ඔහු සිටියේ මහල් නිවාස සංකීර්ණයේ වහලය මත හිඳගෙන ය. ඔහුගේ දෙපා, බොහෝ පහළින් පෙනෙන, දුහුවිලි වැකුණු නගරය දෙසට දිගු වී තිබුණි. විවිධ උස මට්ටම්වල ගොඩනැගිලිවල දැල්වී ඇති විදුලි එළි ය. දුහුවිලි දුමාරය අතරින් දුබලව පෙනෙන ඒ එළි නිසා අහසේ අඳුර මැඩී තිබුණ හෙයින් තාරුකාවල දීප්තිය අඩු ය.
ඔහු හිසට යටින් බැඳගත් දෑත් තබාගනිමින් වහලය මත දිගා වූයේ ය. ඔහු සිටින ස්ථානය නගරයේ විදුලි එළිවලින් එතරම් අහස එළි නොවූ දෙසක් බැවින් තාරුකා දීප්තිය නො මැඩී තිබුණි. ඔහුගේ දෑස් එල්ලේ දිළෙන, අනෙක් තරුවලින් වෙන්කර හඳුනා ගත හැකි දීප්තිමත් තරුවකි. ඔහු එදෙස බලාගෙන, මෙවන් සෑම මොහොතකම සිතන දේ මෙවෙලේත් සිතුවේ ය. “මෙතන ඉඳන් එතනට කොච්චර දුර ඇතිද?”
තප්පරයකට කිලෝමීටර් තුන්සියදහසක වේගයෙන් වර්ෂයක් තුළදී ආලෝකය ගමන් කරන දුර ආලෝක වර්ෂයක් වේ. සුදු අකුරෙන් කළු ලෑල්ලක ලියවෙන වගන්තිය ඔහුට මතක් විය. ඒ ලියන්නේ උසස්පෙළ විද්‍යාව ඉගැන්වූ ගෝපාල් සර් ය. ඔහු ඉතා වේගයෙන් වගන්ති ලියා, අවසන තිත තබන්නේ කළු ලෑල්ලට රිදෙන තරමේ වේගයකිනි. ඉන් පසුව ඒ ලියූ වාක්‍යය යටින් හේ වේගවත් ඉරක් අඳී. ඉරටද අවසන් කරන තිතකි. පෘථිවියට ළඟම තරුව ප්‍රොක්සිමා සෙන්චුරි ය. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ හතරකුත් දශම දෙකකුත් ඈතින් පිහිටා තිබේ.
ඔහු සුසුමක් හෙලුවේය.
“ළඟම එකත් ගොඩක් දුරයි.”