Category Archives: කවි කුරුල්ලෝ

තුවාල සහ පැලැස්තර

download.jpg
පෙම්වත,
ආලය ගින්නකි –
බුර බුරා නැගෙන;

එකුන් විසි තුන් පැයක්-
මයික්‍රෝ තත්පර අංශුවලට වෙන්කර
කෙටි ම කෙටි පණිවුඩ –
දිගම දිග කතන්දර –
එකින් එක යළිත් විමසා බලමි මම.
ඊයේට වඩා අද,
එක පණිවුඩයක් අඩුයි!

ජංගමය දැල්වෙයි –
හදවත ද දැල්වෙයි –
එහෙත් ඒ ඔබ නොවෙයි –

ඔබ විසින්
මට එවීමට අමතක කළ කවි,
කුරුළු හඬකින් ට්විටරය වෙත ගැයෙයි-

නෝක්කාඩු වියමනක් ඇඟිලි තුඩගින් වියැවෙයි..
දැන් ඉතින් ඔහොමයි-
ආදරේ කොහු කොහු වෙන්නෙත්,
පහු පහු වෙනකොටයි ..

ජංගමය දැල්වෙයි,
නොකියවූ පණිවුඩයක්,
කියවීමට අණ ලැබෙයි

ඒ ඔහුයි!

ඔබේ ට්විටර් කුරුළු තුඩු ඇනී ලේ ගලන,
නිර්වින්දනය නොවූ හදවතට
ඔහු ප්‍රේමවත් ඉමොජි පැලැස්තර අලවයි..

(18-05-2017)

සුවඳ

ඔබ;
අතිශය තැන්පත් සුවඳකි.
ඉතා දීර්ඝ හුස්මකින් අනතුරුව,
පෙනහළු ගර්ථි පතුලේ,
තැන්පත් කළ හැකි.

ඔබ;
කරාබු සහ කුරුඳු සුවඳකි.
වැනිලා ද මුසුවූ,
ලා ඉඟුරු සුවඳැති.
තේ හැන්දක් පමණ,
නමක් කිව නො හැකි,
ආදරයේ සුවඳ ද ඇති.

ඔබ ;
තාන් සුවඳකි.
සැවන්දරා සහ කපුරු,
සැනසිල්ලේ සුවඳකි.
සේර ද දැවටුණු,
අමු රෙදි තාන් සුවඳකි..

ඔබ ;
අතිශය නැවුම් සුවඳකි.
නියං අවසන වැටෙන,
වැස්ස බඳු සුවඳකි-
දුහුවිල්ල සිප පැමිණි,
තෙත් – උණුහුමෙන් යුතු සුවඳකි.

ඔබ-
අතිශය අරුම සුවඳකි.
අතිශය හුරු පුරුදු මුත්,
නමක් කිව නො හැකි-
ඉතා දීර්ඝ හුස්මකින් අනතුරුව,
පෙනහළු ගර්ථි පතුලේ,
තැන්පත් කළ හැකි.

නාලිකා

ඉලක්කම් ඉරි බෙදුම් අතරේ,
බිත්ති හතරක අතර මැද්දේ
ජිවිතේ ගෙවුණා,
ඉලක්කම් ඉරි අකුරු අතරට,
හුස්ම ගන්නා අකුරු අරගෙන,
ජිවිතේ දිග ගාලු පාරේ ඔබ ඇවිද ආවා
නාලිකා…

කමිස පිට හූරා දමනසුළු,
පිහි ඇනුම් සරි රුදු බැලුම් පොදි –
අලුයමින් ලූ කෙල පිඩක් සේ
බැහැර කෙරුමට මම බලන් හිටියා.
ඔබ ඇවිත් සුභ පැතුම් දෙනකම්
නාලිකා..

සිහිය අවතැන් කරන තරමේ
හිස් රිදුම් මාගලක් දිගහැර,
සිහි කැඳවීම් ලියුම් නො හැරම
තරු ලකුණු කිව්වා..
හෝරාව කල්පයක දියකර,
හිත් රිදුම් බොහොමකට
ළඟ හිඳ ,
ඩිස්ප්‍රීන් පෙව්වා…

මොණර නැටුමක කස්තිරම් අඩි,
පයිසෙකට නො වටිනා හිතුවිලි
කියන වදනක් පාසාම ඔබ
අසාගෙන සිටියා..
නොම කියූ මුත්,
ළඟ තිබු හිත
නො දන්නා සේ බෝ කලක් ඔබ
ළඟ ම හිටියා
නාලිකා…

තිත්ත කඩදහි මොණර උෂ්ණේ
වැදී වටහල අකුණු අස්සේ
බැණුම් මුරුසං වැස්ස මැද්දේ,
ජීවිතය හෙව්වා..
එක ම එක අස්සනක් ගන්නට
ඔබ බලා හිටියා.

සපත්තුවකට පිනි බිඳක් වැටුණා;
මං නොදැක්කා නොව නො දුටු ලෙස උන්නා
නාලිකා…

දිස්න දෙන මංගල යදම් බැඳී
වෙදගිල්ල දෙතොලට තියන්,
නිකට පපුවට නැඹුරු කරගෙන
අකුරු අතරක අතරමඟ ඔබ
යතුරු ලියනය ලියු වැරදි සෙව්වා..

