ලාලේ සහ ලාදන් – ජීවත් වීමේ සිහිනය වෙනුවෙන් මරණය තෝරාගැනීම

 
 
 
විසි වසරකට පෙර ජූලි අටවැනිදා, හිසෙන් බැඳුණු නිවුන්නු ලෙස ලොව පුරා ප්‍රකටව සිටි, ඉරානයේ ලාදන් බිජානි සහ ලාලේ බිජානි,’ වෙන් කිරීමේ සැත්කමක්’ අතරතුර සැත්කම් මේසය මතදී ම මියගිය හ.
 
නිරිතදිග ඉරානයේ නගරයක් වන ෆිරුසාබාද් ආසන්නයේ පිහිටි ලොහ්රාස්බ් නම් කුඩා ගම්මානයේ ගොවි පවුලක සාමාජිකයින් වන දඩොල්ලා බිජානි සහ මරියම් සෆාරිට දාව 1974 ජනවාරි 17 වැනිදා ලාදන් සහ ලාලේ උපත ලැබුවේ හිසෙන් බැඳුණු සම රූපී නිවුන් දැරියන් ලෙසිනි.
 
අතිශය සංකීර්ණ ගර්භනී කාලයක් ද, සංකීර්ණ ප්‍රසූතියක් ද අවසානයේ මෙලොව එළිය දුටු ‘හිසෙන් බද්ධ වූ’ නිවුන් දැරියන් හට, සංකීර්ණ වෛද්‍ය පැටළුම්වලින් ගහන වූ ඔවුන්ගේ ජීවිතවල මුල් කාලය බොහෝ විට ගත කරන්නට සිදු වූයේ එවකට ඉරානයේ සේවය කළ ඇමරිකානු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ටෙහ්රාන්හි රෝහලක ය.
 
1979 දී සිදු වූ ඉරාන විප්ලවය හේතුවෙන්, ඉරානයේ සේවය කළ බොහෝ විදේශීය වෘත්තිකයන්ට, ඉරානයට සමු දී නැවතත් සිය රටවල් බලා යාමට සිදු වූ අතර, ලාදන් සහ ලාලේව අධීක්ෂණය කරමින් සිටි වෛද්‍යවරුන්ටද එක් රැයින් ඉරානයෙන් පිටවන්නට සිදු වූයේ ලාදන් සහ ලාලේගේ ඉරණම සහ අනාගතය අවිනිශ්චිත තත්වයට ඇද දමමිනි. ඒ සමඟ ම බිජානි සොයුරියන් රෝහලේ අතරමං වූ අතර, ඔවුන්ගේ මවුපියන් හට තම දැරියන් යළිත් හමුවන්නේ, 1996 වසරේදී ය. ටෙහ්රාන් සිට කිලෝමීටර් 45 ක් ඈතින් පිහිටි කරාජ් නගරයේ වාසය කළ අලිරෙසා සයිෆාන් විසින් ඔවුන්ව දරුකමට හදාගෙන තිබූ අතර, ඔහු දැරියන්ව හැකිතාක් මාධ්‍යයෙන් වසන් කරමින් සහ හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ඔවුනට සාමාන්‍ය ළමා කාලයක් ලබා දීමට කටයුතු කර තිබිණි. එමෙන් ම දැරියන්ගේ ඒකායන අභිමතය වූ ‘වෙන් වීම’ වෙනුවෙන් ඔවුන් ව ජර්මනියේ වෛද්‍ය කණ්ඩායමක් මුණගැස්වීමට ද සයිෆාන් පියවර ගෙන තිබූ අතර, හිස්කබලෙන් පමණක් නොවේ, මොළයෙන් ද එකිනෙකා හා බැඳී, මොළයේ එක් ප්‍රධාන ධමනියක් බෙදාගනිමින් සිටි සොයුරියන් වෙන් කිරීමට උත්සාහ කිරීම ඔවුන්ගේ ජීවිත අවධානමක හෙලන බව කියූ ජර්මන් වෛද්‍යවරුන් විසින් සැත්කම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඉන් දැඩි වේදනාවට පත් වූ දැරියන් සැනසීමට ද ඔහුට සිදු වී තිබුණි.
 
 
හිසෙන් එකට බැඳී සිටියද, හදවතින් එකිනකාට බොහෝ සෙයින් වෙනස් වූ නිවුන් දැරියන්ගෙන් ලාදන් වඩා සමාජශීලි දැරිය වුවා ය. හඬ නගා සිනාසෙන, මිතුරු මිතුරියන් පිරිවරා සිටි ලාදන් නිසා වඩා ලැජ්ජාශීලී ලාලේටද, සිය ස්වභාවයට ඉඳුරා ම  වෙනස්  මිතුරු කවවල රැඳී සිටීමට සිදු විය. නිවසේ සිටීම වඩා ප්‍රිය කළ ලාලේගේ අභිමතය දිනන අවස්ථාවලදී, මැසිවිලි නගමින් නමුත් නිවසේ රැඳී සිටීමට ලාදන්ට සිදු විය. සමාජශීලී වීම හෝ හුදෙකලා වීම සිය හදෙහි අභිමතය පරිදි සිදු කිරීමට ඔවුනට හැකි වූයේ නැත. ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කිරීමේ අභිලාෂයන් සහිත වූ දෙදෙනෙකු, අනභිමත යදමකින් බැඳී සිටිය හ.
 
වයස විසි ගණන්වල මුල් භාගයේදී, ලාදන් නීතිඥවරියක් වීම තෝරාගත් අතර, ජනමාධ්‍යවේදිනියක් වීමේ කැමැත්තෙන් පසු වූ ලාලේ, සිය සොයුරියගේ කැමැත්තට යටත් වන්නේ, නීති අධ්‍යාපනයෙන් අනතුරුව ජනමාධ්‍යවේදය හැදෑරීමට සිය සොයුරියගෙන් පොරොන්දුවක් ගැනීමෙන් පසුව ය. එකෙකුට අනෙකාගේ කැමැත්ත වෙනුවෙන් තම සිහින හා අභිලාෂයන් ඉටු කරගැනීම පසුවට කල් දැමීමට සිදුව තිබුණි. වැසිකිළි යාම පවා, තම අභිමතය ලෙස ඉටු කරගැනීමට නො හැකි ජීවිතයක සිහින සහ අභිලාෂයන් එතරම් බරපතල ලෙස සැලකීමට දෛවය ඔවුනට ඉඩ ලබා දී තිබුණේ නැත.
 
නීති විද්‍යාලයට යන අතරතුර මහල් නිවාසයක තනිවම ජීවත් වූ සොයුරියන්හට බද්ධ වූ ජීවිතය තවදුරටත් අවශ්‍ය නොවූ අතර, වෙන් වීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට ඔවුහු එකඟ වූහ. ලාලේට ටෙහ්රානයේ නිවසක ජීවත් වීමට කැමැත්තක් වූ අතර ලාදන් වෙනත් දිස්ත්‍රික්කයකට සංක්‍රමණය වීම ප්‍රිය කළා ය. සිව් වසරක නීති විද්‍යාල අධ්‍යාපනය අවසානයේ දිනෙක, සිංගප්පූරුවේ වෛද්‍ය කණ්ඩායමක් හා සම්බන්ධ වන බිජානි සොයුරියෝ, සිය ජීවිත අවධානම දරාගෙන වෙන් වීමේ සැත්කමක් සඳහා මුහුණ දීමට කැමැත්ත පළ කළහ.
 
2002 වසරේ නොවැම්බර් මාසයේදී වෛද්‍ය කීත් ගෝ හමුවීමෙන් පසුව, ලාදන් සහ ලාලේ සිංගප්පූරුවට යන්නේ, වෙන් වී මිස යළිත් නො පැමිණීමේ තිර අධිෂ්ඨානයෙනි. අට මසක් පුරා සිංගප්පූරුවේදී සිදු කෙරෙන අනේක විධ පරීක්ෂණ මෙන් ම, ස්ව කැමැත්තෙන් මෙකී අවධානමට මුහුණ දීම වෙනුවෙන් කළ නීතිමය කටයුතුද අවසානයේ ඔවුන් 2003 ජූලි මාසයේ හය වෙනිදා සිය සැත්කමට මුහුණ දුන් හ.
 
වෛද්‍ය කීත් ගෝ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ලාලේගේ සැත්කම සිදු කිරීම ආරම්භ කළ අතර ලාදන්ව සැත්කමට භාජනය කළේ වෛද්‍ය බෙන් කාර්සන් ප්‍රමුඛ කණ්ඩායමකි. සැත් කියතකින් හිස් කබල් විවර කර ආරම්භ කළ සැත්කම, අනුමාන කළ ප්‍රමාණයටත් වඩා බෙහෙවින් සංකීර්ණ බව වෛද්‍ය කණ්ඩායම විසින් තේරුම් ගත් හ. මෙය ‘මියෙන්නට හෝ සිදු කළ යුතු ය’ යන අවබෝධයෙන් ආරම්භ කෙරුණකි. ආපසු හැරීමක් නො වේ. දෛවය විසින් ලබා දෙන අවසානය කුමක් වුවද ඒ කරා යාම ම විනා විකල්ප නො වන ගමනකි.  ඒ බව සැත්කම ආරම්භයට පෙර සිට ම ඔවුහු දැන සිටිය හ.
 
ලාලේ සහ ලාදන්, මොළයේ එක් ප්‍රධාන ධමනියක් බෙදාගත්තා පමණක් නොව, එතෙක් ස්කෑන් පරීක්ෂණවලට හසු නො වී තිබුණු උත්තර කෝටර කොටස ද එකිනකා හා බෙදාගෙන තිබූ බව අනාවරණය වන්නේ සැත්කම අතරවාරයේදී ය. එකොළොස් පැයක් තිස්සේ, වෛද්‍යවරු විසි පස් දෙනෙකු විසින් සිදු කළ සංකීර්ණ සැත්කම අවසානයේ බිජානි සොයුරියන්, ජීවිතයේ ප්‍රථම වතාවට එකිනෙකාගෙන් වෙන් වූ දෙදෙනෙකු බවට පත් වූහ. ජූලි අට වැනිදා දහවල් එකයි තිහට සැත්කම නිමා කළ බවත්, දෙ සොයුරියන්ගේ තත්ත්වය යහපත් නො වන බවත් නිවේදනය කෙරිණි.
 
2003 ජූලි අට වැනිදා එරට වේලාවෙන් සවස දෙකයි තිහට ලාදන් බිජානි, විසි නම වසරක් පුරා සිය සොයුරියට කයෙන් බැඳී සිටි ජිවිත ගමන, කයෙන් ස්වාධීන වූ ගැහැනියක ලෙස නිමා කළ අතර, ඉන් විනාඩි අනූවකට පසු ලාලේ ද සැත්කම් මේසය මතදී ම මියගියා ය.
 
තීරණාත්මක සැත්කමට යාමට පෙර, විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ලාදන් පවසා තිබුණේ, ස්වාධීන ජීවියෙකු වීම සඳහා තමන් මෙන් ම තම සොයුරියත් ජීවිත අවධානම නො තකා සටන් කිරීමට සූදානම් බව ය. ” එක්කෝ අපි වෙන් වුණු දෙන්නෙක් විදිහට ජීවත් වෙයි. එක්කෝ අපි වෙන් වුණු දෙන්නෙක් විදිහට මැරෙයි.”
 
විසි නව වසරක ජීවිත කාලයේදී, කණ්ණාඩියක ප්‍රතිබිම්බයකින් විනා කිසි දිනෙක මුහුණට මුහුණ එකිනෙකා දෙස බැලීමේ වරම් හිමි නොවූ දෙසොයුරියන්, එකිනෙකට සමීප වෙන් වෙන් මිනී වලවල් දෙකක අවසන් නින්ද සඳහා සතපවනු ලැබූ හ. ඔවුන් සිහිනයක් දකිමින්, සිහිනයෙන් අවදි නො වීම මියගිය හ.
 
මරණවලට හේතු වී තිබුණේ සැත්කමේ බහුවිධ සංකීර්ණතා සහ අධික රුධිර වහනය ය.
 
“එක්ව රැකෙමු ද? වෙන් ව මියෙමු ද?” මේ බිජානි සොයුරියන්ගේ මරණය පිළිබඳව සති අන්ත ලංකාදීප පුවත්පත (2003 ජූලි 13 ඉරිදා) ගෙන ආ සවිස්තරාත්මක ලිපියේ සිරස්තලය ය.
 
ඉන් වසර පහළොවකට පමණ පසු සුමිත්‍රා රාහුබද්ධ විසින් අත අත නෑර නවකතාව ඔස්සේ, හිසෙන් බද්ධ වූ නිවුන් දැරියන් වන අනුරිත්, මනුරිත් අප හමුවට ගෙන එන්නී ය. කයෙන් ස්වාධීන නොවූ, ස්වාධීන අපේක්ෂා ඇති ජීවින් දෙදෙනෙකු වෙන් වීමේ අවධානම කරා යන ගමන වෙනුවට එක්ව ජීවත් වීමේ ඉරණම දරාගෙන තිස් හැවිරිදි වියේදී ස්වභාවික වූ මරණයකට මුහුණ දෙන්නේ එහිදී ය. ඒ අතරින් පසුව මියයන්නී මනුරි, සිය ජීවිතයේ අවසන් මොහොතේ, තමන්ට පෙර මියගිය, බද්ධ වූ සොයුරියගේ සීතල වෙමින් යන සිරුර අතගාමින් කල්පනාවේ නිගමන්ව සිටින්නී ය.
 
ස්වාධීනභාවයද මරණයද යන උභතෝකෝටිය හමුවේ, විසි වසරකට පෙර ඉරිදා ලංකාදීපයක උදෘතයක මතකය ක්ෂණ පුළිඟුවක් සේ එබී බලමින් පැනයක් දල්වයි.
 
”එක්ව රැකෙමුද වෙන් ව මියෙමුද?’
 
මිතුරනි, ජීවිතාපේක්ෂාව ඇත්තේ බොහෝ දේවලට වඩා උඩින් බව පොදු පිළිගැනීම ය. අල්පයක් තරම්වත් වූ ස්වාධීන වීම සඳහා ලාදන්ගේ සහ ලාලේගේ කැමැත්ත තිබුණේ ඊටත් වඩා ටිකක් උඩින් බව කිව නො හැකිද?
 
 
බිජානි සොයුරියෝ ඔවුන්ගේ ළමා කාලයේදී – හදාගත් පියා සමඟ
බිජානි සොයුරියෝ 1993 වසරේදී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දෙමින්.
ලාදන් සහ ලාලේ 1989 ඔක්තෝබර් 10

‘නිල් අහස් තලේ අගේ’ – ජනප්‍රිය ම චිත්‍රපට ගීතය

‘සිංදුවක් කියන්න පුතේ යැයි..” කුඩා දරුවෙකුට කී විට, හැල්මේ දිව එන හිංචි පිංචි හාවාට පරදින, එහෙත් පසු නො බාන, කවදා කවුරුන් උගන්වුවාද යන්න බෝහෝ විට නිශ්චිත මතකයක සටහන් නො වන, එහෙත් ‘ළමා ගීයක්’ සේ කටපාඩමින් කිව හැකි ‘නිල් අහස් තලේ අගේ’ ගීතය, ඇතුළත් වන්නේ 1982 වර්ෂයේ ජනවාරි 29 වැනිදා තිරගත වූ මහගෙදර චිත්‍රපටයේ ය.

රූප රාමු රහිතව ගීතය ඇසුවහොත් විනා, ගීය ගයන්නේ එහි රූප රාමුවල සිටින ළපටි මුහුණකින් යුතු යුවතිය ශ්‍රියානි අමරසේනවත්, ඇගේ හිස මෘදුව අතගන්නාක් මෙන් ඈ වෙත දයාර්ද්‍ර බැලුම් හෙළන විජය කුමාරතුංගවත්, උත්තුංග තැන්පත් ලීලාවෙන් සිටින මුත් නො මැඩිය හැකි දඟකාර බවක් පෙන්වන දෑසින් යුතුව, පියානෝ යතුරු මත දිවෙන ඇඟිලි තුඩු දෙස බලා සිටින තිස්ස අබේසේකරවත්, හදිසියේ විවර කළ දොරකින් පැමිණ, ජනේල තිර රෙදි නටවන ලලිත සුළං රැල්ලක් බඳුව, ගීතයේ අපර භාගයේ පැමිණෙන සෝමලතා සුබසිංහවත් නොව, චිත්‍රපටයේ පසුබිම් ගායක ගායිකාවන් වූ, නීලා වික්‍රමසිංහ, මොරිස් විජේසිංහ, උපාලි රංජිත් සහ චිත්‍රා සෝමපාල බව වටහා ගැනීම උගහට ය.

ගීතය රචනා කළේ යූ.ඩී. පෙරේරා ය. සංගීතය සරත් ප්‍රනාන්දුගේ ය. බීතෝවන්ගේ Pathetique සොනෙටාවේත්, Pastoral සංධ්වනියේත් ආභාසය ලබා නිර්මාණය කෙරුණු සංගීත රටාව අනුගමනය කරමින් අසනා වාරයක් පාසා මතු මතුත් උමතු කරවන සුළු පියානෝ වාදනයක යෙදෙන්නී චිත්‍රා මළලසේකර ය.

ගීයේ වචනවලට පෙර වැයෙන පියානෝ සංගීත ඛණ්ඩය පෝලන්ත ජාතික තනු නිර්මාපක ෆෙඩරික් ශොපන්ගේ (අප අතර චොපින් නමින් ප්‍රකට ය.) ය. ශ්‍රියානි විසින් වැයෙන බව පෙන්වන පියානෝවේ යතුරු මත දුවන ඇඟිලි තුඩු චිත්‍රා මළලසේකරගේ ය.

මේ ගීතයේ සෝමලතා සුබසිංහ පෙනී සිටින කොටස හෙවත් අවසානයට ආසන්නතම කොටස ඉතා අඩු සංගීතයක් යටතේ (හෝ සංගීතය නැතිව ම යොදා ගැනීම) තම අභිලාශය වූ බව තිස්ස අබේසේකර, ඔහු විසින් රචිත අයාලේ ගිය සිතක සටහන් කෘතිය ඔස්සේ කියා සිටින්නේ ය. ඒ අත්හදා බැලීම එතෙක් වෙලා සම්භාව්‍ය බටහිර සංගීතයේ නිබර ම කෙළවරෙන් අල්ලා සැහැල්ලුවෙන් පදවන ලද ඕවිල්ලක් වැනි වූ ගීතය සුමට ලෙස අල්ලා නවතන්නේ ය. නිසි නිමාවෙන් නිමවන්නේ ය.

එකොළොස් වැනි සරසවි සම්මාන උළෙලේදී හොඳ ම චිත්‍රපට සංගීතයට හිමි සම්මානය ලැබෙන්නේ ‘නිල් අහස් තලේ’ ද ඇතුළත් වූ ‘මහගෙදර’ ට ය.

මේ ගීය නො දන්නා අයෙකු සිටින නිවෙසක් සෙවීම, කෙනෙකු නො මළ ගෙයකින් අබ මිටක් සොයන්නා සේ වුවද, ගීතයේ දෙවැනි අන්තරා කොටසෙහි එන

“විල් නෙලුම් නිදා වැටේ,

මානෙල් මල් පිපී..” හි ඇත්තේ විල් නෙලුම් මිස නිල් නෙලුම් නො වන බව වටහා ගත්තෝ මේ වනවිට සිටින ප්‍රමාණය, මිටක ඇති අබ ඇට ප්‍රමාණයට වඩා වෙනස් වනවා ඇත්තේ යන්තමිනි. ඒ වරද කෙතරම් නිවැරදි ලෙස සමාජගත වී තිබේද යත්, යූ ටියුබය පුරා විසිරී ඇති ‘නිල් අහස් තලේ’ ගීතයේ පසු කාලීන ගායනා සියල්ලෙහිම පහේ විල් වෙනුවට ඇත්තේ නිල් ය!

වර්තමානයේ බොහොමයක් දෙනා මෙය චිත්‍රපට ගීයක් බව නොදැන ම ගයන හෙයින්, වඩාත් ම ප්‍රකට චිත්‍රපට ගී අතරෙහි නො තබන, එහෙත් ඒ තැන හිමිවිය යුතු ගීයක් වූ මෙය වෙනුවෙන් මේ සටහන තබන්නේ ද, ජීවිතයේ දශක තුනකුත් ඉක්ම යන තෙක් ම ‘විල් නෙලුම්’ නොව ඒ ‘නිල් නෙලුම්’ යයි සිතා සිටි අයෙකු විසිනි.

පහත link එකෙන් ගීතය අසන්න

https://bit.ly/3relcFB

Pale Blue Dot – මිනිසෙකු විෂය කරුණුවලින් පමණක් නොව, මිනිසෙකු වශයෙන් ද පිරී සිටිය යුත්තේ ඇයි?

කාල් එඩ්වඩ් සේගන් (Carl Edward Sagan) කියන්නේ ඇමරිකානු තාරකා විද්‍යාඥයෙක්. තාරකා විද්‍යාව කියන දේ කොච්චර පරාසයක විහිදෙනවද කියල දළ අදහසක් ගන්න සේගන් ගේ ‘තාරකා විද්‍යාඥ’ තනතුර විස්තාරණය කරලා බලන්න පුළුවන්. ග්‍රහලෝක විද්‍යාඥයෙක්, විශ්ව විද්‍යාඥයෙක්, තාරකා භෞතික විද්‍යාඥයෙක්, තාරකා ජීව විද්‍යාඥයෙක් කියන උප උදෘත සියල්ල ම කාල් සේගන් ගේ ‘තාරකා විද්‍යාඥ’ තනතුර ඇතුළේ තියෙනවා.

ඊට අමතරව ඔහු කතුවරයෙක් සහ විද්‍යා සන්නිවේදකයෙක්.

පහතින් තියෙන්නේ ඔහු ලිව්ව කෘති අතරින් ලෝකයේ අවධානය වඩාත් ම දිනාගත් කෘතිය, ‘Pale Blue Dot’.

1977 ආරම්භ වුණු, අපේ ජීවිත කාලය තුළ අවසන් නො වන වොයේජර් (Voyager) මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් වෙන්නේ සේගන්.

( මේ මෙහෙයුම ගැන වඩා විස්තර තොරතුරු පහුගිය දවසක ලිව්වා. මේ https://bit.ly/3BRqETR ලින්ක් එකෙන් ඒ විස්තර බලාගන්න පුළුවන්)

1990 පෙබරවාරි 14 වැනිදා, වොයේජර් I යානය,අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් සදහට ම නික්මී යන මොහොතේ, යානයේ බැටරි ඉතිරි කරගත් යුතු නිසා එහි කැමරා නිවා දැමෙන්නට නිමේශයකට පෙර, යානයේ කැමරාව අප දෙසට හරවා ඡායාරූප ගන්න නියෝග කරන්නේ සේගන්. පෘථිවියේ සිට සැතපුම් බිලියන 3.7 ක් හෙවත් කිලෝමීටර් බිලියන 6 ක් දුර සිට, අපි අපිව දකින්නේ සේගන්ගේ ඒ ක්ෂණික අදහස නිසා.

මේ මෙහෙයුමෙන් පස්සේ සේගන් ලියන පොත Pale Blue Dot.

පොතේ ඉදිරිපස කවරයේ ඔහුව හඳුන්වා දෙන්නේ ඔහු මෙයට පෙර ලියූ කෘති අතරින් වඩාත් ම ප්‍රකට වූ කෘතියෙහි කතුවරයා ලෙසටයි.

‘Author of Contact’

Pale Blue Dot ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්නේ වොයේජර් මෙහෙයුම ගැන උනන්දු අය අතරේ විතරක් නෙමෙයි. ඒ වගේ ම Pale Blue Dot හි තියෙන්නෙත් වොයේජර් මෙහෙයුම ගැන විතරක් නෙමෙයි. පෘථිවියේ සිට සැතපුම් බිලියන 3.7 ක් ඈතින් සිට අපිට අපි පෙන්වූ කැමරා ඇසක් හරහා අපිට අපි දෙස ම බලන්නට Pale Blue Dot හරහා සේගන් අපිව පොළඹවනවා.

“නැවතත් මේ තිත දෙස බලන්න. එය අපේ නිවහන ය. එහි සිටින්නේ අප ය. ඔබ ආදරය කරන සෑම අයෙකු ම, ඔබ දන්නා සෑම කෙනෙකු ම, ඔබ අසා ඇති සෑම කෙනෙකු ම , මෙතෙක් සිටි සෑම මනුෂ්‍යයෙක්ම ඔවුන්ගේ ජීවිත ගත කළේ එහි ය. අප අත්විඳින ප්‍රීතිය ද ශෝකය ද වේදනාව ද, දහස් ගණනක් දෙනා දරන විශ්වාසයන් ද ඇදහිලි සහ ආගම් ද, මතවාදයන් සහ ආර්ථික මූලධර්මයන් ද පැවතුණේ ද පවතින්නේ ද එහි ය. දඩයක්කරුවන් මෙන් ම ගොදුරු ද, විරුවන් සහ බියසුල්ලන් ද ශිෂ්ටාචාර ගොඩනගන්නන් සහ වනසන්නන් ද, පාලකයන් සහ ගොවියන් ද වෙසෙන්නේ එහි ය. ප්‍රේමයෙන් වෙළුණු සෑම යුවලක් ම ද, සෑම මවක් සහ පියෙක් ද, බලාපොරොත්තු සහ සිහින ඇති දරුවෙක් ද, නව නිපැයුම්කරුවෙක් සහ ගවේෂකයෙක් ද සදාචාරය පිළිබඳ සෑම ගුරුවරයෙක්ම මෙන් ම සෑම දූෂිත දේශපාලකයෙක් ම වෙසෙන්නේ එහි ය. සුපිරි තරු මෙන් ම උත්තම නායකයන් ද, ඉතිහාසයේ පටන් සිටි සාන්තුවරු සහ පව්කාරයන්ද වාසය කළේ එහි ය. මේ හිරු කිරණ තීරයක සුදුමැලිව දිදුලන කුඩා දුහුවිලි අංශුවක් බඳුව පෙනෙන්නේ ඒ සියල්ල සිදුවන තැන ය.

