Tag Archives: moments

“ජාති මිනිහ ජෝතිපාල!”

 

jeyapalanjothipala_large
Enter a caption

Image :- Comrade.lk

දෙවෙනි ලෝක යුද්දෙ බ්‍රිතාන්‍ය හමුදාවට අනියුක්තව සේවය කළ මොරිස් ජයපාලන්, යුද්දෙ ඉවර වෙලා ලංකාවට ආවේ 1945 අන්තිමදී. හෙට්ටිආරච්චිගේ රෙජිනල්ඩ් ජෝතිපාල ඉපදුණේ 1936 දී. ජයපාලන් ලංකාවට එනකොට එයාගේ තරුණ කාලේ ගෙවෙන්න පටන් අරගෙන තිබුණේ. ඒ කාලේ වෙනකොට පස්සෙ කාලේ සිංදු කියල ජනප්‍රිය වෙන විදිහට දෛවය ලියවෙලා තිබ්බ ජෝතිපාලගෙත් ළමා කාලෙන් සෑහෙන කොටසක් ගෙවිලා. ජයපාලන් සම්බන්ධ මේ කතාව පටන් ගැනෙන්නෙ ජෝතිපාල සිංදු කියන කාලේ නිසා අපි අවුරුදු කීපයක් ඉස්සරහට යමු.

මොරිස් ජයපාලන් උස, මහත රතු හාදයෙක්. කොයි වෙලාවෙත් වත්කමේ හැටියට හැඩට ඇඳලා හිටියා. ජෝතිපාලට වඩා වයසෙන් වැඩි වුණාට මිනිහගෙ මූණත් සෑහෙන දුරට ජෝතිපාලගෙ වගේ. හිනාවෙන් මූණ පිරෙනකොට හීන් වෙන ඇස්, ජම්බු වගේ කම්මුල් එක්ක, මිනිහ ජෝතිපාලගේ ලොකු අයිය එහෙමත් නැත්නම් පොඩි මාමා වගේ එකක් කියන්න පුළුවන්කම තිබ්බ. හැබැයි ජයපාලන්ට සිංදු කීමේ හැකියාව නම් බිංදුවක්වත් තිබ්බේ නෑ. වත්තේ එවුන් “පාලන් අයිය ජෝති වගේමයි..” කියල කියන නිසාම, ජයපාලන්ගෙ පපුවේ අභිමානනීය ගායකයා වෙලා හිටියෙත් ජෝතිපාල. ජෝතිගේ ජෝතිමත් සින්දුත්, “ඕනම මනුස්සයෙක් එකක් කතා කරන, නිහතමානී ගායකයෙක් කියලත් අහල තිබ්බ නිසා එන්න එන්න ජෝතිට ජයපාලන්ගේ හිතේ ඉඩ ලොකු වෙලා පූජාසනයක් හැදෙන ගානටම ආවා. ජෝති කැලැන්ඩර්, ජෝති කමිස මේ ඔක්කොම ජයපාලන්, ඩොරීන්, කෙල්ලො දෙන්න හිටපු ලෑලි ගෙදර තිබුණා.
ආරච්චිවත්තේ හිටියේ අඩු ආදාම්ලාභීන්. හැබැයි සතියකට දෙතුන්වතාවක් බජව්වක් දාන එක, කොළඹ ගිහින් පිච්චර් බලන එක, ෂෝ බලන එක මේ අය අඩු කළේ නෑ. වත්තෙත් නිතරම බජව් තිබුණා. “ජෝති කට්” මිනිහ නිසා ජයපාලන්ට නිතරම වගේ වත්තේ බජව්වල ජෝති වෙන්න අරාධනාත් ලැබුණා.
” අද අපේ මේ සාජ්ජය වර්ණවත් කරන්නේ, ආරච්චිවත්තේ ජෝතිපාල හෙවත්, අපේ, පාලන් අයියා..” දෙකක් දාගෙන, ඒ වෙනකොටත් ටිකක් වැඩි වෙලා ඉන්න විලී, මිට කරපු අත මයික් එකක් වගේ තියාගෙන වැනි වැනී කියනවා.
ඉතින් අප්පුඩි සද්දේ මැද්දේ, දිළිසෙන කමිස, සිල්ක් කලිසම් ඇඳගෙන බෝතල් තියෙන මේසේ ළඟ වාඩිවෙලා ඉන්න ජයපාලන් නැගිටිනවා. සාජ්ජේ කිව්වට ස්ටේජ් නෑ. පෙරළිච්ච ලයිට් කණුවකට පස් හේත්තුවෙලා හැදිච්චි කණ්ඩියක් තියෙන්නේ. ඒකට නැගලා මිනිහා සිංදු කියන්න පටන්ගන්නවා. සිංදු කියනවා කිව්වේ, කියනවා විතරමයි. ගයන්නේ නෑ. තාලයක් එහෙම ගෑවිලාවත් නෑ. ඒත් ඒ සිංදු කියන්නේ ආරච්චිවත්තේ ජෝති. කමිසයක්වත් නැතුව බෝතල් මේසේ වටේ ඉන්න අයගෙන් “මේස තට්ටු” – “බෝතල් තට්ටු” සංගීතේ හම්බෙනවා. බාල අරක්කු බිබී, හරක් මස් කකා පාටිය ජයට නැගලා යනවා.
ජයපාලන් ජෝති ස්ටේජ් නගින ෂෝ එකක්වත් මිස් කළේ නැහැ. අතේ සල්ලි ඇතා නැතා ෂෝ බලන්න ආවා. ජෝතිපාල ඕන මනුස්සයෙක් එක්ක කතා කරන හොඳ මිනිහා කියල අහල තියෙන නිසා, ජෝතිපාල එක්ක කතා කරන්න කවදාහරි පුළුවන් වෙයි කියල ජයපාලන් හිතන් හිටියා. ෂෝ එකක සෙනඟ අස්සෙන් අහම්බෙන් හරි ජෝතිගේ අතක් අල්ලන්න, අඩුම ගානේ ජෝතිට ඇහෙන දුරින් ඉඳල “ජෝතීඊඊ…” ගාල කෑගහන්න ඉඩ ලැබෙයි කියල මිනිහ බලන් හිටිය. ඒත් ජෝතිගේ හුළඟ වදින කිට්ටුවකටවත් යන්න ජයපාලන්ට බැරි වුණා.

දවසක් ගිනි ගිනි දවාලේ, යාලුවෙක්ගෙන් ණය සල්ලි වගේකුත් අරගෙන ජයපාලන් මරදානේ බුහාරි එක ඉස්සරහින් පාර පනින්න බලාගෙන හිටියා. හරියට වාහන. ඒ අස්සෙ භූමිතෙල් කරත්තෙ. මයිනරයක් ජයපාලන්ගෙ ළඟින්ම ගිහින් ටිකක් ඉස්සරහින් නැවැත්තුවා. මයිනරේ ඉස්සරහ හිටියේ ගිනිකූරු කට් එකට රැවුල කපාපු සුදු මනුස්සයෙක්. ඊට වඩා උස මහත රතු මිනිහෙක් කඩයක් ඇතුලේ ඉඳන් හදිස්සියකින් වගේ ඇවිල්ල වාහනේ වාඩි වුණා. කාර් එකේ දොර වහනකොට කමිසේ කොනක් දොරට අහුවුණු නිසා ආයේ දොර ඇරලා වහන්න ඒ මනුස්සයට සිද්ධ වුණා. එතකොටයි ජයපාලන් ඒ මනුස්සය කවුද කියල හරියටම දැක්කේ. ජයපාලන්ගේ අත, කටයි පපුවයි අතරේ නතර වුණා. වාහනේ ඉස්සරහට ඇදෙනකොට, ඒ රතු උස මහත හාදය, වාහනේ කිට්ටුවෙන්ම හිටගෙන තමන් දිහා කට ඇරගෙන බලන් ඉන්න මනුස්සයට අත වනාගෙන ගියා.

ඒ තමා එච්. ආර්. ජෝතිපාල.!

