Category Archives: Uncategorized

ලොකුවට බොරු කීමේ අන්තර්ජාල කලාව

pinocchio-970x545

“සයිබොරුකාරයා” යන නම ගම්වල යෙදෙන්නේ ලොකුවටම බොරු කියන්නන් උදෙසා ය. සයිබොරුකාරයන් ට ඕනෑ තරම් බොරු කිවිය හැක. ඇතැම් බොරු බොරු ම බව අසන්නන් ඇස් පනාපිට ඔප්පු වෙද්දී ම, බොරුවේ ඉතිරි ටිකත් දෙසාබෑම සයිබොරුකාරයාට නොකළ හැක්කක් නොවේ.”සයිබොරුකාරයන්ගේ” සයිබොරුවලට අහුවෙන්නන් ද මේ කියන්නේ මහා බොරුවක් බව ඇතැම්විට මුල සිටම දැන සිටිති. එහෙත්, ඔවුන්ටද, “අහුවෙන්නට හිතෙන තරමට ම” රසවත්ව මේ බොරුව ගෙනයාමට “සයිබොරුකාරයන් ” නිර්මාණශිලිය.

බොරුව ලොව ඕනෑම තැනකට පොදු වන්නාක්  ම, සයිබරයටත් බොරුව පොදු ය. ලොව අස්සක් මුල්ලක් නෑර අන්තර්ජාලය ව්‍යාප්ත වීමත් සමඟ, මේ “සයිබොරුවනුත්” ජාලගත වූහ. දත්ත සඳහා වැයවන සුළු මුදලට නො  සරිලන තරමේ මාහා පරිමාන බොරු, උපරිම නිර්මානශිලිත්වයකින් ද යුක්තව සමාජ ගත කිරීමට ඇත්තටම මහන්සිවන මේ පිරිස නිසා, දයිනිකව ඇන්දෙන්නන් ගේ ගණන සුළුපටු නොවේ. කොපමණ විචාරශීලි අයෙකුට වුවද සම්පුර්ණයෙන්ම ගැලවී සිටිය නොහැකි තරමට, මේ ජාලගත බොරුකාරයන් සුක්ෂම ය. ප්‍රසිද්ධ පුද්ගලයන් අලලා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම, රටේ කතාබහට ලක්වන පුවතක ආන්දෝලනාත්මක නැම්මක්, ප්‍රධාන ධාරාවේ සිදුවීමක අප්‍රධාන කොටසක් ඉලක්ක කොටගෙන නිර්මාණශීලි මෙන්ම ඇදහිය හැකි මට්ටමේ සාක්ෂි ද සහිත කතාන්දරයක් සම්පාදනය කිරීම සයිබර් බොරු අතර ඉතාමත් සුලභ ය.

සයිබර් බොරු කීම ද කලාවකි. රස්සාවකි. ඇතැම් ආයතන නිල නාමයක් රහිත, එහෙත් වැටුප් සහිත තනතුරක් ලෙස ට සයිබර් බොරුකාරයන් සේවයේ යොදවති. ඒ වැඩිමනක් ම, තමන් හා තරඟ  වදින ආයතනවලට “හොඳ තරඟයක්” දීමේ අරමුණින්, එකී තරඟකාරී ආයතනවල විශ්වසනීයත්වයට හානි කිරීමේ අරමුණ ඉටුකරගැනීම සඳහා ය. තවත් ආයතන මේ සයිබර් බොරු උපයෝගී කරගන්නේ උපරිම නිර්මාශිලිත්වය සහිත ව, වැඩි පාරිභෝගිකයන්  පිරිසකගේ අවධානය දිනාගැනීම උදෙසා ය. එමෙන් ම ආකර්ශනීය තේමාවකින් යුතු වීඩියෝවක් හෝ පුවතක් ඇති බවට අඟවා, නරඹන්නන් ඒ ඒ වෙබ් අඩවියේ ඇති වෙළඳ දැන්වීම කෙරෙහි යොමු කිරීම මේ එක් ආකාරයක “සයිබර් බොරු”වකි.ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි උපයෝගී කරගෙන ඔවුහු මේ “හානි රහිත – වාසි  සහිත” බොරු පතුරවති.
පහත දැක්වෙන උදාහරණය සලකන්න.
” මේ දැන්වීම ඔබේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර වටිනා ජංගම දුරකතනයක් දිනාගන්න. ඔබ කළ යුත්තේ ඔබට ජංගම දුරකථනය අවශ්‍ය වර්ණය අපවෙත දන්වා එවීම පමණයි.”
මේ ආකාර  දැන්වීම් සමාජ ජාල පරිහරණය කරන ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැක නැත.ඇතැම්විට ඔබේ සමාජ ජාල පිටු හරහා මිතුරන් අතර විසිරුවා හරිනවා ද විය හැක.එයින් ඇතැම් දැන්වීම් සත්‍ය ඒවාද විය හැක. එහෙත් ඒ ආකාරයෙන් පලවන දැන්වීම්වලින් සත්‍යවශයෙන් ම පොරොන්දු ඉටු වී ඇති බව පෙනී යන්නේ අවස්ථා කොතරම් ප්‍රමාණයක ද?

ආයතනිකව පඩි ලබන සයිබර් බොරු කාරයන්ට අමතරව, සයිබරයේ “සයිබොරු” පැතිරවීම ස්වයං රැකියාව කරගත් පිරිසක් ද සිටිති.
අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන්  හෝ යම් කිසි සමාජමය යහ ක්‍රියාවක් උදෙසා අරමුදලක් රැස්කරන මුවාවෙන් හෝ, කොටස් වෙළඳපොල ගනුදෙනුවක්, ව්‍යාපාර හවුලක් මෙන්ම නිත්‍යානුකුල නොවන පිරමිඩ ව්‍යාපෘතිවලට ඔබ හවුල්කරගෙන ලාභාංශ ලබාදෙන මුවාවෙන් මුදල් රැස්කිරීම මගින් දිනකට ඉලක්කම් හතරේ ආදායම් උපයන පිරිස් නැතුවා නොවේ. මෙම සයිබර් හොරුන් නිසා, සද් චේතනා පෙරදැරිව ඉදිරිපත්වන පුද්ගලයන්ගේ සද් ආධාර, නොලැබිය යුත්තන් අතට පත්වනවාක් මෙන් ම, සැබෑ අරමුණු උදෙසා සයිබර් පිහිට පතන්නන් ගේ අරමුණු අසාර්ථක වීමේ ඉඩකඩක් ද පවතී.

එමෙන් ම පුරුද්දට බොරු කියන්නනුත් ජාලගතව සිටිති. ඔවුන්ට බොරුව හරහා මුදල් ඉපයීමේ, ආයතනයකට සේවය කිරීමේ අරමුණකින් තොරව, බොරුවක් පතුරවා ඊට ලැබෙන “හිට්ස්” ගණන් කිරීමේ මනොභාවයෙන් යුතු පිරිස මේ ගණයට වැටෙති. ප්‍රකට පුද්ගලයෙකු මියගිය බවට පුවත් පල කිරීම මේ අතරින් විශේෂිත ය. පසුගිය කාලයේ සිදුවූ මේ සිදුවීම සලකා බලන්න.

කාලයක් අතිශය ජනප්‍රියත්වයට පත් ගායකයකුගේ බරපතල අසනීප තත්වයක් පිලිබඳ පුවතක් දනන් තුඩ තුඩ පැතිර යන මොහොතක, ඔහුට පිහිටවීම සඳහා අන්තර්ජාලය ද ඇතුළුව එකී මෙකී නොකී මාධ්‍ය හරහා අරමුදල් තර කෙරෙන මොහොතක, එම ගායකයා මියගිය බවට පුවතක් ෆේස්බුක් සමාජ අඩවියේ පළ විය.
රසිකයෝ කැළඹුණහ. පුවත පළ වී හොරාවකුදු ඉක්මයන්නට මත්තෙන්, දහසකට අධික පිරිසක් එය නරඹා තිබුණි.
ෆේස්බුක් ගිණුම් තුන්සියයකට අධික සංක්‍යාවක එය හුවමාරු වී තිබුණි.
අන්තිමේදී එය සාවද්‍ය පුවතක් බව නිල වශයෙන් දැනුම් දීම සඳහා මාධ්‍ය සාකච්චාවක් පවා පැවැත්වීමට පෙර කී ගායකයාගේ හිතවතුනට සිදුවිය.

ලෝක සයිබර් අපරාධ වැළක්වීමේ ආයතනයට අනුව, සාම තත්පරයකට වරක්ම, සාවද්‍ය පුවත් 17.000 ක් අන්තර්ජාලයට මුදාහැරේ. සෑම අන්තර්ජාල භාවිත කරන්නන් පස් දෙනෙකුගෙන් එක අයෙකු ම, පැය විසිහතරක කාලය තුළ දෙවතාවකට වඩා, අන්තර්ජාලයේ ඇති අසත්‍ය පුවතක් නිසා නොමඟ යාමේ ඉඩක් පවතී.
සයිබරයේ “සයිබොරුකාරයෝ” ඒ තරමට ම සිටිති.

ඉතින් අපි සියල්ලෝම සයිබර් අවකාශය තුල පහසුවෙන් ම “ඇන්දෙමින්” සිටින්නෙමු. එමෙන් ම “අන්දන්නන්” ද කොයි මොහොතක හෝ “ඇඳගන්නා” බව සිහි තබා ගනිමු.

 

සඳිනි තෙන්නකෝන්

දිනමිණ – 2015 මැයි 09

ලොකුවට බොරු කීමේ අන්තර්ජාල කලාව

Advertisements

මරණයක්

newsfirst-61441183644jpg

ඉර ගිනියමට දැල්වී තිබුණි. අවට පරිසරය ගින්නෙන් දැවෙමින් තිබුණි.

ඇය වටපිටත්, පහළත් බැලුවාය. ගිනිගන්නා නගරය ඇයට වඩා බොහෝ පහළින් පාසල් පිට්ටනියට එහා, තවත් පාසල් ගොඩනැගිල්ලකට එහායින් දිස්වෙමින් තිබුණි.
වාහන පෝලිම්ය. කහ ඉර ය. වාහන නලා හඬ ය. පාර දෙපස විසිරි පාසල් නිල ඇඳුම් හැඳි මනුෂ්‍ය ප්‍රාණීන් ය.  කහ ඉර  අසල පොලිස් නිලදරුවෙකු රාජකාරියේ දී සිටියේ ය.  හේ අතක් එසවූයේ ය. කඩිගුලක කඩිනමින් පිරිසක් පාර මාරු වූහ.

