කටු වැලකට අතේ සමේ පදාසයක් ද පූජා කොට, ඒ රත්මල් අතු කැබැල්ල තලවාකැලේ ලැයිමක මල් වැටකින් ගෙන විත්, පෝච්චියක ඉන්දුවේ සති තුනකට පෙර ය. මුලින් ම පෝච්චියේ පැල වීම එක හෙලාම ප්රතික්ෂේප කරමින්, දුන් වතුරද නොබී “මැරියන්!” කියාගත් ගමන් සිටි රත්මල් අත්ත අවසානයේ නිර්මලා ගේ ආදර අණසකට යටත්වී හිත හදාගෙන ජිවත් වන්නට පටන් ගත්තේ ය. පුරුදු පසෙන් ද, පුරුදු හුළඟින් ද, පුරුදු නෑ හිත මිතුරන්ගෙන් ද වෙන්කිරීම නිසා ඇති වූ සාංකාවෙන් සිය දිවි නසා ගන්නට ම හිතා හිටි රත්මල් අතු කැබැල්ල සනසනු වස්, නුවර එළියෙන් ම ගෙනා කහ රෝස පැලයක් ද පෝච්චිය පිටින් ම ලං කරන්නට තරම් නිර්මලා කාරුණික වූවා ය. එක ජාතියේ ම නොවුණ්ත්, කොළඹ සිට තලවකැලේට ඇති දුරට වඩා තලවාකැලේ සිට නුවර එලියට ළඟ නිසා ඒ දෙන්නා අතර මොකක් හෝ නෑ කමක් තිබෙන්නට බැරි නැතැයි ද නිර්මලා සිතුවා ය.
“ඕන්… දැන් ..හරි. පාළු නෑ හරි ද?” කහ රෝස පැළය දෑතින් ඔසවාගෙන විත් රත්මල් පෝච්චිය අසලින් තැබූ නිර්මලා, වැලි තැවරුණු තම දෑත බතික් ගවුමේ පිසදැම්මා ය.
ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී සෙනසුරාදා හවස ආ ඉරිදා පත්තරය කියමින් සිටි සිරිතුංග, පත්තරය මෑත්කර බැලුවේ ගේට්ටුව දෙස ය. ගේට්ටුව අසල කිසිවෙකුත් නො සිටි බව දුටු සිරිතුංග, නිර්මලා දෙස බැලුවේ ය. හැලී ගොස් යාන්තම් තට්ටය පෑදෙමින් තිබූ කෙස්සේ ඉතිරි ටික හිස් මුදුනට කර කොණ්ඩා කට්ටක් ගැසූ නිර්මලා රත්මල් පෝච්චිය දෙසට නැමුණා ය.
“නෑයෙකුත් ළඟ ට ගෙනත් දීපු එකේ හිනාවෙලා ඉන්ඩ ඕන.. ”
ඇය රත්මල් ඉත්ත පැල කර තිබූ පෝච්චිය පිරිමැද්දා ය.
“දන්නවද?.. ඔයයැයි ව ගලවන්ඩ ගිහිල්ල මගේ අතේ කටුත් ඇණුනා. ”
සිරිතුංග යලිත් වරක් පත්තරය කියවන්නට වුයේ ය. නිර්මලා යළිත් වතාවක් රත්මල් පඳුර දෙස ආදර බැල්මක් හෙලා නැගී සිටියා ය.
————————–
කෑම මේසයට හරි මැදින්, ඉහළින් කිරි පැහැති වීදුරු ගෝලෝවක්, තැම්බූ හාලේ බතුත්, පරිප්පු හොද්දකුත්, කරවල බැදුමක් සහ පොල් සම්බලක් එළිය කරමින් හුන්නේ ය. හෙලිකොප්ටර හඬක් නගමින් ආලෝක ගෝලෝව වටා කැරකෙමින් සිටි කළු කුරුමිනියෙකු බත් දීසිය මතට ඇද වැටිණ.
නිර්මලා ඌ අතින් අහුලා මිදුලේ කළුවරට විසි කළා ය.
“කාල ඉන්ඩ..”
සිරිතුංග තවමත් හාන්සි පුටුවේ දිගෑදී හුන්නේ ය. පත්තරය ඔහු පාමුල වැටී තිබුණි. ඔහුට නින්ද ගොස් ඇතිදැයි සැක හිතුණු නිර්මලා, සිරිතුංග වෙතට එබුණා ය.
ඔහු නින්ද ගොස් නැති බව හඟවන්නට “…හ්ම්..” ගෑවේ ය.
“යමු.. කාල ඉන්ඩ. .”