දවස් ගානක් යනකම් ජයපාලන් හිටියේ අහසේ පා වෙවී. “මට ජෝතිව හම්බුණා..ජෝති මට අත වැනුවා!” කියල, දකින හම්බවෙන අඳුනන හැමෝටම කිව්වා. ඊට වඩා සූදානමෙන් හිටපු වෙලාවක ජෝතිව හමුවුනා නම් කියන දේවල් මිනිහා හිතෙන් ආයෙ ආයෙත් මවාගෙන බැලුවා. සමහරවිට ජෝතිම ඇවිල්ලා, “අයිසේ.. තමුසේ මම වගේමනෙ..” කියල කියන්නත් ඉඩ තිබුණා කියලත් වෙලාවකට මිනිහට හිතුණා. ඇත්තම එහෙම කියන්නත් ඉඩ තිබුණා. ජෝති කියන්නේ අන්න ඒ වගේ “ජාති මිනිහෙක්!” නෙ.

ජයපාලන් පඩි දාට ගෙදර එන්නෙ තෑගි පුරෝගෙන. ඉඳහිට දවසක ඒ එක්ක එයාටත් තෑග්ගක් ගැනෙනවා. හුඟක් වෙලාවට ඒක කමිසයක්. ටිකක් විතර “ලකයක්” තියෙන ජාතියේ කමිස තමයි ඉතින්. එහෙම දවසක ඩොරීන්ගෙ අයියගේ පුතා සුදත් එහෙ හිටියා. මාම කොළඹ ඉඳන් ඇවිල්ල මහන්සි නිවන අතරේ, සුදතුත් කාමරේට ඇවිල්ල ඇඳෙන් වාඩි වුණා. ඇඳේ පැත්තක තිබ්බ රත්තරන් පාට වැඩ දාපු නිල් කමිසෙ අතට අරන් බැලුවා.

“මම මට කමිසයක් ගත්තා.. “ජයපාලන් කිව්වා.

“මේක දවාලකට අඳින්න පුළුවන් එකක් නෙමේ…. ” සුදත් කිව්වේ කමිසේ ඇඟට දාල බලන ගමන්.

“කමක් නෑ.. මං ඕක රෑට අඳින්නම්… ” ජයපාලන් කිව්වා. මිනිහ බය වුණා සුදත් මේ කමිසේ ඉල්ලයි කියල. කොහොමත් ඒ කමිසේ ගැළපුණේ සුදත්ගෙ වයසට විතරයි. කෙට්ටු – පොඩි සුදත්ගේ ඇඟේ, මාමගෙ අලුත් කමිසේ එතිලා තිබුණේ ඇඳ රෙද්දකින් බීඩියක් එතුවා වගේ.
“අගේ ඇති කමිසේ..” ඩොරීන් කාමරේට එබුණා. “ඕක උඹට ලොකු වැඩියි නෙ..”

“මේක මාමගේ … ” සුදත් කමිසේ ගලවල ඇඳ උඩට දැම්මා. ” මේක අඳින්න පුළුවන් රෑට විතරයි..”
“ඉඳා.. මේ මිනිහ කොල්ලෙක් වෙන්න හදනවද…” ඩොරීන් ජයපාලන් දිහායි, ඇඳේ දිගාවෙලා තිබ්බ කමිසේ දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

“අද හවස යාලුවෙකුගේ බජව්වක් තියෙනවා… මං ඕක අඳින්නේ ඒකට…” ඔන්න ඕකයි උත්තරේ.

ජීවිතේ ගෙවුණා. ජයපාලන්ගේ වගේම ජෝතිපාලගෙත්. ළමයි බමයි ලොකු වුණා. ජෝතිපාල රටේ ජනප්‍රියම ගායකයා වුණා. ජයපාලන් ඩොක් එකේ රස්සාවෙන් පැන්ෂන් ගියා. ටිකක් විතර අතමිට හිඟ වුණා. ෂෝ බලන්න උනන්දුව තිබ්බට සල්ලි කොයින්ද ඔය හැටි ඕවට යන්න..? ජෝතිපාලව දකින්න, කතාකරන්න තිබ්බ ආසාව විතරක් වයසට නොගිහින් තිබුණා. ජෝති ඉන්න පත්තර ගෙදර එකතු වුණා. මනුස්සගේ ආසාව ගැන ඩොරීන් දැනගෙන හිටියා. ඉස්සර වගේ කොළඹ යැවිලි නෑ ෂෝ බලන්න. පව්. ස්වල්ප බරක්ද දීග දෙන්න දූලම දෙන්නෙක් ඉන්නකොට.
ඩොරීන් ගෙ ලොකු අයියගේ නෝනගේ පවුලේ මඟුලකට ආරාධනා ලැබුණා. යමක් කමක් තියෙන පවුලක එකම දූ මනමාලි. ගෝල්ෆේස් හෝටලේ තිබ්බ මඟුල සෑහෙන පිරිසකට කියල තිබ්බ. මන්ත්‍රීල, ඕවයිසීල, ලොකු බිස්නස් කාරයෝ, රේන්ද මුදලාලිලා..තව කොච්චරක්ද… ජයපාලනුත්, හොඳට ඇඳපු ඩොරීන්වයි කෙල්ලෝ දෙන්නවයි ඉස්සර කරගෙන මඟුලට ආවා. ඩොරීන්, කෙල්ලොත් එක්ක නෑයෝ ගොඩේ ඉන්නකොට, ජයපාලන් පිරිමි ගොඩේ, බෝතල් මේසයක් ගාව.

ඒ අතරේ තමයි මඟුල් ජෝඩුව පුදුම කරන්න ගෙන්නපු අමුත්තා මඟුලට ආවේ.

ඒ තමයි එච්.ආර්. ජෝතිපාල!

මනමාලිගෙ පිය පාර්ශවේ දුරින් නෑ කෙනෙක්ගේ හිතවතෙක්ගෙ හිතවතෙක් වුණු ජෝතිව මඟුල් ගෙදරට ගෙන්නලා තිබ්බේ හිතවතාගේ ලොකුකම් පෙන්නනත් එක්ක තමයි. ඒත් මොකද ඉතිං. “ජෝතිපාලත් අපේ මඟුල් ගෙදර ආවා!” කියල පස්සේ කාලෙක කියන්න මතකයක් හරි මඟුල් ජෝඩුවට ඉතුරු වෙන එකම මදැයි.

ජෝති ආවේ කෑම මේසේ අරින්න පැයකට විතර කළින්. ජෝති ආවත් එක්ක මඟුල් ජෝඩුව නිකං හේදිලා ගියා වගේ එකක් වුණා. ඔක්කොම ජෝති වටේ වට වුණා. ” ජෝති ඇවිත්..” සුදත් ඇවිල්ල කිව්වම, පැත්තකට වෙලා බෝතල් හිස්කරමින්, පිරිමි ගොඩේ උන්නු ජයපාලන්ට උන් හිටි තැන් අමතක වුණා.

කාපු ගමන් සිංදුවක් කියල ජෝති යනවලු.

