Category Archives: දැනුම පොතට

චුන්නාකම් තීන්දුව එයි – සුභවාදී වෙනසක් වෙයිද ?

Screen Shot 2019-04-04 at 11.22.08 AM
චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරය නිසා එම ප්‍රදේශයේ භූගත ජලය සිඳී යාමට එරෙහිව ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ පෙත්සමේ නඩු තීන්දුව අද ( 04/ 04/2019 ) ප්‍රකාශයට පත්කෙරුණා. අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් මිලියන 20 ක් ගෙවන ලෙසටයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

2010 වසරේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අරඹා ඇති යාපනය චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු නිසා 2012 වසර වනවිට යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ප්‍රදේශයේ ළිං 120ක පවතින ජල සම්පත් වල සියයට 73ක ප්‍රමාණයෙන් තෙල් සහ ග්‍රීස් එක් වීමෙන් ජලය අපවිත්‍ර වී ජීවිතයට බාධා එල්ල වීමෙන් ප්‍රදේශයේ වැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි මෙම පෙත්සම ගොනු කෙරුණා.

එසේම මෙම විදුලි බලාගරයෙන් යාපනය අර්ධද්වීපයේ භූගත ජල සම්පත් වලට විශාල වශයෙන් දැවි තෙල් බැහැර වන බවද පෙත්සමකරු කියා සිටියා.

මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩල විසින් එම ප්‍රදේශය ජල සැපයුම් සිදු කිරීමද සම්පූර්ණයෙන්ම අත්හිටවූ අතර ඒ ගැන එම ප්‍රදේශයේ සිටින ප්‍රධාන වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ජල සම්පාදන මණ්ඩලය වාර්තා මඟින් අවස්ථා කිහිපයකදීම වගඋත්තරකාර බලධාරීන්ට පෙන්වා දී ඇති බවත් මේ පෙත්සමේ සඳහන් වුණා.

මෙම විදුලි බලාගාරය නිසා ජලය අපවිත්‍රවීමෙන් යාපනය අර්ධද්වීපයට දැවැන්ත පරිසර හානියක් සිදු ව ඇති බැවින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු වහාම නවත්වන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණු අතර ඒ අනුව 2015 වසරේ ජනවාරි 27 වැනිදා මල්ලකම් දිසා අධිකරණයෙන් දින නියමයක් නැතිව චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩකටයුතු නැවැත්වූ අතර 2016 දෙසැම්බර් 01 වැනිදා මෙම පෙත්සම යළි විභාගයට ගත් අවස්ථාවේදී, පෙත්සමේ තීන්දුව ලැබෙන තෙක් චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩකටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද ලබා දී තිබුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරි ය, විදුලිබල මණ්ඩලය, උතුරු පළාත් මහ ඇමති, යාපනය චුන්නාකම් විදුලි බලාගාර සමාගම, අයෝජන මණ්ඩලය, වලිකාමම් ප්‍රදේශීය සභාවේ සභාපති සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියා.

මේ නඩු තීන්දුවත් සමඟ පරිසරය පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති, යහපත් ආකාරයෙන් වෙනස්වනු ඇති බවට යම්තාක් දුරකට හෝ සුභවාදී බලාපොරොත්තු ඇති වී තිබෙනවා.

 

සම්පූර්ණ නඩු තීන්දුව මෙතැනින්

Screen Shot 2019-04-04 at 11.26.54 AM
චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරය

 

Screen Shot 2019-04-04 at 11.22.43 AM.png
තෙල් මිශ්‍ර වූ ජලය සහිත සිඳී යමින් පවතින ළිඳක්
Screen Shot 2019-04-04 at 11.37.56 AM
චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරය නිසා ළිං සිඳී යාම පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් සිදුකළ විරෝධතාවයක්

 

Advertisements

මියයාමේ නිම්නය මිනමාටා

screen shot 2019-01-21 at 1.31.24 pm
W. Eugene Smith විසින් 1971 වර්ෂයේදී ගත් Tomoko Uemura ගේ ඡායාරූපයක්
 