පෘථිවිය යනු අතිවිශාල කොස්මික් ක්‍රීඩාංගනයක ඇති ඉතා කුඩා වේදිකාවකි. මේ පික්සලයක පමණ ප්‍රමාණයට පෙනෙන ලෝකයේ එක් කොනක වැසියන් වෙනත් කොනක සිටින අතිශය යාන්තමින්වත් හඳුනාගත නොහැකි වැසියන්ට සිදු කරන නිමක් නැති කුරිරුකම්, එකිනෙකා කෙරෙහි ඇතිකරගන්නා වැරදි වැටහීම් කෙතරම් දැයි සිතන්න. ඔවුන් එකිනෙකා වනසා දැමීමට කොතරම් ආශාවෙන් සිටිනවාද, ඔවුන්ගේ වෛරය කෙතරම් උග්‍රද යන්න ගැන සිතන්න. උත්කර්ෂයේදී සහ ජයග්‍රහණයදී, ඉතා කුඩා තිතකින් කොටසක ක්ෂණික අයිතිකරුවන් බවට පත්වීම වෙනුවෙන් සියලු සෙන්පතියන් සහ අධිරාජ්‍යයන් විසින් වැගිරවූ ලේ ගංගා ගැන සිතන්න.

අප දරන ස්ථාවර, අප විසින් අපටම දීගත් වැදගත්කම විසින් ඇතිකරවූ අහම ද, අප විශ්වයේ යම් වරප්‍රසාද ලත් ස්ථානයක් සිටිනවා යන මුළාවද, අහියෝගයට ලක් කරමින් මේ දිදුලන සුදුමැලි ආලෝක පුංජය අප දෙස බලා සිටී. අපේ ග්‍රහලෝකය යනු අප්‍රමාණ අන්ධකාර විශ්වයේ හුදකලා පැල්ලමක් පමණි. අප දන්නා දේ තුළ, මේ සියලු විශාලත්වය තුළ, අපගෙන් ම අපව ගලවා ගැනීමට උපකාර පැමිණිය හැකි වෙනත් තැනක් පිළිබඳව ඉඟියක් හෝ අපට නැත.

පෘථිවිය යනු ජීවය පැවතීමේ ඉඩක් ඇති බවට මෙතෙක් අප දන්නා එකම ග්‍රහ ලෝකයයි. අඩු ම තරමින් නුදුරු අනාගතයේ දී මිනිසාට සංක්‍රමණය විය හැකි වෙනත් තැනක් ගැන අප දන්නේ නැත. නවතින්න තබා, සංචාරය කර ආපසු ඒමට තැනක්වත් අප හට නැත. අප කැමති වූවත් නැතත්, මේ මොහොතේ අපට ඇති එක ම නිවහන මෙයයි . පෘථිවිය යි. මේ සුදුමැලි නිල් පැහැති තිත පමණයි.”

එය යළිත් අපට අවධාරණය කරනවා සහ මතක්කර දෙනවා අප එකිනෙකා කෙරෙහි වඩාත් කාරුණික විය යුතු බවත් එකිනෙකා ඉවසිය යුතු බවත්.

මේ ග්‍රහලෝකය සුරක්ෂිත කරගත යුතු බවත්. මක් නිසාද යත් අප සියල්ලන්ට ජීවත් වීමට ඇත්තේ මේ සුදුමැලි නිල් තිත පමණයි”

අනෙකාගේ ඇසින් අප දෙස බැලීමේ වටිනාකම මෙන් ම, අප විසින් ම අප තුළ ඇතිකරගත් අහම පසෙක ලා පොදු මිනිස් වර්ගයාගේ එකෙකු බවට පත්වීමේ අවශ්‍යතාවයත්, මිනිසෙකු විෂය කරුණුවලින් පමණක් නොව, මිනිසෙකු වශයෙන් ද පිරී සිටිය යුත්තේ ඇයි ද යන්නත් Pale Blue Dot ලියූ සේගන් අපිට යළි යළිත් මතක් කර දෙනවා.

#CarlSagan#palebluedot#voyager#NASA#books#space

පෘථිවියෙන් සුබ පැතුම්!

වොයේජර් මිෂන් එක කියන්නේ වොයේජර් I සහ වොයේජර් II ලෙස නම් කෙරුණු, අන්තර් තාරකා ගවේෂණ රොබෝ යානා දෙකක් භාවිතා කරන, ඇමරිකානු විද්‍යාත්මක වැඩසටහනක්. එකිනෙකාට අසල්වාසී ග්‍රහලෝක දෙකක් වූ බ්‍රහස්පති සහ සෙනසුරු, ඔවුන්ගේ ආසන්න පිහිටීම්වල වාසිය ලබාගනිමින් ගවේෂණය කිරීම මේ වැඩසටහනේ අරමුණ වී තිබුණා.

1977 අගෝස්තු මාසේ 20 වැනිදා මේ යානා දෙක ම එක වර දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, සුළු කාර්මික දෝෂයක් නිසා තම වැඩිමහල් නිවුන් සොයුරියව පෘථිවියේ තබා තනිවම අභ්‍යවකාශගත වීමට වොයේජර් II යානයට සිදු වුණා. කොහොම නමුත්, වොයේජර් II කියන්නේ වොයේජර් I ට වඩා සෙමෙන් ගමන් කිරීමට මුල සිට ම සැලසුම් කර තිබුණක් නිසා, කළින් පෘථිවියෙන් නික්මුණත්, ඉතාම නුදුරු තම වැඩිමහල් සොයුරිය තමන් පසුකර යනු දැකීමට වොයේජර් II ට සිදුවනු ඇති. කොහොම නමුත් මේ කියන කතාවට වැඩි පුර ම අදාළ වෙන්නේ වොයේජර් I යානය නිසා මේ ලිපිය පුරා ම ඒ ගැන කතා කෙරෙන්නට නියමිතයි.

1977 සැප්තැම්බර් මාසයේ 05 වැනිදා, වොයේජර් II යානය නික්මී යාමෙන් දින දහසයකට පසුව වොයේජර් I, ඇමරිකාවේ කෙනඩි තුඩුවෙන් අභ්‍යවකාශගත කෙරුණා. රාත්තල් 1,592 ක් හෙවත් කිලෝ ග්‍රෑම් 721 ක් බර, ප්ලූටෝනියම්වලින් නිර්මිත වොයේජර් I යානය, 1977 දෙසැම්බර් 15 වැනිදා, තමන්ට පෙර නික්මී ආ තම සොයුරිය අභිබවමින් ග්‍රහක වළල්ල පසුකර යනවා.

1978 අප්‍රේල් මාසයේදී පෘථිවියෙන් සැතපුම් මිලියන 165 ක පමණ දුරකදී වොයේජර් I සිය මෙහෙයුම් ආරම්භ කරනවා.

වොයේජර් I සිය මූලික මෙහෙයුමේ පළමු කාර්යයය වූ බ්‍රහස්පති මතුපිට නිරීක්ෂණය ආරම්භ කරන්නේ 1979 මාර්තු පස් වැනිදා. බ්‍රහස්පතිට අතිශය සමීපයෙන් පියාසර කරමින් බ්‍රහස්පති මතුපිට ඡායාරූප ලබාගන්නා වොයේජර් I, බ්‍රහස්පති පිළිබඳ එතෙක් පෘථිවිවාසීන් නො දැන සිටි තොරතුරු රැසක් හෙළි කරගන්නවා. 1979 ජනවාරි මාසයේදී එවන ලද ඡායාරූප, 1973-1974 සිදුවූ පයනියර් මෙහෙයුමේ කාලයේදී තිබුණාට වඩා බ්‍රහස්පතිගේ වායුගෝලය කැළඹිලි සහිත බව සොයා දෙනවා.

1979 ජනවාරි 30 වෙනිදා සිට, බ්‍රහස්පති ග්‍රහයාගේ භ්‍රමණයන් 10ක් නිරූපනය කිරීම සඳහා වොයේජර් I, පැය 100 ක කාල පරාසයක් සඳහා සෑම තත්පර 96 කට වරක් ම ඡායාරූපය බැගින් ගන්නවා.

1979 පෙබරවාරි 10 වන දින අභ්‍යවකාශ යානය, බ්‍රහස්පතිගේ ජෝවියන් චන්ද්‍ර පද්ධතියට ඇතුළු වනවා. මාර්තු මස මුලදී, බ්‍රහස්පති වටා සැතපුම් 19 කට වඩා අඩු ඝනත්වයකින් යුතු තුනී දුහුවිලි වළල්ලක් ද ඇති බව සොයා දෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ආභරණ (වළලු) පැළඳි එකම ග්‍රහලෝකය සෙනසුරු නොවන බව පෘථිවියේ වැසියන් දැනගන්නේ වොයේජර් I නිසා යි.

වොයේජර් I, 1980 නොවැම්බර් මාසයේ 12 වැනිදා සෙනසුරු අසලින් ගමන් කරමින්, එහි මතුපිට නිරීක්ෂණය ආරම්භ කරනවා. සෙනසුරුගේ අපර වායුගෝලයෙන් 7% ක පමණ ඇත්තේ හීලියම් වායුව බවත්, ජලයට වඩා ඝන වායුගෝලයක් එහි ඇති බවත් අපට කියාදෙන වොයේජර් I ටයිටන් චන්ද්‍රයාගේ, පෘථිවියට මුහුණ නො පාන පැත්තේ ඡායාරූප අපට එවීමෙන් පසුව තම මූලික මෙහෙයුම අවසන් කර සෙනසුරුගෙනුත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයෙනුත් නික්මී ආපසු නො හැරෙන ගමනක් පටන් ගන්නවා. ඇත්තට මම ඔබට කියන්නට ආ කතාව පටන් ගන්නේ දැන්.

මූලික මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව විශ්වයේ යා හැකි සහ, තම දෛවය විසින් තමන්ව රැගෙන යන උපරිම දුර යාමට වොයේජර් I එකඟ වී තිබුණා. යුරේනස් සහ නෙප්චුන් නිරීක්ෂණය වොයෙජර් I ට අදාළ කාර්යයක් වූයේ නැහැ. එහෙත් ඊටත් වඩා වැදගත්, මානව ශිෂ්ඨාචාරයේ අනාගතයේ විශ්වීය ලකුණක් ව දිලිසීමට ඉඩ ලැබෙන හෝ අනපේක්ෂිත හේතුවක් විසින් සුනුවිසුනු කර දැමුණු විශ්වීය අරමුණක මතකයක් බවට පත්වෙන ගමනක වොයේජර් I යෙදෙනවා.

වොයේජර් යානාවන්, මතු යම් දිනෙක, ජීවී ග්‍රහ ලෝකයක සිටින සහෝදර ජීවින් පිරිසක් අතට පත්වනු ඇතැයි ද, එය මතු යම් දිනයකදී (අපට සිතාගත නො හැකි තරම් දුර අනාගත කාලයකදී) පෘථිවි ජීවින් විශ්වයේ හුදෙකලාවූවන් බැවින් මුදවන මිත්‍රත්වයක පළමු හසුන වනු ඇතැයි ද දුර අනාගත බලාපොරොත්තුවක් වොයෙජර් මෙහෙයුමට සම්බන්ධවූවන් තුළ තිබෙනවා. ඒ නිසාම පෘථිවිය යනු කුමක්දැයි වටහාගත හැකි ආකාරයේ, පෘථිවියේ දත්ත; ජීවින්, ශිෂ්ඨාචාර සහ සංස්කෘතීන් පිලිබඳ දත්ත රැගත් තැටි දෙකක් වොයෙජර් යානාවල බහා තිබෙනවා. එයට භාෂා 55කින් සුබ පැතුම්, පෘථිවියේ මිනිසුන්ගේ සහ ස්ථානවල පින්තූර සහ බීතෝවන් සිට චක් බෙරී දක්වා පරාසයක සංගීතය ද ඇතුළත් වනවා.

1990 පෙබරවාරි 14 වැනිදා, වොයේජර් මෙහෙයුම් ප්‍රධානී කාල් සේගන් ප්‍රමුඛ වොයේජර් මෙහෙයුම් නිලධාරීන්, වසරකට කිලෝමීටර මිලියන 325 ක වේගයෙන් අප අතහැර, මානව ශිෂ්ඨාචාරයේ එතෙක් නො ගිය තරමේ දුර ගමනකට නික්මෙන ‘හසුන් කරුවා’ ව නිරීක්ෂණ කරමින් සිටිනවා. තවත් බොහෝ කාලයක් සඳහා යානයේ බැටරි ඉතිරි කරගත් යුතු නිසා තවත් කෙටි වෙලාවකින් පසුව, එහි කැමරා නිවා දැමෙන්නට නියමිතයි. කාල් සේගන්, ඔහුට එක වරම සිතට නැගුනු අදහසකට අනුව, කිසි දිනෙක යළි හැරී බැලීමේ අරමුණකින් තොරව ඉදිරිය බලා යන වොයේජර් I යානයට මොහොතකට ‘අප’ දෙස බලන ලෙස නියෝග කරනවා. යානයේ කැමරාව අවසන් වතාවට තමන් මෙතෙක් ආ දුර දෙසට හැරෙනවා. පෘථිවියේ සිට සැතපුම් බිලියන 3.7 ක් හෙවත් කිලෝමීටර් බිලියන 6 ක් දුර සිට, වොයේජර් සිය කැමරාව ක්‍රියාත්මක කරනවා. පින්තූර 60 ක්. අපි ද ඇතුළුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පින්තූර හැටක්.

සෞරග්‍රහ මණ්ඩලයේ පවුලේ ඡායාරූපය ලෙස හැඳින්වෙන ඡායාරූපයත් මේ අතරේ වනවා. එය පවුලේ ඡායාරූපය වුවත්, එහි බුධ සහ අඟහරු දකිනට නැහැ. ඒ මොහොතේ හිරුට ඉතා සමීපව තිබූ නිසා බුධ ග්‍රහයා මෙම ඡායාරූපයට හසු නො වන අතර, වොයේජර් හිරුට මුහුණ ලූ පැත්තේ ම සිටි නිසා අඟහරු ද අන්ධකාර තිතක් ලෙස නො පෙනී ගොස් තිබෙනවා.

අවසන් සමුගැනීමේ ආචාරය ලෙස වොයේජර් I අප වෙත එවූ ඡායාරූප හැට අතරේ, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මානව ඇසක් විසින් දකින ලද, මානවයා විසින් නිර්මිත කැමරා ඇසක් විසින් මානවයා වෙත හෙළූ අද්විතීය ම බැල්ම සටහන් වී තිබෙනවා. මේ ලිපියත් සමඟ ඇති, සේදුණු නිල් පසු බිමක අව නිල් පැහැති කුඩා තිතක් සටහන් ව ඇති ඡායාරූපය එයයි. ‘පෘථිවියේ සෙල්ෆිය’ ලෙස එය හැඳින්වෙනවා.

අප, අප දෙස කිසි දිනෙක නො බලනු ඇතැයි සිතෙන තරමේ දුරක සිට අප දෙස හැරී බැලූ වොයේජර් I යළි කිසි දිනෙක අප දෙස නො බලන ගමනක් කරා ඉදිරියට යනවා.

මේ මෙහෙයුමෙන් පසුව, සේගන් විසින් The Pale Blue Dot නමින් පොතක් ලියනවා. මේ පොතේ කියවෙන Pale Blue Dot හෙවත් සුදුමැලි නිල් තිත, පෘථිවියයි.

වොයේජර් මෙහෙයුමේ තොරතුරු ද, මානවයා මත වැටෙන මානව කරුණාවේත්, සාමූහික දෘෂ්ඨියේත්, එකිනෙකා තේරුම් ගන්නා වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් බලාපොරොත්තුත් මේ පොතේ ඇතුළත්. ඔබ මීළඟට කියවන පේළි කිහිපය, කෘතියේ විෂයානුබද්ධ කරුණු නොව, සේගන් විසින්, ‘දිදුළන නිල් තිතක් හරහා’ අප තුළ දල්වන මානව සංවේදනයේ ආලෝක පුංජයන්හි සංෂිප්තයක්.

“තව වසර 40,000 ක් ඉදිරියට ගියත් (මේ ලිපිය මම ඔබට ලියන 2022 ට අවුරුදු 39972 ක්) අපට ජීවත් විය හැකි,හුස්ම ගත හැකි වෙනත් ග්‍රහ ලෝකයක් අපි දන්නේ නැහැ. සියලු දේ සිදුවෙන්නේ මේ ලෝකයේ. සතුන් ඉපදීම, ශිෂ්ඨාචාර ගොඩ නැගීම, බිඳ වැටීම, යුද්ධ, කරුණාව, කෝපය මේ සියල්ල සිදු වන්නේ, අනන්ත අභ්‍යවකාශයේ සුදුමැලි නිල් පැහැයෙන් දිදුලන කුඩා තිතකට වැඩි යමක් නො වන ග්‍රහලෝකයේ ………… එය යළිත් අපට අවධාරණය කරනවා අප එකිනෙකා කෙරෙහි වඩාත් කාරුණික විය යුතු බවත් එකිනෙකා ඉවසිය යුතු බවත්. මේ ග්‍රහලෝකය සුරක්ෂිත කරගත යුතු බවත්… මක් නිසාද යත් අප සියල්ලන්ට ජීවත් වීමට ඇත්තේ මේ සුදුමැලි නිල් තිත පමණයි”

කෘතිය රචනා කර දෙවසරකට පසුව, කාල් සේගන් මිය ගියා. ඉන් දෙවසරකට පසුව, එනම් 1998 පෙබරවාරි 17 වැනිදා, වොයේජර් 1, අප දන්නා මානව ඉතිහාසයේ මිනිසාගෙන් වඩාත් ම දුරකට ගිය මිනිසා විසින් නිර්මාණය කළ වස්තුව බවට පත්වුණා. එතෙක් ඒ තැන ලබාගෙන තිබුණේ පයනියර් 10 යානයයි.

2017 සැප්තැම්බර් 5, නාසා ආයතනය වොයේජර් මෙහෙයුමේ හතළිස් වැනි සංවත්සරය සැමරුවා.

තව වසර 300 කින් පමණ වොයේජර් 1 යානය සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින් ධූමකේතු න්‍යෂ්ටි ලක්ෂ ගණනක් පිරුණු ඌට් වලාවට ආසන්න වෙනවා. ඒ තුළින් යාමට අවම වශයෙන් වසර 30,000 ක කාලයක් ගත වනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ. යානයේ ගමන් මග විශේෂයෙන් තරුවකට එල්ල වී නොතිබුණත්, සියල්ල නිසි පරිදි සහ බලාපොරොත්තු වන ආකාරයට ම සිදු වුවහොත්, එළඹෙන වසර 40,000 ඇතුළත එය ‘ග්ලයිස් 445’ නම් තාරකාවට ආලෝක වර්ෂ 1.6 ක් නුදුරින් යාමට නියමිතයි.

2022 ජූනි අවසානයේ වොයේජර් I හි අවසාන එන්ජිමත් ක්‍රියා විරහිත කෙරුණා. ඒත් 2030 වෙනතෙක් ම අපේ සූර්‍ය ගුරුත්වයේ බලපෑම් විසින් යම් දුරකට මෙහෙයවෙන බව අනුමාන කෙරෙනවා. ඉන් පසුව වොයේජර් I කියන්නේ ඉබාගාතේ යන ආදර පණිවිඩකරුවෙක්. සූර්‍ය කුණාටු සහ ග්‍රහකවලින් බේරී ගියොත්, අප නො දන්නා කාලයක, අපි නොදන්නා විශ්ව සහෝදර ජීවියෙකුට වොයේජර් I හමුවෙන්නට ඉඩ තිබෙනවා.

මේ වන විට වොයෙජර් යානා දෙකම පෘථිවියෙන් සැතපුම් බිලියන 11 ක් හෙවත් කිලෝමීටර් බිලියන 18 ක් තරම් දුර ඈතකට ගොස් අවසන්.

අපි නොදන්නා, සිතිය නො හැකි තරම් අනාගත කාලයක, නො දන්නා ලෝකයක, නො දන්නා ජීවියෙක්, බොහෝ විට එවිටත් ඔවුන්ට සහමුලින් ම ආගන්තුක වන (ඔවුන් දැනටමත් හෝ වොයේජර් ඔවුන් කරා යාමට පෙර අපි ගැන දැනගතහොත් හැරෙන්නට) ග්‍රහලෝකයක, අකුරු සහ ශබ්ද දක්වා වර්ධනය වූ භාෂා පනස් පහකින් කියවෙන එකම පණිවිඩය තේරුම් ගැනීමට නො හැකිව අන්ද මන්ද වී බලා සිටීම සිතේ මවාගැනීමේ පොඩි විනෝදයක් නැතුවා ම නොවෙයි.

“Greetings From Earth!”

“පෘථිවියෙන් සුබ පැතුම්!”

(තොරතුරු මුලාශ්‍ර : නාසා වෙබ් අඩවිය, BBC, සහ කාල් සේගන් ගේ The Pale Blue Dot කෘතිය)


සම්බන්ධිත ලිපියක් සඳහා පිවිසෙන්න https://bit.ly/3ff54AO

කාත්තන්කුඩි සමූල ඝාතනය

1990 වසරේ අගෝස්තු තුන්වැනිදා, කොටි සංවිධානයට සම්බන්ධ සංවිධානයක් විසින් කාත්තන්කුඩි -1 මීරාජුම්මා පල්ලිය හා මන්ජන්තොඩුවායි හුසයිනියා පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන්  147 දෙනකු ඝාතනයට ලක්‌වී 256 දෙනෙකු තුවාල ලැබුවා.

මේ ඒ අමිහිරි මතකය යළි ආවර්ජනය කිරීමකි.මේ ලිපියෙ සංවේදී ඡායාරූප අඩංගු ය.මෙහි එන ඡායාරූපවලින් බහුතරය colombotelegraph වෙබ් අඩවියෙනි.ඇතැම් ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඒ 1990 වසරයි. කළු ජූලියෙන් සත් වසක් ගතවී තිබූ අතර ඊට දෙවසරකට පෙර දකුණේ ආරම්භ වූ සිවිල් ජන අරගලවල ගිනි දැල් සහමුලින් ම නිවී ගොස් තිබුණේ නැහැ. උතුරේ සහ නැගෙනහිර බෙදුම්වාදී ගිනි දැල් ද ඒ හා සමානවම ඇවිලෙමින් තිබුණෙන් රට දෙකොන ගිනි දැල්වෙන විලක්කුවක් බවට පත්ව තිබුණා.

1990 නැගෙනහිර

1990 වර්ෂය වනවිට, අද අපේ මතකය දිගහැරෙන සිදුවීම සිදුවූ නැගෙනහිර පළාතේ, කිසිදු ආකාරයක නීතියක් හෝ සාධාරණත්වයක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ නැහැ. තුවක්කුවක් අතැති ඕනෑම කෙනෙකුට ත්‍රස්ත සංවිධානයක් සමඟ කුමන හෝ ආකාරයක ගණුදෙනුවක් ඇතැයි සිතෙන තරමට ම එහි ‘ආයුධ භීෂණය’ පැතිර තිබුණා.

එල්ටීටීඊය පමණක් නොව, එල්ටීටීඊය මුවාවෙන් පෙනී සිටි තවත් කණ්ඩායම්ද කප්පම් ගැනීම්, වදහිංසා පැමිණවීම් ආදිය සිදුකරමින් නැගෙනහිර ජන ජීවිතය අවුලෙන් අවුලට පත් කරමින් තිබුණා.

මායිම් ගම්මානයකට කඩාවදින ත්‍රස්තවාදීන්, එහි සිටි වැසියන් සමූල ඝාතනය කරන අතර, ඉතිරි වන ස්වල්පයක් දෙනා තම ඥාතින්ට අත්වූ බිහිසුණු ඉරණමෙන් කම්පිතව, ගම හැර දමා යන තැනට වැඩ සලස්වනවා. පුද්ගලයන්ගෙන් ශුන්‍ය වූ ඒ ගම ත්‍රස්තවාදීන් විසින් සිය ග්‍රහණයට නතුකරගන්නවා. මේ ආකාරයට කෙමෙ කෙමෙන් ‘මායිම් ගම්මාන’වල මායිම රට තුළට ගෙන එමින් භුමිය අත්පත් කරගැනීම කොටි ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමය වී තිබුණා.