මඟුල් ශාලාව හිස්වෙලා වගේ තිබ්බ. සෙනඟ ඔක්කොම ජෝති වටේ! මඟුල් ජෝඩුව අත හැරලා ජෝති වටේ රැස්වුණු ආරාධිතයෝ ටිකක් එහෙ මෙහෙ වෙනකම් ඉඳල ජයපාලන් ජෝතිපාල ගාවටම ගියා. ජෝති හිටියේ බීම වීදුරුවක් හිස් කරමින්. “සර්….” ජයපාලන් කතා කළා. ජෝති වීදුරුව මේසේ උඩ තියල ජයපාලන් දිහා බැලුවා.
කියන්නේ මොනවද කියල හිතාගන්ඩ ජයපාලන්ට බැහැ. කවදහරි ජෝතිව හම්බුණොත් කියන්න කොයි තරම් නම් දේවල් තිබ්බද? කොයිතරම් නම් දේවල් අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වුණාද? ඒත් ඒ එකක්වත් මතක් වෙන්නේ නැත්තේ ඇයි?
“සර් සර්ව මං බුහාරි එක ගාවදි දැක්ක. සර් මට අත වනං ගියේ…. ” ජයපාලන් කියාගන්න තිබ්බ මහ ගොඩක් දේවල්වලින් එකක් කිව්වා. ජෝතිපාල, ඔලුව යන්තම් නවල කරුණාවෙන් හිනා වුණා.
“සර්….. ,මං ආසම ගායකයා සර්… ” තමන් තව අවුරුදු කීපෙකින් හිටීවි කියල අනුමාන කරන්න පුළුවන් මුහුණක් තිබ්බ මනුස්සය දිහා ජෝතිපාලත් ටිකක් උනන්දුවෙන් බැලුවා. මිනිහ ඇඳලා හිටියෙත් ඊට අවුරුදු කීපෙකට කළින් තමන් ෂෝවලට ඇඳපු ජාතියේ සූට් එකක් ය කියලත් ජෝතිට තේරුණා. ” සර්, මම මොරිස් ජයපාලන්.. සර් ජෝතිපාල – මම ජයපාලන්.. ජයපාලත් වගේ ටිකක්.. ” හිතට දහිරිය අරන් කියල දැම්මා. ඊළඟට කටින් පැන්නේ කියන්න හීනෙකින්වත් හිතපු දෙයක් නම් නෙමේ.. ” මං ආසයි සර්.. සර් ඉස්සරහ සර්ගේ සිංදුවක් කියන්ඩ… ”

ජෝතිපාල, ඉස්සරහට නැමිලා ජයපාලන්ගේ උරහිසට අතක් තිබ්බා. “මරුනෙ..”

ජයපාලන් සුටුස් ගාල වේදිකාවට නැග්ග. ඊට පස්සේ සංගීත කණ්ඩායමේ නායකයට රහසක් කිව්වා. සංගීතේ පටන්ගත්ත.

ජෝතිපාල, ජෝතිපාලගෙම සිංදුවක රසිකයෙකු බවටත්, ජයපාලන්, තමන්ගේ කැමතිම ගායක රසිකයා ඉදිරියේ ගායකයා බවටත් මොහොතකින් තැන් මාරු වුණා. ජයපාලන්, ජෝතිපාලගෙ “මේ ජීවනයේ..” සිංදුව, කතාවක් පවත්වනවට වඩා ටිකක් හොඳට ගායනා කළා. ඒ විනාඩි තුනකට වඩා ටිකක් වැඩි වෙලාවේ වනක්කු සිට්ටමනි මොරිස් ජයපාලන්, එච්. ආර්. ජෝතිපාල බවට මනසින් පත්වෙලා ජෝතිමය මොහොතක් අත්වින්දා. “කරන්ඩ බැරි මගුල්…” ඩොරීන්, කෙල්ලෝ දෙන්නත් එක්ක තරහින් කුටු කුටු ගෑවා. ජයපාලන් සිංදුව කියල ඉවර වෙලා ඇස් ඇරියම දැක්කෙ, මූණෙන් එකක් හිනාවෙලා බලන් ඉන්න ජෝතිපාලව. තක්බීර්වුණු මංගල සභාව ඊට පිටිපස්සේ. ඒත් ජයපාලන්ට පෙනුණේ ජෝතිගේ ප්‍රීතියෙන් පිරුණු හිනා මූණ විතරයි. ජෝතිපාල නැගිටලා අත්පුඩි ගැහුවා.
“මරුනේ මිස්ටර් මොරිස්..”

ජයපාලන් ස්ටේජ් එකෙන් බිමට පැන්නා. ජෝතිව බදාගෙන ඉඹගත්තා. එතකොටම කැමරාකාරයා ෆොටෝ එහෙකුත් ඇල්ලුවා. ජයපාලන් ජෝතිව බදාගෙන, ඉඹගෙන මොහොතක් ඉඳලා, මංගල ශාලාවෙන් එළියට දුවගෙන ඇවිල්ල මීගමුව බස් එහෙක එල්ලිලා ගෙදර ගියා.

” මට ඒ සන්තෝසේ මගේ ඇඳේ දිගාවෙලා විඳින්න ඕන වුණා බං..” තමන්වයි කෙල්ලොන්වයි මඟුල් ගෙදර තනියෙම දාල ආව කියල කේන්තියෙන් හිටපු ඩොරීන්ට ජයපාලන් කිව්වා. ඩොරීන්ගේ තරහ නිවිල අනුකම්පාවක් මතුවුණා. ඇඳුම් අහවර කරල ඉඟුරු යහමින් දාපු ප්ලේන්ටියක් හදාගෙන කාමරේට එනකොටත් ජයපාලන් වහලේ දිහා බලාගෙන තනියම හිනා වෙනවා. කියවනවා.

“මං කිව්වෙ.. ජාති මිනිහ ජෝතිපාල!”

ඊට මාස කීපෙකට පස්සේ ජයපාලන් හදිස්සියේ මැරුණා. ඒක හදිසි හර්දයාබධයක්. ඒක හැදුණේ අර ජෝති සම්බන්ධ ජාති මොහොතේ ප්‍රීතිය වියකෙන්න කළින් නිසාද කොහෙද මිනී පෙට්ට්යේ නිදාගෙන හිටපු ජයපාලන්ගෙ මූණේ බොහොම සන්තෝස හිනාවක් ඇඳිල තිබුණ. මිනී පෙට්ටියේ පැත්තකින් ජෝතිපාලයි ජයපාලනුයි බදාගෙන ඉන්න පින්තූරෙ තියල තිබ්බ කියලත් කියන්න පුළුවන් වුණා නම් මේ කතාවට මීට වඩා ජෝතිමත් අවසානයක් දෙන්න තිබ්බා. ඒත් ඇත්තටම ඒ වාගේ ජෝතිමත් මොහොතක් වින්දටත් පස්සේ, ආයේ කතන්දරවලට අමුතුවෙන් ජෝතිමත් මොහොතවල් හදන්නේ මොකටද?

වැළඳගැනීම

72263164_10206119614544952_6827739729841094656_o

ඔහු ඇයව වැළඳගත්තේ ය.

ඔහුගේ දෑත්, ඉදිරියේ වූ හිස් අවකාශය වටකොට, යළිත් ඔහු වෙතටම ආවේ ය.

වායුසමීකරණයෙන් නිකුත් ව, මුළු රැය පුරාම වාහනයේ පැතිර තිබූ සීතල හදවතට දැනෙන්නේ දැන් ය.

ඔහු, දෑතේ සතපාගනු ලැබූ කුඩා දරුවෙකු මෙන් ඇය තම දෑතේ නිදා සිටින යුරු මවා ගනිමින් සිය දෑත් දෙස බැලුවේ ය.

ඔහු මුළු රැයම සිටියේ, ඇගේ නිවස පෙනෙන – නොපෙනෙන මානයේ වාහනය නවත්වාගෙන ය.

මොහොතකට හෝ ඈ දැකිය යුතු යැයි සිතමින් ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේ ය.

වෙලාව තවමත් අලුයම පහ වූවා පමණි. රැය අඳුර පහව නොගිය අලුයම පහකි. ඈ තවම නිදි ඇති. ඔහුට ඈ අවදි කිරීමට දුක සිතිනි. එහෙත් ඈ කොහොමත් තව සුළු වෙලාවකින් අවදි වනු ඇත.

ඔහු ජංගම දුරකථනය ගෙන අවසානයට අමතා තිබූ අංකයට යළි ඇමතුමක් ගත්තේ ය.

තරමක් වෙලාවකට පසු, ඇගේ නිදිබර හඬ අනෙක් පසින් ගලා ආවේ ය.

“හෙලෝ…..”

—————————————————————————-

දුරකථනය නාද වනවිට ඇය සිටියේ සිහිනයක් දකිමිනි. ඔහු ඇයව තුරුළු කරගෙන සිටියේ ය. සිහිනයේ සිටි ඈ සිටියේ නින්දේ බව සිහින දකිමින් නිදා සිටි ඈ දුටුවා ය.

