Tag Archives: ප්‍රාර්ථනා

විවෘත ජනේලය

 

 

(Hector Hugh Munro හෙවත් Saki Munro ගේ The Open Window කෙටි කතාවේ පරිවර්තනයකි. )

open-window-1
Frederick Childe Hassam ගේ Bowl of Goldfish සිතුවම (1912)

” මගේ නැන්දා ඉක්මනින් ම ඒවි නටෙල් මහත්මයා… ” දැරිය කීවාය. ඇය ඉතා විනීත මෙන් ම තැන්පත් පෙනුමක් තිබූ පහළොස් හැවිරිදි දැරියකි. ” ඉතින් ඇය එනකම් ඔබට බලා ඉන්න වෙනවා.. කමක් නැහැ.. මම ඉන්නවනේ ඔබේ තනියට..”

පැමිණීමට නියමිත නැන්දණිය පිළිබඳව, මේ දැරියගේ සිත සතුටුවන ආකාරයේ  යමක් කීමට ෆ්රැම්ටන් නටෙල් උත්සාහ කළේය. එමෙන් ම මේ සම්පුර්ණයෙන් ම නාඳුනන මිනිසුන් මැදට පැමිණීම තම ස්නායුවලට අත්කර දෙනු ඇත්තේ කුමනාකාරයේ සෙතක් දැයි ඔහු කල්පනා කළේය.

 “මම දන්නේ නෑ එහෙ කොහොම වෙයිද කියල නම්… ” ඔහු මේ පිටිසර ගම්මානයට පිටත් වීමට සුදානම් වනවිට ඔහුගේ සොයුරිය කීවා ය.
“ඔයාට එහෙ ගිහින් ඉන්න වෙන්නේ ඉවසන්න බැරි තරමේ පාලු පරිසරේක. ඉන්න වෙන්නේ කතා බහ කරන්න කිසි දෙයක් නැති සම්පුර්ණයෙන් ම ආගන්තුකයන් මැද්දේ. ඒක ඔයාගේ ස්නායුවලට කොහොම බලායි ද කියල මට නම් හිතාගන්න අමාරුයි. කොහොම වුණත්, ඔය ගමේ මම දන්න අඳුනන කීප දෙනෙක් ඉන්නවා. මම ඒ හැමෝටම ඔබව හඳුන්වා දීමේ ලිපි ලියා දෙන්නම්. මගේ මතකේ විදිහට ඔවුන් හැම දෙනෙක්ම ඉතා කරුණාවන්ත, ගුණ යහපත් මිනිස්සු.. “
ඔහුගේ සොයුරියගේ එක් ලිපියක් යොමුව තිබුණේ, ඔහු මේ දැන් පැමිණ සිටින සැපල්ටන් මහත්මිය වෙතටයි. ඇය, සිය සොයුරිය පෙර කී ” ඉතා කරුණාවන්ත – ගුණ යහපත් මිනිස්සු ” ගොඩට අයත් දැයි ඔජු කල්පනා කළේය.

“ඔබ මේ පළාතේ මිනිස්සු ගැන මොනවම හරි දන්නවද?” දැරිය ඇසුවේ දිගින් දිගටම කල්පනාවේ ගිලී සිටි අමුත්තාගෙනි.

“මම අඳුනන කවුරුවත් මෙහෙ නැහැ..” නටෙල් කීවේය. “මෙහෙ දේවගැතිතුමාගේ පාලනය යටතේ තිබෙන කාර්යාලයේ මගේ අක්ක අවුරුදු හතර පහකට කලින් රැකියාවක් කළා. ඉතින් එයා තමයි මාව මෙහෙට යොමු කළේ. පළාතේ කිහිප දෙනෙකුගේම නමට මාව හඳුන්වාදීමේ ලිපි ඇය ලියල දුන්න..

“එහෙනම් ඔබ මගේ නැන්දා ගැන මොනවත්ම දන්නේ නැද්ද ?” දැරිය විමසුවේ ඉතා සන්සුන් විලාශයෙනි.
“මම දන්නේ ඔයාගේ නැන්දගේ නමයි ලිපිනයයි විතරයි… ” අමුත්තා කීවේය.

සැපල්ටන් මහත්මිය විවාහකද, අවිවාහක්ද, වැන්දඹු ද යන්නවත් ෆ්රැම්ටන් නටෙල් දැන සිටියේ නැත. වචනයෙන් විස්තර කිරීමට නොහැකි වූවත් , මේ  ගෙදර පිරිමියෙකු ජීවත්වූ ලකුණු ඇතැයි නටෙල්ට සිතුණි.

“ඇයට මුහුණ දෙන්න වුණා දරුණු ඛේදවාචකයකට… මහ අවාසනාවන්ත සිදුවීමකට.. ” දැරිය කීවා ය. “ඒක  සිදුවුණේ හරියටම මීට අවුරුදු කලින්.. ඒ ඔබේ අක්කා මෙහෙන් ගියාට පස්සේ.. “
“ඛේදවාචකය?… අවාසනාවන්ත සිදුවීම??… ” ෆ්රැම්ටන්ට නොසිතාම කියැවිණි. මෙවැනි නිස්කලංක පිටිසරබද පළාතක සිදුවිය හැකි යයි නොසිතිය හැක්කේ ම ඛේදවාචකයන් ය. අවාසනාවන්ත සිදුවීම් ය.

“මේ ඔක්තෝබර් මාසයේ හැන්දෑවක් වෙලත් අපි ඔය ලොකු ජනේලය වහන්නේ නැත්තේ ඇයි කියල ඔබට හිතෙනවා ඇති.. ” දැරිය කීවේ විශාල, උස් ජනේලයක් පෙන්වමිනි. විවෘතව තිබූ ඒ තුලින් නිවසේ උද්‍යානයට පිවිසිය හැකි බව නටෙල් දුටුවේය.

