Tag Archives: shortstories

බිත්ති කඩදාසිය

Creepy-Drawings

(Image – internet)

Day 01 – දහවල

“And this is my favorite room…” ශානිකා දෑතින්, දෙ ජනෙල් පියන් විවර කරමින් කීවා ය. මෙතෙක් වේලා අන්ධකාරයෙන් පිරී තිබුණු කාමරය දිවා හිරු රැසින් ඒකාලෝක විය. ජනේලයෙන් එපිට, සඳලුතලයකි. ඉන් ඔබ්බේ ඈතින් ඈතට විහිදෙන, මිහිදුමෙන් ගැවසි අන්ධකාර කඳු මුදුන් ය.

“මෙතන තමා මම හොටෙල් එකේ උඩ තට්ටුවේ ලිවින් ස්පේස් එක දාන්න හිතන් ඉන්නේ…මට සර්බියාවේ කැලෑවකට ගිය ට්‍රිප් එකක් මතක් වෙනවා මේ සීනරි එක දකිනකොට” ඈ කීවේ ඇය පිටුපසින් කාමරයට පැමිණි බ්‍රෝකර් ලලිත්ට ය.
ඔහු දින කිහිපයක් මෙහි නැවතී ඇයට මේ කටයුතු එකලාසයක් කිරීමට උදව් කිරීමට නියමිත ය.

මේ සුවිශාල කාමරයත්, නිවසේ අනෙක් සෑම කාමරයක්ම වාගේ – ඇතැම් විට ඊටත් වඩා කාලය විසින් ජරාජීර්ණ කර තිබුණි. පරණ ඇඳකුත්, ඒ මත දමා තිබූ දෙකට නැමූ ගුදිරියකුත් හැරෙන්නට කාමරය ගෘහ භාණ්ඩවලින් සිස් ය. බිත්තිවල කොන්වල දියසෙවල බැඳිලා ය. කිසිදු අලංකාරයක් නොවූ අලංකරණ කඩදාසියකින්වත් සරසා තිබුණේ කබල් ඇඳ සමීපයේ වූ බිත්තිය පමණි.

” මේ ඇඳ අයින් වෙනවා, අර දොරත් ගලවන්න ඕන, එතකොට…මේ වෝල් පේපර් එක.. ” ශානිකා බිත්තිය සමීපයට ගියා ය. අලංකරණ කඩදාසියේ එක් තැනක් ඇස් මට්ටමෙන් ඉරි එල්ලෙමින් තිබුණි. ඊට යටින් වූ බිත්තියෙහි යමක් කුරුටු ගා ඇත. ඈ ඇඟිලි තුඩින් අල්ලා කඩදාසිය තවත් පහළට ඉරුවා ය.  “මුත්තු 12-05-94” එහි ලියා තිබුණි.

“this wallpaper must go too!”

——————————————————————————————————————————-

Day 02 – දහවල

ශානිකා පිහි තලයකින් කාමරයේ බිම අල්ලි වශයෙන් වැටී තිබූ පැල්ලම් සූරමින් සිටින්නී ය.  කිළිටි මෙට්ටය එළියට ඔසවාගෙන ගිය ලලිත් කාමරයේ ඇඳ කොටස් කරමින් සිටියේ ය.

“ඇඳ එක පාරම හෝදලා දාන්න ලලිත්… මට මගෙ මෙට්‍රස් එක දාන් ඕකෙම නිදියන්න පුළුවන්..බිම නිදියනකොට කොන්ද රිදෙනවා මාර විදිහට…”

ලලිත් ඇඳේ කොටස් කිහිපයක් කරට ගත්තේ ය. ඒ ඇඳ සිතුවාට වඩා බර ය. ඔහු කොටස් කිහිපයක් යළි බිම තබා ඇඳේ රාමුව කරට ගත්තේ ය. ඔහු  කාමරයෙන් පිටවත්ම “ටකස්” හඬින් යමක් බිම වැටෙනු ඇසිණි.

ශානිකා උන් තැනින් නැගිට එය අහුලා ගත්තා ය.

ඒ පිහි තලයකි. මළ බැඳුණු එහි කළු, ඝන පැල්ලම් කිහිපයක් විය. ඈ එය ඒ මේ අත හරවා බැලුවා ය. තලය තවමත් උල් ය.

” ඕක කොහෙද තිබුණේ..?”

යළිත් කාමරයට ආ ලලිත් ඇසුවේ ය.

“ලලිත් ඇඳ අරගෙන යනකොට වැටුණා.. ”

“මේක ඉස්සර හරක් බිස්නස් එකට පාවිච්චි කළ එකක්ද දන්නේ නෑ මිස්…” ලලිත් කීවේ ඇඳේ ඉතිරි කොටස් ඔසවමිනි.

තිගැස්සුණු ශානිකා අතින් පිහි තලය අතහැරිනි.

“මිස් බය වුණාද? මම නිකමට කිව්වේ. ඕක ඒවට ගන්න නැතුව ඇති මිස්.. අනික මස් බිස්නස් එක නැවතුනේ නිහාල් මහත්තයට පිස්සු හැදෙන්නත් කළින්..”

“ඇත්තටම නිහාල් ප්‍රනාන්දුට මොකද වුණේ?” ශානිකා ඇසුවා ය. ලලිත් ඇඳේ කොටස් යළිත් බිම තැබුවේ ය.