ඇය ඉහළ බැලුවා ය. පැහැදිලි නිල් අහසේ කුරුළු ගොයෙකු වට රවුම් පියාඹනු ඇය දුටුවාය. ඇගේ වමත පැත්තට වන්නට අහසේ ඇස් නිලංකාර කරවන ඉර ය. ඈ එදෙස නොබලන්නට පරිස්සම් වූවා ය.

ඇය නගරයට පිටුපා, පාසලට මුහුණපා සිටගත්තාය. ඉනික්බිති ඇස් පියාගත්තා ය.

කුරුලුගොයා සිය වට රවුමක් සම්පූර්ණ කර ගොඩනැගිල්ල මුදුනට ඉහළින් අහසට ළඟා විය.

හරියටම ඒ මොහොතේ සත්මහල් පාසල් ගොඩනැගිල්ල මුදුනේ සිට කිලෝ අසූවක මිනිස් සිරුරක් පාසල් පිට්ටනියට අද වැටිණි.

——————————————————
තද නිශ්ශබ්දතාවය ය. උඩ බැලූ විට ඇස් නිලංකාර කරවන ඉර ය. බිම, පාසල් නිල ඇඳුමකින් වැසුණු, හැඩයක් නොමැති පණ සුන් සිරුරකි. වටා විසිරි ගිය මස් කැබලිති ය.
එක්වරම වික්ෂිප්තතාව හඟවන “සූස්” හඬවල් නැගුණි. ඇද තිබූ බෙර සමක් මෙන් වූ නිශ්ශබ්දතාවය එයින් කම්පනය වීය. ඉනික්බිති නිශ්ශබ්දතාවය ඉරාගෙන විලාප හඬවල් මතුවීය.
ගොඩනැගිල්ලේ තැන් තැන්වලින් මතුවූ සුදුමැලි වූ මුහුණු ය. පිට්ටනිය වෙත දිව විත්, භීෂණයට තරමක් දුරින් ධෛර්යය සිඳුණු නරඹන්නන් ය. දුරකථන සංවාද ය. නගරයේ තදබදය හාරාගෙන ආ ගිලන් රිය ය. එලියට ඇදුණු ගිලන් මැස්සය .  පුහුණු අත්වලින් පණ සුන් ස්රුර එසැවිණි. රෙදි  කඩෙකින් වැසුණි. ගිලන් රිය පිටත්විණි.
 තවමත් පිට්ටනිය මත වියලෙමින් ඇති ලේය. මස් කැටිති ය.
පොලිසියය. කහ කළු ඉරි වැටි පොලිතීන් පටි ය.
කලබලයෙන්ද එබෙන අංක ය. නාද වන දුරකථන ය. දුරකථන සංවාදය.  ගිනිගන්නා නගරයට පාසල් ගොඩනැගිල්ල මුදුනෙන් බිමට පැන්න සිසුවිය පෙට්‍රල් හලා ඇත.
 —————————————

“මගේ රත්තරං දූට ප්‍රශ්නයක් තිබ්බේ නෑ…වෙන්ද වගේම උදේ නැගිටලා ඉස්කෝලේ ආව.. අනේ රුපියල් දාහක් ඕනෙ අම්මේ නාට්‍යට කිව්වා, මගෙ අතේ තිබ්බේ නෑ… මං හෙට දෙන්නම් කිව්වා ..අනේ මං දන්නේ නෑ එතැනින් එහාට ….  මම ඊට පස්සේ දන්නේ වැඩ පොළට ඉස්කෝලෙන් කතා කරල කිව්වමයි… අනේ… ”

 —————————————
“දවාලේ.. ඔව්.. මිස්ල එයාට බැන්න.. එයා ළමයෙකුගේ රුපියල් දාහක් හොරකම් කළානෙ…. “
“මේ එයාට කොල්ලෙකුත් ඉඳල තියෙනවලු .. “
“අම්මෝ මම තමයි ඉස්සෙල්ලම පිට්ටනියට ගියේ .. බලන්න බෑ… මූණේ පැත්තක් පොඩිවෙලා.. ඇසුත් අරගෙන හිටියේ.. “
“අයියෝ මේ ළමය කරගත්තු අපරාධයක්.. “
“මේ එයා ඉස්කෝලෙට ෆෝන් එකක් ගෙනල්ල අහුවෙලා ද ?”
“මේ ඇත්තටම එයා සල්ලි හොරකම් කරලද ?”
” දන්නේ නෑ අනේ.. දන්නේ නෑ.. “
“මේ ඔහොම මැරිච්ච අය හොල්මන් කරනවලු නේද ?”
“ගොනෝ !! ඒ හත්දවසේ දානේ හරියට දුන්නේ නැත්නම් !!!”
—————————————————————–
පාසල් ගොඩනැගිල්ල මුදුනෙහි අහසට විවෘත කොටසේ පරණ පාසල් පුටුවකි. සුළඟට ගසාගෙන නොයනු පිණිස එහි පාදයකට යට කළ ලිපියකි. අකුරු දෙපේළියකි. කඳුළු බිංදුවකි.
“මම සල්ලි හොරකම් කළේ නෑ අම්මේ..
මට සමාවෙන්න ..”
—————————————————————–
“හරි .. මිස් කියන්න බලන්න ඇත්තටම මොකක්ද අද දවල් වුණේ කියල.. “
“මම හිටියේ ඉස්කෝලෙන් පස්සේ තියෙන ශිෂ්‍යත්ව පන්තියට උගන්වන ගමන්.. එක පාරට ජනේලේ ගාවින් මොකක්ද වැටෙනවා වාගේ දැක්ක. මම නිකමට ජනේලෙන් එබිලා බැලුවේ..
අම්මෝ මගේ ඇඟ සීතල වෙලා ගියා. මට ටිකක් වෙලා ගියා වුණේ මොකක්ද වුණේ කියල හිතාගන්නම..
මම හෙමි හෙමින් පඩිපෙළ බැහැල එතනට ඇවිදගෙන ගියා.. එතකොට මේ මාලා මිස්,  ගීතා මිස් එහෙම එතනට ඇවිල්ල හිටියේ. තව ඉස්කෝලේ ළමයි කීප දෙනෙකුත් හිටිය.. ළමයින්ගේ නම් මූණු මතක නෑ..
මොකක්ද? ඔය කියන සල්ලි ගත්තු සිද්ධිය නම් මම දන්නේ නෑ සර්.. ඒක අහන්න ඕන පන්තිභාර මිස්, ජයන්ති මිස්ගෙන්.. “
” කෝ ජයන්ති මිස් .. හරි ජයන්ති මිස් කියන්න බලන්න මොකද වුණේ කියල ..”
 ඊයේ හවස  ඉස්කෝලේ ඇරෙන්න පොඩි වෙලාවකට කළින් 12 පන්තියේ ළමයි ටිකක් මාව හම්බුවෙන්න ගුරු විවේක කාමරේට ආව. පන්තියේ ළමයෙකුගේ රුපියල් දාහක් නැතිවෙලා කියාගෙන.
ඉතිං මම පන්තියට ගියා. ඒ වෙද්දීමයි ඉස්කෝලේ ඇරෙන්න බෙල් එක වැදුණේ.
ඒත් මම පන්තියට කිව්වා ගාථා කිව්වට පස්සේ එක්කෙනෙක්වත් යන්න එපා බෑග් බලනකම් කියල.
ඉතිං මම පන්තියේ ළමයි පෝලිමට හිටවල බෑග් බලන්න ගත්ත.
මේ ළමය හිටියේ පෝලිමේ අන්තිමට වෙන්න.. බැලූ බැල්මටම ටිකක් කලබලෙන් වාගේ හිටියේ..
කොහොමහරි ඒ ළමයාගේ බෑග් එකේ තිබිල රුපියල් දාහක් හම්බවුණා.. ඉතිං මම අනෙක් ළමයින්ට ගෙදර යන්න ඉඩ දුන්න..
මේ ළමය කිව්වෙම මේ සල්ලි එයාගේ කියලයි.. පස්සේ මම රුපියල් දාහ ආපහු එයාටම දීල ගෙදර යැව්වා..”
“එතකොට මොකක්ද මේ ළමයි ෆෝන් එකක කතාවක් කියන්නේ මිස් ?”
“මටත් එහෙම කතාවක් අහන්න ලැබුණ අද, මේ ළමය මේ අපරාදේ කරගන්න කළින්.. හැබැයි එයාගේ ගාව ෆෝන් එකක් නම් තිබ්බේ නෑ මම බෑග් බලන වෙලාවෙ..”
 —————————————
පුවත් කෙටි පණිවුඩ සේවා ය. රේඩියෝ ය. අසුභ පුවත මුලින් ම කීවේ අප ය.
තව තවත් පුවත් දැනගැනීමට දිගටම අප හා එකතු වී සිටිය යුතු ය.
සවස හයට, රෑ හතට සහ රෑ අටට හරි තොරතුරක් දැනගැනීමට ඔබ අපේ ප්‍රවෘත්ති විකාශය නැරඹිය යුතුය.
ප්‍රවෘත්තිය – මුලින් ම කියන්නට ඕනෑ ය.
 —————————————
” දරුවා ඊයේ ගෙදර ඇවිත් මුකුත් කිව්වේ නැද්ද අම්මේ.. ඉස්කෝලේ වෙච්ච දෙයක් ගැන මොනවත් හෙම ?”
“අනේ මහත්තයෝ නෑ… ඊයේ ගෙදර ආපු ගමන් ඔලුව රිදෙනවයි කියල නිදා ගත්ත… අනේ මගේ දූ…
හිතේ අමාරුවෙන් හිටියේ මහත වැඩියි කියල.. ඒත් තාත්ත කිව්වා දැන් ඔය නාට්‍ය පුරුදු වෙද්දී මහත අඩුවෙලා යාවි කියල…
අනේ.. හිතේ දුකක් තිබ්බනම් අම්මත් එක්ක කියන්න තිබ්බනේ පුතේ…
.
.
.