1990 – කාත්තන්කුඩිය

1990 වර්ෂය වනවිට, එතරම් පහසුකම් නොතිබුණු කාත්තන්කුඩිය, එහි බහුතරයක් වූ මුස්ලිම් වැසියන්ට දුෂ්කර නමුත් සාමකාමී දිවියක බලාපොරොත්තු ඇතිකරමින් තිබුණා. වර්ගවාදී යුධ ගිනි දැල් සහ සිවිල් අරගල මැදින් වුවත්, සාමකාමී ලෙස ජීවත් වීමේ ඉඩකඩක් තමන්ට හිමි වෙතැයි ඔවුන් තුළ අපේක්ෂා දැල්වෙමින් තිබුණා.  තමන්ගේ කුඩා ව්‍යාපාර කරන අයට අමතරව, බොහොමයක් කාත්තන්කුඩි වැසියන්ගේ පවුල්වල සාමාජිකයන් අරාබි රටවල සේවයට ගොස් සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳව කාත්තන්කුඩි ප්‍රජාවගේ බලාපොරොත්තු පිළිබඳව ඉඟි පළකරමින් ඒ වනවිට දේශපාලන පක්ෂ කිහිපයක්ම එම ප්‍රදේශයෙන් බිහි වී තිබුණා.

ඒ අපේක්ෂා බිඳ හෙළමින් සිය සාමකාමී ජීවිත පුපුරුවාහරින එල්ටීටීඊය ප්‍රධාන අනෙකුත් සංවිධාන කෙරෙහි ඔවුන්ගේ වූයේ අප්‍රසාදයක්.

මේ අප්‍රසාදය පිළිබඳව එල්ටීටීඊය ප්‍රමුඛ අනෙකුත් සන්නද්ධ කල්ලි ද දැන සිටියා.

එමෙන්ම නැගෙනහිර වාසය කළ දෙමළ බස කතාකරන මුස්ලිම් ජනතාව, දෙමළ ජාතිකයන්ගෙන් බිඳී ආ කොටසක් ලෙස කලකට පෙර එල්ටීටීඊය විසින් හඳුන්වා දී තිබුණත්, මුස්ලිම් වැසියන් විසින් එය එලෙසින් පිළි නොගැනීමත් නිසා, ඔවුන් කෙරෙහි යම් නොරුස්නා හැඟීමක්ද එල්ටීටීඊය වෙත තිබුණා.

මේ සංහාරය සිදුවන කාලය වනවිට කාත්තන්කුඩිහි බලය පැතිරවීමට උත්සහ කළ ඇතැම් සන්නද්ධ කණ්ඩායම් සහ කාත්තන්කුඩි වැසියන් අතර වරින් වර ගැටුම් ඇතිවී තිබුණා.

එමෙන්ම 1989 මහ මැතිවරණයෙන්, මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එම්. ඒ. එල්. එම් හිස්බුල්ලා පාර්ලිමේන්තුවට යාමද, කාත්තන්කුඩි වැසියන් රජය හා සන්ධානගතවීමක් ලෙස එල්ටීටීඊය විශ්වාස කළා.

අගෝස්තු 03. 1990

1990 අගෝස්තු 03, සිරිත් පරිදි සිකුරාදා දේව මෙහෙය වෙනුවෙන්, කාත්තන්කුඩියේ මුස්ලිම් දේවස්ථාන වෙත බැතිමතුන් පැමිණ සිටියා.

යාඥා හඬින් අවට පරිසරය පිරී යමින් තිබුණා.

කාත්තන්කුඩි හි, -1 මීරාජුම්මා පල්ලිය හා මන්ජන්තොඩුවායි හුසයිනියා පල්ලිය ද වෙනදා මෙන්ම කිසිදු වෙනසක් නොමැතිව බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබුණා.

එහෙත් ඒ පල්ලි දෙකේ යාඥා හඬ, විලාප හඬින් මැකී යන්නට එතරම් වෙලවක් ගත වුණේ නැහැ.

ගිනිඅවි, කඩු, කැති වැනි ආයුධවලින් සන්නද්ධව, එම මුස්ලිම් දේවස්ථාන තුළට කඩාවැදුණු ත්‍රස්තවාදීන්, ආගමික වතාවත්වල නිරත වෙමින් සිටි බැතිමතුන්ට ප්‍රහාර එල්ල කළා.

වෙඩි පිට වෙඩි වදිද්දී, ඒවායින් බේරීමට පල්ලිය තුළ හිස් ලූ අත දිව යන්නන් සොයමින්, ඔවුන් හඹා යමින් ත්‍රස්තවාදීන් වෙඩි තැබුවා. ඒ වෙඩි පහරවල් කා ඇදවැටෙන්නන්ගේ සිරුරු කීතු කරමින් තියුණු ආයුධ ක්‍රියාත්මක වුණා.

පැය කිහිපයක් තුළ, කාත්තන්කුඩි වැසියන් 147 දෙනකු ඝාතනයට ලක්‌වී 256 දෙනෙකු තුවාල ලබා තිබුණා.

සුන්දර කාත්තන්කුඩිය පැය කිහිපයක් තුළ, වැන්දඹුවන්ගේ ශෝකාලාපවලින් වැසී ගියා.

තිරිසන් ප්‍රහාරයෙන් පැය කිහිපයක් තුළ, කාත්තන්කුඩියෙන් අඩකටත් වඩා මිහිදන් වුණා.

ඒ කාලය වනවිට කොළඹ ගොස් අධ්‍යාපනය හදාරමින් සිටි, රැකියා කරමින් සිටි බොහෝ දෙනෙකුට යළිත් පැමිණීමට කාත්තන්කුඩියේ ‘නිවෙස්’ තිබුණේ නැහැ. ශෝකය පමණක් ඉතිරිවී තිබුණා.

මෙයට පෙර කොටි ත්‍රස්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු බෞද්ධ ආගමික ස්ථානවලටද, භික්ෂුන්වහන්සේලාටද ප්‍රහාර එල්ල කර තිබුණත්, ආණ්ඩුව කළ සිංහල නායකන්ට අයත් ජනවර්ගයේ නොවන අන්‍ය ජාතියකට මේ සා විශාල ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කිසිවෙකු ඒ දක්වාම විශ්වාස කළේ නැහැ.

කාත්තන්කුඩි සංහාරයෙන් සතියක් ගත වෙද්දී එනම් 1990 අගෝස්තු මස 12 වැනිදා නැගෙනහිර පළාතට අයත් එරාවුර්හි පිච්චිනගර් නමැති මුස්ලිම් ගම්මානට යළි කඩාවැදුණු කොටි ත්‍රස්තවාදීහු එහි තම දෙවැනි මුස්ලිම් සංහාරය පටන් ගත්තා. එහි දී මරුට බිලිවූ ජීවිත ගණන 118ක්.

කාත්තන්කුඩි ප්‍රහාරයෙන් මියගිය සියලු නිරායුධ සිවිල් වැසියන්ට ඔවුන් පැතූ මෝක්ෂය ලැබේවා!

කිසි දිනෙක, කිසිදු ආකාරයක යුද්ධයක් ඇති නොවේවා!

පසුසටහන :

වර්තමානයේ ඔබ දකින කාත්තන්කුඩිය, කුඩා අරාබියකට සමානයි. එක වසර ගණනක් තිස්සේ ක්‍රමිකව සිදු වූවකට වඩා, එක රැයින් සිදුවූවක් මෙන් පෙනෙන්නට තිබෙනවා. එසේ වීමට මූලික හේතුව වූ දිනයත්, අගෝස්තු තුන ප්‍රහාරයට ඉතා ආසන්නයේ සිදුවූවක්. 1990 අගෝස්තු 02, එනම් කාත්තන්කුඩි ප්‍රහාරයට දිනකට කළින්  ඇමරිකාව  මෙහෙයුමක් ආරම්භ කළා. Desert Shield මෙහෙයුම ලෙස හැඳින්වෙන එය, ගල්ෆ් යුද්ධයේ පළමු, ප්‍රධාන පියවර බවට පත් වුණේ, අරාබි රටවල සේවය කළ දහස් ගණනකට සිය රැකියා හැරදමා මෙරටට ඒමට සිදු කරමින්. එසේ ආ අය අතර කාත්තන්කුඩි වැසියන්ද විශාල ප්‍රමාණයක් වුණා. ඔවුන් සිය උපන් බිමේ නව ගොඩනැගිල් බොහොමයක් ඉදිකළේ, ඔවුන් රැකියා කළ අරාබි රටවල ගෘහ නිර්මාණ ශිල්පයට අනුවයි. එමෙන්ම ඔවුන් අරාබි සංස්කෘතියේ විශාල කොටසක් ද ඒ සමඟම රැගෙන විත් තිබුණා.

අන්ධ භක්තියක ඛේදනීය අවසන් නැවතුම – ජෝන්ස්ටවුන් ඛේදවාචකය



වඩාත් යහපතක් අපේක්ෂාවෙන්, තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කෙරෙහි විචක්ෂණශීලි නොවන අන්දමේ අන්ධ භක්තියක් සහ විශ්වාසයක් තබන මිනිසුන් කොටස් විවිධ කාලවල ලෝකයේ විවිධ ප්‍රදේශවල වාසය කරනවා. සිය සන්තක වත්කම් ද, දිවි පෙවෙත් ද, පැවැත්ම ද, පැවැත්මේ හේතුවද සියල්ලම අන්ධ භක්තිය හමුවේ උගස් කළ මිනිසුන් බොහෝ විට සිය දිවි ගමන නිමා කරන්නේ අතිශය ඛේදාන්විත ආකාරයෙන්.

ඛේදාන්විත අවසානයටත් වඩා ඛේදවාචකය වන්නේ , ඔවුන් මේ විශ්වාසය නිසා තමන්ගේ මෙළොව දිවි ගමන කෙතරම් තිත්ත කටුක බවට පත්කරගන්නවාද යන්නයි. ඔවුන්ගේ ඒ කැප කිරීම මත ඔවුන් විශ්වාස කළ බලවේග කෙතරම් සුඛෝපභෝගී ජීවිත ගත කරනවාද යන්න ඔවුන් නො දැනම, සිය දිවි ගමන අවසන් කිරීමයි.

මේ අද ඔබට කියන කතාව සිදුවන්නේ 1978 වසරේ නොවැම්බර් මාසයේ 18 වැනිදා ගයානාවේ.

මළ සිරුරුවලින් වැසී ගිය බිමක්

1978 නොවැම්බර් 19 වැනිදා, ගයනා පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ගයානාවේ අගනුවර වූ ජෝර්ජ්ටවුන්වලින් කිලෝමීටර් 240 ක් දුරින් පිහිටි ජෝන්ස්ටවුන් ජනපදයට යන්නේ, ඊට දේ දිනකට පෙර, එක්සත් ජනපද කොංග්‍රස් සාමාජිකයෙකු වූ  ලියෝ රයන් ඇතුළු කණ්ඩායමක් එහිදී වෙඩි වැදී මියයාම පිළිබඳව සොයා බැලීමේ අරමුණින්.

ඔවුන් එහි ඇතුළු වන්නේ, එක්සත් ජනපද දූත පිරිසෙහි මළ සිරුරු කිහිපයක් යළි රැගෙන යාමේ අපේක්ෂාවෙන්. එහෙත් ඔවුන් ව පිළි ගැනීමට දෙනෙත් අදහාගත නො හැකි තරමේ බියකරු දසුනක් සුදානමින් තිබෙනවා.

ඒ මළ සිරුරු පිරුණු බිමක්.

මුළු ජෝන්ස්ටවුන් ජනපදය ම එහි වැසියන්ගේ මළ සිරුරුවලින් වැසී ගොස් ඇති ආකාරය මේ පොලිස් නිලධාරීන් දකිනවා.

මේ මිනිසුන්; ගැහැනුන්, පිරිමින් සිය දරු පවුල් පිටින්, ජෝන්ස්ටවුන් ජනපදය පුරා මෙලෙස අවසන් ගමන් යාමේ කතාව ආරම්භ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

මළ සිරුරුවලින් වැසී ගිය බිමක් – ජෝන්ස්ටවුන් – 1978 නොවැම්බර් 19

ජිම් ජෝන්ස්ගේ ‘පීපල්ස් ටෙම්ප්ල්’

 ජිම් ජෝන්ස්, 1931 මැයි 13 වැනිදා උපදින්නේ ජේම්ස් වොරන් ජෝන්ස් නමින්. කුඩා කළ සිට ම අනෙකාව පාලනය කිරීමේ දැඩි වුවමනාවක් දැක්වූ ජිම්, මතු දිනක ආගමික නායකයෙකු හෝ දේශපාලන නායකයෙකු වනු ඇතැයි ඔහුගේ මව්පියන් විශ්වාස කළා.

දැඩි ප්‍රොතෙස්තන්ත්‍ර අනුගාමිකයෙකු වූ ඔහු කිතු දහමේ විවිධ නිකායන්වල ඉගැන්වීම් අධ්‍යනය කරමින් සිය තුරුණු විය ගත කළේ පාස්ටර්වරයෙකු වීමේ අභිලාෂයෙන්. වැඩි කල් නොගොස් ම ඔහුට පාස්ටර්වරයෙකු වීමට හැකි වනවා. ආගම පිළිබඳව ඔහුගේ අති මහත් දැනුම නිසා ම ජේම්ස් වොරන් ජෝන්ස්ට ඉතා ඉක්මනින් විවිධ කිතුනු ආගමික ස්ථානවල කැපී පෙනන තනතුරු හිමි වනවා. ඒ කාලයේ ඔහු ප්‍රකට වන්නේ  ජිම් ජෝන්ස් නමින්.

ජිම් ජෝන්ස්

දේශපාලනය, සිවිල් අයිතීන් සහ තවත් සමාජ – ආර්ථික ගැටළු ගැන ද යම්තාක් දුරට යහපත් දැක්මක් තිබූ ඔහු, ‘මිනිසුන් උදෙසා ඇදහීමක් නිර්මාණය කළ යුතු ය’  යන්න විශ්වාස කරනවා. මේ විශ්වාසය ඔහු විසින් දැරීම නිසාම, යම් යම් නිදහස් අදහස් ද තිබූ, එහෙත් දැඩි සේ ආගමික භක්තිය ද තිබූ පිරිසක් ඔහු වටා එක් වනවා.

මේ සියල්ලම සමඟ  ජිම් ජෝන්ස් විසින් 1955 ‘පීපල්ස් ටෙම්ප්ල්’ නම් ආගමික සංවිධානය පිහිටුවනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ජනපදයේ ඉන්ඩියානාපොලිස් හිදී යි.

දෙවියන් මම යි

මුලින් ම, බයිබලයේ ඉගැන්වීම් පදනම් කරගන, මිනිස් ජීවිත වඩාත් යහපත් කිරීම අරමුණු කොටගෙන මෙය පිහිටවූ නමුත් කල්ගත වීමේදී ඔවුන් වඩ වඩාත් දේශපාලනික මුහුණුවරක් ගැනීමට පටන්ගන්නවා. ඔවුන්ගේ මේ නව දේශපාලනික මුහුණුවර හැඳින්වෙන්නේ ‘ක්‍රිස්තියානි සමාජවාදය’ නමින්. ඇත්ත වශයෙන් ම මේ ආගමික කල්ලිය, ඔවුන්ගේ ම රාජධානියක් පිහිටුවීමේ අරමුණක් කරා ඒකරාශී වන බවක් මුල සිටම, ඉන් පිටත සිටින්නන්ට හැඟවෙන ලෙස ක්‍රියා කරනවා. ‘වඩා යහපත් සහ සියල්ලන්ටම සමාන පිළිගැනීම ලැබෙන’ මිනිසුන්ගේ ඇදහිල්ලේ රාජධානියක් පිළිබඳව තමන් සිහින දකින බව ජිම් ජෝන්ස් විසින් සිය දේශනවලදී පවසනවා. මේ ආගමික සංවිධානය කෙරෙහි, ඉන්ඩියානාපොලිස්හි සාමාන්‍ය වැසියන්, (මෙහි සාමාන්‍යවැසියන් ලෙස හැඳින්වූයේ මෙම කල්ලියේ ඇදහීම්වලට සම්බන්ධ නොවූ පිරිස් ය.) සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ, ජිම් ජෝන්ස් හට සිය ආගමික කල්ලියේ මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව මතුවනවා.

‘පීපල්ස් ටෙම්ප්ල්’ යාඥාවක්

1964 දී තවත් ප්‍රොතෙස්තන්ත්‍ර ඇදහීම් කණ්ඩායමක් සමඟ අත්වැල් බැඳගන්නා ජිම් ජෝන්ස්ගේ ‘පීපල්ස් ටෙම්ප්ල්’ කල්ලිය, නව මූලස්ථානයක් සොයා ඇමරිකාවේ දකුණු දිග කොටසේ සංචාරය කරනවා. 1965 වසරේදී ජිම් ජෝන්ස් සිය ‘පීපල්ස් ටෙම්ප්ල්’ කැලිෆෝනියාවට ගෙන යන අතර, එහි මූලස්ථානය සැන් ෆ්‍රැන්සිස්කෝවේ රෙඩ්වුඩ් ප්‍රදේශයේත් තවත් ශාඛා කැලිෆෝනියාවේ විවිධ ප්‍රදේශවලත් පිහිටුවනවා.  මේ කාලයේ ඔහු විසින්, සිය දේශපාලන දැනුම සහ සබඳතා පාවිච්චි කරමින් දේශපාලන ලෝකයේ ප්‍රබලයන් හා සම්බන්දතා පවත්වනවා.  කැලිෆෝර්නියා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරි බ්‍රවුන්, ඇමෙරිකාවේ උප ජනාධිපති වෝල් මොන්ඩේල් ඇතුළු දේශපාලනඥයන් ජිම් ජෝන්ස් සමඟ සාකච්ඡා පවත්වන අතර මේ සබඳතා ඔස්සේ ඔහු ඔහුට නො තිබූ බලයක් මවා පාමින් සිය විරුද්ධවාදීන් කෙරෙහි ද සිය අණසක පතුරවනවා.

1970 වසර වනවිට ජිම් ජෝන්ස්, කිතු දහම අවඥාවට ලක් කරන්නට පටන්ගෙන තිබෙනවා. ඔහු සිය දෙසුම්වලදී කිතු දහම විවේචනය කරන අතර, සැබෑ දෙවියන් තමන් බවත්, තමන් කරා පැමිණ විමුක්තිය ලබාගන්නා ලෙසටත් පවසනවා. මේ කාලය වනවිට ‘පීපල්ස් ටෙම්ප්ල්’ සංවිධානයට යම් සැලකිය යුතු මට්ටමේ අප්‍රසාදයක් මහජනතාවගෙන් එල්ල වෙමින් පවතිනවා.

දේදුනු පවුලක්

මේ කාලයේ ‘වර්ගවාදය තුරන් කිරීම වෙනුවෙන්’ බව පවසමින් කියා ජිම් ජෝන්ස් සහ ඔහුගේ බිරිය මාසෙලීන් ජෝන්ස් දෙදෙනා ‘දේදුනු පවුලක්’ යයි සංකල්පයක් අනුගමනය කරන්නට පටන් ගන්නවා. ඒ අනුව ඔවුන් දෙදෙනා, කළු ජාතික, කොරියානු, ස්වදේශී ඇමරිකානු හා කළු හා සුදු ඇමරිකානු දරැවන් හදාගන්නට ගන්නවා. ජෝන් සහ මාසෙලීන් යුවලට උපදින එකම දරුවා,  ස්ටීවන් ගාන්ධි ජෝන්ස් ලෙසට නම් කෙරෙනවා.

මේ දෙදෙනාට දාව උපන්නේ එක දරුවෙකු පමණක් වුවත්, ජිම් ජෝන්ස් සිය සංවිධානයේ කාන්තාවන් කිහිප දෙනෙකුම ගර්භනී බවට පත් කරනවා. ඔවුන්ට උපදින දරුවන් ද සංවිධානයේ දරුවන් බවට පත්වෙනවා.  ලිංග භේද නො සලකා සිය ලිංගික සම්බන්දකම් පවත්වාගන ගිය ජිම් ජෝන්, සංවිධානයේ බාල වයස්කාර දරුවන් අපහරණය කරන බවටත් ආරංචි පැතිර යනවා.

දේදුනු පවුල

විවේචන හමුවේ

1972 දි ලෙස්ටර් කින්සොල්වින් නම් පූජකවරයෙකු මේ ආගමික සංවිධානය පිළිබඳව විවේචනාත්මක ලිපි ‍පෙළක් ලියනවා. මේ පූජකවරයා එකල සැන් ෆ්‍රැන්සිස්කෝවේ පුවත්පතක් වූ San Francisco Examiner හි ආගමික පුවත් සංස්කාරකවරයා ද වනවා. ‘පීපල්ස් ටෙම්ප්ල්’ දෙස සමීපව බලා ලියූ මේ ලිපි පෙළ මගින් මෙම සංවිධානය හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා, ශාරීරික හිංසන මෙන් ම දේවධර්ම ශාස්ත්‍රය විකෘති කිරීම ද විවේචනයට ලක්වෙනවා. එතෙක් ඉතිහාසයේ ‘පීපල්ස් ටෙම්ප්ල්’ වෙත එල්ල වූ ප්‍රබලම විවේචනය වූ මේ ලිපිය නිසා ජිම් ජෝන්ස් කලබලයට පත්වෙනවා. එමෙන් ම මේ කාලයේම, ‘පීපල්ස් ටෙම්ප්ල්’ හි සාමාජිකයින් අට දෙනෙකු ද සංවිධානය හැර යනවා.

මේ පිරිස සංවිධානයෙන් ඉවත්වීමෙන් සංවිධානයේ රහස් හෙළිවනු ඇතැයි යන බිය මෙන් ම, මේ හෙළිදරව් කිරීම් නිසා පොලීසියෙන් සහ ජනමාධ්‍යවලින් එල්ලවිය හැකි බලපෑම් ද හමුවේ ඔවුන් ඉතා ඉක්මනින් ම බාහිර පාර්ශවලට අත පෙවිය නො හැකි මානයේ රාජධානියක් ආරම්භ කිරීමට සැලසුම් කරනවා.

රාජධානියක් සොයා

දුෂ්කර පෙදෙසෙක, මුල සිට ම සිය ආගමික මධ්‍යස්ථානයේ රාජධානිය ගොඩ නැංවිය යුතු යයි සිතන ජිම් ජෝන්ස්, මුලින් ම කැනඩාව  සහ බ්‍රසීලය පුරා සංචාරය කරනවා. එහෙත් ඒ රටවල් දෙකම ඔහුගේ සිතැඟිවලට ගැලපෙන්නේ නැහැ. ඕන අනතුරුව, ඔහු විසින් ට්‍රිනිඩෑඩ්, හා බාබඩෝස් ආදී රටවල් සලකා බලන අතර, 1972 අග ඔවුන් සිය අවසන ඔවුන් ‘පීපල්ස් ටෙම්ප්ල්’ රාජධානිය ගොඩ නැංවීම පිණිස දකුණු ඇමරිකාවේ ගයනාව ‍තෝරාගන්නවා.

1973 ඔක්තෝබර් මස, ‘පීපල්ස් ටෙම්ප්ල්’ සාමාජිකයන් කෘෂිකාර්මික මීසමක් පිහි‍ටුවීමට සම්මත කරගන්නා අතර, ඒ වනවිටත් ඔවුන් සිය සාමාජිකයන් හරහා එකතු කරගෙන තිබූ මුදල් සම්භාරයෙන් කොටසක් යොදාගෙන,  1974 වර්ෂයේදී ගයනා අගනුවර වන ජෝර්ජ්ටවුන්වලින් සැතපුම් 150 ක්, එනම් කිලෝමීටර 240ක් ඈතින් වූ වනගත භූමියකින් අක්කර 3800ක් බද්දට ගන්නවා.  ඔවුන් මෙය බදු ගන්නේ වෙළඳ ගිවිසුමක් යටතේ කෘෂිකාර්මික පර්යේෂණාත්මක අධ්‍යනයකට බව පවසමින්.   මේ භූමියට ආසන්නතම ජල සැපයුමට එතන සිට සැතපුම් නමයක් තිබීම තමන් හට ප්‍රශ්නයක් නො වන බවත් ඔවුන් මෙහිදී පවසනවා.

මේ කාලය වනවිට ගයානාව වෙනිසුවේලාවත් සමඟ දේශසීමා අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජිම් ජෝන්ස් බදු ගත් මේ ඉඩම, ගයානාවේ අගනුවර වූ ජෝජ්ටවුන් සහ වෙනිසුවේලා දේශසීමාව ආසන්නයේ තිබීම මගින්, අරබුදයකදී තමන්ට ‘ඇමරිකානු වැසියන්ගේ සහය’ ලැබෙනු ඇති බවත් ගයානා පාලකයන් විශ්වාස කරනවා.