1956 දවසක ජපානයේ ප්රාදේශීය රෝහලක නේවාසික රෝගියෙකුගේ ඇඳ වටා වෛද්යවරුන් රැස්වී සිටියා. අතපය කොර වීම, මාංශ පේශීන්වල ක්රියාකාරිත්වය අඩාල වීම, මතකයේ අවුල් සහගත බව ආදී රෝග ලක්ෂණවලින් පෙළුණු මේ රෝගියා වෙනුවෙන් වෛද්යවරුන්ගේ රෝග විනිශ්චය වූයේ ඔහු රසදිය විෂ වීමෙන් පෙළෙන බවයි.
ඒ වනවිට සීග්රයෙන් කාර්මීකරණය වෙමින් පැවති මිනමාටා (Minamata) ප්රදේශයේ වාසය කළ මේ පුද්ගලයා සම්පුර්ණයෙන්ම සුව කළ හැකි ක්රමයක් වෛද්යවරුන් ඒ වනවිට දැනසිටියේ නැහැ. රෝගය පාලනය කළ හැකි ඖෂධ සමඟ සිය නිවස වෙත පිටත්කර හරින ලද මේ පුද්ගලයා මාස කිහිපයකට පසුව ජීවිතයෙන් සමුගත්තා.
 
ඉන් පසුව ගත වූ වසර කිහිපය පුරාවටම මෙම ප්රාදේශීය රෝහලට මෙම රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වුණා. වැඩිහිටියන් පමණක් නොවේ, කුඩා දරුවන් පවා මෙම රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත වුණා. ඔවුන්ටත් සම්පූර්ණ සුවය දිය හැකි කිසිදු ඔසුවක් මෙම වෛද්යවරුන් සතු වූයේ නැහැ. මෙම රෝගීන්ගෙන් බහුතරයක් මාස කිහිපයක් දුක් විඳීමෙන් අනතුරුව ජීවිතවලින් සමුගත්තා. මෙම අභිරහස් “රසදිය විෂ වීමට” හේතුව සෙවීම සඳහා අවධානය යොමු කළ රෝහල් බලධාරීන් මේ සියලු රෝගීන් සම්බන්ධයෙන් එක් පොදු සාධකයක් සොයාගත්තා. ඒ මෙම රෝගීන් සියලු දෙන මිනමාටා ජනපදයේ ජීවත් වන වැසියන් වීමයි.
රෝහල් බලධාරීන් ජපාන සෞඛ්ය බලධාරීන්ව මේ පිළිබඳව දනුවත් කළා. ඔවුන් මේ රෝගයට මිනමාටා රෝගය යැයි නම් තැබුවා.
 
මේ පිළිබඳව සොයා බැලීම සඳහා මිනමාටා බලා පිටත්ව ගිය සෞඛ්ය බලධාරීන් මුලින්ම සිතා තිබුණේ, මිනමාටාවේ යම් කිසි කර්මන්ත ශාලාවක සේවය කරන්නන්, එම කර්මාන්ත ශාලාවේ නිපදවෙන යම් කිසි රසායනයක් නිසා රෝගී වන බවත්, ඔවුන්ගෙන් ඔවුන්ගේ පවුල්වල පිරිසත් මෙම රසායනට නිරාවරණය වන බවත්, එලෙස ද්විතික නිරාවරණයට ලක්වූ පවුල්වල සාමාජිකයන් අතුරින් ප්රතිශක්තිය අඩු කුඩා දරුවන් මෙයින් රෝගී වන බවත් , ඔවුන් මෙම රෝගීන් වාර්තා වූ ප්රාදේශීය රෝහලට ප්රතිකාර සඳහා ඇතුළත් වන්නට ඇති බවත් පමණයි.
 