“මිනිහගෙ දෙවෙනි නෝනා වත්තේ වැඩ කරන එකෙක්ගෙ පුතෙක් එක්ක පැනල ගියා. ඌ ඔය විශ්ව විද්‍යාලේ එහෙම ගිය එකෙක්. මාලනී නෝනා නිහාල් මහත්තයට වඩා සෑහෙන බාලයි. මිනිහ නෝනව සැක කරන්න ගත්ත හරියට. කොයි වෙලාවෙත් හම ගහන්න ඕනය කියල වේවලකුත් අරගෙන මාලනී නෝනට ගගහ වත්ත වටේ පන්නනව. කොහොම හරි මාලනී නෝනා ගියා. ඕකෙන් කාලෙකට පස්සේ මිනිහට පිස්සු හැදුණා.
වත්තේ වැට පනින මිනිස්සුන්වත් “හම ගහන්න” ඕන කිය කිය පන්නන්න ගත්ත.
ඒ වෙද්දි ළමයි හිටියේ එංගලන්තේ. මිනිහට පිස්සු කියල දැනගත්තම මිනිහව එහෙ ගෙනිච්ච ලොකු පුතා. එහෙදි නිහාල් ප්‍රනාන්දු මළාට පස්සේ තමා ගේ විකුණලා දෙන්නයි කියල මට කිව්වේ.. ඉතින් නෝනා ගේ ගත්ත හෝටලේ හදන්න..

මස් බිස්නස් එක නැවතුනේ මාලනී නෝනත් ඉන්න කාලෙමයි. හපෝ දැන් කොයි කාලයක්ද?”

——————————————————————————————————————————-

Day 03 – දහවල 

නිවසට තරමක් ඈතින් වසා දැමූ තනි තට්ටුවේ ගොඩනැගිල්ලකි. ඒ පිටුපස ප්‍රපාතයකි. ශානිකාත් ලලිතුත් මේ සිටින්නේ ඒ ගොඩනැගිල්ල පිරික්සමිනි. කලකට පෙර මේ ගොඩනැගිල්ල ප්‍රනාන්දු පවුලේ මස් ව්‍යාපාරය පිණිස ගවයන් ඝාතනය කෙරුණු, මස් සකස් කෙරුණු ස්ථානයයි. දැන් එහි ජල ටැංකි සිස් ය. යන්ත්‍ර සූත්‍ර මළ බැඳිලා ය.

ශානිකා මේ සියල්ල නරඹමින් ගොඩනැගිල්ලේ අවසන් කෙලවර දක්වාම ඇවිද ගියා ය. පසුපස දොර අසළ විශාල බැරල් කිහිපයකි.

“මේ මොනවද ලලිත්?”

“මොනවහරි ඒ කාලේ මස් පදම් කරන්න ගත්තු කෙමිකල් එකක් වෙන්න ඇති මිස්. දැන් නරක් වෙලත් ඇති..”

ශානිකාත් ලලිතුත් ඉතා අසීරුවෙන් ඒ එක් බැරලයක් තල්ලු කරගෙන එළියට රැගෙන ගියෝ ය. ලලිත් යකඩ ඉන්නකින් එය විවෘත කළේ ය. ඒ හාම ඔවුන් දෙදෙනා දෙපසට දිව ගියේ දරාගත නො හැකි දුර්ඝන්ධය හේතුවෙනි.

“අම්මෝ.. පරණ මස්”

ඔවුන් විවෘත කළ බැරලය ද, අනෙක් විවෘත නොකළ බැරල් ද ප්‍රපාතය දෙසට පෙරළා දැමූහ.

ඒවා බෑවුම දිගේ රෝල් වෙමින් ගොස් නොපෙනී යනු ඔවුන් බලා සිටියහ.

——————————————————————————————————————————-

Day 04 – රාත්‍රිය

ශානිකා සිය ලැප්ටොප් පරිගණක බිම තැබුවා ය. ඇය දැන් නිදන්නේ ලලිත් විසින් සෝදා පිරිසිදු කළ ඇඳට අලුත්  මෙට්ටයක් එලාගෙන ය. බිම තබා ඇති විදුලි පහනෙන් එතරම් ප්‍රබල නැති ලා කහ පැහැති ආලෝකයක් විසිරේ.

ඈ සිය ජංගම දුරකතනය ගෙන පෙම්වතාට පණිවුඩයක් යැවුවා ය.

“When are you coming? ”

“In another few days babe…”

“When?”

“Mmm.. Next Sunday?”

ශානිකා ජංගම දුරකථනය ඇඳේ පසෙකින් තබා බිත්තිය දෙසට හැරුණා ය. පළින් පළ පොතු ගැළවුණු බිත්ති කඩදාසිය කොනහන්න වූවා ය.  කලකිරීම සුසුමක් ලෙස පිටවිය. රංගනව දැකීමට තව දින දහයක්! තව දින දහයක්ම තනියෙම!!

ඈ බිත්ති කඩදාසියේ පදාසයක් නිය තුඩින් ඉරුවා ය.  කුරුටු ගෑ තවත් නමක් එහි මතු විය.

“රේඛා 12-08-94″  ඊට තරමක් පහළින් , ” ජයන්ත බල්ලා  11 -02 – 94″

ශානිකා ඇඳේ කෙලින් වී හිඳගත්තා ය. පදාස වශයෙන් බිත්ති කඩදාසිය ගලවන්නට වූවා ය. තවත් නම් සහ දින මතු විය. ඈ ඇඳ මත හිටගෙන තවදුරටත් බිත්ති කඩදාසිය ඉරමින් ගලවන්නට වූවා ය. විනාඩි කිහිපයකට පසු බිත්තිය සම්පූර්ණයෙන් නිරාවරණය වූයේ තවත් නම් සහ දින රාශියක් එහි කුරුටු ගා ඇති බව පෙන්වමිනි.

ඈ කල්පනාකාරී වූවා ය. ඉන්පසු සිය laptop පරිගණකය ගෙන මේ නම් එකිනෙක සෙවුම් යන්ත්‍රයේ සටහන් කරමින් සොයන්නට වූවා ය. වරින් වර බිත්තිය දෙස බලමින් ඈ එහි ලියා ඇති නම් සෙව්වා ය. බොහෝ නම් පිළිබඳව කිසිදු හෝඩුවාවක් එහි වූයේ නැත. එහෙත් නම් කිහිපයක් පිළිබඳව තොරතුරු එහි විය.