රාජධානිය ගොඩ නැංවෙයි

1974 වර්ෂයේදී  ‘පීපල්ස් ටෙම්ප්ල්’ සාමාජිකයන් කිහිපදෙනෙකු පැමිණ මේ බදු ගත් භූමිය සිය වාසස්ථානය බවට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කරනවා. මේ කාලයේ කිහිප වරක් ම ගයානාවට පැමිණ යන ජිම් ජෝන්ස්, තමන් සමඟ ගයානාවේ වාසයට යාම සඳහා සිය අනුගාමිකයන් පොළඹවා ගැනීමට දේශනා පවත්වනවා. එක්සත් ජනපදයේ එතෙක් ඔවුන් ගත කළ ජීවිතයත්, සියලු සබඳතාත් අතහැර ජිම් ජෝන්ස් ගේ රාජධානියට යාමට එකඟවන හයසියයකට ආසන්න පිරිසක් සමඟ ජිම් ජෝන්ස් 1975 වසරේදී ගයානාවට පැමිණෙනවා. ඔහු මේ ජනාවාසය නම් කරන්නේ ඔහුගේ නමේ වූ ‘ජෝන්ස්’ කොටස යොදාගෙන ‘ජෝන්ස්ටවුන්’ නමින්.

‘ජෝන්ස්ටවුන්’
‘ජෝන්ස්ටවුන්’

1977 වසරේදී නැවතත් කෙටි සංචාරයකට එක්සත් ජනපදයට යන ජිම් ජෝන්ස් තවත් අනුගාමිකයින් රැසක් රැගෙන ගයානාවට පැමිණෙනවා. මේ වනවිට ‘ජෝන්ස්ටවුන්’ ජනගහනය හත්සියය ඉක්මන්වමින් තිබෙනවා.

1978 වන විට එහි ජනගහනය 1000 පමණ දක්වා ඉහළ නැග තිබුණා. මේ අතරේ එක්සත් ජනපදයෙන් සංක්‍රමණය වූ පිරිස් මෙන් ම ‘ජෝන්ස්ටවුන්’ හි උපන් බිලිඳුන් ද වුණා.

පාරාදීසය ද අපාගත සිර කඳවුරක් ද?

එක්සත් ජනපදයේ සාපේක්ෂ සුව පහසු ජීවිතය හැරදමා ගානාවේ කෘෂිකාර්මික ජීවිතයකට පැමිණි ‘පීපල්ස් ටෙම්ප්ල්’ වැසියන් ඔවුන්හට සාමකාමී සහ මානසික නිදහස ලැබෙන ආකාරයේ ජීවිතයක් ලැබෙතැයි අපේක්ෂා කරනවා. එහෙත් රාජධානිය ගොඩනැගීම සඳහා ඔවුන් හට දවස පුරාම පාහේ වැඩ කිරීමට සිදු වෙනවා. දිවා කාලයේ සිය දරුවන් හමුවීම ඔවුන් හට තහනම් වන අතර දිනය පුරාම බිම් සකස් කිරීම, වගා කිරීම සහ ජලය ගෙන ඒම ඔවුන් හට සිදු කිරීමට ලැබෙනවා.

ඒ මුළු කාලය තුළම, ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ජිම් ජෝන්ස් සිය දේශනා තම අනුගාමිකයන්ට ඇසෙන්නට සලස්වනවා. මේ දේශනා මධ්‍යම රාත්‍රිය තෙක් ම පැවැත්වෙනවා. ජිම් ජොන්ස් සිය අනුගාමිකයන් ලවා ‘පියා’, ‘පියතුමා’ සහ ‘දෙවියන්’ ලෙස තමන්ව හඳුන්වා ගන්නවා. 

අධික වෙහෙසට පත්ව සිටින මේ පිරිසට, ‘දෙවියන්ගේ’ දැඩි නීති මාලාවකටත් මුහුණ දෙන්නට සිදු වෙනවා. ඔවුන්ට ජෝන්ස්ටවුන්වලින් පිට වී යන්නට අවසර නො ලැබෙන අතර,  සෝවියට් දේශපාලන අරමුණු සහ ඇමෙරිකන් සමාජ ගැටළු ගැන වාර්තාකරණ චිත්‍රපටි පමණක් බලන්නට ඉඩ ලබෙනවා. මේ අතරේ,  උතුරු කොරියාවේ භාවිතා වන ‘මොළ සේදීමේ’ ක්‍රියාවලියකට ද ඔවුන් ව වරින් වර ලක් කෙරෙනවා.

දිනකට පැය අටක් වැඩ කිරීමත්, ඉන් පසුව සංවිධානයේ ප්‍රමුඛයන් ලවා සියලු වැසියන්ට තවත් පැය අටක් සමාජවාදය අධ්‍යයනය කරවීමටත් ජිම් ජෝන්ස් ක්‍රියා කරවනවා.  ඔහුගේ නිවසේ වූ රේඩියෝවෙන් රේඩියෝ මොස්කව් සහ රේඩියෝ හවානා අසන ජිම් ජෝන්ස්, ශබ්ද විකාශන ඔස්සේ එම පුවත් සිය සාමාජිකයන්ට පවසනවා.

ජිම් ජෝන්ස් යාඥාවක් මෙහෙයවමින්
ජිම් ජෝන්ස් සහ ඔහුගේ බිරිඳ මර්සිලින්, දේශනයක් අතරතුරදී

ගොවිපලකට නුසුදුසු නිසරු පසේ වැඩිපුරම වැවෙන රළු බෝංචිවලින් යැපෙමින් ජෝන්ස්ටවුන් වැසියන් දිනපතා වැඩ කරනවා.

රැකියා විරහිතයන් වෙනුවෙන් ඇමරිකානු රජය විසින් ගෙවන සුබසාධන සහනාධාර මුදලට, ජෝන්ස්ටවුන් වැසියන් හිමිකම් කියනවා. මේ මුදල ඇමරිකානු ඩොලර්  $65,000 ක්. ජෝන්ස්ටවුන් වැසියන් මේ මුළු මුදල ම සිය ආගමික ආයතනයට පවරා දෙනවා. මේ කාලය වන විටත් එක්සත් ජනපදයේ දිගින් දිගටම  ‘පීපල්ස් ටෙම්ප්ල්’ විවේචනය වන පුවත් පළ වෙනවා.  ලෙස්ටර් කින්සොල්වින් ප්‍රමුඛ මාධ්‍යවේදීන් වරින් වර මේ සංවිධානයේ පිළිවෙත ප්‍රශ්න කරනවා.

1977 වසරේදී, ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ජෝන්ස්ටවුන් හි වැසියන් 75 දෙනෙකු හමු වී මෙලෙස සුබසාධන මුදල් ආගමික ආයතනයට පවරා දෙන්නේ කැමැත්තෙන් ද යන්න විමසනවා. එමෙන් ම ඔවුන් ව බලහත්කාරයෙන් ජෝන්ස්ටවුන් හි රඳවාගෙන සිටිනවාද යන්නත් ඔවුන් විමසනවා. එහෙත් ජෝන්ස්ටවුන් වැසියන් 75 දෙනා ම පවසන්නේ සිය ජීවිත ඉතා යහපත් බවයි.

1978 වසරේ ‘පීපල්ස් ටෙම්ප්ල්’ ආදායම ඩොලර් මිලියන විසිහයක් පමණ වනවා. මෙය එකල මෙවන් කුඩා ආගමික සංවිධානයක් සතු වූ විශාලත ම ආදායමයි.

ධවල රාත්‍රීන්

1978 වසරේ ජිම් ජෝන්ස්ගේ සෞඛ්‍යය දැඩි ලෙසට පිරිහෙන්නට පටන් ගන්නවා.  පෙනහළු පිළිකාවක් නිසා ඔහු වේදනා නාශක බෙහෙත් පාවිච්චි කරන අතර, කෙමෙ කෙමෙන් ඒවාට ඇබ්බැහි වනවා. ඔහු සිය දේශනවලදී ඇමරිකානු සංවිධාන ජෝන්ස්ටවුන් විනාශ කිරීමට කටයුතු කරන බව පවසනවා. එවන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ විටෙක සිය උදාර අරමුණ දරාගෙන සියදිවි නසාගැනීම යහපත් බව ඔහු පවසනවා.

ජිම් ජෝන්ස් මධ්‍යම රාත්‍රියේ  හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කර සියළුම සාමාජිකයින් එක් ‍රැස් කරගන, කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත්, සියදිවි නසාගැනීම, හෝ සටන් කිරීම යන දෙකෙන් එකක් තෝරාගැනීම කළ යුතු බවත් පවසන්නට කටයුතු කරනවා. මේ වෙනුවෙන් ඔහු ඡන්දය විමසනවා. සියදිවි නසාගැනීම සම්මත වූ වාරයන් දෙකකදී ඔහු කුඩා දරුවන් ද ඇතුළුව සාමාජිකයින් පෝලිම් ගස්වා ඔවුනට සයනයිඩ් අඩංගු බව කියන පානයක් ඔවුන්ට ලබා දෙන්නේ මරණයේ සැනසීම  මිනිත්තු 45ක් ඇතුළත ඔවුනට ලබා දෙන බව කියමින්.

එහෙත් මේ පානයෙන් කිසිවෙකුත් මිය නො යන අතර සාමාජිකයන් සංවිධානයට පක්ෂපාතීත්වය පරීක්ෂා කිරීමට ඔහු විසින් මෙය කළ බවත්, මෙම පානය පැණි බීමක් පමණක් බවත් පසුව ඔහු විසින් ම හෙළි කරනවා.

මෙම විකාර සහගත රාත්‍රීන් ඔහු විසින් හඳුන්වන්නේ ධවල රාත්‍රීන් ලෙසටයි.

මරණය දෙසට තල්ලුවක් – රාජධානි බිඳ වැටෙයි

මේ කාලය වනවිට,  ජෝන්ස්ටවුන්හි  සිදුවන සිදුවීම් තවදුරටත් එක්සත් ජනපද පුවත්පත්වල පළ වෙනවා.

මේ ආරංචි, ජෝන්ස්ටවුන් වෙත ගිය සිය ඥාතින් පිළිබඳ විමසිල්ලෙන් සිටින ඇමරිකානුවන්ට යහපත් ආරංචි වූයේ නැහැ. ඔවුන් කමිටුවක් සෑදී එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික ලියෝ රයන්ව හමු වනවා. සති කිහිපයක පෙළඹවීම් හමුවේ ජෝන්ස්ටවුන්වලට ගොස් එහි තත්ත්වය පරීක්ෂා කිරීමට ලියෝ රයන් එකඟ වනවා. ඒ අනුව ඔහු 1978 නොවැම්බර් 14 වැනිදා ඔහු NBC නාලිකාවේ ජනමාධ්‍යකරුවන් ඇතුළු 18 ක පිරිසක් සමඟ ගයානාවට යනවා. නමුත් මේ පිරිසට තම රාජධානියට ඇතුළු වීමට ඉඩ දීම, ජිම් ජෝන්ස් විසින් ප්‍රතික්ෂේප කරනවා. පැය කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසුව, මේ දූත පිරිසෙන් සිව් දෙනෙකු පමණක් සිය නගරයට ඇතුළු කරගැනීමට ජිම් ජෝන්ස් එකඟ වනවා.

එක්සත් ජනපද කොංග්‍රස් සාමාජික ලියෝ රයන්

පළමු දිනයේ ලියෝ රයන් ඇතුළු පිරිස ජෝන්ස්ටවුන් හි අවසර ලත් කොටසට ඇතුළු වී සංචාරයේ යෙදෙනවා. රාත්‍රියේ ඔවුන් නැවතුණු ස්ථානයට පැමිණෙන ජෝන්ස්ටවුන් වැසියන් දෙදෙනෙකු, තමන් ව මෙයින් ගලවා ගන්නා ලෙසට ඔහුට දැනුම් දෙනවා. රයන් ඇතුළු පිරිස ජෝන්ස්ටවුන් හි රාත්‍රිය ගෙවන විට, එහි ඇතුළු වීමට අවසර නො ලද දූත පිරිස ඊට ආසන්නයේ වූ ගුවන් යානා පථයක් සහිත පෝට් කයිටුමා ටවුමේ රැඳී සිටිනවා.

වරින් වර කිහිප දෙනෙකුම වශයෙන් කණ්ඩායම් පැමිණ, තමන් ව මෙම ‘මිහිපිට අපායෙන්’ ගලවා ගන්නා ලෙසට ඉල්ලා සිටිනවා. මේ පිරිස ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා.

නොවැම්බර් 17 වැනිදා ජෝන්ස්ටවුන් හි ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ පවුලේ අය ඇතුළු 11 දෙනෙක් ජෝන්ස්ටවුන්වලින් ජෝර්ජ්ටවුන් වෙත පලා යනවා. 

ලියෝ රයන් මෙම පිරිස රැගෙන යාමට ගුවන් යානයක් එවන ලෙස එක්සත් ජනපදයට දන්වනවා.

දූත පිරිස ජෝන්ස්ටවුන්හිදී

මේ වනවිට තම බලාධිකාරයට තර්ජනයක් වන යමක් සිදුවන බව වැටහෙන ජිම් ජෝන්ස් අතිශය කලබලයට පත්වනවා. සිය සමාජිකයින් පල්ලිය හැර යෑමට උත්සාහ කිරීම ගැන කෝපයෙන් ශාප කරමින් එහෙ මෙහෙ ඇවිදින ඔහු ‘I’m your God’ යනුවෙන් දිගින් දිගට ම පවසනවා.

මේ අතර ජිම් ජෝන්ස් සිය ප්‍රධානතම අනුගාමිකයාට පිහියක් දී, කෙටි යාඥාවක් කර, රයන් ව මරා දැමීමට කටයුතු කරන ලෙස පවසා ඔහුව පිටත් කර සිටිනවා.

ඒ උත්සාහය අසාර්ථක වනවා.

ලියෝ රයන් ඝාතනය

රයන් ඇතුළු පිරිස සමඟින් ආපසු එක්සත් ජනපදය බලා යාමට පැමිණෙන පිරිස කෙමෙන් වැඩි වනවා. මේ අතර ඇතැම් අනුගාමිකයන් එළිපිටම ජිම් ජෝන්ස්ව අවඥාවට ලක් කරනවා. මේ පිරිස ලියෝ රයන් රැඳී සිටි ස්ථානයට පැමිණ, ගුවන් යානයක් එන තෙක් සිටිනවා. නොවැම්බර් 18 වැනිදා උදෑසන එළඹෙනවා.

මේ පිරිස අතරේ ජිම් ජෝන්ස් විසින් එවන ලද ජෝන්ස්ටවුන් හි සාමාජිකයෙක් වූ ලැරී ලේටන් නැමැත්තාද සිටිනවා.  පළමු ගුවන් යානය ගුවනය පැමිණෙන අතර මගීන් එයට නගිනවා. එය පියාසැරිය අරඹන මොහොතේ ලැරී ලේටන් එතෙක් ඔහු සිය කමිස අතෙහි සඟවාගන සිටි අවියෙන් හතර අතේ වෙඩි තබනවා. එවිට ම ට්‍රැක්ටරයක නැගී පැමිණෙන තවත් පිරිසක් මේ ප්‍රහාරයට එකතු වෙනවා.

මෙහිදී ලියෝ රයන් ඇතුළු පස් දෙනෙක් ඝාතනය වනවා.

පළමු ගුවන් යානය
වෙඩි තැබීමෙන් මියගිය ලියෝ රයන් ඇතුළු පිරිසගේ සිරරු ඉවත්කරන බලධාරීන්
ජැකී ස්පෙයර්, කොංග්‍රස් සභික ලියෝ රයන්ගේ සහයිකාවකි. වෙඩි උණ්ඩ පහකින් තුවාල ලබා දිවි ගලවාගත් ඇයව, ගුවන් මගින් රෝහලට ගෙනයන අවස්ථාවයි මේ. පසු කාලීනව ඇය කොංග්‍රස් සභිකයෙකු වූවා ය.

එකට මැරෙමු

මේ වනවිට ජෝන්ස්ටවුන් එකම අවුලක් වී තිබෙනවා. රයන් ඝාතනයෙන් පසුව සිය රාජධානිය අවසානයට පැමිණ ඇති බව ජිම් ජෝන්ස් වටහාගන තිබෙනවා.

ඔහු තරමක අපිළිවෙල පෙනුමේ යුතුව, සිය රාජධානියේ ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණෙනවා. ඉන්පසුව ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ‘ධවල රාත්‍රියක්’ නිවේදනය කරනවා. මේ නිවේදනය ඇසුණු බහුතරයක්, ජෝන්ස්ටවුමේ ප්‍රධාන ගොඩනැගිල්ල වූ දේවස්ථානය ඉදිරියට රැස්වෙනවා.

පිටතින් පැමිණි යක්ෂ ඒජන්තවරයා වූ කොංග්‍රස් සාමාජිකයා ගමන් ගන්නා ගුවන් යානය යමෙකුගේ වෙඩි පහරෙන් කඩා වැටී එහි සිටින්නන් මියයන බවත්, එහි වරද තමන් සහ අනුගාමිකයන් මත පත්වන බලධාරීන්, ජෝන්ස්ටවුන් වැසියන් සමූහා ලෙස මරා දමන බවත් ‘ඉහළ බලවේගයක් විසින්’ තමන්ට දැනුම් දුන් බවත් පවසනවා. මේ ඇසෙන ඇතැම් අනුගාමිකයින් බිම වැටී වඳින්නට පටන් ගන්නවා.

බලධාරීන්ගේ උණ්ඩයට වඩා, අප සියලු දෙනා සියළුදෙනාම ‘ශුද්ධ වූත්, විප්ලවීය වූත්’ මරණය තෝරාගත යුතු යි ඔහු පවසනවා. ඇතැම් සාමාජිකයන් මෙයට එරෙහිවන අතර, ඉක්මනින් පළා යමු යි ඔවුන් ජෝයනා කරනවා. එහෙත්, ‘ශුද්ධ වූත්, විප්ලවීය වූත්’ මරණය විසින් අප ව නැවතත් පාරාදිසියේ උපත ලබා ආශිර්වාද සලසනු ඇත..” යන්න පවසන ජිම් ජෝන්ස්, බහුතර සාමාජික කැමැත්තෙන් 

ජිම් ජෝන්ස් ගේ අණින් ඇමරිකාවේ එකල ප්‍රකට වෙළඳ පානයක් වූ ‘කූල් ඒඩ්’වලට (Kool Aid) සමාන මිදි රස පානයක් විශාල බඳුන්වලට සාදන ප්‍රධාන අනුගාමිකයන් එයට සයනයිඩ්, වැලියම්, සහ තවත් විෂ වර්ග යොදනවා.

ඉන්පසු සිය සාමාජිකයන්ව පෝලිම් ගස්වන ජිම් ජෝන්ස් ඔවුන් අමතා දෙසුමක් පවත්වනවා.

විෂ පානය බෙදා හැරේ

දරුවන්ට පළමු වටය හිමි වනවා. බිළිඳුන්ට සහ සහ කුඩා දරුවන්ට ඔවුන්ගේ මුව තුළට එල්ල කළ කටු රහිත සිරින්ජර මගින්  මෙම විෂ පානය පොවනවා. ඉන්පසුව ඔවුන්ගේ මව්වරු තම වැඩිමහලු දරුවන්ටත්, තමන්ටත් කෝප්ප ආධාරයෙන් මේ බීම ලබා ගන්නවා. මිනිත්තු පහක් තුළ මේ විෂ ක්‍රියාත්මක වන අතර, විෂ පෙවූ දරුවන් මුවෙන් සෙම පෙරාගනිමින් හුස්ම ගත නො හැකිව දඟලනවා.

මේ දකින වැඩිහිටියන් එය බීම ප්‍රතික්ෂේප කරනවා.

ඒ මොහොතේ ජිම් ජෝන්ස්, ඔවුන් ව දිරි ගන්වමින් දේශනා කරනවා. ඔහු මේ මොහොත පටිගත කිරීමට ද පටන් ගන්නවා. සියල්ල අවසන් වූ පසුව මේ පටිගත කිරීම, එදා ඒ මොහොතේ බියකරු බව ගැන කදිම සාක්ෂියක් ලොවට ඉතුරු කරනවා.

විෂ පානය කිරීමට සහ බලහත්කාරයෙන් විෂ ශරීරගත කිරීමට භාවිත කළ උපකරණවලින් කොටසක්
මියගිය පිරිසෙන් කොටසක්. භාජනයේ ඇත්තේ විෂ පානය ය.

පෙර ඡන්ද විමසීම්වලදී සිය දිවි නසාගැනීමට එකඟ වූවන් පවා, එම පානය පානය කිරීමට පැකිළෙනවා. පානය විෂ වූ ඇතැමුන් වේදනාවේ විලාප නගමින් පණ අදිනවා. විෂ පානය කළ පිරිස ගොඩනැගිල්ලේ පිටතට පෝලිමක් ලෙස ගෙනයන අතර ජිම් ජෝන්ස් ඇතුළු ප්‍රධාන අනුගාමිකයන් දිගින් දිගට ම ඉතිරි පිරිසට විෂ පොවනවා. ඇතැම් විෂ පෙවීම් බලහත්කාරී වනවා. එමෙන් ම  බලහත්කාරයෙන් විෂ එන්නත් කිරීමෙන් මිය යන පිරිසක් ද මේ අතර වනවා.

වීඩියෝවේ සටහන් නොවුණත්, ජිම් ජෝන්ස් මිය යන්නේ විෂ පානය කිරීමෙන් නොවේ. ඔහු සිය ප්‍රධාන අනුගාමිකයන් සමඟ හිසට වෙඩි තබා ගන්නවා. මේ සිදුවීම වනවිට ජෝන්ස්ටවුමෙන් පිටව ගොස් සිටි ජිම් ජෝන්ස්ගේ දරුවාට අනුව මෙය සාමාජිකයෙකු ලවා වෙඩි පහරක් තබා ගැනීමක් විය හැකි යැයි සැක කෙරෙනවා.

විනාශයක තරම

ජෝන්ස්ටවුන් නගරයට 1978 නොවැම්බර් 19 වැනිදාට හිරු උදා වන්නේ, භූමිය පුරා විසිර ගිය එහි වැසියන්ගේ ශීතල මළ සිරුරු මතින්. පෙර දිනයේ කොංග්‍රස් සාමාජික ලියෝ රයන් ඝාතනය ගැන සෙවීමට මෙහි යන ගයනා පොලිස් නිලධාරීන් මේ විපත අනාවරණය කරගන්නවා. ‘පීපල්ස් ටෙම්ප්ල්’  සාමාජිකයන් බහුතරයක් ඇතුළුව පුද්ගලයන් 918 ක් එදින මිය යනවා.

විස්මිත දිවි ගලවා ගැනීම්

යම් විපතක් වියහැකි බව ඉව වැටුණු ජෝන්ස්ටවුන් ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ පවුලේ අය ඇතුළු 11 දෙනෙක් නොවැම්බර් 17 පාන්දර එයින් පැන යනවා.

තවත් ජෝන්ස්ටවුන් වාසීන් සිව් දෙනෙකු අධික වෙහෙස නිසා නින්දේ පසුවනවා. යාඥා හඬ නො ඇසෙන්නට ඔවුන් තෝරාගන්නේ ඔවුන්ගේ නිදන ඇඳන් යටයි.  ඔවුන් ද දිවි ගලවා ගන්නවා. 

ග්‍රෝවර් ඩේවිස්ට ලවුඩ්ස්පීකරයෙන් දුන් දැනුම් දීම නො ඇසෙන්නේ ඔහු ශ්‍රවණාබාධිත වීම නිසායි. ඔහු පසුව ගොඩනැගිල්ලෙන් බැහැරට යනවා. අසු වුවහොත් මරණය නියත බව අවබෝධ වන ඔහු, කසල අගලක බැස මිය ගිය අය අතරේ වැතිර දිවි ගලවා ගන්නවා.

 හයසින්ත් තෘෂ්, ප්‍රධාන ගොඩනැගිල්ලෙන් පළා විත් සිය ඇඳ යට සැඟව ජීවිතය බේරාගන්නවා.  තවත් කිහිප දෙනෙකු වැසිකිළි යන බව ආරක්ෂක නිලධාරීන්ට අඟවා කැළයට පැන යනවා.

සංවිධානයේ ඉහළ තනතුරු හිමි වූ සාමාජිකයන් අතරේ හුන් ටිම් කාටර් තවත් දෙදෙනෙකු හා සෝවියට් තානාපති කාර්යාලයට යන්නේ මුදල් සහ ජිම් ජෝන්ස් සිය සාමාජිකයන් සමඟ රැසියාවට එන්නට අවසර ඉල්ලා ලියූ ලියුමක් ද රැගෙනයි. සිද්ධිය ආරංචි වී ඔහු ආපසු එන විට, ඔහුගේ බිරිඳ සහ දරුවා මියගොස් සිටිනු දකිනවා. ඔවුන් එදා සෝවියට් තානාපති කාර්යාලයට ලබා දීමට ගෙනගිය මුදල, ඇමරිකානු ඩොලර් ලක්ෂ හතකට අධිකයි.

මතකය අවදි කළ ස්ටීවන් ගාන්ධි ජෝන්ස්

මේ සිදුවීමේ 40 වැනි සංවත්සරය යෙදුණු 2019 වසරේදී, ABC නාලිකාව හා කතාබහකට එක්වෙමින්, ජිම් ජෝන්ස් සහ මර්සිලින් ජෝන්ස් යුවලගේ එකම පුතු සිය අත්දැකීම විස්තර කළා. ජෝන්ස්ටවුන් හි වාසයට පැමිණෙන විට ඔහුට වයස අවුරුදු 17 යි.