“ඔක්තෝබර් මාසේ වුණත් මේ දවස්වල තියෙන්නේ පුදුමාකාර රස්නයක්.. ” ඔහු කීවේය. “එහෙම නැත්නම් ඔබ ඔය වුණා කියන අවාසනාවන්ත සිදුවීමට මේ ජනේලයේ මොකක් හෝ සම්බන්ධයක් තියෙනවද ..?”
“හරියටම අවුරුදු තුනකට කලින් අද වගේ දවසක තමයි ඒ සිදුවීම වුණේ..” දැරිය කතාව ඇරඹුවා ය. ” එදා නැන්දගේ ස්වාමිපුරුෂය, ඇගේ  මල්ලිලා දෙන්නත් එක්ක දඩයමේ ගියා.. ඔවුන් එලියට බැස්සේ ඔන්න ඔය ජනේලයෙන්..
ඒ ගියා ගියාමයි .. ඔවුන් කවදාවත් ආපහු ආවේ නෑ …
මෙහෙ ඉඳන් තරමක් දුරින් තියෙනවා ඔවුන් ගේ ප්‍රියතම දඩ භුමිය.. ඒකට යන්න තියෙන්නේ විල්ලුව හරහා.. මේ කියන අවුරුද්දේ ගිම්හානය දිගින් දිගටම වැසි තිබුණු මහ තෙත් බර කාලයක්.. ඉතින් විල්ලුව හරහා ඇවිදන් යද්දී ඔවුන් එක්වරම විල්ලුව මැද මඩ ගොහුරක එරිල තියෙනවා… ඔවුන් අතුරුදන් වුණේ සලකුණක්වත් නොතියා… ඔවුන්ගේ මළ සිරුරුවත් අපිට හමුවුණේ නැහැ.. ” දැරිය සුසුමක් හෙළුවාය.
“අනේ මගේ අසරණ නැන්දා.. ඇයට කවදාවත් ම පිළිගන්න බැරිවුණා ඔවුන් මියගිහින් කියලා.. ඇය තාමත් විශ්වාස කරනවා ඔවුන් කොයිවෙලාවේ හරි ඔන්න ඔය ජනේලයෙන් ම ආපහු එයි කියල.. ඒ තුන්දෙනා විතරක් නෙමෙයි, ඔවුන් එක්කම ගිහින් අපිට නැති වුණු පුංචි දුඹුරු පාට බල්ලත් ආපහු එයි කියල ඇය හිතන් ඉන්නවා..අන්න ඒ නිසයි අපි කළුවර වැටෙනකම් ඔය ජනේලය ඇරලා තියන්නේ.. එදා ඒ අන්තිම ගමන යද්දී ඔවුන් ඇඳ පැළඳගෙන ගිය ඇඳුම් පවා ඇය කොයි තරම් වාර ගාණක් මට විස්තර කරලා තියෙනවද කියල දෙයියෝ තමයි දන්නේ.. එදා ඇගේ ස්වාමිපුරුෂයා ගෙදරින් එලියට බැහැල තියෙන්නේ ඔහුගේ සුදුපාට වැහි කබාය අතේ දමාගෙන…
ඒ වගේම ඇගේ බාලම මල්ලිගේ නම රොනී..ඔහුගේ කටේ කොයි වෙලාවෙත් තිබිල තියෙනවා සිංදුවක කෑල්ලක්..
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?”
ඉතින් මේ සින්දු කෑල්ල කොයිවෙලාවෙත් කියන එක ගැන නැන්දා රොනී මාමත් එක්ක හරි තරහයිලු.. ඉතින් එදා ගෙදරින් එළියට බැහැලත්, නැන්දගේ තරහ අවුස්සන්න රොනී මාම කිව්වල මේ සින්දු කෑල්ල..
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?” කියල..ඇත්තටම මේ වගේ පාළු, වැහිබර හැන්දෑවක ඔවුන් ගිය විදිහටම ආපහු එයි කියල මහ අමුතු හැඟීමක් මට එනවා.. ” ඇය කතාව අවසන් කලේ භීතියෙන් සියොළඟ වෙවුලා ගිය බවක් දක්වමිනි.ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට අප්‍රමාණ සැනසීමක් ගෙනදෙමින් සැපල්ටන් මහත්මිය නිවසට පැමිණියේ මේ අවස්ථාවේදී ය. තම ප්‍රමාදය ගැන ඇය දිගින් දිගටම ඔහුගෙන් සමාව අයද සිටියා ය.
“මම හිතනවා වේරා ඔබව පාලුවෙන් තිබ්බේ නැහැ කියල… ” ඇය කීවා ය.

“අපොයි ඔව්.. ඇගේ කතා බහට මම සවන් දෙමින් හිටියේ ඉතා ආශාවෙන්…”

“මේ ජනේලය විවෘතව තියෙන එක ගැන ඔබේ විරුද්ධත්වයක් නැහැ කියල මම හිතනවා.. මගේ ස්වාමියා සහ මල්ලිලා දෙන්න දඩයමේ ගියානේ.. ඔවුන් ගෙට ඇතුළුවෙන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය ජනේලයෙන්.. අද ඒගොල්ලෝ විල්ලුවෙන් එහා මඩ වගුරේ දඩයමේ ගියා…
සැකයක් නෑ දැන් ඉතින් ගෙදර් ඇවිල්ල මේ මගේ බුමුතුරුණුවල මඩ ගානවා… පිරිමි අයට ඔව්වයේ ඒ හැටි ගානක් නෑ.. නැද්ද..?”

සතුන් දඩයම් කිරීම ගැන ඇය දිගින් දිගටම දොඩවන්නට වූයේ අප්‍රමාණ සතුටකිනි. වාසනාව තිබේ නම් ශීත සෘතුවේ වුවද තාරාවෙකු දඩයම් කරගැනීමට ඇති හැකියාව ගැන ඇය කීවාය. ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට මේ කතාබහ නිසා ඇතිවී තිබුණේ අප්‍රමාණ භීතියකි. ඇගේ දෙනෙත් ඔහු පසෙකින් තිබූ විවෘත ජනේලය දෙසට නිරතුරුවම යොමුව තිබූ අයුරු ඔහු භීතියෙන් යුතුව නිරීක්ෂණය කළේය. ඛේදවාචකයක සංවත්සරය යෙදී ඇති මෙවන් දිනයකම මෙහි පැමිණීමට සිදුවීම කෙතරම් අවාසනාවක් ද!

” දොස්තරලා එකඟ වුණා මම සිත කළඹන සහ ශාරීරික වෙහෙස ඇතිවෙන හැම දෙයක්ම මඟහැරලා විවේක ගන්න ඕන කියන එක ගැන… ” දිගින් දිගටම ඇදී ගිය මාතෘකාවෙන් දැඩි නොසන්සුන්කාරී අපහසුවකට පත්ව සිටි ඔහු කීවේය. ” ඔවුන් කියන්නේ මම “සම්පූර්ණ විවේකයක්” ගත යුතු බවයි. ඒත් මම ගන්න ඕන කෑම බීම ගැන නම් ඔවුන්ගේ එකඟත්වයක් නැහැ… ”

“නෑ ..?” සැපල්ටන් මහත්මිය ඈනුමක් හරින්නාක් මෙන් ඉතා උදාසීන අයුරින් විමසුවාය. මීළඟට ඇය එක්වරම කලබල වූවා ය. ඒ නටෙල් කියූ දෙයකට නම් නොවේ.

“ඔය එන්නෙ අන්තිමට! ” ඇය කෑගැසුවේ අප්‍රමාණ සතුටකින් සහ ප්‍රබෝධයෙනි.
“ඇති යන්තම් තේ වෙලාවට ආව… බලන්නකෝ හැටි… මේ අය නිකම් ඇස් ළඟට එනකම් මඩ වගුරක ගිලිලා ඉඳල වගේ.. !!”

ෆ්රැම්ටන් නටෙල් කිළිපොලා ගියේය. ඔහු දැරිය දෙස බැලුවේ ඉතා සානුකම්පිත සහ, තමන්ට මෙම තත්වය තේරෙන බවක් දෑසින් පළ කරමිනි. විවෘත ජනේලය දෙසට යොමුව තිබූ ඇගේ දෑස් බියෙන් ත්‍රස්තව තිබුණි. භීතියෙනුත් භීතියට පත් නටෙල් ආපසු හැරී තමන් පිටුපසින් වූ විවෘත ජනේලය දෙසට නෙත් යොමු කළේය.

ක්‍රමයෙන් දැඩිවෙමින් පැවති අන්ධකාරයත් සමඟ තණබිම හරහා ජනේලය දෙසට ඇවිද ආවේ මිනිස් රූ තුනකි. ඔවුන් තිදෙනාගේම අත්වල තුවක්කු තිබුණු අතර එක් අයෙකුගේ උරහිසෙන් සුදු පැහැති කබායක් ද එල්ලා වැටුණි. ඔවුන් සමීපයෙන් ම උඩ පනිමින් දුව ආවේ දුඹුරු පැහැ කුඩා ස්පැනියල් සුනඛයෙකි. ඔවුන් තණබිම හරහා ආවේ අවතාර බඳු නිශ්ශබ්දතාවයකිනි.
එක්වරම ඒ නිහඬ බව බිඳිමින් අඳුර තුළින්,….

“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?”  යැයි හඬක් නැගුණි.

වියරුවෙන් මෙන් නැඟී සිය තොප්පිය සහ සැරයටිය අතට ගත් ෆ්රැම්ටන් නටෙල් සාලය හරහා දිව ගොස්, විවෘතව තිබූ දොරෙන් එළියට පැන කුඩා මාවත දිගේ ඔහු පැමිණි දෙසටම දිවගියේය. ඉදිරියෙන් ආ පාපැදිකරුවෙකුට ඔහුගේ ඇඟේ නොහැපීමට පාරෙන් ඉවත්වී බයිසිකලය බඩවැටියට හේත්තු කරගැනීමට සිදුවිය.