“වසර කිහිපයක් තිස්සේ නුවර එළිය දිස්ත්‍රික්කයේ සිදුවූ මේ අතුරුදන්වීම් පිළිබඳව…. වතුයායේ ජීවත් වූ 45 හැවිරිදි සෙල්වරාණි මාරිඅම්මන් නමැති තිදරු මවක්,..සුසිල් චන්ද්‍රපාල…  ”

” චන්ද්‍රන් මුත්තුට මොකද වුණේ? –  දොළොස් හැවිරිදි චන්ද්‍රන් මුත්තු අතුරුදන් වූයේ මෙයට වසර 12කට පෙර ය. පාසල් ගොස් නිවසට පැමිණීමෙන් පසුව සිය පවුලට අයත් ගවයෙකුට තණ කැවීමට ගිය ඔහු නැවත නො පැමිණි අතර අද දක්වාම….”

” ජයන්ත වික්‍රමාරච්චි උපාධිධරයෙකි…………පවසන්නේ ඔහු වතු හිමියෙකුගේ ලාබාල බිරිඳ සමඟ පළා ගිය බව ය. එහෙත් මව්පියෝ එය නො අදහති. ඔවුන් අදටත් සිය පුතු එතැයි බලා සිටින බව…”

බිත්තියේ නම් දහයක්.. පහළොවක්.. විස්සක්… එහෙත් අන්තර්ජාලයේ ඇත්තේ තොරතුරු කෙතරම් අල්පයක්ද?

ඊළඟට ශානිකාගේ ඇසට හසුවූයේ ඇඳේ ඉහ ඉද්දරටම වන්නට වූ නමකි.

““මාලනී (බැල්ලි) 08 -02 – 94””

මාලනී… මාලනී ප්‍රනාන්දු. නිහාල් දෙවනවර විවාහ වූ ඔහුට වඩා වයසින් බොහෝ ලාබාල ගැහැනිය මාලනී නොවේද? ඈ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු හෝ එවන්නෙකු සමඟ පළා ගිය බව ලලිත් කීවා නොවේද?

ශානිකා රැයේ ඉතිරිය ගතකළේ කාමරයේ එහා මෙහා ඇවිදිමිනි.

——————————————————————————————————————————-

Day 05  – උදෑසන

වේගයෙන් ආ පොලිස් ජීප් රියක් වලව් මිදුලේ නවත්වනු ලැබිණි. පෝටිකෝව යට සිටි ශානිකා පෙරටු කරගෙන පොලිස් පරීක්ෂක  පඩිපෙළ නගින්නට වූයේ ය. ඔහු පිටුපසින් තවත් නිලධරුවෙක්.

පඩිපෙළ මැදක් වන්නට එල්ලූ ඡායාරූපයේ සිටියේ ගැමි පෙනුමකින් යුතු රූමත්  ගැහැනියකි. ඒ මාලනී බව ශානිකාට කියා තිබුණේ ලලිත් විසිනි.  ඒ ඡායාරූපයේ ගෙල හරහා දුඹුරු ඉරක් ඇඳී තිබුණේ  ලේ බීමෙන් අනතුරුව ඡායාරූපයේ වසා සිටි මදුරුවෙකු කවුරුන් විසින් හෝ එහිම තලන්නට ඇති ළකුණු පෙන්වමිනි.

පොලිස් පරීක්ෂකවරයා කාමරයට ඇතුළු විය. දැන් ඇඳ මදක් කාමරය දෙසට ඇද තිබුණි. ඔහු මොහොතක් බිත්තිය පුරා කුරුටු ගා තිබූ නම් දෙස බලා සිටියේ ය.

” මේ මිනිස්සු ගැන කිසිම  හෝඩුවාවක් ලැබිල තිබුණේ නෑ මිස් ශානිකා..මේ ඔක්කොම අතුරුදන් වුණු අය”

බිත්තියේ ඈත කෙළවරේ පොලොව ආසන්නයේ තවත් කඩදාසි කොටසක් ඉතිරි වී තිබුණි. පොලිස් පරීක්ෂකවරයා එතැන බිමට නැමී කඩදාසිය අතින් අල්ලා පරීක්ෂා කරන්නට වූයේ ය. ඇඟිලි තුඩින් කඩදාසිය කෙනහුවේ ය.

ඒ හාම ඔහු වේගයෙන් සිය අත පිටුපසට ඇදගත්තේ ය.  ඔහු ආපසු හැරී ශානිකා දෙස බලන විට ඔහුගේ මුහුණේ වූයේ සුදුමැලි රෝගී පෙනුමකි.

“කෝ මේ wallpaper එකේ ඉතුරු ටික?”

” ඒක අපි එළියට දැම්මා. පහළ ගරාජ් එකේ තියෙනවා. ඇයි ඉන්ස්පෙක්ටර්? ”

“This is human skin! මේ තියෙන්නේ මිනිස් හම්! “

විද්‍යා ව්‍යාපෘතිය

Planets-jar.jpg

” මං ආස නෑ බූ .. ඔයා ඔය ඔක්කොම ග්‍රහලෝක එක සයිස් එකකට හදන්න ඕන.. නැත්නම් සයිස් දෙකකින් හදල මාරුවෙන් මාරුවට ලොකු  එකයි – පොඩි එකයි ගානේ තියන්න ඕන.. ” ටීනු කිව්වා. එයා ඒ වෙලාවේ හිටියේ, එයාගේ කකුලේ හයවෙනි ඇඟිල්ලේ නියපොත්ත පාට කරමින්.

” නැත්නම් කිසි පිළිවෙලක් නෑ වගේ..”

