සමනල තීන්ත

abstract-art-eyes-painting-wallpaper-2.jpg

දුඹුරු පාට බෙහෙත් බෝතලේ ඇතුලේ තිබුණේ රෝස පාට බෙහෙත් දියරයක්. දුඹුරු පාට බෝතලේ සුදු කඩදාසියකිනුත් ඔතල තිබ්බ නිසා බෙහෙත රෝස පාටයි කියල මාලිකාට පෙනුනෙ හැන්දට වත්කරන වෙලාවෙයි.

” කෝ.. ආ කියල කට අරින්න ..”

සංකල්ප කට තද කරගත්ත. බෙහෙත් බොන්න අකමැති බව කියන්න.

” මේ … බලන්න.. මේක තිත්ත නෑ.. මේ .. ”

සංකල්ප බෙහෙතෙ පාට දැක්කොත් කීයටවත් බොන්නෙ නෑ.

ඇස් වහගෙන බොන්න.. එතකොට කොහොමවත් තිත්ත නෑ ..”

මාලිකා කැස්ස පැණිය තමන්ගෙ කට ගාවට කිට්ටු කළා. නාහෙ කඩාගෙන යන තරම් සැර බෙහෙත් සුවඳක් ඇවිත් කට අප්පිරියාවෙන් ඇද කෙරෙව්වත්, මාලිකා ඒ බව පෙන්නුවෙ නෑ.

” මේ .. රසම රසයි..” මාලිකා ඇහිබැම උස්සමින් මුහුණ නටවමින් බෙහෙත රස බව සංකල්පට ඒත්තු ගන්වන්න උත්සහ කළා.

සංකල්ප ඇස් වහගෙන හැන්දට දාල තිබුණු බෙහෙත් ටික ගිල්ල. අප්පිරියාවක් – අකමැත්තක් පෙන්නන්නේ නැතුවම.

මාලිකා ලොකු හුස්මක් හෙලලා නැගිට්ටෙ හැන්ද සාක්කුවෙ දාගනිමින්. කාමරේ සුදු පාටයි. කාමරේ හැමදේම සුදු පාටයි. මේසේ උඩ තියෙන පොත්වලට පවා සුදු පාට කවර දාල. සංකල්ප ඇඳගෙන ඉන්නෙත් සුදු පාට. මාලිකා ඇඳගෙන ඉන්නෙත් සුදු පාට. කාමරේ විතරක් නෙමෙයි. මේ ගෙදර හැමදේම සුදු පාටයි. සංකල්පට මාලිකා කවන්නෙත් සුදු බත් එක්ක පුළුවන් තරම් ලා පාටට උයාපු කෑම.

…………………………………………..

තමන්ගෙම පොඩි ඇඩ්වටයිසිං ඒජන්සියක් කරගෙන හිටපු, ඩෙනිම් අඳින, මෝටර් සයිකලෙන් එන කොණ්ඩේ බොකුට මාලිකාට මුලින්ම හම්බවුණේ ෆේස්බුක් එකෙන්. ඒ කාලෙ මාලිකා ගාමන්ට් යනව.

ඉස්සර සංකල්ප ලස්සන ලස්සන කතා, කවි සංකල්ප ෆේස් බුක් එකේ ලියනව. මාලිකා හම්බවුණාට පස්සෙ එව්ව පත්තරවල පලවෙන්න පටන්ගත්තෙ, මාලිකාම සංකල්පගෙ නමින් එව්ව පත්තරවලට ඇරිය නිසයි. එව්ව පළ වුණාම, මාලිකා ඒව කපල අරන් තියනව.

ලංකාවේ ජනප්‍රියම තීන්ත සමාගම වුණු සමනල තීන්ත සමාගමේ දැන්වීම් හදන්න සංකල්පට භාර වුණාම මාලිකා හිතුවේ ඒජන්සිය ගොඩ ගියා කියලයි.