“ඔන්න අපි ගෙදර ආවා… ” සුදු වැහි කබාය උරහිස මත දමාගෙන් සිටි පුද්ගලයා ජනේලයෙන් නිවස තුලට ඇතුළුවෙමින් කීවේය. “සෑහෙන්න මඩ නාල නම් තමයි..ඒත් ඉන් වැඩි හරිය දැන් වේලිලා…
කවුද අර අපි එද්දිම ඉස්සරහ දොරෙන් පැනල දිව්වේ? ”

“අනේ මන්ද… මේ නටෙල් කියල කවුද හාදයෙක්.. හරි පුදුම මිනිහෙක්. මෙහෙ ආව වෙලාවේ ඉඳන් එයාට තියෙන අසනීප ගැන කියෙව්වා. ඕගොල්ලෝ එනවා දැක්ක විතරයි අවතාරයක් දැකල බය වුණා වගේ ගෙයින් එළියට පැනල දිව්වා. එයා අපිට ආයිබෝවන් කිව්වෙත් නෑ, එකපාරටම යන එක ගැන සමාව ඉල්ලුවෙත් නෑ.. නිකං ම පැනල දිව්වා මෙලෝ සිහියක් නැතුව..”

“මම හිතන්නේ එයා බය වුණේ අපේ බල්ලව දැකල.. ” ලේලිය කීවේ ඉතා සන්සුන් ආකාරයෙනි. “එයා බල්ලන්ට බොහොම බයයි කියල මාත් එක්ක කිව්වා. එක පාරක් පිස්සු බලු රංචුවක් එයා පස්සේ එලෝගෙන ඇවිත්, උන්ගෙන් බේරෙන්න ගංගානම් ගඟ අයිනේ තිබ්බ විශාල සොහොන් පිට්ටනියකට පැනගන්න එයාට සිද්ධවෙලා. උන් එතනටත් ඇවිත්. අන්තිමේදී එතන තිබ්බ අලුත හාරපු මිනී වලකට බැහැල තමයි බේරිලා තියෙන්නේ. එයාට සිද්ධවෙලා මුළු රෑම ඒකෙ ගත කරන්න.. බල්ලෝ ටිකත් මිනී වල වටේ හිටියලු මුළු රෑම – බුර බුර, මෙයාව හපන්න පැන පැන, සෙම බේර බේර.. ඉතින් ඒකම මදෑ මිනිහෙක්ව පිස්සු වට්ටවන්න..!”

ඉතා කෙටි කාලයක් තුල අපූර්ව ආකාරයේ කතා ගෙතීමට මේ දැරියට තිබුණේ අති විශිෂ්ඨ හැකියාවකි.

 

Saki – The Open Window

 

 

 

 

 

 

 

Advertisements

උස්වැටකෙයියාවේ සිට සකුරා නෙලීම හෙවත් අ’ධර්ම’ art of online criticism

cyber

ධර්මය අවශ්‍යය. එහෙත් ධර්මය අවශ්‍ය වන්නට නම්, ඊටත් වඩා අධර්මය අවශ්‍යය. ලියන්නන්ට මේ දෙකම අවශ්‍යය. එහෙත් මකන්නන්ට මේ කොයි එකත් එක ය.
ලියැවිල්ල ධර්මය ගැන නොවේ. ලියන්නන් සහ මකන්නන් ගැන ය.මකවන්නනට හිතවන්නන් ගැන ය.

වඩාත් නිවැරදිව කියතොත්, තමන්ට දිරවන්නේ නැති සියලු අදහස් මවකවන්නට හිතවන්නන් ගැන ය.

අපේ පහසුව තකා ඔවුන් ව “විවේචකයන්” යන පිළිගත් නමින් හඳුන්වමු.

දැන් ඉතින් විවේචකයන් සියල්ලන් මට එරෙහිව පිහි මුවහත් කරන අයුරු, තුවක්කු ලෝඩ් කරන අයුරු මට ඇසේ.

පොඩ්ඩක් “හෝව්!”

මේ කියන්නේ විවේචකයන්ගෙනුත් හැමෝම ගැන නොවේ. නිර්දය විවේචකයන් ගැනයි. නිර්දය විවේචකයන්ගෙනුත්, තෝරා ගත් අන්තවාදීන් පිරිසක් සහ ඔවුන්ගේ ග්‍රහණයට හසුවන සයිබර් ලියැවිලි ගැන යි.

නිස්කලංකයේ ඊළඟ පේළි කිහිපයත් කියවා බලන මෙන් දෙකට නැමී, දනින් වැටී බොහොමත් ම යටහත් පහත ව ඔබෙන් ඉල්ලා සිටිමි.(පේනවා නේද තියෙන බය?මේ අයට ඕනෑ අපි ඔන්න ඔය තත්වයේ ඉන්නවා දකින්ටයි.)

විවේචනය කිරීමද කලාවකි. Art එකකි.ලියවිල්ලක සාර්ථකත්වය රඳා පවතින්නේ ඇගයුම් මෙන්ම විවේචනත් තිබුණහොත් පමණි. ඉතා හොඳින් අග සිට මුලටම කියවා බලා සාධාරණ තීන්දුවක් දෙන, සාධාරණ පදනමක් මත සිට ලියවිල්ලේ ශුන්‍ය තැන් පෙන්වා දෙන සාධාරණ විවේචන මගින් කලින් ලියවිල්ලට වඩා හොඳ ලියවිල්ලක් ඊළඟ වතාවේ ලියවීමට මග පෑදෙයි.
එවැනි විවේචකයන්ට ජය වේවා!

තුවක්කු සහ පිහියා දැන් දැන් ලිහිල් වී යන සෙයක් දැනෙයි.

එහෙත් සමහර විවේචකයන් ඉන්නේ “විවේචනය” කරන්නටමයි. ! ඔවුන්ගේ විවේචන බොහොමයක් ම පාදක වෙන්නේ ඔවුන්ගේ පුද්ගලික මතවාදවලට එකඟ නොවීම අරභයා යි. රචකයා තමන් සමඟ ඇති පුද්ගලික කෝන්තර හෝ ගැහැණු පිරිමි බව මත පදනම්වයි.

මම ජාලගත ලියන්නෙක් මි. එනිසා මා හොඳින්ම දන්නේ අන්තර්ජාලගත ජංජාල ගැනයි.

විවේචනය කිරීමේ කලාව අන්තර්ජාලයේදී අන්තවාදීන් අතට පත් වූ විට බොහොම අධාර්මික සහ සාහසික වේශයක් ගනී.

අන්තර්ජාලයේ පලවන සියලුම ලියවිලිවලට විවේචකයෝ සිටිත්. ඒ සියල්ල අතර මේ කලින් කිවූ තාලේ කට්ටිය ද එමට ය. මේ අයගෙන් බොහොමයක් දෙනා “මොකක් හෝ කියන්නට ඕනෑ කමට” මොනවා හෝ කියති. බොහෝවිට මේ අන්තවාදී විවේචකයන්ට, ලිපියේ හෙඩිම හෝ මුල් වැකි කිහිපය කියවද්දී ම, විවේචන ලියන්නට අස්ස කුලප්පුවක් සෑදේ. එහෙමත් නැත්නම්, ඒ ලියවිල්ල හරහා පුද්ගලික කෝන්තර පිරිමසන්නට යති. ඉතින් ලියවිල්ලේ අන්තර්ගතයටත් ලියන්නාටත් දෙයියන්ගේ ම පිහිට ය.

සිතා බලන්න ; සකුරා මලක් පිළිබඳ ව සියයට සීයක් සාධාරණව, පැහැදිලිව කතා කිරීමට නම් ඔබ සකුරා පිපෙන සමයක ජපානයට ගොස් තිබිය යුතුමය. ඊට වඩා ටිකක් අඩුවෙන් හෝ සාධාරණ වෙන්න නම්, ඔබ පින්තුරයක හෝ සකුරා මලක් දැක තිබිය යුතු ය.ඒ ගැන කතා කිරීමට ප්‍රථම (ඉන්නේ උස්වැටකෙයියාවේ වුවත්), අඩුම තරමේ ජපානය පිලිබඳ ව අංශු මාත්‍රිකව වත් අදහසක් ඔළුවේ තබාගත යුතුය. එසේ නොවී, උස්වැටකෙයියාව මානසිකත්වයේ සිට සකුරා මලට බලටු මෑනීම කොයිතරම් දුරට සාර්ථක ද?