ඔහු ඇයව ඔසවා ගත්තේ ය. බබෙකුව මෙන් දෑතට.

මිහිරි සංගීත වාදනයක් අවට පැතිර ගියේ ය. සිහිනයේ සිටි ඇය, තවත් ඔහුට තුරුළු වූවා ය. සිහිනය වියැකී ගියේ ය. සංගීතය තවමත් ඇසේ.


ඈ නිදිමතේම ඇඳ අතගා ජංගම දුරකථනය සොයාගත්තා ය.

ඔහුගේ අංකය ය. අනෙක් පසින් ඔහුගේ හඬ ය.

“මැණික… මම තව විනාඩි දෙකෙන් ඔයාගේ ගේ ඉස්සරහ..”

තරු

70538732_10206009950003407_5332015406209040384_o
ඔහු සිටියේ මහල් නිවාස සංකීර්ණයේ වහලය මත හිඳගෙන ය. ඔහුගේ දෙපා, බොහෝ පහළින් පෙනෙන, දුහුවිලි වැකුණු නගරය දෙසට දිගු වී තිබුණි. විවිධ උස මට්ටම්වල ගොඩනැගිලිවල දැල්වී ඇති විදුලි එළි ය. දුහුවිලි දුමාරය අතරින් දුබලව පෙනෙන ඒ එළි නිසා අහසේ අඳුර මැඩී තිබුණ හෙයින් තාරුකාවල දීප්තිය අඩු ය.

ඔහු හිසට යටින් බැඳගත් දෑත් තබාගනිමින් වහලය මත දිගා වූයේ ය. ඔහු සිටින ස්ථානය නගරයේ විදුලි එළිවලින් එතරම් අහස එළි නොවූ දෙසක් බැවින් තාරුකා දීප්තිය නො මැඩී තිබුණි. ඔහුගේ දෑස් එල්ලේ දිළෙන, අනෙක් තරුවලින් වෙන්කර හඳුනා ගත හැකි දීප්තිමත් තරුවකි. ඔහු එදෙස බලාගෙන, මෙවන් සෑම මොහොතකම සිතන දේ මෙවෙලේත් සිතුවේ ය. “මෙතන ඉඳන් එතනට කොච්චර දුර ඇතිද?”

තප්පරයකට කිලෝමීටර් තුන්සියදහසක වේගයෙන් වර්ෂයක් තුළදී ආලෝකය ගමන් කරන දුර ආලෝක වර්ෂයක් වේ. සුදු අකුරෙන් කළු ලෑල්ලක ලියවෙන වගන්තිය ඔහුට මතක් විය. ඒ ලියන්නේ උසස්පෙළ විද්‍යාව ඉගැන්වූ ගෝපාල් සර් ය. ඔහු ඉතා වේගයෙන් වගන්ති ලියා, අවසන තිත තබන්නේ කළු ලෑල්ලට රිදෙන තරමේ වේගයකිනි. ඉන් පසුව ඒ ලියූ වාක්‍යය යටින් හේ වේගවත් ඉරක් අඳී. ඉරටද අවසන් කරන තිතකි. පෘථිවියට ළඟම තරුව ප්‍රොක්සිමා සෙන්චුරි ය. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ හතරකුත් දශම දෙකකුත් ඈතින් පිහිටා තිබේ.
ඔහු සුසුමක් හෙලුවේය.

“ළඟම එකත් ගොඩක් දුරයි.”

අම්මා…  හැමදේම අමතකද ?

43722719_10204865436751291_2607863296992215040_o
අම්මා…
හැමදේම අමතකද ?
මේ මිණිපිරී
මගේ දුව !
මම නෙමෙයි අම්මා –
ඉස්කෝලෙ ගිහින් ඉවරයි මම. .
.

කණ්ණාඩියෙන් බැලුවම
අඳුනන්න පුලුවන්ද ?
රැළි වැටිල හම ;
නැත්නම් තාම මතක –
බැංකු යන එකද
ඔසරි ඇඳගෙන? .
.

ඒ ඉන්නෙ තාත්තා –
කළු කබායක් ඇඳගෙන –
කළු සුදු පින්තූරෙක
අම්මා ළඟින් හිටගෙන
පනස්ම පහක් අවුරුදු
ඒක මතකද ?
ගිහිනුත් පහක් හෙටට ! .
.

එක අතකින් හොඳයි අම්මා
හැමදේම අමතකම වෙන එක –
හුඟක් ලේසියි එතකොට –
ඔබට ඔබවත් අමතක එක
මට මතක් වෙන එකයි
දුක .

 

ඉතිරි මල්

shutterstock_559949797

සාරදායි සංකල්පයි නුවර එළියෙ මල් වත්තක මල් ගස් වටේ කැරකෙමින් නටනවා. පසුබිමින් ඇහෙන ලස්සන සංගීතෙට මල් වත්තෙ මලුත් නටනවා.
ටිකක් දුරින් ඉඳන් මේ දෙන්නගෙ නැටුම බලන් ඉන්න අයට සාරදාව පේන්නෙත් මල් වත්තේ මලක් වගේ.

” කට් !” අධ්‍යක්ෂකවරයාගේ විධානයෙන් දෙන්නම නැටුම නවත්වනවා.

සති තුනක් තිස්සෙ නුවර එළියේ තිබ්බ ෂූටිංවලින් පස්සෙ කට්ටියම කොළඹ බලා පිටත්වෙන ගමන් මේ. හොටෙල් එකේදි ඇඳුම් මාරුකරලා ලේසි කමිසෙකුයි කලිසමකුයි ඇඳගෙන ඉන්න සාරදා වාඩිවෙලා ඉන්නේ වාහනේ පිටිපස්සෙම අසුනෙ. සංකල්ප සාරදාගෙ උරිස්සට හිස තියන් කටත් ඇරගෙන බුදි.
“නවත්තන්න.. නවත්තන්න,.. ” එක පාරටම සාරදා කෑගහපු කෑගැහිල්ලට වාහනේ එලවන ඉසුරු හයියෙන් බ්‍රේක් ගැහුව. සංකල්ප ඇහැරුණේ ඉස්සරහ සීට් එකෙත් වැදිලයි. වාහනේ දොර ඇරගෙන එළියට පැනපු සාරදා, පාර අයිනෙ මල් විකුණන තැනක මල් පැල තෝරනව.
එයා පාට පාට රෝසයි, පාට පාට ජර්බ්‍රාසුයි මල් එකින් එක බලන්නෙ හරි ආසාවෙන්.
” අද එන එකක් නෑ ඉතිං ඔතනින්.. .” සංකල්ප කියනවා. කෘ එකේ ඔක්කොමල හිනාවෙනව.
————————-

“ඔයාටනම් මේකප් ගොඩක් ඕන වෙන එකක් නෑ.. මලක් වගේ ලස්සනට ඉඳී කොහොමත්..” රටේ නම ගිය රූපලාවන්‍ය ශිල්පිනිය සාරදාගේ මුහුණට සාත්තුවක් කරන ගමන් කියනවා. ජනප්‍රිය තරුණ නිළියකගෙ මඟුල් ගේ දවසෙ එයාව ලස්සන කරන එක භාර වීම ගැන එයා ඉන්නෙ සතුටෙන්.
“මොන මල්ද බොකේ එකට ?”
රෝස, නෙළුම්, ජර්බ්‍රා, කානේෂන් , බේබීස් බ්‍රෙත් ඔක්කොම මල් ඕන… ” සාරදා කියන්නෙ පොඩි එකියෙක් වගේ.

————————-
කරුප්පයියගෙ නෝන, අලුත් මල් තවානට සාත්තු කරනව. ලොකු දූ, හැදිච්ච මල් සීරුවට කපල, නොතැලෙන්න කූඩේ අඩුක් කරනව.
රෑ රේල්ලුවෙන් කරුප්පයිය කොළඹ එන්නෙ ඒ මලුත් අරගෙන. බාන්ස් පාරෙ ඉන්න රූපලාවන්‍ය ශිල්පිනිය ඒ මල් එනකම් බලාගෙන ඉන්නවා.

