කමිස පිට හූරා දමනසුළු,
පිහි ඇනුම් සරි රුදු බැලුම් පොදි –
අලුයමින් ලූ කෙල පිඩක් සේ
බැහැර කෙරුමට මම බලන් හිටියා.
ඔබ ඇවිත් සුභ පැතුම් දෙනකම්
නාලිකා..
සිහිය අවතැන් කරන තරමේ
හිස් රිදුම් මාගලක් දිගහැර,
සිහි කැඳවීම් ලියුම් නො හැරම
තරු ලකුණු කිව්වා..
හෝරාව කල්පයක දියකර,
හිත් රිදුම් බොහොමකට
ළඟ හිඳ ,
ඩිස්ප්රීන් පෙව්වා…
මොණර නැටුමක කස්තිරම් අඩි,
පයිසෙකට නො වටිනා හිතුවිලි
කියන වදනක් පාසාම ඔබ
අසාගෙන සිටියා..
නොම කියූ මුත්,
ළඟ තිබු හිත
නො දන්නා සේ බෝ කලක් ඔබ
ළඟ ම හිටියා
නාලිකා…
තිත්ත කඩදහි මොණර උෂ්ණේ
වැදී වටහල අකුණු අස්සේ
බැණුම් මුරුසං වැස්ස මැද්දේ,
ජීවිතය හෙව්වා..
එක ම එක අස්සනක් ගන්නට
ඔබ බලා හිටියා.
සපත්තුවකට පිනි බිඳක් වැටුණා;
මං නොදැක්කා නොව නො දුටු ලෙස උන්නා
නාලිකා…
දිස්න දෙන මංගල යදම් බැඳී
වෙදගිල්ල දෙතොලට තියන්,
නිකට පපුවට නැඹුරු කරගෙන
අකුරු අතරක අතරමඟ ඔබ
යතුරු ලියනය ලියු වැරදි සෙව්වා..
එදා ඒ අකුරුත් මං වගෙම
හුස්ම ගත්තා
නාලිකා…
(ආයතන ප්රධානියෙකුට තම පුද්ගලික ලේකම්වරිය පිළිබඳ ඇතිවුණු සිතුවිල්ලක් )