එහෙත් මෙම ලක්ෂණ සහිතව රෝහල්ගතවන රෝගීන් මෙම සෞඛ්ය ගැටලුවේ ඉතා කුඩා කුලකයක් පමණක් බව ඔවුන්ට වහාම පෙනී ගියා. රසදිය විෂවීම් නිසා රෝගී වී තිබුණේ එක් කම්හලක සේවය කළ අය නොවෙයි. රෝගීන් මිනමාටා නිම්නය පුරාම පැතිර සිටියා. නිවෙස්වල සිටි ගෘහණියන්, ඉතා වයස්ගත පුද්ගලයන් ආදියත් මේ රෝගයට ගොදුරු වී තිබුණා. මිනමාටා හි ගබ්සා වීම්, මළ දරු උපත් මෙන්ම, ආබාධිත දරු උපත් ද ගත වූ වසර කිහිපය තුළ අදහාගත නොහැකි වේගයකින් ඉහළ ගොස් ඇති බවත්, ඔවුන් නිරීක්ෂණය කළා. වෙනෙකක් තබා නිවෙස්වල ඇතිකළ සුරතල් සතුන් පවා විස්තර කළ නොහැකි රෝගවලින් මිය ගිහින් !
 
සුරතල් සතුන්ගෙන් බළලුන් මේ රෝගයට දරුණුවටම ගොදුරු වී තිබුණා. මාංශ පේශි පාලන කරගත නොහැකිව ” ගැහෙන” බළලුන් කොයිතරම් සුලබ වූවාද යත් මෙම රෝගය සුරතල් සතුන් හිමියන් විසින් “dancing cat fever ” ලෙසට හඳුන්වන්නත් පෙළඹී තිබුණා.
 
සෞඛ්ය බලධාරීන් දිගින් දිගටම ඔවුන්ගේ පරීක්ෂණ සිදුකරගෙන ගියා. මෙම පරීක්ෂකයන් කණ්ඩායම සිය ආරක්ෂාව තකා මෙන්ම රෝගයට හේතු වූ පරිසර සාධකය නිවැරදිව හඳුනාගත යුතු නිසා මිනමාටාවේ ආහාර හෝ ජලය පරිභෝජනය කළේ නැහැ. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙකුටත් ක්ලාන්තය, මාංශපේශි දුර්වලතා ආදිය ඇතිවුණා.
සියලු බාධක මැද ඔවුන් එක් වැදගත් සාධකයක් සොයාගත්තා.
 
මිනමාටා නිම්නය හරහා ගලා යන ගංගාව මේ බොහොමයක් දෙනාගේ පානීය ජල මූලාශ්රය වී තිබුණා. රසදිය විෂ වීමෙන් මියගිය සහ රෝගී වූ බොහොමයක් දෙනා මේ ගංගාවේ ජලය දිනපතා පානය කළ අයයි. මෙම ගංගාවේ ජලය වැටෙන මිනමාටා බොක්ක ආශ්රිතව ධීවර කටයුතු කළ අයත්, මෙම ධීවරයන් විසින් ගෙන එන මත්ස්ය අස්වැන්න පරිභෝජනය කළ අයත් මේ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී තිබුණා. මෙම රෝගය හා සම්බන්ධ සියලුම සාධක යොමු වී තිබුණේ මිනමාටා නිම්නය හරහා ගලා බසින ගංගාව දෙසටයි.
 
ඉතින් ඔවුන් මේ ගංගාවේ ජල නියැදියක් පරික්ෂාවට ලක් කළා. පිළිතුරෙන් අඩක් එතැන තිබුණා. ගංගා ජලයේ රසදිය මට්ටම සිතාගත නොහැකි තරම් ඉහළ අගයක් ! කිසිදු ස්වභාවික හේතුවක් මේ තරම් ජල දූෂණයකට හේතු විය නොහැකි බව ඔවුන්ට වැටහුණා. එපමණක් නොවෙයි, ගංගාවේ සහ මිනමාටා බොක්කේ මසුන් පවා මේ දූෂිත ජලය නිසා විකෘති වෙලා !
ඔවුන් මේ ජල දූෂණයට හේතුව සොයමින් ගංගා ඉවුර දෙපසින් ඉහළට ඇවිද ගියා. එවිට ඔවුන් තවත් වැදගත් සාධකයක් සොයා ගත්තා. මේ රෝගය මිනමාටාවේ සෑම තැනකම එක සේ පැතිර තිබුණේ නැහැ. ගංගාවේ ඉහළ කොටසක සිටි පිරිසක් මේ රෝගයේ බලපෑම්වලින් සම්පූර්ණයෙන් නොවුණත් යම්තාක් දුරකටබේරී සිටියා. ඔවුන් පරිභෝජනය කළෙත් මිනමාටා නදියේ ජලයයි. ඒ කොහොමද ?
 