————————-
හිල්ටන් එකේ ශාලාවක් හෙට තියෙන නළු – නිළි මඟුලට ලෑස්ති වෙනවා. මෙහෙ මේස උඩට වෙලා උජාරුවට ඉන්නෙත් කරුප්පයිය නුවර එළියෙන් ගෙනා මල්ම තමයි.
————————-
උඩරට මනමාලියක් වෙච්ච සාරදා, මලක් වගේ හිනාවේගෙන නෑදෑයො පිරිවරාගෙන එනවා. මනමාලයට ඇඳපු සංකල්ප සාරදා දිහා බලා ඉන්නේ හරි ආදරෙන්.

————————-
මල් පුරෝපු ශාලාවේ, මල් කුමාරියො පිරිවරාගෙන හිනාවෙවී ඇවිදින සාරදා එයාගේ ලොකු අම්මගේ දූ උදාරි ළඟ නවතිනව. දෙකම්මුල්වලට හාදු දී ගත්තට පස්සෙ සාරදා, මේස දිහාට අත දික් කර කර උදාරිට මොකක්ද දෙයක් කියනව. උදාරිගේ ඇසුත් මේස සරසන මල් අතරෙ සැරිසරනව.
————————-
මඟුල් ගේ ඉවරයි. මලක් වගේ පිපිච්ච මුහුණෙන් යුතුව, යහළුවන්ගෙ විහිලු තහලු ඉවසමින් සාරදායි සංකල්පයි එයාලගෙ මධුසමයට පිටත්වෙන්න වාහනේට නගිනව. වාහනේට නැගලත්, සාරදා උදාරිට අතින් සංඥාවක් කරමින් මොන මොනවදෝ කියනව. එයත් හිනා වෙවී ඔලුව වනනවා.

ජෝඩුව පිටත් වෙලා. හෝල් එකේ ඉතිරි කිහිප දෙනයි. උදාරි එයා දාගෙන හිටපු අඩි උස සපත්තු දෙක ගලවලා පැත්තකට දාල, ඔසරි පොටත් ඉනේ ගහගෙන ශාලාව පුරා එහෙ මෙහෙ යමින්, මෙතෙක් වෙලා මේස සරසපු මල් එකතු කරනවා.
නුවර එළියෙන් කොළඹ ආවට, කොළඹ රස්නෙට වඩා නුවර එළියෙ සීතලට කිට්ටු උත්සව ශාලාවේ හිටපු නිසා,ඔක්කොම මල් තාම අලුත් පාටට හිනා වේවී ඉන්නව. උදාරි ඒ මල්, පොඩි පොඩි මිටිවලට බඳින්නෙ ශාලාවෙම තිබ්බ රිබන් කෑලිවලින්.

“මොකටද ඔය? ” පොඩි නැන්දා අහන්නෙ හිනා වෙවී. “ගෙදර ගෙනියන්නද?”

“පොඩි වැඩකට..” උදාරි උත්තර දෙනව. කවදත් එයා එහෙම තමයි. කතා කෙටියි. වැඩ තමා ලොකු.

මල් මිටි උදාරිගෙ මරුටියේ පිටිපස්සේ තියෙන කාඩ්බෝඩ් පෙට්ටියක පරිස්සමට තැන්පත් වෙනවා.

“අම්මල ඉන්න.. මම ඉක්මනට මේ ළඟකට ගිහින් ඇවිත් අම්මලව ගන්නම්… ” උදාරි වාහනේට නගින්නෙ එහෙම කියමින්.

බහින ඉර අව්වේ රස්නෙ විඳිමින් යන මරුටිය, ඊළඟට නවතින්නෙ වැල්ලවත්තෙ තියෙන පරණ පන්නෙ ගෙදරක් ඉස්සරහ.

අත් නැති ගවුමක් ඇඳපු වයසක ගෑණු කෙනෙක්, වෝකර් එකට බරවෙලා වතුසුද්ද මල් කඩනව. තවත් වයසක පිරිමි කෙනෙක් රෝද පුටුවක වාඩිවෙලා හිස් බැල්මෙන් බලාගෙන ඉන්නව.

ඉස්තෝප්පුවෙ හිටපු ඔසරියක් ඇඳල, කණ්ණාඩි දාගෙන ඉන්න ගැහැණු කෙනෙක් උදාරිගෙ වාහනේ දැකල ගේට්ටුව ළඟට එනව.

“මෙත් සෙවන ” කියල ලියපු බෝඩ් එකක් ගේට්ටුවෙ ගහල තියෙනව.

—————————-

හුඟක් රෑ වෙලා. අලුත බැඳපු ජෝඩුවක්, මල් ආපු නුවර එළියෙම සුඛෝපභෝගී නවාතැනක, එකිනෙකාගෙ දෑත් අතර සුවෙන් සැතපිලා ඉන්නවා. මනමාලි මල් කළඹක් කණ්ණාඩි මේසෙ උඩ ඉඳන්, මඟුල් ගෙදරක මහන්සිය නිවාගන්නව.
මරුටියක් ගේ ඉස්සරහ නවත්තල තියෙන පුංචි බොරැල්ලෙ ගෙදරක කාමරේක, සැහැල්ලු ඇඳුමක් ඇඳගත්තු වයස තිස් ගණන්වල කාන්තාවක් හිතේ සැහැල්ලුවෙන් නිදාගෙන ඉන්නව. එයාගේ කාමරේ ජනේලෙන් එළියේ පිච්ච වැලක මල්, සුවඳ හුළං හතර අතේ පා කරනව.

—————————-

වැල්ලවත්තෙ “මෙත් සෙවන”ත් නිදි. වයසක අම්මල තාත්තල ඉන්න කාමරවල, එයාල නිදාගෙන ඉන්න හුදෙකලා ඇඳන් සමීපයේ පුංචි ලාච්චු මේසයක් තියෙනව. වෙනදට ඒ අයගෙ බෙහෙත්, වතුර වීදුරු, ඇස් කණ්ණාඩි වගේ පොඩි පොඩි දේවල් විතරක් තිබුණු ඒ මේස උඩ අද, රෝස, නෙළුම්, ජර්බ්‍රා, කානේෂන් සහ බේබීස් බ්‍රෙත් මල් මිටිය ගානෙ තියෙනව.

ඒ මල් තාම අලුත්. මඟුල් ගෙදරක ගිහින් ආපු මහන්සි පාට පොඩ්ඩක්වත් ඒ මල්වල නැහැ.

ඉතිරි මල්

බෝපෙත්තා

42575364_324347061705421_213033341409034240_n
ඇත්තටම එයාගෙ නමේ බෝපෙත්තා කියල කෑල්ලක් තිබ්බෙ නෑ. කළු නූලක එල්ලපු සුරයකුයි, බෝ කොළයක හැඩයක් තියෙන පංචායුධයකුයි එයාගෙ බෙල්ල වටේ එල්ලලා තිබ්බ නිසා සමහරවිට එයාට ඒ නම වැටෙන්න ඇති.
එහෙම නැතත් කවුරු හරි එයාගෙන් නම මොකක්ද කියල අහුවම එයා දෙන උත්තරේ ඇහෙන්නෙ “බෝපෙත්තා ” වගේ.

ගිනි අව්ව අතින් මුවාකරන් බෝපෙත්තගෙ අම්ම එයාව වඩාගෙන පාර පැනල මිසිලින් නෝනගෙ ගෙදරට යනව. උදේ දහයට විතර එන මේ ගමන, දවස ගානෙම සිද්ද වෙන්න ඕන යුතුකමක් විදිහටයි මිසිලින් නෝනත් හිතුවෙ. බෝපෙත්තගෙ අම්ම මිසිලින් නෝනගෙ ගෙදර ඇවිත් බෝපෙත්තව නාවනව. සබන් පවුඩර් ගානව. සුවඳ ඉහිරෙන පොඩි එකාව ඔඩොක්කුවෙ තියාගෙන මිසිලින් නෝන බෝපෙත්තගෙ අම්ම එක්ක පොඩි පොඩි ඕපදූප හලනව.

