.
අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී
.
තල මලක් නම් මළ ගෙයක්,
ගම්මු කිව්වා ශාන්තී,
මලක් පිපුණම මැරෙන ගස් ගැන
අහල තිබුණද ශාන්තී ?
.
එකම එක එක් වතාවක් ගහ
මලක් දැරුවා ශාන්තී,
මුල් මුදෝගෙන පොළොව ඉඹගත්
ගහක් දැක්කද ශාන්තී ?
.
මල් හදන්නයි ගස් උපන්නේ
කවුද කිව්වා ශාන්තී,
මල් බදාගෙන ගස් මැරෙන්නේ
අන්න ඒකයි ශාන්තී.
* වසර ගණනක් දරුවන් නො මැතිව සිටි, ඒ නිසාම බොහෝ අපහාස විඳි මගේ හිතවතියක් අවසානයේ මවක් වූවාය. ඒ දරු ගැබ ඇයගේ ජීවිතයට තර්ජනයක් වූ නිසා එය ඉවත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළහ. එහෙත් ඇය එයට එකඟ වූයේ නැත. “බබෙක් නැතුව මේ වින්ද දුක, අහපු කතා, ආයෙ විඳිනවට වඩා මං කැමතියි මේ අවදානම ගන්න.. ” අපේ අවසන් හමුවේදී ඇය කීවේ එවැන්නකි. .
“මව් මරා උපන්..” නාමය ලද බිළින්දා මේ වනවිට ඔහුගේ පියා භාරයේය.
.
.
ජීවිතය යනු මහා දුක් කන්දකි.