ඒ වෙද්දි මම ක්ලේ බෝල අටක් ජග්ගුවේ රඳවලා ඉවරයි. නමවෙනි ක්ලේ බෝලේ තව ටිකක් රවුම් කරමින් මම ක්ලේ පෙට්ටිය ඇරල බැලුව. ක්ලේ ඉවරයි. නම වෙනි එක සම්පුර්ණ ග්‍රහලෝකයක් කරන්න ක්ලේ මදි.

“දැන් ඕව කර කර ඉන්න වෙලාවක් නෑ.. ” මම කිව්වා. “මේක හෙට වෙන්න කලින් ඉවර කරන්න ඕන.. ”

“ඒත් ඒක නිසා මහ අපිළිවෙල ගතියක් ඇවිල්ල තියෙනව. ඒක හරි අප්‍රසන්න අපිළිවෙලක්..  අනික ඔය ඉර – ඒකෙ සැර ගතිය ගන්න ඔයා ගාල තියෙන මොකක්ද එක විනාකිරි ගඳයි.. ”

එයා නිය ආලේපන බෝතලේ වහල පැත්තකින් තිබ්බ. ඊට පස්සේ මේසේ ළඟට ඇවිල්ල මේසෙට නිකට තියාගත්ත.

“ඔයාට ඇහුණද..? ඔය ඉර, ඒක විනාකිරි ගඳයි .. “
එයා ඔය හැමදේම කියන්නේ, එයාට ඔය හැම දෙයක් ගැනම මොනවහරි දෙයක් කියන්න ඕන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි කියල දන්න නිසා මම සද්ද නැතුව නම වෙනි ක්ලේ බෝලේ තව ටිකක් රවුම් කළා.
“ඇයි ඒක අනික්වට වඩා කැත ..? ” එයා ඇහුවෙ මගෙ අතේ තියෙන ක්ලේ ගුලිය දිහා බලාගෙන.
“ක්ලේ ඉවරයි..” මම කිව්ව.

“එහෙනම් ඒක අයින් කරන්න.. ඒක කැතම කැතයි.. මහ මන්ද බුද්ධික පාටයි..”

මම සද්ද නැතුව ක්ලේ ගුලිය ජග්ගුවෙ රැඳෙව්ව. ඒකෙ ඇත්තටම පොඩි මන්දබුද්ධික පාටක් නම් තිබ්බ තමයි. ඒත් මම ඒ වගේ දේවල් ඒ තරම් සැලකිල්ලට ගන්න කෙනෙක් නෙමෙයි.

ඒත් ටීනු මට වඩා වෙනස්. එයාට ඕන හැමදේම පිළිවෙලට, ලස්සනට තියෙන්නයි. හැමදේම පිළිවෙලට, ලස්සනට තියන විදිහ ගැන නිතරම උපදෙස් දෙන්නයි.

 

බූ… ” එයා මැසිවිලි කියන්න ගත්ත. ” ඔයා නිකමටවත් මගෙ අදහස් සැලකිල්ලට ගන්නේ නෑ..”
මට ඇත්තටම දුක හිතුණා. “මේ මෙහෙ එන්න… ”
මම එයාව ළඟට ගත්තා.
” මං හිතන් ඉන්නේ මේ ඔක්කොම ලෝකවලට සත්තු දාන්න.. ඉස්සෙල්ලම වැඩ ඉවර කරන්න ඕන කොයි එකද කියල ඔයා තෝරන්න…”

එයා ඇස් වහගෙන කල්පනා කරන්න පටන් ගත්ත. පොඩි දුඹුරු තිත් වැටිච්ච කම්බුල්, උඩට හැරුණු බොත්තමක් වාගේ නහය, උල් නිකට මේ ඔක්කොමත් එක පාරට කල්පනාවට වැටුණ වගේ වුණා. එයා ඇස් වහන් ඉන්නකොටයි, එයාගේ මූණේ අනිත් හැමදේම පේන්න ගන්නේ. නැත්නම් ඒ මුහුදු නිල් පාට ඇස් මුහුණේ අනික් හැමදේකටම එන්න ඕන අවධානය හොරකම් කරනව. ඉස්සරහ ඉන්න ඔයා පරිස්සම් නොවුණොත්, ලෝකේ හැමදේම අමතක කරවන්න ඒ ඇස්වලට පුළුවන්.

“ම්….. ..”

විනාඩියයි තත්පර දහයයි මයික්‍රෝ තත්පර තුනකට පස්සේ එයා ඇස් ඇරිය.

“ම්….. ඉස්සෙල්ලම අපි තුන්වෙනි ලෝකෙන් පටන්ගමු.. තුන මගෙ ලකී නම්බර් එක…”

“හරි.. මං කිව්ව. තුනෙන් පටන්ගමු.

එයත් ඇවිල්ල පාට ගාන වැඩේට හවුල් වෙයි කියල මම හිතුවත්, එයා සිගරට් එකක් පත්තු කරගෙන හෙඩ් ෆෝන් දා ගත්ත. ඊට පස්සේ හාන්සි පුටුවේ දිගා වුණා. මේ දැන් පාට ගාපු නියපොතු තියෙන පුංචි කකුල් මේසේ උඩින් තියාගත්ත. කකුල් ඇඟිලි තුඩු තාලෙට නලියන්න පටන්ගත්ත.