ඔහු බඩගිනි නැති බව හඟවන්නට හිස වැනුවේ ය.
“ආ… එහෙම කොහොමද? යමු යමු.. බඩගිනියි මටත්. ”
ඔහු නැගී සිටියේ ය. එහෙත් ගෙට ඇතුළුවම් දෝ නොවම්දෝ මෙන්, උළුවස්ස අල්ලාගෙන තාවර වුණේ ය.
“යං .. යං… මං බෙහෙත් බොන්ඩ ඕනේ… හෙට මාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්ඩත් තියෙනවනේ. ඒ නිසා වේලපහ නිදාගන්ඩ ඕනේ අපි දෙන්නම ..”
————————–
“පුතා… පුතාට? ”
පළමු බත් හැන්ද, ජොන්සන් පිඟානේ වූ රෝස මල් කිනිත්ත වසාගනිත්දී සිරිතුංග ඇසුවේ ය.
“පුතා කාල එන්නේ… අපි කමු”
පිඟන් හා තසිම් වාටිවල හැඳි ගැටීම නතර වූ විට, නිවෙස පුරා පැතිර ගියේ මළ සොහොන් පාලුවකි.
————————–
සිරිතුංග බත් ඇට ඇඟිලි තුඩින් පෙරළන අයුරු නිර්මලා බලා සිටියා ය. ඔහු කටවල් තුනක් කා වතුර බීවේ ය.
තවත් බත් කටක් කෑ නිර්මලා ද නැගී සිටියා ය.
————————–
” බෙහෙත්…”
වතුර වීදුරුවක් ද අතැතිව ආ සිරිතුංග, අනෙක් අතේ වූ බෙහෙත් පෙති කිහිපය නිර්මලාට දිගු කළා ය.
සිවිලිම දෙසට අයාගත් මුව දෙසට අත ලං කළ නිර්මලා, සිරිතුංග අනෙක් අතට දුන් වතුර වීදුරුව උගුරු දෙකට හිස් කළා ය.
“දැන් ඔයත් බෙහෙත් බොන්ඩ ඕන ….”
————————–
මුළුතැන්ගෙයට ගිය නිර්මලා, ගවොම් කර තුලින් බෙහෙත් පෙති කිහිපය එළියට ගත්තා ය.
ඉනික්බිති වතුර වීදුරුව යළිත් පුරවාගත්තාය.
කාමරයේ ඇඳේ දිගාවී සිටි සිරිතුංග, ඇඳ විත්තමට කොට්ටයක් තබා කෙළින් වී හිඳගත්තේ ය. පෙරෙත්තයක් නැතිව ම බෙහෙත් කරල් කිහිපය ගිල්ලේ ය.
“පුතා… පුතා ආවද?” ඔහු ඇසුවේ ය.
“අද යාලුවෙක්ගෙ ගෙදර නවතිනවයි කිව්වා… කෝල් කළා…”
නිර්මලා කාමරයෙන් යාමට හැරුණා ය.
“අපි පුතා ගැන මීට වඩා හොයල බලන්ඩ ඕන නිර්මලා…”
නිර්මලා දිගු සුසුමක් හෙලා කාමරයෙන් පිටව ගියා ය.
————————–
ඉස්තෝප්පු එළිපත්තේ වූ නිරිවස්ත්ර වොට් පහේ විදුලි බුබුල හැරෙන්නට ඉතිරිවා නිවී යනවිට තවත් අඩ පැයක් ගතව තිබුණි.
————————–
ඉස්පිරිතාල පෝලිම දිගුව තිබුණි. දුඹුරු හැට්ටයකට කහ මල් සුදු සාරියක් හැඳ සිටි නිර්මලා සිරිතුංගවත් ඉස්සර කර කාමරය තුළට ඇවිද ගියා ය.
උපැස් පැළඳ සිටි තුරුණු දොස්තරවරිය පියකරු සිනාවක් පෑවා ය. ඇය ඉදිරිපිට මේසය මත දීප්තිමත් කහ පැහැති සෙල්ලම් වලහෙක් වීය.
“වාඩිවෙන්න…. දැන් තාත්තගේ ඔලුවේ කැක්කුම හොඳද?”
“දැන් අඩුයි නෝන.. බෙහෙත් ටික හෙම වෙලාවට දෙනවා මෙයා… ” සිරිතුංග කිවේ ය. දොස්තරවරිය සිනාසුනා ය.