මොකක්? හොරකමක්??? මගේ දූ…??? අනේ මගේ කෙල්ල එහෙම නෑ… අපොයි සහගහන කතා මේ .. ”

.
.
.
.
.
.
ක්ලාන්ත වීමක්.
 —————————————
“දූට අද හවස පන්ති… එයාව ගන්න ආවේ මම.. මොකෝ මේ ඉස්කෝලේ කලබලයක්.. “
“ළමයෙක් උඩ තට්ටුවෙන් පැනල..!”
“හෑ !! මැරිලද?”
“මැරිලදත් අහනවා.. හත්වෙනි තට්ටුවෙන්..”
‘”මොකක් නිසාද පැනල තියෙන්නේ..?”
“මොකක් හරි කොලු සීන් එකක් වෙන්න ඇති..  දන්නෑ හරියට..”
 —————————————
පොලිස් කැමරා ය. පාසල ඇතුලත ය. ගේට්ටුව අසල සිට පොදිකන කැමරා ය. ඇතුලට ඒමට අවසර නොමැතිවය.
පාසල් තාප්පයෙන් පිටත හයාගත් නෙතින් සහ සවනින් යුතු නගරයය. ආරංචි තටු ලැබී තාප්පයට ඉහළින් පියාඹති. ජංගම දුරකථන කැමරා පටිගත කරගනිති.
ෆේස්බුක් ය . යාවත්කාලින ය .  මියගිය ශිෂ්‍යාවගේ පින්තූර ය. හැලි ලේ වියලෙන්නට පෙර ගත් පින්තූරය.
වෙබ් අඩවි ය.
ශිෂ්‍යාව සියදිවි නසාගත් හේතුව තවම සොයාගෙන නැත. ප්‍රේම සම්බන්ධයක් යයි සැක ඇත.
ආරංචි පියාඹති. මග දිග වෙනදා මෙන් ම දිගට දිගේ වාහන පෝලිම්ය. වෙනදා මෙන් මැසිවිලි නැත.
පැයකට දෙහෙකට පෙර දැරියක් සියදිවි නසාගත් පාසල අසලදී වාහන ජනෙල වීදුරු පහත් වෙති. කුතුහල විසින්  සොයන දේ ආවරණය කරගත්  පාසල් බිත්තියේ සහ ගේට්ටුවේ අයාගත් ඇස් ඇලෙති.
 —————————————
“මේ ළමය එහෙමට කතාබහ තිබ්බ ළමයෙක් නෙමෙයි.. යාලුවොත් නෑ එච්චර .. මහත ගැන කිය කිය පන්තියේ ළමයි විහිලු කරනවා කියල මට මෑතකදී ආරංචි වුණා… ඉගෙනගන්න නම් දක්ෂයි.. චිත්‍ර අඳිනවා කොච්චරවත්.. ඔය අනෙක් ළමයින්ගේ පාසල් ව්‍යාපෘතිවලට එහෙමත් චිත්‍ර ඇඳලා දීල තිබ්බ පහුගිය දවස් ටිකේ.. ඔය නාට්‍ය වැඩවලට සම්බන්ධ වෙන්න ගත්තයින් පස්සේ තමයි ටිකක් පන්තියේ පිළිගැනීමක් ආවේ.. ඒත් ලොකුවටම එළි පහලියට ආපු ළමයෙක් නෙමෙයි.. “
“හොඳයි .. අද දවසේ මොකද වුණේ ? “
“අදත් ළමයි හිටියේ ඊයේ සිද්ධියේ කලබලෙන්.. මේ ළමය උදේම ඉස්කෝලෙට ඇවිත් හිටිය.. මම පන්තියට එන වෙලාවේ මෙයා සාමාන්‍ය විදිහට හිටිය..
දවල් කෑම වෙලාවට කළින් පන්තියේ ළමයි කණ්ඩායමක් මාව හම්බවෙන්න ආව.. එයාල කිව්වා ඊයේ දවසේ මේ ළමයාගේ හැසිරීම සැක සහිතයි කියල. මෙයා අර සල්ලි නැතිවෙච්ච ළමයගේ බෑග් ඒක ළඟ ඉන්නව කීප දෙනෙක්ම දැකල තිබ්බ..ඒ වගේම බෑග් බලන වෙලාවට කළින් මෙයා ළඟ ෆෝන් එකක් තියෙනවා දැක්ක කියලත් ඒ අය කිව්වා.. හැබැයි මම ඒ කතාව ගණන් ගත්තේ නෑ .. මොකද මම බලන වෙලාවේ මෙයාගේ බෑග් එකේ ෆෝන් එකක් තිබ්බේ නැති නිසා.
මට ඕන වුණේ මේ සිද්ධිය ඉවරයක් කරන්න.. අර ළමයත් එක්ක පස්සේ කතාකරන්න හිතාගෙන මම මේ ආපු ළමයි කණ්ඩායමට කිව්වා එයා හොරකම් කළා කියල හරියටම කියන්න බෑ කියල…
ළමයි කණ්ඩායම පන්තියට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ මම පන්තියට යද්දි පන්තියේ ලොකු ගෝසාවක්. ළමයි ඔක්කොම හිටගෙන. මේ ළමය විතරක් මේසෙට ඔලුව තියාගෙන හිටිය.
ළමයි කිය කිය හිටියේ මේ ළමය සල්ලි හොරකම් කළා කියල. අන්තිමේදී  බැරිම තැන මම ඇහුව මේ ළමය සල්ලි හොරකම් කළා කියල හිතන අය අත උස්සන්න කියල.
පන්තියේ ඔක්කොමල අත ඉස්සුවා.
මේ ළමය ඒ හැමෝම දිහා බලන් හිටිය.
විවේක වෙලාවෙන් පස්සේ ළමය හිටියේ පුස්තකාලේ. මම මුකුත් කියන්නවත් අහන්නවත් ගියේ නෑ ළමය හිටපු තත්ත්වෙත් එක්ක..”
“දැන් ඊයේ.. මේ ළමයාගේ බෑග් එකේ තිබල සල්ලි හොයාගත්තු වෙලාවේ පන්තියේ අනික් ළමයි එතන හිටියද ?”
“ඔව් .. මුළු පන්තියම හිටිය.. “
.
.
.
.
.
.
නිශ්ශබ්දතාවයක්
 —————————————
“මට මේ පාසලේ විදුහල්පතිනිය විදිහට මේ ගැන මොනවත් ම කියන්න බෑ.. පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වනවා. මගේ සේවා ජිවිතේ මම මුහුණ දුන්නු අවාසනාවන්තම සිද්ධිය මේක…
මොකක්ද? ගුරුවරුන්ට දොස් කියන්නේ මොකටද? මම කිව්වනේ තාම පොලිසිය මුකුත් හොයාගෙන නෑ කියල..
මොකක්ද ? කවුද ඔයා? මොන මීඩියා එකෙන් ද ? යන්න යන්න.. මේ වෙලාවේ අපිට තියෙන ලොකුම දේ මිඩියාවලට උත්තර බඳින එකද? …”
—————————————
ගුරුවරියත් එක්ක පන්තියේ තිහකි. එක මළ සිරුරකි.
 කතා කරන්නට බැරි මළ සිරුරක් ගැන කියන්නට කතා තිහකි.
 —————————————
“දැන් මේ නම් කියන පිළිවෙලට  ඔය එක එක්කෙනා ඇවිත් තමන් දන්න දේ කියන්න ඕන.. අරය මෙයා බේරන්න බොරු කියන්න බෑ.. දන්නවනේ .. වෙලා තියෙන්නේ බරපතල දෙයක්. ඔයාලගේම අතරින් කෙනෙකුගේ ජීවිතේ නැතිවෙලා. එයා වෙනුවෙන් අපි ඇත්ත හොයාගන්න ඕන..”
 —————————————
” ඊයේ හවස සුභාෂිණි ගේ රුපියල් දාහක් නැතිවුණා. අපි ඒක ජයන්ති මිස්ට කිව්වම මිස් ඇවිල්ල බෑග් බැලුව. මෙයාගේ බෑග් එකේ තිබිල දාහ හම්බවුණා. අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියා…
ඊයේ සල්ලි නැතිවෙන්න කළින් මෙයා සුභාෂිණි ගේ බෑග් එක ගාව හිටිය. . ඒ වගේම එයාගේ ළඟ ෆෝන් එකක් තියෙනවත් කීප දෙනෙක්ම දැකල තිබුණ..අපි ඒක මිස් ට කිව්වා..
මොකද එයා මොන දේ කලත් මිස්ට විශ්වාසයි එයාව.. “
 —————————————
“එයාට කොල්ලෙක් හිටිය කියල හිතන්න බෑ.. එයා එහෙමට පෙණුම කෙනෙක් නෙමෙයි..අපිත් එක්ක? අපෝ අපි ඔව්ව කතා කරන්න තරම් එයා එක්ක කිට්ටු නෑ..හොඳම යාළුවො… අපෝ එයා ඉන්නේ තනියම..පොත්වලම එල්ලිලා ඉන්නේ…”
 —————————————
“සල්ලි නැතිවුණේ මගේ.. තාත්ත මට ඒ සල්ලි දුන්නේ ඊයේ.. “
“මොකටද තාත්ත සල්ලි දුන්නේ ? “
“මගේ සුමානේ වියදමට ..”
“හ්ම්… “

“මම හැමදාම සල්ලි දාන්නේ බෑග් එකේ ඇතුලේ සාක්කුවක. ඊයෙත් එහෙමයි.. කෑම වෙලාවේ ඒ සල්ලි තිබ්බ කියල මට මතකයි..  ඉස්කෝලේ ඇරෙන්න කිට්ටුව ගෙදර යන්න බස් ඒකට සල්ලි ගන්න බෑග් එක ඇරියම දැක්කේ.. දාහේ කොලේ විතරක් නැතිවෙලා.. ඊට පස්සේ අපි ගිහින් ජයන්ති මිස්ට කිව්වා..

මම නම් ඒත් කිව්වා මිස්ට  කියන්න ඕන නෑමයි කියල … අපිට ඔය දාහ මහ දෙයක් නෙමෙයි.. ඒත් පන්තියේ අනික් ළමයි කිව්ව කියන්න ඕන කියල..

අපි අතරේම හොරු ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නෙ .. නේද සර් ? ”

“දැන් ඒ ළමය ඔය ළමයාගේ බෑග් එක ගාව හිටිය කියන වෙලාවේ ඔය ළමය කොහෙද හිටියේ… ?…”
“මම හිටියේ එහා පන්තියේ.. ඒ ගිහින් එන වෙලාවේ මගේ පොත් බෑග් එක බිම වැටිලා තිබිල එයා අහුලලා තිබ්බ කියල පන්තියේ ළමයි කිව්වා..  “
 —————————————

“සර් එයා මේගොල්ලෝ කියන විදිහේ ළමයෙක් නෙමෙයි..එයා චිත්‍ර ඇන්ද , පොත් කියෙව්වා.. නිශ්ශබ්ද ළමයෙක්… එයාට යාළුවො කවුරුත් හිටියේ නැත්තේ නෑ.. පන්තියේ ඔක්කොම එයාට යාළුවො.. එයා හැමෝටම උදව් කළා..