ජාලගත විවේචකයන් රචකයන් හඳුනා ගන්නේ එහෙමත් අවස්තාවක යි. ඒ නිසා, තමන් ට “නො දිරවන ” අදහසක් පල කළ පමණින්, රචකයා සොයා ගොස් බැන වැදීමේ අවස්තාව ඔවුනට අහිමි ය.අනෙක් අතට මොනවා කිව්වත් විවේචකයාට මුහුණට මුහුණ කතා කිරීමේ අවස්ථාවද රචකයාට හිමි නොවේ.
එනිසා කරන චෝදනා සහ පැහැදිලි කිරීම් සියල්ලම අන්තර්ජාල කතිකාවක ස්වරුපයෙන් ගලා යයි. බුද්ධිමත් සහ සාධාරණ විවේචකයන් සිටින අවස්තාවක ගොඩ නැගෙන බුද්ධිමය සංවාදය, කළින් කියූ අන්තවාදී විවේචකයෙකුගේ සම්ප්‍රාප්තියත් සමඟ, “යන්නේ කොහෙද මල්ලේ පොල් ” කතාවකින් අවසාන වේ.

මෙවැනි අන්තවාදී ආක්‍රමණයක් සිදුවූ සංවාදයක අවසාන කොමෙන්ටුව බොහෝ විට හිමිවන්නේත් අන්තවාදියාට මයි. මක්නිසාද යත්, බුද්ධිමය සංවාදයක නියැලීමේ අරමුණින් ලියවිල්ලට සම්බන්ධ වූ සියල්ලන්, අන්තවාදියාගේ පුහු තර්කවලට උත්තර බැඳීමෙන් වෙහෙසට පත්ව, නිශ්ශබ්ද වෙති. රචකයාත් ලියවිල්ල “මස්” කිරීමේ කර්තව්‍ය ඉවසා දරාගත නොහී නිශ්ශබ්දතාවයට මුලපුරයි.
පරවියන් එක්ක චෙස් අදින්නා තේරුම් ගත යුතු යමක් තිබේ. ඒ තමන් කොපමණ දක්ෂ චෙස් අදින්නෙකු ,පරෙවියා චෙස් ඉත්තන් විසුරුවා, ලෑල්ල මත වසුරු හෙළා, ඉනිදු නො නැවතී, තමන් දිනුවාක් මෙන් චෙස් ලෑල්ල මත උඩඟු ලීලාවෙන් ඇවිද යන බවයි.

ඇතැම් විට, සමහර රචකයෝ මෙන් ම, සමහර සාධාරණ විවේචකයෝත්, අන්තවාදියා ඉල්ලා අස්වන තුරුම නිහඬ වීම ප්‍රතික්ෂේප කරති.එවැනි අවස්තාවක ඇතැම් අන්තවාදීන් කට පියා ගත්තත්, සමහරක් මේ සියල්ල පුද්ගලික කෝන්තර කර ගනිති. රචකයා ගේ නමට එල්ලවන පුද්ගලික මඩ සහ සමාජ වෙබ් අඩවි ඔස්සේ සයිබර් හිංසනය දක්වාමත් මේ තත්වය වර්ධනය විය හැකිය.ඉතින් රචකයා අසරණය. උත්තර බැඳීම පිණිස කිසිදාක මුහුණට මුහුණ හමු නොවන අසාධාරණ, අහක යන උණ්ඩයක්, සයිබරයට මුදා හැරි නිදහස් අදහසක් ඔස්සේ රචකයාට එල්ල වී තිබේ.
අනෙක් අතට රචකයා බිමට ම වට්ටවා, එකී “තමන්ට නො දිරවන ” ලියවිල්ල සයිබරයෙන් ගලවා දැමීමට නොහැකි වූ වික්ශෝපය නිසා මේ අන්තවාදීහු පිඩා විඳිති.

දෙපක්ෂයම විඳවති.ලෝකයා එය දකින්නේ නැත.

මේ තත්වය කළු කලිසමක සුළුදිය පහවිමකට මම සමාන කරන්නෙමි. කලිසම කළු පැහැ නිසා, ලෝකයා තෙත පැල්ලම නොදැක්කත්, එය හැඳ සිටින්නා හට දැනෙන හැඟීම පිළිබඳව සිතා බලන්න.

තුවාල සහ පැලැස්තර

download.jpg
පෙම්වත,
ආලය ගින්නකි –
බුර බුරා නැගෙන;

එකුන් විසි තුන් පැයක්-
මයික්‍රෝ තත්පර අංශුවලට වෙන්කර
කෙටි ම කෙටි පණිවුඩ –
දිගම දිග කතන්දර –
එකින් එක යළිත් විමසා බලමි මම.
ඊයේට වඩා අද,
එක පණිවුඩයක් අඩුයි!

ජංගමය දැල්වෙයි –
හදවත ද දැල්වෙයි –
එහෙත් ඒ ඔබ නොවෙයි –

ඔබ විසින්
මට එවීමට අමතක කළ කවි,
කුරුළු හඬකින් ට්විටරය වෙත ගැයෙයි-

නෝක්කාඩු වියමනක් ඇඟිලි තුඩගින් වියැවෙයි..
දැන් ඉතින් ඔහොමයි-
ආදරේ කොහු කොහු වෙන්නෙත්,
පහු පහු වෙනකොටයි ..

ජංගමය දැල්වෙයි,
නොකියවූ පණිවුඩයක්,
කියවීමට අණ ලැබෙයි

ඒ ඔහුයි!

ඔබේ ට්විටර් කුරුළු තුඩු ඇනී ලේ ගලන,
නිර්වින්දනය නොවූ හදවතට
ඔහු ප්‍රේමවත් ඉමොජි පැලැස්තර අලවයි..

(18-05-2017)

විනාඩි විස්සක්

time_machine_by_sparco2-d5d5jwc

එය ගිම්හානයේ අතිශය උෂ්ණාධික දවසකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ද ඉක්මවා තිබූ හෙයින් මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නාන බේසමේ බැස වයින් වීදුරුවක් විදිමින් සිහිල් වීමට ය.

මම නො ඉවසිල්ලෙන් උදුනේ කාල මාපකය දෙස බැලීමි. ගතවී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණි. ඉඟුරු සහ ලෙමන් විස්කෝතු උදුනෙන් බෑම සඳහා තවත් විනාඩි විස්සකට ආසන්න කාලයක් ඉතිරි වී තිබුණි.

ඒ පිළිබඳව කොහොමත් ම විස්වාසයක් තිබුණේ නැත. ඬේන් උදුණේ මාපකය සෙල්ලම් ඇන්ජිමක කොටසක් යැයි සෙල්ලමට ගෙන අබිලි කර පැය විසි හතරක්වත් ගතවී තිබුණේ නැත. සැමියා විසින් එය යථා තත්වයට පත් කළත් එය මගේ ප‍්‍රකෝපයෙන් පුතු මුවා කිරීම උදෙසා කළ යන්තම් ඇටවීමක් පමණක් ම බවට මා තුළ වූයේ ප‍්‍රබල සැකයකි.

වේලාව ගෙවෙන තෙක් මම මේසය පිසදමන්නට වූයෙමි. මේසය මත වැටී තිබූ කෝන්ෆ්ලේක්ස් කැබලි සහ සීනි කැට පිළිවෙළකට ඉවත් විය. මයිකල් , ඬේන් සහ මම සිනාසී සිටින ඡුායාරූපයක ගෑවුණු සෝස් පැල්ලම්. සමාන්තර විශ්ව, පිටසක්වලයන් ආදී පිළිගත නොහැකි දේ පිරුණු මයිකල් මහත් අභිරුචියෙන් කියවන ඉපැරණි විද්‍යා ප‍්‍රබන්ධ සඟරාවක්. ඉන්පසු විසිතුරු කෝප්ප සහ සෙරමික් පිසදැමෙන වෙලාව. මේ මළ ඉලව් තෑගි වශයෙන් වරින්වර මට ගෙනවිත් දුන්නේ සැමියා විසිනි. කරදරේ.. දැන් ඒවායේ දූවිලි රැස්වෙත්දී පිහින්නට ඕනෑත් මමමයි.!