බෝපෙත්තට අවුරුදු හය වෙන්න ඔන්න මෙන්න. ඒත් අවුරුදු දෙකක තරමටවත් මොළේ හැදිල නෑ. ඇඟ පත පොඩි, පොකුටු කොණ්ඩයක් තියෙන හරි ආදරේ හිතෙන ළමයෙක් එයා. කට ඕනවට වඩා ඇරෙන නිසයි, කට පුරාම දත් නිසයි බෝපෙත්ත අඬද්දි නම් ටිකක් අමුතු පෙනුමක් ආව. ඒත් ආදරේ අම්මෙක් ඉන්නකොට බබෙක් අඬන්නෙ මොකටද? බෝපෙත්ත හුඟක් වෙලාවට හිටියෙ හිනා වෙවී.

බෝපෙත්තගෙ අම්මත් හරි පුංචි කෙනෙක්. උස මහත නැති හරි තරුණ පාට ලස්සන ගැහැණු කෙනෙක්. බෝපෙත්තයි අම්මයි හිටියෙ මහ ගොඩක් සෙනඟ ඉන්න ගෙදරක. නපුරු පාට තාත්තෙකුයි,එයාගෙ කලින් කසාදෙන් උපන් එක එක වයස්වල ළමයි ගොඩ දෙනෙකුයි ඒ ගෙදර හිටිය. ඒ වගේම ඒ තාත්තගෙ අම්මත්. ඒ ඔක්කොම අතරෙ කැඩෙන බිඳෙන මැට්ටෙන් හදාපු පිළිම දෙකක් වාගේ සිනිඳු සියුමැලි පාට බෝපෙත්තයි, නිතරම අසනීප පාටට, ඔතෑනිවට ඉන්න එයාගෙ අම්මයි ඒ ගෙදරට නොගැළපෙන පිංතූර පොතකින් කපල අලවපු දෙන්නෙක් වාගෙ පේන එක නවත්තන්න බෑ. ඒ වගේම මනස නොවැඩෙන – එහෙමත් නැත්නම් නුහුගුණේ දරුවෙක් වදාපු නිසා ඒ අම්මයි – නුහුගුණේ දරුවයි ඒ මහ සෙනඟ ගොඩේ තනිවෙච්චි ගතියකුත් තිබුණ. මේ දෙන්න ඒ ගෙදර ගෝසාව අස්සෙ හැංගිල හිටියෙ. එයා හයියෙන් ඇඬුවොත් අම්ම බැණුම් අහනව කියල බෝපෙත්ත දැනගෙන හිටිය. ඒ දෙන්න හයියෙන් හිනා වුණේ මිසිලින් නෝනගෙ ගෙදරදි.

දවසක් පාන්දර පන්සල පාරෙ කට්ටිය ඔක්කොමල බෝපෙත්තගේ ගෙදරට දිව්ව. මිසිලින් නෝනත් කොර ඇන ඇන ඒ පස්සෙන් වැටුණ. ඇතුල් ගෙයි කාමරේක ලී ඇඳක් උඩ බෝපෙත්තගෙ අම්ම වැතිරිලා උන්න. හුස්ම ගන්න තරමෙ හෙලවිමක්වත් නැතුව. චූ දාගත්ත තෙත ජංගිය පිටින්ම බෝපෙත්ත අම්ම වැතිරිල ඉන්න ඇඳට නගින්න දෙතුන් පාරක් උත්සාහ කළා. බිම වැටුණ. ඇඳ වටේ වටවෙලා ඉන්න කට්ටියගෙ බෙරි වුණු මුහුණු දිහා බලාගෙන බෝපෙත්ත බෑඟිරි ගහල අඬන්න පටන් ගත්ත. ගෙදර ලොකු ගෑණු ළමය බෝපෙත්තව ඇදල අරන් කිහිල්ලෙ ගහගෙන කාමරෙන් එළියට යන ගමන් තදින් කන මිරිකුව.

මළ ගෙදර දවස් හරි ඉක්මනට ගෙවුණ. මිනිය තියෙනකම් බෝ පෙත්ත මිනී පෙට්ටිය ගාව බිම වැතිරිල උන්න. වරින්වර එහෙ මෙහ යන ට්‍රේවලින් ඔරේන්ජ් බාර්ලි බිව්ව. අන්තිමට ඔරේන්ජ් බාර්ලි අල්ලපු මනුස්සය ඒ පැත්තට ආවෙත් නෑ.
බෝපෙත්ත සීතලට පොළොවෙ දිගාවෙලා උන්න. කන්න දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. කාටවත් බෝපෙත්ත ගැන බලන්න වෙලාවක් තිබ්බෙත් නෑ. එක පාරට සෙනඟ වැඩිවෙලා බෝ පෙත්ත පෑගෙන්න ගත්ත. බෝපෙත්ත “අන්නේ …අන්නේ …” කිය කිය අම්මව හොයමින් සෙනග අතරෙ එහෙ මෙහෙ ගියා. ටිකකින් සෙනඟ අඩුවුණා. අම්ම නිදන් උන්නු පෙට්ටියත් නෑ.

හරි ඉක්මනට කාලෙ ගෙවුණ. කවන්න කෙනෙක් නැතුව බෝපෙත්ත හාමත් වෙන්න ගත්ත. පස්සෙ තනියෙම බත් කන්න ඉගෙනගත්ත. බිම වාඩිවෙලා කකුල් දෙක මැද්දෙ ප්ලාස්ටික් පිඟානක දාල තිබ්බ සුදු බතුයි – පරිප්පු ටිකකුයි ඇටෙන් ඇටේ අහුලලා කටේ දාගෙන එක පාර ගිලින්න පුරුදු වෙන්න වුණා.
ප්‍රමාණෙට වඩා ඇරෙන කට නිසා බත් හැමතැනම හැලෙන්න ගත්ත. ඒ වගේ වෙලාවට ලොකු අක්ක – අත්තම්ම – මේ කවුරු වුණත් ළඟින් යන ගමන් තරු විසික් වෙන තාලෙට ඇලේට පයින් ඇනගෙන ගියා. කැරළි කෙස් අස්සෙන් ඔලුව ගෙඩි ගැහුණ. ටොකු ඇනලම ලොක්කිගෙ ඇඟිලිවල කරගැට ආව.

දවසක් ගෙදර පඩියක් හදන්න ආපු මේසන් බාස් උන්නැහෙ බෝපෙත්තව ඉල්ලගත්ත. ගෙදර අයත් බෝපෙත්ත මේසන් බාස් උන්නැහෙගෙ අත් උදව්වට දුන්න. ඇත්තටම කිව්වොත් බෝපෙත්ත මේසන් බාස් උන්නැහෙගෙ පස්සෙන් වැටුණ. දෙන අත් උදව්වක් නැති වුණත් බාස් උන්නැහෙ වැඩ කරන්න ගිය තැන්වලින් බෝපෙත්තට කන්න බතුයි – කරුණාවයි ලැබුණ.
“ඕකව මම අඬගහගන්නෙ වැඩට නෙමේ .. එදා මං එහෙ ගිය වෙලාවෙ බලාගෙන ඔයි කොල්ල බත් උලකට විඳින දුක.. මගෙත් එක්ක ආවොත් අඩුම ගානෙ වේලක්වත් බඩ පිරෙයි… ” බාස් උන්නැහෙ වාත අමාරුවෙන් දුක් විඳින මිසිලින් නෝනා එක්ක කියල තිබ්බ.
බත් කන වෙලාවට පයින් ඇනගෙන යන්න කෙනෙක් නැති එකම මදැයි.

සිංහල අවුරුද්ද ආව. හැමෝම නැකතට කැවුම්ගෙඩියි කිරිබතුයි කද්දි බෝපෙත්තව ගෙදරින් එළියට දාල දොර වහල ගෙදර අය අවුරුදු කෑම මේසෙ ඉඳුල් කළා. ටොමිය කන්පට ගැහුව. රතිඥ්ඥ පුපුරද්දි බයට බෝපෙත්තට චූ ගියා. ටිකකින් පොඩි අක්ක ඇවිත් ප්ලාස්ටික් පිඟානකට කිරිබත් කෑල්ලකුයි, ලුණු මිරිස් තලියකුයි, කොකිසකුයි දීල ගියා, ටොමියත් එක්ක බෙදාගෙන කන්න.