” මුලින් ම ජෝන්ස්ටවුන්වලට ආ මොහොතේ මට ඇති වුණේ සතුටක්. අපි සියල්ලන් ම යම් හොඳ අරමුණක සුවිශාල කොටසක් වෙනුවෙන් එකතු වූ බව මට හැඟුණා. නමුත් කෙමෙ කෙමෙන් ජීවිතය තේරුම් කිරීමට අපහ දුෂ්කරබවක් දරන්නට වුණා. 1978 වනවිට අපි සිටියේ කියන්නට නො තේරෙන පීඩනයක. එහෙත් මගේ මව මගේ පියා කියන සියලු දේ විශ්වාස කළා.

1978 නොවැම්බර් 18 මම තවත් ජෝන්ස්ටවුන් වාසී තරුණ පිරිසක් එක්ක පාපන්දු තරඟයකට ජෝර්ජ්ටවුන් වෙත ගොස් සිටියා. එදින දහවලේ අපි චිත්‍රපටයක් නරඹන විට මට පියාගෙන් දුරකථන ඇමතුමක් ආවා. ‘අපි ෆ්රේසර් මහත්තයා හමුවෙන්න යනවා’. ඔහු කීවා. මම අපේ ප්‍රජාවේ සංනිවේදන කටයුතු භාර නායකයා ලෙසට ඒ කියූ දෙයෙහි තේරුම දැනගෙන සිටියා. ඔහු එයින් අදහස් කළේ විප්ලවීය සියදිවි නසා ගැනීමකට ඔවුන් යන බවයි.

මෙයට වඩා හොඳ ක්‍රමයක් ඇති බවත්, ඉක්මන් තීරණයකට නො යන ලෙසටත් මම ඔහුගෙන් ඉල්ලා සිටියා. නමුත් මෙය වඩාත් ම හොඳ ක්‍රමය බව කියූ ඔහු මට ශක්තිමත් වන්න යැයි ඉල්ලමින් දුරකථනය විසන්ධි කළා…

අපි ඉක්මනින් බලධාරීන් අමතා, ජෝන්ස්ටවුන් වෙන ගොස් මේ විනාශය නවතන ලෙස බැගෑපත් වුණා. එහෙත් එයින් වැඩක් වුණේ නැහැ..”

… මගේ පියා කිසිදු ශුද්ධ ආත්මයක් නෙමෙයි.. සාමාන්‍ය මිනිසෙකු සතු වූ කරුණාව සහ දයාව ඔහු සතුව තිබුණා. පසුව ඒ සියල්ල මවාගත් ලෝකයක ඔහු සිට්‍රවිම තුළ මැකී ගොස් ඉතුරු වුණේ මුග්ධ කෘරත්වයක් පමණයි. ඔහුට දෙවියන්ගෙන් පණිවිඩ ලැබුණු බව ඔහු විශ්වාස කළා. අනෙක් අයටත් එය ඒත්තු ගැන්වූවා…”

ජිම් ජෝන්ස් ගේ පුත් ස්ටීවන් ගාන්ධි ජෝන්ස්, ජෝන්ස්ටවුන් ඛේදවාචකයේ 40 වැනි සංවත්සරය දා සිය පියා පිළිබඳව මතකය අවදි කරමින්
(2019)

මේ සිදුවීම සිදු වී දැන් වසර 43ක් ගත වී තිබෙනවා. දැනටත්, තවමත් තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කෙරෙහි විචක්ෂණශීලි නොවන අන්දමේ අන්ධ භක්තියක් සහ විශ්වාසයක් තබන මිනිසුන් සිය ජීවිත දුක්ඛදායක ලෙස ගෙවමින්, සෙමෙන් නමුත් තිර ඛේදාන්ත කරා සිය තල්ලු වෙමින් යනවා.
විෂ මුසු කූල් ඒඩ් ඔවුන්ට පෙවීමට නියමිත මිනිසුන්ට ම වන්දනා මාන කරමින්. විෂ සහිත මිනිසුන්ගේ තීරණ මත දිවි ගෙවමින්.

පුපුරා ගිය උමතුව – බාත් පාසලේ බෝම්බය

 හදිසි අනතුරකින් පසුව මානසික මට්ටම වෙනස් වූ මිනිසෙක්, ඔහුගේ අතෘප්තිකර ජීවිතයේ වගකීම, ඔහු ජීවත් වූ සමාජයට බැර කරමින් හදවතේ වෛරයේ ගිනි දැල් දැල්වූවා.  වරින් වර ඒ ගින්නට ඔහු අතින් මෙන් ම ඔහුගේ ජීවිතයේ යම් යම් සිදුවීම්වලින් ඉන්ධන සැපයුණා.

කෙමෙ කෙමෙන් උමතුවට පත් ඒ මිනිසාගේ ඒ ගින්න, එක මොහොතක පුපුරා ගියේ ඔහු ජීවත් වූ කුඩා නගරයේ හදවත සියවස් ගණනකට බිඳ දමන මහා ඛේදවාචකයකින්. 

එය සිදු වූයේ 1927 වසරේදී යි. මේ ඇමරිකාවේ බාත් හි සිදුවූ පාසල් බෝම්බයේ කතාවයි.

පොඩි නගරයක්

ඇමරිකාවේ මිචිගන් හි පිහිටි බාත් නගරය, වර්ග සැතපුම් 31 ක් පමණ ප්‍රදේශයක පැතිර තිබූ ගොවි ජනපදයක්. 1927 වර්ෂය වනවිට එහි පුද්ගලයන් තුන්සියයක පමණ ජනගහනයක් වාසය කළා. ජනගහනය අඩු නගරයක් වීම නිසාම, මෙහි සියලු ම දෙනා පාහේ එකිනෙකාව හොඳින් දැන හඳුනාගෙන සිටියා. සාමාන්‍යයයෙන් යහපත් ආර්ථික සහ සමාජයීය මට්ටමක් තිබුණු බාත් වැසියන්, එකිනෙකාව ප්‍රිය කළ, සතුටින් සිටි පිරිසක්. බාත් ප්‍රථමික පාසල මේ කුඩා නගරයේ සුවිශේෂී ගොඩනැගිල්ලක් වුණා. බාත් පවුල්වල දරුවන්ගෙන් බහුතරයක්, මේ පාසලේ සිසුන් ව සිටියා. 1922 දී නගරවාසීන් විසින් ගත් තීරණයකට අනුව පිහිටවූ  බාත් ප්‍රාථමික පාසල පාලනය කෙරුණේ නගරවාසීන්ගේ කැමැත්තෙන් සහ ඡන්දයෙන් පත්කෙරුණු, නගරවාසීන්ගෙන් ම සමන්විත කමිටුවකින්.

බාත් ප්‍රාථමික පාසල – 1925

තිත්ත හැඟීම්වලින් පිරුණු මිනිහෙක්

මේ පාසල් කමිටුවේ සාමාජිකයෙකු ද වූ ඇන්ඩෘ කීහෝ (Andrew Kehoe), බාත් වාසීන් අතර ප්‍රකටව සිටියේ තරමක අමුතු පුද්ගලයෙකු ලෙසටයි. ගොවියෙකු සහ සත්ත්ව පාලකයෙකු වූ කීහෝ, කිසිවෙකුත් සමඟ ‘වැඩි භජනයක් නැති’, අතිශය බුද්ධිමත් අයෙකු ලෙස බාත් වාසීන් විසින් හඳුනාගන සිටියා. ඔහු පිළිබඳව තරමක් භයංකර කතා ද බාත් නගරයේ පැතිර තිබුණත් ඒ කිසිවක් එළිපිට කතාබහට ලක්වෙන, ඔප්පු වුණු කතා වුණේ නැහැ.

1872 වසරේ පෙබරවාරි පළවැනිදා, දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුතු පවුලක දහ තුන් වැනියා ව උපන් ඇන්ඩෘ කීහෝ, මිචිගන් ජනපද පාසලේ (වර්තමානයේ මිචිගන් විශ්ව විද්‍යාලය) විදුලි ඉංජිනේරු ශිල්පය ඉගෙනගත්තා. 1911 වසරේදී, යම් පුහුණු වීමක් අතරතුරදී ගොඩනැගිල්ලක ඉහළින් ඇදවැටෙන කීහෝ, ඉන් හිසට සිදුවූ දරුණු තුවාල නිසා දෙසතියක් කෝමා තත්ත්වයක පසුවනවා. ඔහු එයින් සුවය ලබන්නේ, කිසිදු ප්‍රීතිමත් බවක් ඉතුරු නො වූ, සැඟවුණු කුරිරු සහ තිත්ත හැඟීම්වලින් පිරුණු අයෙකු බවට පත්වෙමින්.  ඔහු ඒ අනතුරින් පසුව නැවතත් සිය පියා සමඟ වාසයට යනවා. ඒ කාලයේ ඔහුගේ මව මියගොස් තිබූ අතර, ඔහු එතරම් ප්‍රිය නො කළ ඔහුගේ පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ වූ ෆ්‍රාන්සෙස් වයිල්ඩර් සමඟ එක ම නිවසේ වාසය කිරීමට සිදුවීම පිළිබඳව ඔහු සිටියේ අසතුටින්.

ඇන්ඩෘ කීහෝ අනතුරට ලක්වීමට පෙර

1911 සැප්තැම්බර් 17 වැනිදා නිවසේ උදුනක් දැල්වීමට උත්සාහ කරන අතරේදී උදුන පුපුරා යාමෙන් ෆ්‍රාන්සෙස් වයිල්ඩර්ගේ සිරුරට ගිනි ඇවිලෙනවා. මේ අවස්ථාවේ අසල සිටි ඇන්ඩෘ කීහෝ විසින් වතුර යොදාගෙන ගින්න නිවන්න හැදුවත් එය සාර්ථක නො වන්නේ උදුනේ තෙල් විසිරී, ගින්න පැතිරෙමින් තිබූ නිසා.

ෆ්‍රාන්සෙස් වයිල්ඩර් මේ ගින්නෙන් සිදුවූ පිළිස්සුම් තුවාලවලින් දින කිහිපයක් වේදනා විඳ මිය යනවා. මේ උදුන පුපුරා යන ලෙස සකස් කළේ  ඇන්ඩෘ කීහෝ බවට ඒ කාලයේ කටකතා පැතිරුණත් පොලිසියට එය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලැබී තිබුණේ නැහැ.

1912 වසරේදී, කීහෝ ඔහු අනතුරට ලක්වීමට ප්‍රථම ඔහු විසින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ එලන් ඇග්නස් ප්‍රයිස් (හිතවතුන් ඇයව අමතන්නේ නෙලී නමින්) සමඟ විවාහ වනවා. 1919 දී නෙලීගේ නැන්දණියක විසින් ඇයට දුන් මුදලින් විශාල ඉඩමක් ගෙන ගොවිපලක් ආරම්භ කිරීමට ඇන්ඩෘ කීහෝ කටයුතු කරනවා. මේ සඳහා ඩොලර් 6,000 ක් කීහෝ විසින් මුදලින් ගෙවූ අතර, ඉතිරි මුදල ලෙස තවත් ඩොලර් 6,000 ක් ඔහු විසින් ණයක් ලෙස ගෙන තිබුණා.

ඉතාම නිශ්ශබ්ද සහ අහිංසක ගැහැනියක වූ නෙලී, කීහෝගේ නිරන්තර කුරිරුකමවලට ලක් වුණු බව අසල්වැසියන් විසින් දැක තිබුණා. එමෙන් ම කීහෝ විසින් අසල්වැසි නිවසක සුනඛයෙකුට වෙඩි තැබූ බවටත්, අසනීපව සිටි අශ්වයෙකුට පහර දී මරාදැමූ බවටත් කටකතා ද පැතිර තිබුණා. මේ කටකතාවල සත්‍ය අසත්‍යතව කෙසේ වෙතත්,  ඇන්ඩෘ කීහෝ නිතරම අනෙක් අය නුරුස්නා ලෙස හැසිරෙන සහ මිත්‍රශීලි ආකල්ප නො දරන අයෙකු වීම නිසා නගරවාසීන් ඔහුට යම් බියක් දැක්වූවා. විවේක මොහොතවල්වල තුවක්කුවකින් ගස් කඳන්වලට වෙඩි තබමින් සිය ඉඩමේ ඔහු ඇවිදින ආකාරය අසල්වාසීන්ට සුලබ දසුනක් වුණා.

කීහෝ සහ බිරිඳ නෙලී

අතිශය පිළිවෙල මිනිසෙකු වූ  ඇන්ඩෘ කීහෝ, සිය නිවස මෙන් ම සත්ත්ව ගොවිපොළ ද ඉතාම පිළිවෙලට තබාගැනීමට උත්සුක වුණා. සතුන් නිදැල්ලේ සිය ඉඩමේ ඇවිදින මොහොතක පවා අතිශය කෝප වුණු කීහෝ, එවන් අවස්ථාවල සතුන්ට පහර දෙමින් ඇදගෙන ගොස් ඔවුන් ව අදාළ ස්ථානවල ගාල් කරනු අසල්වැසියන් දැක තිබුණා. 1925 වර්ෂය පමණ වනවිට, ඇන්ඩෘ කීහෝගේ දුර්වල මුදල් කළමනාකරණය නො කිරීම මෙන්ම, වරින්වර ඇතිවන මානසිකත්වයේ වෙනස්වීම් ද නිසා ඔහුගේ ව්‍යාපාරය යම් මට්ටමකින් බිඳ වැටෙමින් තිබුණා.

එමෙන් ම බාත් වැසියන් විසින් එකඟ වී 1922 වසරේ ආරම්භ කළ, බාත් ප්‍රාථමික පාසල නඩත්තුව පිණිස නගරවාසීන්ගේ බදු මුදල ඉහළ නැංවීමට නගර කමිටුව තීරණය කිරීම නිසා, තමන්ට ගෙවීමට සිදුවන බදු මුදල ඉහළ ගොස් තිබීම ගැනත් ඇන්ඩෘ කීහෝ සිටියේ තදබල කේන්තියකින්. 

කේන්ති ගින්නට ඉන්ධන වැටෙයි

1924 වසර වනවිට බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවට ඇන්ඩෘ කීහෝ ද පත් වී සිටියා. ඔහු බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුර දැරුවා. ඔහු ඒ කාලයේ සිය තනතුරේ වගකීම් එතරම් සාධනීය ලෙස ඉටු නො කිරීම නිසා මෙන් ම ඔහු අනෙක් කමිටු සාමාජිකයන් සමඟ ඉක්මනින් කෝප ගෙන කලහකාරී ලෙස හැසිරීමත් නිසා ඔහු පිළිබඳව එතරම් සුභවාදී හැඟීමක් පාසල් කමිටුවේ සාමාජිකයන් තුළ තිබුණේ නැහැ. එමෙන් ම ඔහු පාසල් අරමුදල තම පුද්ගලික වියදම් සඳහා යොදාගන්නා බවටත් හැඟීමක් අනෙක් කමිටු සාමාජිකයන් තුළ තිබුණා.

1925 වසරේදී ඔහු නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ද පත් ව සිටි අතර, බාත් පාසල ආරම්භ කිරීමත් සමඟ වැඩි වූ නගරයේ බදු මුදල් නැවත අඩු කිරීම වෙනුවෙන් ඔහු නිතර ම අනෙක් කමිටු සාමාජිකයන් සමඟ කළහ කරමින් සිටියා.

බාත් ප්‍රාථමික පාසලට ඉදිරි වසර කිහිපය සඳහා කමිටු සභිකයන් තෝරාගැනීමට 1926 අප්‍රේල් පස්වැනිදා දී පැවැත්වූ ඡන්දයේදී නැවතත් භාණ්ඩාගාරික තනතුරට පත්වීමට ඇන්ඩෘ කීහෝට අවශ්‍ය වුණත්, ඔහු එවර ඡන්දයෙන් පරාජය වුණා. එමෙන් ම නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ඔහු දැරූ තනතුරත් ඔහුට අහිමි වුණා. ඔහු ඒ ගැන ඉතාමත් ම කෝපයට පත්වූ අතර සිය සත්ත්ව ගොවිපළේ සතුන්ට සහ බිරිඳට හිරිහැර කරමින් සිය කේන්තිය පිටකර ගත්තා.

එමෙන් ම ඔහු විසින් 1919 දී ගොවිපළ ආරම්භ කිරීමට ගත් ණය නිසි ලෙස නො ගෙවීම නිසා, ඔහුගේ ගොවිපොළ බැංකුවෙන් අත්පත් කරගන්නා බවට ලිපියක් ද මේ වනවිට ඔහුට ලැබී තිබුණා.

එමෙන් ම ඔහු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බැංකු නියෝජිතයෙකු ද පැමිණෙනවා. “එක්කෝ මම මේ ගෙදර ඉන්නවා.. නැත්නම් කවුරුවත් මේ ගෙදර ඉන්නේ නැහැ…” ඔහු විසින් ණය හිලව්වට නිවස අත්පත් කරගැනීම සඳහා පැමිණි බැංකු නියෝජිතයාට දන්වනවා.

බාත් ප්‍රාථමික පාසල ආරම්භ කිරීමත් සමඟ, එහි නඩත්තුවට ගෙවිය යුතු මුදල ද එකතු වීමෙන් ගෙවිය යුතු බදු මුදල ඉහළ යාමත්, බාත් ප්‍රාථමික පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් වීමට සිදු වීමත් නිසා ඔහු පාසල කෙරෙහි දැඩි වෛරයක් ඇතිකරගෙන සිටියා.  ඔහුගේ ජීවිතයේ සෑම අයහපත් ම සිදු වීමට හේතුව බාත් ප්‍රාථමික පාසල බවට ඔහු විශ්වාස කළා.

විනාශයකට සැරසෙයි

මේ කාලය වනවිට ඇන්ඩෘ කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත්, ඇන්ඩෘ කීහෝගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටියා. ඔහු සිය ඉඩම කෙළවරේ වූ ඔහු විසින් ම වැවූ ගස්වලට වෙඩි තබමින්, තනිවම කියවමින් සිටිනු දුටු එල්ස්වර්ත්,  කීහෝ උමතුවකට පත්වෙමින් සිටින බව සිතුවා. කීහෝගේ තවත් අසල්වාසියෙකු වූ මැක්මුලන් සිතුවේ කීහෝ සියදිවි නසාගැනීමට සැලසුම් කරන බවයි. කීහෝ 1927 වසරේදී සිය ගොවිපළේ කටයුතු සියල්ල ම නවතා දමනවා.

කීහෝ නිවස – 1925

1927 අප්‍රේල් 27 වැනිදා මැක්මුලන් හමුවන ඇන්ඩෘ කීහෝ ඔහුට සිය අශ්වයෙකු තෑගි කරනවා. මැක්මුලන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ තම ගොවිබිමේ වැඩකටයුතු වෙනුවෙන් එය තබාගන්න ලෙස කියමින්. මේ කාලය වනවිට කීහෝගේ බිරිඳ නෙලී, ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටිනවා. නිතර රෝහල්ගතවන නෙලීගේ ප්‍රතිකාරවලටත් කීහෝට ඉතා විශාල වියදමක් දැරීමට සිදු වනවා. මේ කාලයේදී කීහෝ විසින් සිය රක්ෂණය සඳහා ගෙවිය යුතු වාරික මෙන් ම උකස් වාරිකයද ගෙවීම අතහැර තිබෙනවා.

1927 මැයි 15 වැනිදා ඔහු දවස පුරාම සිය ගොවිපළේ කටයුතු කරනවා. සියලුම ගස් කපා දමන ඔහු, ඇතැම් ගස්, කපා ඇති බව නො පෙනෙන්නට ඒවා අටවා තබනවා. එමෙන් ම මිදි වැල් ද ඇතුළුව සියලුම භෝග විනාශ කර, ඒවා විනාශ කර දමා නැති බව අසල්වැසියන්ට පෙනෙන ලෙස යන්තම් රඳවා තබන්නට කටයුතු කරනවා.

මැයි 16 වැනිදා නෙලී, අවසන් වරට රෝහලේ සිට නිවසට පැමිණෙනවා. ඔහු මැයි 16 සවස – 18 උදෑසන අතර මොහොතක නෙලීව ඝාතනය කර, ඇගේ සිරුර නිවසින් පිටත ගොඩනැගිල්ලකට ගෙන ගොස් දමනවා.

ඔහු දින කිහිපයකට පෙර, අලුතෙන් ම ටයර් යෙදූ තම ෆෝඩ් ට්‍රක් රියෙන් රථයෙන් කිහිප වරක් ම නගරයටත්, බාත් ප්‍රාථමික පාසලටත්, ගොවිපළටත් නිවසටත් යනවා. පසුගිය වසරේ නොවැම්බරයේ සිට ඔහු වරින්වර මිලට ගෙන එකතු කරගත් පයිරටෝල් (පළමු ලෝක යුධ සමයේ භාවිත වූ පුපුරන ද්‍රව්‍යයකි. මෙය සහ ඩයනමයිට් එකල ගොවිපළ භාවිතා සඳහා මිලට ගැනීම සුලබ සිදුවීමකි.) සහ ඩයනමයිට් ගොවිපළේත්, පාසලේත් ගොඩ ගසනවා.

පුහුණු විදුලි කාර්මිකයෙකු වූ ඔහුට බාත් ප්‍රාථමික පාසලේ භූගත ගබඩාවට නිතර යාමට ඒමට ඉඩ ලැබී තිබුණේ ඔහු එහි විදුලි පද්දතියේ අලුත්වැඩියා කටයුතු කිරීම සිදුකරන පුද්ගලයා වීමෙන්.

මේ සමඟම ඔහු ඔහු විසින් ම නිර්මාණය කළ, ඇටවුම් දෙකක් ද ගෙනගොස් මෙම පුපුරන ද්‍රව්‍යවලට සම්බන්ධ කරනවා. එමගින් ඔහු ඒ පුපුරන ද්‍රව්‍ය කාල බෝම්බ දෙකක් බවට පත් කරනවා. ඒ ගොඩනැගිල්ලේ උතුරු අන්තයේ, භූගත ගබඩාවේ එක කාල බෝම්බයක් සහ දකුණු අන්තයේ තවත් කාල බෝම්බයක් වන ලෙසටයි. 

1927 මැයි 18 වැනිදා

1927 මැයි 18 වැනිදාට දිනය උදා වෙනවා. හරියටම උදෑසන 8.30 ට ඔහුගේ නිවස සහ ගොවිපළ සුන්බුන් ගොඩක් බවට පත්කරමින් පිපිරීමක් සිදු වෙනවා. ඉන් ඔහුගේ ගොවිපළ සම්පූර්ණයෙන් ම විනාශ වන අතර, එහි එක් චිමිනි කුළුණක් පමණක් ඉතිරි වෙනවා. නිවසේ කොටසක් විනාශ වී යන අතර ක්ෂණිකව නිවසේ ගින්නක් හටගන්නවා. ඔහුගේ අසල්වාසීන් වහා ම පැමිණ මේ ගින්න නිවීමට උත්සාහ කරනවා.

එක් අයෙකු ජනේලයෙන් නිවසට ඇතුළු වී එතෙක් විනාශ නොවී තිබුණු නිවසේ විසිත්ත කාමරයේ බඩු භාණ්ඩ ඉවත් කරනවා. තවත් අය මෙහි ජීවත්ව සිටි පිරිස බේරාගැනීමට උත්සාහ කළත් ඔවුන් දකින්නේ හිස් නිවසක් පමණයි. ක්ෂය රෝගයෙන් පීඩා විඳින නෙලී, රෝහලේ නවතා ඇති බවයි අසල්වැසියන් එවිට නිගමනය කරන්නේ. එමෙන් ම නිවසේ මුල්ලක වූ පුපුරා නො ගිය ඩයනමයිට් තොගයක් ද දකින අයෙක් වහාම එය ඉවත් කරනවා. 

වත්ත කෙළවර නවතා තිබූ සිය ෆෝඩ් රියෙන්,  ගිනිගන්නා ගොඩනැගිලි සහිත තම ඉඩමෙන් පිටව යන ගමන් කීහෝ, තම ගොඩනැගිලිවල ගින්න ගැන වද නොවී, වහාම පාසලට යන්න යයි ගිනි නිවන භටයන්ට පවසනවා.

කීහෝ නිවසින් හමුවූ ඩයනමයිට්

මේ වනවිට ඔහුගේ ෆෝඩ් රියද, පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල බෝම්බයක් බවට පත්කර තිබෙන බව කිසිවෙකුත් දන්නේ නැහැ.

මේ අතර බාත් ප්‍රාථමික පාසල සුපුරුදු ලෙස උදෑසන 8.30 ට ආරම්භ වනවා. ඈතින් ඇසුණු පිපිරීම් හඬ නිසා ළමුන් තරමක නො සන්සුන්ව සිටිනවා. රෝස්කෝ හාට් මහත්මිය, පන්තිභාර ගුරුවරිය ලෙස කටයුතු කළ පහ ශ්‍රේණියේ පන්තිය, ගොඩනැගිල්ලේ උතුරු කොටසේ බිම් මහලේ පිහිටා තිබෙනවා. වෙලාව කෙමෙ කෙමෙන් උදෑසන 8.45 ට ආසන්න වනවා.