එදා ඒ අකුරුත් මං වගෙම
හුස්ම ගත්තා
නාලිකා…

(ආයතන ප්‍රධානියෙකුට තම පුද්ගලික ලේකම්වරිය පිළිබඳ ඇතිවුණු සිතුවිල්ලක් )

ඉකුත් වූ කාලය

එකමත් එක කාලයකට,
බොහෝ කාලයකට පෙර –
අමතක කරන්නට අමතකම වන තරම්
ඉකුත් වූ කාලයක.
හුස්ම ගන්නට බැරිම වන තරමට
තදබල ආලයක් විය.

පෙනහැල් පිරී,
ඉල ඇටවලට තෙරපෙන තරමට ම –
හුස්ම ගන්නට බැරි කළ..

විචිත්‍ර පහන් යට,
වැහි දිය දිය කෙරුණු තාර මාවත් පිට
මන්දාකිනි එළි මතින්
ඇවිද යන මට ,
හිරි පොදේ හිරිකඩට
ලය බදා වැළඳ,
ඉල ඇට තෙරපෙන තරමට,
හුස්ම ගන්නට බැරිම වන තරමට ම,
තනියම.
තනිකම .

පෙනහැල් පිරී
හුස්ම ගන්නට බැරි කළ,
තදබල ආලය සිහි විය..

මා පමණකි

රාත්‍රිය එළඹ ඇත
යුද පිටිය නිශ්චලය
අහස පුරා ධවල
තරු පැතිර ඇත

මගේ තරුව ඇය,
දිගාවී පොළොව මත
ළය මත තබාගත් අතින් යුතුව
සන්සුන් ව

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය

හුස්ම ගන්නේ මා පමණි
එහෙත්
ඇගේ හුස්මක් අසනු රිසි
හුස්ම අල්ලා අසා සිටිමි

අවියෙන් බැඳි බැමි අතර
ඇහි පිල්ලමකින්වත් තනි නොකර
පසුපස ආමි

යුද ටැංකි හිස් මතින් යන
බංකර කුහරයක
එකිනෙකාගේ සුසුම්
එකට පැටලෙන්නට
මහ වෙලාවක් ගියේ නැත

ඝන කොලර සහිත නිල කබා මත
ගිනි අවි මොහොතකට තනිකොට
මහා ගින්නක් නිවුයෙමු
මහා ගින්නක දැවුනෙමු

ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය
එහෙත් ඇය තරු අතර ය

දෙදෙනා තිදෙනෙකු වීමට
නියමිතව තිබුණු බව
දන්නා අයෙකුට
දැන් සිටින්නේ
මා පමණකි

ගිනියම

ටකරම් වහල ගිනියම් ය-
දරාගත නොහි උණුහුම් ය
මුළුතැන් ගෙය.

ගිනියම් කොන්ක්‍රීට් ටැංකියෙන්,
බාගෙට වැහෙන කරාමයෙන්,
ගිනි රත් වතුර බිඳු වැටේ ය,
ඇලුමිනියම් බේසමට.

මනාලි මල් කළඹ

පැල්ලම් හැදී කණ්ණාඩිය
දරා සිටින කොස් ලෑලි රාමුවේ කෙලවර,
කරකුට්ටන් ව වියළී ගිය,
රෝස මල් සහ පාට ගිය රිබන්,
මනාලි මල් කළඹ කි,
දස වසරකට පෙරාතුව එල්ලුව.

දීගය අහවර වූයේ,
පස් අවුරුද්දකට පෙරාතුව ය.

ගන්ධ

mal

කනත්තේ දුම් බටය,
පෙනේ මතු මහලට,
බොහෝ උස් ගොඩනැගිලි,
පහන් කණු අතරින්.

කනතු වැට මෑතින් ,
දුම් බටය අසලටම,
උස් වූ ගොඩනැගිල්ලක,
මතු මහල් තලයක,
වවා ඇත සුදු,
අරලියා ගසක්.

පෙනේ එය දුරට-දුම් බටය අසලින් ම.

මුදුන ගැවසුණු සුදු මල් ඇසින්,
බලා සිටි,
දුම් බටය අයාගත් මුවින්,
බලා සිටිනා අහස දෙසම.

දුම් බටයෙන්, දුම් විසිරේ.
දැවෙන මිනී ගඳ අරලියා සුවඳ හා මුසුවෙයි.

දෙතොල්

red-lips

කරමින් ඇරයුම්,
මගේ දෙතොල් ලවා
ඔබේ නම කියවයි.
කොපි කෝප්පයේ ගැට්ට මත,
රතු මලක සලකුණක් තබමින්,
නුරාවට හිනැහෙයි.
ඔබ නික්ම ගිය පසු,
ඒ සලකුණ මත, තබා මම මා දෙතොල්,
විඳිමි ඔබව,
දෙනෙත් පියාගෙන.
සෙරමික් මතුපිට,
ඔබේ තොල්,
මගේ නෙත් පියන් යට ඔබේ තොල් ඇඳෙයි. සිනිදුවට සිත රැවටෙයි.
සෙරමික් දාරය, ඉදිරි දත් මත ගැටෙයි.

ඔබේ තොල්,
ඔච්චම් හිනාවෙන් විකසිත වෙනු,
සිත දකියි.

දෙනෙත් හැර බලමි.
ඔබ නොමැත.
විලවුන් සුවඳ හා,
කෝප්ප ගැට්ට මත දැන් දැන් මැකී යන, රතු දෙතොල් සලකුණ පමණි.