මම යළිත් උදුනේ කාල මාපකය දෙස බැලීමි. විනාඩි විස්සයි.මෙතරම් වැඩ ප‍්‍රමාණයකයට පසුවත්. මේ උලව් කාල මාපකය කැඞී ඇත. එය යථා තත්වයට පත් කලැයි තාත්තා සහ පුතා මට කර ඇත්තේ මහ බොරුවකි.
ඕන කෙහෙල්මලක් වෙච්චාවේ.. මම නාන බේසම වෙත යායුතුය. උදුන කොහොමටත් නියමිත වේලාවෙන් පසුව ස්වයංකී‍්‍රයව අක‍්‍රීය වේ. බිස්කට් අනවශ්‍ය තරමේ දුඹුරුවක් ගන්නේ ඊට පසුවය. තාත්තා සහ පුතාට කරවුණු බිස්කට්. හොඳ වැඬේ.. අම්මාට බොරු කිව්වාට..

මුළුතැන්ගෙයින් පිටව යමින් මම රාක්කය මත වූ වයින් බෝතලය සහ කස්කුරුප්පුව අතට ගත්තෙමි.

එක්වරම දොරේ සීනුව නාද විය. ශාප කරන අපහාසාත්මක අකුරු හතරක් මුමුණාගනිමින් මා දොර විවර කළේ පැමිණියේ කවුරුන් වුවත් නිවස තුළට පැමිනෙන්නෙක් නොවේවායි පතමිනි.

පුදුමයකි. විවර වූ දොර පිටුපස කිසිවෙකු වූයේ නැත. දොර සීනුව නාද වූ බව මට සහතික කළ හැකිව තිබුණි. මට විහිළුවක් කිරීමේ අරමුණින් දොර සීනුව නාද කර සැඟවීමට ඬේන්වත් නිවසේ සිටියේ නැත.
දොර සීනුව නාද කළ තැනැත්තා කවුරුන් වූවත් ඔහුට හෝ ඇයට තබා බළළෙකුටවත් සැඟවිය හැකි තැනක් අසලක තිබුණේත් නැත.

මම වේගයෙන් දොර වසා දැමීමි.

ඉනික්බිති සිහින් හඩක් නැගුණේ මුළුතැන්ගෙය දෙසිනි. අතෙහි වූ බෝතලය සහ වීදුරුව සාලයේ මේසය මත තබා මම මුළුතැන්ගෙයට එබුණෙමි.

දෙයියන්ට ඔප්පුවෙච්චාවේ ගෑණියෙක්.! අමුම අමු නිර්වස්තරෙන්!!. මට කෑ ගැහුණේ නිරායාසයෙනි.

‘‘ඔහේ.. කවුද ඔහේ..? මොන උලව්වක් ද මගේ කුස්සියෙ කරන්නේ?’’

මට පිටුපා උදුන අසල සිටි බැවින් මෙතෙක් මට මුහුණ නොපෙනූ ගැහැනිය මා දෙසට හැරුණි.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.!.මේ මමමයි. අඩක් හිස් වයින් වීදුරුවකුත් අතැතිව. ඒ මදිවාට හෙලූවැල්ලෙන්.!!

මගේ හදවත කටට ආවාක් බඳු හැඟීමක් මට ඇතිවූ අතර, කටට ආ හදවත ඉන් ඉවතටද පනිතයි බියෙන් මෙන් මගේ අතක් මගේ මුව වසාගත්තේය.

ගැහැණිය..නෑ.. මම .. නෑ නෑ.. මම වගේ මොකක්දෝ දෙය සිනාසුණාය..

‘‘විනාඩි විස්ස ඉවරයි… ඕ ගෝඞ් ඩාලිං.!. ඔච්චර පුදුමෙන් මා දිහා බලන්න එපා..’’

යම් අපරාධකාරී කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයක් ඇතැයි මට එක්වරම සිතුණි. මේ මොකක් හො දෙය මේ සිදුවූ දෙය පිළිබඳව මා වාගේම පුදුමයෙන් නම් මේ සැකය අඩු වෙන්නටවත් තිබුණා. එහෙත් මේ ගැහැණියට වගේ වගක් නැතිවීම ම මදෑ.. පසුගිය දිනවල අසන්නට වූ කොල්ලකල්ලි පිලිබඳ අප්‍රසන්න කතාන්දර මගේ මතකයට ආවේය. දවාලට තනියෙන්ම ඉන්න ගැහැණුන්ගේ බෙලි කරකවන බියකරු කල්ලි.

මම ඉදිරියට පැන සයිඞ්බෝඩය මත වූ පිහිය අතට ගතිමි.
ගැහැණිය කලබල වූවාය.
‘‘ ඕ.. පැත්තකට දාන්න පිහිය..මට පුළුවන් පැහැදිළි කරන්න.. ප්ලීස්..’’
එහෙත් මම පිහිය උරුක් කළෙමි.
‘‘ අත් උස්සනවා.!. දැන් හෙමින් වාඩිවෙනවා..’’
ගැහැණිය මේසයේ අනෙක් කෙළවරේ වූ පුටුවක අගිස්සෙන් වාඩිවූවාය.
‘‘දැන් කියනවා කවුද ඔහේ?’’
‘‘ මම ඔයා.. මේරියන්’’
‘‘මොකක්?? මම මෙතන ඉන්නවා ඔහේ ඉස්සරහපිට හොඳ සිහියෙන්.. මම බීලත් නෑ.. බොන්න හිතූ පමණින් වෙරි වෙන්නෙත් නෑ..ඇත්තත කියනවා.. කවුද තමුසේ? හහ්.. වඩා හොඳදේ පොලිසියට කියන එක වෙන්ඩ ඕන’’
‘‘ මම ඔයා මේරියන්.. විනාඩි විස්සක් ඔයාට වඩා කළින්..’’
‘‘මොකක්??’’

ගැහැණිය හිසේ අත තබාගත්තාය. ඒ පැහැදිළි කිරීමට අපහසු කරුණක් අරභයා මා දක්වන ඉරියව්වම දක්වමිනි.

‘‘අද උදේ වෙනද වෙලාවටම ඔයා නැගිට්ටා.. ඉන්පස්සේ පුරුදු විදිහට මිස්ටර් රස්කින්ව එළියට දැම්මා.. එයා අළුත්ම බුමුතුරුණු සූරලා තිබුණු නිසා ඔයා හිටියේ තරහින්.. ඉන් පස්සේ ඬේන්..එයා පහළට ආවට පස්සෙ..’’

‘‘ නවත්තනවා.. ’’ මම කෝපයෙන් පැවසීමි. ‘‘ඔහේ දවස පුරාම මගෙ ගැන ඔත්තු බැලූවා. ඊට පස්සේ මම වගේ වෙස්වලාගෙන ආවා.. ඔහේට පුළුවන් වෙච්චි දේ්වල් වාර්තා කරන්න.. ඒත් ඔහේට බෑ මම ඊළඟට කරන්න හිටපු දේ කියන්න.. මොකද තමුසේ මම නොවන නිසා…’’ මම ගැහැණිය දෙස ජයග‍්‍රාහීව බැලීමි.
ඇය සිනාසුනා ය.
‘‘ ඕ.. ඔයා ලෑස්තිවෙලා හිටියේ විනාඩි විස්සකින් නාන බේසමට බහින්න..හරියටම මේ මම කළා වගේ.. ’’
‘‘මොකක්?’’
‘‘ ඉස්සෙල්ලා ඔයා මාව විස්වාස කරන්නම වෙනවා මේරියන්..’’ ඇය කීවාය. ‘‘ ඒක ලේසියෙන් සිදු නොවන බවත් මම දන්නවා.. මොකද මම ඔයා නිසා..ඇත්තම කතාව මම ඔබට කියන්නම්..ඒ වගේම මම මෙච්චර වෙලා කිව්ව හැම දෙයක්මත් ඇත්ත..’’

