ඔබ නමින් උපත ලද,
රාහුලයෝ නිදති-
(එහෙත් උන් අවදියෙනි,
අවදි සිහින දකිමිනි.)
මා නිදි නැති;
මසැස සහ මනසද,
නො පියවෙති.
මතක පද අමුණමි.
ඔබ කොහේ හෝ නිදනු ඇත සිතමි.
තෘණ පතක් යට,
පස් පිඩල්ලක් තුරුලක,
සිඳු රළ අතර හෝ,
කොරල් යහනක් මත-
ඔබ නිදනු ඇත සිතමි.
ලියන මේසය මත,
යැවීමට ලිපිනයක් නො මැති හෙයින්,
ලිවීමට ගොස් අතරමග නතරකළ
කිසිදා නො ලියවෙන ලියුමකි.
අවසාන අත්සනට පසු,
මේසය මත ඔබ අමතක කර ගිය,
නිහඬ කළ,
තීන්ත ගල් වූ පාකර් පෑනකි.
මාවත අයිනක තිබී,
පසුව හමුවිය,
ගෙවී ගිය පාවහනක්,
ඒ අවසාන උදෑසන,
ඔබ විසින් පැළඳ සිටි.
ඔබ යළි (නො) එන බව (නො) දනිමි,
මළ සිරුරක් නැති හෙයින්,
මතක බණ ඔබට හිමි නැති-
ඔබ ගලවාගෙන ගිය තැන-
හිස් කළු කුහරයකි,
කළු ම කළු හෙවනැල්ලකි.
ඔබ යළි (නො) එන බව (නො) දනිමි.
මළ සිරුරු නැති වුනට,
මතක බණ හිමි නැති.
අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. මියයාම යනු අවසානයකි. ඉවර වීමකි. එහෙත් අතුරුදන් වීම් එසේ නොවේ. සිදුවන්නේ කුමක්ද සහ සිදුවූයේ කුමක්ද යන්න නොදැන, ඒ සඳහා කිසිවක්ම කරගත නොහැකි තත්ත්වයක ජීවත්වීමට සිදුවීම මරණයක නිශ්චිත අවසානයකට වඩා අතිශ්‍ය අසීරුය.
අතුරුදන්වූවන් සමඟම අතුරුදන් වූ බොහෝ දේ විසින් ඉතිරිකළ හිස්තැන් සමඟ ජීවත් වීමට ඉතිරි වී සිටින්නන්ට සිදුවේ.
The drawing is inspired by Melancholy by Albert György & is on display in Geneva, Switzerland.