ඊයේ සිද්ධිය ගැන මම දන්නේ නෑ.. මම ඊයෙයි අදයි  ඉස්කෝලේ ආවේ නෑ අම්මට අසනීප නිසා.. වෙච්ච ආරංචි වෙච්ච් ගමන් මම තාත්ත එක්ක ඉස්කෝලේට ආවේ..

මැරිලා කියල දන්නවා.. එයාට ගොඩක් තුවාල ද සර්.. ?
 —————————————
කළු පැහැ පාසල් බෑගයක්ය. එහි පොත් ය. කුඩයක් ය.
කවරයක දැමූ රුපියල් පන්සියයේ කොළ දෙකක් ය.
ව්වෘත නොකළ කෑම පාර්සලයක් ය.
පසෙකින් කඳුළු සලන අම්මා ය.
“අනේ පුතේ… ඔයා අද බඩගින්නෙම හිටියද පුතේ? ..”
.
.
.
.
.
.
.
පිළුණු ගඳ ය.
—————————————
 “මේ ළමයි.. මොකක්ද දැන් මේ නැතිවෙච්ච ළමය ඉස්කෝලෙට ෆෝන් එකක් ගෙනාවයි කියල කියන කතාව… ? කවුද ඒ කතාව ඉස්සෙල්ලම කිව්වේ ??”
—————————————
 “හෙලෝ ! හෙලෝ !! කතෘතුමා … අර ඉස්කෝල ළමයෙක් උඩින් පැන්න තැන ඉන්නේ…
නෑ නෑ.. බොඩි එක ගෙනිහින් අපි එද්දී…
ෆෝන් එකකින් ගත්තු ෆොටෝ එකක් නම් තියෙනවා…
………………………………………………………………………
හා.. හා.. සිසුවිය සත්මහලින් බිමට පනී කියල දානන්ද එහෙනම් ?
…………………………………….හා හා ඕකේ !
 —————————————
හෙඩ්ලයින් වෙනස් වෙනවා ළමයි..මේක ලියල ගන්න…

වීඩියෝ තව ටිකකින් ලැබෙයි ලෑස්තිවෙලා ඉන්න..

………………..

ඔව් ඔව්.. මුල් පිටුව… සම්පූර්ණ පිටුව දාමු

—————————————
ගුරුවරියත් එක්ක පන්තියේ තිහකි. එක මළ සිරුරකි.
කට උත්තර තිහකි. තව එකකි.
“සර්.. මට කියන්න දෙයක් තියෙනවා…”
“ඔය ළමය ඉස්සෙල්ලත් ආව නේද? “

“සර්… අනික් ළමයින්ට කියන්න එපා මම මේක කියපු විත්තියක්… ”

“ළමයෝ… ඔයා මෙතන දෙන්නේ කටඋත්තරයක් .. ඒක ඇත්තක් නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..”

“සර්.. ෆෝන් එක සුභාෂිණි ගේ.. එයා ඒක ගෙදරට හොරෙන් තියාගෙන ඉන්නේ…”

“එතකොට ඒ නැතිවෙච්ච ළමයත් ඔය ෆෝන් එක පාවිච්චි කළාද? “
“මම දන්න තරමට නෑ සර්… සල්ලි නැතිවෙලා කියල කියපු සුභාෂිණි කැමති වුණෙත් නෑ මිස් ඇවිල්ල බෑග් අවුස්සනවට…
ඔය ෆෝන් එකේ  කතාව කට වැරදිලා කාට හරි කියවෙච්ච එකක්… “
“ඒත් මේ මැරුණු ළමය ෆෝන් එක අතේ තියන් ඉන්නව දැකපු අය ඉන්නවා නේද ?”
“එහෙම කියන්නෙත් ඒ අයම නේද සර්? “
—————————————

කොණ්ඩා කරලක අගිස්ස පැටලෙන ඇඟිල්ලකි. මේසයට ගසාගත් හිසකි. වේගවත් උණුසුම් සුසුම් ය. කඳුළු සහ සොටු ය.

හිස අතගා සනසන අතකි.

“නාඩා ඉන්න සුභාෂිණි.. ඔයා වැරද්දක් කරලා නෑ නේ… “
—————————————
හමුදා නිල ඇඳුමකි.  බිමට නැමුණු හිසකි. අතක ලේන්සුවකි. කඳුලින් පෙඟුණු ලේන්සුවකි.
” දුව ඊයේ උදෙත් වෙනද විදිහටම ඉස්කෝලේ ගියා සර්.. යන්න කළින් රුපියල් දාහක් ඉල්ලුව නෝනගෙන් … නාට්‍ය පුහුණුවකටය කියල.. නෝන ගාව තිබ්බේ නෑ සර්..  ඒ ගමන මම දුන්න …
සර්? ………. පන්සීයේ කොළ දෙකකින් දුන්නේ සර්…
මම නිවාඩු ඉවරවෙලා ඊයෙයි ගියෙ සර් … මම දුවව අන්තිමට දැක්කේ ඊයේ උදේ ගෙදරින් යද්දී
අනේ මගේ දුව බිමට පැන්නේ ඇයි සර් ? ”
.
.
.
.
.
(නිහඬ ඉකිබිඳුමක් සහ සැලෙන උරහිසක් )
————————————-
කහ පැහැති ලියුම් කවරයකි. එතුල රුපියල් පන්සියයේ නෝට්ටු දෙකකි.
“නැතිවුණේ දාහේ නෝට්ටුවක් කියල නේද කිව්වේ?”
.
.
.
.
.
.
නිශ්ශබ්දතාවයක්
—————————————
පිට්ටනිය මැද ලේ මත නිල මැස්සන් පොදි කමින් සිටියහ.
ලේ  කැටි උඩින් වැලි විසිරිණි. ඉර බැස යමින් තිබුණි.
බලා සිටීමෙන් හෙම්බත් වූවෝ විසිර ගොසිනි.
ඉතිරිය රෑට ය. බත් කන ගමන් නරඹන ප්‍රවෘත්තිවලය.
 —————————————
“දැන් ඇත්තම කියන්න ඕන… අපි ඔයාට හිංසාවක් කරන්නේ නෑ.. අපිට දැනගන්න ඕන ඇත්ත. ෆෝන් එක ඔයාගේ කියල අපි හොයාගත්ත.. ඇත්තටම රුපියල් දාහක් නැතිවුණා ද ? එහෙම නැත්නම් ඒක වැඩිදුර නොහිත ඔයා කියපු බොරුවක්ද ? “
“සුභාෂිණි… ?”
.
.
.
.
.
ඉකිබිඳුමක්
 —————————————

“ෆෝන් එක මගේ තමයි සර්…ගෙදරට හොරෙන් තියා හිටපු නිසා  මම හැමදාම වගේ ඒක ඉස්කෝලේ ගෙනාව.. (ඉකිබිඳුමක් ) ඊයේ… කලබල අස්සේ කාටහරි කට වැරදිලා ෆෝන් එක ගැන කියවුණා.. (ඉකිබිඳුමක් )……….

මගේ සල්ලි නැතිවුණේ නෑ… මං.. මං… මට ගෙදරින් දීපු සල්ලි…. (ඉකිබිඳුමක් )…….මං සල්ලි නැතිවුණා කියල කිව්වට මෙහෙම දෙයක් හිතුවේ නෑ සර්… ඔක්කොමල එකතුවෙලා එයාව හොරකමට අල්ලද්දී මම සද්ද නැතුව හිටියේ ඒකයි ….

.
.
.
.
.
අනේ සර් මං ඒ සල්ලි තරිඳු අයියට දුන්න කියල දන්නවනම් ගෙදරින් මාව හම ගහවි සර්….!”
(2010 නොවැම්බර් )
.

විවෘත ජනේලය

 

 

(Hector Hugh Munro හෙවත් Saki Munro ගේ The Open Window කෙටි කතාවේ පරිවර්තනයකි. )

open-window-1
Frederick Childe Hassam ගේ Bowl of Goldfish සිතුවම (1912)

” මගේ නැන්දා ඉක්මනින් ම ඒවි නටෙල් මහත්මයා… ” දැරිය කීවාය. ඇය ඉතා විනීත මෙන් ම තැන්පත් පෙනුමක් තිබූ පහළොස් හැවිරිදි දැරියකි. ” ඉතින් ඇය එනකම් ඔබට බලා ඉන්න වෙනවා.. කමක් නැහැ.. මම ඉන්නවනේ ඔබේ තනියට..”

පැමිණීමට නියමිත නැන්දණිය පිළිබඳව, මේ දැරියගේ සිත සතුටුවන ආකාරයේ  යමක් කීමට ෆ්රැම්ටන් නටෙල් උත්සාහ කළේය. එමෙන් ම මේ සම්පුර්ණයෙන් ම නාඳුනන මිනිසුන් මැදට පැමිණීම තම ස්නායුවලට අත්කර දෙනු ඇත්තේ කුමනාකාරයේ සෙතක් දැයි ඔහු කල්පනා කළේය.

 “මම දන්නේ නෑ එහෙ කොහොම වෙයිද කියල නම්… ” ඔහු මේ පිටිසර ගම්මානයට පිටත් වීමට සුදානම් වනවිට ඔහුගේ සොයුරිය කීවා ය.
“ඔයාට එහෙ ගිහින් ඉන්න වෙන්නේ ඉවසන්න බැරි තරමේ පාලු පරිසරේක. ඉන්න වෙන්නේ කතා බහ කරන්න කිසි දෙයක් නැති සම්පුර්ණයෙන් ම ආගන්තුකයන් මැද්දේ. ඒක ඔයාගේ ස්නායුවලට කොහොම බලායි ද කියල මට නම් හිතාගන්න අමාරුයි. කොහොම වුණත්, ඔය ගමේ මම දන්න අඳුනන කීප දෙනෙක් ඉන්නවා. මම ඒ හැමෝටම ඔබව හඳුන්වා දීමේ ලිපි ලියා දෙන්නම්. මගේ මතකේ විදිහට ඔවුන් හැම දෙනෙක්ම ඉතා කරුණාවන්ත, ගුණ යහපත් මිනිස්සු.. “
ඔහුගේ සොයුරියගේ එක් ලිපියක් යොමුව තිබුණේ, ඔහු මේ දැන් පැමිණ සිටින සැපල්ටන් මහත්මිය වෙතටයි. ඇය, සිය සොයුරිය පෙර කී ” ඉතා කරුණාවන්ත – ගුණ යහපත් මිනිස්සු ” ගොඩට අයත් දැයි ඔජු කල්පනා කළේය.