ඔහොම ඔහොම දවස් ගත වුණා. පෝය දවසක මහ ගාලගෝට්ටියක් ඇහෙන්න ගත්ත. “අන්නේ …අන්නේ …” කියල බෝපෙත්ත අඬනව ඇහුණ.
“හැමදාම කියනව පැදුර තෙමන්න එපා කියල… ” පැදුරක් වැටට උඩින් විසිවෙලා ඇවිත් පාරට වැටුණ. පොඩ්ඩි ඇවිල්ල පැදුර උස්සල ආයෙත් වත්තටම දැම්ම. ටිකකින් මහ ගින්නක්. පැදුරක් ගිනි අවිලුණා. කොට්ටෙකුත් පියාඹල ඇවිත් ඒ ගොඩටම වැටුණ.
“ඕකව උස්සල දාපියව් මේ ගින්නටම.. ” තාත්තගෙ කටහඬ.
නිල් වෙන්න ගුටි කාල, තොල පුපුරලා ලේ ගලමින් හිටි බෝපෙත්ත අඬ අඬම පාර දිගේ උඩහට දිව්ව. කබර සයිමන්ගෙ කඩේ අගුවෙ වාඩිවෙලා ඉකි ගගහ හිටිය මිසක් දවසටම මුකුත් කෑවෙත් නෑ. අන්තිමට එතනම නින්ද ගිහින්.

සිල්ගන්න ගිහින් හිටපු මිසිලින් නෝන හවස් වෙලා ගෙදර ආව. බෝපෙත්තලයි ගෙදර ගාලගෝට්ටිය එයා දැනගත්තෙ රෑ නිදි පැදුරෙදි. කකුලෙ අමාරුවත් නොතක මිසිලින් නෝන හැදුවෙ රෑම එහෙ යන්නයි. ඒත් දූ අම්මව නවත්තගත්ත. ගමේ අය බෝපෙත්ත ගුටි කද්දි බේරගන්න එනවට බෝපෙත්තගෙ තාත්ත කැමති නෑ. ඒ වෙලාවට එයා බෝපෙත්තගෙ අම්මව මතක් කරල බනින්නෙ ගමේම මිනිස්සුන්ව පාවල දීල. බෝපෙත්ත බේරගන්න එන නිසාම මිසිලින් නෝනා එක්ක බෝපෙත්තගෙ තාත්ත හොඳටම තරහයි. ඒ නිසා මේ රෑ එහෙ යන්න එපා එපාමයි කියල මිසිලින් නෝනගෙ දූ අම්මට කිව්වා. ඒ නිසා එළිවෙනකම් ඉන්න මිසිලින් නෝනත් හිතුව.

එළිවෙද්දි බෝපෙත්ත නෑ. කලින් දවසෙ ගුටි කෑවට පස්සෙ කොහෙ ගියාද කවුරුත් දන්නෙ නෑ. “කොහෙ හරි ඉඳල එයි.. අනේ ඒත් ඌ බඩගින්නෙ ඇත්තෙ.. ” පපුවෙ ලා දැවිල්ලක් එක්ක මිසිලින් නෝන ආපහු ගෙදර ආව.
ඒත් එදාත්, ඊට පස්සෙ දවසෙත්, ඊළග සුමානෙත්, ඊළඟ අවුරුද්දෙත් – අවුරුදු ගාණකිනුත් බෝපෙත්ත ගෙදර ආවෙ නෑ.
—————————–

දෙහිවල කනත්තෙ අදාහනාගාරෙ මිනියක් පිච්චෙනව. ඒ කුසුමාවතීගෙ මස්සිනා. සුදු ඇඳගත් සෙනඟ අතරෙ ආදාහනාගාරෙ බිත්තියට හේත්තුවෙලා ඉන්න කොණ්ඩේ පොකුටු වෙච්ච තරුණ පහේ පිරිමි කෙනෙක්, පරණ, ඒත් පිරිසිදු කොට කලිසමකුයි, මිකී මවුස් ඉන්න ටී කමිසෙකුයි ඇඳගෙන ජෑම් බනිසක් වික වික ඉන්නව. නළ දත් පෙන්න පෙන්න හිනාවෙනකොටයි ඒ බෝපෙත්ත කියල කුසුමාවතී අඳුනගත්තෙ. කුසුමාවතී ළඟට ගිහින් කතා කළා. බෝපෙත්ත බයෙන් වගේ බිත්තියට ඇකිලුණා.

” කොහෙන් ඇවිත් වැටුණද දෙයියො තමා දන්නෙ.. කාලයක් බොරලැස්ගමුවේ හිඟා කාපු එකෙක්ලු.. මං ඉතින් කන්න ටිකකුයි අඳින්න ටිකකුයි ගෙනත් දෙනව. කෙස් වැවුණම කපනව. අනේ දරුවෙක්නෙ.. අපේ ගෑණිත් කැමතියි ගෙදර ගෙනිහිල්ල තියාගන්න.. ම්හු.. බෑ.. ගෙවල්වල ඉඳල පුරුදු නෑ.. මෙතනම තමා.. ” ආදාහනාගාරෙ බලාගන්න මනුස්සය කියනව. එයා අඟුලානෙ කෙනෙක්.

“ඔහොම අය ඉන්න හෝම් තියෙනව. ගමේ එකෙක්නෙ.. ඒ හින්ද අතාරින්න බෑනෙ .. ” කුසුමාවතීගෙ විස්තරේ අහපු සිරි මහත්තය කියනව. මේ වෙද්දි බෝපෙත්තගෙ ගෙදර අය ගමෙත් නෑ. අන්තිමට සිරි මහත්තය ගමේ දෙන්නෙක් එක්ක දෙහිවල කිට්ටුව නිවාසෙකට බලෙන්ම අල්ලන් ගිහින් බෝපෙත්තව දානව. බෝපෙත්ත ආදාහනාගාරෙ බලාගන්න මනුස්සයගෙ කලිසමේ එල්ලිල අඬනව. “මයෙ පුතා යන්න දෙයියො.. මං මයෙ පුතාව බලල යන් එනවනෙ…ලොසින්ජර අරන් එන්නම් අම්මා.. යන්න දැන්.. ” ආදාහනාගාරෙ බලාගන්න මනුස්සය කඳුළු පුරෝගෙන බෝපෙත්ගෙ ඔලුව අතගානව.
“අනේ මහත්තයො..ඒ වගේ තැනක හිටියොත් පින්නෙ හිරිකඩේ දුක් විඳින්නෙ නැතුව නිදාගන්න තැනක්වත් ලැබෙයි..” ඒ මනුස්සය සිරි මහත්තයට කියනවා.

ඊළඟට ආවෙ වෙසක් දවස්. හෝම් එකේ අයටත් සිල්. වෙසක් ඉවරවෙලා ගිහින් බෝපෙත්තව බලල එන්න ඕන කියල ආදාහනාගාරෙ බලාගන්න මනුස්සය හිතනව. ඒත් ආයෙම වතාවක් එයා බෝපෙත්තට ලොසින්ජර අරන් එන්න කලින් බෝපෙත්තව එයාගෙ අම්ම ඇවිත් එක්කගෙන ගිහින්. යන්නම ගිහින්.

සමහරවිට උප්පැන්නයක් තියෙන්න ඇති, ඒත් හරියටම දන්නෙ නැති බෝපෙත්තට මරණ සහතිකයක් ලැබෙනව. ජීවත් වුණාද කියල ෂුවර් නැති වුණාට මළා කියල ෂුවර් කියන්න වගේ ආපු ඒ සහතිකේ මරණයට හේතුව “හර්ද්‍යාබාධයක් ” කියල ලියවල තියෙනවා. කවුරුත් නොදන්නව වගේ හිටියට බෝපෙත්තට හදවතකුත් තිබිල තියෙනව.
අවුරුදු තුනක්ම බෝපෙත්තට හෙවන වුණු දෙහිවල කනත්තෙම කෙළවරක බෝපෙත්තට වලක් කැපෙනව. කවුරුත් නොහඳුනන කෙළවරක බෝපෙත්තගෙ කතාව ඉවර වෙනව.