“හොඳයි නේ… එහෙම තමයි ඉන්න ඕන…”
“නෝන… මේ මෙයාටත් මම වෙලාවට බෙහෙත් දෙනවා.. මතක් කළේ නැත්නම් බොන්නේ නෑ… තාම අර කකුලේ අමාරුව හොඳ නෑ නෝන”
නිර්මලා උපැස් යුවල නාසය දිගේ ඉහලට තල්ලු කරන මුවාවෙන් ඇස් කෙවෙනි පිස දැම්මා ය.
“මෙයැයි මේ තුන්ඩුවත් අරන් බෙහෙත් පෝලිමේ ඉන්ඩ. මං කකුල පෙන්නලා එන්නං…”
සිරිතුංග නැගී සිටියේ ය.
“ඔක්කොම ලෙඩ කියන්ඩ… අර වැස්ස දාට අල්ලන දණිස් අමාරුව හෙම..”
“හා.. හා.. යන්ඩ යන්ඩ පෝලිමට..එතකොට ගෙදර යතෑකි විජහට..”
නිර්මලා සිරිතුංගව වචනවලින් එළියට තල්ලු කළා ය.
————————–
කාමරය නිහඬ වී තිබුණි. කාමරයෙන් පිටත ලෙඩුන් ගේ ඝෝෂාව විය.
ඇසෙන් ගැලවුණු නිර්මලාගේ කණ්ණාඩි, උකුල මත වූ සාරි පොටෙන් පිස දැමෙමින් තිබුණි.
“දැන් සෑහෙන්ඩ හොඳයි… දෙයියන්ගේ පිහිටෙන් ජීවිතේට මුකුත් කරගන්ඩ හැදුවෙත් නෑ ආයේ.. එත් මං හොඳ හෝදිසි පිට ඉන්නේ… දැන් ඔක්කොම මතකයි නෝන. පුතාට වෙච්චි දේ ඇරෙන්ඩ අනික් ඔක්කොම මතකයි…පුතා තාම විශ්ව විද්යාලේ යනව කියලයි එයැයිට මතක.. පත්තරෙත් බලනව. එත් කොයිකටත් එක්ක කියල අපිට වෙච්චි කරදරේ වගේ කතන්දර තියෙන පිටු අහක්ක කරලයි පත්තරේ කියවන්ඩ දෙන්නේ..”
“බෙහෙත් ටික වෙලාවට දෙන්ඩකෝ අම්මා..”
“මං දෙනවා නෝන. එයයි හිතන් ඉන්නේ මාත් බෙහෙත් බොනවයි කියල. එයාගේ බෙහෙත් ටික මටත් ගෙනල්ල දෙනව. මං බිව්වා කියල හිතාගත්තම බල කරන්ඩ ඕන නෑ…”
දොස්තරවරිය තවත් තුණ්ඩුවක් ලීවා ය. නිර්මලා නැගී සිටියා ය.
“නෝන… මේ සනීප වෙච්චි හරිය ඇති නෝන. මේ ඉන්න විදිය මදැයි…එයැයිට පුතාට වෙච්චි දේ මතක් වෙන්ඩ දෙන්න එපා.. මං වගේ නෙමෙයි.. එයැයි හරි දුර්වලයි…”
————————–
කොළ පැහැති ත්රිරෝද රිය මල් දෙවැට පසුකර විත් නතර විය. නිර්මලා මුලින් ම රියෙන් බැස්සා ය. සිරිතුංග මුදල් ගෙවන්නට නතර විය.
කනප්පුව මත දවසේ පුවත්පත විය. දොර හරින්නට යතුර අතට ගත් නිර්මලා, දොර හරින්නට පෙර පුවත්පත අතට ගත්තාය. හිටගෙන ම පිටු පෙරළුවා ය.
හෙරොයින් ග්රෑම් දහයක් ළඟ තබාගත් විසි තුන් හැවිරිදි තරුණයෙකු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූ පුවතක් දෙවැනි පිටුවේ විය.
————————–
ගෙදරට අඳින සැහැල්ලු බතික් ගවුමෙන් සැරසුණු නිර්මලා, රත්මල් පෝච්චිය අසල නැමී සිටියා ය.
රත්මල් රිකිල්ල උඩ, අඩක් කා නිම කළ පත්රයක් තවදුරටත් රසබලමින් සිටියේ පිට මැදින් රත් පැහැ ඉරක් තිබූ කළු දළඹුවෙකි.
“ආව ඉතින් අමාරුවෙන් වවාගත්තු මල් පැලේ කන්ඩ…”
නිර්මලා දළඹුවා අත මිටට ගෙන ඈතට විසි කළා ය.
ඇඳුම් අහවර කළ සිරිතුංග, ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී, දෙවැනි පිටුවක් නැති ලංකාදීපය කිවමින් සිටියේ ය.