ඔහු ඇයව වැළඳගත්තේ ය.
ඔහුගේ දෑත්, ඉදිරියේ වූ හිස් අවකාශය වටකොට, යළිත් ඔහු වෙතටම ආවේ ය.
වායුසමීකරණයෙන් නිකුත් ව, මුළු රැය පුරාම වාහනයේ පැතිර තිබූ සීතල හදවතට දැනෙන්නේ දැන් ය.
ඔහු, දෑතේ සතපාගනු ලැබූ කුඩා දරුවෙකු මෙන් ඇය තම දෑතේ නිදා සිටින යුරු මවා ගනිමින් සිය දෑත් දෙස බැලුවේ ය.
ඔහු මුළු රැයම සිටියේ, ඇගේ නිවස පෙනෙන – නොපෙනෙන මානයේ වාහනය නවත්වාගෙන ය.
මොහොතකට හෝ ඈ දැකිය යුතු යැයි සිතමින් ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේ ය.
වෙලාව තවමත් අලුයම පහ වූවා පමණි. රැය අඳුර පහව නොගිය අලුයම පහකි. ඈ තවම නිදි ඇති. ඔහුට ඈ අවදි කිරීමට දුක සිතිනි. එහෙත් ඈ කොහොමත් තව සුළු වෙලාවකින් අවදි වනු ඇත.
ඔහු ජංගම දුරකථනය ගෙන අවසානයට අමතා තිබූ අංකයට යළි ඇමතුමක් ගත්තේ ය.
තරමක් වෙලාවකට පසු, ඇගේ නිදිබර හඬ අනෙක් පසින් ගලා ආවේ ය.
“හෙලෝ…..”
—————————————————————————-
දුරකථනය නාද වනවිට ඇය සිටියේ සිහිනයක් දකිමිනි. ඔහු ඇයව තුරුළු කරගෙන සිටියේ ය. සිහිනයේ සිටි ඈ සිටියේ නින්දේ බව සිහින දකිමින් නිදා සිටි ඈ දුටුවා ය.
ඔහු ඇයව ඔසවා ගත්තේ ය. බබෙකුව මෙන් දෑතට.
මිහිරි සංගීත වාදනයක් අවට පැතිර ගියේ ය. සිහිනයේ සිටි ඇය, තවත් ඔහුට තුරුළු වූවා ය. සිහිනය වියැකී ගියේ ය. සංගීතය තවමත් ඇසේ.
ඈ නිදිමතේම ඇඳ අතගා ජංගම දුරකථනය සොයාගත්තා ය.
ඔහුගේ අංකය ය. අනෙක් පසින් ඔහුගේ හඬ ය.
“මැණික… මම තව විනාඩි දෙකෙන් ඔයාගේ ගේ ඉස්සරහ..”