“ඔබ මේ පළාතේ මිනිස්සු ගැන මොනවම හරි දන්නවද?” දැරිය ඇසුවේ දිගින් දිගටම කල්පනාවේ ගිලී සිටි අමුත්තාගෙනි.

“මම අඳුනන කවුරුවත් මෙහෙ නැහැ..” නටෙල් කීවේය. “මෙහෙ දේවගැතිතුමාගේ පාලනය යටතේ තිබෙන කාර්යාලයේ මගේ අක්ක අවුරුදු හතර පහකට කලින් රැකියාවක් කළා. ඉතින් එයා තමයි මාව මෙහෙට යොමු කළේ. පළාතේ කිහිප දෙනෙකුගේම නමට මාව හඳුන්වාදීමේ ලිපි ඇය ලියල දුන්න..

“එහෙනම් ඔබ මගේ නැන්දා ගැන මොනවත්ම දන්නේ නැද්ද ?” දැරිය විමසුවේ ඉතා සන්සුන් විලාශයෙනි.
“මම දන්නේ ඔයාගේ නැන්දගේ නමයි ලිපිනයයි විතරයි… ” අමුත්තා කීවේය.

සැපල්ටන් මහත්මිය විවාහකද, අවිවාහක්ද, වැන්දඹු ද යන්නවත් ෆ්රැම්ටන් නටෙල් දැන සිටියේ නැත. වචනයෙන් විස්තර කිරීමට නොහැකි වූවත් , මේ  ගෙදර පිරිමියෙකු ජීවත්වූ ලකුණු ඇතැයි නටෙල්ට සිතුණි.

“ඇයට මුහුණ දෙන්න වුණා දරුණු ඛේදවාචකයකට… මහ අවාසනාවන්ත සිදුවීමකට.. ” දැරිය කීවා ය. “ඒක  සිදුවුණේ හරියටම මීට අවුරුදු කලින්.. ඒ ඔබේ අක්කා මෙහෙන් ගියාට පස්සේ.. “
“ඛේදවාචකය?… අවාසනාවන්ත සිදුවීම??… ” ෆ්රැම්ටන්ට නොසිතාම කියැවිණි. මෙවැනි නිස්කලංක පිටිසරබද පළාතක සිදුවිය හැකි යයි නොසිතිය හැක්කේ ම ඛේදවාචකයන් ය. අවාසනාවන්ත සිදුවීම් ය.

“මේ ඔක්තෝබර් මාසයේ හැන්දෑවක් වෙලත් අපි ඔය ලොකු ජනේලය වහන්නේ නැත්තේ ඇයි කියල ඔබට හිතෙනවා ඇති.. ” දැරිය කීවේ විශාල, උස් ජනේලයක් පෙන්වමිනි. විවෘතව තිබූ ඒ තුලින් නිවසේ උද්‍යානයට පිවිසිය හැකි බව නටෙල් දුටුවේය.

“ඔක්තෝබර් මාසේ වුණත් මේ දවස්වල තියෙන්නේ පුදුමාකාර රස්නයක්.. ” ඔහු කීවේය. “එහෙම නැත්නම් ඔබ ඔය වුණා කියන අවාසනාවන්ත සිදුවීමට මේ ජනේලයේ මොකක් හෝ සම්බන්ධයක් තියෙනවද ..?”
“හරියටම අවුරුදු තුනකට කලින් අද වගේ දවසක තමයි ඒ සිදුවීම වුණේ..” දැරිය කතාව ඇරඹුවා ය. ” එදා නැන්දගේ ස්වාමිපුරුෂය, ඇගේ  මල්ලිලා දෙන්නත් එක්ක දඩයමේ ගියා.. ඔවුන් එලියට බැස්සේ ඔන්න ඔය ජනේලයෙන්..
ඒ ගියා ගියාමයි .. ඔවුන් කවදාවත් ආපහු ආවේ නෑ …
මෙහෙ ඉඳන් තරමක් දුරින් තියෙනවා ඔවුන් ගේ ප්‍රියතම දඩ භුමිය.. ඒකට යන්න තියෙන්නේ විල්ලුව හරහා.. මේ කියන අවුරුද්දේ ගිම්හානය දිගින් දිගටම වැසි තිබුණු මහ තෙත් බර කාලයක්.. ඉතින් විල්ලුව හරහා ඇවිදන් යද්දී ඔවුන් එක්වරම විල්ලුව මැද මඩ ගොහුරක එරිල තියෙනවා… ඔවුන් අතුරුදන් වුණේ සලකුණක්වත් නොතියා… ඔවුන්ගේ මළ සිරුරුවත් අපිට හමුවුණේ නැහැ.. ” දැරිය සුසුමක් හෙළුවාය.
“අනේ මගේ අසරණ නැන්දා.. ඇයට කවදාවත් ම පිළිගන්න බැරිවුණා ඔවුන් මියගිහින් කියලා.. ඇය තාමත් විශ්වාස කරනවා ඔවුන් කොයිවෙලාවේ හරි ඔන්න ඔය ජනේලයෙන් ම ආපහු එයි කියල.. ඒ තුන්දෙනා විතරක් නෙමෙයි, ඔවුන් එක්කම ගිහින් අපිට නැති වුණු පුංචි දුඹුරු පාට බල්ලත් ආපහු එයි කියල ඇය හිතන් ඉන්නවා..අන්න ඒ නිසයි අපි කළුවර වැටෙනකම් ඔය ජනේලය ඇරලා තියන්නේ.. එදා ඒ අන්තිම ගමන යද්දී ඔවුන් ඇඳ පැළඳගෙන ගිය ඇඳුම් පවා ඇය කොයි තරම් වාර ගාණක් මට විස්තර කරලා තියෙනවද කියල දෙයියෝ තමයි දන්නේ.. එදා ඇගේ ස්වාමිපුරුෂයා ගෙදරින් එලියට බැහැල තියෙන්නේ ඔහුගේ සුදුපාට වැහි කබාය අතේ දමාගෙන…
ඒ වගේම ඇගේ බාලම මල්ලිගේ නම රොනී..ඔහුගේ කටේ කොයි වෙලාවෙත් තිබිල තියෙනවා සිංදුවක කෑල්ලක්..
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?”
ඉතින් මේ සින්දු කෑල්ල කොයිවෙලාවෙත් කියන එක ගැන නැන්දා රොනී මාමත් එක්ක හරි තරහයිලු.. ඉතින් එදා ගෙදරින් එළියට බැහැලත්, නැන්දගේ තරහ අවුස්සන්න රොනී මාම කිව්වල මේ සින්දු කෑල්ල..
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?” කියල..ඇත්තටම මේ වගේ පාළු, වැහිබර හැන්දෑවක ඔවුන් ගිය විදිහටම ආපහු එයි කියල මහ අමුතු හැඟීමක් මට එනවා.. ” ඇය කතාව අවසන් කලේ භීතියෙන් සියොළඟ වෙවුලා ගිය බවක් දක්වමිනි.ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට අප්‍රමාණ සැනසීමක් ගෙනදෙමින් සැපල්ටන් මහත්මිය නිවසට පැමිණියේ මේ අවස්ථාවේදී ය. තම ප්‍රමාදය ගැන ඇය දිගින් දිගටම ඔහුගෙන් සමාව අයද සිටියා ය.
“මම හිතනවා වේරා ඔබව පාලුවෙන් තිබ්බේ නැහැ කියල… ” ඇය කීවා ය.

“අපොයි ඔව්.. ඇගේ කතා බහට මම සවන් දෙමින් හිටියේ ඉතා ආශාවෙන්…”

“මේ ජනේලය විවෘතව තියෙන එක ගැන ඔබේ විරුද්ධත්වයක් නැහැ කියල මම හිතනවා.. මගේ ස්වාමියා සහ මල්ලිලා දෙන්න දඩයමේ ගියානේ.. ඔවුන් ගෙට ඇතුළුවෙන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය ජනේලයෙන්.. අද ඒගොල්ලෝ විල්ලුවෙන් එහා මඩ වගුරේ දඩයමේ ගියා…
සැකයක් නෑ දැන් ඉතින් ගෙදර් ඇවිල්ල මේ මගේ බුමුතුරුණුවල මඩ ගානවා… පිරිමි අයට ඔව්වයේ ඒ හැටි ගානක් නෑ.. නැද්ද..?”

සතුන් දඩයම් කිරීම ගැන ඇය දිගින් දිගටම දොඩවන්නට වූයේ අප්‍රමාණ සතුටකිනි. වාසනාව තිබේ නම් ශීත සෘතුවේ වුවද තාරාවෙකු දඩයම් කරගැනීමට ඇති හැකියාව ගැන ඇය කීවාය. ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට මේ කතාබහ නිසා ඇතිවී තිබුණේ අප්‍රමාණ භීතියකි. ඇගේ දෙනෙත් ඔහු පසෙකින් තිබූ විවෘත ජනේලය දෙසට නිරතුරුවම යොමුව තිබූ අයුරු ඔහු භීතියෙන් යුතුව නිරීක්ෂණය කළේය. ඛේදවාචකයක සංවත්සරය යෙදී ඇති මෙවන් දිනයකම මෙහි පැමිණීමට සිදුවීම කෙතරම් අවාසනාවක් ද!

” දොස්තරලා එකඟ වුණා මම සිත කළඹන සහ ශාරීරික වෙහෙස ඇතිවෙන හැම දෙයක්ම මඟහැරලා විවේක ගන්න ඕන කියන එක ගැන… ” දිගින් දිගටම ඇදී ගිය මාතෘකාවෙන් දැඩි නොසන්සුන්කාරී අපහසුවකට පත්ව සිටි ඔහු කීවේය. ” ඔවුන් කියන්නේ මම “සම්පූර්ණ විවේකයක්” ගත යුතු බවයි. ඒත් මම ගන්න ඕන කෑම බීම ගැන නම් ඔවුන්ගේ එකඟත්වයක් නැහැ… ”

“නෑ ..?” සැපල්ටන් මහත්මිය ඈනුමක් හරින්නාක් මෙන් ඉතා උදාසීන අයුරින් විමසුවාය. මීළඟට ඇය එක්වරම කලබල වූවා ය. ඒ නටෙල් කියූ දෙයකට නම් නොවේ.