මිනමාටා මුහුදු බොක්කට තරමක් ඈතින්, මිනමාටා ගංගා ඉවුරේ ලැගුම්ගත් විශාල යෝධයෙකු සිටියා. ඒ Chisso Corporation ගොඩනැගිල්ලයි. මිනමාටාවේ බොහෝ දෙනෙකු මේ කම්හලේ රැකියා කළා. LCD හෙවත් liquid crystal නිෂ්පාදනය කළ මේ කම්හලේ ප්රධාන කාර්මික අපද්රව්යයක් වුණේ රසදියයි (Methylmercury). පිළිතුරේ ඉතිරි අඩ පමණක් නොව ප්රශ්නයද තිබුණේ ඒ කර්මාන්ත ශාලාව සතුවයි.
 
කම්හලේ අප නළ සියල්ලම, මිනමාටා ගංගාවට හරවා තිබුණා. 1932 සිට වසර ගණක් පුරා මේ අපනල, දිනකට ගැලුම් සිය ගණනක් බැගින් රසදිය මුසු ජලය මේ ගංගාවට මුදාහැර තිබුණා.
 
සෞඛ්ය බලධාරීන් වහාම සිය සොයාගැනීම් ජපාන රජයට දැන්වූවා. වහාම මේ කර්මාන්ත ශාලාවේ කටයුතු නවත්වන්නටත්, අපජලය බැහැර කිරීමට සාධනීය ක්රමයක් සොයාගන්නා ලෙසටත්, රසදිය විෂ වීම නිසා අගතියට පත් පාර්ශව වෙනුවෙන් වන්දියක් ගෙවන්නටත් Chisso Corporation වෙතට නියම කෙරුණා.
 
එහෙත් Chisso Corporation බලධාරීන් මෙම නියෝගය භාරගත්තේ නැහැ. තමන් 1932 වසරේ සිට මෙලෙස කාර්මික අපද්රව්ය ගංගාවට බැහැර කළත්, පළමු රෝගියා වාර්තා වුණේ 1956 දී වීම නිසා මෙම රසදිය විෂ වීම් පිටුපස වෙනත් සාධකයක් ඇතැයි ඔවුන් තර්ක කළා. ජපාන රජයට මෙම තර්කය ජයගත හැකි විද්යාත්මක සාධකයක් සොයා ඊළඟට සිය පරීක්ෂණ සිදු කිරීමට සිදුවුණා.
 
ඇත්තටම එසේ සිදු වුණේ කොහොමද ?
 
රසදිය විෂ වීමක් සහිතව රෝහල් ගත වූ පළමු පුද්ගලයා මිනමාටාවෙන් වාර්තා වුණේ 1956 දී වුවත් 1937 වසර ආරම්භයේ සිටම විෂ වීම්වලින් මිනමාටාවේ මියගිය සංඛාව වැඩි වී තිබුණා. ඇතැම් පිරිස් රෝහල් ගත කර ප්රතිකාර ලබාදෙන තෙක්වත් ජීවත් වී තිබුණේ නැහැ. තවත් රෝගීන් 1956 දී වාර්තා වූ රෝගියාට තිබූ ඇතැම් රෝග ලක්ෂණද සහිතව රෝහල්ගත වී සිටියත් ඔවුන්ට තිබුණේ රසදිය විෂවීම බව සොයාගැනීමට වෛද්යවරුන් සමත්වී තිබුණේ නැහැ. ඇත්තෙන්ම සිදුව තිබුණේ 1956 දී මිනමාටාවේ පළමුවරට රසදිය විෂ වී පුද්ගලයෙකු රෝගී වීම නොව, මිනමාටාවේ අයෙකුට රසදිය විෂවීමක් සිදු වූ බවට වෛද්යවරුන් විසින් හඳුනාගත් පළමු අවස්ථාව 1956 දී වාර්තා වීමයි.
 