කාමරේ පුරා වයලට් සංගීතයයි, මෙන්තෝල් සුවඳයි පාවෙන්න ගන්නකොට මම තුන්වෙනි ග්‍රහලෝකෙ පාට කරන්න ගත්ත. ඒක ග්‍රහලෝක අටෙන් ප්‍රමාණෙන් පහේ විතර තියන්න පුළුවන් එකක්. මං එකේ ගෑවේ කොළ පාට.  අර නගර අලංකාර කමිටුවෙන් තාප්පවල ගාන සාමාන්‍ය තද කොළ පාට.
ඊට පස්සෙ ඒ ළඟම තිබ්බ ඊට හැම අතින්ම සමාන එකේ මම කහ පාට ගෑවා.
තව එකක් දීප්තිමත් නිලක්. ඊළඟ එක සුදු. සුදු පාට පාට කරද්දී පින්සලේ හරියට හේදිලා නොතිබ්බ නිසා ඒ ක්ලේ බෝලෙ නැවතුණේ ලා නිල් පාටක් වෙලා.
“බූ !!” එක පාරට එයා කෑගැහුව. මම උඩ විසික් වෙච්ච පාරට පින්සල ජග්ගුවේ අඩියේ වැදිලා කැරකිලා ගියේ ස්පයිරලාකාර තීන්න පැල්ලමක් හදමින්. “මොකක්ද ඔය කරල තියෙන්නේ?”
“ඇයි ඔය ඔක්කොම තනි පාටින් පාටකරන්නේ? ඊයා.. අනික මොකක්ද ඔය කැත කොළ පාට ?”
එයා මේසෙ ළඟට ආව. ඊට පස්සේ එයා නිල් පාට තීන්ත එක අතට අරන්, කොළ පාට උඩින් පාට කරන්න ගත්ත.
“නිල්…? දැනටමත් නිල් දෙකක් තියෙනවා ..” මම කිව්වේ කනස්සල්ලෙන්.
“පොඩ්ඩක් ඉන්නකො… ” එයා කොළ පාට උඩින් වතුර ටිකක් වැඩිපුර දාපු නිල් තවරන්න ගත්තෙ කොළ පාට එහෙන් මෙහෙන් ඉතුරු වෙන විදිහටයි.  හැමදේම පිළිවලට කරන්න මහන්සිවෙන එයා මේ වෙලාවෙ නම් කළේ නිකං උඩින් පල්ලෙන් පාට ගාපු එක. හැබැයි එකේ  පොඩි ලකයක් තියෙනව කියල තේරෙද්දී මාත් ජග්ගුව උඩින් එබුණ. එතකොටම එයාගේ සිගරට් එකෙන් දුඹුරු පාට අළු චුට්ටක් තෙත තීන්ත උඩට වැටිල විසිරුණා.
“අයියෝ ! ” මම කිව්ව.

“ෂ්..” එයා තොලට පින්සල තියල මහ අනුරාගී විදිහට මගෙ දිහා බැලුව. ඒ තමයි ඔය එයා අතින් වැරද්දක් වුණු වෙලාවට වැරැද්දක් වුණේ නෑ වගේ හැසිරෙන විදිහ.

“බූ….. ඒක මං හිතලමයි කළේ .. පොඩි ආට් එකක් විදිහට…”
ඊට පස්සේ එයා ජග්ගුවට එබුණා. කොළ පාට අල්ලි වැටිච්ච නිල් පාට ලෝකෙට දුම් උගුරක් පිම්බා. දුම වළාවක් වගේ ඇවිත් ගෝලය වටේ එතුණ.

“ඒක නිකං වායුගෝලයක් වගේ නැද්ද දැන් ? ” එයා ඇහුව. මම ඔලුව වැනුව.

වෙලාවකට ටිකක් විකාරයි වගේ වුණත්, ටීනු කරන ගොඩක් දේවල්වල පොඩි අමුතු ගතියක් තියෙනව. ඒ නිසා සිලිකන් නිම්නයෙ ගොඩක් ගෑණු ළමයි ටීනුව අනුකරණය කළා. සමහර වෙලාවට එයා අත්වැරදීමෙන් කරන පොඩි පොඩි දේවල් පවා ( එයාට අත්වැරදීම් වෙන බව ටීනු පිළි නොගන්නා එක ඉතා සුළු, නොතැකිය යුතු කාරණාවක් වුණත් )අනුකරණය කරන්න ගොඩක් අය බලන් හිටිය. ඒ නිසාම පිරිමි ළමයි පවා ටීනුට විශේෂ සැළකිල්ලක් දක්වන බව මම දැනගෙන හිටිය.
අන්න ඒකයි මම එයා කියන ගොඩක් දේවල් එක්ක එකඟ නොවුණත්, ඉවසගෙන ඉන්නෙ. ටීනුව සීරියස් ගන්න ගොඩක් අය බලාගෙන ඉන්නව. අඩි පහයි සෙන්ටිමීටර් කාලට වඩා උස, ඒ තරම් තරබාරු නොවන, පෙනුම තියෙන අය.

මම පරිපථයට විදුලිය දීල බැලුව. පොඩි “හෂ් ” සද්දයක් එක්ක ක්ලේ බෝල කැරකෙමින් ජග්ගුව ඇතුලේ ඉලිප්සීය ගමනක යෙදෙන්න පටන් ගත්ත. මේ ක්ලේ බෝල කැරකෙන වේගය එකිනෙකට වෙනස්. ඒක මම හිතා මතා කළ ඉතාමත් නුවණක්කාර වැඩක්.

“වූ… ! බූ… !! ඒකෙ ලස්සන !!!”

එයා කට ඇරගෙන ජග්ගුවෙ කැරකෙන ක්ලේ ගුලි දිහා බලන් ඉන්න ගත්ත. ” ඒත් මේ හරිය ටිකක් පාලුයි වගේ…”
“මේ පොඩ්ඩක් ඉන්න… ඉස්සෙල්ල මම මේකෙ වැඩ ඉවර කරන්න ඕන.. පස්සෙ ඔයා ඔය ලස්සන කිරිලි කරන්න.. ” මම කිව්ව.

කාමරේ කෙළවරේ රාක්කෙ උඩ තිබ්බ වීදුරු බෝතලේක මයිටාවෝ ටිකක් හිටිය. මේ වැඩේට ඕන නිසාම විශේෂයෙන් සැළකිලි දීල හදපු, තරමක් තරබාරු මයිටාවො. මං ඉතා පරිස්සමෙන් උන් එකින් එකා අරන් තුන්වෙනි ග්‍රහලෝකේ උඩින්  තියන්න ගත්ත. තෙත තීන්ත සහ සිගරට් අළු ගෑවිලා, නිල්, කොළ වගේම දුඹුරු පාටත් වෙමින්, මයිටාවෝ ටික ග්‍රහලෝකෙ උඩ ඇවිදින්න ගත්ත. මට හිතෙන්නෙ උන් සිගරට් දුමට මත්වෙලා.