“ඔය එන්නෙ අන්තිමට! ” ඇය කෑගැසුවේ අප්‍රමාණ සතුටකින් සහ ප්‍රබෝධයෙනි.
“ඇති යන්තම් තේ වෙලාවට ආව… බලන්නකෝ හැටි… මේ අය නිකම් ඇස් ළඟට එනකම් මඩ වගුරක ගිලිලා ඉඳල වගේ.. !!”

ෆ්රැම්ටන් නටෙල් කිළිපොලා ගියේය. ඔහු දැරිය දෙස බැලුවේ ඉතා සානුකම්පිත සහ, තමන්ට මෙම තත්වය තේරෙන බවක් දෑසින් පළ කරමිනි. විවෘත ජනේලය දෙසට යොමුව තිබූ ඇගේ දෑස් බියෙන් ත්‍රස්තව තිබුණි. භීතියෙනුත් භීතියට පත් නටෙල් ආපසු හැරී තමන් පිටුපසින් වූ විවෘත ජනේලය දෙසට නෙත් යොමු කළේය.

ක්‍රමයෙන් දැඩිවෙමින් පැවති අන්ධකාරයත් සමඟ තණබිම හරහා ජනේලය දෙසට ඇවිද ආවේ මිනිස් රූ තුනකි. ඔවුන් තිදෙනාගේම අත්වල තුවක්කු තිබුණු අතර එක් අයෙකුගේ උරහිසෙන් සුදු පැහැති කබායක් ද එල්ලා වැටුණි. ඔවුන් සමීපයෙන් ම උඩ පනිමින් දුව ආවේ දුඹුරු පැහැ කුඩා ස්පැනියල් සුනඛයෙකි. ඔවුන් තණබිම හරහා ආවේ අවතාර බඳු නිශ්ශබ්දතාවයකිනි.
එක්වරම ඒ නිහඬ බව බිඳිමින් අඳුර තුළින්,….

“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?”  යැයි හඬක් නැගුණි.

වියරුවෙන් මෙන් නැඟී සිය තොප්පිය සහ සැරයටිය අතට ගත් ෆ්රැම්ටන් නටෙල් සාලය හරහා දිව ගොස්, විවෘතව තිබූ දොරෙන් එළියට පැන කුඩා මාවත දිගේ ඔහු පැමිණි දෙසටම දිවගියේය. ඉදිරියෙන් ආ පාපැදිකරුවෙකුට ඔහුගේ ඇඟේ නොහැපීමට පාරෙන් ඉවත්වී බයිසිකලය බඩවැටියට හේත්තු කරගැනීමට සිදුවිය.

“ඔන්න අපි ගෙදර ආවා… ” සුදු වැහි කබාය උරහිස මත දමාගෙන් සිටි පුද්ගලයා ජනේලයෙන් නිවස තුලට ඇතුළුවෙමින් කීවේය. “සෑහෙන්න මඩ නාල නම් තමයි..ඒත් ඉන් වැඩි හරිය දැන් වේලිලා…
කවුද අර අපි එද්දිම ඉස්සරහ දොරෙන් පැනල දිව්වේ? ”

“අනේ මන්ද… මේ නටෙල් කියල කවුද හාදයෙක්.. හරි පුදුම මිනිහෙක්. මෙහෙ ආව වෙලාවේ ඉඳන් එයාට තියෙන අසනීප ගැන කියෙව්වා. ඕගොල්ලෝ එනවා දැක්ක විතරයි අවතාරයක් දැකල බය වුණා වගේ ගෙයින් එළියට පැනල දිව්වා. එයා අපිට ආයිබෝවන් කිව්වෙත් නෑ, එකපාරටම යන එක ගැන සමාව ඉල්ලුවෙත් නෑ.. නිකං ම පැනල දිව්වා මෙලෝ සිහියක් නැතුව..”

“මම හිතන්නේ එයා බය වුණේ අපේ බල්ලව දැකල.. ” ලේලිය කීවේ ඉතා සන්සුන් ආකාරයෙනි. “එයා බල්ලන්ට බොහොම බයයි කියල මාත් එක්ක කිව්වා. එක පාරක් පිස්සු බලු රංචුවක් එයා පස්සේ එලෝගෙන ඇවිත්, උන්ගෙන් බේරෙන්න ගංගානම් ගඟ අයිනේ තිබ්බ විශාල සොහොන් පිට්ටනියකට පැනගන්න එයාට සිද්ධවෙලා. උන් එතනටත් ඇවිත්. අන්තිමේදී එතන තිබ්බ අලුත හාරපු මිනී වලකට බැහැල තමයි බේරිලා තියෙන්නේ. එයාට සිද්ධවෙලා මුළු රෑම ඒකෙ ගත කරන්න.. බල්ලෝ ටිකත් මිනී වල වටේ හිටියලු මුළු රෑම – බුර බුර, මෙයාව හපන්න පැන පැන, සෙම බේර බේර.. ඉතින් ඒකම මදෑ මිනිහෙක්ව පිස්සු වට්ටවන්න..!”

ඉතා කෙටි කාලයක් තුල අපූර්ව ආකාරයේ කතා ගෙතීමට මේ දැරියට තිබුණේ අති විශිෂ්ඨ හැකියාවකි.

 

Saki – The Open Window

 

 

 

 

 

 

 

තුවාල සහ පැලැස්තර

download.jpg
පෙම්වත,
ආලය ගින්නකි –
බුර බුරා නැගෙන;

එකුන් විසි තුන් පැයක්-
මයික්‍රෝ තත්පර අංශුවලට වෙන්කර
කෙටි ම කෙටි පණිවුඩ –
දිගම දිග කතන්දර –
එකින් එක යළිත් විමසා බලමි මම.
ඊයේට වඩා අද,
එක පණිවුඩයක් අඩුයි!

ජංගමය දැල්වෙයි –
හදවත ද දැල්වෙයි –
එහෙත් ඒ ඔබ නොවෙයි –

ඔබ විසින්
මට එවීමට අමතක කළ කවි,
කුරුළු හඬකින් ට්විටරය වෙත ගැයෙයි-

නෝක්කාඩු වියමනක් ඇඟිලි තුඩගින් වියැවෙයි..
දැන් ඉතින් ඔහොමයි-
ආදරේ කොහු කොහු වෙන්නෙත්,
පහු පහු වෙනකොටයි ..

ජංගමය දැල්වෙයි,
නොකියවූ පණිවුඩයක්,
කියවීමට අණ ලැබෙයි

ඒ ඔහුයි!

ඔබේ ට්විටර් කුරුළු තුඩු ඇනී ලේ ගලන,
නිර්වින්දනය නොවූ හදවතට
ඔහු ප්‍රේමවත් ඉමොජි පැලැස්තර අලවයි..

(18-05-2017)

පිළිස්සුම් රෝගියා

18051779_10202882651222892_37277007_n

 

වේලාව සවස හතරයි තිහට ආසන්න වී තිබුණි. දහවලෙහි වූ අධික උණුසුම ඒවනවිටත් පහව ගොස් තිබුණේ නැත.

උණුසුමත් තුනේ බෙහෙත් වේලේ බෙහෙත් මතත් නිසා බොහෝ රෝගීන් නින්දට ගොස් සිටි හෙයින් පහේ වාට්ටුවේ වූයේ දැඩි නිහඬබවකි.

ගිලන් ඇඳ මත වාඩි වී, නවාගත් දණ මත තබාගත් අතින් යුතුව පිළිස්සුම් රෝගියා බලා සිටියේ ය. සැන්දෑ හිරු රැසින් එලිය වූ කොළ පැහැ අඩ බිත්ති සහ ඇඟිලි සලකුණු කිලිටි ලකුණෙන් යුතු සුදු කුලුනුත් කොරිඩෝරයට එහායින් වූ කණ්ඩිය කැපූ තැනත්, එහි වවා තිබුණු රෝස පඳුරුත් , ඊට පහළින් වූ පිට්ටනියත් පසුකර ඈත දුරින් පෙනෙන වියලි කඳු දක්වා ඔහුගේ ඒ බැල්ම විහිදී තිබුණි.

ඔහුට ගෙදර සිහි විය. “අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඔහු පිළිස්සුනු හැටි සිහි කළේ ය. ආප්ප තාච්චිය රත් කළ භූමිතෙල් ලිපේ ගින්දර මුහුණට විද්ද ආකාරයත්, ඇස් නිලංකාර වූ හැටි සහ දැවිල්ලත්, පුළුටු ගඳත් ඔහුට සිහි විය. “චෝව්! චෝව්! චෝව්! …” යනුවෙන් දෙමළ කඩේ මුදලාලි කෑගැසූ අයුරුත්, ආප්ප බානා තෙක් බංකුවේ වාඩි වී බලා සිටි පිරිසගේ බිය පත් මුහුණුත් ඔහුගේ සිහියට ආවේ ය.

වේදනාව නිසා ඇස් කිටි කිටියේ පියව යන විට, මුහුණට එබුණු රවුල් කාරයාගේ මුහුණේ ඉන්නෙකු විය.

කන් අගුල් වට්ටන “සෝ” හඬකින් අවට කලබලය යටපත් වනු ඔහුට ඇසිනි. තමා ක්ලාන්ත වීමට ගියේ මස් කරවුණු පුළුටු ගඳ නිසා මිස වේදනාව නිසා නොවන බව ඔහුට සිතුණි.
මස් පිළිස්සෙන පුළුටු ගඳ, ඒ මොහොතේ දැනුණු අයුරින් ම ඔහුට සිහි විය. ඔහුට බඩවැල් නටන්නාක් බඳු හැඟීමක් ඇති විය.

ඔහු එය අමතක කරන්නට උත්සාහ කළේ ය. එය සිහිවන හැම විටෙකම වාගේ මෙන්, මෙවෙලේත් ඔහුගේ අතැඟිලි තුඩු, තවමත් යන්තමට අමු තුවාල කබොල මත දැවටිණි. තමා ගේ මුහුණ දැන් කුමන අයුරින් පෙනෙනවා ඇත්දැයි ඔහු සිතුවේ ය.
පිලිස්සුණු සමේ රළුව අතට දැනෙත්දී ඔහු ගේ අතැඟිලි පිළිකුලෙන් පහතට වැටුණේ ය.
මුහුණ විරූපිව ඇති ඔහුට සිතුණි.

ඔහුගේ දෑස ට කණාටු රෝස ගස්වල පිපී තිබූ මල් හසු විය.

දැන් කිසිදු කෙල්ලක තමා හට කැමති නො වෙතියි ඔහු ට සිතිණි.