වහාම ක්රියාත්මක වන පරිදි Chisso ආයතනයේ මිනමාටාවේ පිහිටි කම්හල වසා දැමුණා. ඒ 1968 වසරේදී. ඒ වනවිට වසර 36 ක කාලයක් මිනමාටාවේ ජලයත්, පසත් , ජීවිනුත් මේ ආත්මාර්ථකාමී සහ නිසි සැලසුමක් නොමැති කාර්මිකරණයේ ගොදුරු බවට පත්වී තිබුණා. මිනමාටාවට සිදු කළ විපත වෙනුවෙන් වන්දියක් ගෙවන්න Chisso ආයතනයට නියම කෙරුණා. එමෙන්ම මිනමාටාවේ දූෂිත පරිසරය පිරිසිදු කිරීමත් ඔවුන්ට භාර කෙරුණා.
 
2001 වසරේ මාර්තු මාසයේ නිකුත් වූ වාර්තාවකට අනුව පුද්ගලයන් 2,265 දෙනෙකු මිනමාටා රෝගයට ගොදුරු වී තිබෙනවා. ඉන් 1,784 දෙනෙකු මියගිහින්. මේ වාර්තා වූ ප්රමාණය පමණයි. එහෙත් සත්ය තත්ත්වය මෙයට වඩා ඉතාමත් වැඩියි.
 
2004, වසර වනවිට Chisso සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 86 ක් වන්දි වශයෙන් ජපාන රජයට ගෙවා තිබුණා. ඒ මිනමාටා ගංගාව සහ පරිසරය පිරිසිදු කිරීමට අමතරවයි. මෙයට අමතරව හඳුනා නොගත් වින්දිතයන් වෙනුවෙන් වන්දි ගෙවන්නත් ජපාන රජය විසින් Chisso සමාගමට 2010 මාර්තු 29 වැනිදා නියම කළා.
 
මිනමාටාව ගොදුරු වූ මේ අභාග්යයය වෙනුවෙන් ඔවුන් ලද මූල්යම වන්දිය කිසිදාක කිසිසේත්ම හිලව් වන්නේ නැහැ. අදටත් මිනමාටාවේ රසදිය විෂ වීම්වල ප්රථිපල දකින්නට ලැබෙනවා. වසර පනහකටත් වැඩි කාලයකට පෙර සිදුවූ මේ රසදිය විෂ වීම මිනමාටා වැසියන්ගේ ප්රජනන සෛලවල තැන්පත්ව පරම්පරාවෙන් පරම්පරාවට විවිධ ආබාධ සහිත දරුවන් තිලිණ කරනවා.
 
මිනමාටා ඛේදවාචකය ගැන දැනුවත් කිරීම සඳහා වන ලියවිලි පිළිබඳව උනන්දුවන්නන් සහ මිනමාටා සිදුවීම අධ්යනය කරන්නන් හට මඟ නොහැරෙන ඡායාරූප දෙකක් තිබෙනවා. ඉන් එකක් රෝගී දැරියකගේ විකෘති ඇඟිලි සහිත අතක්. අනෙක ඇය සිය මව සමඟ නාන බේසමක බැස සිටින ඡායාරපය. මේ මිනමාටා රෝගය නිසා ආබාධිතව උපන් Tomoko Uemura ගේ ඡායාරූපයි. ඡායාරූප දෙකම ගෙන ඇත්තේ ඡායාරූප වාර්තාකරු W. Eugene Smith විසින් 1971 වර්ෂයේදී. මිනමාටා ඛේදවාචකය ගැන එතෙක් මෙතෙක් ගනු ලැබූ ප්රබලම ඡායාරූප ගෙන ඇත්තේ ඔහු විසින්.
 
ශෝකයත්, වේදනාවත්, භීතියත්, විපතත් කැටිවූ මේ කතාව ඔබ කියවන මොහොතේත්, අපේ රටේ ජල මුලාශ්ර රැසක් කාර්මික අපද්රව්ය නිසා දූෂණයට ලක්වෙනවා. එවැනි ඇතැම් අවස්ථාවන් ඇත්තෙන්ම වළක්වා ගත හැකි අවස්ථායි. මෙහි අව ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන්නේ ඒ ඒ ප්රදේශ ආශ්රිතව ජීවත්වන්නන් පමණක්ම යයි සිතා ඉවත බලා ගැනීමේ හැකියාවක්, කුඩා දූපතක ජීවත්වන අපට නැහැ.
විපත වන්නේ විපතක් සිදුවීම නොව, වැළක්විය හැකි විපතකට සිදුවීමට ඉඩ දී බලා සිටීම බව, මිනමාටා ඛේදවාචකය අපිට උගන්වනවා.
* ඡායාරූප සියල්ලම W. Eugene Smith විසින් ගන්නා ලද ඡායාරූපයි.
මුලාශ්‍ර – අන්තර්ජාලය, මිනමාටා සම්මුති වාර්තාව, මිනමාටා සිදුවීම් අධ්‍යන වාර්තාව (2012 )
Screen Shot 2019-01-21 at 1.58.03 PM.png
මිනමාටා නිම්නය සහ මිනමාටා බොක්ක. ගංගා ඉවුරේ පෙනෙන සුවිසල් ගොඩනැගිල්ල Chisso කම්හලයි

 

 

Screen Shot 2019-01-21 at 2.00.44 PM.png
Chisso අපනළයක් මුහුදු බොක්කට කෙළින්ම අප ජලය මුදාහරිමින්
screen shot 2019-01-21 at 1.27.01 pm
W. Eugene Smith විසින් 1971 වර්ෂයේදී ගත් Tomoko Uemura ගේ ඡායාරූපයක්
Screen Shot 2019-01-21 at 1.30.58 PM.png
දූෂණයට ලක්වූ මිනමාටා බොක්ක සහ ගංගාව
screen shot 2019-01-21 at 1.57.51 pm
විකෘති වූ මත්සයෙක්
screen shot 2019-01-21 at 1.31.59 pm
මිනමාටා වින්දිතයන් පිළිබඳව නඩුව අතරතුර ජපන් බලධාරීන්

සල් ගස – ඇත්තටම “සල්” ගසද ?

_102764597_193bae06-93b3-4148-bb3c-c21ae6673c05

අමර – නයනා විසින් එක ශ්‍රේණියේ පෙළ පොත් හරහා මැවූ මිහිරියාව ඔබට මතක ඇතැයි සිතමි. අමරාත් නයනාත්, පසුව සාමාත් සිටියේ සල් ගසක් යටය. පෙළ පොතේ සල් ගසේ රූපයක්ද තිබුණි. ඒ ගසේ මුල සිට මුදුන දක්වා, රෝස පැහැති මල් පිරුණු ශාඛයකි.
ඒත් ඒ ඇත්තටම සල් ගසද ?

අපි වැඩිදෙනෙක් “සල්” යැයි හඳුන්වන ගස කුමක්ද?

ශ්‍රී ලංකාවේදී සල් ගස ලෙස වරදවා අර්ථකථනය කර ඇත්තේ 1881වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ලංකාවට හඳුන්වා දුන් ශාකයකි. එක ශ්‍රේණිය සිංහල පෙළ පොතේ චිත්‍රයට නගා තිබෙන්නෙත් ඒ ශාඛයයි.
Couroupita guianensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාඛය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ cannonball tree හෙවත් ‘කාලතුවක්කු උණ්ඩ ගස’ යන නමිනි.
මේ ශාඛය දකුණු ඇමරිකාව නිජබිම කර ගත් ශාඛයකි.

cannonball-tree
cannonball-tree

“ඒ ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ කැනන් බෝල් ට්‍රී, මොකද එහි ගෙඩිය නැතිනම් ඵලය හරියට කාලතුවක්කු උණ්ඩයක් වගෙයි” ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සිරිල් විජේසුන්දර වරක් බී.බී.සී සේවය හා සාකඡ්චාවකට එක්වෙමින් කියා සිටියා.

1893-1900 කාලය තුළ සම්පාදනය කෙරුණු ‘Flora of British Ceylon’ නමැති ග්‍රන්ථාවලියට පෙර ලියවුණු ‘Flora of British India’ නමැති අත්පොතේ හඳුන්වා දීමේ ශාකයක් වශයෙන් හෝ ‘කාලතුවක්කු උණ්ඩ ගස’ පිළිබඳ සඳහනක් නොමැති බවත් මහාචාර්ය සිරිල් විජේසුන්දර මෙහිදී පෙන්වා දුන්නා.
‘කාලතුවක්කු උණ්ඩ ගස’, සල් ගස ලෙස වරදවා වටහා ගැනීම ශ්‍රී ලංකාව මෙන්ම තායිලන්තය තුළත් දැකිය හැකි බව කී මහාචාර්යවරයා,” මට හිතෙන විදිහට තායිලන්තයටත් මේ වැරැද්ද හඳුන්වා දෙන්න ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්න ඇති. නමුත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ අඩුම තරමේ ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් විසිතුරු ශාකයක්,”

එසේනම්, ” සල් ” ගස කුමක්ද?

shorea robusta යන නමින් හැඳින්වෙන සැබෑ “සල්” ගස සුදු පැහැති සුගන්ධවත් මල් සහිත ගසකි. මේ ගස එතරම් සුලබව නොවූවත්, ශ්‍රී ලංකාවේද දකින්නට තිබේ. මෙය සුගන්ධවත්, කුඩා මල් පිරුණු ගසකි. නේපාලයේ සහ ඉන්දියාවේ, සිදුහත් කුමාරෝප්පත්තිය පෙන්වන සිතුවම්වල දක්වා ඇත්තේද මේ ශ්වේත වර්ණ මල් පිරුණු ශාඛයයි.
මේ ශාඛයේ විවිධ ප්‍රභේද ද තිබේ. ඇතැම් ප්‍රභේදවල පත්‍ර ඉතා කුඩාය.
8627781779_0e6c8686d2_b

ත්‍රිපිටකයේ දීර්ඝතම සුත්‍රය වන මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්තාව විස්තර කෙරෙන්නේ, සල් ගස් දෙකක් අතර සැතපී සිටින බුදුන් වහන්සේගේ සිරුර, වැසී යන සේ සල් ගස් සිය සුදු පැහැති මල් හෙලන්නට වුණා .. ” ලෙසටයි.

එමෙන්ම බුද්ධ කාලීන සමාජයේ බ්‍රාහ්මණ උගැන්වීම් අළලා ලියවුණු බ්‍රාහ්මණ භාෂිතයේ සල් ගස හැඳින්වෙන්නේ ඉතා කුඩා සුදු, ඔසු ලෙස භාවිතා කරන මල් සහිත ගසක් ලෙසටයි.

මීට අමතරව විභූතිභූෂණ ඛන්දෝපාධ්‍යා විසින් රචිත අපරාජිත ජීවිතයක් හි, වෙළෙන්දන් විසින් රස කැවිලි ඔතා දෙනු ලබන්නේත් සල් කොළවලයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල අදටත්, තෙල් සහ පැණි සහිත ආහාර සල් පත්‍රවල ඔතා දෙනු දකින්නට පුළුවන්.

වරද සිදුවුණේ කොහොමද?

අපේ රටේ ඇත්තන් සල් ගස සහ කාලතුවක්කු උණ්ඩ ගස පටලවා ගැනීම කවදා සිදුවූවාදැයි නිශ්චිතවම කිව නොහැකි වූවත්, එය සිදුව ඇත්තේ ඉතාමත් ඈත අතීතයේ නොවන බව නම් කිව හැකියි. එම් සාර්ලිස් විසින් අඳින ලද බුද්ධ චරිතය සිතුවම්වල, සිදුහත් උපත සිදුවන දර්ශනයේ ඇත්තේද සිදු මල් සහිත ගසකි.

budu upatha copy
එම් සාර්ලිස් විසින් අඳින ලද සිදුහත් කුමාරෝප්පත්තිය

අදටත් ඇතැම් සිංහල වෙද පොත්වල ඇති චර්ම රෝග සුවකරන බෙහෙත් වට්ටෝරුවක, සල් මල් උණු දියේ තම්බා, ඒ ජලයෙන් ස්නානය කිරීම පිළියමක් ලෙස දක්වා තිබේ. “සල්මල් සේරුවක් තම්බා” යනුවෙන් එහි හැඳින්වෙන්නේ, එක මලක් සේරුවෙන් එකක් තරම් විශාල කාලතුවක්කු උණ්ඩ ගසේ මල් විය නොහැකි බව සාධනීයය.

කිසිවෙකු විසින් සල් ගස යයි වරදවා කාලතුවක්කු උණ්ඩ ගස හඳුන්වා දෙන්නට ඇති අතර එය අපේ පරම්පරාවේ මනසේ වැරදියට රෙජිස්ටර් වූයේ අමර – නයනා මල් කැඩූ එක ශ්‍රේණියේ පොතෙන් බව කිව යුතුය.

වරද්දා ගත්තේ අපි විතරද?

අපොයි නැහැ. කාලතුවක්කු උණ්ඩ ගස සල් ගස යනුවෙන් වරදවා වටහා ගැනීම තායිලන්තයේත් සිදුවනවා. ඔවුන්ගේ සිතුවම්වල පවා රෝස පැහැති විශාල මල් සහිත ගසක් දකින්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි, මුලින්ම මේ ගස් මාරුව කරගත්තේ අපි නොවෙන්නත් පුළුවන්.
birth_sm

ඉතින් අපි මොකද කරන්නෙ?

දන්නා දැනුම බෙදාගන්නවා හැරෙන්නට අපිට කළ හැකි කිසිවක් නැහැ. එහෙත් කියවන්නන් එය පිළි නොගන්නට ඇති ඉඩ, මේ දැනුම බෙදාගන්නට යමෙකු දක්වන කැමැත්තට වඩා වැඩි වෙන්නට පුළුවන්. මිනිසුන් වශයෙන් අපි සාමාන්‍යයෙන් එල්බ ගත් තීරණයක් වෙනස් කිරීමට අකමැතියි. කරුණක වැරදි – නිවැරදි බව පිළි ගන්නවාට වඩා අපි බොහෝ දෙනෙකු කැමති අවසානය දක්වාම අපේ මතය වෙනුවෙන් සටන් කරන්නයි.
එහෙත් ඇත්ත ඉන් වෙනස් වන්නේ නැතිබව අපේ අමරලාත් – නයනාලාත් මතක තබාගෙන සිටීම ඉතා වැදගත්.

————————–
මූලාශ්‍ර :-
BBC පුවත් සේවය, විකිපීඩියා නිදහස් විශ්වකෝෂය, බ්‍රිටැනිකා විශ්වකෝෂය, මහා පරිනිබ්බාන සූත්‍රය, sundaytimes පුවත්පත, ප්‍රකට සිතුවම් කිහිපයක්, විභූතිභූෂණ ඛන්දෝපාධ්‍යා විසින් රචිත අපරාජිත ජීවිතයක්, Buddhist Brahmans කෘතිය (බ්‍රාහ්මණ භාෂිත යනුවෙන් සිංහලට වර නැගුවේ මේ කෘතියයි.)