“ඔන්න එකක වැඩ ඉවරයි..තව අටක් තියෙනව.. ” මම හුස්මක් ගත්ත.

“බූ… අද හවස ටෝගෙ ඉත්තෑවට තෑග්ගක් ගන්න යන්න ඕන..”

” ඔයා යන්න..” මම කිව්ව. ටෝ කියන්නෙ සිලිකන් වැලි එකේ ඉන්න අඩි හයකටත් වඩා උස, ඌරු මී පෙනුමක් තියෙන කොල්ලෙක්. ටීනු පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වෙලා ඉන්නව වගේ ටෝ හිතන් ඉන්නෙ එයා ගැහැණු ළමයින්ගේ සිහින කුමාරය කියලයි. අර මොකක්ද සෝඩ ඇඩ් එකක තිබ්බ පොපියන චමත්කාර සංගීතෙ තාලෙට මිනිහ ඇවිදිද්දි ගෑණු ළමයි නිකං මත්වෙලා වාගෙ ඒක දිහා  බලන් ඉන්නව.  මිනිහට ඉන්නව ඉත්තෑවෙක්. හෝඩියේ අකුරු තිස් තුනෙන්, විකාරම අකුරු දහ හතාමාර, අප්සට් විදිහටම අමුණල දාපු නමක් ඒ ඉත්තෑවට තියෙන්නෙ. හෙට ඒ ඉත්තෑවගෙ උපන්දිනේ කියල ඌරු මීය පාටියක් දානව.
ඌරු මීය ටීනු ගැන මාර උනන්දුයි. ඔක්කොටම වඩා එයා ටීනුගෙ පංතියෙ. ඒ නිසා මට වඩා වැඩියෙන් බෝනස් වෙලාවක් ටීනු එක්ක කොමළ කරන්න එයාට අවස්ථාව ලැබෙනව.

“මට වැඩ තියෙනව.  ඌරු මීයෙක්ගෙ ඉත්තෑවට තෑග්ගක් තෝරන්න යනවට වඩා…”

” බූ !!! ඔයාට තියෙන්නේ මාර ඉරිසියාවක්!!! ” ඒ ගමන එයා කෑගහන්න ගත්ත. ” ටෝට ගෑණු ළමයි ආස එක එයාගෙ වැරද්දක් නෙමෙයි… “
ඊට පස්සෙ එයා අත් බෑග් එකත් අරන් කාමරෙන් එළියට ගියෙ පුළුවන් උපරිම වේගෙන් දොර වහගෙන.

කාමරේ දෙදරුම් කෑව. මහ පුදුම අමාරුවක් අම්මප මේ ගෑණුන්ට තියෙන්නෙ ඌ ගැන.

මම ජනේලෙන් එබිල බැලුව. ගිනි අව්ව යටින් එයා ඉක් ඉක්මනින් අඩි මාරු කර කර තරඟයකට වගේ ඇවිදිනවා. එයාගේ තද තැඹිලි පාට කැරළි කොණ්ඩේ පිස්සුවෙන් වගේ උඩ පැන පැන එයා එක්කම යනව. ඉතා කෙට්ටු කකුල් සහ ඉතා උස සපත්තු. ඉතා කෙට්ටු අත් සහ පාට පාට චූටි ඇටවලින් හදාපු වළලු.
මම ජනේලෙන් බලන් ඉන්නව කියල දන්න නිසා වැරදිලවත් එයා හැරිල බලන්නෙ නම් නෑ කියල මට විස්වාසයි.
එයා නොපෙනී යනකම් බලන් ඉඳල මම ආපහු හැරුණ.
හපොයි ! වෙලා තියෙන විනාසෙ!!

ටීනු දොර වහපු පාර මේසේ හෙලවිලා. ග්‍රහක කෑල්ලක් විදිහට ජග්ගුවේ ඉහළින් එල්ලල තිබ්බ ලයිම්ස්ටෝන් කෑල්ලක් තුන්වෙනි ග්‍රහලෝකේ උඩට පත බෑවිල තිබ්බේ මයිටාවොන්ගෙන් වැඩි හරියක් චුරු චප්ප කරමින්. ඉතුරු උන්ගෙනුත් බාගෙට බාගෙක අඬු කැඩිල. බාගෙට මැරිල.

 

දැන් ඉතිං ආයෙ හොයපන්කෝ මයිටාවො.

———————————————–

බොහොම අමාරුවෙන් හදා ගත්තු විද්‍යා ව්‍යාපෘතියත් අරන් මම ඉස්කෝලෙ ආව. මැරිච්ච මයිටාවො වෙනුවට ඊයෙ හවස්වරුවෙම මහන්සිවෙලා එකතු කරගත්තු තවත් මයිටාවො, බැක්ටොරෝයිඩාවො, සැල්මොනෙල්ලාවො වගේ  අටෝ රාසියක් පොඩි සත්තු නිල් ග්‍රහලෝකේ පුරා රෝල් වේවි ඇවිදිමින් හිටිය. ඉතුරු ලෝක අට….?  ඊයේ ටීනු කරල ගිය විනාසෙ ( ටෝ.. ටෝ තමයි වගකියන්න ඕන! ඔව් ! )  හරිගස්සල ඉවර වෙද්දි එව ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ.