‘‘ ඒක එහෙම වෙන්ඩම ඕනෑ..’’ මම කීවෙමි. ‘‘ මොකද මට බොරු කීම පේන්න බෑ.. ඔහේ මම නම් ඔහේටත් ඒක එහෙම්ම වෙන්න ඕනෑ..’’
ගැහැණිය සිනාසුනාය.

‘ සත්තකින්ම..මේ අහන්න මේරියන්.. හැමදේම පැහැදිළි කරන්න ලේසි නෑ …ඒත් බැරිවෙන එකක් නෑ.. අපේ ලෝක දෙක එකිනෙකක ඡායා පිටපත් වගේ සමානයි..මේ උදුන පවා..’’

(මම පිහිය මේසය මත තැබුවෙමි. ඒත් හදිසියකට ගතහැකි දුරකින්..)

ඇය උදුන දෙසට අත දිගුකළා ය.

‘‘ මේක කාල යන්ත‍්‍රයක් මේරියන්.. ඒකත් මේ වගේම මේ ගෙදර ගනිත්දි ම තිබුණු දෙයක්..

අත්වැරදීමකින් හරි මොකක් හරි දේකින් කි‍්‍රයාත්මක වෙනකම් ඒක සාමාන්‍ය උදුනක් විතරයි… අපි, ඒ කියන්නේ මම මයිකල් සහ ඬේන්..ඔබ මේ සිටින පවුල වගේම පවුලක්..’’
‘‘ ඒ කියන්නේ සමාන්තර….’’ මම ඇසීමට පටන්ගත්තා පමණි.
‘‘ මම දන්නෙ නෑ මේරියන්.. මම ලේඛිකාවක් වුණත් කිසිදාක ඔවැනි දේ විස්වාස කළේ නෑ..ඒ වගේම විද්‍යාත්මක සංකල්ප මට කවදාවත් සමීප වෙලත් නැහැ..ඔබ ඒක දන්නව මේරියන්.. මොකද ඔබ මම නිසා..’’

මම හිස වැනීමි. ඔව් මට විද්‍යාව අප‍්‍රසන්නය. දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට ලක්කරන පාපකාරී විෂයක් වීමම මදැයි.

‘‘ කොහොම නමුත්..අපි ඔබට වඩා විනාඩි විස්සක් ඉදිරියෙන් සිටි පිරිසක්. ඊයේ.. හරියටම මම ඔබේ මුළුතැන්ගෙයි මතුවූ වෙලාවට වඩා පැය විසි හතරකට කළින්, ඬේන් මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් හිටියා. මම හිටියේ ඇපල් පුඩිමක් තම්බමින්..’’

මම මතක් කළෙමි.ඇපල් පුඩින්. ඊයේ හවස්වරුව විනාසකළ ඇපල් පුඩිම.

‘‘ ඬේන්ට වුවමණා වුණේ මම එයා එක්ක සෙල්ලම් කරන්නයි. මම පොරොන්දු වුණා..මම වැඩ අහවර කරනකම් එයා මුළුතැන්ගෙයි සෙල්ලම් දුම්රියක් එලවමින් සිටියා.
එයා උදුනේ ටයිමරය විනාඩි විස්සක් පසුපසට කැරකෙව්වේ ඒ වෙලාවේ…’’

‘‘ ඊට පස්සේ මයිකල් ගෙදර ආවා .. ඬේන්ව බැනුම්වලින් බේරගන්න එයා ටයිමරය යාන්තම් ඇටෙව්වා..’’ මම සුසුමක් හෙළීමි. ‘‘දත් දොස්තරලා මොනවද දන්නෙ මේ වගේ දේවල් ගැන ..’’
ඇයත් සුසුමක් හෙළුවාය.

‘‘හැමදේම කිසිම වෙනසක් නොවෙන්න තිබුණා, මගේ ලෝකේ ඒ සිදුවීමට හරියටම පැය විසි හතරක් සම්පූර්ණවෙද්දි ඔයා ආයෙමත් උදුන ක‍්‍රියාත්මක කරලා ටයිමරය විනාඩි විස්සකට ළකුණු නොකරන්න..’’
‘‘ ඒ කියන්නේ මේ හැමදේම මගේ වැරැුද්ද?’’ මම ඇසුවෙමි. (කුමණාකාර ව්‍යාකූල මොහොතක වුවත් අසාධාරණ චෝදනාවන්ට ලක්වීමට මම අකමැති වීමි.)

‘‘ මේරියන්…’’ ඇය යළිත් සුසුමක් හෙළුවාය. ‘‘ මේක කාගෙවත් වැරැුද්දක් නෙමෙයි.. අපේ ලෝක දෙක අතරෙ තියෙන්නේ විනාඩි විස්සක වෙනසක්. තව විනාඩි කිහිපයකින් ඔයාගේ ලෝකෙත් ඊයේ සිදුවීමට පැය විසි හතරක් සම්පූර්ණ වෙනවා. මගේ ඬේන් ටයිමරය ආපස්සට කැරකෙව්ව වෙලාවෙම ඔයාගෙ ඬේන් ටයිමරය කැරකෙව්වා..එ්ක එහෙම්පිටින්ම අහම්බයක්…’’

‘‘ මොහොතක් ඉන්න..’’ හදිසියේ ම මට යමක් මතක් විය. ‘‘ මගෙ ඬේන් ටයිමරය විනාඩි විස්සක් පිටිපස්සට කළේ නෑ..’’
‘‘ මොකක්?? එහෙම වෙන්නෙ කොහොමද? ’’ අනෙක් ලෝකයෙන් ආ මම නොවේ මම විමතිය පළ කළා ය.
‘‘ ඔව්.. ’’ මම ජයග‍්‍රාහී ලීලාවෙන් පැවසුවෙමි. ‘‘ නෑ නේන්නම්.. එයා කළේ ටයිමරය හිර කරපු එක.. ඉස්සරහටවත් පස්සටවත් කරකවන්න බැරි විදිහට. ඔයාගේ ඬේන් විනාඩි විස්සක් පිටිපස්සට ටයිමරය කැරකෙව්වා.. මගෙ කොල්ලා ඒ වෙලාවෙම මේ ලෝකෙ ඉඳන් ටයිමරය හිරකළා..’’
‘‘ ඕ ගෝඞ් !’’ඇය හිසේ අතගසා ගත්තාය.
‘‘තේරෙන්නෙ නැත්ද? ඒක එහෙම නොවෙන්න අපේ ලෝක දෙකේ වෙලාව සමපාත වෙන්නෙ නෑ..’’
‘‘ දැන් ඊට පස්සෙ..?’’
‘‘මොනම ක‍්‍රමේකින් හරි ඔයාව ගෙදර යවන්න ඕන..’’මම කීවෙමි. ‘‘ඊට පස්සෙ මම මේ මඟුල් උදුන ගිනිතියල දානවා..’’ මම කීමි.

‘‘ ඒත් ඊට කලින්, ඔයා කොහොමද මේක තනියම තේරුම් ගත්තේ? ඔයා කියන්නේ ඔයා මට වඩා බුද්ධිමත් කියලද? ’’
ඇය ඇසුවාය.
‘‘ මේ.. ’’ මම මේසය මත වූ පැරණි සඟරාව පෙන්වූයෙමි.

එහිවූයේ සමාන්තර විශ්ව දෙකක් ගැන කතාවකි. විද්‍යා ප‍්‍රබන්ධ පිළිකෙව් කළ මට එහි වූ කතාව සැකෙවින් කියෙව්වේ මයිකල් විසිනි.