“මෙහෙමයි මිස්ට රත්නසූරිය.. අපි අපේ කලර් පැලට් එකේ හැම පාටක් වෙනුවෙන්ම කමර්ෂල් එක ගානෙ කරන්නයි ඉන්නෙ.. ලෝකෙ ඇති නැති හැම පාටක්ම අපේ කලර් පැලට් එකේ තියනව… පුළුවන් නෙ..? මාසෙකට වන් මිලියන් බජට් එකක් අපි වෙන් කරනව.”  තීන්ත සමාගමේ ලොක්ක මිස්ට සෝමදත්ත, දත් තිස් දෙකමයි තව නළ දතකුයිත් පෙන්නල හිනා වෙමින් කිව්ව.

” ඔන්න කෙල්ලෙ ගොඩ යාමක්..  දැන් තමයි අපි හරි හමං විදිහට වැඩට බහින්නෙ.. ”

සංකල්ප මාලිකාගෙ කරවටේ අත දමාගෙන, මුහුණට එබීගෙන කිව්ව.  මාලිකාටත් ජීවිතේ සමනල තට්ටකින් පාට වැටෙනව වගේ දැනුණ.

ඒ කාලේ සංකල්ප සෑහෙන්න වර්ණ සංකල්ප ලිව්ව. මාලිකා ගාමන්ට් යන එක නවත්තල ගෙදර ඉඳන්, කාලෙ ගෙවාගන්න හදන කප් කේක්වලිනුත් බිත්ති පාට කරන තීන්ත ඇඩ්වලට සංකල්ප මතුවුණා. බිත්තිවලින් සමනල්ලු පියාඹන්න පටන්ගත්ත. සිවිලිමෙත් සමනල්ලු එල්ලිලා හිටිය.
“සුපිරි ආ.. ! ඒක නියමයි.. ! ගින්දර !” වගේ වචන සෝමදත්තගෙ නොම්බරෙන් එන ඇමතුම්වලින් පිටවෙනව මාලිකාට උරිස්සට උඩින් ඇහුණ.

ඊට පස්සෙ සංකල්පගේ ලෝකෙ, කාලෙ හරි ඉක්මනට ගතවුණා.  මිනිත්තු කට්ට තප්පර කට්ටට වඩා වේගෙන් දුවන්න පටන්ගත්ත. සංකල්ප පැය විසි හතරෙම අලුත් සංකල්ප ලියමින් හිටිය.

 

සෝමදත්තගෙ මිලියනය, සංකල්පට දේවදත්ත කාලයක් උදා කළා වගේ වුණා.

” මේකනෙ මිස්ට සංකල්ප.. අපිට තව ලොකු ජනප්‍රිය ෆර්ම් එකකට මේ වැඩේ දෙන්න තිබ්බ. අපි ඔයාවම හොයාගෙන ආවේ අපිට අලුත් කන්සෙප්ට් ඕන නිසා.. අනික අපි මන්ත්ලි ලොකු බජට් එකකුත් මේකට ඇලොකේට් කරනවනෙ .. පොඩි ගාණක්ද වන් මිලියන් කිව්වම…?”

 

රෑ වෙලා ගෙදර ආපු සංකල්ප, ෆෝන් එකෙන් සැරෙන් සැරෙන් කතා කරන්න පටන් ගත්ත. පුටු කකුල්වල වැදිල සංකල්පගෙ කකුල් ඇඟිලි නිතරම තුවාල වුණා. මාලිකා සද්ද නැතුව තැලුම් තෙල් ගෑව මිසක් පුටු විහින් ඇවිත් කකුලෙ හැප්පෙන්නෙ නැති බව තේරුම් කරන්න ගියෙ නෑ.

“මුන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ.. මුං පිකාසෝගෙ එව්ව කතා කළාට චෝක් පෙට්ටියේ පාට අඳුනන්නේ නෑ කාලකණ්නි .. !”

වේගෙන් පොළොවේ ගහපු පාර ෆෝන් එකේ ඉරකුත් ගියා.