නත්තල් හීතල එනව. ජනේරුව එනව. අවුරුදු ඊළඟට. රතිඥ්ඥ පුපුරනව. වෙසක් මාසේ මල් පිපෙනව. බන ඇහෙනව. දන්සල් පෝලිම් හැදෙනව. පොසොන් පහුකරන් ඇසළත් ඊළඟට ආයේ නත්තලුත් එනව. දෙහිවල කනත්තෙ කෙළවරක නමක් නැති සොහොනක් උඩ මල් පිපෙනව.

අපි කාටත් ජීවිතේ කොහේදී හරි බෝපෙත්තෙක් හමුවෙනව. කන්න ටිකක්, ඉන්න තැනක්, ආදරේ ටිකක් විතරක් ඇරෙන්න වෙන මොනවත්ම ඕන නැති බෝපෙත්තෙක්. සදාකාලික ළමා කාලයක තනි වෙච්ච බෝපෙත්තෙක්. කවදාවත් ළමා කාලයක් නොලැබුණු, කයින් විතරක් වැඩුණු බෝපෙත්තෙක්. ඔබට – මට වගේ ලොකු හීන මොකවත්ම නැති, ආදරේ විතරක්ම ඉල්ලන අහිංසකයෙක්.
ඔබත් මමත් දවස ගානෙ ආදරේ නාස්ති කරද්දි, ඒ අය ආදරේ නැතිවම මැරිල යනවා.

—————————————————————————
* සත්‍ය සිදුවීමකි. බෝපෙත්තා මියයනවිට ඔහුගේ ශාරීරික වයස අවුරුදු විසි හතකි. මානසික වයස අවුරුදු පහකි.

International Day of the Disappeared 2018

40448935_10204710069947218_6727813046502162432_n (1)
International Day of the Disappeared 2018

ඔබ යළි (නො) එන බව (නො) දනිමි
————————————————-

ඔබ යළි (නො) එන බව (නො) දනිමි,
මළ සිරුරු නැති වුනට,
මතක බණ හිමි නැති.

ඔබ නමින් උපත ලද,
රාහුලයෝ නිදති-
(එහෙත් උන් අවදියෙනි,
අවදි සිහින දකිමිනි.)

මා නිදි නැති;
මසැස සහ මනසද,
නො පියවෙති.

මතක පද අමුණමි.
ඔබ කොහේ හෝ නිදනු ඇත සිතමි.

තෘණ පතක් යට,
පස් පිඩල්ලක් තුරුලක,
සිඳු රළ අතර හෝ,
කොරල් යහනක් මත-
ඔබ නිදනු ඇත සිතමි.

ලියන මේසය මත,
යැවීමට ලිපිනයක් නො මැති හෙයින්,
ලිවීමට ගොස් අතරමග නතරකළ
කිසිදා නො ලියවෙන ලියුමකි.
අවසාන අත්සනට පසු,
මේසය මත ඔබ අමතක කර ගිය,
නිහඬ කළ,
තීන්ත ගල් වූ පාකර් පෑනකි.

මාවත අයිනක තිබී,
පසුව හමුවිය,
ගෙවී ගිය පාවහනක්,
ඒ අවසාන උදෑසන,
ඔබ විසින් පැළඳ සිටි.

ඔබ යළි (නො) එන බව (නො) දනිමි,
මළ සිරුරක් නැති හෙයින්,
මතක බණ ඔබට හිමි නැති-
ඔබ ගලවාගෙන ගිය තැන-
හිස් කළු කුහරයකි,
කළු ම කළු හෙවනැල්ලකි.

ඔබ යළි (නො) එන බව (නො) දනිමි.

මළ සිරුරු නැති වුනට,
මතක බණ හිමි නැති.

අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. මියයාම යනු අවසානයකි. ඉවර වීමකි. එහෙත් අතුරුදන් වීම් එසේ නොවේ. සිදුවන්නේ කුමක්ද සහ සිදුවූයේ කුමක්ද යන්න නොදැන, ඒ සඳහා කිසිවක්ම කරගත නොහැකි තත්ත්වයක ජීවත්වීමට සිදුවීම මරණයක නිශ්චිත අවසානයකට වඩා අතිශ්‍ය අසීරුය.
අතුරුදන්වූවන් සමඟම අතුරුදන් වූ බොහෝ දේ විසින් ඉතිරිකළ හිස්තැන් සමඟ ජීවත් වීමට ඉතිරි වී සිටින්නන්ට සිදුවේ.
The drawing is inspired by Melancholy by Albert György & is on display in Geneva, Switzerland.

තාත්තේ..

38641811_719435848448570_1082545042372952064_n
පාන බෝධිය බෝධිසත්කම
පේන දුර සිටි තාත්තේ,
හෝඩි අකුරෙන් මල් කපන්නට
බෝර පිපිරවු තාත්තේ. .

වහම කවියක අකුරු ගලපා
සෙත් පිරිත් කිව් තාත්තේ,
රහම දේවල් ඉතුරු කරලා
ලුණු කඳුළු බිව් තාත්තේ. .

බෙලෙක් තේකෙං නහර පොඟවා
වළං රත් කළ තාත්තේ,
බෝර සද්දෙන් මාර යුද්ධය
පරද්දා ආ තාත්තේ.

කාස පපුවක් කාසි කරලා
හිනා ගෙන ආ තාත්තේ,
මාතොටින් බස්සෙහෙක නැගලා
වැලිසරට ආ තාත්තේ.

මහා මේරුව කැබලි කර කර
දූවිල්ල ඉඹි තාත්තේ,
මාස කාසිය කාස වීලා
හුස්ම හංගපු තාත්තේ.

සැත් පිහියකට පපුව දීගෙන
නිදාගෙන හිටි තාත්තේ,
මරණෙ හේතුව හොයපු පිහි තල,
කිව්වෙ මොනවද තාත්තේ

ඉපල් පපුවක සෙනේ කඳුරක්
දරාගෙන සිටි තාත්තේ,
එවන් පපුවක විදිය කොහොමෙයි
පලල බැලුවද තාත්තේ?

නොයුතුයි සිතෙන – සියල්ල සිදුවෙන

35549922_10204456575930026_3436277203225018368_n
.
සමහරක් හීන ඇත –
දකින්නත් පෙර,
අමතකම වී යන .
අහු කොන් ඉතිරි වී,
වරින්වර මතුවෙන

රුදු නිය පහරය –
කිසිදා සුව නොවෙන
සුව වීමටද ඉඩ නොදීමෙන්,
රිදී රිදී සුවපත් වෙන

ඉතා කෙටි ගමන්වල,
අතරමඟ හමුවන –
සමහරක් කවි ඇත,
නොලිය යුතු වූවද ලියවෙන

නොයුතුයි සිතෙන
සියල්ල සිදුවෙන –
යුතු කිසිවක් ම සිදු නොවෙන,
වියහැක විය යුතු
හොඳම දෙය.

ප්‍රේමය කියන්නේ….

34066384_10204391161134697_9149254211429466112_o

ප්‍රේමය කියන්නේ,
පසුම්බි පතුලක
සඟවා තැබූ
කෙස් ගසකට –
දෙකකට
.
හාද්දක් දෙනවිට
කමිස බොත්තමක දැවටී,
ලෙහී ගිය,
ඔබ ඉතා නොසැලකිල්ලෙන් අමතකව,
අසුන මත දමා ගිය – .

පසුම්බි පතුලක
සඟවා තබන ලද,
විටින් විට එළියට ඇද බැලෙන – .

ඇතැම් විට ප්‍රේමය කියන්නේ,
ඔබ අමතකව දමා ගිය
කෙස් ගසක් දෙකක් සිඹින එක;
ශුන්‍යයක අල්පයක
රැඳෙන එක.