මේ අතදැකීම ඊට බොහෝ සමාන බව මට වැටහෙමින් තිබුණි.
‘‘ එකම කතාව.. ’’ මම කීවෙමි.

‘‘ මේක අපේ ගෙදරත් තිබුණා..’’ ඇය කීවාය. ‘‘මට මේ කතාව කියෙව්වෙ මයිකල් ’’ ඉනික්බිති ඇය ඇස් විශාල කරගෙන මා දෙස බලා සිටියාය.

‘‘ ඕ ගෝඞ්…!මේ කතාව ඉවර නෑ..’’
‘‘මොකක්… ?’’ මම ඇසීමි.
‘‘ඔයා මුළු කතාවම ඇහුවෙ නෑ..! නේද?, ’’ ඇය ඇසුවාය.
‘‘නෑ.. මම ඒක අහන්න කැමති වුණේ නෑ.. සමහරවිට එයා කියන්න ඇති.. එ්ත් මගෙ ඔළුවට ගියේ නෑ..’’ මම කීමි.
‘‘මේක ලූප් ස්ටෝරි එකක්..’’
‘‘ ඒ කියන්නෙ..??..
‘‘දෙවියනේ.!!.මේ වෙත්දිත් තව කොහෙහරි ලෝකෙක ඬේන් කෙනක් ටයිමරයක් කරකවලා තියෙනවා.. ඔයාට තේරෙනවද ?’’ ඇය ජනේල පඩිය මත වූ ඔරලෝසුව දෙස බැලූවාය.
’’ තව තත්පර කිහිපයකින් මම ඇවිල්ලත් විනාඩි විස්සක් ඉවරවෙනවා. ’’
ඇය කීවාය.

මම තෝන්තු ස්වභාවයෙන් අසා සිටියෙමි. විනාඩි විස්සකට එහායින්දී ලෝකය සෑහෙන්නට යහපත්ව තිබූ බව මට මොනවට ඒත්තු ගියේ ය.

නැවතත් දොර සීනුව නද දුන්නේ ඒ මොහොතේය.

දිනමිණ හි පළවූ විනාඩි විස්සක් කෙටිකතාව

අහවරක් නැති කතාවක්

elderly-couple-walking-road-grandparents-walking-cane-outdoors-old-age-concept-vintage-effect-54218242

කටු වැලකට අතේ සමේ පදාසයක් ද පූජා කොට, ඒ රත්මල් අතු කැබැල්ල තලවාකැලේ ලැයිමක මල් වැටකින් ගෙන විත්, පෝච්චියක ඉන්දුවේ සති තුනකට පෙර ය. මුලින් ම පෝච්චියේ පැල වීම එක හෙලාම ප්‍රතික්ෂේප කරමින්, දුන් වතුරද නොබී  “මැරියන්!” කියාගත් ගමන් සිටි රත්මල් අත්ත අවසානයේ නිර්මලා ගේ ආදර අණසකට යටත්වී හිත හදාගෙන ජිවත් වන්නට පටන් ගත්තේ ය. පුරුදු පසෙන්  ද, පුරුදු හුළඟින්  ද, පුරුදු නෑ හිත මිතුරන්ගෙන් ද වෙන්කිරීම නිසා ඇති වූ සාංකාවෙන් සිය දිවි නසා ගන්නට ම හිතා හිටි රත්මල් අතු කැබැල්ල සනසනු වස්, නුවර එළියෙන් ම ගෙනා කහ රෝස පැලයක් ද පෝච්චිය පිටින් ම ලං කරන්නට තරම් නිර්මලා කාරුණික වූවා ය. එක ජාතියේ ම නොවුණ්ත්, කොළඹ සිට තලවකැලේට ඇති දුරට වඩා තලවාකැලේ සිට නුවර එලියට ළඟ නිසා ඒ දෙන්නා අතර මොකක් හෝ නෑ කමක් තිබෙන්නට බැරි නැතැයි ද නිර්මලා සිතුවා ය.

“ඕන්… දැන් ..හරි. පාළු නෑ හරි ද?” කහ රෝස පැළය දෑතින් ඔසවාගෙන විත් රත්මල් පෝච්චිය අසලින් තැබූ නිර්මලා, වැලි තැවරුණු තම දෑත බතික් ගවුමේ පිසදැම්මා ය.

ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී සෙනසුරාදා හවස ආ ඉරිදා පත්තරය කියමින් සිටි සිරිතුංග, පත්තරය මෑත්කර බැලුවේ ගේට්ටුව දෙස ය. ගේට්ටුව අසල කිසිවෙකුත් නො සිටි බව දුටු සිරිතුංග, නිර්මලා දෙස බැලුවේ ය. හැලී ගොස් යාන්තම් තට්ටය පෑදෙමින් තිබූ  කෙස්සේ ඉතිරි ටික හිස් මුදුනට කර කොණ්ඩා කට්ටක් ගැසූ නිර්මලා රත්මල් පෝච්චිය දෙසට නැමුණා ය.

“නෑයෙකුත් ළඟ ට ගෙනත් දීපු එකේ හිනාවෙලා ඉන්ඩ ඕන.. ”

ඇය රත්මල් ඉත්ත පැල කර තිබූ පෝච්චිය පිරිමැද්දා ය.

“දන්නවද?.. ඔයයැයි ව ගලවන්ඩ ගිහිල්ල මගේ අතේ කටුත් ඇණුනා. ”

සිරිතුංග යලිත් වරක් පත්තරය කියවන්නට වුයේ ය. නිර්මලා යළිත් වතාවක් රත්මල් පඳුර දෙස ආදර බැල්මක් හෙලා නැගී සිටියා  ය.

————————–

කෑම මේසයට හරි මැදින්, ඉහළින් කිරි පැහැති වීදුරු ගෝලෝවක්, තැම්බූ හාලේ බතුත්, පරිප්පු හොද්දකුත්, කරවල බැදුමක් සහ පොල් සම්බලක් එළිය කරමින් හුන්නේ ය. හෙලිකොප්ටර හඬක්  නගමින් ආලෝක ගෝලෝව වටා කැරකෙමින් සිටි කළු කුරුමිනියෙකු බත් දීසිය මතට ඇද වැටිණ.

නිර්මලා ඌ අතින් අහුලා මිදුලේ කළුවරට විසි කළා ය.

“කාල ඉන්ඩ..”

සිරිතුංග තවමත් හාන්සි පුටුවේ දිගෑදී හුන්නේ ය. පත්තරය ඔහු පාමුල වැටී තිබුණි. ඔහුට නින්ද ගොස් ඇතිදැයි සැක  හිතුණු නිර්මලා, සිරිතුංග වෙතට එබුණා ය.

ඔහු නින්ද ගොස් නැති බව හඟවන්නට “…හ්ම්..” ගෑවේ ය.

“යමු.. කාල ඉන්ඩ. .”

ඔහු බඩගිනි නැති බව හඟවන්නට හිස වැනුවේ ය.

“ආ… එහෙම කොහොමද? යමු යමු.. බඩගිනියි මටත්. ”

ඔහු නැගී සිටියේ ය. එහෙත් ගෙට ඇතුළුවම් දෝ නොවම්දෝ මෙන්, උළුවස්ස අල්ලාගෙන තාවර වුණේ ය.

“යං .. යං… මං බෙහෙත් බොන්ඩ ඕනේ… හෙට මාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්ඩත් තියෙනවනේ. ඒ නිසා වේලපහ නිදාගන්ඩ ඕනේ අපි දෙන්නම ..”

————————–

“පුතා… පුතාට? ”

පළමු බත් හැන්ද, ජොන්සන් පිඟානේ වූ රෝස මල් කිනිත්ත වසාගනිත්දී සිරිතුංග ඇසුවේ ය.

“පුතා කාල එන්නේ… අපි කමු”

පිඟන් හා තසිම් වාටිවල හැඳි ගැටීම නතර වූ විට, නිවෙස පුරා පැතිර ගියේ මළ සොහොන් පාලුවකි.