හරියටම උදෑසන 8.45 ට,  රෝස්කෝ හාට්ගේ පන්තියට කෙළින් ම පහළ භූගත ගබඩාවේ කාල බෝම්බය පුපුරා යනවා. රෝස්කෝ හාට්ගේ පන්තිය, දරුවන් සහ ඇයත් සමඟ පොළොව තුළින් ඇද වැටෙනවා. මේ පිපිරීමේ හඬ ඇසී, කීහෝගේ ඉඩමේ ගින්න නිවමින් සිටි පිරිස ද වහාම පාසල වෙත දිව එනවා.

පිපිරීමෙන් පසු බාත් ප්‍රාථමික පාසල – මැයි 18, 1927
පිපිරීමෙන් පසු බාත් ප්‍රාථමික පාසල – මැයි 18, 1927

විනාශයක තරම

පාසලේ උතුරු අන්තය සහමුලින් ම විනාශ වී තිබෙන අතර දරුවන්ගේ විලාප හඬ ඇසෙමින් තිබෙනවා. ගොඩනැගිලි සුන්බුන් අතරින් උදව් ඉල්ලා හඬන දරුවන් සහ පිපිරීමෙන් මියගිය පිරිස සෙවීමේ මෙහෙයුම් ක්ෂණිකව ආරම්භ වනවා. මේ මෙහෙයුමේ දී සිටින අය අතර, එදින පාසල් පැමිණි දරුවන්ගේ මව්වරු ද වනවා. මිනිසුන් කිහිප දෙනෙකුටවත් එසවිය නො හැකි විශාල ගඩොල් පදාස මේ මව්වරු විසින් ඉවත් කරන ආකාරය එහි රැස්වූ පිරිස් දකිනවා.

ඇතැම් මව්වරුන්ට ගොඩනැගිලි අතරේ සිරව තිබී, උදෑසන නිවසින් පිටව ගිය තම දරුවාගේ මළ සිරුර හමුවනවා.

ප්‍රාථමික පාසල් ගුරුවරියක වූ බර්නිස් ස්ටර්ලිං මේ සිදුවීම ඇසෝසියේටඩ් පුවත් සේවයට විස්තර කරනවා.

“එය භූමිකම්පාවක් වගේ… එකවරම පාසලේ පුටු, මේස, පොත් සහ දරුවන් අහසේ පියාඹන්න වුණා. විසි වී ගිය දරුවන්ගේ සිරුරු කැබලි බිම විසිරුණා…”

මේ වනවිට පාසලේ උතුරු කොටසේ වහලය බිමට ම පහත් වී තිබෙනවා. කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත් මේ වනවිට සිටින්නේ පාසලේ. ඔහු මෙම වහලය ඉවත් කිරීමට අවශ්‍යවන උපකරණ ගෙන ඒමට සිය ගොවිපළ වෙත යාමට පාසලෙන් පිටත් වනවා. එතෙක් වෙලා කොහේ හෝ සිය රථය නවත්වාගෙන සිටි කීහෝ, වේගයෙන් පාසල දෙසට එය පදවාගෙන එනු ඔහු දකිනවා. ඔහු එල්ස්වර්ත් සමඟ දත් දෑන්දම ම පෙනෙන සේ විලිස්සා සිනහ වෙමින් අත වනනවා.

තෙවැනි පිපිරීමත් සිදුවෙයි

කීහෝ සිය රථය පාසලට පදවාගෙන එනු දකින පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික් ඉදිරියට යනවා. මෝටර් රථය නවත්වන කීහෝ, හුයික්ව තමන් අසලට කැඳවාගන්නවා.

ඇසින් දුටු සාක්ෂි අනුව, හුයික්, මෙම සුන්බුන් ඉවත් කිරීමට ඔහුගේ යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකිද යන්න කීහෝගෙන් විමසනවා.  ඉන් මොහොතකට පසුව,උමතු පෙනුමෙන් යුතුව කීහෝ සිනාසෙන ආකාරය දකින හුයික්, ඔහු මේ විනාශයට සම්බන්ධදැයි අසනවා.  ඒ මොහොතේ තුවක්කුවක් අතට ගන්නා කීහෝ, එයින් සිය ෆෝඩ් රියට වෙඩි තබනවා. (මේ තුවක්කුව කීහෝ විසින් 1926 වසරේ දෙසැම්බර් මිලට ගත්තක්.)

ඉන් මොහොතකට පසුව කීහෝගේ රථය විශාල හඬක් නගමින් පුපුරා යන්නේ කීහෝ මෙන් ම හුයික්, සහ අසල සිටි ගොවියෙකුත් ක්ෂණිකව මරණයට පත් කරමින්. එමෙන් ම පළමු පිපිරුමෙන් දිවි ගලවාගෙන පාසල ආසන්නයේ ඇවිදිමින් සිටි අට හැවිරිදි ක්ලියෝ ක්ලේටන් ද මේ පිපිරුමෙන් මිය යනවා.

එමෙන් ම බාත් හි තැපැල්කරු මේ පිපිරුමෙන් බරපතල තුවාල ලබන අතර ඔහු රෝහලට ගෙනියන අතරේ මිය යනවා.

පුපුරා හැරුණු ෆෝඩ් රිය – මැයි 18, 1927

සුන්බුන් අතරින්

මේ වනවිට විනාශ වුණු පාසල් ගොඩනැගිල්ලෙන් මළ සිරුරු එකිනෙක ගෙන, පාසල් භුමියේ බිම තබා තිබෙනවා. තුවාලකරුවන් රෝහල්ගත කරන්නට යුහුසුළුවන පිරිසගේ හඬත්, සුන්බුන් ඉවත් කරන යන්ත්‍රවල හඬත් අතරින් තම දරුවන්ගේ සිරුරු හඳුනා ගත් මව්පියන්ගේ හැඬුම් හඬ ඇසෙනවා. ඇතැම් සිරුරු ඔවුන් හඳුනා ගන්නේ දරුවන්ගේ සපත්තුවලින්. එමෙන් ම ඇතැම් සිරුරු කොටස් විදුලි රැහැන්වල එල්ලෙමින් තිබෙනවා.

විනාශ වුණු පාසල ගුවනට පෙනුණු  ආකාරය – මැයි 18, 1927
මළ සිරුරු හඳුනා ගනිමින් – මැයි 18, 1927

ගොඩනැගිල්ලේ විනාශ නො වුණු දකුණු අන්තයේ බිම් ගබඩාවේ තිබී, තවත් විශාල කාල බෝම්බයක් හමුවෙනවා. ඩනයනමයිට්, භූමිතෙල් සහ පයිරටෝල් යොදා සෑදු රාත්තල් පන්සීය හතරක පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බය, වයර් බුරුල් වීමෙන් පුපුරා යාම වැළකී ගොස් තිබූ අතර එය පුපුරා ගියා නම්, මුළු පාසල ම සුන්බුන් වීම නො වැළක්විය හැකි දෙයක් වන බව පරීක්ෂකයන්ට වැටහෙනවා.

පාසලෙන් හමු වූ පුපුරා නො ගිය බෝම්බයේ කොටස් පරීක්ෂකයන් අත – මැයි 19, 1927
පාසලෙන් හමු වූ පුපුරා නො ගිය පුපුරණ ද්‍රව්‍ය තොගය – මැයි 19, 1927

දින දෙකක් පුරා කළ මෙහෙයුමකින් පසුව සුන්බුන් අතර සිරව සිටි සියල්ලන් බේරා ගැනෙන අතර, මළ සිරුරු සියල්ල ද ඉවත් කෙරෙනවා.

මේ අතර මුල් ම පිපිරීම සිදු වූ, කීහෝ ගොවිපළේ විසිරී තිබූ සත්ත්ව මළ සිරුරු, සුන්බුන් අතරින් සිය මෙහෙයුම් කරන පිරිසට, පිළිස්සී මියගොස් සිටින කුකුළන් සහිත කුකුළු කොටුවක් පිටුපස වීල්බැරෝවක පටවා තිබූ මිනිස් සිරුරක් හමුවෙනවා. ඉතා දරුණු ලෙස පිලිස්සී තිබුණු මේ මළ සිරුර නෙලී බවට හඳුනා ගැනෙනවා.

කීහෝගේ අශ්වයන් දෙදෙනාගේ සිරුරු, ඉස්තාලයේ තිබී හමුවන අතර, ඔවුන්ගේ පාද බැඳ තිබෙන්නෙ, ඔවුන් පැන ගොස් දිවි බේරා ගැනීම වැළක්වීමේ අරමුණින් බව හෙළි වෙනවා.

කීහෝ ඉඩමේ වැටක, “අපරාධකරුවන් උපදින්නේ නැත. සමාජය විසින් ඔවුන් ව නිර්මාණය කරනු ලබයි” යනුවෙන් කීහෝ විසින් ලියූ කොළ කැබැල්ලක් එල්ලෙමින් තිබෙනවා. ඒ කීහෝගේ අවසන් පණිවිඩය බවට පරීක්ෂකයන් විශ්වාස කරනවා.

කීහෝ ගොවිපොළෙන් ඉතිරි වී තිබූ එකම දෙය – චිමිනිය – මැයි 18, 1927
අශ්වයන් දෙදෙනාගේ සිරුරු – මැයි 18, 1927
කීහෝගේ අවසන් පණිවිඩය – මැයි 18, 1927

‘පුපුරණ ද්‍රව්‍ය’ ලේබල් ගැසූ පාර්සලයක්

මේ අතර, මෙම පුපුරා ගැනීම්වලට ප්‍රථම, කීහෝ විසින් තරමක් බර පාර්සලයක් තැපෑලට භාරදී ඇති බව පොලිසියට ආරංචි වනවා. පොලිසිය එය සොයා යන්නේ, ඒ තුළ තවත් විනාශකාරී බෝම්බයක් පාර්සලයක් ලෙස සකස්කොට ඇති බව සිතමින්. තැපැල් හුවමාරුවේදී එය ලබාගන්නා පොලිසිය, එහි පිටත සඳහන් කළ, ‘වහා පුපුරණසුළුයි!’ ලේබලය දකිනවා. මෙම පාර්සලය යොමුකර තිබුණේ තවත් පාසල් කාමිටු සාමාජිකයෙකුටයි.

සුපරික්ෂාකාරීව එය ඉවත් කරන පොලිසියට, එහි තිබී, ඔහු බාත් පාසල් කමිටුවේ භාණ්ඩාගාරික ලෙස භාවිතා කළ ගිණුම් පොත් සහ ලිපියක් හමුවනවා.

ලිපියේ සඳහන් වන්නේ තමන් පාසල් කමිටුවේ සියලු කටයුතුවලින් ඉවත්වන බව සහ, තමන්ගේ පාලනය යටතේ පාසලේ එක් ගිණුමක, ශත ගණනක වෙනසක් වී ඇති බවත් පමණයි.

කීහෝගේ ලිපිය

විපතේ තරම

පිපිරීම් තුන සිදුවූ ස්ථාන තුනේදී පුද්ගලයන් 45 දෙනෙකු මියගොස් 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වැඩිම ජීවිත හානි ගණනක් වාර්තා වුණේ පිපිරීම් වනවිට පාසලේ සිටි පිරිස අතුරින්. ඒ සංඛ්‍යාව 40 ක්. ඉන් 38 ක් ම පාසල් දරුවන්.

පාසල් බෝම්බය පුපුරා ගිය ස්ථානයට කෙළින් ම ඉහළින් පිහිටි රෝස්කෝ හාට්ගේ පන්තියේ දරුවන් සියල්ලම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් වනවා. රෝස්කෝ හාට් ද දින කිහිපයකට පසු රෝහලේදී මිය යනවා.

බෝම්බයේ 45 වැනි ගොදුර ලෙස, දස හැවිරිදි  බියට්‍රිස් ගිබ්ස් (Beatrice Gibbs) මියයන්නේ තෙමසක් රෝහල්ගතව වේදනා විඳීමෙන් අනතුරුව, අගෝස්තු 22 වැනිදා යි.  ඇය ඇගේ දස වැනි උපන්දිනය සමරා තිබුණේ බාත් බෝම්බයට පෙර දිනයේ යි.

රෝස්කෝ හාට් ගේ පන්තියේ දරුවන්. මේ සියල්ලන්ම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් වූ අතර රෝස්කෝ හාට් ද රෝහලේදී මරණයට පත්වූවා ය.

නිගමනයකට එළඹෙයි

ඇන්ඩෘ කීහෝ විසින් අධික මිලක් ගෙවා මිලට ගත් කීහෝ ගොවිපළේ තිබුණු ඇතැම් යන්ත්‍ර සූත්‍ර කිසිදා භාවිතා කෙරී නැති බවත්, ඒවා විකිණුවා නම්, කීහෝට සිය ණය බරින් නිදහස් වීමට අවශ්‍ය තරම් මුදලක් ලැබිය හැකිව තිබූ බවත් පසුව අනාවරණය වුණා. එමෙන් ම අපරාධයට මාස කිහිපයකට පෙර ප්‍රදේශයේ ඉදිකිරීමක් කරන ස්ථානයකින් ඩයනමයිට් තොගයක් සොරකම් කිරීමේ සිදුවීමක් ද වාර්තා වී තිබූ අතර, එහි සැකය එල්ල වී තිබුණේ කීහෝටයි.

තෙවන පිපිරිම සිදු වූ ෆෝඩ් රිය ආසන්නයේ තිබී හමුවූ ඇන්ඩෘ කීහෝගේ මළ සිරුර ඔහුගේ සොයුරියක විසින් භාරගෙන, සළකුණු නො කළ සොහොන් බිමක, නමක් සඳහන් නො කළ සොහොනක වල දමනවා. නෙලී හෙවත් එලන් ඇග්නස්ගේ සිරුරේ කොටස් ඇගේ ඥාතින් විසින් ලැන්සින් හි සොහොනක තැන්පත් කරන්නේ, ඇය විවාහයට පෙර භාවිත කළ නම යටතේ.

ඇන්ඩෘ කීහෝ, ඔහුට සිදුවූ අනතුරෙන් පසුව සාමාන්‍ය මානසික මට්ටමක් නො තිබූ අයෙකු බවට පත් ව තිබූ බවත්, එනිසා ම ඔහු, ඔහුට සිදුවන සෑම අයහපතක ම වගකීම සමාජය පිට පත්වන්නට පුරුදු වූ බවත් නිගමනය කෙරුණා. උමතු, වෛරයෙන් පිරුණු, ‘තිත්ත හදවතක්’ තිබූ මිනිසෙකු විසින් කළ අපරාධයක් ලෙසට ඇමරිකානු බලධාරීන් බාත් සංහාරය හඳුන්වන්නට යෙදුණා.

අයරින් ඩන්හැම් (Irene Dunham) බාත් පාසලේ සිසුවියක්. උගුරේ අසනීපයක් නිසා 1927 මැයි 18 ඇයට පාසල් යාමට හැකි වන්නේ නැහැ. පාසල පුපුරා යන හඬ ඇසීමෙන් පසු, ඇය ඇගේ මව සමඟ ඔවුන්ගේ මෝටර් රියේ නැගී වහාම ඒ දෙසට යනවා. ඉහළ නගින දුම් සහ දුවිලි වලාවන් අතරින් අයරින් ඩන්හැම් මුලින් ම දකින්නේ දුරකථන වයරයක පැටලී ඇති හිසක්.

බාත් සංහාරයේ 94 වැනි සංවත්සරය වෙනුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේ ඇය යළිත් ඒ සිදුවීම ආවර්ජනය කළා. තවමත් ජීවතුන් අතර සිටින  අයරින් ඩන්හැම්ගේ වයස මේ ලිපිය ලියන 2021 වසරට, අවුරුදු 113 ක්. ඇමරිකාවේ මිචිගන් හි වෙසෙන වයස්ගතම තැනැත්තිය වන්නේ ඇයයි.

දන්න කියන දරුවන්ගේ මුහුණු, ටෙලිෆෝන් වයර්වල, ගස් අතුවල එල්ලී තිබුණා. දූවිලි සහ දුම මැදින්, ඔවුන් විවරකරගත් ඇස්වලින් අප දෙස බලා සිටියා. එලෙස එල්ලෙන්නේ ඔවුන්ගේ හිස් පමණක් බවත්, කඳ කොටස් පොළොවේ විසිරි ඇති බවත් මට තේරුම් ගියේ ටික වෙලාවකට පසුවයි. අප එතනින් ඉවත් වීමට පෙර ඇන්ඩෘ කීහෝ ඔහුගේ වාහනය පදවාගෙන ආවා. ඔහු සුපිරිටෙන්ඩන්වරයාවත් මරාගෙන මෝටර් රිය පුපුරවගත්තේ ඒ වෙලාවේ. ඔහුගේ ෆෝඩ් රියේ කොටසක් විදුලි රැහැනක පැටළුණා…”

………තවදුරටත් මගේ හිතේ ඒ ගැන වෛරයක් නැහැ. ඒත් එදා ඇතිවුණු දුක, මගේ ජීවිතය අවසන් වන තෙක් ම පවතීවි. කීහෝ ගැනත් මගේ හිතේ දැන් ඇත්තේ දුකක් යයි මම හිතනවා. එය තවදුරටත්, කිසිසේත් ම වෛරයක් නම් නෙමෙයි …”

අයරින් ඩන්හැම් (Irene Dunham), වයස අවුරුදු 113 යි. 2021 අගෝස්තු

පුපුරා ගිය බාත් ප්‍රාථමික පාසල පිහිටි ස්ථානයේ දැන් ඇත්තේ උද්‍යානයකි. එහි සවිකළ පුවරුවක, ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකයක් පිහිටා තිබේ. බාත් ඛේදවාචකයෙන් දිවි ගලවාගත්, එහි සිසුන් ව සිටි පිරිසෙන් තවමත් ඉතිරිවී සිටින්නන්, වසරක් පාසා මේ උද්‍යානයට රැස්වන එදා මියගිය පිරිස අනුස්මරණය කරති.

සිදුවීමට සම්බන්ධ තවත් ඡායාරූප පහතින්

Lansing State Journal සවස පුවත්පත – මුල් පිටුව – මැයි 18, 1927
ගිලන් රථයක් විනාශ වූ පාසල ඉදිරියේ නවතා ඇති අයුරු – මැයි 18, 1927
නෙලීගේ සිරුර හමු වීමෙන් පසු – මැයි 18, 1927
විනාශ වුණු පාසල් ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින දරුවන් – මැයි 18, 1927
කීහෝගේ යන්ත්‍ර සූත්‍ර ගබඩාව පිපිරීමට පසු – 18 මැයි 1927. මෙයින් භාවිතා නො කළ ඒවා විකුණා ඔහුට පහසුවෙන් සිය ණය අහවර කිරීමේ හැකියාව තිබූ බව පසුව හෙළි විය.
තුවාල ලද දරුවන්ගෙන් කිහිප දෙනෙක් – Lansing State Journal උදෑසන පුවත්පත – මැයි 20, 1927
සුන්බුන් අතරේ වැටී ඇති සය හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් – Lansing State Journal උදෑසන පුවත්පත – මැයි 20, 1927
බෝම්බයේ 45 වැනි ගොදුර. දස හැවිරිදි  බියට්‍රිස් ගිබ්ස්, තෙ මසක් රෝහල්ගතව සිට අගෝස්තු 22 වැනිදා මිය ගියා ය.
පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික්ගේ මරණය පුවත්පතක පළ වී – මැයි 19, 1927
ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකය
බාත් ඛේදවාචය පිළිබඳව ලියවුණු කෘති

Rita John(රීටා ජෝන්) – කාකදූවේ ඛේදවාචකය

ලංකාව නිදහසේ ස්වරණ ජයන්තිය සමරන වර්ෂයේ සිදු වූ Rita John (රීටා ජෝන්) ඝාතනය ලංකාවේ කීර්ති නාමයට හානි කළ කළු පැල්ලමකි. මේ ඒ පිළිබඳ සටහනකි

කැලණි ගං මිටියාවත අසබඩ මෝදර කාක දූපත, වර්තමානයේ දකුණු ආසියාවේ ඇති විශාලතම මුහුදු බඩ උද්‍යාන අතුරින් එකක් පිහිටි ස්ථානයක්. දූපතක් ලෙස හැඳින්වූවත්, ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධව ඇති කාක දූපත, සවස් කාලයේ අතිශය සුන්දර ස්ථානයක්.

වර්තමානයේ නාගරික සංවර්ධනයේ කල එළිය වැටී තිබෙන මේ කාක දූව, මීට දශක දෙකකකට පමණ පෙර, එතරම් ම ජනාකීර්ණ නොවූ, කැලණි ගඟේ ජලයෙන් පෝෂණය වූ කඩොලාන සහිත වගුරින් පිරි බිමක්ව පැවතුණා. දහවල් කාලයේ පවා බිමට හිරු එළිය නොවැටෙන තරම් ඝන කඩොලාන ගහණයක් පැවති ඒ පරිසරය, විවිධ අපචාර සහ විෂමාචාර කරන්නන්ට හොඳ ආවරණයක් ලබා දුන්නා.

අද අපි කියවන සිදුවීම සිදුවන්නේ, 1998 වර්ෂයේදී. එවකට, පෙර විස්තර කළ අන්ධකාර පරිසරයක් තිබූ කාක දූවේ.

ඉන්දියාවෙන් ආ මනාලිය

Jude Manoharan(ජූඩ් මනෝහරන්) නාවික යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. ශ්‍රී ලාංකිකයෙක්.  Rita John (රීටා ජෝන්) ඉන්දියාවේ බොම්බායේ උපන් තරුණියක්.

ජූඩ් සිය රැකියාව කළ නෞකාව 1998 වසරේ බොම්බාය වරායේ නවත්වනවා. එම කාලයේ ඉරිදාවක, ජූඩ් බොම්බායේ සාන්ත මයිකල් දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙයට සහභාගී වනවා.

එදින පල්ලියට පැමිණි Rita John (රීටා ජෝන්) ව ජූඩ්ට මුලින්ම හමුවෙන්නේ මේ ගමනේදී.

1998 සැප්තැම්බර් 12 ශාන්ත මයිකල් දේවස්ථානයේදී ඉතාම සුන්දර, බටහිර විවාහ මංගල උත්සවයක් පැවැත්වෙනවා.  මේ  විවාහ උත්සවයේ මනාලිය වූයේ අපි කලින් කියූ, මුම්බායේ පදිංචිකාරියක වූ Rita John (රීටා ජෝන්) . ඇගේ අතගත් මනාලයා වූයේ ශ්‍රී ලාංකික නාවික ඉංජිනේරු (Jude Mohan Sunanthiran Manoharan) ජූඩ් මොහාන් සුනන්තිරන් මනෝහරන්.

ඔවුන් මුලින්ම හමුවූ පල්ලියේදීම, මේ දෙදෙනා දුකේදීත්, සැපේදීත්, සුවයේදීත්, විපතේදීත් එකිනෙකා අත නොහැර සිටින්නට ගිවිසගන්නවා.

විවාහයෙන් පසු ටික දිනක් ඉන්දියාවේ ගත කරන මේ දෙදෙනා, 1998.09.20 වැනිදා ලංකාවට එනවා.

Rita John (රීටා ජෝන්) ට ශ්‍රී ලංකාවේ පදිංචියට අවශ්‍ය දේ සම්පාදනය කරගනිමින් කාර්යබහුල වුණු නිසා නව යුවලට ඉන්දියාවේදී විවේක පාඩුවේ මධුසාමය ගත කිරීමට ඉඩක් නොලැබුණු තරම්. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව තම විවාහයේ සුන්දරත්වය විඳින්න ඔවුන් තුළ මහත් වූ බලාපොරොත්තු තිබුණා.

Jude Manoharan(ජූඩ් මනොහරන්)ගේ පියා, විශ්‍රාම ගිය පොලිස් අධිකාරීවරයෙක්. ඔහුගේ නිවස පිහිටා තිබුණේ මෝදර කාකදූපතේ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව නව යුවල පදිංචි වූයේ මේ නිවසේ.

ඔක්තෝබර් 11 . 1998

1998 ඔක්තෝබර් මාසේ 11 හවස 6.15 ට පමණ Rita John (රීටා ජෝන්) සහ Jude Manoharan(ජූඩ් මනොහරන්) , ඔවුන් වාසය කළ නිවසින් පිටත් වෙලා මෝය දිහාට ඇවිදින්න යනවා. සුදු කමිසයක් සහ දම් පැහැයට හුරු කොට කලිසමක් හැඳ සිටින ජූඩ් සහ නිල් ඩෙනිම් කලිසමක් සහ ලා කොළ පැහැති ටී ෂර්ට් එකකින් සැරසී සිටි රීටා මෝය දෙසට ඇවිදන් යනවා අසල්වාසීන් කිහිප දෙනෙකු විසින් දකිනවා.

ඉර බැස යන ආකාරය නරඹමින් විනාඩි 10 ක් 15ක් පමණ එතන ගත කරන මේ දෙදෙනා, නැවත නිවස දෙසට ඇවිදගෙන එනවා. ඒ වනවිට තරමක් දුරට කළුවර වැටිලා. තද වැස්සක් එන ලකුණුත් අහසේ දිස්වෙනවා.

මෙහෙම ඇවිදන් එන අතරේ,  ඉදිරියට හමුවන කඩල වෙළෙන්දෙක්ගෙන් කඩල ගොට්ටක් මිලදී ගන්න ජූඩ්, එය Rita John (රීටා ජෝන්) අතට දෙනවා.