ඔහුට ඇගේ එළලු පැහැ මුහුණ සිහි විය. වාට්ටුවේ කෙළවර බිත්තියේ ඔරලෝසුව දෙස ඔහුට බැලුණේ ඉබේටම ය.

වෙලාව පහ ට පහ ලෙස දැක්වුණි.

“තව වෙලා තියෙනවා. ” ඔහු තමාටම කියා ගත්තේ ය. ඊළඟ බෙහෙත් වේල දෙන්නේ හයට ය.

තව ස්වල්ප වෙලාවකින්, නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙනු ඇත.

“ගෙදර තාම දන්නේ නෑ..” ඔහුට මතක් විය.

ඇය ඔහුගේ මුහුණට එබෙන ආකාරයත්, ඇගේ නැහැ පුඩු වලින් පිටවන හුස්ම, තම උඩු තොලේ වදින අයුරුත් ඔහු සිහි කළේ ය. ඇගේ මෘදු ඇඟිලි තුඩු, ඔහුගේ තුවාල කබොල සීරුවට අල්ලා බෙහෙත් ගල්වන ආකාරයේ ඇත්තේ ද, වෙන රෝගීන්ට නො දක්වන දයාර්ද බවකැයි ඔහුට සිතී තිබුණි.බෙහෙත් ගලවන ගමන් ඇය රිදෙනවා දැයි අසා නිහඬ වන්නේ “අනේ.. රිදෙනවාද?.. මම හෙමින් බෙහෙත් ගානනම්..” යයි අනෙක් රෝගීන් ඉන්න තැන කීමට බැරි නිසා යයි ඔහු සිතුවේ ය.

පැමිණි දෙවැනි දවසේ, ගෙදරට දන්වන්න ඕනෑ නේදැයි අසන ගමන්, “ඔයා බැඳලා ද?” යයි ඇය ඇසූ අයුරු ඔහු සිහි කළේ ය.

තව කාලයක් තමන්ට රෝහලේ රැඳී සිටීමට වනු ඇතැයි ඔහුට සිතුණි.

ඇගේ නම ඇසීමට ඔහු තුල වූ තදබල ආශාව මඩ ගැනුණේ ලජ්ජාවෙනි. මොකක්දෝ හීන මාන පසුබෑමකිනි.

වාට්ටුවේ ලෑලි පටි බාග දොර හැරුණි. අනෙකුත් නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙමින් සිටියහ.

“අදට දහ දවසයි…” ඔහු සිතුවේය. “ගෙදර තාම දන්නේ නෑ..”

ඇය නො සිටින්නට මේ දහ දවස ගෙවීම එතරම් ලේසි නො වන්නට තිබුණි.
—————————–

අන්තිමේදී ඊළඟ බෙහෙත් වේලත් රැගෙන ඇය පැමිණෙන විට, ඔහු සිටියේ සිටි ඉරියව්වෙන් ම කිරා වැටෙමිනි. හිරු තව දුරටත් බැස ගොස් තිබුණු අතර, වාට්ටුවේ කෙටි බිත්තිවල දිගා වී සිටි කළු හෙවණැලි, වාට්ටුවෙන් පිටත බිම පත බෑවෙමින් සිටියහ.
මලානික සුදු එළිය පතුරවමින්, වාට්ටුවේ ලයිට් පොලු දැල්වී තිබුණි.

වාට්ටුවේ නේවාසිකයන්ට පිලිවෙලින් බෙහෙත් වේල් දෙමින්, ඇය ඔහු ගේ අසලට පැමිණ බාහුවට අත තැබුවා ය. ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

“බය වුණාද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

ඔහු ද සිනාසුණේ ය. අවුල් වූ කෙස්ස, ඇඟිලි තුඩු පනා පහරකින් පිළිවෙල කරගැනීමට අත හිස කරා ගියේ ද ඉබේට ම ය.

ඇගේ රවුම් මුහුණත්, වටකුරු ගෙලත්, නෙරූ ලැමත් අඩ අඳුරේ පෙනුණේ පින්සලයකින් ඇන්දාක් මෙනි.

“බලමු තුවාලේ..” ඇය කීවේ ඔහුගේ මුහුණ නිකටින් අල්ලා විදුලි ආලෝකය දෙසට හරවමිනි.ඇගේ ඇඟිලි තුඩුවල ස්පර්ශය විඳිමින් ඔහු ඇස් පියා ගත්තේ ය.

“දැන් හොඳයි නේ… ” ඇය කීවේ තුවාල කබොල මත ආලේපයක් තවරමිනි. පුරුද්දට මෙන් වේදනාත්මක ඉරියව්වක් මවමින් ඔහුගේ මුහුණේ මස් පිඬු ඇකිලිණි.

“දැන් හොඳයි… ඔය බොරු කරන්නේ..රිදෙන්න විදියක් නෑ ” ඇය කීවේ ඇස් නටවමිනි. ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේ ය. ඇය පිටිපසින්, ඉහලින් වූ විදුලි එළිය දුන් අසීරුවෙන්, ඔහුගේ දෑස් පුංචි වී ය.

“මිසී….” ඔහු ඇය ඇමතුවේ ය. “මට කවද විතර ගෙදර යන්න පුළුවන් ද මිසී?”

“අපි දොස්තර මහත්තය ආවම අහමු..” ඇය කීවේ, ඉහ ඉද්දර කනප්පුව මත වූ වීදුරුවට වතුර පුරවමිනි. “ඇයි.. ගමේ ගෑනු ළමය බලන් ඉන්නවද?”

“අපෝ නෑ..” ඔහු වහා ම කීවේ ය. තමාට අහන්නට ඕනෑ වූයේ ඇගේ නම වුවත් කියවුනේ අනෙකක් බව කීමට ඔහුට ඕනෑ වීය.

බෙහෙත් පෙති දෙක ඇගේ අත්ලෙන් ඔහුගේ අත්ලටත්, ඉනික්බිති ඔහුගේ මුවටත් වශයෙන් මාරු විය.

“දොස්තර මහත්තය ආවම අහමු… කොහොමටත් තව දවසකට දෙහෙකට වඩා ඉන්න වෙන්නේ නෑ..” ඇය කීවේ ඊළඟ රෝගියා කරා යාමට සැරසෙමිනි.

“අනේ ඩිංගක් ඉන්ඩකෝ..” යනුවෙන් කීමට ඔහු තුල වූ උවමනාව ද සමඟින් බෙහෙත් පෙති උගුරෙන් පහලට බැස්සේ ය.

“මිසී… ”
ඇය ආපසු හැරී බැලුවා ය.

“මිසීගේ නම මොකක්ද?”

“මොකටද?… ” ඇය පෙරළා ඔහුගෙන් ඇසුවා ය.

“මිසී වගේමයි මගේ නංගිත්…” ඔහු කිවේ ය.

“නංගිගේ නම මොකක්ද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

“චාන්දනී..” ඔහු කටට ආවක් කිවේ ය.

“මගේ නම නාමලී ..”

තමන්ට නැගණියක් නැති බව ඉක්බිති ඔහු සිහි කළේ ය. සිටියද තමන් උපන් පරිසරය අනුව ඇය ට රංජනී, සුසිලා වැනි නමක් විනා චාන්දනී වැනි නමක් හිමි නො වෙතයි ඔහුට සිතුණි.

ඒ නම් ද ඒ පරිසරය තුල, රංජනියා, සුසිලෝ ආදී ලෙස තැලී පොඩිවී බෙලෙක්ක වී යනු ඇත.

ඇය ඊළඟ රෝගියා වෙත ට යනයුරුත්,අවසාන රෝගියා දක්වාම පිලිවෙලින් ගොස් වාට්ටුවෙන් නික්ම යන අයුරුත් ඔහු බලා සිටියේ ය.
—————————–

එදා රෑ ඔහුට වෙනදාටත් වඩා නිදි නැති රාත්‍රියක් විය.

කඩේ රේඩියෝවේ නිතර වාදනය වන මගේ නාමලී ගීතය ඔහු සිහිපත් කළේ ය.
නාමලී එක්ක සුරියවැව යන්නට ඕනෑ යයි ඔහුට සිතුණි.

නාමලී සහ ඔහු මනාල යුවලක් ලෙසට සුරියවැව යන අයුරු ඔහු සිතින් මවාගත්තේ ය.

ගමේ ගැහැනුන් ගේ රබන් සද්දය අසමින් දෙපස එරමිණියා ගාලින් යුතු දුවිලි වැකි ගුරු පාර දිගේ සෙමින් යන ගෙම්බා කාරයත්, ඒ පසුපස සහ දෙපස එල්ලී, කාර් රියත් සමඟම දිව යන ගමේ කොල්ලන් රෑනත් ඔහුට පෙනුණි.

ඔහු තමා සමීපයේ වාඩිගෙන සිටින, මනාලි වෙස් ගත් නාමලිගේ අතක් ගෙන තම කලවය මත තබාගත්තේ ය.
නාමලී ඔහු දෙස කෝල බැල්මක් හෙලුවා ය.

කාරය ගුරු පාර දිගේ දුහුවිල්ල කාගෙන ගොස් අන්දර වැට අසල නැවතුණි. සමර ගා ටකරම් හෙවිලිකළ නිවාස ඉදිරියේ ආයිත්තම් වූ නෑසියන් මෙන් ම ළමා සාරියකින් සැරසුණු බාලිකාවන් සිවු දෙනෙකු ද විය.
වසර කිහිපයකට පෙර පරලොව ගිය අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් ද අතින් ගෙන ඉදිරියෙන් ම සිටිණු ඔහු දුටුවේ ය.

රතිඥ්ඥා පුපුරන්නට විය.

කාරයේ රියදුරා වහාම රියෙන් බැස ඔහු සිටි පැත්තේ දොර විවර කළේ ය.

වෙඩි බෙහෙත් සුවඳ දසත පැතිරුණි.

ඔහුගේ කලවය මත වූ නාමලිගේ අත කෙමෙන් දැඩිවනු ඔහුට දැනුණි.

වෙඩි බෙහෙත් සුවඳ මස් පිළිස්සෙන පුළුටු ගඳකට හැරුණේ ය. මුහුණ පිළිස්සෙනු ඔහුට දැනුණි.

ඔහුගේ කලවය මත වූ නාමලීගේ අත ක්ෂණයකින් ඉවත්විය.

නාමලී කාරයේ දොර හැරගෙන ගුරැ පාර දිගේ ආපසු දුවන්නට වුවා ය. නාමලී නැවත්වීමට උත්සාහ කළ ඔහුට, කාරයේ බිම වැටී තිබූ මල් කළඹ පෑගුණි.