————————–

සිරිතුංග බත් ඇට ඇඟිලි තුඩින් පෙරළන අයුරු නිර්මලා බලා සිටියා ය. ඔහු කටවල් තුනක් කා වතුර බීවේ ය.

තවත් බත් කටක් කෑ නිර්මලා ද නැගී සිටියා ය.

————————–

” බෙහෙත්…”

වතුර වීදුරුවක් ද අතැතිව ආ සිරිතුංග, අනෙක් අතේ වූ බෙහෙත් පෙති කිහිපය නිර්මලාට දිගු කළා ය.

සිවිලිම දෙසට අයාගත් මුව දෙසට අත ලං කළ නිර්මලා, සිරිතුංග අනෙක් අතට දුන් වතුර වීදුරුව උගුරු දෙකට හිස් කළා ය.

“දැන් ඔයත් බෙහෙත් බොන්ඩ ඕන ….”

————————–

මුළුතැන්ගෙයට ගිය නිර්මලා, ගවොම් කර තුලින් බෙහෙත් පෙති කිහිපය එළියට ගත්තා ය.

ඉනික්බිති වතුර වීදුරුව යළිත්  පුරවාගත්තාය.

කාමරයේ ඇඳේ දිගාවී සිටි සිරිතුංග, ඇඳ විත්තමට කොට්ටයක් තබා කෙළින් වී හිඳගත්තේ ය.  පෙරෙත්තයක් නැතිව ම බෙහෙත් කරල් කිහිපය ගිල්ලේ ය.

“පුතා… පුතා ආවද?” ඔහු ඇසුවේ ය.

“අද යාලුවෙක්ගෙ ගෙදර නවතිනවයි කිව්වා… කෝල් කළා…”

නිර්මලා කාමරයෙන් යාමට හැරුණා ය.

“අපි පුතා ගැන මීට වඩා හොයල බලන්ඩ ඕන නිර්මලා…”

නිර්මලා දිගු සුසුමක් හෙලා කාමරයෙන් පිටව ගියා ය.

————————–

ඉස්තෝප්පු එළිපත්තේ වූ නිරිවස්ත්‍ර වොට් පහේ විදුලි බුබුල හැරෙන්නට ඉතිරිවා නිවී යනවිට තවත් අඩ පැයක් ගතව තිබුණි.

————————–

ඉස්පිරිතාල  පෝලිම දිගුව තිබුණි. දුඹුරු හැට්ටයකට කහ මල් සුදු සාරියක් හැඳ සිටි නිර්මලා සිරිතුංගවත් ඉස්සර කර කාමරය තුළට ඇවිද ගියා ය.

උපැස් පැළඳ සිටි තුරුණු දොස්තරවරිය පියකරු සිනාවක් පෑවා ය. ඇය ඉදිරිපිට මේසය මත දීප්තිමත් කහ පැහැති සෙල්ලම් වලහෙක් වීය.

“වාඩිවෙන්න…. දැන් තාත්තගේ ඔලුවේ කැක්කුම හොඳද?”

“දැන් අඩුයි නෝන.. බෙහෙත් ටික හෙම වෙලාවට දෙනවා මෙයා… ” සිරිතුංග කිවේ ය. දොස්තරවරිය සිනාසුනා ය.

“හොඳයි නේ… එහෙම තමයි ඉන්න ඕන…”

“නෝන… මේ මෙයාටත් මම වෙලාවට බෙහෙත් දෙනවා.. මතක් කළේ නැත්නම් බොන්නේ නෑ… තාම අර කකුලේ අමාරුව හොඳ නෑ නෝන”

නිර්මලා උපැස් යුවල නාසය දිගේ ඉහලට තල්ලු කරන මුවාවෙන් ඇස් කෙවෙනි පිස දැම්මා ය.

“මෙයැයි මේ තුන්ඩුවත් අරන් බෙහෙත් පෝලිමේ ඉන්ඩ. මං කකුල පෙන්නලා එන්නං…”

සිරිතුංග නැගී සිටියේ ය.

“ඔක්කොම ලෙඩ කියන්ඩ… අර වැස්ස දාට අල්ලන දණිස් අමාරුව හෙම..”

“හා.. හා.. යන්ඩ යන්ඩ පෝලිමට..එතකොට ගෙදර යතෑකි විජහට..”

නිර්මලා සිරිතුංගව වචනවලින් එළියට තල්ලු කළා ය.

————————–

කාමරය නිහඬ වී තිබුණි. කාමරයෙන් පිටත ලෙඩුන් ගේ ඝෝෂාව විය.

ඇසෙන් ගැලවුණු නිර්මලාගේ කණ්ණාඩි, උකුල මත වූ සාරි පොටෙන් පිස දැමෙමින් තිබුණි.

“දැන් සෑහෙන්ඩ හොඳයි… දෙයියන්ගේ පිහිටෙන් ජීවිතේට මුකුත් කරගන්ඩ හැදුවෙත් නෑ ආයේ.. එත් මං හොඳ හෝදිසි පිට ඉන්නේ… දැන් ඔක්කොම මතකයි නෝන. පුතාට වෙච්චි දේ ඇරෙන්ඩ අනික් ඔක්කොම මතකයි…පුතා තාම විශ්ව විද්‍යාලේ යනව කියලයි එයැයිට මතක.. පත්තරෙත් බලනව. එත්  කොයිකටත් එක්ක කියල අපිට වෙච්චි කරදරේ වගේ කතන්දර තියෙන පිටු අහක්ක කරලයි පත්තරේ කියවන්ඩ දෙන්නේ..”

“බෙහෙත් ටික වෙලාවට දෙන්ඩකෝ අම්මා..”

“මං දෙනවා නෝන. එයයි හිතන් ඉන්නේ මාත් බෙහෙත් බොනවයි කියල. එයාගේ බෙහෙත් ටික මටත් ගෙනල්ල දෙනව. මං බිව්වා කියල හිතාගත්තම බල කරන්ඩ ඕන නෑ…”

දොස්තරවරිය  තවත් තුණ්ඩුවක් ලීවා ය. නිර්මලා නැගී සිටියා ය.

“නෝන… මේ සනීප වෙච්චි හරිය ඇති නෝන. මේ ඉන්න විදිය මදැයි…එයැයිට පුතාට වෙච්චි දේ මතක් වෙන්ඩ  දෙන්න එපා.. මං වගේ නෙමෙයි.. එයැයි හරි දුර්වලයි…”

————————–

කොළ පැහැති ත්‍රිරෝද රිය මල් දෙවැට පසුකර විත් නතර විය. නිර්මලා මුලින් ම රියෙන් බැස්සා ය. සිරිතුංග මුදල් ගෙවන්නට නතර විය.

කනප්පුව මත දවසේ පුවත්පත විය. දොර හරින්නට යතුර අතට ගත් නිර්මලා, දොර හරින්නට පෙර පුවත්පත අතට ගත්තාය. හිටගෙන ම පිටු පෙරළුවා ය.

හෙරොයින් ග්රෑම් දහයක් ළඟ තබාගත් විසි තුන් හැවිරිදි තරුණයෙකු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූ පුවතක් දෙවැනි පිටුවේ විය.

————————–

ගෙදරට අඳින සැහැල්ලු බතික් ගවුමෙන් සැරසුණු නිර්මලා, රත්මල් පෝච්චිය අසල නැමී සිටියා ය.

රත්මල් රිකිල්ල උඩ, අඩක් කා නිම කළ පත්‍රයක් තවදුරටත් රසබලමින් සිටියේ පිට මැදින් රත් පැහැ ඉරක් තිබූ කළු දළඹුවෙකි.

“ආව ඉතින් අමාරුවෙන් වවාගත්තු මල් පැලේ කන්ඩ…”

නිර්මලා දළඹුවා අත මිටට ගෙන ඈතට විසි කළා ය.

ඇඳුම් අහවර කළ සිරිතුංග, ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී, දෙවැනි පිටුවක් නැති ලංකාදීපය කිවමින් සිටියේ ය.