දෙදෙනා මෝයෙ සිට නිවසට දෙසට මීටර් 200 –  300ක් පමණ එන විට, ඔවුන්ගේ  නිවස පිහිටි දිශාවේ සිට මෝය දෙසට ඇවිදන් එන සිව්දෙනෙකු හමුවෙනවා.

මේ පිරිස බීමතින් සිටින බව ජූඩ්ට තේරෙනවා.

මේ සිව්දෙනාගෙන් උසම පුද්ගලයා, හිස කෙස් ‘පෝනි ටේල්’ විලාසිතාවට සකසාගෙන සිටි කෙනෙක්. ඔහු සමඟම තවත් කෙනෙකුත්, ඔවුන්ගේ කණ්ඩායමේම සිටි තෙවැන්නා සහ සිව්වැන්නා මේ මුලින් කී දෙදෙනාට පසුපසින් –  සමීපයෙන් තමයි ඇවිදගෙන එන්නේ.

හිංසනයක් – විරෝධය පෑමක් – පහරදීමක් සහ පැහැරගැනීමක්

මේ තිදෙනා Rita John (රීටා ජෝන්) සහ Jude Manoharan(ජූඩ් මනොහරන්) පසුකරගන යන අතරේ, තෙවෙනියට ඇවිද යමින් සිටි තැනැත්තා “ආ කොහොමද?” අසමින් රිටාගේ අතින් අදිනවා. අනපේක්ෂිතව සිදුවූ මේ සිදුවීමෙන් රීටා එකවරම ඔහුගේ පැත්තට ඇදිලා යනවා.

ජූඩ් වහාම සිය බිරිඳව තමන්ගේ පැත්තට අදින ගමන්, “මොකක්ද කරන්නේ?” කියල අහනවා. රීටා තම සැමියාට මුවා වෙනවා.

ඒ එක්කම මේ අය ජූඩ්ට අසභ්‍ය වචනයෙන් බණිමින් ඔවුන්ව පසුකරගෙන යනවා.

සිදුවීමෙන් බියට පත් නව යුවල, වේගයෙන් නිවස දෙසට ඇවිදින්න පටන්ගන්නවා.

ගත වෙන්නේ සුළු මොහොතයි. තමන් පසුපස කෙනෙක් දිව එනවා දැනෙන ජූඩ් පිටුපස හැරෙනවා. ඒ එන්නේ මීට මොහොතකට පෙර රීටාගේ අතින් ඇද්ද පුද්ගලයා. ඒ සමඟම අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකු ඔහු පසුපසම දිව එනවා. මේක දකින ජූඩ්, රීටාට “දුවන්න.. දුවන්න” කියල කෑගහනවා. නමුත් රීටාට ඊට ඉඩ ලැබෙන්නේ නැහැ.

කොණ්ඩය ගැටගසා සිටි උස පුද්ගලයා රීටාව අල්ලාගනිද්දී (ඔහු පසුව මේ සිදුවීමේ පළමු චුදිතයා බවට පත්වුණා), අනෙක් දෙදෙනා ජූඩ්ව අල්ලා ගන්නවා. ඒ අතරේ රීටාව අල්ලාගෙන සිටින පුද්ගලයා තමන් ළඟ පිස්තෝලයක් ඇති බව කියමින් රීටාට තර්ජනය කරනවා ජූඩ්ට ඇහෙනවා.  කියනවා ඔහු සතුව පිස්තෝලයක් තියෙනවා කියලා. මේ අතරේ මුලින්ම රීටාගේ අතින් ඇද්ද පුද්ගලයා ( ඔහු 3 වන චූදිතයා බවට පසුව හඳුනා ගැනෙනවා) ජූඩ්ගේ බඩට පා පහරක් එල්ල කරනවා. ජූඩ් ඔහුගෙන් බේරෙන්න උත්සහ කිරීමේදී, ජූඩ්ගේ කමිසය ඉරී යනවා. උපැස් යුවලත් බිම වැටෙනවා. ඒ එක්කම ජූඩ්ගේ පෙනීම සෑහෙන තරම් දුරට බොඳ වෙනවා.

ජූඩ් තුන්වන චුදිතයගේ බඩට පා පහරක් දෙනවා. ඒ සමඟම ජූඩ්ව බිම වැටෙනවා. බිම වැටුණු ජූඩ් දෙවැනි චුදිතයට, අතින් එල්ල කරන පහර, ඔහුගේ යටිබඩට වැඩෙනවා. දෙවැනි චුදිතයා ඒ සමඟම ජූඩ් මතට ඇද වැටෙනවා. ඇද වැටෙන අතාරේ ඔහු ජූඩ්ගේ පපුව සපාකනවා. ඒ සපා කෑමේ ක්ෂණික වේදනාව එක්කම ජූඩ්ට ඇහෙන්නේ රීටා ඔහුගේ නම කියමින් උදව් ඉල්ලා කෑගසන අකාරය.

ජූඩ් දෙවැනි චූදිතගේ මුහුණේ නිකට ප්‍රදේශයට පහරක් එල්ල කරමින් නැගිටින විට, තුන්වෙනි චුදිතයා නැවතත් ඔහුට පහර දීමට උත්සාහ කරනවා.  ඒ අතරේ දෙවැනි චුදිතයා රිදී පති මාලයකින් ජූඩ්ගේ ගෙල සිර කිරීමට උත්සාහ කරනවා.

කොණ්ඩය පෝනි ටේල් දමා සිටි උස පුද්ගලයා, රීටා සමඟ එතනින් අතුරුදන් වී ඇති බව ජූඩ් දකින්නේ ඒ මොහොතේ. තව දුරටත් ඇගේ කෑගැසීම ඔහුට ඇහෙන්නෙත් නැහැ. ඔහු රීටාගේ නම කියමින් කෑගසන අතරේ, තුන්වැනි චුදිතයා ඔහුට යළිත් පහර දෙනවා. ජූඩ් ඒ පහර කාගෙනම සිය නිවස වෙතට දුවනවා.

රීටා කෝ?

කෑගසමින් නිවසට දුවන ජූඩ්ට, ඔවුන්ගේ අසල්වැසි අසල්වැසියකු වුන බාලක්‍රිෂ්ණන්ව හමුවෙනවා. ජූඩ් බාලක්‍රිෂ්ණන්ට සිදුවීම කියනවා. ඉක්මනින් මේ ගැන තම පියා දැනුවත් කරන්න කියල ජූඩ්ට උපදෙස් දෙන බාලක්‍රිෂ්ණන්, සිද්ධිය වුණු දෙසට දුවනවා. ඒ අතරේ තමන්ගේ පියාට සිද්ධිය කියන ජූඩ් ආපහු සිදුවීම වුණු තැනට දුවනවා. සිදු වී ඇති දෙය හරියටම තේරුම් නොගියත්, යම් කරදරයක් වෙලා කියල තේරෙන අසල්වැසියන් දහ පහළොස් දෙනෙකුත් ජූඩ් පිටිපස්සෙන් දුවනවා.

මේ අතරේ ජූඩ්ගේ පියා වහාම මෝදර පොලිසියට දුරකථන ඇමතුමක් දීලා, තමන්ගේ ලේලියව පිරිසක් විසින් පැහැරගත් බව දැනුම් දෙනවා. විනාඩි දහයක් යන්නත් කලින්, මෝදර පොලිස් ස්ථානාධිපති රංජිත් දෙහිදෙණිය, පොලිස්  කණ්ඩායමක් එක්ක සිද්ධිය වූ ස්ථානයට යනවා.

එකවරම මහ වර්ෂාවක් ඇදහැලෙන්න පටන්ගන්නවා.

පොලිසියට අමතරව යුධ හමුදාවේ කිහිප දෙනෙකුත්, මහා වැසි නොතකා රීටා සොයා මෙහෙයුම් ආරම්භ කරනවා.

සිදුවීම සිදුවූ ස්ථානය ආසන්නයේ බිම තිබී, ජූඩ්රීගේ ඉරුණු කමිසයත්, රීටාගේ සෙරෙප්පුවකුත් හමුවනවා.  පොලිස් නිල සුනඛයෙක් ගෙන්වා සෙරෙප්පුව ඉව කිරීමට සැලස්වුවත්,  සෙරෙප්පුව වැස්සට තෙමී තිබුණ බැවින් සුනඛයාට ඉව වැටෙන්නේ නැහැ.

රාත්‍රී 11 පමණ වන තෙක් ඔවුන් ප්‍රදේශය සෝදිසි කළත්, රීටාගේ සලකුණක්වත් ඔවුනට හමුවන්නේ නැහැ.

පසුදාට පහන් වෙනවා. ඒ 1998 ඔක්තෝබර් 12. රීටා සහ ජූඩ් විවාහ වී එදිනට මාසයයි.  එදිනත් දවස පුරාම රීටා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.  මේ මෙහෙයුම්වලට ජූඩ් සහභාගී වෙනවා.

මේ අතරේ ජූඩ්ගේ විස්තර අනුව සැකකරුවන් හඳුනාගන ඔවුන් මගින් රීටා සොයාගැනීමට පොලිසිය උත්සහ කරනවා.

සැකකරුවන් අත්අඩංගුවට

ජූඩ්ගේ මෙන්ම අසල්වැසියන්ගෙන් ලද තොරතුරුවලට අනුව ලක්ෂ්මන් පෙරේරා නමැති පුද්ගලයා මෝදර ඉබ්බගේ වත්තේදී පොලිස් අත්අඩංගුවට පත්වෙනවා. රීටා පැහැරගත් තිදෙනාට අමතරව ඔවුන් සමඟ සිටි, කලබලය සිදුවන අවස්ථාවේ එතනින් පලාගිය පුද්ගලයා තමයි ලක්ෂ්මන්. ඔහු රීටාට සිදුවූ දෙයක් නොදන්නා නමුත් කලබලයට සම්බන්ධ වූ අනෙක් අය ගැන තොරතුරු පොලිසියට ලබා දෙනවා.

ඒ අනුව දෙවැනි විත්තිකරු වූ  බැසිල් නොහොත් නිශ්ශංක කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගැනෙනවා.

තුන්වැනි විත්තිකරු වන චමින්ද නොහොත් ආසිරි කැලණියේ දී අත්අඩංගුවට පත් වෙනවා.  පළමුවැනි විත්තිකරු හෙවත් රීටාව පැහැරගත් පුද්ගලයාගේ නම අජිත් නොහොත් කොණ්ඩ අජිත්. ඔහු ඒ වනවිට හසලක ප්‍රදේශයට පලා ගිහින්.

රීටාගේ සිරුර හමුවෙයි

තුන්වැනි විත්තිකරු වූ චමින්දගේ තොරතුරු අනුව, 1998 ඔක්තෝබර් 12 වැනිදා සවස 2 ට පමණ, පොලිස් කණ්ඩායමක් සමඟ ජූඩ් තම බිරිඳගේ සිරුර ඇති බව කියන ස්ථානයට යනවා.  කාක දූපතේ නාරා ගොඩනැගිල්ලේ පිටුපස වගුරු ප්‍රදේශයේ තිබුණු රීටාගේ නිරුවත් සිරුර ඔවුන්ට හමුවෙනවා.

පොලීසිය විසින් සිරුර ගොඩගන්නා අවස්ථාවේ, ‘Gypsy’ වර්ගයේ කරාබු ජෝඩුවක් හැරෙන්නට ජූඩ් පොලිසියට කළ විස්තරයේ වූ වෙනත් කිසිදු ආභරණයක් හෝ ඇඳුමක් ඇගේ සිරුරේ නැහැ.

ජූඩ්ට අනුව රීටා අවසන් වරට නිවසින් පිටවන විට, ලා කොළ පැහැති, ඉදිරියෙන් බොත්තම් විවරකළ හැකි ටී ෂර්ට් එකක්, සහ නිල් ඩෙනිම් කලිසමක් ද, ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රෙෂියර් යට ඇඳුමක් සහ Mark & Spenser කාන්තා බ්‍රීෆ් යට ඇඳුමක් ද ඇඳ සිටියා.

එමෙන්ම ‘Gypsy’ කරාඹු යුගලක් සහ විවාහ දිනයේදී ඔහු විසින් බැඳ තිබූ මංගල තාලියත්, එය සමඟම මාලයක ඇමිණු KDM යන මුලකුරු සහ 916 අංකය එන්ග්‍රේව් කර තිබූ පෙන්ඩනයත් පැළඳ සිටියා.

මංගල මුද්දක්, දියමන්ති මුද්දක් මෙන්ම අංක 8 නිරූපණය කරන මෝස්තරයක් මධ්‍යයේ මල් මෝස්තරයක් තිබූ වළලු ජෝඩුවක් පැළඳ සිටියා.

මෙයින් ‘Gypsy’ කරාබු යුගල පමණක් මළ සිරුරේ තිබුණා.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් දුන් තොරතුරු අනුව, 13 වැනිදා සවස පොලිස් කණ්ඩායමක් හසලක බලා ගියා. 14 වැනිදා පාන්දර කොණ්ඩ අජිත් අත්අඩංගුවට ගැනුණා.

කොණ්ඩ අජිත් ලබා දුන් තොරතුරු අනුව,  රීටා හැඳ සිටි ඩෙනිම් කලිසමත්, කමිසයත්, අනෙකුත් ඇඳුමුත් කොට්ටන් ගසක් යට පස්වලින් වසා සඟවා තිබියදී සොයා ගැනුණා. රීටා සතුව තිබී කොල්ලකන ලද වළලු දෙක කොණ්ඩ අජිත්ගේ බිරිය විසින් පොලිසියට බාර දුන්නා.

මෝදර පොලීසියේ ස්ථානාධිපති අයි.පී. චන්ද්‍රතිලක දෙවන චූදිතගේ ප්‍රකාශය මත ඔහුගේ නිවසේ සඟවා තිබියදී රීටාට අයත් මාලය සහ තාලිය සොයා ගන්නවා.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී ජූඩ් මනෝහරන් විසින් චූදිතයින්ව හඳුනාගන්නවා.

මරණ පරීක්ෂණය

1998.10.14 වැනිදා මළසිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන යාමෙන් පසුව, ජූඩ් මනෝහරනුත් සහ ඔහුගේ සොයුරා විසින් එය රීටා ජෝන්ස්ගේ බව හඳුනාගෙන තහවුරු කරනවා.

සහකාර අධිකරණ වෛද්‍ය  විදානපතිරණ විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට පෙර වූ තුවාලත් මරණයෙන් පසුව ඇතිවුණු තුවාලත් නිරීක්ෂණය වනවා.

එක් පුද්ගලයකුට වඩා වැඩි තැනැත්තන් පිරිසක් විසින්  ඉතා දරුණු ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඉන් අනතුරුව  ගැටයකින් බෙල්ල තද කිරීම නිසා ඇය මරණයට පත්ව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වුණා. පැහැර ගැනීමට ස්වල්ප වේලාවකට පෙර, රීටා අවසන් වරට ආහාරයට ගත් කඩල ඇගේ ආහාර මාර්ගයේ ගමන් කර තිබූ කාලය අනුව, මරණය සිදුව ඇත්තේ, එම ආහාරයෙන් පැය පහකට ආසන්න කාලයක් තුළ බව නිගමනය කෙරුණා.

නඩු විභාගය ඇරඹෙයි

අපරාධ විධි විධාන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ජූරි සභාවක් නොමැතිව ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග වුණා.

විත්තිකරුවන් සිව් දෙනාගෙන් ලක්ෂ්මන් ප්‍රනාන්දු නැමැති අය නිදොස් කොට නිදහස් කෙරුණා. ඔහු රජයේ සාක්කිකරුවෙකු බවට පත්වුණා.

මෙම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිඥ සංගමය තීරණය කර තිබුණා.

එසේ වුවත්, නීතිඥයන් දෙදෙනකු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියා.

ලැබී ඇති සාක්කි මත පදනම්ව, අධිකරණයේදී සිදුවීම ගොඩ නැගුණා.

1998.10.11 ලක්ෂ්මන්, අජිත්, බැසිල් සහ චමින්ද යන සිව්දෙනාත් තවත් දෙදෙනෙකුත් මත්පැන් සහ ගංජා පානය කරනවා. අධික ලෙස වෙරිමතින් සිටි මේ අයගෙන් සිව් දෙනෙක්, මෝය කට දෙසට ඇවිද යන අතරවාරයේ රීටාට සහ ජූඩ්ට හමු වනවා.

රීටාව පළවෙනි විත්තිකරු විසින් කැලයට ඇදගෙන යනු සහ, ඉතිරි දෙදෙනා ජූඩ් සමඟ ගැටෙනු දුටු ලක්ෂ්මන්, එතනින් පැන දුවනවා.

චමින්ද හා බැසිල් ජූඩ් සමඟ පොර බදනවිට,  අජිත් රීටාව කැලයට ඇදගෙන යනවා. රීටාව සොයාගැනීමට නොහැකි වූ තැන, ජූඩ් උදව් ඉල්ලමින් පැන දිවූ  පසු බැසිල් හා ආසිරි ද අජිත්ට එකතු වී රීටාව තව දුරටත් කඩොල් කැලය තුළට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර කරනවා.

අතවරවලින් පසුවත් ඇයට සිහිය තිබුණු අතර, ඇය වේදනාවෙන් කෙඳිරිගාමින් සිටිනවා. (මේ බව දෙවැනි චුදිතයා විසින් පොලිසියේදී පවසා තිබුණා.)  තමන් කළ අපරාධය වසන් කිරීමේ අරමුණින් මේ තිදෙනා, වැල්පොටකින් ගෙල සිර කර රීටා ඝාතනය කරනවා.

ඉන්පසුව ඇගේ ස්වර්ණාභරණ කොල්ලකා, සිරුර ඒ ආසන්නයේ වූ ජපන් ජබරවලින් වැසී ගිය මඩ ඇළට ඇද දමනවා.

මෙහිදී විත්තිකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ සිරුරේ තිබූ තුවාලවලට අවධානය යොමු වුණා. ස්ත්‍රී දුෂණයක් අවස්ථාවේ, ඉන් ගැලවීමට උත්සාහ කරන ස්ත්‍රියක විසින් ඇති කළ තුවාල ලෙසට ඇතැම් තුවාල හඳුනා ගැනුණා.

එමෙන්ම ජූඩ්ගේ පියයුරකට උඩින් වූ තුවාලය, මිනිසෙකු විසින් සපාකෑම නිසා ඇතිවූවක් බවත් මෙහිදී ඔප්පු වුණා.

තීන්දුව ලැබෙයි

 මාස හයකුත් දින 18ක් තිස්සේ කොළඹ මහාධිකරණයේ මෙම නඩුව විභාග වෙනවා. අවසානයේ, 1999 මැයි මස 31 වැනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනවා.

රීටා ජෝන් පැහැරගෙන යාම, අතවර කිරීම, මිනීමැරීම, දේපළ සොරා ගැනීම යන චෝදනා යටතේ පළමු වැනි විත්තිකරු වූ අජිත් ප්‍රනාන්දු හෙවත් කොණ්ඩ අජිත්ට මරණ දඬුවමත්, වසර 42ක සිර දඬුවමකුත් නියම කෙරෙනවා.

දෙවැනි විත්තිකරු වූ කේ. බාලපුවඩුගේ බැසිල් මෙන්ඩිස්ට ද මරණ දඬුවමත්, වසර 42ක සිර දඬුවමකුත් නියම කෙරෙනවා.

තුන්වැනි විත්තිකරු වූ චමින්දට කුමාර ප්‍රනාන්දුට දේපළ සොරා ගැනීමේ චෝදනාව එල්ල වුණේ නැහැ. ඒ අනුව ඔහුට මරණ දඬුවමත් වසර 32ක සිර දඬුවමකුත් නියම කෙරෙනවා.

මේ සිද්ධිය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් තමන් නිර්දෝෂී බවත් විත්තිකරුවන් තිදෙනාම මෙහිදී කියා සිටියා. එමෙන්ම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව චූදිතයන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනවා.  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඇපෑල විභාග කෙරෙනවා. එහෙත් තීන්දුව වෙනස් වන්නේ නැහැ.

පසු විපරම

මරණ දඬුවම් නියම වූ මේ තිදෙනාගෙන් අජිත් හා චමින්ද වැලිකඩ බන්ධනාගාරයේ එල්ලා මැරීමට නියමිත සිරකරුවන් රඳවා තබන කුටිවල රඳවනවා.

බැසිල් පසුව බෝගම්බරින් වැලිකඩටත්, වැලිකඩින් අඟුණකොළපැලැස්සටත් මාරු කෙරෙන අතර, 2018 නොවැම්බර් 16 අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ගැටුමේදී ඔහු විසින් එහි සිටි තවත් සිරකරුවෙකුව ඝාතනය කරනවා.

බැසිල් අතින් එලෙස ඝාතනය වන්නේ, 1999 වසරේදී හෝකන්දර සය පුද්ගල ඝාතනයේ  ප්‍රධාන වරදකරු වූ සේනක සංජීව හෙවත් උක්කුවායි.

සිද්ධිය වන විට අජිත් හා බැසිල් විවාහ වී සිටි බිරින්දෑවරු මේ වන විට නැවත විවාහ වී සිටිනවා.

ඛේදවාචකයෙන් පසුව  මනෝහරන් පවුල කාකදූපතේ නිවෙස විකුණා දමා දෙහිවල පදිංචියට යනවා.

දුටු සැනින් පෙමින් බැඳී, නෑසියන් ද පුරුදු පරිසරයද හැරදා තමන් හා නුපුරුදු රටකට ආ තම බිරිඳට අත්වූ ඛේදනීය ඉරණම නිසා තවමත් තනිකඩව පසුවන ජූඩ් මනෝහරන් මහතා මේ වනවිට ශ්‍රී ලංකාව හැර දමා ගොස් විදේශයක පදිංචිව සිටිනවා.

Sandra Valentine (සැන්ඩ්‍රා වැලන්ටයින්) අතුරුදහන්වීම

Sandra Valentine අතුරුදහන් වූවාද ? නැත්නම් ඝාතනය වූවාද? පිළිතුරක් නැති ප්‍රශ්නයකි

මේ කතාව ඔබට කීමට අප සතුව ඇත්තේ 1989 වසරේ විදෙස් පුවත්පතක් සහ තෙවන පාර්ශ්වයකින් ලද තොරතුරක් පමණයි.
කහ ගැහෙමින් යන පත්තර පිටුවක, තිස් එක් හැවිරිදි හුදෙකලා සංචාරක යුවතියක්, කාලයේ නතරවුණු සිනහා මුසු මුහුණකින් යුතුව බලා සිටිනවා.
ඇයව කිසිවෙකු හෝ අවසන් වරට දකින්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේදී. එදා සිට වසර 32 ක් දැන් ගත වී අවසන්
.


ගෙදරට ලියුමක්


1989 මාර්තු මාසයේ 24 වැනිදා, තිස් එක් හැවිරිදි ඇමරිකානු ජාතික තරුණියක් වුණු සැන්ඩ්‍රා වැලන්ටයින් (Sandra Valentine), සිය මව්පියන්ට ලිපියක් ලිව්වා.

තමන් මේ වෙද්දී යෙදෙමින් ඉන්න ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් යහපත් අන්දමින් කෙරෙන බවත්, මීළඟට සෞම්‍ය දේශගුණයක් තිබෙන, ‘කොළ පැහැති කඳුවලින් පිරුණු’ නුවරඑළියේ සංචාරයක යෙදෙන බවත් සැන්ඩ්‍රා වැලන්ටයින්ගේ ලිපියේ සඳහන් වුණා. මේ ලිපිය එක්කම, තමන් කළින් සිය මව්පියන්ට යැවූ ලිපිය තැපෑලට දැමුවට පස්සේ ලබාගත් සිහිවටන සහ ත්‍යාග කිහිපයකුත් තැපෑලට දාන්න සැන්ඩ්‍රා අමතක කළේ නැහැ.

සති කිහිපයකින් මේ සියල්ල, මැන්හැටන් හි පිහිටි සැන්ඩ්‍රා වැලන්ටයින් ගේ මව්පියන්ගේ සුඛෝපභෝගී නිවසට ලැබෙනු ඇති.

මව්පියන්ගේ කනස්සල්ල

1989 මැයි මාසේ මැද වෙද්දී, ඇමරිකාවේ මැන්හැටන් හි ජීවත්වුණු ධනවත් නීතිඥයෙක් වුණු රිචඩ් වැලන්ටයින් සහ ඔහුගේ බිරිඳ නැන්සි, ලොව වටා සංචාරය කිරීමට ගිය තම දියණිය වන e හට කුමක් හෝ නපුරක් වී ඇති බවට සැක කරන්නට වුණා. සංචාරය අතරතුරදී සතියකට දෙවතාවක්වත් සිය මව්පියන්ට සහ සොයුරියට ලිපි ලියන ඇගෙන් අවසන් වරට ලිපියක් ලැබුණේ අප්‍රේල් මාසයේ. එය ලියා තිබෙන්නේ මාර්තු 24 වැනිදා.