නෑසියන්ගේ කුහුලෙන් පිරුණු මුහුණුත්, වික්ෂිප්ත රියදුරාත් ඔහුගේ දෙනෙතට හසුවිය.
ක්ෂණයකින් රියදුරාගේ මුහුණ වෙනස්වී, දෙමළ කඩේ මුදලාලිගේ මුහුණ එතනින් මතුවිය.

ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

වාට්ටුවෙන් පිටත අරුණාලෝකය පැතිරෙමින් තිබුණි.
—————————–

වෛද්‍යවරයාගේ ඇඟිලිවලින් ඔසවන ලද නිකටින් යුතුව ඔහු පරීක්ෂණ කාමරයේ වහලය දෙස බලා උන්නේ ය.

ගිනි දවාලෙත් නිරිවස්ත්‍ර විදුලි බුබුලක් සුදු එළිය විහිදුවමින් දැල්වෙමින් තිබුණි. කොහොමත් හොඳින් එළිය වී තිබූ ඒ කාමරයට විදුලි බුබුලේ ආලෝකය නිනව් නැතිව තිබුණි.

“මේ බෙහෙත් දිගටම බොන්න… ටික කාලයක් යනකම් අව්වට නොයා ඉන්න එක තමයි හොඳ… ”

වෛද්‍යවරයා ඔහුගේ නිකට අතහැර තුන්ඩුවක යමක් කුරුටුගෑවේ ය.

“දැන් කෙළින්ම ගෙදර ද යන්නේ.. ?”

ගෙදර… ඔහුට ගෙදර සිහි විය. කාස රෝගයෙන් හූරණ ලද පපුවෙන් යුතු තාත්තාත්, කසාද නො බැඳී අක්කාත්, ටකරම් හිල් වූ වහලත්, මැරෙන්නට පන අදින ගොනාත් මතකයට ආවේ ය.

ඔහු සුස්මක් හෙලුවේය.

” ඔව් මහත්තය… දෙකේ බස් එකේ යනවා සූරියවැව… ”

“හ්ම්… මාසෙකින් එහෙ ඉස්පිරිතාලෙට පෙන්නන්න… ”

“මහත්තය… ” ඇසීමට තිබූ වැදගත් ම ප්‍රශ්නය ඊළඟට ඔහු ඇසුවේ ය.

“මේ කැළල දිගටම තියෙයි ද මහත්තය ?…”

වෛද්‍යවරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේය. හකුපාඩා මතුවූ මුහුණත්, අපිළිවෙලට වැවුණු කණාටු රැවුලත් වෛද්‍යවරයාගේ දෙනෙතට හසුවිය.

“කැළල …. හ්ම්… කැළල නේද ?” ඔහු රෝගියාගේ මුහුණේ වම්පස හරවා යළිත්, වියලී ගිය තුවාල කබොල්ල බැලුවේ ය. වම් ඇසත්, නාසයත් අසල සිට නිකට ආසන්නයට ම පැතිරී ගිය රැළි ගැසුණු සම් කැටිය දෙස බලා නළල රැළි කරගත්තේය.
“කැළල නේද ?… අපි බලමු..”

ඉනික්බිති “දැන් යන්න පුළුවන්…” කියන්නට මෙන් හිස සැලුවේය.

නාමලී ඈත කොනක වූ මේසයක් අසල වාඩිවී යමක් ලියමින් සිටිනු රෝගියාගේ දෑසට හසුවිය. තමා යන බව කියූ විට ඇයට දුක හිතෙනු ඇතැයි දුකක් මෙන් ම සතුටක් ද ඔහුගේ සිතේ ඇඳී ගියේ ය.

—————————–

රෝහලට ගෙන ආ ඇඳුම් කැඩුම් අතුරින් හොඳ යයි කිවිය හැකි සරමක් හා කහ ගැහුණු කහ පැහැති කමිසයක් ඇඳගත් රෝගියා, පහේ වාට්ටුව දිගේ ඇවිද ආවේ ය.

ඉතිරි රෙදි පෙරෙදි වූ ඉටි කවරය තිබුණේ කිහිල්ලේ ය.

වතුර ගා පිරිමැද පීරා පිළිවෙලක් කළ කෙස්ස දිලිසෙමින් තිබුණි.

නේවාසිකව සිටි එකොළොස් දවසට යන්තම් දැන හැඳිනිකම් ඇතිකරගත් දෙපස ඇඳන් දෙකේ සිටි රෝගීන් දෙදෙනාගෙන් තවමත් නේවාසිකව සිටි රෝගියාට ඔහු සමු දුන්නේ ය.

“ආයේ කෙළින් ම ගෙදර..? ”

ඔහු එසේ බව කියන්නට හිස වැනුවේය.

“යන්නම්… ”

“මදැයි ඔයින් ගියා.. ” වකුගඩු අමාරුකාරයා තමන් ගේ සැත්කම් කැළල අතගාමින් ඔහු දෙස බලා සිටියේ ය.

—————————–

පහේ වාට්ටුව කෙළවර, කෙටි බිත්තියකින් වෙන්කළ කාමරයේ මේසයක් අසල වාඩිවී, නාමලී යමක් ලියමින් හුන්නා ය. ඇය අසල සිටි අනෙක් තුරුණු හෙදිය බෙහෙත් ලේබල කියවමින් සිටියා ය.

ඔහු මොහොතක් ඔවුන් දෙස බලා සිටියේ ය. නිකට පපුවට බර කරන් සිටි ඇගේ මුහුණ වඩාත් රවුම් සහ මටසිළුටුවට ඔහුට පෙනුණි.
ඇගේ දෙතොල් තරව පියවුණු ගමන් විය.

ඔහු හදවතින් වැළඳගන්නට මෙන් ඇය දෙස බලා සිටියේ ය.

තව ටික දිනක් හෝ රෝහලේ ඉන්නට තිබුණා නම් යයි ඔහුට සිතුණි.

අනෙක් තුරුණු හෙදිය ඇය කරමින් සිටි ලේබල් කියවීම නවතා තමන් දෙස බලා සිටින බව ඔහුට වැටහුණේ ටික වෙලාවකට පසුවය.

බෙහෙත් ලේබල කියවීම නතර වූ හෙයින් නාමලී ද හිස ඔසවා බැලුවාය. කතා කිරීමට වචන සොයමින් ඔහු වියලු උගුර තෙමෙන්නට කෙළ තලියක් ගිල්ලේ ය.

“මිසී…”

“ඔව්…. ” ඇය ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලා සිටියා ය.

” මිසී…” තමන් යන බව කියන්නට වචන ගලපමින් ඔහු තව මොහොතක් තාවර වුණේ ය. ඇයට දුක නොහිතෙන සේ යන බව කියන්නට ඔහුට ඕනෑ විය.

“මගේ ටිකට් කැපුවා… මං යන්නයි කියල… ” ඔහු හැකි උපරිම ප්‍රසන්නතාවයට මුහුණ පත්වෙන සේ සිනාසුනේ ය. සිනාවත් සමඟ ඇදුණු කට කොන කෙලවර කැළල ද සිනාවත් සමඟ පසෙකට ඇද වෙනු ඔහුට දැනුණි.

“ආ…”ඇය සිනාසුනා ය .

“හොඳයි .. හොඳයි… එහෙනම් යන්නකෝ.. ආයේ පුච්චන් එහෙම මෙහෙ එනවා නෙමෙයි.. ”

ඔහු ගල් ගැසී බලා සිටියේ ය.ඔන්චිල්ලාවක ඉහළ ගොස් යළි පහළ එනවිට දැනෙන හිස් බව ඔහුගේ කුසට දැනුණි.

“හා හරි එහෙනම්… යන්න.. ”

ඇය යළිත් කීවා ය.

ජලය පිරි කලයක් බිම අතහැරි බිඳී විසිර යන්නාක් මෙන් ඔහු බිඳී විසිරී ගියේය.

අර අමුතු හිස්කම බඩේ සිට පපුවට පැතිරෙද්දී ඔහු ආපසු හැරුණේ ය.

—————————–

කොරිඩෝරයෙන් පිටත ගිනි අව්ව විසින් දවමින් තිබුණි.

කණාටු රෝස ගස් අතරින් පෙනෙන වාට්ටුව දෙස යළිත් ඔහු හැරී බැලුවේය.

නාමලීව එතනට පෙනුණේ නැත.

හිස තවන ගිනි අව්වෙන් මුවා වන්නට, ඇඳුම් කැඩුම් වූ ඉටි කවරය සහිත අතෙන් හිස මුවා කරගනිමින් ඔහු පිට්ටනිය හරහා ඇවිද ගියේ ය.

“එයාට තව ලෙඩෙක් හම්බවෙයි…. ” ඔහු නාමලී ගැන සිතුවේ ය. “නර්ස්ල ඉන්නේ ලෙඩ්ඩු බලන්න තමයි..”

“කැළල… ” ඔහු ඊළඟට සිතුවේ ය. “ගෙදර ගිහින් ගොඩ වෙදකම් කරල මකා ගන්නවා…”

සුවඳ

ඔබ;
අතිශය තැන්පත් සුවඳකි.
ඉතා දීර්ඝ හුස්මකින් අනතුරුව,
පෙනහළු ගර්ථි පතුලේ,
තැන්පත් කළ හැකි.

ඔබ;
කරාබු සහ කුරුඳු සුවඳකි.
වැනිලා ද මුසුවූ,
ලා ඉඟුරු සුවඳැති.
තේ හැන්දක් පමණ,
නමක් කිව නො හැකි,
ආදරයේ සුවඳ ද ඇති.

ඔබ ;
තාන් සුවඳකි.
සැවන්දරා සහ කපුරු,
සැනසිල්ලේ සුවඳකි.
සේර ද දැවටුණු,
අමු රෙදි තාන් සුවඳකි..

ඔබ ;
අතිශය නැවුම් සුවඳකි.
නියං අවසන වැටෙන,
වැස්ස බඳු සුවඳකි-
දුහුවිල්ල සිප පැමිණි,
තෙත් – උණුහුමෙන් යුතු සුවඳකි.

ඔබ-
අතිශය අරුම සුවඳකි.
අතිශය හුරු පුරුදු මුත්,
නමක් කිව නො හැකි-
ඉතා දීර්ඝ හුස්මකින් අනතුරුව,
පෙනහළු ගර්ථි පතුලේ,
තැන්පත් කළ හැකි.