදී, මාව හොඳටම ඇඳින ගත්තු  මනුස්ස දුව මරුන කියන එක පිළිගන්න තිබ්බ අකමැත්ත නිසා, “රේණුකා සඳසිලි මහත්මියට නිවන් සුව ලැබේවා!” කියල පෝස්ටර් ගහල තියෙන දෙවට ට වාහනේ හරවත්දී  මම ඇස් දෙක පියාගත්තා. (අවමංගල්ලේ ට  නාවේ ඇයි කියල තව හේතු අහන්න ඕන නෑ නේද?)

පියුමි රෝද පුටුව තල්ලු කරන හඬ, ඉස්තෝප්පුව දිහාවින් ඇහෙනවා.තමන්ගේ ම පොළොවකට වැටෙන ඉර එළිය නිදහසේ විඳින්න පියුමිට තියෙන ආසාව, ඇයි මට නැත්තේ?

තිරුවානා පොළොව උඩ, රෝද තල්ලු වෙන හඬ ඇරුණම, අනිත් හැම දේ ම නිහඬයි.මම ඉස්සරහ කාමරේට එබිලා බැලුවා. දෙන්නෙක් නිදාගත්තු ලොකු ඇඳේ, නිශ්ශංක තනියම නිදි. කන්නාඩි මෙසේ උඩ, මම රේණුකාට එවාපු, පියරු බෝතල්, ක්‍රීම් බෝතල් පිළිවෙලකට හිටගෙන, කන්නාඩියෙන් පේන නිශ්ශංක ගේ කෙස්, රැවුල් වැවුණු මුණ දිහා බලන් ඉන්නවා.

රේණුකා…රේණුකා මැරිලා (ද?)

අනිත් කාමරේ ඇඳේ අම්මා. කට අරගෙන. හීන් ගෙරවිල්ලකුත් ඇහෙනවා.

මේ ගෙදර මිනිස්සු, මේ මහ දවාලේ බිල්ලෝ වගේ මෙච්චර නිදාගන්නේ කොහොමද?