සතියකට වරක්වත්, ඇය ඊට සති කිහිපයකට පෙර ලියූ ලිපි ලැබීම පුරුද්දක් වී තිබුණු නිසා, මේ නිහඬබව ඔවුන් තුළ ඇති කළේ බියක්.
අන්තර් මහද්වීපික තැපැල් හුවමාරුවේ ප්‍රමාදයක් නිසා ලිපි පමා වන බව ඔවුන් මුලින් සිතුවත්, මෙතරම් කාලයක් ලිපි නොලැබෙන්න එය හේතුවක් නොවන බව ඔවුන්ට වැටහුණේ ඒ අතර කාලයේ පිටරටින් ඔවුන්ට ලැබෙන ලිපි නිසි සේ ලැබුණු නිසයි.

දුරකථන පහසුකම් සුලබ නොවූ ඒ කාලයේ, තැන තැන සංචාරය කරන අයෙකු සම්බන්ධ කරගත හැකි එකම ක්‍රමය වූයේ ඔහු හෝ ඇය එවන ලිපි හෝ, ඔහු හෝ ඇය විසින්, ස්ථාවර දුරකථනයක් මගින් ලබා දෙන ඇමතුම් පමණයි.

හැකි සෑම අයුරකින් ම සොයා බැලීම් කළත්, දියණිය පිළිබඳව කිසිවක් ම සොගත නොහැකි වූ තැන, මේ මවුපියන් 1989 ජූනි මාසයේ ශ්‍රී ලංකාව බලා පැමිණෙනවා.

ලොව වටා සංචාරයේ ගිය තරුණිය

නැන්සි (දරුවන්ගේ මවගේ නමත් නැන්සි), පැට්‍රිෂියා සහ පෝල් යන සහෝදර සහෝදරියන් සමඟ වැඩුණු සැන්ඩ්‍රා කුඩා කාලයේ සිටම සුඛෝපභෝගී ජීවිතයකට හිමිකම් කියුවා. වයසින් වැඩී තුරුණු වියට එළඹුණු පසුව අලෙවිකාරිණියක් බවට පත්වුණා. එකල නිව්යෝක් නගරයේ ජීවත් වුණු, ඉහළම වැටුපක් ලද අය අතරේ සැන්ඩ්‍රා වැලන්ටයින් ද සිටියා.

සියලු යසසින් පිරි ජීවිතයක් ගත කළත්, යම් කිසි අඩුවක් දැනුණු සැන්ඩ්‍රා, 1987 වසරේදී නිව්යෝක් නගරයේ ඇයට තිබූ සුවිශාල වගකීම්වලින් මිදී, ලොව වටා සංචාරයක් ආරම්භ කළා. ඇගේ සංචාරයේ මූලිකම අරමුණක් වුණේ බෞද්ධ සහ හින්දු දර්ශනය මුල් බැසගත් ආසියාව ගවේෂණය කිරීමයි.

අගේ සංචාරයේදී ඇය ජපානයටත්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, චීනය සහ ටිබෙටයටත් ගියා. ටිබෙටයේ දලයි ලාමාගේ දේශනා අසමින් කාලය ගතකළ ඇය ඉන්පසුව තායිලන්තයටත්, ඉන් අනතුරුව ඉන්දියාවටත් පැමිණියා.

ඇගේ ඊළඟ ගමනාන්තය වූයේ ශ්‍රී ලංකාවයි.

මේ මුළු ගමන පුරාම තරු පහේ හෝටල්වල නවාතැන් ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය, ඒ ඒ රටවල ජන ජීවිත හා සමීප වීමේ අරමුණින්, සාමාන්‍ය ජනතාව යනෙන හෝටල්වල ලැගුම් ගන තිබුණා. එමෙන්ම ගමන අතරතුර දී දින දෙකෙන් දෙකට වරක්වත් සිය මව්පියන්ටත් සොහොයුරියටත් ලිපි මෙන්ම, ඒ  ඒ රටවලින් ලබාගත් සිහිවටන යැවීමටත් අමතක කළේ නැහැ.

ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1989 මාර්තු විසි වැනිදා. ඇය සිය මව්පියන් අමතා අවසන් ලිපිය ලියන්නේ මාර්තු 24 වැනිදා යි. ඉන්පසු ඇය ආ ගිය අතක් නැහැ.

මෙහෙයුම් ඇරඹෙයි

සිය දියණිය ගැන තැවෙමින් සිටි වැලන්ටයින් යුවල, ශ්‍රී ලංකාවට පැමිණ සිය සොයාබැලීම් සිදුකළත්, ඒ වනවිට උතුරේ ඇතිවී තිබූ යුධ තත්ත්වය මෙන්ම, දකුණේ ඇතිවී තිබූ දේශපාලන අස්ථාවර භාවයත්, සිවිල් කෝලාහලත් නිසා ඔවුන්ට කිසිදු තොරතුරක් සොයාගත හැකිවන්නේ නැහැ.

පුවත්පත්වලට සිය දියණියගේ ඡායාරූප යවමින් ඔවුන් කළ සොයාබැලීම් නිරර්ථක වනවා.

ඒ නිසා ඔවුන් සීෂෙල්ස් හි පිහිටි රහස් පරීක්ෂක ආයතනයක කණ්ඩායමකට සිය දියණිය සෙවීම භාර කරනවා.

වෙනත් බොහෝ සංචාරකයන් මෙන් නොව, සැන්ඩ්‍රා යම් කිසි රටකට පා තැබූ මොහොතේම එහි ඇමරිකානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීම පුරුද්දක් කොටගත්තා. ඒ  අනුව 1989 මාර්තු 20, මුම්බායේ සිට පැමිණි සැන්ඩ්‍රා, කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබුණා. ඒ කාලයේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කළ Richard Sherman රිචඩ් ෂර්මන් මේ බව තහවුරු කරනවා.

තනිව ආ සංචාරක යුවතිය ඔහුට හොඳින් ම මතක තිබෙනවා.

නුවරඑළියේ දින ගණනක් පුරා කළ සොයාබැලීම්වලදී, 1989 මාර්තු 28 දක්වා ඇය පිළිබඳව, තහවුරු කරගත හැකි තොරතුරු ලැබෙනවා. ඉන් පසුව ඇය සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු, ඇය දුටු බව කියන ප්‍රදේශවාසීන්ගේ තොරතුරු කිසිවක් තහවුරු කරගත හැකි වන්නේ නැහැ.

අවසන් වරට තහවුරු වන තොරතුර වන්නේ සැන්ඩ්‍රා වැලන්ටයින් නුවර එළියේ තේ වත්තක් නැරඹීමට ගිය බවයි. ඒ මාර්තු 28 වැනිදා.

ඉන්දියානු ගුවන් සමාගමට අයත් IC 508 අංකය දරන ගුවන් යානයෙන්, මාර්තු 30 ඇය ශ්‍රී ලංකාවෙන් පිටවීමට නියමිතව තිබුණා.

එහෙත් ඇය ඒ ගුවන් යානයට නැගුණේ නැහැ.

ඇට සැකිල්ලක් ලැබෙයි

1989 ජූනි මාසයේ තෙවන සතියේ, නුවර එළියේ වතු යායක තිබී මස් දියවී ගිය, දුගඳ හමන කාන්තා ඇටසැකිල්ලක් හමුවනවා.

මේ බොහෝ දුරට අතුරුදන් වූ ඇමරිකානු සංචාරක යුවතියගේ බවටයි සැක කෙරෙන්නේ. එහෙත් පසුව, ඇගේ මව්පියන් විසින් පොලිසියට ලබා දෙන, සැන්ඩ්‍රා ගේ දන්ත එක්ස්රේ වාර්තා සමඟ මේ ඇටසකිල්ලේ දත් ගැළපෙන්නේ නැහැ.

තම දියණිය පිළිබඳව කිසිදු තොරතුරක් නො ලද වැලන්ටයින් යුවල, බිඳුණු හැදින් යළිත් සිය මව් රටට යනවා.

සැන්ඩ්‍රා ගේ දිනපොත හමුවෙයි

ජූලි මාසයේ මුල නුවරඑළියේ ජනපති බංගලාව අසල මාර්ගයේ පඳුරු ගොන්නක තිබී සංචාරක ගමන් මල්ලක් හමුවන්නේ බංගලාව බලාගන්නා අයෙකුටයි.

ඒ ගමන් මල්ල සැන්ඩ්‍රා ගේ.

එහි තිබී ඇගේ දිනපොත, කැමරාවේ කවරය, අඩක් කැඩුණු සුදු පැහැති අව් කණ්ණාඩිය සහ තවත් ලියකියවිලි කිහිපයක් හමුවනවා.

ඒ ලියකියවිලි අතර “Lonely Planet ” සම්පාදනය කළ ශ්‍රී ලංකාවේ සංචාරක මාර්ගෝපදේශය සහ සිය සොයුරියට ලියූ ලිපියක් ද වනවා.

ඇගේ දිනපොතේ, එතෙක් ඇය කළ සංචාරවල විස්තර විශාල වශයෙන් දකින්නට වූ අතර, චීන පුරාවස්තු පිළිබඳව විශාල විස්තරයකුත්, දලයි ලාමා හමුවූ අවස්ථාවේ කළ කතාබහත් සටහන් ව තිබෙනවා. මේ සංචාර අතරතුර ඇයට තවත් ඇමරිකානු සංචාරක යුවතියක් හමුවන අතර දෙදෙනා එක්ව තරමක් දුර සංචාරය කරනවා. නමුත් ඉන්දියාවේදී උදරාබාධයක් වැළඳුණු නිසා ඇය සිය සංචාරය අතරමග නතර කර ආපසු යනවා.


කැත වෙරලක් – ලස්සන මිනිස්සු

කොළඹ – වල්ලවත්ත ආසන්නයේ වූ වෙරළබඩ තානායමක දින තුනක් ගතකරන සැන්ඩ්‍රා, කොළඹ ඉතා අවලස්සන වෙරලක් ඇති නමුත් ලස්සන මිනිසුන් පිරුණු නගරයක් බව සිය දිනපොතේ සටහන් කරනවා.

එම තානායමට රැයකට ඩොලර් පහක් බැගින් ගෙවූ බවත් එහි සටහන්.

එමෙන්ම තරුණ පිරිමින් බලහත්කාරයෙන් ම උදව් කරන්නට පැමිණ මුදල් කඩා ගැනීමට උත්සහ කරන බවත්, එය ඉතාම නොරුස්සනා දෙයක් බවත් ඇය සිය දිනපොතේ ලියනවා.

ඇගේ අවසන් දින සටහන මාර්තු 27 ලියා තිබුණේ නුවරදී.  ”ආසියාවේ ලස්සන ම නැටුම් බැලුවා” ඇය එදින රාත්‍රියේ සටහන් කරනවා. රැයට ඩොලර් දෙකක් වූ තානායමක එදා ඇය නවතිනවා. එහි නවාතැන් ගන්නා ඇයව එහි හිමිකාරියගේ පුතු වූ අසංග අබේවික්‍රමට  ඇයව මතක තිබෙනවා.

හොඳින් මතකයි

“අපි පැය භාගයක් පමණ කතා බහ කළා…” අසංග අබේවික්‍රම පවසනවා. “නුවර ඉතාම ලස්සන නගරයක් නිසා තව දින කිහිපයක් එහි නවතින ලෙස මම කිව්වා. එහෙත් නුවර එළියේ ගොස් දින දෙකක් නැවතී සිට ආපහු ඉන්දියාවටත් – අප්‍රිකාවටත් යා යුතු බවත් ඇය කිව්වා. එමෙන්ම ඇගේ විශාල ගමන් මල්ල මෙහි තබා ගියේ නැවත ගුවන් තොටුපළට යනවිට එය ගෙන යන බව කියලයි…”

ඇත්තෙන්ම මේ ගමන් මල්ල තානායමේ රාක්කයේ තිබී හමුවුණා.

අසංගගේ සොයුරා පසුදින ඇයව බස් නැවතුමට ගෙන යන අතර, රුපියල් 26 ක් ගෙවා බස් ප්‍රවේශපතක් (එකල ඩොලර් සත 80 ක් පමණ) ගන්නා ඇය නුවර එළියේ සංචාරකයන්ට විවෘත තේ කර්මාන්තශාලාවකට යනවා. එහි අමුත්තන්ගේ පොතේ ඇගේ අත්සන තිබී හමුවෙනවා.

ඉන් පසු ජර්මානු යුවලක් සමඟ ගොල්ෆ් පිටිය දක්වා යන ඇය එතැනදී ඔවුනට සමුදෙනවා.

මේ යුවල ඇගේ අතුරුදන් වීමේ පුවත පුවත්පතින් දැක, වැලන්ටයින් යුවල හමුවී මේ තොරතුරු දෙනවා.

එදින දහවලේ ඇය නුවර එළියේ හෝටලයකින් කොළඹට ඇමතුමක් ගෙන, දෙදිනකින් යෙදෙන තම ගුවන් ගමන තහවුරු කරගන්නවා.

මේ ඇය ගැන අවසන් හෝඩුවාවයි.

ලංකාවට යන්න එපා!

සැන්ඩ්‍රා වැලන්ටයින් අතුරුදන් වීමෙන් පසුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම පුරවැසියන්ට අනතුරු අඟවනවා.

සිවිල් යුද්ධය සහ දේශපාල අස්ථාවරබව නිසා මිනිසුන් විශාල වශයෙන් අතුරුදන් වන රටක් ලෙසටයි ඔවුන් එදින ශ්‍රී ලංකාව හඳුන්වන්නේ.

වැරදි තැනක – වැරදි වෙලාවක

“මට ටිකක් විනෝද වෙන්න ඕන.. මට සැහැල්ලු වෙන්න ඕන..” සැන්ඩ්‍රා වැලන්ටයින් සිය අවසන් දින සටහනේ ලියනවා.

ඇගේ අතුරුදන්වීම ගැන සොයා බැලූ නුවර එළිය පොලිසියේ පරීක්ෂකයෙකු පසුව මෙසේ පවසන ලද බව එකල ලොස් ඇන්ජලිස් පුවත්පත වාර්තා කරනවා.

” සමහරවිට ඇය වැරදි තැනක, වැරදි වෙලාවක විනෝද වෙන්න ගිහින් විපතක වැටුණා වෙන්න පුළුවන්…”

රිචඩ් වැලන්ටයින්, සිය දියණියට අත්වූ ඉරණම ගැන කිසිත් නො දැනම 2003 වර්ෂයේදී මියයනවා. සැන්ඩ්‍රාගේ සොයුරු පෝල් මියයන්නේ 2005 වර්ෂයේදී.


පෝල් වෙනුවෙන් ඉදිකළ සොහොන් කොතේම ඔවුන් සැන්ඩ්‍රාගේ නමත් සඳහන් කරනවා.

Sandra Valentine තවමත් අතුරුදන්. ඇය මියගිය බවට මරණ සහතිකයක් පවුලේ අයට 1999 වසරේදී ලැබුණු බවට තොරතුරු ඇතත් එය තහවුරු කරගැනීමට අපට හැකි වුණේ නැහැ.

ලොලිටාගෙන් නොමිදුණු සූ

 0

ආන්දෝලනාත්මක සාහිත්‍ය කෘතියක්

1955 දී සාහිත්‍යධර ව්ලැදිමීර් නබකෝව් විසින් ලියන ලද ලොලිටා, සාහිත්‍ය ලෝකයේ හැඳින්වෙන්නේ ස්ත්‍රියක කෙරෙහි වූ පිරිමි ආශාව පරිපූර්ණවම විස්තර කළ සාහිත්‍ය කෘතිය ලෙසයි.

නව යොවුන් වියේ දී පෙමින් බැඳී සිටි දැරිය නො කල්හි මරණයට පත්වීමෙන් පසුව, ඇගේ වියපත් නොවන මතකය සමඟ වියපත් වන ගුරුවරයා හම්බර්ට්, රැකියාවේ අවශ්‍යතාව මත වෙනත් ප්‍රදේශයකට මාරු වන්නේ ය. ඔහු නවාතැන් ගැනීමට යන නිවස ගින්නකින් වැනසී ඇති බව ඔහු දැනගන්නේ එහි ගිය පසු ය. ඉන් පසුව ඔහුට නවාතැන් ලැබෙන්නේ හේස් වැන්දඹුව සහ ඇගේ දහතුන් හැවිරිදි දියණිය ඩොලරස් ජීවත්වන නිවසේ ය. නොනවත්වා කතාකරන ‘වාත’ ගැහැනියක් ලෙසට හැඳින්වෙන හේස් නිවස ඔහුට එතරම් රුචි නොවේ. එහෙත් එක තත්පර ගණනකින් ඒ නො කැමැත්ත, ඔහුගේ පැවැත්මේ ආශාව බවට පත්වන්නේ හේස් දියණිය ඩොලරස්ව දැකීමත් සමඟය.

සිය  යොවුන් වියේදී දිවියෙන් ගිළිහුණු පෙම්වතියගේ ස්වභාවය සිහිගන්වන පෙනුමෙන් යුතු, ලොලීටා ලෙස කෙටි නමින් හඳුන්වන ඩොලරස්, හම්බර්ට් ගේ ආශාවේ ගොදුර වන්නී ය.

සුලින් ලයන් – දාහතර හැවිරිදි ලොලිටා

මෙම කෘතිය මුල්වරට සිනමාවට නැගෙන්නේ 1962 වසරේදී, ස්ටැන්ලි කුර්බික්ගේ අධ්‍යක්ෂණයෙනි. එහි ලොලීටා වීම සඳහා ඔහු තෝරාගන්නේ එවකට දහ හතර වැනි වියේ පසුවූ  සුලින් ලයන් ව ය. නවකතාව කියවා තිබූ සහ කුබ්රික්ගේ චිත්‍රපට නරඹා තිබූ සූ ගේ මව, එවකට රූපවාහිනියේ ඉතා කුඩා පෙනිසිටීම් කරමින් සිටි තම දියණියට ඒ වෙනුවෙන් අවසර දෙන්නීය. අතිශය ආන්දෝලනාත්මක සහ අපචාරකාරී ලෙස හැඳින්වුණු පොතක චරිතයක් නිරූපණයට තම දියණිය ‘විකිණූ’ බවට මුල්ම ගල්පහර එකල සමාජයෙන් වදින්නේ සුලින්ගේ මවට ය.

නවකතාවේ ඩොලරස්, දොළොස් හැවිරිදි දැරියකි. ඒ පරිද්දෙන්ම 12 හැවිරිදි දැරියක් මේ වෙනුවෙන් යොදාගැනීමට අධ්‍යක්ෂකවරයාට වුවමනා වුවත් හොලිවුඩයේ නීති නිසා එයට අවස්ථාව ලැබුණේ නැත. රූපවාහිනී කැමරාව හොඳින් පුරුදු සුලින් ඉතාමත් දක්ෂ සහ නිරවද්‍ය ලෙස, ‘ලෝලිටා’ වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දුන්නා ය.

චිත්‍රපටය සඳහා සූ විසින් ගීත දෙකක්ද ගායනා කළා ය.

සුලින්ට ‘ලෝලිටා‘ තහනම් වෙයි

චිත්‍රපටය ඉන් වසරකට පසුව, එනම් 1963 වසරේදී තිරගත වූවත්, සූ ට තමන් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය නැරඹීමට අවස්තාව නො ලැබෙන්නේ එය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ප්‍රදර්ශනය වූ හෙයිනි.  එවකට පහළොස් හැවිරිදි වියේ පසුවූ ඇයට සිනමා ශාලවට පිවිසීමට ඉඩ නො ලැබෙන්නේ වයස් සීමාව හරස් වීමෙනි.  චිත්‍රපටය මහජනයා අතර විශාල ආන්දෝලනයක් ඇතිකළ අතර, මහජනයාගෙන් අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්රික්ටද, සූගේ මවටද ළමා අපහරණ චෝදනා එල්ල වන්නට විය.

එමෙන්ම දැරියකගේ යට ඇඳුම සහ කලවාවල ස්වරූපය දැක්වෙනසේ ‘ලොලිපොප්’ රස කැවිල්ලක් දැක්වෙන චිත්‍රපට පෝස්ටරයටද ඉතා බරපතල විවේචන එල්ල වන්නට විය. එම පෝස්ටර මහජනයා ගැවසෙන ස්ථානවලින් ඉවත් කිරීමටද ඇතැම්හු පෙළඹුණහ.

 ඒ වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී,  “බලාපොරොත්තු තැබිය හැකි නවක රංගන ශිල්පිනිය” සම්මානය හිමි වන්නේ සූ ට ය. සම්මාන උළෙලවල් පහකදී සම්මාන නමයකට යෝජනා වූ ලොලීටා චිත්‍රපටය දිනූ එකම සම්මානයද මෙය ය.

අපහරණය කොතැනද?

ලොලීටා හි රඟපා දෙවසරකින් ඈ The Night of the Iguana චිත්‍රපටයේ රඟපෑවා ය. එහිදීද ඈට ලැබුණේ පූජකයෙකුගේ අපහරණයට ලක්වන චරිතයකි. එය නැරඹීම සඳහා සිනමාහලට ඇතුළුවීමට ඇයට අවසර ලැබේ.

ලෝලිටා චිත්‍රපටය ප්‍රදර්ශනයෙන්ද, සම්මානය දිනා ගැනීමෙන්ද වසරකට පසුව, සූ රුපවාහිනී සාකච්ඡාවකට එක්වන්නී ය. එවකට තිබුණේද රඟපෑමෙන් නිළියන් මනින ලෝකයකි. වැඩිමහල් මිනිසෙකුගේ ලිංගික උද්දීපනය ලෙස රංගනයේ නියැලී, දහසකුත් අපවාදයන්ට මුහුණ දුන් සූ, කැළඹුණු යව්වනියක් ලෙස නොව අත්දැකීම් බහුල නිළියක ලෙස නිවේදකයාගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නීය. “එය රඟපෑමක් පමණයි.. එයින් කෙනෙකුව මනින එක මෝඩකමක්..” දහසය හැවිරිදි සූ පවසන්නීය. නව යොවුන් නිළියගෙන් ‘වැරදි වචනයක්’ ගැනීමට නිවේදකයා ඉමහත් උත්සහයක් දැරුවද, එය සාර්ථක වන්නේ නැත. ‘පරිණත’ යොවුන් නිළිය ඉතාම සුහුරු ලෙස සාකච්ඡාව ජයගන්නී ය.

 “මිනිසුන් මා නැති තැනදී මාව හැඳින්වූනේ නාකි මිනිසාගේ කලිසම අස්සට රිංගූ නොවැඩුණු ගැහැනිය ලෙසටයි”. වසර ගණනකට පසු සූ සිය මිතුරන් සමඟ පවසා තිබුණි. ” වැඩිමහල් මිනිසෙකුගේ ලිංගික ගොදුරක් වන දැරියකගේ චරිතය රඟපෑම නිසා මා සැබෑවට අපහරණය වූයේ නැහැ. එහෙත් තිරයෙන් පිටත සිටි මිනිසුන් මගේ පියොවුරු සහ තට්ටම් ගැන තලු මරමින් කළ විස්තර ඇසූ විට මට වමනය යන තරමේ අප්‍රියජනක හැඟීමක් ඇතිවුණා. බසයක යනවිට පවා මගේ දෙපා ගැන මිනිසුන් රහසින් කොඳුරනු මට ඇසුණා.”.

ලොලිටා අධ්‍යක්ෂක ස්ටැන්ලි කුර්බික් පවා ඇයව හඳුන්වා දුන්නේ ‘නියම ළමා කාමිනිය’ යන යෙදුමෙනි.

“මම The Night of the Iguana නැරඹීමට සිනමාහලට අතුලුවනවිට ‘ලොලීටා..ලොලීටා.. ඔහ් ඒ ඇය..’ වැනි හඬවල් පැතිර ගියා. ලොලිටාගෙන් මිදීමට ඔවුන් කිසි විටෙකවත් මට ඉඩ නොදෙන බව  වැටහුණා.. ” සූ පවසා තිබුණි. 

ලොලිටාගෙන් වැසුණු සු

ලොලීටා රංගනයෙන් පසුව සුලි, තවත් චිත්‍රපට එකොළහක රඟපෑවා ය. ලොලිටා සමඟ දොළහකි. 

එහෙත් ඒ කිසිවකට අවැසි අවධානය ලැබුණේ නැත. ඈ ‘ලොලිටා’ගෙන් වැසී තිබුණා ය. ඈ ලොලිටා ලෙස විනා කිසි දිනෙක, “හොඳ” හෝ “දක්ෂ” නිළියක් ලෙස හැඳින්වූයේ නැත.

සුලි, 1946 ජූලි 10 ඉපදී, ළමා වියේදීම රූපවාහිනියටත්, කුබ්‍රික් වැනි සිනමා දැවැන්තයෙකුගේ සිනමාපටයකින් සිනමාවට පිවිස, 1962 සිට 1980 දක්වා සිනමාවේ ගමනක යෙදුණත් සුලි, ලෝකයා හඳුණා ගත්තේ ලොලිටාව ලෙසටය.

ඇයට 2019 දෙසැම්බරයේ 26 වැනිදා, 73 හැවිරිදි වියේදී මියයන තෙක්ම ලොලීටාගෙන් මිදීමට හැකි වූයේද නැත. ඈ මියගිය පසුවද මාධ්‍යවල පළවූයේ කුබ්රික්ගේ “ලොලීටා තරුව මිය යයි” ලෙස විනා, හොලිවුඩ් නිළි සුලින් ලයන් මියයයි ලෙස නොවේ.