මම මගෙ ව්‍යාපෘතිය මේසේ උඩින් තිබ්බ. ඒ වෙලාවෙ තමයි නෙයි මගෙ ළඟට ආවේ.
නෙයි තමයි සිලිකන් වැලි එකේ ඉන්න බුද්ධිමත්ම ගෑණු ළමයා. එයාට තිබ්බෙ කළු පාට ඉතා සිහින් ඇස්. කළු, දිග, කෙලින් කෙස්. කොයි වෙලාවෙත් අතේ පොත්. එයා කතා කලෙත් අනික් අය කතා කරනවට වඩා වෙනස්, ක්ලැසික් දේවල්.

ටීනුට එයාව පෙන්නන්න බැරි නිසා මම නෙයි එක්ක කතා කරල තියෙන්නෙ අතේ ඇඟිලිවලටත් වඩා අඩුවෙන්.

” ඒක ලස්සනයි… මේකේ ග්‍රහලෝක කීයක් තියෙනවද ? ” එයා ඇහුව.

” හතළිස් දාහයි. ග්‍රහක අසූ පන්දාස් විසි හතරයි. පොඩි පොඩි කණ්ණාඩි කෑලි අලවල නිසා ඒවයින් ප්‍රතිබිම්බ හැදෙනව. ඒකයි ඔච්චර ගොඩක් පේන්නේ මේ පබළු තමයි ඔය වල්ගතරු වගේ එව්ව. … ” මම කිව්ව. “මම වැඩියෙන්ම ෆෝකස් කළේ මේ ග්‍රහලෝක අට හමාර ගැන. හතළිස් දාහම එක විදිහට හදන්න ගොඩක් කල් යනවනේ.. ”

” ඒක ලස්සනයි… ඔයාගෙ තින්කින් පැටන් එකට මං කැමතියි.. ” නෙයි කිව්වා.
” අපි මේක තව ලස්සන කරමුද?”

ඊට පස්සෙ එයා මේකප් බෑග් එකකින් තොල් පාටකරන කූරක් ගත්ත. ජග්ගුව ඇතුල් පැත්තෙන්, හරිම පරිස්සමට, වටේටම තිත් තිත් තියන්න පටන් ගත්ත.

“මේ ලිප්ස්ටික් එක කළුවරේ දිළිසෙනවා. කන්න පුළුවන් ෆොස්පරස් වර්ගයකින් මම ම හදාපු එකක්.. ”

මම කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව නෙයි තිත්.. තිත්.. තිත්.. තියන විදිහ බලාගෙන හිටිය.

———————————————–

“මොකක්ද අයිසෙ මේ…?” විද්‍යා ගුරුතුමා අප්පිරිය සහගත දෙයක් දිහා බලනව වගේ මගෙ ව්‍යාපෘතිය දිහා බැලුව. “මොක්කුද මේ? … තමුසෙගෙ ප්‍රොජෙක්ට් එක ඕල්රෙඩි ගුල්ලො ගහලද..? හං හං… ..හා ! “

” සර්.. මේ ග්‍රහලෝකෙ සත්තු… මේක ජීවී ග්‍රහලෝකයක්.. !” මම කිව්ව. මිනිහ කොහොමත් මාව ඒ තරම් සීරියස් ගන්නෙ නෑ. මම මොන දේ කළත් ඇදයක් කුදයක් විතරයි මිනිහට පේන්නේ.

” අනික මේක හෙන වේගෙන් කැරකෙනවනේ .. ආ ? ”

” ඔය තුන්වෙනි ග්‍රහලෝකේ තත්පරේකට වට අටක් කැරකෙනව සර්… ”

” මොකක්…? ඒ කියන්නෙ අපිට දවසක් ගතවෙද්දී මේ මයිටල සෙට් එකට අවුරුදු මිලියනයක් ගෙවෙනවා කියලද?.. පුහ්.. හං හං හා…”

මිනිහ හිනාවෙන අතරෙ වාතයක් පිට කරනවත් මට ඇහුණ. මම ඒ ගන්ධස්සාර බෝම්බෙන් බේරෙන්න කෝකටත් අඩියක් පිටිපස්සට වුණා.
” මුං මත්වෙලා වගේ ඉන්නේ මොකද අයිසේ.. ? “මිනිහ ආයෙත් ඇහුව. ” තමුසෙ මුංව ඇහින්දෙ තැබෑරුමකින්ද? .. හං.. හං… හා… “

පංතියේ අනික් එවුනුත් ඒ ගමන හිනාවෙන්න ගත්ත.

එතකොටම ලයිම්ස්ටෝන් එකක් රඳවල තිබුණු රබර් පටියක්, හයවෙනි ග්‍රහලෝකෙ වටේ මාලයක් වාගේ වැටුණා.

” වැඩක් නෑ අයිසෙ මෙව්ව..මේ.. කෑලි හැලෙනව දැන්මම ”

එහෙම කියල මිනිහ හෙන පැතලි, කැත සී ප්ලස් එකක් ලකුණු කළා.

“තමුසෙ පාවිච්චි කරල තියෙන පාටවලට මං කැමතියි.. ප්ලස් එක ඒ හින්ද.. ” මිනිහ මහ නක්කල් හිනාවක් එක්ක කිව්ව.

මිනිහ හොඳටම දන්නව මේකෙ පාට තේරුවේ ටීනු බව.

“තමුසෙ දවස් දෙකෙන් දෙකටවත් මුංට කන්න දානව. නැත්නම් මුං බඩගින්නට එක එකාව කාගනී.. හං හං. හා.. ”

මම ආපහු ගිහින් වාඩි වෙද්දි මිනිහ කිව්ව.

———————————————–

සීනුව වැදුනට පස්සෙ මම ටීනුව හොයාගෙන ගියා. මට ඕන වුණේ එයාව යාලු කරගන්න. ඊයෙ තරහවෙලා ගියාට පස්සෙ කෝල් එකක්වත් නෑ.