” බැල්ලිගෙ පුතාල.. මුංට ඕන හත්තිලව් ලියන්න නම් මොකටද යකෝ මම ඉන්නෙ ? ” සංකල්ප නින්දෙනුත් දත් කූරු කන්න පටන්ගත්ත. පස්සෙ නිදියන්නෙ නැතුවම ඉන්න ගත්ත.

 

එන්න එන්න සංකල්ප ලියන එව්වා අඩු වුණා. ලියන සංකල්ප වෙනුවට ලියන්න ඒව  හොයන සංකල්ප කෙනෙක් මතුවෙන්න ගත්ත.

” මට මේ ලෝකෙ තියන පාටවලට ඕන තරමක් ලියන්න පුළුවන් මාලිකා… ඒත් නැති පාටවලට ..?”

අන්තිමට සංකල්ප ඔලුව බදාගෙන, බොකුටු කෙස් ගලවගනිමින් අඬන්න පටන්ගත්ත.

දවසක් ෆර්ම් එකේදී කලන්තේ දාල වැටුණ. එතකොටයි මාලිකා දන්නේ ගෙදරින් ඔතල දෙන දවල් කෑම එකේ සුදු බත් ටිකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් සංකල්ප දවස් ගානකින් කාල නැති බව.  ඉස්පිරිතාලෙන් සේලයින් දීල සංකල්පව කෙළින්ම යැව්වෙ මානසික වෛද්‍ය සායනයට.

” මිසිස් රත්නසූරිය, මේක කලර්ස්වලට ආපු ෆෝබියා එකක්. සනීප කරන්න බැරි නැහැ. හැබැයි කාලයයි ඉවසීමයි දෙකම ඕන වෙනව.

මේ බෙහෙත් වෙලාවට දෙන්න. මහත්තයව ස්ට්‍රෙස් නොවී තියාගන්න. ඒ අතරෙ පුළුවන් තරම් පාටවලින් ඈත් කරල තියාගන්නකො… අපි බලමු. ”

…………………………………………..

 

” මට බෑ… මාලිකා.. මට බෑ…”

ඕඩර් එකකට හදන කප් කේක්වලට බැටර් එක අනමින් හිටි මාලිකා හැන්දත් අතෑරලා කාමරේට දිව්ව. බෙහෙත් බෝතලේ පෙරළිල,  බිඳිලා, රෝස පාට දියරය බිම දිගේ ගලා යමින් තිබුණ. දොරට විරුද්ධ පැත්තෙ බිත්තියට තද වෙන්නම හේත්තු වෙලා සංකල්ප බිම වකුටු වෙලා හිටිය.

මහ භයානක දේකට බයවෙලා වගේ. මහ භයානක දේකින් බේරෙන්න වගේ.

මාලිකා දුවල ගිහින් සංකල්පව තුරුළු කරගත්ත.

“සමනල තට්ටක් හයියෙන් වැනුණ.. ඒ එක්කම සමනල තට්ටෙන් විසිරිලා ආපු වර්ණ…. රෝස පාට ! කහ පාට ! නිල් පාට ! කොළ පාට ! රතු පාට ! දම් පාට ! තැඹිලි පාට !.. මාලිකා .. මාලිකා.. මාව ඇදල ගන්න.
මම මේ පාට සුළියෙ යටටම ඇදිල යන්නයි යන්නෙ…!”

 

මාලිකා තවත් තදින් සංකල්පව තුරුළු කරගත්ත. ඔලුව අතගෑව. අනෙක් අත පුළුවන් තරම් දික් කරල කබඩ් එක උඩ  තිබුණු ඕඩිකොලොන් බෝතලේ අරගෙන බොකුටු කෙස් අතරට හලල අතගාන්න ගත්ත. ඉම්බ.

 

මහ විලාපෙ ටික ටික ඉකිබිඳුමක් වෙන්න ගත්ත.

 

“මාලිකා.. අනේ මාව බේරගන්න මාලිකා… ”

.

.

.
හොඳ වෙලාවට, පාට මහ ගොඩක්, එකට වේගෙන් කැරකෙද්දී පේන්නෙ සුදු පාටට කියල මාලිකා දැනගෙන හිටිය.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )