මේ මහා භද්‍ර කල්පය ය අප අතර,
ඔබ මුණිවර පහනක් සේ
නිවීමට ආසන්නයේ දැවෙන,
මා දැවී දැවී නොනිවෙන.
පෙම්වත,
ආලය ගින්නකි –
බුර බුරා නැගෙන;
එකුන් විසි තුන් පැයක්-
මයික්‍රෝ තත්පර අංශුවලට වෙන්කර
කෙටි ම කෙටි පණිවුඩ –
දිගම දිග කතන්දර –
එකින් එක යළිත් විමසා බලමි මම.
ඊයේට වඩා අද,
එක පණිවුඩයක් අඩුයි!
ජංගමය දැල්වෙයි –
හදවත ද දැල්වෙයි –
එහෙත් ඒ ඔබ නොවෙයි –
ඔබ විසින්
මට එවීමට අමතක කළ කවි,
කුරුළු හඬකින් ට්විටරය වෙත ගැයෙයි-
නෝක්කාඩු වියමනක් ඇඟිලි තුඩගින් වියැවෙයි..
දැන් ඉතින් ඔහොමයි-
ආදරේ කොහු කොහු වෙන්නෙත්,
පහු පහු වෙනකොටයි ..
ජංගමය දැල්වෙයි,
නොකියවූ පණිවුඩයක්,
කියවීමට අණ ලැබෙයි
ඒ ඔහුයි!
ඔබේ ට්විටර් කුරුළු තුඩු ඇනී ලේ ගලන,
නිර්වින්දනය නොවූ හදවතට
ඔහු ප්‍රේමවත් ඉමොජි පැලැස්තර අලවයි..
(18-05-2017)