එයා හිටියෙ තද රෝස පාට නිල් මල් වැටුණු ගවොමක් ඇඳගෙන. කෙල්ලො එක්ක කදේ දමාගෙන.
” හේ ! ඔයා කැමතිද අද හවස ෆිල්ම් එකකට යන්න..?” මම ඇහුව. එයා මාව එච්චර ගණන් ගත්තෙ නෑ.

” බෑ.. ” එයා ගත්කටටම කිව්ව. ” අද ටෝගෙ පාටිය.. ”

පුදුමෙකට වගේ මට වෙනදට එයා එහෙම කිව්වම දැනෙන ලොකු හිතේ අමාරුව දැනුණේ නෑ.
“ඕකේ..”
මම ආපහු ආව. දොර ගාවදි මට නෙයිව මුණගැහුණ.
“අද හවස මම අලුත් ෆිල්ම් එකක් බලන්න යනව ..” මම කිව්ව. පුදුමෙකට වගේ වෙනදට ගැහැණු ළමයි ළඟදී දැනෙන සබකෝලේ මට දැනුනෙත් නැහැ. “ඔයත් එන්න කැමතිනම්..”

” අද හවස ටෝ ගෙ පාටිය..” නෙයි කිව්වා. “ම්.. ම්.. කමක් නෑ.. අපි යමු ෆිල්ම් එකට.. මම කැමතියි පාටිවලට වඩා ෆිල්ම්වලට..”

” හේ…! ”  එයා ටිකක් දුර ගිහින් ආපහු හැරුණා.

” ඒක ඒ ප්ලස් එකක්..!”

———————————————–

මම කඩිමුඩියේ, ඒත් ඉතා සැළකිල්ලෙන් ඇඳුම් ඇඳගත්ත. හොඳින් මැදපු කමිසයක්, ලා නිල් ජැකට් එකක් සහ කළු කලිසමක්. ඉතා හොඳින් ඔප දැමූ සපත්තු.

කවදාවත් නැතිව සුවඳ විලවුන්.

මම මේසේ උඩ තිබ්බ වොලට් එක සාක්කුවෙ දාගන්න ගමන් ජග්ගුවට එබුණා.
“මං ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න ඩාලිංලා…”
දොර වහගෙන එළියට යන්න කලින් මම මගෙ සෞරග්‍රහ මණ්ඩලේ එකම ජීවී ග්‍රහලෝකෙ ඉන්න මගෙ ජීවියො ටිකට කිව්ව.
නෙයි අද එද්දී එයාගෙ කළුවරේ දිළිසෙන ලිප්ස්ටික් එක ගාගෙන එයිද ?

———————————————–

තුන් වැනි පාර්ශවයක ඇසින් කළ පසුව ලිවීමක් :-

බූ දොර වහල එළියට යනවත් එක්කම කාමරේ විදුලි ආලෝකය නිවුණා. ජග්ගුව ඇතුලේ අලවල තිබ්බ Glow in the dark තීන්ත බිංදු කළුවරේ දිලිසෙන්න පටන්ගත්ත. බාගෙට ඇලවිලා තිබ්බ දිළිහෙන පබළුවක් ගැලවිලා දෙවෙනි ග්‍රහලෝකෙයි තුන්වෙනි ග්‍රහලෝකෙයි අතරින් ඇදිල ගිහින් ජග්ගුවේ පතුලට වැටුණා.
හරියටම ඒ වෙලාවෙ තුන් වෙනි ග්‍රහලෝකෙ, දියාරු නිල් සායම්වලින් නොවැහුණු කොළපාට කොටසක, සිගරට් දුමෙන් මත්වෙලා හිටපු  මයිටාවෝ ටිකක්, තමන් ජීවත්වෙන ග්‍රහලෝකෙට පෘථිවිය කියල නමක් තිබ්බා.

 

නම්

30741028_10204250299773251_339443463110000640_n

සාෂා –  “මිනිහෙක්ට මිනියක් වෙන්න ලේසියි.. එත් මිනිහෙක්ට මිනියක් එක්ක ජීවත් වෙන්න අමාරුයි..”

.
කාල් – “අපේ ජීවිත ඉවර වෙන්න හුඟාක් කිට්ටුයි කියල අපිට දැනෙන්න පටන්ගන්නේ අපේ ළඟම හිටපු අපේ වයසේ එකෙක් හිටි ගමන් මළාට පස්සෙ. අපේ වයසේ එකෙක්ගෙ ඔලුවේ සුදු කෙස් ගහක් දෙකක් මතුවෙනවා දකිද්දි අපි හොරෙන් බලන්නේ අපේ ඔලුවෙත් සුදු කෙස් ඇවිල්ලද කියල. එහෙම ඇවිල්ල නැත්නම් අපි ඌ දිහා බලල යාන්තමට හොර හිනාවක් දාල අපේ ඔලුව අතගාගන්නවා. බැරිවෙලාවත් සුදු කෙස්ගහක් දෙකක් මතුවෙලා තියෙනවනම්, ඒක ඉක්මනින් ගලෝල දාල හිත හදාගන්න උත්සහ කරනව ඒ පීනසට කියල..”
.
සාෂා – “මං කියන්නෙ මිනිස්සුන්ගෙ ශරීරෙ මැරෙන එක ගැන නෙමෙයි.. ශරීරෙ ඉතුරුවෙලා තියෙද්දි හිත මැරෙන එක ගැන … විප්ලවේ ගැන කතා කරද්දි කාල් වෙලා, සාහිත්‍ය ගැන කතා කරද්දි කාලිදාස වෙන මිනිහෙක්ට ඒක නොතේරෙනව වෙන්න පුලුවන් …කොහොමත් නමක් නැති මිනිහෙකුට හිතක් නෑ කියල මට ඉගැන්නුවෙ ඔයා…”
.
කාල් – “නමක් නැති මිනිස්සුන්ට හිත් තියනව කියල මට ඉගැන්නුවෙ කාල් කෙනෙකුට ආදරේ කරන්නම සාෂා වුණු ඔයයි ශානිකා… !…”